Labels

Wednesday, July 22, 2015

ආයති සංවරය

 


බුද්ධිමත් පුද්ගලයා වැරැද්ද දෙස බලන ආකාරය වෙනස්ය. කෙනෙකු අතින් වරදක් වීමට බලපාන හේතු සාධක බොහෝ ය. මෙම හේතු දකින නැණවතා අනුගමනය කරන පිළිවෙත වන්නේ වරද කළ පුද්ගලයාට වරදින් නිදහස් වීමට උපකාරී වීමයි. තමා කළ වරද බුද්ධිමත් අයෙකුට ප්‍රකාශ කිරීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ මේ හේතුව නිසා ය.



බුදුසමය වනාහි මානව කේන්ද්‍රීය යථාර්ථවාදී දර්ශනයකි. ඓතිහාසික මිනිසෙකු විසින් ස්වකීය ඤාණයෙන්ම ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කරගෙන මානව වර්ගයා වෙත දායාද කළ විශිෂ්ට චින්තනයකි. මිනිස් දුර්වලතා මැනවින් වටහාගෙන එම දුර්වලතාවලින් මිනිසා මුද්‍රවා පරමාදර්ශී පුද්ගලයෙකු බිහිකිරීම එම චින්තනයේ අරමුණ වේ.
පරමාදර්ශී පුද්ගලයෙකු වීම උදෙසා මඟ පෙන්වන බුදුසමය දක්වන්නේ සිත සියලු කෙලෙසුන්ගෙන් මිදෙන තෙක් චර්යාමය වශයෙන් පුද්ගලයා තුළ දුර්වලතා පවතින බවයි. මෙම දුර්වලතා ක්‍රමයෙන් ඉවත්කර ගැනීමට අවශ්‍ය පුහුණුවේ එක් වැදගත් ලක්‍ෂණයක් වන්නේ ආයති සංවරය හෙවත් කළ වරද දැක දැන එයින් වැළකීමයි. බුදුසමයේ දැක්වෙන ආයති සංවරය වනාහි පාපොච්චාරණයක් නොවේ. එය අභ්‍යන්තර අවබෝධය හා සම්බන්ධ වූවකි. ආයති සංවරය හෙවත් නැවත නිවැරැදි වීම යනු තමා අතින් සිදු වූ වරද හෝ අඩුපාඩුව දැක එයට පිළියම් යෙදීමයි. (අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති ආයතිං සංවරං ආපජ්ජති) අතීතයේ තමා අතින් සිදු වූ වැරදි අවංකව දකින කෙනෙකුට මෙම මොහොතේදීම නිවැරදි වී අලුත් ජීවිතයක් ආරම්භ කළ හැකිවේ. වරද දැක එයින් වැළකීමට අදහස් කිරීමේ පළමු සිතුවිල්ලත් සමඟම නව ජීවිතයේ ආරම්භය සිදුවේ.

එතැන් පටන් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය ගමන් කරන්නේ නිවැරදි දිසාවකටය. පාප කර්මය අකුසල ක්‍රියාවට යොමු කෙරෙන අකුසල චේතනා නැවතීමත් සමඟම කුසලය හා පිනට සිත යොමුවේ. එයින් පසුව ඔහු තුළ වර්ධනය වන්නේ යහපත් කර්මයයි.
අතීතයේ කළ වැරදි පිළිබඳ පසුතැවීම මනස දුර්වල කරන නීවරණ ධර්මයකි (කුක්කුච්ච) පසු තැවීම හේතුවෙන් සිදුවන්නේ තවදුරටත් පුද්ගලයා දුර්වල අයෙකු බවට පත් වීමයි. වරදකාරී මානසික ස්වභාවය විවිධ මානසික රෝග මෙන්ම කායික රෝග සඳහාත් හේතුවන බව නූතන මනෝවිද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. විමුක්ති මාර්ගයේ ස්ථාවරත්වයට පත් සෝතාපන්න ශ්‍රාවකයා තුළින් ද වැරදි සිදුවීමට අවස්ථාව තිබේ. මෙය රතන සූත්‍රයේ එකොළොස්වන ගාථාවෙන් අවධාරණය කෙරේ.
මෙවන් පසු බිමක් තුළ පුහුදුන් පුද්ගලයා වෙතින් වැරදි සිදුවීම පිළිබඳ පුදුම විය යුතු නොවේ. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට තමා කළ වරද සඟවා ගැනීමේ අවශ්‍යතාවයක් නැත. එවැන්නෙකු තම වරද අවංකව දකිමින් නිවැරදි වීමට උත්සාහ ගනී. එහෙත් පුහුදුන් පුද්ගලයා තමා කළ වරද බොහෝදුරට නොදකින අතර, එය ප්‍රසිද්ධියේ පිළිගැනීමටත් එයට පිළියම් යෙදීමටත් උනන්දු නොවේ. බුදුදහමට අනුව මිනිස් ජීවිතයක් ලැබීම උතුම් වූවකි. කිසිදු මිනිසෙකු උපතින් පව් කාරයෙකු නොවන බව පෙන්වන බුදුසමය පුද්ගලයා සදාකාලික පව්කාරයෙකු වශයෙන් හඳුන්වනු නොලැබේ. එසේම සදාකාලික නිරයක් හෝ අපායක් පිළිබඳව ද බුදුසමයෙන් නොපිළිගනී. සෑම අයෙකුටම තම වරද දුටු කෙනෙහිම නිවැරදිවීමේ හැකියාව තිබේ. එම හැකියාව මතුකරගත් විට ඔහු හෝ ඇය නව ජීවිතයේ ආලෝකය උදාකරගන්නා අයුරු අංඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිත කථාවෙන් පැහැදිලි වේ. වරද දැක වරදින් නිදහස් වීමේ වැදගත්කම පෙන්වන උපදෙස් ඇතුළත් ගාථා දෙකක් ධම්මපදයේ දැක්වේ. ඒ අනුව,
“යමෙක් මුලදී පමාවී (නොයෙක් වැරදි කරමින් ජීවත් වී) පසුව අප්‍රමාදීව කටයුතු කරන්නේ නම් (වරද දැක එයින් මිදී නිවැරදිව ජීවත් වේ නම්) එම තැනැත්තා වළාකුලෙන් මිදුණු සඳමෙන් බබලයි.” “යමෙකු තමා අතින් සිදු වූ පාප කර්ම කුසල් වලින් වසාදමන්නේ නම් (තමා කළ පව් අත හැර කුසලය බලවත් කරන්නේ නම් එම කුසලයේ බලයෙන් පාපය දුර්වල වේ) එම තැනැත්තා ද වළාකුලෙන් මිදුණු චන්ද්‍රයා මෙන් බබලයි.” ධම්ම පදයේ දැක්වෙන මෙම උපදේශය වරදින් නිදහස් වීමට කැමැති අයෙකුට ලැබෙන වටිනා උපදේශයකි. ගිහි පැවිදි දෙපක්‍ෂටම භේදයකින් තොරව මෙම උපදේශය පිළිපැදීමෙන් තම වැරදි අතීතය අමතක කොට නව ජීවිතයක් ආරම්භ කළ හැකි වේ. මේ අනුව කොතරම් බරපතල අපරාධ කළ අයෙකුට වුවද තම වරද දැකීමෙන් නිවැරදි ජීවිතයකට අවතීර්ණ වීමට හැකියාවක් තිබෙන බව මෙම ඉගැන්වීමෙන් පැහැදිලි වේ.
කෙනෙකුට වරදින් නිදහස් විය හැක්කේ පළමුව තමා විසින් වරදක් සිදු කළ බව අවබෝධ කර ගැනීමෙනි. මේ සඳහා හෘදය සාක්‍ෂිය වැදගත් වේ. අප අතින් සිදුවන වැරදි පිළිගත යුත්තේ දඬුවමට හෝ අපාය පිළිබඳ බිය හේතුවෙන් නොවේ. ආත්ම අවබෝධය පදනම් කරගෙන දෙවනුව තමා විසින්ම ස්වයං ශික්‍ෂණයට අවශ්‍ය ශක්තිය මෙන්ම අධිෂ්ඨානය ඇතිකරගත යුතු වේ.
භික්‍ෂූන් වහන්සේලා සඳහා ඉදිරිපත් කර තිබෙන විනය පිළිවෙත යටතේ දැක්වෙන ‘ඇවැත් දෙසීම’ යන්නෙන් අදහස් කරන්නේ මෙම ක්‍රමවේදයයි. එහි විශේෂත්වය වන්නේ තමන් අතින් සිදුවුණු ආපත්තියක් යටපත් කොටගෙන සඟවාගෙන නොසිට එය වැඩිහිටි භික්‍ෂුවකට හෝ තමා හා සමාන වයසේ භික්‍ෂුවක ඉදිරියෙහි වාචිකව ප්‍රකාශ කොට නැවත එවැනි වරදක් නොකරන බව අධිෂ්ඨාන කරගැනීමයි. මෙම ක්‍රමය ඒ ආකාරයෙන්ම ගිහි සමාජයට ද යොදාගත හැකි වේ.
ආත්මාවලෝකනය පිළිබඳ බෞද්ධ විග්‍රහය රාහුලෝවාද සූත්‍රයෙහි දැක්වේ. රාහුල හිමියන්ට දුන් අවවාදය ඇතුළත් එම සූත්‍රය මැනවින් කියවන්නෙකුට ස්වයං ශික්‍ෂණය ඇතිකරගැනීමට අවශ්‍ය උපදෙස් එයින් ලබාගත හැකිවේ. කැටපතකින් බලමින් තම මුහුණේ අඩුපාඩු සකස් කර ගන්නාක් මෙන් යම් ක්‍රියාවක් කිරීමට පෙරත් කරන අවස්ථාවේදීත් කිරීමෙන් අනතුරුවත් එය නැවත නැවත විමර්ශනය කළ යුතු බව දැක්වේ. (පච්චචෙක්ඛිත්වා පච්චචෙක්ඛිත්වා) මෙයින් තුන්වන අවස්ථාව සෘජුවම ආයති සංවරය හා සම්බන්ධ වේ. ඒ යටතේ තමා සිදුකළ කායික, වාචසික හා මානසික චර්යා තමන්ටත් අන් අයටත් හානි පිණිස පැවැතියේ ද, එසේම දුක් විපාක ඇති කළේ ද යනුවෙන් මැනවින් වටහා ගත් පසුව එය නැණවත් (විඤ්ඤූ) අයෙකු ඉදිරියෙහි ප්‍රකාශ කොට වරදින් මිදී නිවැරදි අයෙකු බවට පත්වීමට අවශ්‍ය බුද්ධිමය හා අධිෂ්ඨානමය ශක්‍යතාව ඇති කවර අයෙකුට වුව ද වරදින් මිදී නිවැරදි අයෙකු විය යුතුයි. මෙම පිළිවෙත අනුගමනය කරන්නට කවර පුද්ගලයෙකු හට වුවද හැකිවේ. වරද කවරෙක් කළ ද එය වරදමය.
නිවැරදි අයෙකු විය හැකි ය. මෙම සූත්‍රයෙහි ඉගැන්වෙන විශේෂ කරුණක් වන්තේ තමා විසින් සිදුකළ වරද බුද්ධිමත් අයෙකුට පළමුව ප්‍රකාශ කිරීමයි. එය අතිශයින් වැදගත් වන්නේ වර්තමාන සමාජයට ය. බොහෝ දෙනෙකු කෙනෙකුගේ වරදක් දුටුවිට හෝ ඇසූ විට අනුගමනය කරන්නේ එම පුද්ගලයා තවදුරටත් වරදට පෙළඹවීමයි. එසේ නැතහොත් චරිත ඝාතනය කරමින් තවදුරටත් එම පුද්ගලයා අපරාධකරුවෙකු ලෙස සමාජ ගත කිරීමයි.
බුද්ධිමත් පුද්ගලයා වැරද්ද දෙස බලන ආකාරය වෙනස්ය. කෙනෙකු අතින් වරදක් වීමට බලපාන හේතු සාධක බොහෝ ය. මෙම හේතු දකින නැණවතා අනුගමනය කරන පිළිවෙත වන්නේ වරද කළ පුද්ගලයාට වරදින් නිදහස් වීමට උපකාරී වීමයි. තමා කළ වරද බුද්ධිමත් අයෙකුට ප්‍රකාශ කිරීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ මේ හේතුව නිසා ය.
තමා අතින් සිදුවන වරද වරදක් ලෙස දැකීම, විශිෂ්ට ගුණයකි. එහෙත් සමාජයේ බොහෝ දෙනෙකු අවංකව තම වරද පිළිගැනීමට අකමැති වෙති. එසේම සෙසු අය වරද පිළිගැනීමට අකමැති වෙති. එසේම සෙසු අය වරද පෙන්වා දුන් විටද ඔවුන් කෙරෙහි කෝපය ද ද්වේෂය ද පහළ කරති. තම වරද නොදකින පුද්ගලයා සැම විටම සමාජය, ආයතනය, පාලන ක්‍රමවේදය ස්වභාව ධර්මය ආදී බාහිර දේ වෙත වරද පටවමින් තමාගේ වරද සාධාරණීකරණය කිරීමට උත්සුක වේ. එවන් අයෙකු තම වරද නොපිළිගෙන අන් අය හා ගැටුම් නිර්මාණය කර ගනී.
තමන් සාකල්‍යයෙන්ම නිවැරදි අය යැයි සිතන මෙම පුද්ගලයන් නියෝජනය කෙරෙන සෑම සමාජ ආයතනයක් තුළම අර්බුද නිර්මාණය වේ. ආයති සංවරය තුළ පිහිටීමේ දී සියලුම වැරදි එක්වරම නිවැරදි කර ගැනීමක් ගැන ද බුදුසමය කතා නොකරයි. වැරදි ටිකෙන් ටික අවම කරගැනීමේ පිළිවෙතක් ඉදිරිපත් කරයි. නුවණැති පුද්ගලයා වනාහි කම්මල් කරුවෙකු රන්වල පවතින කිලිටි ක්‍රමයෙන් ඉවත් කරන්නාක් මෙන් තම දුර්වලතා (කෙලෙස් සහ ඒ නිසා ඇතිවන සාවද්‍ය චර්යා) ක්‍රමයෙන් ඉවත් කරගන්නා බව ධම්මපදයේ දැක්වේ. මේ සක්‍යතාව ඇතිවන්නේ තමා කළ වරද අවංකව පිළිගන්නා තැනැත්තාට පමණි.
තමා අතින් වරදක් සිදු වූ පසුව එයට සමාව ගැනීමත් ඒ වෙනුවෙන් කනගාටුව පළකිරීමත් සත්පුරුෂ ගුණයකි. මෙය සෑම සමාජ ආයතනයක් තුළම ක්‍රියාත්මක විය යුත්තකි. ඔවුනොවුන් අතින් සිදු වූ වරද නොදැකීමත් නොපිළිගැනීමත් එයට පිළියම් නොයෙදීමත් හේතුවෙන් කොතෙක් නම් අර්බුද නිර්මාණය වී තිබේද? ඉතා කුඩා වැරදි මහා පරිමාණ අර්බුද දක්වා වර්ධනය වන්නේ මේ හේතුව නිසාය යන්න ඇතැම් සිදුවීම් වලින් පැහැදිලි වේ.
මෙම පසුබිම යටතේ බුදුදහමින් පෙන්වා දෙන ආයති සංවරය හෙවත් ආත්මාවලෝකනය තුළින් ගොඩ නඟා ගන්නා ස්වයං ශික්‍ෂණය පිළිබඳ අධිෂ්ඨානය කවර අයෙකුගේ වුව ද අඳුරු අභාග්‍ය සම්පන්න ජීවිතය ආලෝකමත් කරගැනීමට උපකාරීවන පිළිවෙතකි.

 කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ දෙසැම්බර් 25 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment