Labels

Friday, July 17, 2015

මමත්වයෙන් මිදීම


ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

අපගේ භාග්‍යවතුන් වහන්සේ නිවැරදිව ආයතන පිළිබඳව බැලිය යුතු ආකාරය අපට ඉතා මැනවින් උගන්වා වදාළා. කෙලෙස් නැසීමට උපකාරවන ප්‍රතිපදාව ගැන වදාළ දේශනාවේදී මේ පිළිබඳව අපිට තව දුරටත් ඉගෙන ගන්න පුළුවන්. මේ දේශනාවේ නම සප්පාය පටිපදා සූත්‍රය. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ විදියට දේශනා කරනවා. “මමත්වයෙන් සිතාගත් සෑම දෙයක්ම මුලින්ම විනාශ වීමට ගැලපෙන ප්‍රතිපදාවයි ඔබට දේශනා කරන්න යන්නේ.
එයට සවන් යොමා අසන්න. (සබ්බමඤ්ඤිත සමුග්ඝාත සප්පාය වෝ භික්ඛවේ පටිපදා දේසිස්සාමි තං සුනාථ) මමත්වයෙන් හිතාගත් සෑම දෙයක්ම මුලින්ම විනාසවීමට ගැලපෙන ප්‍රතිපදාව කුමක්ද, පින්වත් මහණෙනි (කතමා ච සා භික්ඛවේ සබ්බමඤ්ඤිත සමුග්ඝාත සප්පාය පටිපදා) භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදයට ඒක විස්තර කරනව. පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ඇස මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ (ඉධ භික්ඛවේ භික්ඛු චක්ඛුං න මඤ්ඤති) ඇස තුල මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. (චක්ඛුස්මිං න මඤ්ඤති) ඇසෙන් බාහිරව මම ඉන්නවා කියල මමත්වයෙන් හිතන්නේ නෑ (චක්ඛුතෝ න මඤ්ඤති) ඇස මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ (චක්ඛුං මේති න මඤ්ඤති)
 ඒ වගේම ඇසේ විඤ්ඤාණය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ විඤ්ඤාණය තුළ මම ඉන්නවා කියල මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ විඤ්ඤාණයෙන් බාහිරව මම ඉන්නවා කියල මමත්වයෙන් හිතන්නෙ නෑ. ඇසේ විඤ්ඤාණ මගේ කියල මමත්වයෙන් හිතන්නෙ නෑ.
ඒ වගේම ඇසේ ස්පර්ශය මම කියල මමත්වයෙන් හිතන්නෙ නෑ. ඇසේ ස්පර්ශය තුළ මම ඉන්නව කියල මමත්වයෙන් හිතන්නෙ නෑ. ඇසේ ස්පර්ශයෙන් බාහිරව මම ඉන්නව කියල මමත්වයෙන් හිතන්නෙ නෑ. ඇසේ ස්පර්ශය මගේ කියල මමත්වයෙන් හිතන්නෙ නෑ.
ඒ වගේම ඇසේ ස්පර්ශය නිසා උපදින්නා වූ සැප වේවා , දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් තියෙනව නම් ඒකත් මම කියල මමත්වයෙන් හිතන්නෙ නෑ. ඒ තුළ මම ඉන්නව කියල මමත්වයෙන් හිතන්නෙ නෑ. ඒ දෙයින් බාහිරව මම ඉන්නව කියල මමත්වයෙන් හිතන්නෙ නෑ. ඒක මගේ කියල මමත්වයෙන් හිතන්නේ නෑ.
ඉන් අනතුරුව උන්වහන්සේ මේ විදියට දේශනා කරනවා. යම් දෙයක් මම කියල මමත්වයෙන් හිතනව නම් (යං හි භික්ඛවේ මඤ්ඤති) යම් දෙයක් තුළ මම ඉන්නවා කියල මමත්වයෙන් හිතනවා නම් (යස්මිං මඤ්ඤති) යම් දෙයකින් බාහිරව මම ඉන්නවා කියල මමත්වයෙන්
හිතනවා නම් (යතෝ මඤ්ඤති) යම් දෙයක් මගේ කියා මමත්වයෙන් හිතනවා නම් (යම්මේති මඤ්ඤති) ඒකට වෙනස් දෙයක්මයි වෙන්නෙ. (තතෝ නං හෝති අඤ්ඤථා) වෙනස් වන දෙයට පත් වෙන්නා වූද භවයට ඇලී සිටින්නා වූද ලෝකයා සතුටින් පිළිගන්නෙත් භවයමයි. (අඤ්ඤථභාවී භවසත්තෝ ලෝකෝ භවමේව අභිනන්දති)


No comments:

Post a Comment