Labels

Tuesday, July 21, 2015

උතුම් ම පින්කිරිය වත මෛත්‍රී චිත්ත විමුක්තිය වැඩීම යි




මෛත්‍රී සිහිය දියුණු කරමින් මෛත්‍රී කාය කර්ම,වාග් කර්ම, මනෝ කර්ම වර්ධනය කරමින්, අප්‍රමාණ ලෙස සත්ත්වයන් කෙරෙහි එය විහිදුවා ලමින් පවත්වා ගන්නා දියුණු මෙත් සිත මෙහි මෙත්තා චේතෝවිමුක්ති යනුවෙන් අදහස් කෙරේ. මෙත් සිත නිරතුරුව වඩන තැනැත්තාට පංච නීරවණයන් පහව යෑමෙන් ලැබෙන අර්පණා ධ්‍යාන ස්වරූපය මෙත්තා චේතෝවිමුක්තිය බව අප විසින් තේරුම් ගත යුතුයි

 නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
යො ච මෙත්තං භාවයති
අප්පමාණං පතිස්සතො
තනූ සංයෝජනා හොන්ති
පස්සතො උපධික්ඛයං
එකම්පි චෙ පාණමදුට්ඨචිත්තො
මෙත්තායති කුසලො තෙන හොති
සබ්බෙව පාණෙ මනසානුකම්පං
පහුතචරියො පකරොති පුඤ්ඤන්ති


පින්වත්නි

ඉහත සඳහන් ගාථා රත්නද්වය ඉතිවුත්තක පාළි නම් ත්‍රිපිටක ග්‍රන්ථයේ මෙත්තා චේතෝ විමුත්ති සූත්‍රයෙහි සඳහන් වන්නක්. පළමු කොට මේ ගාථා දෙකේ සරල තේරුම පහදා ගනිමු.

“යම් ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා එළඹ සිටි සිහි ඇතිව මෛත්‍රී ධ්‍යානය වඩයි නම්, අප්‍රමාණ වශයෙන් වඩයි නම්, නිවන දකින්නා වූ ඔහුගේ සියලු සංයෝජන තුනී වී යන්නේය.
“ඉදින් එක් ප්‍රාණියකු කෙරෙහි කිලිටි නොවු සිතින් මෛත්‍රිය වඩනවා නම්, එයින් ම ඒ තැනැත්තා කුසල් පිරූ කෙනෙක් වෙයි. සියලු ම ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පාව ඇති ආර්ය උතුමා බොහෝ කුසල් පුරන්නේ ය කියා අමුතුවෙන් කියන්නේ කුමට ද? “ යනු මේ ගාථා දෙකේ අදහසයි.

මේ සූත්‍රයෙන් අපට අවධාරණය කරන්නේ දියුණු කළ මෙත් සිතක කවර තරම් බලගතු කමක් තිබේද යන්නයි.
මෙත්තා චේතෝවිමුත්ති සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මහණෙනි, පංචස්කන්ධය සුවසේ පරිහරණය කරගැනීමට උපකාර වන පුණ්‍ය ක්‍රියා වස්තු ( ඕපධික පුඤ්ඤකිරියවත්ථූනි) ඇත්නම් , ඒ සියල්ල මෛත්‍රී චේතෝවිමුක්තියේ දහසයෙන් කොටසක් වත් නො වටී. මෛත්‍රී චේතෝවිමුක්තිය ඒ පුණ්‍ය ක්‍රියා වස්තු අබිබවා බැබළෙයි. විරුද්ධ ධර්මයන් තවයි, වෙසෙසින් බබළයි.
යම් සේ තරුවල යම් එළියක් ඇත්නම් ඒ එළිය සඳ එළියේ දහසයෙන් පංගුවක් වත් නොවටී. සඳ එළිය සියලු තරු එළිය අබිබවා බැබැළෙන්නා සේ මෛත්‍රී චිත්ත විමුක්තිය සියලු පුණ්‍යක්‍රියා වස්තු අබිබවා බැබැළෙන්නේ මැයි. ඉහත දැක්වූ ගාථා දෙකට යාකොට තවත් ගාථා දෙකක් සඳහන් කර ඇත. ඒවායේ අර්ථ මෙසේය.
මිනිසුන් වෙසෙන මේ මහ පොළොව ජය ගත් අධිරාජයෙක් අශ්වමේධ, පුරුෂමේධ, සම්මාපාස, වාජපෙය්‍ය, නිරග්ගද යන යාගයන් කරමින් වෙසේ ද, මැනැවින් වැඩූ මෙත් සිතින් ලැබෙන පිනින් දහසයෙන් පංගුවක් වත් එය නොවටිනේනේ ම ය. යමෙක් කිසිවකුට හිංසා නො කෙරේද, අනුන් ලවාත් නො කරවයි ද, කිසිවකු නො පරදවයි ද, අනෙකකුට හානි නො කරවයි ද, සියලු සතුන් කෙරෙහි මෛත්‍රීයේ කොටසක් බඳු වේ ද, ඔහුට කිසි කරුණකින් වඩා වෛරයක් නැත. මෛත්‍රී සිහිය දියුණු කරමින්, මෛත්‍රී කාය කර්ම – වාග් කර්ම – මනෝ කර්ම වර්ධනය කරමින්, අප්‍රමාණ ලෙස සත්ත්වයන් කෙරෙහි එය විහිදුවා ලමින් පවත්වා ගන්නා දියුණු මෙත් සිත මෙහි මෙත්තා චේතෝවිමුක්ති යනුවෙන් අදහස් කෙරේ. මෙත් සිත නිරතුරුව වඩන තැනැත්තාට පංච නීරවණයන් පහව යෑමෙන් ලැබෙන අර්පණා ධ්‍යාන ස්වරූපය මෙත්තා චේතෝවිමුක්තිය බව අප විසින් තේරුම් ගත යුතුයි.
මෙත් සිත දියුණු කර ගැනීමට එයින් චේතෝ විමුක්තිය සලසා ගනු පිණිස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ක්‍රමෝපාය මෙලෙසින් දැක්විය හැකිය. එය නම් : ආසේවිතාය කලණ මිතුරු ඇසුරක් සේ නැවත නැවැත මෙත් සිත ඇසුරු කිරීමය, භාවිතාය, නැවැත නැවැත පුරුදු පුහුණු කිරීම ය, බහුලීකතාය, බහුලත්වයෙන්, වැඩි කල් ලබාගෙන ප්‍රගුණ කිරීම ය, යානීකතාය, ගමනට උපකාර වන යානාවක් මෙන්, යාත්‍රාවක් මෙන් පවත්වා ගැනීම ය, වත්‍ථුකතාය, වාස්තවික භූ®මියක් ලෙස පවත්වා ගැනීමය, අනුට්ඨිතාය, මෙත් සිතට අනුවම සිතිවිලි පවත්වා ගැනීම ය, පරිචිතාය – දිගින් දිගට ම දක්‍ෂ ව ප්‍රගුණ කිරීම ය, සුසමාරද්ධාය – එහිලා වීර්යයෙන් පටන් ගැනීම ය. මෙත් සිත මෙලෙස නොකඩ කොට, මැනැවින් පවත්වා දියුණු කිරීමෙනි, එය ‘ චේතෝ විමුත්ති’ තත්ත්වයට පත් වන්නේ. මෙලෙස මෙත් සිහිය වඩන ලෙසත් එය බ්‍රහ්මවිහාරයක් ශ්‍රේෂ්ඨ විහාරයක් බවත් බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයෙහිදී පැහැදිලි කරන සේක. සුභ පරමාහං භික්ඛවෙ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි’ යනුවෙන් මෙත්තා චේතෝවිමුත්තිය යහපත ම පරම කොට ඇත්තේ යැයි උන් වහන්සේ වදාළහ.
මෛත්‍රීය තමාට මෙන්ම අනුනටත් ප්‍රායෝගික ඵලදායිත්වයක් ලබා දෙන අභ්‍යාස මාර්ගයෙකි. සීමාවක් නො සලකා කවර වූ ද ලෝක සම්මත වර්ගවාදී භේදයක් නො සලකා සියලු සත්ත්වයන් ම අරමුණු කරගෙන මෙත් සිත වැඩිය යුතුය. මව තම එකම පුතු දිවි පුදා රැකගන්නා සේ සැම දෙනා කෙරෙහි ආරක්‍ෂාව, නිර්භය භාවය, යහපත, ශාන්තිය අපේක්‍ෂාවෙන්, කිසිවකු හෝ කිසිවක් පිළිබඳව ඇලීමකින් හෝ ගැටීමකින් තොරව සියලු සත්ත්වයන් කෙරෙහි මෙත් සිත වැඩිය යුතු බව ධර්මයෙහි මැනැවින් ප්‍රකාශිතය.
සත්ත්වයා දැන දැන යම් කර්ම රැස් කරගෙන ඇත්නම් ඒවා පිළිබඳ සංවේදී භාවයකින් තොරව විපාක දුක කෙළවර කළ නොහැකි බව අංගුත්තර නිකායේ කරජකාය සූත්‍රය අපට පැහැදිලි කරයි. එසේ සංවේදී වන ආර්ය ශ්‍රාවකයා අභිධ්‍යා - ව්‍යාපාද දුරු කර සිහි නුවණ ඇතිව, සිවු මහ දිසාහිම උඩ යට සිරස හැම තන්හි හැම සතුනටම විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ මෙත් සිත පතුරුවා වාසය කරන්නේය. පෙර එසේ නොවැඩීම නිසා ස්වල්පයක් වූ ඔහුගේ සිත දැන් මනාකොට වැඩීම නිසා අප්‍රමාණ වී ඇත. ස්වල්ප ප්‍රමාණ චිත්ත තත්ත්වයක් තුළ කරන ලද කර්ම අප්‍රමාණ ලෙස වැඩූ සිත තුළ ඉතිරි නොවේ. නොරැඳේ. කුඩා කල සිට මේ මෛත්‍රී චේතෝ විමුත්තිය වඩන්නේ නම් ශරීරය කුඩා වුවත් අප්‍රමාණ ලෙස වැඩෙන ඔහුගේ සිතින් පව් කමක් නොකෙරෙන බවත් එහෙයින් ම ඔහුට කිසි දුකක් නොලැබෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෛත්‍රීය හේතු කොටගෙන පෙර කරන ලද කර්මයන් විපාක මෙලොව සුළුවෙන් විඳින්නට සිදු වුවත් අලුතින් පාප කර්ම නොකිරීම නිසා මතු දුක් විපාක ඔහුට නොලැබෙන අයුරුත්, මෙයින් පැහැදිලි වේ. පුද්ගල භේදයක් නොසලකා මෙත් සිත වැඩීමෙන් ද එය උපේක්ඛා චේතෝ විමුක්තිය තෙක් දියුණු කිරීමෙන් ද මතු අර්හත්භාවය නොලබන භික්‍ෂුවට අනාගාමීභාවය හිමි වන බව ඉහත සඳහන් සූත්‍රයෙහි ප්‍රකාශිත ය. 30 වැනි පිටුවට

මෛත්‍රිය වැඩීමෙහි ඇති ආනිශංස බුදුපියාණන් වහන්සේ විවිධ උපමා මගින් පැහැදිලි කර ඇත. මෙත්තානිසංස සූත්‍රයෙහි දැක්වෙන පරිදි, සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති ආදී විසින් ඉගැන්වුණු ආනිසංස එකොළස ප්‍රකට ය. ශක්තිමත් පුරුෂයෙක් තියුණු තුඩ ඇති හෙල්ලක් දැක, සිය අත්ලෙන් ඒ මුවහත් තුඩ මොට කරමි, අඹරමි යි සිතා එසේ කළහොත් ලැබෙන ප්‍රතිඵලය තමාගේ අත්ල සිදුරු කරගෙන තුවාල ලබා දුකට පත්වීම පමණයි. එලෙසින් යම් අමනුෂ්‍යයෙක්, සතුරු බලවේගයක් මෛත්‍රී චේතෝවිමුක්තියෙන් ශක්තිමත් වු කෙනකුගේ සිත වික්‍ෂිප්ත කරන්නට දුකට පත් කරන්නට ගියහොත් එය අසාර්ථක උත්සාහයක් වන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එසේම යම් කෙනකු සිය දහස් ගණනින් සිදු කරන විවිධ දානවලට වඩා එක් සෝවන් උතුමකුට පුදන දානය පිරිසුදු වූද මහත්ඵල වූ ද දක්‍ෂිණාවක් වන බවත්, සෝවාන් උතුමන් සියයකට වඩා... සකෘදාගාමී කෙනකුට, සකදාගාමින් සියයකට වඩා එක් අනාගාමියකුට, අනාගාමීන් සියයකට වඩා එක් රහතන් වහන්සේ කෙනකුට, රහතන් වහන්සේ සියයකට වඩා එක් පසේ බුදු කෙනකුට, සියයක් පසේ බුදුවරුනට වඩා එක් සම්මා සම්බුදුන් වහන්සේ නමකට, ඊට වඩා බුදුපාමොක් මහ සඟනට දන් දීම, ඊටත් වඩා සිවු දිගින් වඩිනා මහ සඟනට විහාරයක් කරවීම, ඊටත් වඩා පැහැදුණු සිතින් තෙරුවන සරණ යෑම, ඊටත් වඩා පැහැදුණු සිතින් පන්සිල් සමාදන් වීම, ඊටත් වඩා යටත් පිරිසෙයින් දෙනගේ තන පුඬුවෙන් කිරි දොවින මොහොතක කාලයක් මෙත් සිත වැඩීම, ඊටත් වඩා අසුරුසනක් ගසන කාලයක් අනිත්‍ය සංඥාව වැඩීම මහත්ඵල වන බව බුදුරජාණන් වහන්සේ වේලාම සූත්‍රයෙහි දී වදාළහ.
මෙත් සිත, මෛත්‍රී චේතෝවිමුක්තිය වැඩීම කොතරම් මහත්ඵලදායී කරුණක් ද යන්න මෙයින් පැහැදිලි වේ. මිනිස් මනස නපුරු කරන, කිලිටි කරන අරමුණුවලින් විෂය ලෝකය පිරී පවත්නා හෙයින්, ඒ පාපී පරිසරය සමහන් කොට උතුම් සාමය හා සන්හිඳියාව ලොවට උදා කළ හැක්කේ මෛත්‍රී‍්‍රයෙන් ම බව අප කවුරුත් තේරුම් ගත යුතුයි. මහ බෝසතාණන් වහන්සේලා පිරූ දාන - ශීල - නෛෂ්ක්‍රම්‍යාදී පාරමිතා ද, ලෝකාර්ථ චර්යාවන් ද පූර්ණත්වයට, සමෘද්ධියට පත් වූයේ අනුනට හිත - සුව පැතිරවීමේ මෛත්‍රී අධ්‍යාශය නිසා මය. මනුෂ්‍ය ලෝකයට පමණක් නොව, මුළු මහත් විශ්වයටම මෛත්‍රී‍්‍රය අවශ්‍ය වී ඇත්තේ මනුෂ්‍යයාගේ ආරක්‍ෂාවට හා යහපැවැත්මට මතු නොව, මුළු මහත් පරිසරයේ හා විශ්වයේ ම ආරක්‍ෂාවට හා යහ පැවැත්මට එය අත්‍යවශ්‍ය සාධකයක් වන නිසාය. තමාට වඩා අන්‍යයනට මෙත් වැඩීම, සුව පැතීම දෙපක්‍ෂයටම යහපත සලසාගැනීමක් ලෙස බුදු දහමෙහි අවධාරණය කර ඇත. ලෝවැඩ සඟරාවෙහි ද “ මෙත් බාවන නම් වැඩි පින්කමෙකි” යි සඳහන් වන්නේ ඉහත සඳහන් ධර්ම විග්‍රහයට අනුරූපවය. එහෙයින් ගුරුළුගෝමී පඬිතුමා වැඩූ ලෙස හැම සිතිවිල්ලක්ම මෛත්‍රීයෙන් පෝෂණය ලබා වඩන්නට සියලු පින්වත්හු අදිටන් කෙරෙත්වා !

 “කයිනුත් සුවැත්තෝ
කිසිත් උවදුරු නැත්තෝ
වෙත්වා සියලු සත්හුම
සුවපත් වූ සිතැත්තෝ”







 බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති
තිරිකුණාමලේ ආනන්ද අනු නා හිමි






 ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ අධි බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අගෝස්තු 31 වන සිකුරාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment