Labels

Tuesday, July 21, 2015

සසල සිත නිසල කරන දැහැමි පිළිවෙත



සිත පිළිබඳ හා සිතේ ක්‍රියාකාරිත්වය ගැන නොයෙක් ආගම් ශාස්තෘවරුන් මෙන්ම දාර්ශනිකයන්ද අදහස් දැක්වීමේ ඉතිහාසය ඈත අවධියකට ගමන් කරයි. එනමුත් සිත මුල් කොට ගත් දර්ශන හා ආගම් අතර මුල්තැනක් බුදුදහමට හිමිව ඇත. සිත හා සිතුවිලි ගැන බුදුදහමේ විවරණය වඩාත් තීව්‍ර වේ. බෞද්ධ යන නාමය තුළම සිත පිළිබඳ බුදුදහමේ දැක්වෙන පැහැදිලි කිරීම ගැබ්ව තිබෙන අතර බෞද්ධයා යනු බුද්ධිමත් ව හෙවත් ප්‍රඥාවන්තව කටයුතු කරන්නා යන්නයි.

 බුද්ධිය යනු කුමක් ද යන්න විමසා බැලිය යුතුවන අතර බුද්ධිය යොදනු ලබන්නේ කුමන පදනමක් මත ද යන්න ගැන ද විමසුමක් කිරීම තුළින් ‘බෞද්ධ’ යන වචනයේ නියමාර්ථය පසක් කළ හැකිව තිබේ. වත්මන්හි විෂයානුබද්ධිත වූ දැනුමක් ලබා විභාගාදියෙන් ජයග්‍රහණය ලද පුද්ගලයා හැඳින්වීම පිණිස බුද්ධිමතා, ප්‍රඥාවන්තයා හා උගතා යන වචන නිරතුරුව භාවිත කෙරේ. එසේ නම් විෂයානුබද්ධිත දැනුමක් ඇති පුද්ගලයා ‘බෞද්ධ’ නමින් හැදින්වේ ද? එසේ නම් විෂය දැනුම ඇති සැම බෞද්ධ ද? යන ප්‍රශ්න ඒ ඇසුරෙන්ම පැන නඟියි. මීට පිළිතුරු බුදුදහම තුළම ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මාදිට්ඨික සූත්‍රය තුළින් මීට ඍජු පිළිතුරක් ලබාගත හැකි ය. එම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවක පිරිසට මෙසේ දේශනා කළ සේක. මහණෙනි, යමෙකු අකුසලය දනී ද අකුසල මූලය දනී ද කුසලය දනී ද කුසල මූලය දනී ද එපමණකින් ම මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යදෘෂ්ටිකයෙකු වේ. ඒ අනුව තමා කරන ක්‍රියා පිළිබඳ ව නිවැරැදි දැක්මක් ඇත්තා යන අරුතක් මේ අනුව ඉස්මතු‍ෙව්.

පින් කිරීමට යුහුසුළු විය යුතු අතර පවින් සිත වළකාගත යුතුය. පින් කිරීම කල් දමන්නාගේ සිත නිරතුරුව පාපයේ ඇලෙන්නේ ද ගැටෙන්නේ ද සැලෙන්නේ ද වේ යැයි දක්වන සඳහනින් අපගේ සිත නිතර කිනම් දිශානතියකට යොමුව තිබේ ද යන්න බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. එනම් නිරතුරුවම පාපයට මෙම සිත ඇලෙන හා නැමෙන බවය. නිරතුරුව යහපතට සිත යොදන තැනැත්තකුගේ සිත ආයාසයකින් වුවද අයහපත් සිතුවිලිවලින් මුදවා ලිය හැකි බවත් ඒ සඳහා තමා මනා අභ්‍යාසයක නිරත විය යුතු බවත් මෙමඟින් පෙන්වා දෙයි. වැසි සමයක ඇද වැටෙන වැසි ජල බිංදු එකින් එක රැස්වෙමින් කළයක් ඉතිරී යන්නේ යම් සේ ද එසේම නුවණින් යුතුව පින් රැස් කරන්නා ද ටිකින් ටික පින් කිරීමෙන් පින් නමැති කළය පිනෙන් පුරවා ගන්නා බව පෙන්වයි. (උදබින්දු නිපාතෙන උදකුම්භොපි පූරති පූරති ධීරො පුඤ්ඤස්ස ථොක ථොකං ඛණෙ ඛණෙ) මද පිරිවර ඇති මහත් ධනය ඇති වෙළෙන්දකු උවදුරු ඇති මඟ හැරයන්නේ යම් සේද ජීවත් වීමට ආශා ඇති අය විෂ ආහාරයෙන් වැළැකෙන්නේ යම් සේ ද නුවණ ඇත්තන් එලෙසින්ම පවින් මිදීමට සිත සකස් කළ යුතු වේ. එබඳු වූ සිතුවිලි මත ක්‍රියා කළ යුතුව ඇත.

භක්තිය හෝ විශ්වාසය මත සියල්ල සිදුවේය වන මිත්‍යා මතය බුදුදහමින් ප්‍රතික්ෂේප වන බව ද කුසලාකුසල විනිශ්චයෙන් පැහැදිලි වේ. අන්ධ විශ්වාස මත කරනු ලබන දැයට වඩා සිත මුල්කොට කරනු ලබන දැයෙහි ඵලයක් ඇති බවත් එහි වැදගත්කමත් බුදුදහමින් නිරතුරුව අවධාරණයට ලක්කර ඇත. ඒ බැවින් සිත පෙරටුකර ගත් ක්‍රියාදාමයකට බෞද්ධයා අවතීර්ණ වීම අපේක්‍ෂා කෙරේ. දැකීමට ඉතා අපහසු වූ ඉතාම සියුම් වූ කැමැති කැමැති හැම තැනකම හැසිරෙන්නා වූ සිත නුවණැත්තේ රැක ගන්නේ ම වෙයි. එලෙසින් රක්නා ලද සිත ඔහුට නිරතුරුව ම සුවයක් ගෙන දෙන්නේ යැයි සිතේ ඇති ශ්‍රේෂ්ඨත්වය උසස් කර දක්වා ඇත. මාර බන්ධනයෙන් මිදීමේ මාවත ලෙසින් ද සිත දමනය කර ගැනීම බුදුරජාණන් වහන්සේ අවධාරණය කළ සේක.
මුල නොපෙනෙන සසරෙහි ඉපදෙමින් මැරෙමින් අපි ගමන් කරමින් සිටිමු.සසර ගමන නැවැත්වීම යනු ඉපදීම හා මරණ සංඛ්‍යාත නැති කිරීමය. එසේ නම් ඊට මුල්වනුයේ ද සිතය. සිත දමනය කිරීම යනු සසර ගමන රඳා පවත්වාගනු ලබන තණ්හාව මුල් කොටගත් ක්ලේශයන් ගෙන් තම සිත ඉවත් කර ගැනීමය. තමා විසින් තමා දමනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේ (අත්තා හි කිර දුද්දම) අපහසු වුවද තමාට පිහිට තමාම වන බැවින් (අත්තාහි අත්තනො නාථො) සදාතනික නිවීමක් සඳහා තමා දමනය කළ යුතු ව ඇත. ආනන්ද හිමියන් අමතා තමාට පිහිට තමාම බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. තමා ගැන තම වැටහීමත් ඒමඟින් තම ක්‍රියාකාරිත්වය සකස් කරගැනීමේ වැදගත්කමත් පෙන්වා දුන් සේක.
බෞද්ධ චින්තනය යනු බෞද්ධයකු සිතන ආකාරය වේ. යම් ක්‍රියාවක් කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ සිතින් අපි සැලැසුම් සකස් කරමු. එම සැලැස්ම කය හා වචනය පදනම් කොට ගෙන එළි දැක්වීමෙන් එම චින්තනය කායික , වාචසික ක්‍රියාවලියක් බවට පත් කෙරේ. එබැවින් සියලු ක්‍රියාවන්ගේ මූලය සිත බව පැහැදිලිය. සිත හැදීම යනු සිතන ආකාරය හෙවත් චින්තනය හැඩගැසීම වේ. සිතන ආකාරය නිවැරදි නම් එම සිතුවිලි ක්‍රියාවට නැඟීමෙන් සිදුකරන ක්‍රියාකාරකම්ද නිවැරැදි බව පැහැදිලිය. එම ක්‍රියාවන් තමාට මෙන්ම අන් අයටද වැඩදායක, සුවදායක වේ නම් එම යහපත් ක්‍රියා කුසල් වේ. තමාට මෙන්ම අන් අයටද අවැඩදායක, දුක්ඛදායක අයහපත් ක්‍රියා අකුසල් යනුවෙන් නම් කෙරේ. කුසලය සැම විට තමාට හිතකරවන අතර අකුසලය තමාට අහිත පිණිස දුක්ඛය පිණිස හේතුවන්නක් වේ. කායික මානසික පීඩනයට එමඟින් ලක්වීම නොවැළැක්විය හැකිය.
කුසල, අකුසල යනු තමා විසින් කරනු ලබන යහපත හා අයහපත නැතහොත් හොඳ, නරක දෙක වේ.මේ අංශ දෙක පිළිබඳව දැනීමක් ඇත්තා බුද්ධිමතා නැතහොත් ප්‍රඥාවන්තයා ලෙසින් බුදුදහමට අනුව විවරණය කළ හැකිය. සෑම ජීවිතයකම පදනම වනුයේ තමා විසින් තිදොරින් කරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාවන්ය. අකුසලය ගැන ඇති දැනීම කුසලය වැඩීමට රුකුලක් වේ. එමෙන්ම කුසලය හා එහි ඵල විපාක පිළිබඳ ඇති දැනීම අකුසලයන් නොකිරීමට හේතු වේ.
කුසලාකුසල විනිශ්චයක් කිරීමට නම් පුද්ගලයකුගේ සිත දියුණූ කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වේ. අපගේ සිත සැම ක්‍රියාවකටම මූලය වන අතර එසේ පහළ වන සිත් ද කුසල් අකුසල් යැයි වර්ග කළහැකිය. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ කුසලාකුසල යනු කුමක් ද යන්න පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් වේ. බුදුරජාණන් වහන්සේ එහි දී රාහුල හිමියන් අමතා මෙසේ දේශනා කළ සේක. රාහුලය, කයින් යම් කර්මයක් කරනු කැමැත්තේ ද මගේ මේ කාය කර්මය මට දුක් පිණිස පවත්නේය. අනුන්ට දුක්පිණිස පවත්නේය. උභය පක්ෂයටම දුක් පිණිස පවත්නේය. මෙම කාය කර්මය අකුසල කාය කර්මය වේ. එය දුක් වඩන්නේය. දුක් විපාක ඇත. එමෙන්ම යම් වූ කාය කර්මයක් තමාට දුක් පිණිස නොපවතී ද අනුනට දුක් පිණිස නොපවතී ද උභය පක්ෂයටම දුක් පිණිස නොපවතී ද මෙම කාය කර්මය කුසල්ය. සැප පිණිස පවතින්නේය. එහි සුඛ විපාකයක් ඇත; යනාදි වශයෙන් විමසා බැලිය යුතුය. බුදුරජාණන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ යමක් කිරීමට මත්තෙන් ඒ පිළිබඳ ව පූර්ව විනිශ්චයක් කළ යුතු බවයි. එම පූර්ණ විනිශ්චයට මුල් වන්නේ අන් කිසිවක් නොව තම සිත ම බව පැහැදිලි ය.
තමා නිරතුරුව සුදුසු ගුණයේ මෙන්ම නිවැරැදි සිතිවිලිවලද පිහිටමින් අනුනට අනුශාසනය කළ යුතු වේ. ‘අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසයෙ’ යනුවෙන් දක්වන අදහස ඉතාමත් වැදගත්ය. තම චින්තනය නිවැරැදිව සකස් නොකොට අනුන්ගේ චින්තනය හෝ හැසිරීම් ගැන අවවාද කිරීම ඵලදායක නොවේ. මන්ද තමා ඊට සුදුස්සකු නොවන බැවිනි. වැරැදි කරමින් උපදෙස් ලබා දෙන්නා ද තමා අතින් තමාටම අවැඩක් කර ගන්නා අතරම අනුන්ට ද අවැඩක්ම සිදු කරලයි.
සිත නිරතුරුව පාපයට බරය.එබැවින් සිත නිවැරැදි මාවතට යොමු කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. සිතට නිවැරැදි චින්තනයක් ඇති කර ගත හැකිය. එබැවින් බුදුරජාණන් වහන්සේ ඇතුළතින් හා පිටතින් මුරකාවල් යොදා නගරයක් ආරක්‍ෂා කරන්නාක් මෙන් තම සිත ද (නගරං යථා පච්චත්තං ගුත්තංසන්තර බාහිරං) නිරතුරුව රැකගත යුතු බව (එවං ගොපෙත අත්තානං) දේශනා කොට තිබේ.
දිය පහර තිස් හයකින් සැදුම් ලත් තණ්හාව (ආශාව) නමැති නදිය වේගයෙන් රූපාදි අරමුණු අතරින් ගමන් කරයි. නදියෙහි වනරාග, ද්වේශ හා විතර්ක නමැති ජලධාරා මඟින් විපරීත බුද්ධිය ඇති පුද්ගලයෝ දුගතිය කරාම ගෙන යනු ලැබෙත්. තණ්හාවට සිත තුළ නිරතුරුව ඉඩක් ලැබී ඇත. තණ්හාව යනු ‘සත්වයන්ට හැම පැත්තෙන් බිය ගෙන දෙන’” අරුත් ඇති පදයකි. (තත තීති තණ්හා) තණ්හාව යනු ආසාව නම් ආසාවේ ස්වභාව බැඳීම වේ. බැඳීම ඇත්තා නිරතුරුව බියකින් පෙළේ. සෙසු සියලු ජීවිතවලින් කැඩී වෙන් වී ‘මම’ නැතහොත් ‘අපි’ වශයෙන් කැටි වී පවතින කොටස් මඟින් අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීමට ඇති ආශාව ලෙසින් ද තණ්හාව අර්ථ ගැන්විය හැකිය. තණ්හාව මුල්කොට ගත් කෙනෙකුගේ සිතුවිලි අකුසල පක්ෂයේ ලා සැලකේ. මන්ද තණ්හා සහගත වූ සිතිවිලි ඇත්තන්ගෙන් නිරතුරුව තමාට මෙන්ම අනුනටද ඇවැඩක් සිදුවන බැවිනි. තණ්හාවෙන් බැඳෙන හා එහි එල්බෙන ජීවිතය සෝකයෙන් හා බියෙන් පෙළෙයි. (තණ්හාය ජායති සොකො -තණ්හාය ජායති භයං) තණ්හාවෙන් තොර වූ දිවියට සෝකයක් හෝ බියක් නැති බව (නත්ථි සොකො කුතො භයං) බුදුරජාණන් වහන්සේ ධම්මපද පාලියේ දී දේශනා කළ සේක.

තණ්හාව මහා ප්‍රවාහයකට උපමා කර ඇත. මහා ප්‍රවාහය බෙහෙවින් සැඩපරුෂය, අමිහිරිය. එහි එක් ඵලයක් වන්නේ විනාශයයි. බුදුරජාණන් වහන්සේ තණ්හාව මහා ජල ප්‍රවාහයකට සමාන කරමින් දක්වති. එම සැඩ පහරට ලක්වන දෑ, හසුවන සැම තැලී පොඩි වී විනාශ වීම ස්වභාවිකය. එසේම තණ්හා නමැති සිතුවිලි ප්‍රවාහයට මැදිවන පුද්ගලයන්ට අත්වන්නේ ජල දහරාවට හසු වූ පුද්ගලයන්ට අත් වූ ඉරණමයි. සියලු අකුසලයනට මූලය වන්නේ ද තණ්හාවම ය. තණ්හාව නමැති ජල ධාරාවො සැම තැනකම ගලායති. (සවන්ති සබ්බධි සොතා)
එක් අවස්ථාවකදී බුදුරජණන් වහන්සේ තණ්හාව වැලකට උපමා කොට ඇත. තණ්හාව නමැති වැල සදොරින් මතුව සිටියි. (ලතා උබ්බිජ්ජ තිට්ඨති) එසේ හටගත් තණ්හාව නමැති වැල නුවණින් සිඳ බිඳ දැමිය යුතු බව අවධාරණය කෙරේ. (තඤ්ච දිස්වා ලතං ජාතං මුල පඤ්ඤාය ඡින්දථ) වැලේ ස්වභාව කිසියම් ආධාරකයක් මතින් ඉහළට ගොස් එම ආධාරකය ද විනාශ කොට තමා ද විනාශයට පත්වීමය. ගසක වෙළෙන වැල ගසේ ඉහළට ගොස් අතුපතර ද වෙළී ගසේ සාරය ද උරා ගනිමින් එම ගස විනාශයට පත් කරයි. වැලෙන් වන හානියෙන් විනාශයට පත්වන ගස මැරී දෙරණ මත ඇද වැටෙයි. ගස වැටෙන විට ගස වසා පැතිර තිබූ වැල ද පොළොව මතට ඇද වැටී විනාශ වෙයි. තණ්හාවෙන් වෙළී ගිය දිවිය ද එසේය.තණ්හා සහගත සිතුවිලි අනෙකුත් මානව ක්‍රියාකාරකම් සමඟ වෙළීයයි. තණ්හාව නම් වූ වැල් හැදෙන, ඊට සාරය ලබා දෙන ඉන්ද්‍රියයන් හයක් ඇත. ඇස,කන, නාසය, දිව, ශරීරය හා මනැසයි. රූප, ශබ්ද,ගන්ධ,රස, ස්පර්ශ හා ධම්ම යන ආරම්මණයන් නිසා තණ්හාව නම් ලතාව හටගන්නා අතර එම ලතාවන් සිත හා සිතුවිලි වසා ගෙන වචන හා ක්‍රියා මගින් බාහිර ලෝකය හා සම්බන්ධ වේ.බොරුව, කේළම, පරුෂ වචනය හා හිස්වචන ලෙසින් මෙම තණ්හාව එක් ද්වාරයකින් එළියට එන අතර පරපණ නැසීම, සොරකම , කාමයේ වරදවා හැසිරීම සංඛ්‍යාත වූ ක්‍රියාදාමයන් ඔස්සේ තව ද්වාරයකින් එළියට එයි. මෙම ක්‍රියාදාමයන් තමනට මෙන්ම අන් අයටද අවැඩදායකය. එබැවින් මෙම ලතාව විෂ සහිතය. කටු සහිතය.එය ඇසුරුකරන සැම දෙයක්ම විනාශ මුඛයට පත් වීම නොවැළැක්විය හැකිය. වැල නිසා ගස නැති වී ගියේ යම් සේ ද, වැල ඇසුරු කළ සැම දෙය විනාශ වූයේ යම් සේ ද එසේම තණ්හාව නමැති වැල හා සම්බන්ධ වූ ක්‍රියාදාමයට හසු වූ සැම දෙය ද එලෙසින්ම විනාශ මුඛයට පත්වේ. එමෙන්ම තණ්හා සංඛ්‍යාත වූ මෙම වැල මුල් අවධියේ ම හඳුනාගෙන සිඳ බිඳලිය හැකි නම් ඉන් වන හානිය වළකාගත හැකිය.
තණ්හාවෙන් වෙළීයන සිත නිරතුරුව සසලය. සසල හිත නිසල කළ හැක්කේ සිත සසල කරන මූලයන් නිවැරැදිව හඳුනා ගැනීමෙනි. එනම් තණ්හාව හා තණ්හාව ඇතිවන මාර්ග ගැන නිවැරැදි අවබෝධයක් ලැබීම මඟිනි. බුදුරජාණන් වහන්සේ මෙහිදී තණ්හාව හඳුනා ගැනීමට හා එහි මූලය සිඳලීමට හැකි මාර්ගය ලෙසින් නුවණ හෙවත් ප්‍රඥාව දියුණු කර ගැනීම පෙන්වා වදාළහ. සිත සසල කරන ආරම්මණ මනාව ප්‍රඥාවෙන් තේරුම් ගනිමින් සිත හා සිතුවිලි පිළිබඳ මනා දැනීමකින් කටයුතු කරන්නේ නම් සන්සුන් වූ මනැසක් ඇති කර ගැනීමට එයම හේතු වේ. සසල සිත නිසල කර ගැනීමට එමඟින් ලැබෙනුයේ මහත් උපකාරයකි.

 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි










ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ අධි බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අගෝස්තු 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment