Labels

Friday, July 31, 2015

අපත් පුරුදු කරගත යුතු බෝසත් ගුණයක්


‘සුපසන් ජීවිතයකට’ අද ඇසළ පුර පසළොස්වක පෝදා බලාපොරොත්තු වන්නේ පරිත්‍යාගය පිළිබඳව කතා කරන්නයි. මේ ලෝකයේ ජීවත්වන අප සෑම කෙනෙක් ම ජීවන ගමනේ දී සොයා යන්නේ, බලාපොරොත්තුවෙන්නෙ මානුෂික සන්තෘෂ්ටියයි. සැනසි-ල්ලයි. සාමාන්‍ය ලෝකයා පවසන අදහස නම් ‘සිතේ දුකක්, කරදරයක් නැතිව තියෙන දෙයකින් කාල බීල, අනුන්ට කරදරයක් නැතිව මහපොළොවෙ පය තියල ජීවත්වෙන්න තියෙනවා නම් ඒ ටික ඇති යැයි කියල’.
"සුපසන් ජීවිතයක්" කියන අදහසින් පෙන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නෙත් එයයි. එහෙත් සිතේ දුකක්, කරදරයක් නැතිව තියෙන ආකාරයට කාල, ඇඳළ, පැළදල ජීවත්වෙනවා කියන තැනින් පමණක් අපිට සෑහෙන්නවත්, නතරවෙන්නවත් බැහැ. එයට හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ දීර්ඝ වූ සංසාර ගමනේ මනුෂ්‍ය ජීවිතයක් අප ලැබූවේ ඉතාම දුර්ලභවයි. ඉතාම දුර්ලභව මුණ ගැසුණු මේ මනුෂ්‍ය ජීවිතයේ එකම පරමාර්ථය ඇස, කණ, නාසය යන ඉන්ද්‍රියන් සතුටු කිරීම පමණක් ම වෙන්නට බැහැ.
තමන් දහදිය මහන්සියෙන් උට්ඨාන වීර්යයෙන් දෑතේ, දෙපයේ මහන්සියෙන් යම් වූ ද ධනයක් උපදවාගෙන එම ධනය තමනුත් සතුටින් පරිභෝග කරල දෙමාපියෝ, ස්වාමි භාර්යයා, දරුවන්, කල්‍යාණවන්තයන් ආදී වශයෙන් පරිභෝග කරගෙන, අන් අයටත් උදව් උපකාර කරගෙන ජීවත් වෙන්න පුළුවනි නම්, එය සිතේ සන්තෘෂ්ටියයි. සැනසිල්ලයි. නමුත් එයින් එහාට යමක් අපි ධර්මානුකූලව සිතිය යුතුයි.
එයට හේතුව නම් ආහාරපාන ගැනීම, නිදා ගැනීම, ජීවිතවල බිය හට ගැනීම, ඒ වගේ ම වර්ගයා බෝවීම, මේ ක්‍රියාවන් සත්වලෝකයේත් පවතින දේවල්, නමුත් උසස් මනසක් ඇතිව උප්පත්තියක් ලද මනුෂ්‍යයා විසින් ඊට වඩා ඉහළට සිතිය යුතුමයි. ඉතාම ඉහළට සිතා මනුෂ්‍යත්වයේ උපරිම ස්වභාවය උදාකර ගත්තේ අප තථාගත බුදුරජාණන් වහන්සේ ය.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ‘සබ්බඤ්ඤු’ වූ එනම් සියල්ල වටහාගත් අප තථාගත බුදුරජාණන් වහන්සේ මිනිස් සිතක ඇති කරගත යුතු උත්තරීතර ස්වභාවය අපට පෙන්වා දුන්නා. එහි ගැඹුරුම කෙළවරනම් දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයයි.
මෙන්න මේ නිසා අප සෑම කෙනෙකුගේ ම ජීවිත ධර්මානුකූලව, ලෞකික වශයෙන් සිතේ සතුටින් පවත්වා ගන්නා අතර, ආධ්‍යාත්මික වශයෙන් ජීවිතවල සුපසන්කමක්, නිවුණුකමක් ඇතිකරගත යුතුමයි. සුපසන් ජීවිතයකට මූලික වශයෙන් ලෞකිකවත්, ලෝකෝත්තරවත් දියුණුවක් මුල්කරගෙන හික්මීම හෙවත් සීලය පැවතිය යුතු බව මීට පෙර ලිපි මඟින් අප විසින් සාකච්ඡා කරනු ලැබුවා.
හික්මීමෙන් හෙවත් කායික, වාචසික සංවරයෙන් පිරිපුන් ජීවිතයකට ලෞකික වශයෙන් සිත්වල නිවීමක්, ඇවතුම් – පැවතුම්වල සංවරබවකුත් ඇතිවෙනවා වගේ ම විදර්ශනාවෙන් පෙන්වා දෙන අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මය මතු කොට දක්වන සම්‍යක් ප්‍රඥාව ඇතිකොට දක්වන උපකාරක ධර්මයන් බවට පත්වෙනවා.
අන්න ඒ ආකාරයෙන් ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත් ජීවිතවල සුපසන් බවක් ඇති කරන තවත් අගනා දහම් කොටසක් හෙවත් මානුෂීය ධර්ම කොට්ඨාශයක් පෙන්වා දෙන්න කැමැතියි.
ඒ තමයි "පරිත්‍යාගය" බෞද්ධ දර්ශනයෙහි මෙය ප්‍රධාන කොට දක්වන්නේ දානය හැටියටයි. බෝධිසත්ව උතුමෙක් තම ආධ්‍යාත්මික චාරිකාවෙහි පළමු කොට සම්පූර්ණ කරන්නෙ "දානය" බව දස පාරමිතා කතාවෙහි සඳහන් ව තිබෙනවා. එපමණක් නොවෙයි, යහපත් යැයි පවත්වන, පවසන සෑම චරිතයක ම මේ දානයට මුල් තැනක් දී තිබෙනවා.
"දානය" කියන වචනයේ තේරුම දීම කියන අදහසයි. එහෙත් බෞද්ධ දර්ශනයේ ගැඹුරු අදහස නම් අත්හැරීම කියන අදහසයි. දස පාරමිතා කතාවෙහි පාරමිතා විස්තරය සඳහන් කොට තිබෙන්නෙ මේ ආකාරයටයි. එනම්,

‘තණ්හා මාන දිට්ඨිහි අනූපහතා
කරුණුපායකොසල්ල පරිග්ගහිතා
දානාදියො ගුණා පාරමියෝ’



තණ්හා මද මාන දෘෂ්ටියෙන් බැහැරව කුසල කර්ම සකස් කරගෙන තමාගේ චිත්ත සන්තානය පිරිසුදු කිරීම දානය ආදී පාරමිතාවලින් බලාපොරොත්තු වෙනවා.
පාරමිතා යනු, පිරීමය, සම්පූර්ණ කිරීමයි. එවිට බෝධිසත්ව චරිතවලත්, යහපත් වූ මානුෂික ගුණාංග ඇති කරගත යුතු චරිතවලත් දානය, දීම, පරිත්‍යාගය ඇතිවිය යුතුමයි.
එහෙම නම් අද දවසේ අප "පරිත්‍යාගය" කියන අදහසින් පෙන්වා දෙන්නට බලාපොරොත්තු වෙන්නෙත් මේ කියන දානයමයි. එහෙත් මේ දානයෙන් අදහස් කරන අදහස් පෙළ සරල ආකාරයෙන් දකින්න, එහෙත් ගැඹුරු ආකාරයෙන් ජීවිතවලට එකතු කර ගන්න අපි කැමැතියි.
ගිහි ජීවිතයක වූවත්, පැවිදි ජීවිතයක වූවත් අප සෑම කෙනෙකුට ම නිවීමක් අවශ්‍යයයි. ඒ නිවීම අප නිතර කතා කරන වචනවලින් නම් සිතේ සතුට, ලද දෙයින් සතුටුවීම, සමගිය අනුන්ට ගරු කිරීම සහ අනුන්ගෙන් ලැබෙන ගෞරවය ආදී වශයෙනුයි.
‘දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. මේ ශාසනයෙන් අඩක් පමණ පවතින්නෙ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසා නේද?’ කියල.
‘භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වූයේ ‘මේ ශාසනයේ අඩක් නොව මුළු ශාසනය ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර හෙවත් සද්පුරුෂ ආශ්‍රය නිසා බවයි.’
එසේ නම් අපගේ ජීවිතවල සංසිදුණු බවක්, නිවුනු බවක් ඇතිවීමට නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් අවශ්‍යමයි. කල්‍යාණ මිත්‍ර කියන අදහස තුළ පළමුව තමා තමාට කල්‍යාණවන්තයෙක් වෙනවා සේම බාහිර ඇසුරට කල්‍යාණවන්තයෙක් ද අවශ්‍යයි. ඒ කල්‍යාණවන්තයා හෝ කල්‍යාණවන්ත බව යැයි පවසන වදන් පෙළ තුළ දානය, පරිත්‍යාගය, අත්හැරීම උපකාරය තිබෙන බව පැහැදිලියි.
ගුණයහපත් වූ මනුෂ්‍යයෙක් යැයි පවසන්නේ සිතිවිල්ලකින්, වචනයෙන් හෝ ක්‍රියාවකින් හෝ අන් අයෙක් වෙනුවෙන් යම් වූ ද සේවාවක්, පරිත්‍යාගයක්, උපකාරයක් කළ හැකි අයෙකුටයි.
මේ පරිත්‍යාගය බෝධිසත්ව උතුමෝ ඇස්, හිස්, මස්, ලේවල පටන් ජීවිත පරිත්‍යාගය දක්වා ම රැගෙන යනවා. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමාට අයත් වස්තුවක් පරිහරණයට පරිත්‍යාග කිරීම දානයයි. දානය ගැන සඳහන් කරන විට කොටස් තුනකින් පෙන්වා දිය හැකියි. එනම් දාන පාරමී, දාන උප පාරමී, දාන පරමාර්ථ පාරමී වශයෙනුයි. බාහිර වස්තු එනම් ආහාරපාන, ඇඳුම් පැළඳුම් ආදී පරිහරණයට ගත හැකි වූ යමක් කෙනෙකුට දීම දාන පාරමී නම් වේ. දාන උප පාරමී යැයි සඳහන් කරන්නේ තමාගේ ඇස්, හිස්, මස් ආදී ශරීර අංග දන්දීම හෝ පරිත්‍යාග කිරීමයි. පරමාර්ථ පාරමී යනුවෙන් සඳහන් කරන්නේ තමාගේ ජීවිතය පවා පරිත්‍යාග කිරීමයි. මෙය බෝධිසත්ව උතුමෙකුගේ ඉහළම පරිත්‍යාගයයි.

 බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි




 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment