වප් මස පුර පසළොස්වක දිනයෙන් ආරම්භව ඉල් පුර පසළොස්වක දිනයෙන් නිම වන මාසය බෞද්ධයන් අතර ප්‍රචලිතව ඇත්තේ චීවර මාසය වශයෙනි. ඒ කඨින චීවර පූජා පින්කම් පැවැත්වෙන කාලය බැවිනි. කඨින චීවර පූජාව පින්කමක් පමණක් නොව, ශාසනික විනය කර්මයක් ද වෙයි. ගිහි පැවිදි දෙපිරිසටම පින් වැඩෙන, දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් සිදුකළ හැකි එකම විනය කර්මය ද කඨින චීවර පූජාවයි. එබැවින් එහි සමාජ විද්‍යාත්මක වටිනාකම විමසා බැලීම වැදගත් වේ.
අපේ සමාජයට බෞද්ධාගමික පුද පූජා, වත්පිළිවෙත් හා චාරිත්‍ර විධි පිළිබදව අවබෝධය ලැබුණේ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීමෙන් පසුවයි. උන්වහන්සේ මෙහි වඩින විට මෙරට ජන සමාජය තුළ මළවුන් පිදීම, වෘක්‍ෂ වන්දනාව, දෙවියන් යැදීම හා යක්‍ෂ භූතාදීන්ට සැලකීම වැනි පුද සිරිත් විධි ක්‍රියාත්මක වෙමින් තිබුණු බැව් ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වෙයි. බුදු දහම මෙරටට හඳුන්වා දුන් මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස එවකට ජනතාව අතර පැවති ඇදහිලි හා විශ්වාසවලට එරෙහිව කටයුතු නොකළහ. ඒවාට නව අර්ථ කථන ඉදිරිපත් කරමින් ගැටුමකින් තොරව බෞද්ධාගමික සංකල්ප ජනතාව අතරට සමීප කරවීමට කටයුතු කළ බව බෝධි වන්දනාව, චෛත්‍යය වන්දනාව හඳුන්වාදීමෙන් පැහැදිලි වෙයි.
බුදුදහමේ මූලික අරමුණ පුද්ගලගත ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමයි. පුද්ගල ප්‍රශ්න නොවිසඳා සමාජ ප්‍රශ්න විසඳීමට නුපුළුවන. ගිහි පැවිදි භේදයකින් තොරව බෞද්ධ සමාජයේ මූලික අපේක්‍ෂාව වන්නේද ජීවිතය සාර්ථක කරගෙන දුකින් එතෙර වීමයි. ඒ සදහා බුදු දහම නිර්දේශ කරන ගමන් මග මධ්‍යම ප්‍රතිපදාවයි. මැදුම් පිළිවෙත අනුගමනය කරමින් විමුක්තිය පසක් කර ගැනීමට ක්‍රියා කරන්නෙකුට ඇදහිලි , පුදපූජා ආදිය පලක් නොවේ. බුදුරජාණන් වනහන්සේ පුද පූජා , යැදීම් ආදිය ප්‍රතික්‍ෂේප කළ කෙනෙකි. විවිධ අවස්ථාවන්වලදී තම ශ්‍රාවක භික්‍ෂූ සංඝයා පුද පූජා ආදියේ ඇති නිසරු බව පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ, පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින් ආනන්ද හිමියන්ට දේශනා කළේ ද “යො ඛො ආනන්ද භික්ඛුං වා භික්ඛුණී වා උපාසකො වා උපාසිකං වා ධම්මානුධම්ම පටිපන්නො විහරති. සාමීචිපටිපන්නො අනුධම්මචාරී, සො තථාගතං සක්කරොති ගරු කරොති මානෙති පූජෙති ආචීයති පරමාය පූජාය “ යනුවෙන් තථාගතයන් වහන්සේට මල් ගඳ විලවුන් ආදියෙන් පිදීම නොව, නිවැරදි පිදීම නම් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරීම බවයි. උන්වහන්සේගේ දේශනාව තුළ ද පුද පූජා ආදිය අගය කිරීමක් සිදුකොට නැත
මිනිසුන් එකිනෙකාට කායික හා චෙතසික වශයෙන් අසමාන බවත්, මිනිස් ගැටලු හුදෙක් සමාජ පරිසර සාධක නිසාම ඇතිවන ඒවා නොව, මූලික මිනිස් ස්වභාවය හා මිනිස් අවශ්‍යතාවයන් මුල් කරගෙන හට ගැනෙන බවත් බුදු දහම පිළිගන්නා සත්‍යයකි. බුද්ධිමතුනට ධර්මයේ එන මූලික සංකල්ප වටහාගත හැකි වුවත් සාමාන්‍ය ජනයාට එසේ පහසුවෙන් අවබෝධ කළ නොහැකිය. එමෙන් ම ඔවුනට කලක් පවත්වාගෙන හා ඇදහිලි,විශ්වාස ප්‍රාර්ථනා හා අදහස් වලින්ද එකවර ඉවත්වීම ද පහසු නැත. බුදු සමය ජනතාව අතරට ගෙනයාමේ දී සමාජය තුළ රෝපණය වී තිබුණු ඇදහිලි, පුදසිරිත් හා විශ්වාසයන් ප්‍රතික්‍ෂේප නොකර, ඊට අනුගත වෙමින් එහි නිසරු බව ප්‍රකට වන පරිදි අර්ථවත් පුද පූජා විධි හඳුන්වා දීමට සිදුවිය. ශ්‍රී‍්‍ර ලාංකික ජන සමාජය තුළ බෞද්ධ පුද පූජා ප්‍රචලිත වූයේ ද එහි ප්‍රතිඵල හැටියටයි.
ආදියේ සිටම පොදු ජනතාව වැඩි වශයෙන් බුදුසමයේ එන උත්තර අධිගමයට පැමිණීමට උත්සුක වීමට වඩා බාහිර පුද පූජා කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූහ. සැප ලැබීමට මග පින් කිරීමයි. තිරිසන් සතුන්ගෙ පටන් බුදුරජාණන් වහන්සේ දක්වා දෙන දානයන්ගේ අනුසස් දක්ඛිණ විභංග සූත්‍රයේ දැක්වෙයි. එයිනුත් සඟසතු දානය මහානිසංස දායකය. පරලොව සැප විඳීමට කැමති බෞද්ධයා මේ ඉගැන්වීම් ප්‍රයෝජනයට ගෙන දන් දීම් ආදි පුද පූජාවලට විශාල උනන්දුවක් දැක්වීය. වෙස්සන්තර, දේවදූත වැනි සූත්‍ර ජනතාව අතර වඩාත් ප්‍රචලිත වූයේ ද එනිසාය.
කඨින චීවර පූජාව එදා සිට අද දක්වාම බෞද්ධ ජනතාව ගෞරවයෙන් යුතුව උත්කර්ෂවත් ලෙස පවත්වාගෙන එනු ලබන්නකි. කඨින පූජාවේ ආරම්භයම සමාජ බලපෑමක ප්‍රතිඵලයකි. මුල් අවදියේ දි භික්‍ෂූන් වහන්සේ වස්සාන ඍතුවේ සුපුරුදු පරිදි චාරිකාවේ යෙදෙමින් කල්ගත කළහ. පසුව මීට අන්‍ය ලබ්ධික බොහෝ දෙනාගේ විරෝධය එල්ල විය. ගෞතමයන්ගේ ශ්‍රාවකයින් පොළොවෙන් හටගෙන වැඩෙන ඒකේන්ද්‍රී ජීව සංඛ්‍යාත පැළෑටි හා කුඩා ප්‍රාණීන් පාගමින් විනාශයට පමුණු වන්නේ යැයි ඔවුහු චෝදනා කළහ. බාහිර සමාජයෙන් එල්ල වූ චෝදනා සැලකිල්ලට ගත් බුදුරජාණන් වහන්සේ “අනුජානාමී භික්ඛවෙ වස්සානං උපගන්තුං “ යැයි වැසි සමයේ වස් සමාදන් වන ලෙසට උපදෙස් දුන්හ.
වස් සමාදන්වන භික්‍ෂුව සියලු ගමන් බිමන්වලින් වැළකී විහාරස්ථානයට වී සිටිය යුතු විය. උදේන නම් උපාසකයෙකු විහාරස්ථානයක් කරවා සංඝයාට මහා දන් දී එය සඟසතු කිරීමට සිතා භික්‍ෂූන්ට ආරාධනා කළමුත් තෙමසක් ගත වන තුරු තමන්ට පැමිණිය නොහැකි යැයි උන්වහන්සේලා දැනුම් දුන්හ. එයින් කලකිරිමට පත් හෙතෙම බුදුරජාණන් වහන්සේටත් භික්‍ෂූන්ටත් දොස් කියන්නට විය. මේ බැව් ආරංචි වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් කැඳවා සත්තාහකරණ ප්‍රඥප්තිය පැනවූහ. ඒ අනුව වස් සමාදන් වූ භික්‍ෂුවකට භික්‍ෂූ භික්‍ෂූණි සාමණේර සාමණේරී උපාසක හා උපාසිකා යන අයගේ ඇරයුමකින් සතියක් තුළ යළි පැමිණෙන අදහසින් විහාරස්ථානයෙන් පිටට යෑමට අවසර ලැබුණි. සමාජ බලපෑමක ප්‍රතිඵලයක් ලෙස සත්තාහකරණ ප්‍රඥප්තිය එකතු වු බව එයින් පැහැදිලි වෙයි.
කඨින පූජාව විනය කර්මයකි. සෑම උපසපන් භික්‍ෂුවකටම කඨිනයක් ලද නොහැකිය. ඒ සඳහා සපුරාලිය යුතු අංග කීපයක් වෙයි.ඇසළ පොහෝ දින පොහොය සීමාවට රැස්ව විනය කර්මයට සහභාගි වීම, අවපෑල වියදා පෙර වස් එළඹීම සිදුකළ යුතු අතර වස්සාන සමය තුළ තමා සමාදන් වූ වස් ශික්‍ෂා පදය අචේද්‍ය (නොබිඳුණු) කෙනෙකු විය යුතුය. වස් පොහෝ දිනයේ මහා පවාරණයෙන් පවාරණය කිරීමෙන් භික්‍ෂුව කඨිනයක් ලැබීමට සුදුසුකම් ලබයි. වස් සමාදානය හා බැඳුණු ක්‍රියාවලිය තුළ සංඝ සමාජයේ සාමගි‍්‍රය, පාරිසුද්ධ බව, සාමූහිකත්වය අන්‍යෝන්‍ය අවබෝධය වැනි සමාජයීය ලක්‍ෂණ මතුකර ගත හැකිව තිබේ. වස් ආරාධනය හා වස්සාන කාලය තුළ ක්‍රියාත්මක පිළිවෙත් ද ගිහි පැවිදි සමාජ සම්බන්ධතාව ශක්තිමත් කිරීමට හා ගිහි සමාජය තුළ සමාජ විද්‍යාත්මක ලක්‍ෂණ රාශියක් ගොඩනැගීමට හේතු වී තිබේ. සතරපේරුවේ දායක පිරිස දැනුවත් කොට සියලු දෙනාගේ සහභාගිත්වයෙන්, නියම කරගත් වේලාවකදී වස් ආරාධනාව සිදුකිරීම මෙරට සාමාන්‍ය සම්ප්‍රදායයි. යම් යම් හේතුන් මත වාදබේද, අමනාපකම් ගොඩනැගී තිබුණත් ඒ සියල්ල අමතක කර දමා, සියලු දෙනා විහාරස්ථානයට පැමිණෙති. ධර්මශාලාවේ තත්ව, තනතුරු කුලමල ආදි භේද කිසිවක් නොසැලකේ. සියලු දෙනා සම අසුන්හි වාඩිවෙති. සමානාත්මතාවය හා ප්‍රජාතාන්ත්‍රික බව උපරිමයෙන් ක්‍රියාවට නැංවෙන තැනක් ලෙස ධර්ම ශාලාව හැඳින්වීම වරදක් නොවේ. වස් ආරාධනයෙන් පසුව එළඹෙන ඉදිරි තෙමස තුළ සියලු දෙනා එක්ව භික්‍ෂූන් වහන්සේට සිව්පසයෙන් පූජා කරති. වස්සාන කාලය තුළ, විවිධ වූ විශේෂ පින්කම් සූදානම් කිරීම විශේෂයකි. සියලු දෙනා එක්ව විහාරස්ථානයේ විහාරාංගයන් පිළිසකර කිරීම හා ඌණතා සපුරාලීම කෙරෙහි ද උනන්දුවක් දක්වයි.
වස් පවාරණ කටයුතු නිම කළ පසු ඕනෑම කෙනෙකුට කඨිනය සඳහා ප්‍රමාණවත් සිවුරක් හෝ වස්ත්‍රයක් කඨින චීවරය ලෙස පූජා කළ හැකිවුණත්, අපේ රටේ එසේ නොකරති. ගමේ දායක පිරිස එක්ව සාකච්ඡා කොට සියලු දෙනාගේ සහභාගිත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස කඨිනය පූජා කිරීමට පෙළ ගැසෙති. එක් දිනයක් ඇතුළත කඨින චීවරයේ සියලු කටයුතු නිමා කළ යුතුය.
අලුයම දර්ශනීය පෙරහරකින් කඨිනය විහාරස්ථානය කරා වැඩම කරවයි. පෙරහර ආරම්භ වන්නේ ද කඨිනය භාරගත් තැනැත්තාගේ නිවසෙනි. ගමේ සියලු දෙනාම අලුයම එකී නිවසට එක් වන අතර, ඒ සියලු දෙනාට තේ පැන් ආදියෙන් කෙරෙන සංග්‍රහයෙන් පසුව පෙරහර ආරම්භ වේ. මේ අවස්ථාව ද ගම්මු අතර, සුහදතාව , සමගිය වර්ධනයට රුකුලක් වේ. පෙරහර විවිධ සංස්කෘතිකාංගවලින් විචිත්‍රවත් වන අතර ගමේ සියලු දෙනාට එකතු වීමට හැකි පරිදි ගමපුරා සංචාරය කිරීම ද සිදුවේ..”ආරපතෙ ආරපතෙ චක්තවක්ති සිරිං දදෙ “ යන දේශනාවට අනුව කඨිනය මැසීමේ ඉඳීකටු වාරයක් පාසා සක්විති රජ සැප ලැබෙතැයි සිතන හෙයින් හැම දෙනාම කඨිනය මැසීමට සුළු වශයෙන් හෝ සහභාගිවීමට මහත් උනන්දුවක් දක්වති. කඨින මහා දානය සඳහා සැවොම කල් ඇතිව සූදානම් වෙයි. වසරකට වරක් පමණක් කරගත හැකි දුර්ලභ ගණයේ පින්කමක් බැවින් විහාරස්ථානයට අවශ්‍ය ඇඳන්, පුටු, මේස වැනි ගරු භාණ්ඩ ද සහිත පූජා භාණ්ඩ රාශියක් කඨින දානය සමග පූජා කෙරෙති.
බෞද්ධ පුද පූජා විධි සඳහා පූජා භාණ්ඩ රාශියක් කඨින දානය සමග පූජා කෙරෙති. බෞද්ධ පුද පූජා විධි සඳහා උපයෝගි කරගනු ලබන බෞද්ධ කොඩි, සුවඳ මල්, පහන්, සුවඳ දුම් ආදිය සැදැහැවතුන්ගේ සිත්සතන් ප්‍රබෝධ කරවයි. සුදුවතින් සැරසුණූ උවසු උවැසියන්ගේ සාදු නදින් ගිගුම් දෙන කඨින පූජෝත්සවය සැදැහැතියන්ගේ සැදැහැ ගුණය වර්ධනය කිරිමටත් සැදැහැවතුන් තුළ සැදැහැ ගුණය ජනිත කරවීමටත් සමත් පින්කමකි. ශාසනික විනය කර්මයකි. ගිහි පැවිදි සමාජ ඒකාබද්ධතාවයෙන් වැඩි ජන කොටසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන සමාජමය කාර්යයකි.
කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි
බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින්
උපුටා ගැනිමකි
No comments:
Post a Comment