Labels

Monday, July 27, 2015

බුදු සමයේ උදාවෙන් කාන්තාව ලද වරප්‍රසාද


බුදුදහම සියලු මානව ප්‍රජාවට නිදහසේ සිතන්නට - විමසන්නට අවස්ථාව ලබා දුන්නාසේම ඒ ඒ අංශ ඔස්සේ වරප්‍රසාද ද ලබාදුන් වගට බෞද්ධ සාහිත්‍යය මැනවින් කරුණු දක්වන අතර, විශේෂයෙන් කාන්තාවට ද එමගින් ලබා දෙන්නේ ඉහළ පිළිගැනීමකි. ඒ බව බුදුරදුන් විසින් බොහෝ අංශ ඔස්සේ ලෝකයාට පෙන්වා දී ඇත.

අප ලොවුතුරා බුදුපියාණන් වහන්සේ භාරතයෙහි පහළ වනවිට කාන්තාව අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටි වග බමුණු ආධිපත්‍යය දෙස අවධාරණය යොමු කිරීමෙන් පෙනී යයි. නමුත් බුදුහිමියන් ඒ සියලු ඉගැන්වීම් බැහැර කොට කාන්තාව යනු ඉතා ඉහළ වටිනා චරිතයක් බව දහම මගින් උගන්වා ඇත. බමුණන් විසින් වසලියක් ලෙස සැලකූ කාන්තාවට නිසි තැන උදාකර දුන් බුදුරජාණන් වහන්සේ බොහෝ කරුණු මගින් එය ඉතා කදිමට සනාථ කොට ඇත. සමාජයෙන් හිමිවිය යුතු වරප්‍රසාද සියලු අංශ ඔස්සේ නිසි ආකාරයෙන් ලබාදුන් උන්වහන්සේ අගනා ශාස්තෘවරයකු ලෙස මනාව ක්‍රියා කොට ඇති වග පෙනී යයි.
 ඒ අනුව කාන්තාවට බුදුදහම මගින් හිමි වූ වරප්‍රසාද මෙලෙස වර්ග කිරීමට හැකිය. එය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.

1  ගිහි සමාජයෙන් ලැබූ වරප්‍රසාද
2. පැවිදි සමාජයෙන් ලැබූ වරප්‍රසාද යනු ඒ දෙකයි.
මෙම අංශ දෙකින් මූලික ලෙස කාන්තාව ගිහි සමාජයෙන් ලද වරප්‍රසාද මේ අයුරින් වෙන් වෙන්ව දැක්වීමට හැකිය.

1. මවක 2. ගෘහනියක 3. සමාජ සේවිකාවක , 4. උපාසිකාවක ආදී වශයෙන් එම වරප්‍රසාද ඇය විසින් ලබන ලදී.
ගිහි සමාජයෙහි වෙසෙන කාන්තාව මවක් ලෙස ඉතා ප්‍රශංසා මුඛයෙන් අගය කොට ඇති සම්බුදු හිමියෝ ආදර්ශමත් ශාස්තෘවරයකු වශයෙන් දින 07 කින් කලුරිය කළ මහාමායා දේවිය තව්තිසා දෙව් ලොව මාතෘ දිව්‍යපුත්‍රයා නමින් උපත ලැබූ පසු පස්වන වස් කාලය තුළ තම මෑණියන්ට අභිධර්මය දේශනා කිරීමට දෙව් ලොවට වැඩම කළහ. එසේම තම සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියට මෙහෙණි සසුන ඇරැඹීමට අවසර ලබා දී ඇයට ‘බුද්ධ මාතා’ යන ගෞරව නාමය ද පිරිනැමූ බව බෞද්ධ සාහිත්‍යය කරුණු දක්වයි. බුදු දහම මව අගය කරන අවස්ථා බොහෝ ය. ඒ අනුව මහා මංගල සූත්‍රයේ දී ‘මාතා පිතූ උපට්ඨානං’ යනුවෙන් මවුපිය උපස්ථානය අගය කරන අතර වසල හා පරාභව සූත්‍ර වලදී මව්පිය උපස්ථානය සිදු නොකරන පුද්ගලයා වසලයෙක් හා පිරිහීමට පත්වන අයකු බව පෙන්වා ඇත. එසේම ‘මාතා මිත්තං සකාසරේ’ මව නිවසේ මිතුරිය ලෙසද අගය කරන බුදුදහම, සිඟාලෝවාද සූත්‍රයේ දී දරුවන් විසින් මව් පියන්ට ඉටුකළ යුතු යුතුකම් 05 ක් පෙන්වා දී ඇත. ඒවා නම්,

1. වයස්ගත මවුපියන් පෝෂණය කිරීම
2. ඔවුන් රැකබලා ගැනීම
3. ඔවුන්ගේ දායාද ආරක්ෂා කිරීම
4. කුල පරපුර රැක ගැනීම
5. මියගිය පසු පින්කම් කොට පිංදීම

එසේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් හෙබි මව දරුවන්ගේ මුල් ගුරුවරයා බවද ආහුණෙය්‍ය ගුණයෙන් හෙබි ඇය දරුවන් නමැති ප්‍රජාවට අනුකම්පා කරන බවද බුදුරදුන් පෙන්වා දී ඇත.

බ්‍රහ්මාති මාතා පිතරෝ
පුබ්බාචරියාති වුච්චරේ
ආහුණෙය්‍යා ච පුත්තානං
පජාය අනුකම්පකා’


මව මෙන්ම ගෘහණිය ද බුදු දහම මගින් බොහෝ වරප්‍රසාද ලබා ඇති බව බොහෝ කරුණු අනුව සනාථ කිරීමට හැකිය. ඒ අනුව ගෘහණිය යනු නිවසේ අධිපතිනිය ලෙස ක්‍රියාකිරීමේ නිදහස ලබාදුන් බුදුහිමියෝ සමාජ සංස්ථාව තුළ දිවි ගෙවන සැමියන්ට විවාහයේ දී හමුවන භාර්යාවරු 07 දෙනකු පිළිබඳ ‘සප්ත භරියා’ සූත්‍රයේ දී කරුණු දක්වති.
ඔවුන් නම්,

1. මාතු භරියා - මවක් වැනි බිරිය
2. සඛී භරියා - මිතුරියක් වැනි බිරිය
3. භගනි භරියා - සොහොයුරියක් වැනි බිරිය
4. දාසි භරියා - දාසියක් වැනි බිරිය
5. වදක භරියා - වදකාරියක් වැනි බිරිය
6. චෝර භරියා - සෙරියක් වැනි බිරිය
7. ස්වාමි භරියා - ස්වාමි දියණියක් වැනි බිරිය

මොවුන් අතර මාතු, සඛී, භගිනි, දාසි යන භාර්යාවරු බුද්ධ ‍ෙද්ශනාවේදී අගය කොට ඇත. ගෘහණිය විසින් බිරියට ඉටුකළ යුතු අගනා යුතුකම් 5ක් උගන්වයි.

1. ගරු කිරීම
2. අවමන් නොකිරීම
3. සම්පත් පැවරීම
4. වස්ත්‍රාභරණ ලබාදීම
5. පර ස්ත්‍රීන් කරා නොයෑම

එසේම ‘චතුසංවාස’ සූත්‍රයේ දී විවාහයට සුදුසු හා නුසුදුසු භාර්යාවරු මෙසේ දක්වති.

1. ඡවෝ ඡවාය සද්ධිං සංවසත ( මළ මිනියක් වැනි පුරුෂයෙක් හා ස්ත්‍රියක් විසීම)
2. ඡවෝ දේවියාය සද්ධිං සංවසති (මළ පුරුෂයෙක් දෙවගනක් හා විසීම)
3. දේවෝ ඡවාය සද්ධිං සංවසති (දෙවියෙකු මළ ස්ත්‍රියක හා විසීම)
4. දේවෝ දේවියාය සද්ධිං සංවසති (දෙවියෙක් දෙවගනක් හා විසීම)

ගිහි සමාජයෙහි වෙසෙන කාන්තාවට සමාජ සේවිකාවක වශයෙන් වරප්‍රසාද සියලු කරුණු ඔස්සේ හිමි කර දුන් ලොව්තුරා බුදුපියාණන් වහන්සේ වනිතාවක - සමාජ සේවිකාවක ලෙස අගය කිරීමේදී ඔවුන්ගේ ගුණ මෙසේ අගය කොට ඇත.

1. පති පූජිකා - (ස්වාමියා සතුටු කරවන)
2. කුල නන්දනී - (කුලය දූෂණය නොකරන)
3. ධම්ම චාරිනී - (දහම අනුව හැසිරෙන)
4. ජන රංජනී - (ජනතාව සතුටු කරන)
5. වර අංගනී - (සියලු කාන්තාවන්ට උතුම් වන)

මේ අයුරින් කාන්තාව අගැයීමේ දී උපාසිකාවට ද ප්‍රධාන තැනක් බුදු දහම ලබා දෙයි. උපාසිකාව යනු බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය තැනැත්තියට යි. දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය කි‍්‍රයාවන්හි නිරත වන ඔවුන් අතර බුද්ධ කාලයේ දිවිගෙවූ බුදුරදුන්ගේ අග්‍ර දායකාව වන විශාඛාව ද සාමාවතී, සුමනා, බන්ධුල මල්ලිකා ආදී උපාසිකාවන් ද, මාර්ගඵල අවබෝධ කරගෙන නිවන් පසක් කර ගැනීම මගින් බුදු සමය උපාසිකාව කොතරම් දුරට අගය කරන්නේ්ද යන්න පැහැදිලි වෙයි.
මේ ආකාරයට බමුණු සමාජ ආකල්ප බැහැර කරමින් සියලු අංශ ඔස්සේ සර්වකාලීන නිදහස ලබාදීමට ක්‍රියාකළ බුදුරදුන්, ගිහි සමාජයෙන් මෙන්ම පැවිදි සමාජය මගින්ද ඒ ඒ සුදුසුකම් පරිදි තනතුරු පිරිනමා ඇත. ඒ අනුව

1. චිරරාත්‍රශු භික්ෂුණිය - මහාප්‍රජාපතී
2. අභිඤ්ඤාලාභී භික්ෂුණිය - භද්ද කච්චායනා
3. සෘද්ධිමත් භික්ෂුණිය - උප්පලවන්නා
4. ධූතාංගධාරී භික්ෂුණිය - පටාචාරා
5. ධර්ම කථික භික්ෂුණිය - ධම්මදින්නා

ඉහත සඳහන් කරුණු දෙස අවධානය යොමු කිරීමේදී අන්ත අසරණ තත්ත්වයෙහි පසු වූ කාන්තාවට කොතරම් දුරට නිදහස ලබා දෙන්නේ ද යන්න මැනවින් සනාථ වෙයි. එපමණක්ද නොව මවක, ගෘහනියක, සමාජ සේවිකාවක, උපාසිකාවක වශයෙන් කාන්තාව කොතරම් ඉදිරියට පැමිණ ඇත්තේ ද යන්න බමුණු ආකල්ප හා බුදුදහම දෙස බැලීමෙන් අනාවරණය වේ. මෙතෙක් ලොව පහළ වූ උත්තරීතරම ශාස්තෘවරයා වන අප ගෞතම බුදුපියාණන් වහන්සේ සමාජ ප්‍රගමනයට සුවිශාල මෙහෙවරක් සිදුකරන කාන්තාවට නිසි ගෞරවය ලබා දී ඇති අන්දමද එමගින් නූතන කාන්තාව ද ජාති, කුල, ආගම් වර්ණ භේද වලින් තොරව උන්වහන්සේ ලබාදුන් වරප්‍රසාද අනුව දිවි ගෙවන බවද පැහැදිලිය.

 ඉමදූව දිවෙලේගොඩ පුරාණ විහාරවාසී
කනංකේ විජිත නන්ද හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2553 ක් වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2009 ක් වූ දෙසැම්බර් මස 09 වන බදාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment