Labels

Thursday, July 30, 2015

වස් විසීම


 සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පළවෙනි වස් විසීම සිදු වූයේ බරණැස ඉසිපතනයේය. ඒ පස්වග භික්ෂූන් වහන්සේලා සමගය. එය ප්‍රථම වස් විසීම වුවත් දම්සක් පැතුම් සූත්‍රය මෙන් පුබ්බේ අනනුස්ස තෙසු ධම්මේසු මෙන් පෙර නොඇසූ, නොවූ දෙයක් නොවීය. මීට පෙර වස් විසීම කළා වූ දෙයක් බව වස් සමාදන් නොවූ භික්ෂූන් වහන්සේලා ගේ වස්කාලයෙහි චාරිකාවට විරුද්ධ දොස් නැඟූ මිනිසුනගේ දෝෂාරෝපනවලින් පැහැදිලි වෙයි.
බුද්ධ ශාසනයෙහි භික්ෂූන් වහන්ස්ලා ගේ වර්ධනයක් වූ කාලයෙහි භික්ෂූන් වහන්සේලා වස් කාලයෙහි වස් නොවැසූහ. දඹදිව ඒ වන විටත් තිබූ පෞරාණික ධර්මයට ගරු නොකළහ. සිරිත් පරිදි උන්වහන්සේලා හේමන්ත, ගිම්හාන, සෘතුවලදී මෙන්ම වස්සාන සෘතුවේදී ද චාරිකාවේහි යෙදුනහ. තීර්ථකයන් පවා වස්කාලයෙහි වස්වසා ඇති නමුත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ හේමන්ත ගිම්හාන හා වස්සාන යන සෘතු තුනේදීම නිල් තණ පාගමින් ඒකේන්ද්‍රිය ජීවයන් පෙළමින්, කුඩා සතුන් විනාශ කරමින් මොන හේතුවක් නිසා ඇවිදින්නේදැයි දොස් කියමින් නින්දාකරන බව දැනගත් භික්ෂූන් වහන්සේලා ඒ බව බුදුරජාණන් වහන්සේට කීහ.
මහජන මතයට ගරු කල සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ මහජන විරෝධතාවය දැනගෙන, ඒ වන විටත් බොහෝ දෙනා විසින් පිළිපදින ලද වස් විසීම සුදුසු යැයි පිළිගෙන තම ශ්‍රාවකයන් වහන්සේලාට ද “අනුජානාමි භික්ඛවේ වස්නානේ වස්සං උපගන්තුං” යනුවෙන් මහණෙනි, මම වස්සාන සෘතුවෙහි වස් එළඹෙන්නට අනු දනිමි.
යයි දඹදිව ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවත ආ වස් වැසීමේ සිරිත අනුමත කළහ. එම අනුමැතියත් සමඟම එතෙක් කාලයක් පැවත ආ එනම් ප්‍රථම බෝධියෙහි හෙවත් බුද්ධත්වයෙන් පළමු විසි අවුරුදු කාලයක් තුළ වස් විසීම සඳහා ප්‍රඥප්තියක් පැනවූහ. වැසි කාලයෙහි එක තැනක වාසය කිරීමේ පෞරාණික සිරිතට ගරු කරමින් එදා බරණැසදී ප්‍රථම වතාවට වස් විසූවත්, ඒ ප්‍රඥප්තිය නිස කළා වූ දෙයක් නොවීය.
වස් විසීම සඳහා බුද්ධ ප්‍රඥප්තියක් පැනවීමෙන් පසුවත් වරින් වර වස් විසීම පිළිබඳව විවිධ අනුප්‍රඥප්ති පනවන්නට විය. ඒ අනුව පෙරවස් එළඹීම පසුවස් එළඹීම යයි වස් එළඹීම් දෙකකි. ඇසළ පුර පසළොස්වක දිනට පසුදින වූ තීථි වශයෙන් ගත් කළ අව පෑල විය දිනයෙහි වස් විසීමයි. දෙවෙන වස් එළඹීම වනුයේ ඇසළ පුරපෝය දිනකට මසකට පසුව එළඹෙන නිකිණි මස අවපෑල විය දිනයෙහි වස් විසීමයි. පෙර වස් විසීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් විය යුතුය. පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වස් තුන් මාසය ඉක්මවෙන වප් පුර පසළොස්වක දා වස් පවාරණය කළ යුතුය. පෙරවස් හා පසුවස් සමාදන් වීමේ වෙනස වන්නේ පසුවස් විසූ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථානවල කඨින පින්කම් නොපැවැත්වීමත් ඒ නිසා උන්වහන්සේලාට කඨින චීවරයක් නොලැබීමත්ය. ඒ සඳහා අයිතියක් නැතිවීම එයට හේතුවයි.
 පෙරවස් වසා වස් ආරක්ෂා කරගෙන වප් පුර පසළොස්වක දා මහා පවාරණයෙන් වස් පවාරණය කළා වූ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථානවල කඨින පිංකම් පැවැත්වීමටත්, කඨින චීවර ලබා ගැනීමටත් අයිතියක් ඇත. පෙරවස් විසූ තම විහාරස්ථානයේ ගරුතර හාමුදුරුවන් වහන්සේගේ කැපවීම මත වස් ආරක්ෂා කර ගැනීමෙන් සැදැහැවතුන්ට තම විහාරස්ථානයේ කඨින පිංකම් පවත්වා අටමහ කුසලයන්ගෙන් පළමු පින්කම වන කඨින චීවර මහා පින්කම කරගැනීමට ද අවස්ථාව උදාවනු ඇත.
හේමන්ත, ගිම්හාන හා වස්සාන යන සෘතු තුනෙන් වස් විසීම කරනුයේ වස්සාන සෘතුවෙහිය. එම කාලයෙහි වස් එළඹීමට සුදුසු වන්නේ බොහෝ දෙනා පිළිගත් පරිදි අධික වර්ෂාව නිසාත් වැසි ජලය ලැබී පැළෑටි පවා හොඳින් ලියලන, සතුන් පවා එක්තැන් වී වාසය කරන නිසායැයි පැහැදිලිය. බුද්ධ නියමය අනුව භික්ෂුව පෙරවස් හෝ පසුවස් සමාදන් විය යුතුය. ඒ බව “නභික්ඛවේ වස්සං න අපගන්තබ්බං, යො න අපගච්ඡෙය්‍ය අපාත්ති දුක්කටස්ස” වන පාඨය අනුව මහණෙනි වස් නොඑළඹෙන්නේ නම් දූකුලා ඇවැත් සිදුවන්නේ යැයි වදාරා ඇත.
යම්කිසි කරදරයක් නිසා පෙර වස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් නිකිණි අව පෑලවිය දා පසු වස් සමාදන් විය යුතුය. වස් එළඹීමට අකැප ස්ථානද ඇත. එනම් ගස්යට - එළිමහන්වල, ඡත්‍රයට, රුක්ගොමුවල, ගස්බෙනවල, සොහොන් කිළිය වැනි ස්ථානයි. තහනම් ස්ථානවලින් තොර වූ සේනාසනයකම වස් විසිය යුතුය. තහනම් ස්ථානයන්හී වස් විසුවහොත් ඒ භික්ෂුවට ද දූකුලා නම් ඇවැත් සිදුවන බවට පනවා ඇත. වස් විසිය යුතුම නිසා වහලක් සහ දොරක් ඇති සේනාසනයක්ම සොයාගෙන වස් විසිය යුතුය. එවැනි සුදුසු තැනක් සොයා ගත නොහැකි වුවහොත් සේනාසනයක් දෙන කෙනෙක් හෝ නැත්නම් අනුන්ගෙන් උදව් ඉල්ලාගෙන සේනාසනයක් තනාගෙන හෝ වස් විසිය යුතුය යන්න බුද්ධ නියමයයි.
වස්විසීමේදී විශේෂ ලක්ෂණයක් වන්නේ, වස් විසීමට නියමිත දිනයන්හී මධ්‍යම රාත්‍රිය වන විට උපසම්පදා කිසිම භික්ෂුන් වහන්සේ නමක් මග තොටක වැඩ නොසිටීමයි. පෙරවස් සමාදන් වෙනවා නම් කවර හෝ ස්ථානයක මධ්‍යම රාත්‍රියේදී වැඩ සිටීම එයට හේතුවයි. මෙම සිද්ධිය සමාන වන්නේ සිංහල හින්දු අලුත් අවුරුදු උදාව සමරන වැසියන් නැකතට ලිප ගිනි නිවා නැකතටම ලිප ගිනි මොලවන්නා වූ අවස්ථාවටයි. ඒ නොනගත කාලය තුළ කිසිම ලිපක ගිනිදැල්වෙන්නේ නැත. නැකතට සියලුම ලිප් මොලවා ඇත යනුවෙන් ඒකාන්ත කොට කිව හැකි සේම, කිසිම භික්ෂුවක් මේ මොහොතෙහි පාරක තොටක නැතැයි ඒකාන්ත කොට කිව හැකි වීමයි.
වස් විසීම ආරම්භ වූ කාලයෙහි ඇසල මස අව පෑල වියදා සිදු වූනමුත් පසුව එයද වෙනස් විය. බිම්බිසාර රජතුමාගේ කැමැත්ත වී ඇත්තේ පෝයට පසුදින නොව පෝය දිනම වස්වසනවා දැකීමයි. ඒ බව රජතුමා දූතයකු මගින් භික්ෂූන්ටත්, භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේටත් කීහ. එම ඉල්ලීම, අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා “අනුජානාමි භික්ඛවේ රාජුනං අනුවත්තිතුං” යනුවෙන් මහණනි, රජුගේ මතයට, රජුට එකඟව පවතින්නට අනුදනිමියි වදාළහ. එම නියෝගයේ සිට ඇසළ පුන් පෝයදා වස් විසූහ. පසුකාලයෙහිදී එයද වෙනස් වී මුල් බුද්ධ වචනයට අනුවම වර්තමානයෙහි ද ඇසළ අවපෑල විය දින හෝ නිකිණි අව පෑල විය දා වස් විසීම සිදුවෙයි.
වස් වසන භික්ෂූන් වහන්සේලාට වස් විසීමට ආරාධනා කරන අවස්ථාවේදී බුලත්ගොටු සමග දායකයෝ වැසි සළු ද පූජා කරති. වැසි සළු ද පූජා කිරීමට මුල් වූයේ විශාකා මහා උපාසිකාවගේ ඉල්ලීමක් අනුවය. වස්කාලයෙහි චාරිකාවෙ හැසිරුනේ නැතත්, භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාත චාරිකාවෙහි යෙදුනාහ. එම පිණ්ඩපාතයෙහි වැඩිය භික්ෂූන් වහන්සේලා වර්ෂාවට අසු වී හොඳටම තෙමී, පිඩාවට පත්ව ඇති බව දුටු විශාඛා මහා උපාසිකාව ස්වාමීනි මම ජීවිතාන්තය දක්වාම සංඝයාට වැසි සළු පුදන්නට කැමැත්තෙමියි ප්‍රකාශ කළාය. ඇයගේ එම ඉල්ලීමට ඉඩ දීමක් වශයෙන් වස් වසනා භික්ෂූන්ට “අනුජානාමි භික්ඛවේ වස්සිකසාටිකං වස්සානං චාතු මාසං අධිට්ඨාතුං තතොපරං විකප්පේතී” මහණෙනි වස්සාන මාසයෙහි වැසි සළුව අධිෂ්ඨාන කොට ප්‍රයෝජනයට ගන්නටත්, එයින් පසුව විකප්පනය කරන්නටත් අනුදනිමි, වදාළහ. ඒ නියමයට අනුව වස් වසාන දින දායක පින්වතුන් වැසි සළුද පූජා කරති. නානකඩය නමින් හඳුන්වන්නේ ද එම වැසි සළුවයි.
ඇසළ අව පෑල විය වස් විසූ භික්ෂූන් වහන්සේ වස් ආරක්ෂා කරගෙන වප්පුර පෝයදා මහා පවාරණයෙන් වස් පවරණය කිරීමෙන් පසු එම ස්වාමීන් වහන්සේලා වස් විසූ විහාරස්ථානයන්හි කඨින චීවර මහා පිංකම් කිරීමට සුදුසු කම ලැබෙයි. වස් පවාරණය කරන්නාවූ පෝය දිනද වස් කාලයටම අයිති දිනයකි. එබැවින් එදිනද වස් විසූ ස්ථානයෙහිම සිටිය යුතුය. පිටතට වඩින්නේ නම් සත්තාහ කරණීයෙන් යා යුතුය. එනම් දින හතක් ඇතුළත ආපසු පැමිණෙමියි යන හැඟීමෙන්ය. වස් පවාරණය කළ දින වුවද වස් විසූ තැන පිළිබඳව අපේක්ෂාවක් නැතිව ගියහොත් වස් කැඩීම සිදුවෙයි.
සෑම වර්ෂයකදීම ඇසළ අව පෑල විය දා වස් සමාදන් වන නමුත් ඇතැම් ෂට අධික පෝය යෙදුන අවුරුදුවලදී වෙනස් විය හැකිය. 2012 ක් වූ මේ වර්ෂය එවැනි එකකි. මෙවර වස් විසීම ඇසළ මස අව පෑල විය දින සිදු නොවීය. ඒ වෙනුවට වස් වසනුයේ අගෝස්තු මස 02 දිනට යෙදෙන නිකිණි අව පෑල වියදාය. පෙර වස් පවාරණය කෙරෙනුයේ වප් පෝය යෙදෙන ඔක්තෝබර් මස 29 වැනි දිනය. මෙවර මේ වෙනස ට හේතුව මේ වර්ෂයට පෝය 13 ක් යෙදීමයි. ගිම්හාන සෘතුවේ අවසාන පෝය දිනයේ පොහොය විනය කර්මය කොට පසුදින පෙරවස් සමාදන් වීම විනයානුකූල ක්‍රමය නිසා මෙවර අධික පෝය දිනයක් යෙදී ගිම්හාන සෘතුවේ අවසාන පෝය වූ 10 වන පෝයද අගෝස්තු මස 01 දිනට යෙදී ඇති බැවින් අවපෑලවිය යෙදෙන අගෝස්තු 02 දින වස් විසීම සිදු කරයි..

 තෙබුවන ඤාණින්ද හිමි

2012.අගෝස්තු  මස 29 වෙනි දින දිනමින පුවත්පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment