Labels

Wednesday, July 29, 2015

මහත් අනුසස් ලැබෙන කඨින චීවර පූජාව



 කඨිනය චීවරයක් හෝ වස්ත්‍රයක් වශයෙන් පිදිය හැකි ය. වස්ත්‍රයක් නම් එදිනම සිවුරක් මසා අධිෂ්ඨාන කළ යුතු බැවින් අරුණට පෙර පූජා කළ යුතු ය. චීවරයක් නම් ‘ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම ‘ යනුවෙනුත්, වස්ත්‍රයක් නම් ‘ඉමං කඨින දුස්සං භික්ඛු සංඝස්ස දේම’ යනුවෙනුත් කියා සඟ සතු කළ යුතු ය. එසේ සඟ සතු කළ වස්ත්‍රය සිවුරක් බවට පත් කිරීම භික්ෂූන් වහන්සේ විසින් හෝ මැසීම පිළිබඳ දන්නා වෙනත් අයකු විසින් හෝ කරනු ලැබිය යුතු ය. සියලු කටයුතු නිමා වීමෙන් පසු ‘ඤත්ති දුතිය’ විනය කර්ම වාක්‍යයක් මඟින් සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පවරා දීම වැදගත් විනය කර්මයකි

 උපසම්පදා භික්‍ෂූන් වහන්සේ වස්සාන ඍතුවේ වස් සමාදන්ව වැඩ සිටිති. වස් වැසූ භික්ෂූන් වහන්සේ නිමිති කරගෙන කඨින චීවර පූජා කිරීමට සැදැහැවත් බෞද්ධ පින්වත්හු කල් තබාම සූදානම් වෙති. වස් සමාදන්වීම මෙන්ම,පවාරණය පිළිබඳවත්, කඨින චීවරය පිළිබඳවත් බුදුහිමියන් අනුදැන වදාළ විනය නීති පද්ධතියක් ඇත. එම නීති - රීති පැනවීමේදී මානව නිදහස අහිමි නොකර, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් සුරැකෙන පරිදි ඒවා පනවා තිබෙන අයුරු විචාරාත්මකව බලන විට පෙනෙයි. එසේම බුද්ධ ශාසනයේ චිරස්තිථිය සුරැකෙන පරිදි සංඝයාගේ සාමගි‍්‍රය සුරැකෙන පරිදි මෙම සියලු නීති - රීති, කොන්දේසි, ප්‍රඥප්ති පනවා ඇත.

පැවිදි කිරීම සහ උපසම්පදාව හැරුණු විට තවත් වැදගත් සංඝ කර්මයකි. ‘උපෝසථ කර්මය’. වස්සාන සමය තුළ සංඝ උපෝසථ කර්ම පිළිබඳ වැඩිදුරටත් අවධානය යොමු වෙයි. වස් ආරම්භයේදී පොහොය සීමා මාලකයකට ගොස් සංඝයා ඉදිරියේ ඇවැත් දෙසා පිරිසුදුවී පාමොක් හෙවත් ප්‍රාතිමොක්ෂය දේශනා කිරීම සම්ප්‍රදාය වෙයි. දින පහළොවකට වරක් උපෝසථ කර්මය සිදු කළ යුතුය. භික්ෂූන් වහන්සේ සඳහා පනවන ලද ශික්ෂාපද එක්තැන් කර ‘ප්‍රාතිමෝක්ෂය’ නමින් ශික්ෂාපද මාලාවක් ඇත. සෑම උපෝසථ දිනයකදීම සංඝයා රැස්වී එම ප්‍රාතිමෝක්ෂය දේශනා කර, ඒ තුළින් ශික්ෂා පද නැවත නැවතත් සිහිපත් කරති. එසේම ආපත්තිවලට පැමිණි භික්ෂූන් වහන්සේට තමන් වහන්සේ අතින් සිදුවූ තුලසි, නිසඟි, පචිති, පාවාරණ ආදිකොට ඇති ඇවැත් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කොට පිරිසුදු වීමේ අවස්ථාව මෙමඟින් උදාවෙයි. එම වැරැදි නිවැරැදි කරගෙන පිරිසුදු සිල්වතෙකු බවට පත් වීමට අවශ්‍ය කරන අනුශාසනා , උපදෙස් දීමත්, දඬුවම් ලබා දීමත් සිදු කරනු ලබන්නේ සංඝ සමූහයාගේම ඒකමතික තීරණ අනුවය. මෙය සංඝ සමාජය තුළ තිබෙන ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි.
දීඝ නිකායේ මහාගෝපකමොග්ගල්ලාන සූත්‍රයෙහි සඳහන් පරිදි ‘වස්සකාර’ නම් බමුණා ආනන්ද තෙරුන්ගෙන්, බුදුසසුනෙහි චිර පැවැත්මත්, එහි ක්‍රියාකාරිත්වයක් ගැන ප්‍රශ්න කළේය. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සසුන භාරධාරි ප්‍රධානියකුගෙන් තොරව, ස්ථීර මාර්ගෝපදේශකයකු නොමැතිව ජනතාවගේ ප්‍රසාදය ඇති වන අයුරෙන් සසුන පවත්වාගෙන යන අයුරු දැනගත් හෙතෙම පුදුමයට පත් වෙයි. එලෙස පුදුමයට පත් වස්සකාර බමුණා තවදුරටත් ප්‍රශ්න කරයි. එවිට ආනන්ද තෙරුණුවෝ, “වස්සකාරය, අපගේ ශාස්තෘන් වහන්සේ වැඩ නොසිටිය ද අප කිසිවෙකුගෙන් පිළිසරණක් නැති අනාථයන් පිරිසක් වශයෙන් නොසිතව. බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද ශ්‍රී සද්ධර්මයෙහි පිහිට අපට ඇත” යනුවෙන් ප්‍රකාශ කළහ.
සංඝ කර්ම වලදී ඔවුනොවුන්ගේ සිත් රිදවීම්, කලකිරීම් සහ නොයෙකුත් වාද භේද නොමැතිව ඒ ඒ අවස්ථානුකූලව කටයුතු කිරීම පිණිස ධර්මය විසින් හැඩගසනු ලැබී ඇත. එසේම එය සංඝයාගේ චිර පැවැත්මට ද සමඟියට ද ඉවහල් වී ඇත. වස් පවාරණය ද එවැනි සංඝකර්මයකි. වස් තුන්මාසය තුළ වස්සච්ඡේදනය නොවී, හොඳින් වස් ආරක්ෂා කර ගැනීම වස් වැසූ භික්ෂුව සතු කාර්යභාරයකි. වස්සාන ඍතුව මාස හතරක්වුවද වස් විසීම තුන් මසකින් නිමාවට පත්වෙයි. ඉතිරි මාසය චීවර මාසය වශයෙන් හැඳින්වෙයි. වස් වසන ලද භික්ෂුව වස් අවසානයේ සංඝයා මධ්‍යයට එළැඹ ඇවැත් දෙසා පිරිසුදුවී, වැඩිහිටි තෙරුන් වහන්සේ ඉදිරියෙහි උක්කුටිකයෙන් හිඳ දොහොත් මුදුනෙහි තබාගෙන “සංඝං භන්තෙ පවාරෙමි. දිට්ඨෙනවා සුතෙනවා පරිසංකායවා වදතුමං භන්තේ අනුකම්පං උපාදාය. පස්සන්තො පටිකරිස්සාමි.” යනුවෙන් “ස්වාමිනි, මා විසින් කරන ලද වරදක් දැකීමෙන්, ඇසීමෙන්, සැකයෙන් හෝ ඇත්නම් මා කෙරෙහි අනුකම්පා කර එය ප්‍රකාශ කරනු මැනැවි.” යනුවෙන් පැවැරීමක් කරයි. උන්වහන්සේගේ වරදක් නොමැති නම් සංඝයා තුෂ්නීම්භූ®තව සිටිති. පවාරණය වශයෙන් සැලකෙන්නේ මෙම විනය කර්මයයි.
‘පවාරණය’ වනාහි අතිශය වැදගත් විනය කර්මයකි. මහා පවාරණයක් කිරීමට නම් උපසම්පදා භික්ෂූන් වහන්සේ පස් නමක්වත් වැඩ සිටිය යුතුය. එම විනය කර්මය කරන ස්ථානයෙහි ප්‍රධානත්වය ගන්නේ සංඝ ස්ථවිරයන් වහන්සේය. උන්වහන්සේට උස් ආසනයක් පැනැවිය යුතුය. පළමුවැනුව පවාරණය කරන්නේ සංඝ ස්ථවිරයන් වහන්සේය. අනතුරුව සෙසු භික්ෂූන් වහන්සේ උන්වහන්සේ ඉදිරියෙහි ඉහත සඳහන් වාක්‍යය ප්‍රකාශ කිරීමෙන් පවාරණය කළ යුතුය. මෙසේ මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂූන් වහන්සේ නමක් උදෙසා කඨින චීවරයක් පූජා කිරීමට හැකියාව ලැබෙයි. වස් කාලයෙහි සුවිශේෂී අවස්ථාව වන්නේ චීවර මාසයයි. කඨින චීවර පූජාව අට මහා කුසල් වලින් පළමුවැන්න වෙයි. ඒ නිසාම බෞද්ධ පින්වත්හු එයට ඉමහත් උනන්දුවක් දක්වකි.

’කඨිනය’ යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? මෙම වචනයේ අර්ථය ගත්විට නොසෙල්වෙන, ශක්තිමත් බවක් හඟවයි. මහමෙර සෙලවුණත්, මහපොළොව කම්පිත වුවත්,වජ්ර පර්වතය සිඳ බිඳ දැමුණත් කඨින පූජාවෙන් ලබන ආනිශංස නොසිඳෙයි. ආනන්තර්ය පාප කර්මයකට හැර වෙනත් අකුසලයකට යටපත් කළ නොහැකි නිසා ද ‘කඨිනය’ නමින් හඳුන්වයි. පෙර වස් සමාදන්ව,හොඳින් වස් ආරක්ෂා කරගෙන, මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවකට කඨිනයක් ලැබිය හැකිය.
චීවරයකට තිබිය යුතු පැහැය පිළිබඳ විවිධ මතවාද ඇත. කළු,රතු, කහ පැහැයන් මිශ්‍රවීමෙන් ඇතිවන වර්ණය වඩාත් උචිත වේ. එම පැහැය නුග ගසෙහි පොතු තම්බා ගැනීමෙන් ලබා ගත හැකිය. එම පැහැය ලබා ගත හැකි පඬු වර්ග වෙළෙඳ පොළේ ඇත. එසේ එම පැහැයෙන් යුතු වස්ත්‍රද වෙළෙඳ පොළෙහි ඇත. කසට පැහැය ඉක්මණින් කිලිටි නොවේ. එසේම නිතර පඬු පෙවීමට අවශ්‍ය නොවේ.අලංකාරය නිසා ඇතිවන තෘෂ්ණාදී කෙලෙස් ඇති නොවේ.දුරට නොපෙනෙන බැවින් අන්තරායන් අඩුවෙයි. මැසි මදුරුවන්ට අපි‍්‍රය බැවින් එවැනි උවදුරු අවම කර ගත හැකිය. චීවරය පඬු පෙවීම සඳහා ගත යුතු වන්නේ මුල රජනං ඛන්දරජනං ,තචරජනං, පත්තරජනං, පුප්ඵ රජනං, ඵලරජනං යනුවෙන් දැක්වූ පරිදි ගස්වල මුල් , කඳ, පොතු, කොළ, මල්,ගෙඩි යන කොටස් ය.
චීවරයෙහි ප්‍රමාණය ගැනද සැලකිලිමත් විය යුතුය. එය බුදු හිමියන්ගේ චීවරයට වඩා කුඩා විය යුතුය. එනම් දිගින් සුගත් වියතින් නවයකට සහ පළලින් හයකට වඩා අඩුවිය යුතුය. සුගත් වියත යන වඩු රියන් එක හමාරකි. ඒ අනුව එවැනි විශාල චීවරයක් අද කිසිවකුට අවශ්‍ය වේයයි සිතිය නොහැක. ඉතා කුඩා සිවුරුවලින් ‘සුපටිච්ඡන්න පරිමණ්ඩල’ ශික්ෂා පද රැකීම අපහසුවෙයි. එබැවින් තම තමන්ගේ ශරීරවල ප්‍රමාණයන් අනුව චීවරය සකස් කර ගැනීම වඩාත් සුදුසු වෙයි. පස්කඩ, සත්කඩ වශයෙන් සිව්රු කඩ කපා මසා ගත යුතුය.පසළොස්කඩ,, අසූකඩ, වශයෙන් ද සිවුරු මසා ගනී. එහෙත් අලංකාරය පිණිස කිසිදු මැස්මක් නොකළ යුතුය. ඇතැම් භික්ෂූන් වහන්සේ අලංකාර ලෙස රැලි ගන්වා සිවුරු මසාගෙන සිටිනු දැකිය හැක.එය විනය විරෝධිය.
“න නිමිත්ත කථෙන අත්ථානංහොති කඨිනං න පරිකථා කථෙන අත්ථානංහොති කඨිනං” යනුවෙන් ‘මහාවග්ගපාලියෙහි සඳහන් පරිදි, “මෙම රෙදි වර්ගය හොඳය. මෙම සිවුර කඨිනයට සුදුසුය.” ආදිය ප්‍රකාශ කිරීමෙන් ලබන සිව්රත්, ‘කඨින චීවර පූජාව වටිනා පින්කමකි. වෙන අවුරුදුවල නම් මේ කාලයට කඨින පින්කම කරනවා.මේ අවුරුද්දේ එයට සූදානමක් නැහැ වගෙයි.” මෙලෙස සඳහන් කිරීමෙන් උපයා ගත් සිවුරත් කඨිනයට නොසුදුසුය. කඨිනය මවුපියන්ට වුවද කියා ලබා ගැනීම නොසුදුසුය. ව්‍යංගයෙන් හෝ ඉල්ලීමක් නොකරම ලැබුණු වස්ත්‍රයම කඨිනයට සුදුසු වෙයි.
කඨිනය චීවරයක් හෝ වස්ත්‍රයක් වශයෙන් පිදිය හැකිය. වස්ත්‍රයක් නම් එදිනම සිවුරක් මසා අධිෂ්ඨාන කළ යුතු බැවින් අරුණට පෙර පූජා කළ යුතුය. චීවරයක් නම් ‘ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම ‘ යනුවෙනුත්, වස්ත්‍රයක් නම් ‘ඉමං කඨින දුස්සං භික්ඛු සංඝස්ස දේම’ යනුවෙනුත් කියා සඟ සතු කළ යුතු ය. එසේ සඟ සතු කළ වස්ත්‍රය සිවුරක් බවට පත් කිරීම භික්ෂූන් වහන්සේ විසින් හෝ මැසීම පිළිබඳ දන්නා වෙනත් අයකු විසින් හෝ කරනු ලැබිය යුතුය. සියලු කටයුතු නිමා වීමෙන් පසු ‘ඤත්ති දුතිය’ විනය කර්ම වාක්‍යයක් ම¼ඟින් සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පවරා දීම වැදගත් විනය කර්මයකි. සුදුසු භික්ෂුවක් වශයෙන් සැලකෙන්නේ එම සීමාව තුළ වස් වැසූ, වස්සච්ඡේදනය නොවූ, වෙනත් කඨින චීවරයක් නොලද, දුර්වල සිවුරු ඇති, මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවකි. එසේම ‘පක්ඛමන්තිකා , නිට්ඨානන්තිකා , සන්නිට්ඨානන්තිකා, නාසානන්තිකා, සවනන්තිකා, ආසාවච්ඡේදිකා, සීමාතික්කන්තිකා සහ සහුබ්භාරා යන මෙම කරුණු පිළිබඳ දැනගෙන සිටීම සුදුසු කමකි.
චීවර අතුරෙන් උතුම් චීවරය වන්නේ ‘කඨින’ චීවරයයි. කඨින චීවර පූජාව අට මහා කුසල්වලින් පළමුවැනි කුසලය ය. එහි ඇත්තේ මූල්‍යමය වටිනාකමට වඩා විනයානුකූල වටිනාකමකි. කඨින චීවරයක් පිදිය හැකි වන්නේද එක් වසරකදී එක් විහාරස්ථානයක එකක් පමණි. පූජා කරන දායක දායිකාවන්ට මහත් ඵල මහා ආනිශංස ලැබෙන අතර, කඨින චීවරයක් ලද භික්ෂුවකට ද විශේෂ වරප්‍රසාද කිහිපයක් හිමිවෙයි. ඒවා මෙසේ දැක්විය හැකිය.

අනාමන්තචාරො

ප්‍රාතිමෝක්ෂයේ අචේලක වග්ගයේ සයවැනි ශික්ෂාපදයෙන් නිදහස් වීමේ ආනිශංසයය. එම සික පදයේ හැටියට , විහාරයෙහි වාසය කරන භික්ෂුවකගෙන් නොවිමසා කුල ගෙවල හැසිරීමෙන් ආපත්තියක් සිදුවේ. එහෙත් කඨින චීවරයක් ලද භික්ෂුවට ආරාමයෙහි භික්ෂු නමකට නොදන්වා කුල ගෙවල හැසිරීමෙන් වන ඇවැතෙන් නිදහස් වීමට හැකිය.

අසමාදානචාරො

ප්‍රාතිමෝක්ෂයේ නිසඟි පචිතිවල දෙවැනි ශික්ෂා පදයෙන්, අධිෂ්ඨාන කරගෙන සිටින තුන් සිවුරෙන් වෙන්ව රාත්‍රිය ඉක්මවීමෙන් ආපත්තියක් සිදුවන බව පෙන්වා දී තිබේ. එහෙත් කඨිනය ලද භික්ෂුවට අධිෂ්ඨාන කරගත් තුන් සිවුරෙන් වෙන්ව රාත්‍රිය ඉක්මවිය හැකිය.

ගණභෝජනං

ප්‍රාතිමෝක්ෂයේ භෝජක වග්ගයේ දෙවැනි ශික්ෂා පදයයි. එයින් නිදහස් වන අවස්ථා ලෙස ගිලන් සමය ආදි අවස්ථා කිහිපයක් දක්වා ඇත. කිසියම් පුද්ගලයකු පැමිණ, භික්ෂුවකට පූජා කරන අදහසකට වඩා හිත මිත්‍ර භාවයෙන් කෙරෙන සංග්‍රහයක් වශයෙන් කරන ඉල්ලීමකදී සතර නමක් හෝ වැඩිපිරිසක් එහිගොස් වැළදීම හෝ තමන් කියවා සූදානම් කරගෙන එසේ ගොස් වැළැදීමෙන් සිදුවන ඇවැත ගණ භෝජනයයි. එහෙත් කඨිනය ලද භික්ෂුවට ගණ භෝජනය වැළදීමෙන් ඇවැත් සිදු නොවේ.

යාවදත්ථ චීවරං

නිසඟි පචිතිවල පළමුවැනි සික පදයයි. දස දිනකට වඩා අතිරේක සිවුරක් අධිෂ්ඨානාදිය නොකොට තබා ගැනීමෙන් ඇවැතක් සිදුවන බව මේ සික පදයෙන් පෙන්වා දී තිබේ. මෙම ඇවැතෙන් නිදහස් වීමේ වරප්‍රසාදය කඨිනය අතුල භික්‍ෂුවට හිමිවේ.
කඨින චීවරය ලද භික්‍ෂුවට, එම සීමාව තුළ මතක වස්ත්‍ර වශයෙන් හෝ සැදැහැවතුන් විසින් සඟ සතුකොට පුදනු ලැබීමෙන් හෝ ඒ ඉඩමේ උපදනා දෙයින් හෝ අන් ආකාරයකින් හෝ සඟ සතු සිවුරු හා පූජා භාණ්ඩ ලැබුණහොත් කඨිනානිශංස කාලය තුළදී කඨිනය අතුල භික්ෂුවට හිමිවේ.

යොචතත්ථ චීවරුප්පාදො සොනෙසං භවිස්සති

මෙම පංච ආනිශංසයන් ලබා ගත හැකි වන්නේ කඨින චීවරය ලැබූ දිනයේ සිට හේමන්ත ඍතුවේ අවසන් දිනය වූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය දක්වා පමණි. චීවරය වනාහි වසර දහස් ගණනක් තිස්සේ නොවෙනස්ව පවතින ඇඳුමකි. ඇඳුමක් වශයෙන් සඳහන් කළ ද එය උතුම් පූජනීය වස්තුවක් වශයෙන් බෞද්ධයෝ සලකති. චීවරයක් දැරූ කවරකුට හෝ ගරු කිරීම බෞද්ධයන්ගේ සිරිතකි. මෙය වටහා ගත් ඇතැමුන් චීවරධාරින් වශයෙන් චීවරයට මුවාවී විවිධ අපචාරවල යෙදෙන අවස්ථා ගැන අසන්නට ලැබෙයි. චණ්ඩාශෝක නමින් හැඳින් වූ අශෝක රජතුමා දැහැමියකු බවට පත් වූවේ චීවරයක් දැරූ, සන්සුන් ඉඳුරන්ගෙන් යුතු කුඩා සාමණේර හිමි නමක් දැකීමෙනි. එය චීවරයට එක්වූ අධ්‍යාත්මික පවිත්‍රතාව නිසා සිදුවූවකි. ගැමුණු කුමරු සහ තිස්ස කුමරු අතර සටනක් ඇතිවීමට සූදානමක් වූ විට, භික්ෂූන් වහන්සේ පන්සිය නමක් එතැනට වැඩම කොට සටන සමථයට පත් කළහ. එහිදී ගැමුණු කුමරු පැවසුවේ “ඔබ වහන්සේ වැඩම කළේ කුමටද? සත් හැවිරිදි කුඩා සාමණේර නමක් පැමිණියත් අප අතර සාමය ඇති වන්නේය” යනුවෙනි. එය ද චීවරයෙහි අසීමිත බලයයි. චීවරයක් දැරූ භික්ෂුව සිංහ රාජයකු මෙන් එඩිතරය. වාරියපොළ සුමංගල හිමි, ඉහගම තෙරුන්වහන්සේ, කුඩාපොල හිමි, අනගාරික ධර්මපාලතුමා වැනි උතුමන්ගේ චරිත කථා තුළින් ඒ බැව් මැනැවින් පසක් වෙයි. එසේම චීවරය දැරූ භික්ෂුව ස්වර්ණ හංසයකු මෙන් නිදහස් ය.
යමකු කෙලෙස් කසට දුරු කර, ශීලාදී ගුණයෙන් යුක්ත වේ නම් ඉන්ද්‍රීය දමනයෙන් සහ සත්‍යය ගරුක බවෙන් යුතුවේනම්, හෙතෙම චීවරයට සුදුස්සකු වෙයි. යමකු සිල්වත් වේද, රාගය දුරු කළේද සන්සිඳුණු පිරිසුදු සිතක් ඇත්තේද, හෙතෙම චීවරයට සුදුස්සකු බවට පත්වේ. චීවරයක් පරිභෝග කළ යුතු වන්නේ අලංකාර වීමට නොවේ. එසේම උසස් ලෙස පෙනී සිටීමට ද නොවේ. එවැනි අදහසකින් චීවරය දරන්නේ නම්, තණ්හාව, මානය, සක්කායදිට්ඨිය වර්ධනය වේ. එය මඟ ඵල කෙසේ වෙතත්, පැවිදි බව රැක ගැනීමටද බාධාවකි. එසේනම් චීවරය දැරිය යුතු වන්නේ ශීතල, උණුසුම දුරු කර ගැනීමටත්, මැසි මදුරු, පත්තෑ, ගෝනුසු වැනි සතුන්ගෙන් සිදුවන හිරිහැර වළකා ගැනීමටත් ,ලජ්ජා ස්ථාන වසා ගැනීමටත් යන අදහස නිරතුරුවම සිතෙහි රැඳී තිබිය යුතුය. එවැනි හැඟීමක් ඇති වූ විට තණ්හාව මානය ඇති නොවේ. චීවරය පරණය, අවලක්‍ෂණය කියා සිතෙහි දොම්නසක්ද ඇති නොවේ. හෙතෙම නිවැරැදිව චීවරය පරිභෝග කරන අයකු බවට පත් වෙයි.

 බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති
නාලන්දේ විමලවංශ හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ වප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ නොවැම්බර් 3 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment