Labels

Friday, July 17, 2015

මව් – පිය ගුණ දන්නෝ නිවනට මඟ පාදන්නෝ ය


මඳ කොට දන් දෙන අයත්, මඳ කොට සිල් රකින අයත් දුර්භාග්‍යව උපත ලබන බව ධර්මය කියයි. ප්‍රමාණවත්ව දන් දෙමින් – ප්‍රමාණවත් ව සිල් රැකියෝ සෞභාග්‍යව උපත ලබන බවත් ඒ තරමට ම ප්‍රසිද්ධ සනාතන ධර්මයකි.

මේ දෙ-පිරිසම උපදින විට උපදින්නේ මවු-පියනට දාව මවු කුසයේ ය. දුර්භාග්‍ය දරුවා කුසයට ආ බව හෝ සෞභාග්‍ය දරුවා කුසයට ආ බව හෝ නො-දැන-නොසලකා සම සේ සිතා සලකන්නේ මවු තො මෝය. ඒ නිසාමය ඕ තොමෝ බ්‍රහ්ම නාමය අර්ථයේ පරිසමාප්තයෙන් ම ලැබීමට සුදුස්සියක් වන්නේ.

 “බ්‍රහ්මාති මාතා පිතරො - පුබ්බා චරියාති චුව්චරේ
ආහුනෙය්‍යාච පුත්තානං - පජාව අනුකම්පකා
තස්මාහි නෙ නමස්සෙය්‍ය - සත්කාරෙය්‍යා ථ පණ්ඩිතො”

මේ ගාථාවෙන් අපේ බුදු පියාණන් වහන්සේ වදාරන්නේ මවු පිය දෙපොළ බ්‍රහ්මයා හා සමාන බවය. පූර්වාචාර්යයන් වන බවය. දුර සිට යමක් ගෙනැවිත් දිය යුතු නම්, පිදියයුතු නම් එසේ දිය යුත්තේත්, පිදිය යුත්තේත් මව්පියන්ට බවයි. එසේ ම උදේ සවස වැඳුම් – පිදුම් කරමින් ගරු සත්කාර කළ යුතු වන්නේත් මව්පියන්ට බවයි.
බඹ ලෝ වැසි බ්‍රහ්මයෝ මුළු ලෝ වැසියන් කෙරෙහි පතුරවන මහා ගුණ හතරකි. ඒ, මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා යන ගුණ හතරයි. මේ උතුම් බ්‍රහ්ම විහාරයෙන් මව්පියන් ද සිය දරුවන් වෙනුවෙන් කැප කරන හෙයින් මේ සතර බ්‍රහ්ම විහාරයෙන් යුක්ත යයි සලකනු ලැබේ.
මව් කුස තුළ ඔබ රඳවාගෙන සිටි ඒ මාස අට – දහයම ඇගේ ලෙයින් ඔබ පෝෂණය කිරීමට ඔබගේ වැඩීමට අවශ්‍ය සියලුම දෑ මවගේ සිරුරෙන් ලැබෙන්නට ඉඩ දීම ඒ මානුෂික පරිත්‍යාගයම වෙන කිසි මවෙක් ඔබට කර ඇත්දැයි ලොකු මහත් වූ විට ඔබ සිතා බැලිය යුතුව ඇත.
ඔබේ ජීවත් වීමේ පරම අයිතිය – නිරෝගිව යහපත් දරුවෙක් ලොවට බිහිවීමේ පරම අයිතිය රැක දුන්නා පමණක් නොව ඇගේ ලෙයින් ඔබ පෝෂණය කර දී ඇත. ඔබ කුස තුළ වැඩෙද්දී මව විඳි අපමණ වේදනා වින්දේ ඔබ මුහුණ දකින මෛත්‍රියෙනි. ඔබට නොසරුප් ආහාරපාන නො-ගැනීමටත්, ඔබගේ වැඩීමට අදාළ ආහාර පාන ගැනීමටත් ඕ නිතරම පරිස්සම් වුවා ය.
ගමන්, බිමන්, ඇඳුම්, පැළඳුම් ඇගේ රුචිකම් අනුව නොව ඔබේ පහසුව ම සලකා අඳින්න, පළදින්න ඈ හැමවිටම සිතට ගත්තා ය.
ඔබ කුස තුළ සිටින කල්හි කළ සියලුම පරිත්‍යාගයෝ ඔබ නො-දැක ඔබ වෙනුවෙන් මෛත්‍රී සහගත සිතින් කළ පරිත්‍යාගයෝ වෙත්.
මවකට හැර වෙන කෙනෙකුට මෙවන් පරිත්‍යාගයක් කළ නො-හැක්කේ මය. ඒ නිසාමය මව මහ බඹුට සේවූ මෛත්‍රියක් ඇත්තෙකැයි බුදු පියාණන් වහන්සේ වදාළේ.
එපමණක් නොව දරුවෙකු මවු කුස පිළිසිඳ ගත් දා සිට නිරෝගි සම්පන්න යහපත් දරුවෙකු කවදා දකිම්දෝ හෝයි මහත් බලාපොරොත්තු ඇතිව යි. ඈ හෝ ඔහු ගැහැණු-පිරිමි බවවත් නො දැන, සෞභාග්‍ය, දුර්භාග්‍ය බව වත් නොදැන ලැබෙන් ට සිටින දරුවා රකින්නේ තමාගේ සියලු පරිත්‍යාගයන් දරුවා වෙනුවෙන් කැප කරමිනි.
හා පුරා කියා ලැබෙන කුළුදුල් දරුවෙක් වෙනුවෙන් නම් සිය තාරුණ්‍ය- රූ සපුව - ආහාරපාන, ඇවතුම් පැවතුම් ලැබෙන්නට සිටින දරුවා වෙනුවෙන් කැප කරයි. මේ සියල්ලම කැපකරන්නේ – පුදන්නේ දරුවෙකු පිළිසිඳ ගත් දා සිට අඟ පසඟ පිරි පුන් දරුවෙකු කවදා ලැබෙම් දෝ හෝයි මවට මෙත් සිත උපදවමිණි.
දරු සෙනෙහස කොපමණ බලවත් ලෙස මවගේ හදවත් තුළ බල පවත්වන්නේ ද යන්න විදහා පාන්නෙකි. මාස 8-10 කින් ඇගේ රතු පාට ලේ සුදු පාටට හැරී තිබීම. එපමණක් නොව දරුවා ලැබුණු පසු මෛත්‍රිය, කරුණාවට හැරී අත පය වලංගු නැති තම කටයුතු කර කියා ගැනීමට අපහසු උඩුබැලි අතට වැටී සිටින අවස්ථාවේ දී – මවගේ කරුණාව, ආදරය, ප්‍රේමය නිසාම ඔහුට ලැබෙන පිළිසරණ, උපකාර.
ඒ අවස්ථාවේ දී මෑණියන් ගේ අවධානය මුළුමනින්ම දරුවා කෙරෙහි නො- යෙදුණේ නම් දරුවාට යන්ට තිබුණ කල දවස කෙසේ වෙන්න තිබුණේ දැයි සිතා බැලිය යුතුව ඇත.
දරුවාට මේ අවස්ථාවේදී ආදරය හා කරුණාව මෑණියන් ගෙන් හැර වෙන කාගෙන්ද ලැබෙන්නේ ඒකනෙ, එදා සුදොවුන් මහරජ දරු ප්‍රේමය වනාහි; සිවියත්, සමත්, මසුත් විනිවිද ගොස් ඇටත්, ඇට මිදුලුත් විනිවිද ගොස් සිටින්නේ යයි එදා රාහුල කුමරුන් මහණ කළ දා බුදු පියාණන් වහන්සේට මතක් කර දුන්නේ.
එහෙම කරුණාවක් - ප්‍රේමයක් අර උඩු බැලි අතට වැතිර සිටි දූට / පුතාට සිය මවගෙන් නො-වන්නට ඔහුට-ඈට කිසි දා ඇවිදීමට නො-ලැබෙන බව කොයි දූ-දරුවෝත් තරයේම සිතට ගත යුත්තේ මවට එවන් වන්දියක් ගෙවීමට ඇති බව හිතාගෙන ය.
එපමණක් නොව මවු-පියෝ දූ-දරුවනට බොහෝ උපකාර කළාහු වෙති. ඔවුන් ගේ ජීවිත රැක දුන්නෝ වෙති. අත් පා වැඩෙන්ට සලසා - ලේ කිරට හරවා පොවා පෝෂණය කළා හු වෙති. එපමණක් නොව මේ ලෝකය පිළිබඳව සුබාසුබ අරමුණු දැක් වූවෝ මවු පිය දෙපොළ වෙති. එහෙයින් මව් පිය ගුණ අනන්තය.
ගුණවත් මව්පියන් තමන් හොඳ කෑම බීම නොකා-දරුවනට කවති-පොවති. බාල ඇඳුම්-පැළඳුමින් තමා සැරසුනත් දරුවාට ඉතා හොඳ ඇඳුම්-පැළඳුම් සොයා දෙති. ඇතැම් විට තමා බඩගින්නේ සිටිමින් දරුවන්ට හොඳ ආහාරම කවති-පොවති. නො-යෙක් දුක් කරදර විඳිමින් දරුවන්ට සිය දූ-පුතුන්ට සුව පහසුවම සලසති.
ඒ මව්පියන්ගේ කරුණා ගුණයයි. මුදිතා ගුණයෙන් සිය – දූ – දරුවනට සැලකිලි ලැබෙන්නේ. සිය කටයුතු තනියම කරගත හැකි ඉගෙන කියාගෙන යහපත් දූ-දරුවෙක් ලෙස පෙනී සිටින අවස්ථාවටයි.
ඒ අවස්ථාවේ දී අනේ අපේ දූ-දරුවන් ගේ දක්‍ෂකම්, උපයන මුදල්, විවාහ ආදිය බලා ඉත සිතින් සතුටු වන දෙපළ - සිය මව්පිය දෙදෙනාය. ඒ මුදිතා ගුණයයි.
සම්මුති දේව (රජවරු) උත්පත්ති දේව (දේවතාවෝ) විසුÿදේව (රහත්හු) යන මේ තෙවැදෑ දෙවියන් අතර හැමට උතුම් විසුÿදේව නම් වූ රහතුන් වහන්සේලා තුන්ලොවවාසීන් ගේ දාන, මාන, වැඳුම්, පිඳුම් ආදිය පිළිගන්නට සුදුසු වෙති. ඒ උතුමෝ අනුවණ ජනයා කරන වැරදි ගණන් නො-ගෙන ඒකාන්තයෙන්ම ඔවුනට අවැඩක් නො-සිතා යහපතම දියුණුවක්ම, සුවයක්ම, පතති. මවු පියනට කරන උපස්ථානය ද ඒ විසුÿ දෙවියනට කරන උපස්ථානය මෙන් මහත් ඵල ගෙන දෙන්නේය. ඒ හැම දෙවිවරුන්ට පළමුවෙන් දරුවනට උපකාර කරන බැවින්, ආරක්‍ෂා කරන බැවින් මව්පියෝ ම “පූර්ව දේවතාවෝ” යයි වදාළ සේක.
ඔවුහු කුඩා කාලයේ පටන් - සිය දරුවනට යන එන අයුරු, කථාකරන අයුරු, කන, බොන අයුරු ආදී සෑම සිරිත් විරිත්ම කියා දෙන හෙයින් “පූර්වාචාර්යයෝ” හෙවත් මුල් ගුරුවරු යයි වදාළ සේක. අන් ගුරුවරුන් ශිල්ප ශාස්ත්‍රාදිය උගන්වන්නේ ඉන් පසුවය. සඟරුවනට දාන මානාදිය දුර සිට ගෙනවුත් පුදනට සුදුසු බැවින් ඒ මහා සඟන ආහුණෙය්‍යයෝ ය. මවු පියෝ ද දරුවන් ඈත සිට ගෙනවුත් පුදන කෑම-බීම ඇඳුම්-පැළඳුම් ආදිය පිළිගන්නට නිසිවන බැවින් දරුවනට ආහුණෙය්‍යයෝ නම් වෙතැයි වදාළ සේක.
මෙබඳු ගුණ ඇති මවු-පියන් පුදන පවුල බ්‍රහ්මයන්, පූර්වදේවතාවන්, පූර්වාචාර්යයන්, දක්‍ෂිණාචාර්යයන් සහිත පවුල යයි බුදු පියාණන් වහන්සේ වදාළේ ඒ නිසාය.
මේ ලෝකයෙහි. පිං නැමති බීජය වැපිරීමට ඇති සාරවත් කුඹුරු සතරෙකි. ඒ පිං කෙත් සතර වනාහි සම්මා සම්බුදු පියාණන් වහන්සේය. බුද්ධ ශ්‍රාවක මහ රහතන් වහන්සේය, මෑණියන් වහන්සේය, පියාණන් වහන්සේය යන මේ සතර දෙනා වහන්සේලා කෙරෙහි කය, වචන, හිත යන තුන් දොරින් මනා කොට පිළිපදින්නෝ බොහෝ පිං රැස් කර ගනිතැයි තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ ඒ නිසාය.
මවු-පියන් දෙපළට ගෙදර බුදුන් යයි සැලකීම්, උපහාර, ගෞරව, වැඳුම්, පිඳුම්, ගරුබුහුමන් කළ යුතුයයි බුදුන් වහන්සේ අනුදැන වදාළේ ද ඒ නිසාය.

හොඳ මව්පියන් විසින් සිය දරුවන් පවින් හා නපුරින් වැලැක්විය යුතුය.
හොඳ මව්පියන් විසින් සිය දරුවන් පවින් හා නපුරින් වැලැක්විය යුතුය. සීල සමාදානයෙහි හා කල්‍යාණ මිත්‍ර සේවනයන්හි යෙදවිය යුතුය. විශේෂයෙන් බුදු බණ ඇසීමෙහි ද ඉගෙනීමෙහි ද, සංඝරත්නය ඇසුරු කිරීමට යෙදවීම ද අතිශයින්ම වැදගත්ය. එදා අනේපිඬු මහ සිටාණෝ සිය එකම පුතුට පෙහෙවස් සමාදන් වීමට මුදල් දෙන පොරොන්දුව ඇතිව ඔහු ඒ සීල සමාදානයේ යෙදවීම පුහුණු කළහ.
පියාගෙන් පුතුට පෙන්වූ ඒ හරිමග නිසා ඒ මඟින් ඔහුට මාර්ග ඵල අවබෝධයට තරම් ශක්තිමත් වීම කොතරම් වටිනවාද?
බිම්බිසාර රජු, සිය පුතුණුවන් ගේ ඇඟිල්ලේ හට ගත් පැස වූ බිබිලක් පුතුට සැනසිල්ල පතා කටට දමා උරමින් සිටියදී බිබිල පිපිරී පිට වූ සැරව පුතු කෙරෙහි සෙනහයෙන් ගිල දැමූ නමුත්, එවන් සෙනෙහසකින් ඇති දැඩි කළ, අජාසත් පුතු විසින් තමා රජයෙහි බලය අතට ගත්පසු සිය පියාණන් වන බිම්බිසාර රජු මරණය දක්වා හිර ගෙයි දමන්ට නියම කළේය. මේ ඒ දුෂ්ඨ දරුවන්ගේ ඇසුරෙන් ලැබුණ අනිෂ්ඨ විපාකයයි. දෙව්දත් කුමරු ඇසුරෙන් ලබා ගත් පාප මිත්‍ර සේවනය මීට හේතුවයි. ඒ නිසාය පුතුනට – දුවට හොඳින් ශිල්ප ශාස්ත්‍රය පිළිබඳව අධ්‍යාපනයක් ලබා දෙන අතරම ආශ්‍රයට ද කල්‍යාණ මිතුරන් ලබා දිය යුත්තේ.
නිසි වයසට පැමිණි කල ආවාහ-විවාහ කර දිය යුතුය. සුදුසු කාලයන් හි දරුවන්ට දිය යුතු අවස්ථාවේදී තමන් සතු වස්තුව බෙදා දිය යුතුය.
මෙසේ අනුග්‍රහය ලබන දරුවන් විසින් උදේ සවස වඳිමින් – පුදමින් ඉතා කීකරුව තම දෙ-මව්පියන් පෝෂණයකට යුතුය. ඔවුන්ගේ කටයුතු සොයා බලා සපුරා ලිය යුතුය. අතිජාත දරුවන් හැටියට සිය පරපුර ආරක්‍ෂා කළ යුතුය.
මෙසේ ආදරය ඇතිව මවු-පියන් පෝ්ෂණය කරමින් යමෙක් සැදැහැ නැති දෙ-මව් පියන් ශ්‍රද්්ධාවෙහි පිහිටුවයිද? සිල් නැති මවු-පියන් සීලයෙහි පිහිටුවයිද, මසුරු මවුපියන් දීමෙහි මෙහෙයවයිද, බුදු බණ නොදත් මවුපියනට බුදුබණ කියාදේද. නුවණ නැති මවුපියන් ප්‍රඥාවෙහි පිහිටුවයි ද හේ නියම උපස්ථාන කළා නම් වේ. ප්‍රමාණය ඉක්මවා සැලකුවා නම් වේ. ණයෙනුත් නිදහස් වුවා නම් වේ. මෙය වනාහි කළ යුතු ඉහළම උපස්ථානයයි.
මංගල සූත්‍රයේ දී මවු-පියන්ට සැලකීම උතුම් මංගල්‍යයක් බවත්; පරාභව සූත්‍රයේ දී දුබලව ගිය මවුපියන් කෙරෙහි නොසැලකීම, නොබැලීම පිරිහීමේ කරුණක් බවත් දේශනා කර ඇත්තේ ද අපේ බුදු පියාණන් වහන්සේ මය.
එසේ හෙයින් මවු-පියන්ගේ සිත නරක් කිරීම බලවත් වරදකි. උපස්ථාන කිරීමේදී භික්‍ෂූන්ට පවා අනුදැන වදාළේ එය මහඟු පින්කමක් බැවිනි.
අපේ බුදු පියාණන් වහන්සේ භික්‍ෂූන් ගේ ශික්‍ෂා පද පවා වෙනස් කළෝ මවු-පියනට දැක්වූ විශේෂ සැලකිල්ල හා අනුග්‍රහය නිසාමය.
අවසානයේ දී තම දූ-පුතුන් කෙරෙහි කොපමණ වරද කළත් උපෙක්‍ෂාවෙන් යුතුවම අනේ දුව-පුතා නොවේද යයි සිතා ඔහුගේ ම ඇගේ ම සැපතක් ම ප්‍රාර්ථනා කරමින් – ඔවුහු ශ්‍රද්ධාවත්, ප්‍රඥාවත් සිය දරුවන් කෙරෙහිම යොදවමින් උපෙක්ෂාව ම ප්‍රාර්ථනා කරති.
මෙවන් ගුණ ඇති මවු-පියන් දුන් වස්තුව ද රකිමින් ඒ වස්තුවට හිමිවන ලෙසට පිළිපැදිය යුතුය. එසේම ඔවුන් මිය-පරලොව ගිය විට දානාදී පිංකම් කොට පිං පැමිණ විය යුතුය. ඒ තමා යහපත් දූ-පුතුන් ගෙන් ඉටුවිය යුතු අවසාන පරම යුතුකම.

 2014 ජූලි මස 09 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment