Labels

Friday, July 31, 2015

සසුනෙහි පැවැත්ම විනය යි


 
 2012 ක් වූ පෙබරවාරි 07 වනදා අඟහරුවාදා කලාපය

බුදුරජාණන් වහන්සේ විසින් පන්සාළිස් වසක් පුරා දේශනා කරන ලද ධර්මය පිටක වශයෙන් වෙන් කරන ලද්දේ ප්‍රථම ධර්ම සංගායනාවේදීය. එනම් බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු වය.
උන්වහන්සේ විසින් දේශිත ධර්මය ප්‍රථම සංගායනාවේදී ධර්ම විනය වශයෙන් දෙකොටසකට බෙදා සාකච්ඡා කොට ඒවා සුරැකිව පවත්වාගෙන යාම සඳහා ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂු කණ්ඩායම්වලට පැවරීම ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ.
බෞද්ධ චින්නතනයට බෞද්ධ ශාසනයට සංසාර විමුක්තියට අදාළ දේශනා ධර්ම කාණ්ඩ යටතේ භික්‍ෂූ භික්‍ෂුණී දෙපිරිසේ පුද්ගල පාරිශුද්ධියට හා ශ්‍රමණ ධර්මය ආරක්‍ෂා කර ගැනීමට අදාළ දේශනා “ විනය” කාණ්ඩයටත් ඇතුළත් විය. සූත්‍ර පිටකය, විනය පිටකය නමින් අප හඳුන්වා ඇත්තේ එසේ සංගෘහිත ධර්මය යි.
ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන විටත් විනය හා සම්බන්ධ දේශනාවලට ප්‍රමුඛත්වයක් ලැබී තිබිණ. එම සංගායනාවේ දී ප්‍රථමයෙන් ම විමර්ශනයට භාජනය වූයේ විනය සම්බන්ධ දේශනාවන් වීමෙන් ඒ බව තහවුරු වන්නේ ය. ප්‍රථම සංගායනාව පැවැත්වීමට ආසන්න හේතුව වූයේද භික්‍ෂු විනයට අදාළ ප්‍රශ්නයකි. එනම් සුභද්‍ර නම් භික්‍ෂුවක විසින් ප්‍රකාශ කරන ලද අමනෝඥ කථාවකි. බුදුරදුන් පිරිනිවන් පෑම නිසා ශෝකයට පත් පෘථග්ජන භික්‍ෂූන් හඬනු, වැලපෙනු දුටු සුභද්‍ර” දැන් හඬන්නේ, වැලපෙන්නේ කවර හෙයින්ද, මෙය කළ යුතුය.මෙය නොකළ යුතුය,ආදි වශයෙන් අප වෙහෙසට පත් කළ ශ්‍රමණ භවත් ගෞතමයන් දැන් නැති නිසා අප සිත්සේ කටයුතු කළ හැකි වන්නේය “ යි කියමින් හැසිරෙන්නට විය. මෙය දුටු මහ තෙරුන් වහන්සේලා දැන් තත්වය මෙසේ නම් අනාගතයේ දි කෙබඳු දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයක් උදාවනු ඇතිදැයි සංවේගයට පැමිණ ධර්ම සංගායනාවක් පැවැත්වීමට යුහුසුළු වූහ. ප්‍රථම ධර්ම සංගායනාව එහි ප්‍රතිඵලයයි. විනය සම්බන්ධ දේශනා පළමුවෙන් සංගායනා කරන්නට තීරණය වූයේ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට මූලාධාර වන්නේ විනය නිසාය.

බුදුරදුන් විසින් විනයට අදාළව දේශනා කරන ලද ධර්ම කාරණා, ගිහි විනය පැවිදි විනය , වශයෙන් දෙකොටසකට බෙදිය හැකිය. ගිහි විනයට අදාල කරුණු සූත්‍ර දේශනාවන්හි අන්තර්ගත වන අතර පැවිදි විනයට අදාළ කරුණු පාතිමොක්ඛ ,පාරාජිකා පාලි නමින් ද පාලි චුල්ලවග්ග, මහාවග්ග පරිවාර පාලි යන සූත්‍රවල ඇතුළත් වේ. විනය පිටකයට අයත් ග්‍රන්ථවල විද්‍යමාන වන කරුණු මූලික සුත්‍ර දේශනාවලද දැකිය හැකි වෙතත් ඒ සියල්ල වෙනම ම සංග්‍රහ කර ඇත්තේ එහි වැදගත්කම නිසාය.
ථෙරවාදීන් මෙන් ම මහා යානිකයන්ද විනය පිටකයට ප්‍රමුඛත්වයක් දී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුය. මේ දෙපිරිසට අයත් විනය සම්ප්‍රදායන්හි යම් යම් වෙනස්කම් විද්‍යාමාන වෙතත් හර වශයෙන් එක හා සමානය. විස්තර වශයෙන් ථේරවාදීන්ගේ විනය පිටකයට වඩා මහායානිකයන්ගේ විනය පිටකය ඉදිරියෙන් සිටී. ඊට අයත් ග්‍රන්ථ සංඛ්‍යාව 25 කි.
ථෙරවාදි විනය පිටකයේ ග්‍රන්ථවල ඇතුළත් වන විනය ශික්‍ෂාවන් “චාරිත්‍ර ශීල” හා වාරිත්‍ර ශීල” යනුවෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. වැළැකිය යුතු කරුණු වාරිත්‍ර ශීල නමිනුත්, පිළිපැදිය යුතු කරුණු චාරිත්‍ර ශීල හෙවත් සමාදාන ශීල නමිනුත් හැඳීන්වේ.
“විනය” යන වචනයේ සරල තේරුම හික්මීමයි. එනම් කයින් හා වචනයෙන් හික්මීමයි. කාය වාග් සංවරය නමින් දැක්වෙන්නේත් එය මය. සමාජයේ කුඩාම සංවිධානය වූ පවුලේ සිට, කවර සමාජ සංවිධානයක වුවද යහ පැවැත්මක් , චිරස්තිථියක් රඳා පවතින්නේ එම සංවිධානයේ විනය හෙවත් චර්යා ධර්ම පද්ධතිය මතය. බුද්ධ ශාසනයද සංවිධානයකි. ඊට ඓතිහාසික පදනමක් මෙන්ම පැවැත්මක් ද තිබේ. ඒ අනුව බුදු සසුනේ පැවැත්මට එහි විනය පද්ධතිය අදාළ වෙයි. “ විනයෝ නාම සාසනස්ස ආයු” (ශාසනයේ ආයුෂ විනයයි) “ විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති” (විනය පවතින කල්හි ශාසනය ද පවතී) යන බුද්ධ වචනයෙන් අවධාරණය වන්නේ ශාසනයත් විනයත් අතර තිබිය යුතු අවියෝජනීය සම්බන්ධයයි.
විනය යන්නෙන් අදහස් කරන්නේ ශික්‍ෂාපද සමූහයක් හෝ නීති රීති සමුහයක් නොව භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිස තුළ පැවතිය යුතු ශික්‍ෂණයයි. ශික්‍ෂාපද නමින් හඳුන්වන්නේ එම ශික්‍ෂණය ඇති කර ගැනීමට ඉවහල් වන නීති රීති සමූහය යයි. එම ශික්‍ෂාපද පනවා ඇත්තේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ සංවරය, හැදියාව සහ හික්මීම තහවුරු කරණු පිණිසය. විවිධ වූත් විශේෂ වුත් න්‍යායයන් මගින් ශ්‍රාවකයන්ගේ කාය වාග් සංවරය ඇති කරන්නේය යන අර්ථයෙන් “ විනය” යන පදය සැකසී ඇතැයි සමන්තපාසාදිකාවේ එන අර්ථ නිරූපනයෙන් ද ඒ බව තහවුරු වේ. විනය පිටකය පුරාම ඇතුළත් වන්නේ ආභි සමාචාරික හා ආදි බ්‍රහ්ම චරියක ශික්‍ෂාවන් සමූහයකි. ඒවා ශ්‍රාවකයන් විසින් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුවෙයි. ඒවා නොපිළිපදින්නේ නම්, ඔහු ශ්‍රාවකයෙක් නොවේ.
භික්‍ෂූන් වෙනුවෙන් විනය ප්‍රඥප්ති පැනවීම ආරම්භ වූයේ බුද්ධත්වයෙන් වසර 20 කට පසුවය. එතෙක් භික්‍ෂූ චර්යාවන් සකස් වූයේ ස්වයං ශික්‍ෂණයයෙහි මුල් යුගයේ දී. භික්‍ෂූන් සඳහා එබඳු නීති පැනවීමක් අවශ්‍ය නොවූයේ උන්වහන්සේලා මූලික බුද්ධ දේශනාවන්ට අනුකූලව කෙළෙස් නැසීමේ එකම අරමුණින් ශ්‍රමණ ධර්මය ආරක්‍ෂා කළ බැවිනි. පහාරාද සූත්‍රයෙහි සඳහන් වන ආකාරයට මුල් යුගයේ භික්‍ෂූන් ජීවත්වීම සඳහා හෝ විනය ශික්‍ෂාපද කඩ නොකළහ. ඉන්ද්‍රියයන්ට යටත් නොවූ උන්වහන්සේලා ඉන්ද්‍රියන් තමන්ට යටත් කොටගෙන ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලයෙහි පිහිටා සිටියහ.
භික්‍ෂූන් වහන්සේ නමක් තුළ තිබිය යුතු ලක්‍ෂණ සතරක් බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ. ඒවා නම් ප්‍රාතිමෝක්ෂ සංවරය, ආචාර ගෝචර සම්පන්නය සුලු වරදෙහි පවා බිය දක්නා සුලු වීම හා විනය පනවා ශික්‍ෂාපද නොඉක්මවීමයි. සතර ඉරියව්වලදී සිහි නුවනින් යුතුව ආචාර ගෝචර සම්පන්නව, ඇසුරු කළ යුතු නොකළ යුතු ගෝචර ස්ථාන හා අගෝචර ස්ථාන පිළිපැද අවබෝධයෙන් කාය වාග් සංවරයෙන් යුක්තව කටයුතු කිරීම නිසා මුල් යුගයේ භික්‍ෂූන් වෙනුවෙන් විනය ශික්‍ෂා පද පැනවීමක් අවශ්‍ය නොවීය.උන්වහන්සේලා සංවරයෙන් යුතුව ශීල සම්පන්නව ශ්‍රමණ ධර්මය පිරූ බැවිනි.
විනය යනු ද ශීලයයි.රාග දෝස, මෝහ යන අකුසල මූලයන් යටපත් කොට පුද්ගලයා උසස් තත්ත්වයට පත් කිරීමට ඉවහල් වන්නේ ශීලයයි. එහි පදනම විනය වන නිසා එය බෞද්ධ ප්‍රතිපදාවේ ආදිචරණය ලෙස ද හැඳින්විය හැකිය. ශීලය සමාධියටත් සමාධිය ප්‍රඥාවටත් පදනම් වන බැවින් බෞද්ධ විමුක්ති මාර්ගයෙහිදී විනයට හෙවත් ශික්‍ෂණයට ප්‍රමුඛත්වයක් හිමි වී තිබේ.විනයෙහි ඇති ප්‍රයෝජන බුදු දහමෙහි විස්තර කර ඇත්තේ මෙසේය.
“විනය කාය වාග් සංවරය සඳහා සංවරය විපිළිසර නොවීම පිණිසය. විපිළිසර නොවීම නම් පී‍්‍රතිය සඳහාය. නැවුම් පී‍්‍රතිය මහත් වූ පී‍්‍රතිය සඳහාය. පී‍්‍රතිය නාම ධර්මයන්ගේ සන්සිඳීම සඳහා ය. නාම ධර්මයන්ගේ සන්සිඳීම සැපය සඳහාය. සැපය චිත්ත ඒකාග්‍රතාව සඳහාය . සිතෙහි ඇතිවන එක¼ග බව ඇත්තා ඇති සැටියෙන් දැකීම සඳහා ය.

 2012 ක් වූ පෙබරවාරි 14 වනදා අඟහරුවාදා කලාපය



බෞද්ධ විනය සම්ප්‍රදායේ විශේෂත්වය නම් ඒ තුළ විද්‍යමාන වන ප්‍රජාතාන්ත්‍රීය ස්වභාවයයි. සෑම ශික්‍ෂා පදයක්ම පනවා ඇත්තේ සාධාරණ පදනමක් යටතේ වීමත්, සාධාරණ හේතු මත ඒවා වරින්වර සංස්කරණය වී තිබීමත්, බුදු සසුනේ විනය මිස විනය පාලකයකු නොවීමත් ඒ ප්‍රජාතාන්ත්‍රීය ස්වභාවය තහවුරු කරයි

ඇත්ත ඇති සැටියෙන් දැකීම සසර කළකිරීම පිණිසය. සසර කළ කිරීම එහි නො ඇලීම පිණිසය. සසරෙහි නොඇලීම විමුක්තිය සඳහාත් විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය සඳහාත් විමුක්ති ඥාන දර්ශනය, උපාදාන විරහිත වූ පරිනිර්වාන ය සඳහාත් හේතු වන්නේ ය.”
මේ දේශනය අනුව සංසාර විමුක්තියේ පදනම හෙවත් කාය වාග් සංවරය බව මැනැවින් පැහැදිලිවේ.
බෞද්ධ ඉගැන්වීම් අනුව පුද්ගලයාගේ චරිත සංවර්ධනය කොටස් දෙකකින් සමන්විතය. එනම් විද්‍යාව හා චරණයයි. “විජ්ජාචරණ සම්පන්නෝ” යන පාඨයෙන් ඒ බව ප්‍රකාශිත ය. විද්‍යාව යනු දැනීමයි. චරණය යනු ශික්‍ෂණයයි. ශික්‍ෂණය හෙවත් විනය අයත් වන්නේ මරණයටය. විද්‍යාව හා චරණය සාපේක්‍ෂ වශයෙන් එකිනෙකට බද්ධව පැවතිය යුතු අතර පුද්ගල සංවර්ධනය ඇති වන්නේ එබඳු සමවායයකින් පමණි. විද්‍යාවෙන් තොර චරණයත් , චරණයෙන් තොර විද්‍යාවත් පුද්ගල සංවර්ධනය මෙන් ම සමාජ පැවැත්මට ද හිතකර නොවේ.වර්තමාන සමාජයේ බොහෝ අර්බුද නිර්මාණය වී ඇත්තේ මේ සමවාය බිඳී යාමෙනි.
භික්‍ෂූන් උදෙසා විනය ශික්‍ෂාපාද පැනවීමේ අවශ්‍යතාව පැන නැගුණේ බුද්ධත්වයෙන් වසර 20 ක් ඉක්මයාමෙනි. විනය ශික්‍ෂාපද පැනවීමට හේතු වූ කරුණු සතරක් පාරාජිකා පාලියෙහි දැක්වේ. මේවා හඳුන්වන්නේ ආසවට්ඨානීය ධර්ම නමිනි .

1. ශාසනය ආරම්භ වී දිගු කලක් ගතවීම
2. සංඝයා සංඛ්‍යාත්මකව වැඩිවීම
3. සංඝයාට ලැබෙන ලාභ සත්කාර වැඩිවීම
4. සංඝයා බහුශ්‍රැත භාවයෙන් මහත් බවට පත්වීම

මේ කාරණා ඕනෑම සමාජයක් තුළ අර්බුද පැන නැගීමට හේතු වේ. කුඩාම සමාජ ඒකකය වූ පවුලකට වුවද එය සාධාරණ බව පෙනේ. පොදු මානව සමාජයටද ඒවා සාධාරණය.අතීතයත් වර්තමානයත් සසදන විට, මානව සමාජය තුළ විද්‍යාමානවන බොහෝ අර්බුද නිර්මාණය වී ඇත්තේ මේ ආසවට්ඨානීය ධර්මයන් නිසා බව පැහැදිලිව වටහා ගත හැකිය.
සමාජයක් යනු විවිධ වූ විෂම වූ පුද්ගලයන්ගේ එකතුවකි. සංඝ සමාජය ද එබඳුය. සංඝයා උදෙසා විනය ශික්‍ෂාපද පනවන්නට සිදු වූයේද ඒ විවිධත්වය නිසාම හටගත් අර්බුද හේතුවෙනි. වරින් වර විද්‍යාමාන වූ ශ්‍රමණ සාරුප්‍යයට අගෝචර සිදුවීම් පදනම් කර ගනිමින් පැනැවුණ විනය ශික්‍ෂාපද ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යාම නිසා ඒවා ගණනින් 227 ක් වී තිබේ.
විනය ශික්‍ෂාපද විමර්ශනය කරන විට අපට දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණය නම්, ඉන් 225 ක්ම ආගම වජ්ජ හෙවත් ආගමික සම්ප්‍රදායට පටහැනි වූ වැරදි වාරණය කිරීමට පනවා ඇති බවය. ව්‍යවහාර නීතිය අනුව වැරදි සංඛ්‍යාවට ගැනෙන්නේ. මනුෂ්‍ය ඝාතනය හා අදත්තා දානය සම්බන්ධ ශික්‍ෂාපද පමණි. මේ නිසාම විනය ශික්‍ෂා කඩ කරන්නවුන්ට නියම වන්නේද ආගමික දඬුවම්ය. රාජ නීතිය යටතේ දඬුවම් ලබන්නකු ඒ දඬුවමට අනිවාර්යයෙන්ම යටත් විය යුතු වුවත්, ආගම වජ්ජ වරදක් නිසා ආගමික දඬුවම් ලබන්නකුට එසේ අනිවාර්ය යටත් වීමක් ඇති නොවේ. දඬුවමට මුහුණ දිය යුත්තේද සිය කැමැත්තෙන් පමණි. උදාහරණයක් වශයෙන්, ව්‍යවහාර නීතිය යටතේ වරදක් සඳහා බන්ධනාගාරයට නියම වූවකු අධිකරණ ක්‍රියා මාර්ගයකින් නිදොස්ව නිදහස් වුවොත් මිස ඒ දඬුවමින් මිදිය හැකි නොවේ. එහෙත් කවර තරාතිරමේ හෝ විනය ශික්‍ෂා පදයක් කඩ කළ භික්‍ෂුවකට ලැබෙන දඬුවම විඳීමට හෝ එසේ නොවිද සසුනින් බැහැර වීමට අයිතියක් මෙන්ම නිදහසක්ද තිබේ. එයින් ආධ්‍යාත්මික හානියක් මිස කවර ආකාරයේ හෝ සමාජ හානියක් ඔහුට සිදු වන්නේද නැත. බොහෝ භික්‍ෂූන් විනය විරෝධීව හැසිරෙන්නේ මේ පුද්ගල ස්වාධීනතාව අවියක් කර ගැනීමෙනි. ඒ අනුව විනය ශික්‍ෂාපද යනු අවබෝධයෙන් ස්වේච්ඡාවෙන් හා උදාර අරමුණින් යුතුව ආරක්‍ෂා කරගත යුතු ඒවා මිස බලහත්කාරයෙන්, ද¾ඩුවමින්, අකැමැත්තෙන් ආරක්‍ෂා කරවිය හැකි ඒවා නොවන බව වටහා ගත යුතුය. ඒවා භික්‍ෂු භික්‍ෂුණීන්ට පමණක් ම සීමිත ශික්‍ෂා මාර්ගයක් පමණි. විනය ශික්‍ෂා පදවල ස්වභාවය හා අන්තර්ගතය විමසීමෙන් මේ බව වඩාත් පැහැදිලිවේ.
විනය ශික්‍ෂාපද පනවා ඇත්තේ අරමුණු කීපයක් සපුරා ගැනීම සදහාය. විනය ශික්‍ෂාපදවල අන්තර් ගත වන්නේ ඒ සඳහා පාදක වන කාරණා වන්ය. මෙහි පහත දැක්වෙන්නේ ඒ අරමුණුයි.

1. භික්‍ෂු සමූහයාගේ යහපත් පැවැත්ම සඳහා
2. භික්‍ෂු සමූහයාගේ හිත සුව සඳහා
3. භික්‍ෂු සමූහයා අතර සිටින නොහික්මුණු අවිනීත පුද්ගලයන්ට නිග්‍රහ කොට, ඔවුන් හික්මවා ගැනීම සඳහා
4. සුපේශල භික්‍ෂූන්ගේ ඵාසු විහරණය සඳහා
5. මෙලොව දී ඇතිවන ආශ්‍රවයන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා
6. පරලොව දී ඇති විය හැකි ආශ්‍රවයන්ගෙන් දුරුවීම සඳහා
7. නොපැහැදුනවුන් ගේ පැහැදීම ඇති කිරීම සඳහා
8. පැහැදුනවුන්ගේ පැහැදීම වැඩි දියුණු කරලීම සඳහා
9. නිර්මල වූ ධර්මය බොහෝ කාලයක් පැවතීම සඳහා
10. භික්‍ෂූන්ගේ කාය වාග් සංවරය ඇති කර ගැනීමට උපකාර වීම සඳහා

ශික්‍ෂාපද අනු ශික්‍ෂා පද ආදී වශයෙන් හා පාරාජිකා සංසාදිසේස, අනියත, නිසගි පචිති හා පචිති පාටි දේශනීය අධිකරණ සමථ, සේඛියා යන කාණ්ඩ වශයෙන් වූ 227 ක් වන ශික්‍ෂාපදයන්හි අන්තර්ගත වන්නේ මෙකී අභිප්‍රායයන් සපුරා ගැනීමට ඉවහල් වන ව්‍යවස්ථාවන්ය. විනය පිටකයේ දක්නට නොලැබෙන, එහෙත් භික්‍ෂූන්ගේ ආයති සංවරයට ඉවහල් වන විනය නිර්දේශ සමූහයක් අට්ඨකතාවලින් ඉදිරිපත් වේ. “ පාලි මුන්පාක විනය” නමින් හඳුන්වන්නේ ඒවාය. මේ හැම ප්‍රඥප්තියක්ම විනය නිර්දේශ හැටියට ථේරවාදිහු පිළිගනිති.
බෞද්ධ විනය සම්ප්‍රදායේ විශේෂත්වය නම් ඒ තුළ විද්‍යමාන වන ප්‍රජාතාන්ත්‍රීය ස්වභාවයයි. සෑම ශික්‍ෂා පදයක්ම පනවා ඇත්තේ සාධාරණ පදනමක් යටතේ වීමත්, සාධාරණ හේතු මත ඒවා වරින්වර සංස්කරණය වී තිබීමත්, බුදු සසුනේ විනය මිස විනය පාලකයකු නොවීමත් ඒ ප්‍රජාතාන්ත්‍රීය ස්වභාවය තහවුරු කරයි. බුද්ධ කාලයේ සිටම සුපේශල ශික්‍ෂාකාමී භික්‍ෂූන් වහන්සේලා වැඩි ප්‍රමුඛත්වයක් දී ඇත්තේ විනයටය. ඉතා සුලු විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් වුවද මහත්සේ විස්සෝපයට පත් වූයේ එබැවිනි. ඒ සම්බන්ධ උදාහරණ ශාසන ඉතිහාසයෙන් ඕනෑ තරම් සපයා ගත හැකිය. නිකාය භේදය පවා ඇති වූයේ විනය මුල්කරගෙනයි.
බුදුසමය ලංකාවේ මුල් බැස ගැනීමෙන් පසු මහා විහාරීය භික්‍ෂූන් අනුගමනය කළේද එම ආකල්පය මය. විනය ආරක්‍ෂා කිරීමටත් විනය විරෝධීව කටයුතු කරන්නන්ට නිග්‍රහ කොට දඩුවම් පැමිණවීමටත් උන්වහන්සේලා පසුබට නොවූහ. එහිදී ශ්‍රද්ධා බුද්ධිසම්පන්න සිංහල රජ දරුවන්ගේ සහාය ද උන්වහන්සේලාට නො අඩුව ලැබිණ. බොහෝ අවස්ථාවල දුසිල් මහණුන්ට ශාසනික දඩුවම් පමණක් නොව රාජ දඬුවම් පවා ලබාදුන් බවට ශාක්‍ෂ්‍ය අපේ ඉතිහාසයෙන් හමුවේ.
විවිධ සමාජ, ආර්ථික ,දේශපාලනික හේතු නිසා අපේ රටේ බුදු සසුන පිරිහි ගිය අවස්ථා දැකිය හැකිය. එසේ පිරිහී ගියේ භික්‍ෂූන් අවිනය වාදීව හැසිරුණු නිසාය. ඇතැම් අවස්ථාවල විනය කර්මයක් සිදු කිරීමට අවශ්‍ය තරම් උපසම්පන්න භික්‍ෂූන් නොවූ අවස්ථාද තිබේ. අඹු දරුවන් පෝෂණය කරමින් පැවිද්දන්ට අකැප වෘත්තීන්හි නියැළෙමින්, තිරශ්චීන විද්‍යාවන් ජීවනෝපාය කර ගනිමින් දුසිල් භික්‍ෂූන් සසුන කෙළෙසූ හැම අවස්ථාවකම ඒ විනාශය පිටු දකින්නට ධර්ම විනය ධර භික්‍ෂූහු පුරෝගාමී වූහ. රාජ්‍ය අනුග්‍රහය ලබා ගනිමින් ශාසනික කතිකාවත සම්මත කරගත්හ. මහා පරාක්‍රමබාහු කතිකාවත දඹදෙණි කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, සහ ශ්‍රී රාජාධි රාජසිංහ කතිකාවත ඇතුළු කතිකාවත් ඊට නිදසුන්ය. ඒ හැම ව්‍යායාමයකම අරමුණ වූයේ ශාසනික විනය තහවුරු කිරීමය. එකී කතිකාවත්වල එන පූර්ව විඥානයන් හා අන්තර්ගත ව්‍යවස්ථාවන් විමර්ශනය කිරීමෙන් ඒ බව මනාව පැහැදිලි වෙයි.
මේ ඓතිහාසික පසුබිම හා වර්තමාන ශාසනික තත්වය විමසීමේදි අපට දකින්නට ලැබෙන්නේ සතුටුදායක තත්ත්වයක් නොවේ. ඊට හේතුව නූතන සංඝ සමාජය තුළ විනය පිරිහී යාමේ ලක්‍ෂණ විද්‍යාමාන වීමයි.
ඉහත සඳහන් කළ ශාසනික කතිකාවත් සියල්ලේම එබඳු කතිකාවතක් ඇති කිරීමට හේතුවූ පසුබිම් පොදු ප්‍රකාශනයක් ලෙස ඒවායේ පූර්ව විඥානයෙහි එයි.
මහනුවර යුගයේදී සම්පාදිත කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවතෙහි ඒ පසුබිම තව දුරටත් මෙසේ විස්තර කර තිබේ. “ නක්‍ෂත්‍රය, වෛද්‍ය කර්මය, යක්‍ෂ ප්‍රලය ආදී වූ බුදුන් විසින් එපා යැයි වදාළ ශාස්ත්‍ර ඉගැන්මෙන්, රාජ රාජ මහා මාත්‍ය සේවනයෙන් ග්‍රාම ක්‍ෂෙත්‍රාදී තනතුරු ලබා ගැන්මෙන් ගොවිතැන් වෙළෙදාම් ආදී වූ නොයෙක් අකර්තවයන්හි යෙදී ඤාති කුල සංඝට්ඨ වැ පුත්‍රදාර පෝෂණශීලිව ශාසන පිළිවෙත් පිරිහී ගොස් විනාශ මුඛ ප්‍රාප්තව සිටි කල්හි....”
මේ ප්‍රකාශනවලින් පැවසෙන්නේ භික්‍ෂූන් වහන්සේලා ශික්‍ෂණයෙන් බැහැරව වැරදි ක්‍රියාවලට යොමුවීම නිසා කතිකාවත් සම්පාදනය කරන්නට සිදුවූ බවයි.. “අප්‍රතිපත්ති” යනු විනයට අදාළ නොවු පැවැතුම්ය “දුෂ්ප්‍රතිපත්ති” යනු වැරදි පැවැතුම් ය.
අප්‍රතිපත්ති, දුෂ්ප්‍රතිපත්තිවලට යොමුවීමෙන් සිදු වන්නේ භික්‍ෂූන්ගේ ශාසනික විනය පැවැත්ම පිරිහී යාමයි. කතිකාවත් සම්පාදනය කිරීමට තුඩු දුන් ශාසන පරිහානියේ ලක්‍ෂණ දැනුදු අපට පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම වර්තමාන බොහෝ තරුණ භික්‍ෂූන් අතර මෙන් ම වැඩිහිටි භික්‍ෂූන් අතරද මේ “අප්‍රතිපත්ති, දුෂ්ප්‍රතිපත්ති “දකින්නට ලැබේ. ඒ වායේ ප්‍රතිඵල ලෙස වැරදි කරන්නවුන් “අපාය පන්න වන ශාසනාවචර කුල පුත්‍රයන් “වීමට වඩා භයානක ප්‍රතිඵලය වන්නේ බුද්ධ ශාසනයේ පැවැත්මට බරපතළ තරජනයක් එල්ලවී තිබීමයි.
ශාසනාවචාර කුලපුත්‍රයන් හෙවත් භික්‍ෂූන්ගේ වගකීම ශාසනය ආරක්‍ෂා කිරීමයි. ශාසනය ආරක්‍ෂා කිරීම යනු විනය ආරක්‍ෂා කිරීමයි. යට සඳහන් කළාක් මෙන්” විනයේ ඨිතේ, සාසනං ඨිතං හෝති විනය රැකුණු කල්හි සසුනද රැකෙන්නේය යන බුද්ධ වචනය නිතර මෙනෙහි කළ යුතු අවස්ථාවක් දැන් එළැඹ තිබේ. ශාසන බාරධාරීන් නේම රාජ්‍ය නායකයන්ද මෙහි දී තම තමන්ගේ ඓතිහාසික වගකීම යළි සිහියට නගා ගෙන නොපමාව යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට උත්සුක වන්නේ නම් ශාසනයේ චිරස්ථිතියට මහත් පිටුවහලක් ලැබෙනු නිසැකය.


 කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති
රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය
ඌව - වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති
ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි







 බුදු සරණ පුවත්පතෙහි පළ වූ  කලාප දෙකකින්  උපුටා ගැනිමකි

No comments:

Post a Comment