ගිහි ජනතාව භික්‍ෂූන් වහන්සේලා ගැන මොන තරම් භක්තියක් දක්වනවාද කීවොත් පන්සලේ ඝණ්ඨා නාදයට පුළුවන් විනාඩි ගණනක් ඇතුළත මුළු ගමම පන්සලට කැඳවන්න. එංගලන්තයේ මහ රජ්ජුරුවන්ටවත් නැති අපූරු බලයක් පන්සලේ ඝන්ඨාර හඬට තිබෙනවා. මේ ප්‍රකාශයෙන් එදා මේ රටේ ගිහි ජනතාවත් භික්‍ෂූන් වහන්සේත් අතර පැවති සම්බන්ධතාවය. එකමුතුකම කොයිතරම් ද කියන එක හොඳට පැහැදිලි වෙනවා
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
පංචහී ඛෝ ගහපති පුත්ත ඨානේහි
කුලපුත්තෝ
උපරිමා දිසා සමණ බ්‍රාහ්මණා පච්චු
පට්ඨිතබ්බාතී
පින්වතුනි,
ගිහි පැවිදි සබඳතාවය නිසා ලද හැකි විශිෂ්ට ප්‍රතිඵලය මේ වස්සානය තුළ ලබා ගැනීමට සියලු දෙනා උත්සාහ කළ යුතුයි. පින් උපදවන උල්පතක් බඳු වූ මේ වස්සාන කාලය තුළ විවිධාකර පින්කම් ඉටුකර මෙ ලොවත් පරලොවත් සාර්ථක කර ගැනීමට අප සියලු දෙනාම උත්සාහ කර ගත යුතුයි.
පින්වතුනි, ඉහතින් සඳහන් කළේ අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයට අයත් ගාථා පාඨයක්. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම පාඨය දේශනා කළේ සැවැත්නුවර දෙව්රම් මහා විහාරයේ දී අනේපිඬු මහ සිටුතුමන් මුල්කරගෙනයි. එතුමා නිතර බුදුරදුන් හමුවීම සඳහා දෙව්රම් වෙහෙරට යනවා. ඒ වගේම භික්‍ෂූන් වහන්සේගේ සැප පහසුකම් පිළිබඳව සොයා බලනවා. බුදුරජාණන් වහන්සේ ඒ කතා කරන ගමන් සිටුතුමාට අවවාද අනුශාසනා කරනවා. එහෙම කරපු අනුශාසනාවක් තමයි මේ ධර්ම පාඨයෙන් කියවෙන්නේ. “ගෘහපති, පුත්‍රය කරුණු හතරකින් යුත් ආර්ය ශ්‍රාවකයා යසස, කීර්තිය වඩන්නාවූද, දෙව්ලොව ඉපදීමට හේතුවන්නා වූද, ගිහි සාමීචි ප්‍රතිපදාව පුරයි. ඒ කරුණු හතර මොනවාද? චීවර පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන කරුණුයි. මේ සිව්පසයෙන් භික්‍ෂු සංඝයා පුදන සලකන තැනැත්තා යසසටත්, අභිවෘද්ධියටත්, කීර්තියටත් පත්වන අතර දෙව්ලොව ඉපදීමට ද හේතුවන ප්‍රතිපදාවක් පුරයි. යනු ඒ ධර්ම පාඨයෙහි අදහසයි. බුද්ධ කාලීන භාරත සමාජයෙහි භික්‍ෂු සමාජය ක්‍රමයෙන් ව්‍යාප්ත වත්ම උන්වහන්සේලාගේ පැවැත්ම සඳහා සිව්පසය අවශ්‍ය වුණා. එකල විසූ සැදැහැවත් දායක දායිකාවෝ මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව එම සිව්පසය සපයාදීමෙන් සංඝ සමාජයේ වර්ධනය සඳහා මහත් උපකාරයක් කළා. අවුරුදු දෙදහස් පන්සිය ගණනක් ගතවෙලා ගියත්, අදත් අපේ මහා සංඝරත්නය යැපෙන්නේ ඒ අයුරෙන් සැදැහැවත් මහ ජනතාව විසින් පිරිනමනු ලබන සිව්පසය නිසයි. දායකයන් විසින් මහත් ගෞරවයකින් හා ශ්‍රද්ධාවකින් යුතුව ඒ අයකෙරෙන් සිවුරු පිරිකර ආහාර පාන, වාසයට සුදුසු සංඝාවාස හා බෙහෙත් ද්‍රව්‍ය පූජා කරන විට භික්‍ෂූන් වහන්සේ එම දායකයන් සඳහා මහත් වූ කරුණාවකින් යුතුව ඔවුන්ගේ දෙලොව අභිවෘද්ධිය සඳහා අන්‍යෝන්‍ය සහජීවනය සඳහා මෛත්‍රී සහගත සිතින් යුතුව යහ මඟ පෙන්වා දිය යුතු බව බුදුරදුන් සඳහන් කර තිබෙනවා. මෙයින් අදහස් කළේ කුමක්ද? මේ දෙ පිරිස අතර පළමුව කල්‍යාණ මිත්‍රත්වයක් විශ්වාසයක් ගොඩනැඟිය යුතු බවයි. භික්‍ෂූන් වහන්සේ එක පැත්තක් ගිහියා තවත් පැත්තක් සිට කටයුතු කරන්නට වුණොත් එය දෙපිරිසේම අයහපත පිණිස හේතුවෙනවා. ඒ නිසා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගිහි සාමීචි ප්‍රතිපදාව නිසි සේ ගොඩනැංවීමට නම් ඒ දෙපිරිසම ඔවුනොවුන්ට කරුණු (5) පහකින් සංග්‍රහ කළ යුතු බව. කුල පුත්‍රය, උපරිම දිසාව යයි කියන ලද මහණ බමුණන් සඳහා මේ කරුණු පහෙන් සංග්‍රහ කිරීම සැදැහැවත් ගිහියාට පැවරෙන යුතුකමයි. මෛත්‍රී සහගතව හැසිරීමෙන් (මෙත්තේන කාය කම්මේන) මෛත්‍රී සහගත වචන කථා කිරීමෙන් (මෙත්තේන වචීකම්මේන) මෛත්‍රී සහගතව ගෞරව දැක්වීමෙන් (මෙත්තේන මනෝ කම්මේන) ආහාරපාන වැනි දේ පිළියෙළ කරදීමෙන් (ආමිසානුප්පදානේන) මේ ආකාරයට භික්‍ෂූන් වහන්සේ සඳහා යුතුකම් ගිහියා අතින් ඉටුවෙනකොට භික්‍ෂූන් වහන්සේත් යුතුකම් පහකින් තම දායක කාරකාදීන් සඳහා සංග්‍රහ කළ යුතු බව බුදුරදුන් දේශනා කළා.
“ඉමේහි ඛෝ ගහපතිපුත්ත පංචහි ඨානේනි කුල පුත්තේන උපරිමා දිසා සමණ බ්‍රාහ්මණ පච්චුපට්ඨිතා ඡාහි ඨානේහි කුලපුත්තං අනුකම්පන්ති. පාපා නිවාරෙන්ති, කල්‍යණෙ නිවේසෙන්ති, කල්‍යාණෙන මනසා අනුකම්පන්ති අස්සුතං සාවෙන්ති. සුතං පරියෝදපෙන්ති සග්ගස්ස මග්ගං ආචික්ඛන්ති” මෙම දේශනා පාඨයට අනුව ප්‍රධාන වශයෙන් කරුණු පහකින් තම දායක කාරකාදීන්ට සලකන්නට ඕනෑ බව බුදුරදුන් පැහැදිලි කර තිබෙනවා. සියලු පව්වලින් තම දායකයා වළක්වාලීම, නිතර කුසල් දහම්හි යෙදවීම, තම දායක කාරකාදීන්ගේ දෙලොව අභිවෘද්ධියට දියුණුවට හේතු වෙන මඟ කියා දීම, දහම පිළිබඳවත් සත් චාරිත්‍ර පිළිබඳවත් තම දායකයන් දැනුවත් කිරීම හා නිවනට මඟ කියාදීම වේ.
මේ කරුණු සමස්තයක් ලෙස ගෙන බලන විට ගිහි පැවිදි දෙපිරිස අතර සහ සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සඳහාත් ඔවුනොවුන්ගේ ආරක්‍ෂාව හා අභිවෘද්ධිය සඳහාත් කොයිතරම් දුරට ඉවහල් වේදැයි යන්න අපට සිතාගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ විසූ යුගයට වඩා පසු කාලය වන විට භික්‍ෂූන් වහන්සේට නොයෙකුත් කරදරවලට මුහුණ දෙන්නට සිදු වුණා. විශේෂයෙන් විදේශීය ආක්‍රමණ හා බලපෑම් හේතුවෙන් භික්‍ෂූන් වහන්සේට ජීවත්වීම පවා අසීරු සිද්ධියක් වුණා.
එහෙත් අපේ සැදැහැවත් බෞද්ධයන් උන්වහන්සේ අත්හැර දැමුවේ නැහැ. සිව් පසයෙන් සලකමින් පන්සලත් රැකගෙන ආගමත් ආරක්‍ෂා කරගත්තා. භික්‍ෂූන් වහන්සේත් ගිහි ජනතාවගේ ආරක්‍ෂාව සලසමින් රටත් ශාසනයත් රැක ගත්තා. අද අපිට වඳින්නට පුදන්නට මෙ පමණකින් හෝ වෙහෙර විහාර ආරක්‍ෂා වී ඇත්තේ ඒ නිසයි. ඉංගී‍්‍රසීන් මේ රට පාලනය කරන කාලයේ මෙහි සිටි එක්තරා ආණ්ඩුකාරයෙක් එංගලන්තයේ සිටි ජෝර්ජ් මහ රජතුමාට යැවූ ලිපියක සඳහන් කරුණක්. ‘සිංහල බෞද්ධයන් කියන්නේ මහ පුදුම ජාතියක් ඔවුන් විහාරස්ථානයත් භික්‍ෂුන් වහන්සේත් සලකන්නේ තමන්ගේ ක්‍ෂේම භූමියක් හැටියටයි. භික්‍ෂූන් වහන්සේ යමක් කීවොත් එය මුදුනින් පිළිගන්න ගතියක් ඔවුන් තුළ තිබෙනවා. භික්‍ෂූන් වහන්සේ ඔවුන්ගේ රැකවරණය ආරක්‍ෂාව අභිවෘද්ධිය සලසා දෙන අතර ගිහි ජනතාව විහාරස්ථානයත් භික්‍ෂූන් වහන්සේත් ආගම ධර්මයත් ආරක්‍ෂා කරගන්නවා.
මේ ගිහි ජනතාව භික්‍ෂූන් වහන්සේලා ගැන මොන තරම් භක්තියක් දක්වනවාද කීවොත් පන්සලේ ඝණ්ඨා නාදයට පුළුවන් විනාඩි ගණනක් ඇතුළත මුළු ගමම පන්සලට කැඳවන්න. එංගලන්තයේ මහ රජ්ජුරුවන්ටවත් නැති අපූරු බලයක් පන්සලේ ඝන්ඨාර හඬට තිබෙනවා. මේ ප්‍රකාශයෙන් එදා මේ රටේ ගිහි ජනතාවත් භික්‍ෂූන් වහන්සේත් අතර පැවති සම්බන්ධතාවය. එකමුතුකම කොයිතරම් ද කියන එක හොඳට පැහැදිලි වෙනවා. මේ තත්ත්වය නිසා රටේ දියුණුව ඇති වුණා. ජනතාවගේ බලය වැඩි වුණා. සමඟි සම්පන්න බව වර්ධනය වුණා.
මේ පුංචි රට ලෝකයේ සෙසු රටවල් හා සසඳන විට ඉතාම කුඩා රටක් වුවත්, මේ රට ආක්‍රමණය කරන්නට කැසකවාගෙන පැමිණි මහා බලවත් ජාතීන් තුනකට අවුරුදු ගණනක් සටන් කරලත් ලංකාවම අත්පත් කර ගැනීමට බැරිවුණේ ඒ හාස්කම නිසයි. ගිහි පැවිදි සබඳතාවය බිඳී ගිහින්. පන්සලත්, ගමත් ඈත් වුණාට පසුව තමයි මේ රට පාරාදීසයක් බවට පත්වුණේ. එදා ඉඳල පින්වත්නි අප භේදභින්න වුණා. අසමගි වුණා. ගුණ ධර්මවලින් පිරිහුණ ඥාති සම්බන්ධකම් බිඳ වැටුනා. ආගම දහම නොහඳුනන මව්පිය වැඩිහිටියන් නොසලකන බෞද්ධ වත් පිළිවෙත් ගරු නොකරන ගුරුන් මවුන් නොසලකන අය අපේ රටේ ඇති වන්නට වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනුයි. ඉතින් මෙන්න මේ වගේ දේවල් ගැන හිතලා බොදු සංස්කෘතික දියුණුව වර්ධනය කරන්න උත්සාහ කළොත් යළිත් ඉදිරියට යෑමට පහසුවක් වේවි.
ඔබ සැමට තෙරුවන් සරණයි
බමුණාකොටුව සූරියගොඩ
ශ්‍රී සුදස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ
හිඳව සෝභිත හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නිකිණි අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 අගෝස්තු 17 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ
ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment