Labels

Tuesday, July 28, 2015

සත්වයා සැපතට ගෙන යන උතුම් දහම


‘ධම්මපීති සුඛං සෙති අස්මිං ලොකෙ පරම්හි ච” මේ උතුම් බුදු වදන අනුව ජීවත් වන හැම මිනිසකුටම සැප ලැබිය හැකිය. ලොව හැම සත්වයෙක් ම සැපවත් ජීවිතයක් ගත කිරීමට කැමැති වෙති. යහපත් යැයි සම්මත අරමුණු , පං‍ෙච්න්ද්‍රියයන්ට ලබා ගැනීමට ඇත්නම් එය සැපවත් ජීවිතයක් සේ සැලැකීම සාමාන්‍ය ලෝක ස්වභාවයයි.

 සැපය, සංතෝසය , පී‍්‍රතිය, සතුට , සෑම කෙනකුටම සුවයක් හෙවත් මිහිරක් ගෙන දෙයි . ජීවිත කාලය තුළම අප උත්සාහ කරන්නේ එය ලබා ගැනීමටයි. මෙලොව ජීවිතයේ ලබන ඒ මිහිරියාවේ අවසානය දුකකි.
ලොවුතුරු දහමට අනුව ධර්මය දැන ගැනීම තුළින් ලබන සැපය , තාවකාලික වූවක් නොවේ. බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සසර සැරිසරමින් සමති‍්‍රංශත් පාරමී ධර්ම සම්පූර්ණ කර අවසානයේ තුසිත දෙව්ලොව ඉපිද සිටිය දී දෙවියන්ගෙන් ලබන ලද ආරාධනා ඇත්තේ, පස්මහ බැලුම් බලා මිනිස් ලොව ඉපිද ගිහි ජීවිතයේ නිසරු බව තේරුම් ගෙන , සියලු ගිහි සැප අතහැර සය අවුරුද්දක් අති දුෂ්කර ප‍්‍රතිපදාවක් අනුගමනය කොට එයින්ද විමුක්තිය ලද නොහැකි බව දැන මැදුම් පිළිවෙතේ යෙදී පන් තිස්වන වියේදී සියලු කෙලෙසුන් නසා උත්තරීතර සම්මා සම්බෝධියට පත් වූ සේක.
එතැන් පටන් හතළිස් පස් වසරක් මුළුල්ලේ ලෝක සත්වයා කෙරෙහි පතල වූ මහා කරුණාවෙන් දේශනා කළ අසූ හාරදහසක් ධර්ම ස්කන්ධය ඉහත කී ‘ධම්ම’ යන්නට අයත් වෙයි. වෙනත් අයුරකින් කියවා තම බුද්ධ පරිනිර්වාණයෙන් පසු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත් වූ ප‍්‍රථම ධර්ම සංගායනාවේදී සංගායනා කරන ලද ති‍්‍රපිටක ධර්මය මෙයට ඇතුළත් වෙයි. ඒ ධර්මය පිළිපැදීමෙන් ලෞකික හා පාරලෞකික සියලු සැප ලබා ගත හැකිය.
එම ධර්මයෝ පරියාප්ති , ප‍්‍රතිපත්ති , ප‍්‍රතිවේධ, යනුවෙන් ති‍්‍රවිධ ය. එයින් විනය, සූත‍්‍ර අභිධර්ම යනු පරියාප්තියයි. බුදුරජාණන් වහන්සේ විසින් පුද්ගලයාගේ කායික, වාචසික සංවරය පිණිස පෙන්වා වදාළ ශීලාදී ප‍්‍රතිපත්ති , ප‍්‍රතිපත්ති ධර්මයයි. එය ශීල සමාධි ප‍්‍රඥා වශයෙන් දක්වා ඇත.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ප‍්‍රතිපත්තිමය ජීවිතයක් ගත කරමින් කෙලෙස් ප‍්‍රහීණ කොට සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙලින් නිවන් අවබෝධ කිරීම, ප‍්‍රතිවේධ ධර්මයයි. එහෙයින් පර්යාප්තිය තිබෙනතාක් කල් ප‍්‍රතිපත්තිය පිරිය හැකි ය. පර්යාප්තිය හා ප‍්‍රතිපත්තිය යන දෙකම ප‍්‍රතිවේධ ධර්මය සඳහා අවශ්‍ය වේ. ධර්මයේ පිහිටීම තුළින් සංසාර දුක් කෙළවර කළ හැකිය.
මේ ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් මනා කොට දේශනා කරන ලද්දේය. තමන් විසින්ම දැන අවබෝධ කට යුත්තේය. කල් නොයවා මෙලොවදීම විපාක දෙන්නේය. තමා විසින්ම අත්හදා බලා ප‍්‍රතිඵල ලබාගත හැකිය. සිතෙහි දරාගත යුත්තකි. වැඩිය යුත්තකි. අරමුණු කර ගත යුත්තකි. නුවණැත්තන් විසින්ම ප‍්‍රත්‍යක්‍ෂ කර ගත යුත්තකි. මේ සියල්ල ධර්මයේ ඇති විශේෂ ගුණ වෙයි.
ලෝකයේ ඇති අනෙකුත් ආගම් හා ඉගැන්වීම් වලට බුදු දහම සමාන කළ නොහැක්කේ නිදහස් චින්තනය හා වීමංසක බුද්ධිය නමැති පදනම නිසාය. විමසා බලා හාරා අවුස්සා දහමට ගැළැපේ නම් පමණක් පිළිගැනීමේ නිදහස එහි ඇත. එහි සිතීමේ හා විවේචනය කිරීමේ අයිතිය ඇත. අන්ධ විශ්වාසයට ඉඩක් නොතිබීම, බුදු දහමේ ඇති වැදගත් ම ගුණයයි. මේ ධර්මය නුවණ ඇති අයටයි. (පඤ්ඤාවන්තස්සායං ධමෙමා )
පුද්ගල නායකත්වය අනාගත ශාසන දෝෂයනට හේතුවිය හැකි බව දත් බුදුරජාණන් වහන්සේ ධර්ම විනය ගුරුතන්හි තැබීම අනුදැන වදාළහ. පුද්ගල පරම්පරාවට ශාසනය පවරාදී නැත. යමෙක් දැනගත යුත්තේ පුද්ගලයකු නොව, ධර්මයයි. ධර්මය දකින්නා තමන් දකින බව, වක්කලි තෙරුන්ට දේශනා කළහ. බුදුරජාණන් වහන්සේ දැකිය හැක්කේ උන්වහන්සේ දේශනා කළ ධර්මය දැකීමෙනි. යමෙක් පටිච්ච සමුප්පාදය දකී නම්, හෙතෙම ධර්මය දකින්නේය. යමෙක් ධර්මය දකී නම් හෙතෙම බුදුරදුන් දකින්නේය. ධර්මය අද ද ජීවමානය.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්නව වැඩ සිටිය දී දිව්‍ය බ‍්‍රහ්මාදීන් පවා අහසින් අවුත් ගඳ මල් ආදියෙන් පූජා පවත්වද්දී, “ මෙපමණකින් යමෙක් බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් කළා නොවන්නේය. යමෙක් ධර්මානුධර්ම පටිපන්නව , සාමීචිපටිපන්නව ධර්මානුකූලව වෙසෙත් ද ඒ තථාගතයන්ට කරන පරම පූජාව වන්නේ යැයි වදාළහ”
බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර විමුක්තිය සලසා ගැනීමට උත්සාහ කළ ධර්මාරාම භික්ෂුව ගැන ඇසූ උන්වහන්සේ “ සාධු , සාධු! , මට නිසි ලෙස ගරු කරනු කැමැති යම් මහණෙක් වේ නම්, මේ ධර්මාරාම භික්ෂුව මෙන්, ධර්මානුකූලව පිළිපැදීමෙන් ම ගරු කළ යුතු යැයි වදාළ සේක.
ජාති, ජරා, ව්‍යාධි, මරණ , සෝක , පරිදේව යනු සසර ස්වභාවයයි. ඒ සසර දුක් කෙළවර කිරීමට අප‍්‍රමාදීව ධර්මයෙහි හැසිරිය යුතු ය. උසස් වූ මිනිස් බවක් ලැබීම, අප පෙර කළ මහා පින් මහිමයක විපාකයකි. මේ භවය කුසල් දහම් වැඩීමට තිබෙන පහසුම ස්ථානයයි.
තමන්ට පිහිට තමන්ම ය. අනුන්ගේ සරණක් අනුන්ගේ පිහිටක් ප‍්‍රාර්ථනා කරනවාට වඩා, තමන් පිහිට කොට, තමන් සරණ කොට , ධර්මය පිහිට කොට ධර්මය සරණ කොට වාසය කළ යුතු බව වදාළහ. ධර්මය පහුරකට සමානය. පහුරක් අවශ්‍ය වන්නේ ගඟින් එතෙරවීමට ය. කිසිවෙක් ගඟින් එතෙර වූ පසු පහුර හිස මත තබාගෙන යන්නේ නැත. ධර්මය,ද එබඳු ය. එය සසරින් එතෙර වීමට පිහිට කර ගත යුත්තක් මිස, දැඩිව එල්බ ගත යුත්තක් නොවේ.
එහෙයින් බුද්ධ දේශනාව අනුව ජීවිතය හැඩගස්වා ගැනීමෙන් මෙලොව ශාන්තිදායක පී‍්‍රතිමත් ජීවිතයක් ගත කළ හැකි ය. එවිට ඔහුගෙන් තමාටත් අනුන්ටත් කිසිදු හිංසාවක් සිදු නොවේ. ඒ ලබන සුවය සසර කෙළවර දක්වාම තමා පසුපස ගමන් කරනු ඇත. එහෙයින් ධර්මානුකූල සිල්වත් ජීවිතයක් ගත කරමින් ශාන්තිය ලබා ගැනීමට සියල්ලෝම උත්සාහ ගනිත්වා.

සම්මා සම්බුදු සරණයි

 ශාස්ත‍්‍රපති උනන්තැන්නේ බුද්ධප්පිය හිමි


ශ‍්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ අගෝස්තු මස 28 වැනි අඟහරුවාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment