Labels

Thursday, July 30, 2015

ගිහි පැවිදි සබඳතාවය වඩාත් ශක්තිමත් කරන කාලයකි


ශාසනික වැදගත්කමින් යුත් උතුම් පෝය දිනයක් වශයෙන් නිකිණි පුන් පොහෝ දිනය හැඳින්විය හැකිය. භික්ෂූන් වහන්සේ මෙන්ම කාරුණික සැදැහැති දායක දායිකාවන් විසින් ඉතා පෞරාණික බුද්ධ නියමයක් ඉටුකරන පෝය දිනයකි. ශාසනය ආරක්ෂා වීමට හා ගුණ ධර්ම වර්ධනයටත් ගිහි පැවිදි දෙපක්ෂය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් ගොඩනැගෙන කාල පරිච්ඡේදයක් ලෙස මෙම වස් කාලය හැඳින්විය හැකිය.
බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත. එනම් පෙර වස් සහ පසු වස් යනුවෙන්ය. පෙර වස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේට පසුවස් සමාදන් වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීම පිළිබඳව විමසා බැලිය යුතු වැදගත් කාරණාවකි.

මේ අනුව වර්තමානයේ සෑම උපසම්පදා භික්ෂුවක්ම වස් එළඹීම බුද්ධ නීතියට හෙවත් බුදුරජාණන් වහන්සේට, කරන ගෞරවයකි. වස් එළඹීම තමාටම යහපත සැලසෙන ක්‍රියාවක් බව, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබේ. වස් එළඹීම, වස් විසීම යන්න පිළිබඳව, දීර්ඝ ඉතිහාසයක් තිබේ. බුදු රජාණන් වහන්සේ ප්‍රථම ධර්මය (ධම්ම චක්ක සුත්‍රය) දේශනා කළේ පස්වග තාපසයන්ටය. ඉන් අනතුරුව යස කුල පුත්‍රයා ඇතුළු යහළුවන් පනස් හතර දෙනා සසුන්ගත වූයේ බරණැස්නුවර මිගදායේය. එදා එම යුගය වැහි වසින කාලය බැවින් බුදුරජාණන් වහන්සේ එහිම වැඩම සිටියේය.
ශාසනය ඉතා ශීඝ්‍රයෙන් දියුණු වනවිට අන්‍යතීර්ථකයන්ට ඉවසා දරා ගත නොහැකි විය. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය ආදී වශයෙනි. එබැවින් මුල් යුගයේ භික්ෂූන් වහන්සේ ගමෙන් ගමට වැඩම කරමින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කටයුතු කළේය. එහෙත් වැසි කාලයෙහි එක් තැනක ගත කිරීම දඹදිව ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවත එන සිරිතකි. පැරණි සම්ප්‍රදා සහමුලින්ම ප්‍රතික්ෂේප කළේ නැත. එම පෞරාණික ධර්ම ආරක්ෂා කිරීමක් ලෙස මෙම වස් විසීමේ ප්‍රඥප්තිය බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලහ.
 අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන්ය. එම අදහස වඩාත් තහවුරු වේ. මේ අනුව ඇසළ පොහෝ දින පොහොය කිරීම් ආදී කටයුතු කර එනම් පොහොය දිනයට පසු දින එනම් ඇසළ අවපෑළවිය දිනයෙහි පෙර වස් එළැඹිය යුතු ය. ඇසළ පුන් පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි යම් හේතුන් නිසා පෙර වස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් පසු වස් සමාදන් විය යුතු බව විනය පොතේ සඳහන් වේ.
මෙම වස් කාලය මගින් අර්ථවත් කරන්නේ ගිහි පැවිදි දෙපක්ෂයේම අධ්‍යාත්මික කටයුතු කෙරෙහි විශේෂ අවධානය යොමුකිරීමට කාලය එළැඹ ඇති බවය. භික්ෂූන් වහන්සේ තමාගේ විමුක්තිය සඳහා වෙර වීර්ය දරන අතර ගිහි සාමාජිකයන්ද ඒ සඳහා යොමු කරමින් ඔවුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් වස් කාලය ගත කරනු ලැබේ. එවිට ගිහි පින්වතුන් භික්ෂූන් වහන්සේ උදෙසා චීවර, පිණ්ඩපාත සේනාසන, ගිලාන පච්චය යන සිව් පසයෙන් ඇප උපස්ථාන කරනු ලැබේ. මෙමගින් ගිහි පැවිදි සබඳතාවය වඩාත් තහවුරු වෙන අවස්ථාවක් ලෙස වස් කාලය හැදින්විය හැකිය.

ගිහීන මූපකරොන්තානං
මිච්ච මාමිස දානතො
කරොත ධම්ම දානෙන
තේසං පච්චුප කාරකං


ආදී වශයෙන් අතීතයේ සිට මේ දක්වා ගහට පොත්තක්, පොත්තට ගහක් මෙන් භික්ෂූන් වහන්සේත් ගිහියොත් අන්‍යෝන්‍ය වශයෙන් හඳුනාගෙන කටයුතු කළ ආකාරය ඉතිහාසය දෙස බලන විට පැහැදිලි වේ. භික්ෂූන් වහන්සේ ආදර්ශමත්ව කටයුතු කරන විට ගිහියාද එම ක්‍රියාවන් අනුගමනය කරනු ලබයි. ඒ අනුව බලනවිට වස් කාලය ගිහි පැවිදි දෙපක්ෂයෙහිම මෙලොව පරලොව උභයාර්ථ සිද්ධීන් සාධනය කර ගැනීමට ඉවහල් වන කාල පරිච්ඡේදයක් ලෙස සඳහන් කළ හැකිය.
ක්‍රි.පූ.06 වන සියවසේ දී මහජනයාගේ විරෝධය සලකා බැලු බුදුරජාණන් වහන්සේ වර්ෂාදික කාලයේ පිඬුසිඟා වඩමින් ධර්ම චාරිකාවේ හැසිරීම අපහසු බැවින් මෙම වස් ශික්ෂා පදය පනවන ලදී.
එබැවින් වර්තමාන සමාජයේ බෞද්ධ පින්වතුන්ලා ඉතා ශ්‍රද්ධාවෙන් වස් කාලය එළඹෙත්ම ඒ ඒ විහාරස්ථානයන් කරා ගොස් දැහැන් ගොටු හා වැසි සළු පිළිගන්වා භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරති. මෙම වස් ආරාධනාව භාරගන්නා භික්ෂූන් වහන්සේලා වස් කාලය තුල ගිහි සමාජයද යහපත් ක්‍රියාවන්හි යොමුකරවමින් කටයුතු කරන ආකාරය වර්තමානය තුළද අපට දැකිය හැකිය. මේ අනුව වස් කාලය ගිහි පැවිදි සාමිචි ප්‍රතිපදාව තහවුරු කරන කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැකිය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදු දහම රැගෙන වැඩම කරවීමත් සමඟ ලංකාවේ ශාසනය ප්‍රතිෂ්ඨාපනය වූ දා පටන් ලංකාවේ රජවරුන් විසින් මෙම වස් ආරාධනාව කල පුවත සඳහන් වේ. දේවානම්පියතිස්ස රජතුමා ලෙන් විහාර ඉදිකර මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කර තිබේ.
ඉන් අනතුරුව ශාසනයේ වර්ධනයත් සමඟ සැදැහැති උපාසක උපාසිකාවන් තමන් ජීවත්වන ප්‍රදේශය මුල්කරගෙන කුටියක් තනවා එහි උපසම්පදා භික්ෂුවක් වස් සමාදන් කරවා ගෙන ශාසනික ප්‍රතිපත්ති පූර්ණය කරමින් ක්‍රියා කළේය. මේ ආකාරයට මුල් යුගයේ සෑම ගමක් ගමක් පාසාම පන්සලක් ඉදිවුණි. ඒ අනුව ගමේ ජනතාව පන්සල වටා ඒකරාශි විය. ගමේ සෑම කටයුත්තක්ම පන්සල මුල්කරගෙන කරන තරමටම ගැමියන් පුරුදු විය. ඒ අනුව පන්සල වූ කලි ගමේ කේන්ද්‍රස්ථානය විය. අතීතයේ ගැමියන් භික්ෂුන් වහන්සේ සමඟ පුදුමාකාර බැඳීමක් තිබුනි. වර්තමානය වනවිට ඒ සබැඳියාවේ අඩු වැඩිවීම් යම් යම් අවස්ථාවල දක්නට ලැබේ.
ඒ අනුව ගමට යම් විපත්තියක් ඇති වූ සෑම අවස්ථාවකම භික්ෂූන් වහන්සේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ ආකාරය වර්තමානයේ දී වූද දක්නට ලැබේ. තම ආගමට ජාතියට රටට යම් විපත්තියක් පැමිණුන විටදී ද සමස්ත භික්ෂු සමාජය ක්‍රියාකළ ආකාරය ඉතා ප්‍රශංසනීය වේ. ශ්‍රී ලංකා භික්ෂු සමාජය සමස්තයක් ලෙස ගත් කල්හි ශාසන මග මැනවින් හඳුනාගෙන තම විහාරස්ථානය මූලික කරගත් ශ්‍රද්ධා සම්පන්න ජාති මාමක රටවාසින් සමඟ මෙම වස් කාලය තුළ ගිහි පැවිදි සබඳතා වඩාත් තහවුරු කරමින් යහපත් සාරධර්මවලින් පිරිපුන් යහපත් සමාජයක් බිහිකිරීමට මෙම වස් කාලය තුළ අධිෂ්ඨාන කර ගනිමු.

No comments:

Post a Comment