මිනිසා අධ්‍යාත්මිත වශයෙන් ද ශාරීරික වශයෙන් ද රෝගියෙකු බවට පත් කරවන බරපතල ද්වේෂය විෂ බීජයක්. එය සිතෙහි ක්‍රියාත්මක වූ විට ශරීරයේ සිදුවන රසායනික ක්‍රියාවලිය මඟින් ශරීරයට හානි ඇති කරවනවා. ආහාර ජීර්ණ පද්ධතියට රුධිර පීඩනයට හෘද ස්පන්දනයට, ආමාශයේ තුවාලවලට එය හේතු වෙනවා. මෙනිසා ද්වේශය, තරහව මිනිසා මානසික වශයෙන් සේම ශාරීරික වශයෙන්ද රෝගියෙකු කරන බරපතල වූ අකුසල සිතිවිල්ලක්. කිසියම් අවස්ථාවක ඔබට කේන්ති ගිය විට ඉක්මනින් ඔබේ මූණ කණ්ණාඩිය තුළින් බලන්න
අප සෑම පුහුදුන් මිනිසකු තුළම තිබෙන දුර්වල මානසිකත්වයන් අතරින් එකක් වන්නේ තරහ ගතියයි. නැති නම් ද්වේශයයි. එය නිවනට අවහිරතා ඇති කරන පංචනීවරණය යටතේ ව්‍යාපාදය ලෙසින් හඳුන්වනවා. මෙය ද්වේශය, ක්‍රෝධය, කෝපය, වෛරය, බද්ධ වෛරය, යන විවිධ නම්වලින් හඳුන්වන්න පුළුවන්. කෙසේ හැඳින්වුවත් ද්වේශය අතිශයින් බියකරු විනාශකාරි සිතිවිල්ලක්.
මෙය විවිධ ස්වරූපයන්ගෙන් ද ක්‍රියාත්මක වන අතර පහසුවෙන් හඳුනාගත නො හැකියි. කවර ආකාරයට ක්‍රියාත්මක වුවත් ද්වේශය මිනිසා නො මිනිසෙකු කරන, තම සිතත් ගතත් ලොව දෙකම එකවර විනාශ කරන මෙ ලොව මෙන්ම පරලොව ජීවිතය ද නටබුන් බවට පත් කරන අන්තරාදායක සිතිවිල්ලක්.
ඉතා සුළු කෙලෙස් සිතිවිල්ලක් ලෙසින් මෙය සිතෙහි ආරම්භ වී සිතෙහිම වැඩී ශක්තිමක් වී තමන්ට මෙන් ම මුළු මහත් සමාජයට ම සිදු කරන අයහපත විශාලයි. ඉවසීමක් නැති අපගේ් සිත තුළ එය පහසුවෙන්ම පෝෂණය වෙනවා. බොහෝ ප්‍රශ්න ගැටුම් ඇතිකර මේ ද්වේශයට කිසිදින අපි පි‍්‍රය නො කළ යුතුයි.
පෘථග්ජන අප කා තුළත් ද්වේශය තිබෙන්නේ මුල් බැසගෙන ගෙනයි. ඒ නිසා ම ඒ පිළිබඳ නිරන්තර අවධානයක් යොමුකළ යුතුයි. සිතක ද්වේශය ඇති වන්නට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එයින් පළමු වැන්න දැඩි මමත්වයයි. මමත්වය වැඩි තරමට ද්වේශය ප්‍රබලයි. දෙවැන්න නම් අනවශ්‍ය අපේක්ෂාවන් හා බලාපොරොත්තුයි. අපේක්ෂාවක් වැඩි වූ තරමට අපේක්ෂා භංගත්වයට මුහුණදීමේ ඉඩද වැඩියි.
මෙසේ මමත්වයෙන් යුතු ව භෞතික ලෝකය පිළිබඳ ව අනවශ්‍ය ලෙස අපේක්ෂාවන් ඇති කරගෙන සිටින පුද්ගලයාට ඒ අපේක්ෂාවන් කඩා වැටෙන විට ඇති වන්නේ තරහ ගතියක්. සිතේ තිබෙන මමත්වය නිසා ඔහු සිතන්නේ ලොව සියල්ල තම කැමැත්ත පරිදි ම සිදුවිය යුතුමයි කියා. නමුත් ලෝකයේ බොහෝ විට දක්නට ලැබෙන්නේ සිතු දේ නොවී නො සිතු දෙයක් සිදුවන ස්වභාවය. යමෙක් මේ ධර්මතාව සිතට ගෙන ලෝකය හා කටයුතු කරන විට සිතු දේ සිදු නො වන අවස්ථාවක එයට එරෙහිව අනවශ්‍ය දුකක් හෝ තරහ ගතියක් ඇති කර ගන්නේ නැහැ.
මේ ලෝකයේ පවතින කිසිවක අපට අවශ්‍ය ලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ. එය ලෝක ස්වභාවයක්. නමුත් අප සිතන්නේ ඒ සියල්ල අපට අවශ්‍ය පරිදි ම පැවැතිය යුතුයි කියා. අපට සීතල අවශ්‍ය වෙලාවකදී රස්නය දැනුණොත් අප රස්නය සමගින් තරහ ගන්නවා. රස්නය අවශ්‍ය මොහොතක සීතල දැනුණොත් සීතල සමග තරහ ගන්නවා. අද දවස හොඳට පායන්නට ඕනෑ යයි සිතන අවස්ථාවක වැසි වැස්සොත්, වැස්ස සමග තරහ ගන්නවා. මෙලෙසින් භෞතික සම්පත් හමුවේ ද තම දරුවන්, ස්වාමි භාර්යාවන්, දෙමාපියන්, ගුරුවරුන්, සිසු සිසුවියන් ආදී වශයෙන් සමාජයේ ජීවත්වෙන සෑම දෙනාගේම අප බලාපොරොත්තු වන දේ නො ලැබුණොත් ඒ සමග උරණ වෙනවා. තරහ ගන්නවා. එසේ වන්නේ මමත්වය සහ අපේක්ෂාවන් ප්‍රබල ව ක්‍රියාත්මක කරන්නට යාම නිසයි.
මේ තත්ත්වය මත දිගින් දිගට ම කටයුතු කිරීම තුළින් සිදුවන්නේ සමාජයේ අනවශ්‍ය ගැටුම් ඇති වීමයි. තම සිතෙහි පවතින ද්වේශය නැති කර ගැනීමට නම් ඒ ද්වේශය පිළිබඳ නිසි අවබෝධයක් ලබාගත යුතුයි. එහි ස්වභාවය එය ඇති වීමට හේතුව, එය ඇති වූ පසු සිදුවන හානිය කුමක්දැයි කියා විමසිය යුතු වෙනවා.
ද්වේශයෙන් සිත අඳුරු වෙන විට තමා කරන දේ පවා තමාට තේරෙන්නේ නැහැ. එයින් තමන්ටත් අනුන්ටත් වන හානිය විශාලයි. සාමාන්‍ය ගෘහ ජීවිතයේ දී විශේෂයෙන් මෙය තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. ද්වේශයෙන් ඇතැම් අය එකිනෙකා සමග රණ්ඩු සරුවල් වනවිට, බැන ගන්නා විට මොන තරම් පහත් වචන කථා කරනවා ද? ඒ තුළ තමන්ගේ වැදගත්කම් ගිළිහී තමන් සමාජයේ නො වැදගත් පුද්ගලයෙකු වෙනවා. ඇතැම් අවස්ථාවලදී තම සිතෙහි කෝපය ආවේගයක් ලෙසින් ආවිට එය පාලනය කළ නොහැකිව තමන්ගේ ම ගෙවල්වල තිබෙන පිඟන් කෝප්ප පොළොවේ ගැසීම, ගෘහ භාණ්ඩ කඩා දැමීම, ගුටිබැට හුවමාරුව වැනි ක්‍රියාවන් කරන්නට පෙළඹෙන අවස්ථා ද අප දැක තිබෙනවා. ඒ කටයුතුවලදී අනුන්ට මෙන්ම තමන්ට ද සිදු වන්නේ මහත් හානියක්. ආර්ථික පැත්තෙන් මෙන්ම අධ්‍යාත්මිත පැත්තෙන්ද වන්නේ විනාශයක්.
මිනිසා අධ්‍යාත්මිත වශයෙන් ද ශාරීරික වශයෙන් ද රෝගියෙකු බවට පත් කරවන බරපතල ද්වේෂය විෂ බීජයක්. එය සිතෙහි ක්‍රියාත්මක වූ විට ශරීරයේ සිදුවන රසායනික ක්‍රියාවලිය මඟින් ශරීරයට හානි ඇති කරවනවා. ආහාර ජීර්ණ පද්ධතියට රුධිර පීඩනයට හෘද ස්පන්දනයට, ආමාශයේ තුවාලවලට එය හේතු වෙනවා. මෙනිසා ද්වේශය, තරහව මිනිසා මානසික වශයෙන් සේම ශාරීරික වශයෙන්ද රෝගියෙකු කරන බරපතල වූ අකුසල සිතිවිල්ලක්. කිසියම් අවස්ථාවක ඔබට කේන්ති ගිය විට ඉක්මනින් ඔබේ මූණ කණ්ණාඩිය තුළින් බලන්න. එවිට ඔබ එක මොහොතක් හෝ එම තරහ සිතිවිල්ලට ඉඩක් ලබාදෙන්නේ නැහැ.එය එතරම්ම බියකරුයි. තමාට තමා එපාකරවන සුළුයි.
අප සිතෙහි ඇතිවන ද්වේශය පාලනය කිරීමට නම් ද්වේශයෙහි ඇති ආදීනවය දැකිය යුතුයි. ඕනෑම දෙයක නරක පැත්ත දකින විට ඒ පිළිබඳව සිතෙහි ඇති වන්නේ කලකිරීමක්. එපාවීමක්. එසේ කලකිරීම වැඩිවන විට අත්හරින්න කැමැති නම් ඒ පුද්ගලයාට ද්වේශය දුරුකර ගන්න පහසුයි.
භාග්‍යවතුන් වහන්සේ වදාළා ක්‍රෝධය නැති කිරීමට අක්‍රෝධය දියුණු කරන්න කියා. ඒ වගේම ද්වේශය ප්‍රහාණය කිරීම පිණිස මෛත්‍රිය වඩන්න කියා. පළමුව තමාට මෛත්‍රිය වැඩිය යුතුයි. තමාට තමා මෛත්‍රිය වඩන්නේ නම් ඔහු කිසිදා තම සිත කිළිටි වෙන ලෙසට නරක සිතිවිලි සිතෙහි තැන්පත් කර ගන්නේ් නැහැ. දෙවනුව අන් අයට මෙත් සිත පැතිරවිය යුතුයි.
අනුන්ගේ ක්‍රියාකාරකම් නිසා තමන්ගේ සිතෙහි ඇතිවන අකුසල සිතිවිල්ලට වගකිවයුත්තේ තමන්මයි. අසවලා මට ගැසුවාය, මට බැන්නාය මාව පරාජයට පත් කළාය ආදී වශයෙන් සිතමින් වෛරය තවත් ශක්තිමත් නොකර ඉවසීමෙන් මෛත්‍රියෙන් ඒ සිතිවිලි පාලනය කරන්න. එකට එක කිරීම තුළින් වෛරය කිසිදින සංසිදවීමක් සිදුනොවන බව තේරුම් ගෙන ඉවසීමෙන් ලැබෙන සැනසීම කෙතරම්ද කියා අත්විඳ බලන්න.
ශාස්ත්‍රපති
තලල්ලේ චන්දකිත්ති හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ
පෙබරවාරි 07 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ
ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment