මවු පියන්ගේ උතුම් චරිත ලක්ෂණ ස්වාධීන පවුල් ජීවිතයකට එළඹෙන දරුවන්ට
මහඟු අත්වැලක් වනු ඇත. මීට
අමතරව කවර වෘත්තියක නිරත වන පියෙකු විසින් වුවද තම බිරිය හා දරුවන් සමඟ
හැකිතාක් කාලය ගත කිරීමට
වගබලා ගත යුතුය. පවුල් සංස්ථාවේ සතුට, සමගිය හා සාමය සුරක්ෂිත වනුයෙ,්
එකට විසීම තුළින් ඇතිවන භක්තිය හා
ගෞරවය නිසා ය. එසේ ගත නො කිරීමෙන් සතුට, විනෝදය ආදර භක්තියට ඇතිවන
හානියට
ආපසු පිළියම් කිරීම අපහසු ය.
මේ විශ්වය තුළ මව් පිය පදවිය සුරකින කාන්තාව සහ පුරුෂයා තරම් අතිශය බැරෑරුම් කර්තව්‍යයක් කරනු ලබන වෙනත් කෙනෙකු ඇතැයි සිතිය නො හැකිය. පෙරදිග සමාජය තුළ මව හා පියා බුදුවරු හා දෙවියන් තරම් උසස් කොට සැලකීමෙන් මෙය මැනවින් පැහැදිලි වේ. මෙයින් තහවුරු වන ප්‍රධාන කරුණ නම් ඔවුන් සදාචාරයේ හා දයාවේ ප්‍රතිමූර්ති වන බවයි. තම රැකියාව ගෘහ කාර්යය ස්වාමිපුරුෂයා හෝ භාර්යාව වෙනුවෙන් කළයුතු වගකීම් ආදී දහසක් ප්‍රශ්න මැඳ තම අවශ්‍යතාවන් පසකෙලා සිටින මවුපියවරුන් ජීවිතය සමබර කර ගන්නේ කෙසේද යන ගැටලුව වර්තමානයේ දී අතිශය පුළුල් ලෙස සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක් ලෙස සැලකිය යුතුය. සියලු කැපකිරීම් දරුවන් වෙනුවෙන් කරනු ලබන මවුපියන් වැඩිවියට පත් දරුවන් විවාහ වීමෙන් පසු හෝ ස්වාධීන පුද්ගලයෙකු ලෙස සමාජගත වූ පසු මවුපියන්ගේ මවුපිය සෙනෙහස නොසලකා හැරියොත් හෝ ඔවුන් කෙරේ තම වගකීම් ඉටු නොකරයි නම් එම පුද්ගලයා ලෝකයෙහි අධම පුද්ගලයකු ලෙස බුදුදහම සලකයි.
රුවන් බිහිකිරීම හා පෝෂණය මවුපියන් විසින් අතිශය බැරැරෑම් ලෙස සලකන වගකීම් සහිත ක්‍රියාවක් ලෙස බුදුදහම සලකා ඇත. “මහණෙනි මව ඍතුවීම මවුපිය දෙදෙනාගේ එක්වීම ගන්ධබ්බයෙකුගේ පැමිණීම යන කරුණු තුන නිසා ගැබක පිහිටීම වේ. ඉන්පසු මව නව මසක් හෝ දස මසක් මහත් සැකයෙන් කුසින් ගැබ්බර උසුලයි. එසේම මහත් සැකයෙන් නව මසකින් හෝ දස මසකින් දරුවකු බිහිකරයි. උපන් දරුවා සිය ලෙයින් පෝෂණය කරයි. ආර්ය විනයෙහි මෙම ලෙයට මවු කිරි යැයි කියනු ලැබේ. “ බිහිවීමට සිටින දරුවා රජෙකු ද සිටුවරයෙකු ද යන බව හෝ අන්ධයෙකු ද බිහිරෙකු ද හිඟන්නෙකු ද මිනීමරුවෙකු ද යන කිසිත් නො සිතා බෝසත් උතුමෙකු සේ සිතා ආදරයෙන් කුස දරා මවක් දරුවකු ලොවට බිහි කරයි. එබැවින් ගර්භීනී ස්ත්‍රිය වූකලී ජාති වර්ග කුල ගෝත්‍රවාදය ඉක්මවා යන අනභිභවනීය කර්තව්‍යයකට දායක වන කෙනෙකි. ඇයට ගරු බුහුමන් දැක්වීමේදී මානව වර්ගයා සීමා විභේදන රහිතව දායකත්වය දැක්වීම මනුෂ්‍යත්වයයි. වර්තමානය වනවිට වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා කුස තුළ සිටින දරුවා දැක ගැනීමට හා ඔහුගේ සෞඛ්‍ය තත්වය දැන ගැනීමටත් මවුපියන්ට හැකියාව ඇත. එබැවින් මවගේ හා දරුවාගේ ආරක්‍ෂාව විෂයෙහි හැකි උපරිම වෛද්‍ය විද්‍යාත්මක නිගමනයට එළඹීමේ හැකියාව ද ඔවුනට ඇත. දරුවා බිහි කිරීම සඳහා පෙර පරිදි මවගේ නිවසට යාමක් අද සිදු නොවන අතර ඒ සඳහා ප්‍රසූතිකාගාර එම වගකීම දරන වෛද්‍යවරු හා හෙද හෙදියෝ ද වෙති. ගර්භනියක හෝ මවක වශයෙන් තම ගෞරවයට හෝ අයිතිවාසිකමට හානි සිදු වුවහොත් ජීවියෙකු වශයෙන් කුස තුළ සිටින දරුවාට හානියක් සිදුවුවහොත් නෛතික වශයෙන් ගත හැකි බොහෝ ක්‍රියා මාර්ග ද ගැනීමේ හැකියාව ඇති බව දැන සිටිය යුතු ය.ලෝකයේ මේ පිළිබඳව සිය ගණනක් වැදගත් අධ්‍යයන සිදු වී ඇති අතර හාවඩ් විශ්වවිද්‍යාලයේ කාල් වෙල්මන් විසින් ලියන ලද Medical Law and Moral Rights නම් කෘතියෙහි මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් දැක ගත හැකිය.
යහපත් දරුවකු බිහිකිරීම යන්න අතිශය බැරෑරුම් කටයුත්තකි. දරුවකු කුස පිළිසිඳ ගත් දා සිට මව අතිශය ආචාරසම්පන්න ජීවිතයක් ගත කළ යුතුය. සත්ව හිංසාව කෝප වීම කාමුක සිතිවිලි වර්ධනය කර ගැනීම තෘෂ්ණාබරිත වීම බොරු හා ඕපා දූප කීම යනාදී කයින් වදනින් හා මනසින් සිදුවිය හැකි ළාමක ගුණයන්ගෙන් හැකි තරම් දුරට වැළකී සිටිය යුතුය . ඉතා කෙටියෙන් කිවහොත් මව පංචශීල ප්‍රතිපදාව ආරක්‍ෂා කළ යුතුය. මවුපියන්ගේ ආචාරශීලි පැවැත්ම දරුවන්ගේ සෞඛ්‍යය කෙරෙහි මෙන්ම දීර්ඝායුෂ බව සඳහා ද හේතුවන බව බුදුදහමෙන් මෙන්ම වෛද්‍ය විද්‍යාවෙන් ද පිළිගත් කරුණකි. බෝසත් මව ඍතු වීමෙන් පසුව හිස් සෝදා නා සුදුවත් හැඳ පෙහෙවස් සමාදන්ව සුචරිතවත් ජීවිතයක් ගෙවූ බව කියැවේ.
වෛද්‍ය විද්‍යාවෙන් නිර්දේශ කෙරෙනුයේ ද දරුවකු බිහි කිරීමට සිටින මව තෘප්තිමත් සෞඛ්‍ය සම්පන්න බව ආරක්‍ෂා කළ යුතු බවය. පුරාණ සිංහල ජන සංස්කෘතිය විමසූ කල්හිද ගර්භනී මවක් ආරක්ෂා කිරීම සඳහා සමාජය විසින් ප්‍රශංසනීය රැකවරණයක් ලබා දුන් බව පැහැදිලි වේ. අංගුලිමාල පිරිත කියවීමෙන් රැකවරණ ලබා දීමට අතිරේකව ඇය සතුටින් තැබීම සඳහා සියලු පහසුකම් සැපයීමට ඔවුහු පුරුදු පුහුණු වී සිටියහ. සැබැවින්ම ගැමියන් සැලකූයේ ගර්භනී මවකට ආහාර වේලක් දීම දුර්ලභ ගණයේ පුණ්‍යකර්මයක් ලෙස ය. පියා විසින් ද ගර්භනී බිරිඳ විෂයෙහි උපරිම පහසුකම් සැලසීම යුතුකම මෙන්ම වගකීම වේ. පෙර රජවරුන් විසින් සලසන ලද එකී රැකවරණය ‘ගබ්භපරිහාර ‘ යන නමින් දක්වා ඇත. දීඝනිකාය ටීකාව පෙන්වා දෙන පරිදි අනාචාරශීලි වීමෙන් ගැබ් පෙරහර මැනවින් සිදු නොවේ. එහෙයින් උපදින දරුවාට බොහෝ ආබාධ ඇතිවේ.
සුජාත දරුවා
පෙරදිග චින්තනයට අනුව ගෘහයක වටිනාම සම්පත ලෙස සැලකෙනුයේ දරුවාය. කිසිදු න්‍යායික හෝ සදාචාරමය අවබෝධයකින් තොරව වුවද දෙමාවුපියන්ට මෙම දරුවා රැකබලා ගැනීම තම යුතුකම හා වගකීම මෙන්ම ආශාව ද විය. තම දරුවාගේ සුජාතභාවය පිළිබඳව පෙරදිග රටවල මව්පියෝ දැඩි අවධානයකින් ක්‍රියා කළහ. පැරැණි ඉන්දියානු සමාජය තුළ පුද්ගලයෙකුගේ සුජාතභාවය ඇගයුණු බව බෞද්ධ සූත්‍රවල දක්නට ලැබෙනුයේ මෙසේ ය. උභතො සුජතො මාතිතො පිතිතො ච සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපකට්ඨො ජාතිවාදෙන’ මවගේ පියාගේ පරපුර දෙකෙන්ම සුජාතය මව්කුසේ සිට හත්වන මීමුතු පරපුර දක්වා පිරිසුදු උපත පිළිබඳව කිසිවෙකු විසින් අවමන් නොකරන ලද යනු මෙහි තේරුමයි. ඇතැම් අය බුදුරදුන් දැකිය යුතු කෙනෙකු ලෙස තීරණය කිරීමට හේතු වූ කරුණු අතර මෙය පළමු වන කරුණයි. එපමණක් නොව සක්විති ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදී උසස් පුරුෂයන් ගැන කියැවෙන සියලු තැන්හිදීත් ඇතැම් පැවිද්දන් ගැන කියවෙන තැන්හිදීත් මෙම සුජාතභාවය ගැන ඉස්මතු කොට ඇත. එපමණක් නොව සූත්‍රවල දැක්වෙන රූමත් වීම ආරෝහපරිණාහසම්පන්න බව ප්‍රසාදජනකවීම මහේශාක්‍ය බව යනාදී සියලු කරුණු සියල්ල උපත හා සම්බන්ධය. පෞරුෂත්වයෙන් යුතු පුද්ගලයෙකු වශයෙන් සමාජගත වීමේ දී නිදසුනක් වශයෙන් විවාහවීම වගකිවයුතු වෘත්තියකට පෙනී සිටීම වැනි අවස්ථාවල දී තරුණයෙකු මනෝමය උත්තේජනය හෙවත් තම ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නා කරුණු කිහිපයක් වේ. 1. පවුල් පසුබිම, 2. කායික සුන්දරත්වය, 3. පි‍්‍රයමනාප බව, 4. උගත්කම, 5. ගුණවත් බව, යන මෙම කරුණු සඳහා ජානමය හා බුද්ධිමය බලපෑමට අමතරව කර්ම ශක්තිය ද බලපාන බව සැබෑවක් නමුත් මේවායේ මූලික පදනම හැකි උපරිමයෙන් සකසා දීම මවුපියන්ගේ වගකීමක් වේ. කුඩා දරුවකු තුළ පිහිටන යථෝක්ත ගුණාංගවල පදනම මවුපිය දෙදෙනාගේ සුසංයෝගය නිසා උරුම වන්නක් බව විස්තර කළ යුත්තක් නොවේ. එහෙයින් මෙය අඹුසැමි ජීවිතයට එළඹෙන ස්ත්‍රී පුරුෂයන් විසින් නිවැරදිව තේරුම් ගත යුත්තකි.යහපත් පියකු හා මවක වීම
පියා හා මවගේ හැසිරීම් රටාව දරුවන්ගේ් ක්‍රියාකාරකම් විෂයෙහි අතිශය ප්‍රබල බලපෑමක් කරයි. බුදුන් වහන්සේ දෙමවුපියන් පූර්වාචාර්යන් ලෙස හඳුන්වන ලද්දේ උපතේ සිට දරුවා මවුපියන්ගෙන් ලබන ජීවන අත්දැකීමේ පවතින පෘථුල බව හේතුවෙනි. පියා නිතරම සතුටින් සිටීමත් තමා ඔවුන්ගේ් පියා වීම නිසා බලවත් සතුටක් භුක්ති විඳින බව දරුවන්ට හැඟවීමත් පියෙකු විසින් කළ යුතු කාර්යයකි. එසේම මුල්‍යමය මෙන්ම අධ්‍යාත්මික වශයෙන් දරුවන් විෂයෙහි කැපකිරීම් කළ යුතුය. උණුසුම් ආදරය අව්‍යාජ පළකළ යුතු වන අතර දරුවන් විෂයෙහි තම භක්තිය වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන් ද පෙන්විය යුතුය. සිරිත් විරිත් ආරක්ෂා නිබඳව ආරක්ෂා කළයුතු අතර තම බිරිඳට ආදරය භක්තිය හා ගෞරව කිරීම ද යහපත් පියෙකුගේ උතුම් ලක්ෂණයක් වේ. මවු පියන්ගේ උතුම් චරිත ලක්ෂණ ස්වාධීන පවුල් ජීවිතයකට එළඹෙන දරුවන්ට මහඟු අත්වැලක් වනු ඇත. මීට අමතරව කවර වෘත්තියක නිරත වන පියෙකු විසින් වුවද තම බිරිය හා දරුවන් සමඟ හැකිතාක් කාලය ගත කිරීමට වගබලා ගත යුතුය. පවුල් සංස්ථාවේ සතුට, සමගිය හා සාමය සුරක්ෂිත වනුයේ එකට විසීම තුළින් ඇතිවන භක්තිය හා ගෞරවය නිසා ය. එසේ ගත නො කිරීමෙන් සතුට, විනෝදය ආදර භක්තියට ඇතිවන හානියට ආපසු පිළියම් කිරීම අපහසු ය. දරුවන් විසින් කරනු ලබන සුළු සුළු වැරදීම්වල දී හැකිතාක් මානසික සංයමයකින් කටයුතු කිරීම පියා සතු වගකීමක් වන අතර කිසිවිටෙකත් දරුවන්ට පයින් ගැසීම වැනි දෙයක් නො කළයුතු වේ. විනය හෝ හැදියාව ආගම ධර්මය හෝ ආචාර ධර්ම කඩවන ක්‍රියාවලින් වැළකී සිටීම ද ඔහු සතු වගකීමකි.මව යනු දරුවන් විෂයෙහි පතිත වන කරුණා දිය දහරාවේ උල්පතයි. එබැවින් මවකගේ චරිතයේ උත්තුංග ගුණාංග පිළිබඳ වැටහීම මැනවින් ඇය තුළ තිබිය යුතුය. මව පි‍්‍රයශීලි තැනැත්තියකි. ඇගේ් දසුන දරුවාට නිබඳවම අමා සුව ගෙන දෙයි.
අප ලෝකයේ විවිධ පුද්ගලයන් ස්ථාන හා වෙනත් දේ කෙරෙහි ආදරය දක්වන්නේ එහි ස්වභාවය හා වටිනාකම පිළිබඳ ඇතිකරගනු ලබන කිසියම් සීමා නිර්ණායක සහිතවය.
මවක දරුවන් කෙරෙහි ආදරය දක්වන්නේ අසීමිතව හා ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ නිර්ණායක රහිතවය. එනිසා මව හැම විටම දරුවන් සමඟ ආදර ගෞරවාන්විතව සතුටින් හා කෙළි දෙළෙන් කාලය ගත කළ යුතුය. හැකි තරම් දරුවන්ට ලංවිය යුතු අතර දරුවා වැරැද්දක් කළහොත් දොස් පැවරීමට පෙරවරද වරදක් ලෙස පෙන්වා දීමෙන් ඇය හෝ ඔහු එයින් වැළැක්විය යුතුය. සැමවිටම දරුවාගේ සතුට ආශාව එනම් මිතුරන් හමුවීම විනෝද ගමන් යාම වැනි දේ වෛද්‍යවරයෙකු ගුරුවරයෙකු ව්‍යාපාරිකයෙකු වීම වැනි අරමුණු හා මව ද එකගවීම ප්‍රශංසා කිරීම හා උපකාර කිරීම අවශ්‍ය ය. මේ අතර පියා මෙන්ම මවද පියාට ආදර ගෞරව දැක්වීම කුල සිරිත් නොබිඳීම මවුගුණයක් ලෙස ආරක්ෂා කළ යුතුය. අලුයම ස්වාමීයාට පෙර අවදිවීම හා පසුව නින්දට යාම ගෘහ කාර්යයන් මැනවින් සංවිධානය කිරීම සුවච කීකරු තැනැත්තියක වීම යනාදී ගුණාංග මවගේ් චරිත ලක්ෂණවලින් කීපයකි. මව දරුවන්ගේ සියලු හැසිරීම් රටා කෙරෙහි ගැඹුරු අවධානයකින් හා අවබෝධයකින් විසිය යුතු අතර ගමන් මග නිවැරදි කිරීමෙහිද වගකීම දැරිය යුතු ය.
පෝෂණය හා ශික්ෂණය
මව්පිය දෙදෙනා උගත් නොවුණ ද බුද්ධිමත් වීම අවශ්‍යය. බුද්ධිමත් බව යනු නිවැරදි ලෙස තීන්දු තීරණ ගැනීමේ හා ක්‍රියාකිරීමේ ඇති හැකියාවයි. හොඳ දෙමාපියන් යැයි සම්මත අයට ආවේණික ගුණාංග විශේෂයක් ඇත. යහපත් පවුල තුළ මනා සැලසුමක් ඇත. ආර්ථික කළමනාකරණය පිරිස් කළමනාකරණය ආදිය මෙන්ම කාල කළමනාකරණය ද තම පවුල තුළ ඔවුහු මැනවින් පවත්වාගෙන යති. මවුපියන් තම සීමා හඳුනා ගැනීමත් දරුවන්ට ඔවුන්ගේ සීමා හඳුනා ගැනීමට සැලැස්වීමත් යහපත් මවුපියන්ගේ එක් ලක්ෂණයකි. සැබැවින්ම දරුවන් ඉල්ලන සියලු දේ ඔවුන්ට ලබාදීමත් සිය කැමැත්ත පරිදි හැසිරීමේ නිදහස ලබාදීමත් දරුවන් විෂයෙහි දක්වන ආදරය ලෙස ඇතැම් මවුපියෝ සිතති. දරුවන් පෝෂණය කිරීමේ දී දරුවන්ගේ ආහාරපාන ඇඳුම් පැළඳුම් බෙහෙත් හේත් සැපයීම හා ඔවුන් තෘප්තියෙන් තැබීම මවුපියන්ගේ වගකීමක් වේ. එය සැපයීමට නොහැකි වුවහොත් අනෙක් සියලු අරමුණු හා බලාපොරොත්තු බිඳ වැටේ. එහෙයින් මව හා පියා තම රුධිරයේ සිට ආහාරපාන ආදී සියල්ලෙන් සපයන පෝෂණය ආධ්‍යාත්මික බැඳීමෙන් ඔද වැඩුණකි. බුදුදහමේ පෝෂණය යන වචනය තුළ ගැඹුරු අරුතක් ඇත. සාමාන්‍ය ලෝකය සම්මතයට අනුව පෝෂණය සිදුවන්නේ ආහාරවලිනි. බුදු දහමේ ආහාර වර්ග හතරකි. දරුවන් පෝෂණය කිරීමේ දී ආහාර පාන පමණක් නොව ආදරය කරුණාව ආගම ධර්මය සංයමය හා වින්දනය ස්වභාවික හා කලාත්මක ආස්වාදය යනාදිය ද ලබාදිය යුතුය. ඒවා සියල්ල මනසට ලැබෙන ආහාර වන අතර එයින් බුද්ධිමය හා සංවේදනාත්මක ඉන්ද්‍රියන් සියුම් වේ. මෙහිදී දරුවන්ගේ සීමාව වටහා දීම හා ඒ සඳහා අවශ්‍ය රැකවරණය සම්පාදනය කිරීම ද මවුපියන් සතු කාර්යයක් වේ.ආචාර ධර්ම පුරුදු පුහුණු කිරීම
බුදුන් වහන්සේ විසින් සිඟාලක සූත්‍රයේ දී පෙන්වා දෙන ලද පරිදි මවුපියන් විසින් දරුවන් උදෙසා ඉටුකළයුතු ප්‍රධාන යුතුකම වන්නේ ඔවුන්ගේ් ජීවිත ආචාරධර්මානුකූ®ල ගොඩනැංවීමයි. විශේෂයෙන් සමාජය විෂම වන කල්හි විෂම අදහස් සමාජය පුරා වසංගතයක් මෙන් පැතිර යයි. එබඳු කලෙක මිතුරන් හිතවතුන් වෙතින් පමණක් නොව ආර්ථික දේශපාලනික සමාජික ප්‍රවණතා තුළින් පමණක් නොව ආගමික අධ්‍යාපනික ජනමාධ්‍ය සාහිත්‍ය කලා සන්දර්භ තුළින් ද විෂම අදහස් වහනය විය හැකිය. එබැවින් පුද්ගල චරිත දූෂණය කරවන මංපෙත් පිළිබඳ දරුවා සවිඤ්ඤාණක කිරීමත් එබඳු දැනුම් වින්දන පසෙකලා සදාතනික වටිනාකමක් ඇති ආචාරධර්ම කෙරෙහි යොමු කරවීම මවුපියන් සතු වගකීමකි වේ. දරාවාගේ දිනෙන් දින වර්ධනය වන චින්තන රටාව කෙබඳුද, ඔවුන්ගේ හැසිරීම් රටාව හා වැඩිහිටියන් හා ආගමික සංකල්ප කෙරෙහි දක්වන ආකල්පය කුමක් ද, ගෘහයෙන් පිටව යන්නේ කවර තැනකටද ඇසුරු කරන්නේ කවර පුද්ගලයන් ද ඔවුන්ගේ අනාගත දැක්ම කුමක් ද යනාදි කරුණු සොයා බැලීම හා ඒවාට පිළියම් යෙදීම මවුපියන්ගේ කාර්යභාරයකි.අධ්‍යාපනය
ජීවිතයක් සාර්ථක වීමේ ප්‍රධාන සුදුසුකම වන්නේ කෙනෙකු තුළ පවතින දැනුමයි. අධ්‍යාපනය මගින් කෙරෙනුයේ මෙම දැනුම ලබාදීමයි. දරුවෙකු පාසලකට යැවීමෙන් පමණක් අධ්‍යාපනය සම්බන්ධව සියල්ල සම්පූර්ණ වන බව සිතන ඇතැම් මවුපියෝ දරුවන් උසස් පාසලකට යවා සියල්ල ඉටුවන තුරු බලා හිඳිති. මෙය සම්පූර්ණයෙන්ම වැරදි සහිතය. විශ්ව ගම්මානයක් වන ලෝකයේ පැරණි ඥානය මෙන්ම අලුත් දැනුම ද සොයාගත යුතුය. එසේම විවිධ භාෂාවන් හදාරා තිබීම ද විශේෂ සුදුසුකමකි. සැබැවින්ම ඵලදායක අධ්‍යාපනයක් වෙත දරුවා යොමු කළ යුතුය. ඵලදායක අධ්‍යාපනය යනු දරුවාගේ ඥානය පුළුල් කරවන ආචාරශීලි පුරවැසියෙකු කිරීමට ඉවහල් වන හා වෘත්තීය සුදුසුකමක් තිබෙන අධ්‍යාපනයයි. අධ්‍යාපනය ලබාදීමේ දී දරුවාට නිසි හා නිවැරදි අධ්‍යාපනය ලබාදීම මවුපියන්ගේ වගකීමක් වේ.විවාහ ජීවිතය
ගිහි ජීවිතයක් ගෙවන කෙනකු නම් විවාහ ජීවිතයකට එළඹීම අවශ්‍යය යන සංකල්පනාව පෙරදිග සංස්කෘතිය තුළ අත්දුටු වඩාත් ප්‍රායෝගික යථාර්ථයකි. බුදුදහමේ විවාහය සැලකෙනුයේ අධ්‍යාත්මිත එකමුතුවක් ලෙසය. බෞද්ධ සාහිත්‍යයෙහි හමුවන නකුලමාතා නකුලපිතා දෙදෙනාගේ විවාහ ජීවිතය මෙයට කදිම නිදසුනයි.පතිකුලයට යන දියණියට අවශ්‍ය ආචාරශීලි පැවැත්ම හා ඉවුම් පිහිම් ආදී ගෘහ කර්මාන්තයන්හි අනලස් හා විධිමත් වීමේ දැනුම මව විසින් අනුක්‍රමයෙන් ලබා දිය යුතුය. මව දියණියට මවක් පමණක් නොව හොඳ මිතුරියක් ද වේ. ස්ත්‍රිත්වයේ අබල දුබල තැන් මෙන්ම බලගතු බව පිළිබඳව ද බොහෝ දේ මවගෙන් ඇය ඉගෙන ගනී. පතිකුලයට යන විශාඛාවට දෙන ලද වැදගත් උපදෙස් කීපයක් විසාඛාවත්‍ථුවෙහි දක්නා ලැබේ.
උපදේශනය
දරුවන්ගේ් යුතුකම් හා වගකීම් පිළිබඳ දැනුවත් කිරීම ද මව්පියන් සතු එක් මූලික වගකීමකි. දරුවකු යොවුන් වියට පත්වීමත් සමග ඔවුන් ධනය ප්‍රභූත්වය හා අවිවේකී බව සමඟ ගනුදෙනු කිරීමට යොමු වේ. මේ සියලු කරුණු පරිහානියට තුඩුදිය හැකි කරුණු ලෙස පෙරදිග සම්ප්‍රදාය විසින් සලකා ඇත. ඊට හේතුව නිසි උපදේශනයකින් තොරව කෙරෙන මෙම ගනුදෙනුව භයානක විය හැකි හෙයිනි. මවුපියන් විසින් දරුවන් සතු යුතුකම් උපදේශනයෙන් අවවාදයෙන් මෙන්ම චර්යාවෙන් ද දැනුවත් කළ යුතුය.මව්පියන් වශයෙන් පෙරට වඩා වර්තමානයේදී ඔබ බුද්ධිමත් විය යුතුය. තම වගකීම ගැන ගැඹුරින් සිතට ගැනීම සතුට හා සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍යය.
සෑම මොහොතකම ආශාවන් හැඟීම ක්‍රියාකාකරම් විෂයෙහි සමබර මානසිකත්වයකින් කටයුතු කිරීමට පුරුදු වන්න. අපහාස කිරීම බැනීම පහරදීම දරුවන්ට ගුණ දහම් කියාදිමේ මග ලෙස බොහෝ අය විසින් අනුගමනය කරනු ලබන මගින් ඉවත් වී දරුවන් සමග හැකි උපරිමයෙන්ම සමීප වී ක්‍රියා කරන්න. මව හා පියා යනු තම ජීවිතයේ ඉන්ද්‍රියන් දෙකක් මෙන් ආත්මිය ලෙස දැනෙන පරිදි ක්‍රියා කරන්න. වැඩෙන දරුවා තුළ වර්ධනය කළ යුතු ප්‍රධාන දෙය විනය නැතහොත් හැදියාව බව අමතක නොකරන්න.
කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය
ආචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ බක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2009 ක් වූ අප්‍රේල්
මස 17 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ
ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment