මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Sunday, July 26, 2015
බුදුදහමයි පරිසරයයි
ලොව්තුරා තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී පුරා අවබෝධ කොට වදාළ අසූහාර දහසක් වූ ධර්මස්කන්ධය, සංසාර සාගරයේ අසරණ වූ සත්ත්වයන් බියකරු සසරෙන් එතෙර කරවීම සඳහාම පමණක් නොව, ඔවුන්ගේ මෙලොව ජීවිතයද සුවපත් කරගැනීමට වදාළ දහමකි.
මංගල සූත්‍රයේ සඳහන් වන මංගල කාරණා තිස්අටෙන් මුලින්ම සඳහන් වන මංගල කාරණා පුද්ගලයකුගේ එදිනෙදා ජීවිතය යහපත්ව පවත්වාගෙන යාම හා බැඳී පවතී. ප්‍රධාන වශයෙන්ම පුද්ගලයාගේ ජීවිතය කරදර බාධකවලින් තොර යහපත් ජීවිතයක් ගොඩනඟා ගැනීමට නම් “පතිරූප දේස වාසෝච” යන මංගල කරුණ සම්පූර්ණ කරගත යුතුය. යහපත් මිනිසුන් ජීවත් වන සහ පහසුකම් සහිත පරිසරය මිනිසා ජීවත් වීම සඳහා සුදුසු බවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. පුද්ගලයා ජීවත්වන පරිසරය හෙවත් ඔහු ජීවත්වන වටාපිටාව පුද්ගල ජීවිතයක තීරණාත්මක සාධකයක් වන බවට එයින් පැහැදිලි වේ
“පතිරූප දේස වාසෝච”
හෙවත් යහපත් මිනිසුන් ජීවත්වන පරිසරයක ජීවත්වීමේ පදනම නිර්මාණය කරගත යුත්තේ මූලික වශයෙන්ම තම නිවස තුළය. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වන ආකාරයට බිරිඳගෙන් ස්වාමියාට යුතුකම් ඉටුවන, ස්වාමියාගෙන් බිරිඳට යුතුකම් ඉටුවන, දෙමව්පියන්ගෙන් දරුවන්ට යුතුකම් ඉටුවන, දරුවන්ගෙන් දෙමව්පියන්ට යුතුකම් ඉටුවන, ඔවුනොවුන් වෙත ආදරය, කරුණාව, මෛත්‍රිය පතුරවමින් පි‍්‍රයශීලිව ජීවත්වීමෙන් නිවසක යහපත් පරිසරයක් නිර්මාණය වනු ඇත. ගෙදර බුදුන් අම්මාය. අම්මාගේ මානසිකත්වය යහපත් තත්වයක තැබිය යුතු බවට ස්වාමිපුරුෂයා හා දරුවන් දැනගත යුතුය. බිරිඳ ස්වාමිපුරුෂයාටද , ස්වාමිපුරුෂයා බිරිඳටද,ප්‍රියශීලීව කටයුතු කරමින් දරුවන් යහමගට යොමු කරමින් පාප මිත්‍ර සේවනයෙන් වළක්වා පණ්ඩිත පිරිසක් ඇසුරට සමීප කරදීම දෙමව්පියන්ගේ යුතුකමකි. තමාගේ දරුවන් කවදා හෝ දවසක තමාට සලකනවාය තමා මිය ගිය විට තමාගේ දරුවන් තමා වෙනුවෙන් පින් දහම් කරනවාය යන හැඟීම දෙමව්පියන් තුළ තිබිය යුතුය. නිවස තුළ අර්බුද තිබියදීත් තමා හොඳින් ජීවත්වන බව ලෝකයාට පෙන්වීමට උත්සාහ දරමින් තමාගේ අසහනය දුරුකර ගැනීම සඳහා තාවකාලික වින්දනයක් ලබාගැනීමට සමාජශාලාවලට ගොඩවැදීම ප්‍රායෝගිකව යහපත් ක්‍රියාවක් නොවේ. තමාගේ භාර්යාවට අවමන් නොකර , අලංකාර වස්ත්‍රාභරණ සපයාදීමෙන් ද, ඇයට මූලිකත්වය ලබාදෙමින් කටයුතු කරයි නම් එවැනි බිරිඳක් තෘප්තිමත් ජීවිතයක් ගත කරනු ඇත. එවිට ඇය තෘප්තිමත්ව තමාගේ වගකීම් කොටස නිවැරැදිව ඉටුකරනු ඇත.
“ගෙදර බුදුන් අම්මා” දුරාචාරයේ හැසිරෙමින් නොමඟට ඇදි ගියහොත් මුළු පවුල් සංස්ථාවම විනාශවනවා ඇත. ඇතැම් පියවරුන් තමාගේ වගකීම් කොටස පැහැර හරිමින් නොමග යන අවස්ථාවලදී පවා අම්මාගේ නිවැරැදි දැක්ම නිසාම සිදුවන්නට යන මහත් ව්‍යවසනයන් මඟ හැරී යයි .තමාගේ දරුවාට යහපත් පරිසරයක ජීවත්වීමේ වටපිටාව නිර්මාණය කර දීමේ ප්‍රධාන වගකීම් දෙමව්පියන් බාරගත යුතුය. හැන්දෑවට ගෙදරට පැමිණෙන විට දරුවන් ගෙදර බඩුමුට්ටු කඩා බිඳ දමමින් මිදුලේ සිටුවා ඇති එළවළු, මල් පැළැටි උදුරා විසිකර දමා ඇති යුද පිටියක ස්වභාවයක් ගනී නම්, හික්මීමක් නොමැති දරුවන් තනා ඇත්තේ එම දෙමව්පියන් විසින්මය. වයස අවුරුදු 11 වන තෙක් දරුවාට පුරුදු පුහුණු කරමින් දරුවා හික්මවිය යුතුය. වයස අවුරුදු 11 ට පසු දරුවන් අධ්‍යාපනය සඳහා යොමුවනු ඇත. යහපත් දරුවකු තැනීමේදී ආගමික, සාමාජීය, අධ්‍යාපනික පරිසරයක් නිවැරැදිව තෝරා බේරා දිය යුතුය. එම දෙමව්පියන්ද ආදර්ශවත් ජීවිතයක් ගත කරමින් ආගමික සමාජීය පරිසරයක් ගොඩනඟා ගත යුතුය. “පාපං නිවාරෙන්තී “ එවිට දරුවා පවින් වළක්වාලමින් සුමඟට ගැනීමේ කාර්යභාරය නිවැරැදිව ඉටුවනු ඇත.
“ඉමිනා පුඤ්ඤ කම්මේන” යන ගාථාවේ සඳහන් ආකාරයට නිවන් දක්නා ජාති දක්වා සද්පුරුෂ ආශ්‍රයක් ලැබේවා යන්න ප්‍රාර්ථනා කරනු ලබයි. ගෙදර අවට ජීවත්වන මිනිසුන් සද්පුරුෂයන් විය යුතුය. මිනිසාට සුබ සිද්ධිය ගෙන දෙන පළාතක් විය යුතු අතර සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබෙන පරිසරයක්, දස පුණ්‍ය ක්‍රියා කිරීමට හැකි පරිසරයක් විය යුතුය. ආගමික පරිසරය වශයෙන් දැන උගත් ස්වාමින් වහන්සේලා වැඩ සිටින සිල් සමාදන් වීමට බණ භාවනා කරගැනීමට හැකි වෙහෙර විහාරවලින් යුක්ත පරිසරයක් විය යුතුය. තමාගේ නිවස තුළින් ආරම්භ කරනු ලබන ‘පතිරූප දේස වාසෝච” හෙවත් සුදුසු යහපත් පරිසරයක ජීවත්වීම සමාජිය වශයෙන්ද ගම, දිස්ත්‍රික්ක, පළාත් සහ රටවල් වශයෙන්ද බැඳී පවතී.
නිවස අවට ජීවත්වන මිනිසුන් සද්පුරුෂයන් විය යුතුය.අසල්වාසීන්ගේ හිරිහැර නිසාම තමාගේ නිවස ඉඩම විකුණා දමා වෙනත් ප්‍රදේශ සොයාගෙන යාමට ඇතැම් අය පෙලඹී ඇති අවස්ථාද නැතිවා නොවේ. ජීවත්වීමට නුසුදුසු රටවල්ද ජාත්‍යන්තරව පවතී. ඇතැම් රටවල කාන්තාවෝ දැඩි පීඩාවට පත්කරනු ලබයි. ඇතැම් රටවල ගැහැනු දරුවන් වැඩිදුර අධ්‍යාපනය ලබනවා නම් ඒ සඳහා මුදල් අයකිරීමක් කරනු ලබයි.
පවුලේ සියලුම දෙනා එකට එකතු වී එකට කෑම මේසයක නිදහසේ ආහාර ගැනීමක් ඇතැම් නිවෙස්වල නැත. එකිනෙකා ආහාර ගනු ලබන්නේ රූපවාහිනිය සමීපයට පැමිණ ටෙලිනාට්‍ය නරඹන අතරතුරදීය. මෙවැනි තත්වයක් නිවසක නොපැවතිය යුතුය. අලුයම හතරට අවදිවන ඔවුන් කඩිමුඩියේම සූදානම්ව රැකියාවට ගොස් නැවත සවස හයට හතට නිවසට පැමිණ පෙර පරිදිම රූපවාහිනිය නරඹමින් ආහාර ගෙන නැවත අවදිවන වෙලාව ඔරලෝසුවේ තබා නින්දට යන තරමට මිනිසුන් යාන්ත්‍රික වී ඇත. බොහෝ රෝගාබාධයන්ට ගොදුරු වීමට මෙම පාරිසරික හේතුන් බලපා ඇත. දරුවන් දෙමාපියන් අතර සබඳතාව බිඳවැටෙමින් පවතී.
තමන්ගේ අම්මා, තාත්තා ජීවතුන් අතර සිටින කාලය තුළ ඔවුන්ට නොසලකා හරින ඇතැම් දරුවන් දෙමව්පියන් මිය ගිය පසු දහස් ගණන් මුදල් වියදම් කරමින් අවමංගල දැන්වීම් පළකරමින් මිනීපෙට්ටි සඳහා දහස් ගණන් වියදම් කරනු ලබයි. එවැනි පරිසරයක් තුළ ජීවත්වීමට හා එවැනි පරිසරයක් ගොඩනැඟීම ඉතාම අහිතකර තත්වයකි.
සංසාරයේ මැරෙමින් ඉපදෙමින් නිවන් දක්නා ජාති දක්වා යන ගමනේදි අපට හමුවන පරිසරය ඉතාම වැදගත්ය. එදා දසරාජ ධර්මයෙන් රට පාලනය කරනු ලැබූ රජවරු පවා කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා සමඟ සමීපව කටයුතු කරමින් අවවාද අනුශාසනා ලබාගත් බවත්, නිතරම වෙහෙර විහාරවලට ලැදිව සමීපව කටයුතු කළ බව සඳහන්ය. අද වන විට ඇතැම් පිරිස් ස්වාමීන් වහන්සේ නමක් සොයාගෙන යනු ලබන්නේ පාංශුකූලයකට හෝ දානයකට පමණයි. එසේ නොවී ගමේ පන්සල සමඟ සමීප සබඳතා ගොඩනඟාගෙන ගිහි පැවිදි සුබසිද්ධිය සඳහා කටයුතු කිරීමෙන් ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරගත හැකිය. එදා රට පාලනය කළ රජවරුන්ට පවා දසරාජ ධර්මයෙන් පාලන කටයුතු කරගෙන යාමට උපදෙස් අනුශාසනා දෙනු ලැබුවේ ස්වාමීන් වහන්සේලාය. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබෙන ආකාරයට පරිසරය ගොඩනඟා ගත යුතුය. ගිනිකඳු, භූමිකම්පා වැනි ස්වභාවික විපත් නිතර නිතර සිදුවන ප්‍රදේශ ජීවත්වීමට සුදුසු නොවේ. පුද්ගලයන් නිරෝගීව ජිවත්විය යුතුය. “ආරෝග්‍ය පරමා ලාභා” යනු නිරෝගිකම උතුම් ලාභය නම් මැසි මදුුරුවන් අඩු විෂඝෝර සර්පයන්ගෙන් ගහණ නොවු පිරිසුදු ජලය හා පිරිසුදු වාතාශ්‍රය සහිත භවභෝග සම්පත් හොඳින් හැදෙන භූ ප්‍රදේශයත් තුළ විසීම තුළින් ජීවිතයට අවශ්‍ය නිරෝගිකම ලබාගත හැකිය. එදා ගොවීන් කුඹූරේ වැඩ කරන අතරතුර තමන්ගේ පිපාසය නිවා ගැනීමට වක්කඩෙන් පෙරී එන වතුර බීමට පුරුදුවී සිටියේ එම වතුර එතරම් පිරිසුදු වූ නිසයි. ඒත් අද වන විට වතුර බීමට නොහැකිවන තරමටම කුඩා මාළුන් වඳවී යන තරමටම කෘෂිරසායන භාවිතය නිසා ජලයට වසවිස මිශ්‍රවී ඇත. මුං ඇට තැම්බූ වතුර බීමට එදා හැකියාව තිබුණි. අපට ජීවත්වීමට සුදුසු ආකාරයේ පරිසරයක් ගොඩනඟා ගත යුතුය.
අපේ රටේ ඇතැම් ගෙවල්වල බොහෝ විට මුළුතැන්ගෙය පිළිවෙළක් පිරිසුදුවක් නැත. ගෙදර ඉදිරිපිට පිඟන් ගඩොල් අල්ලා පිරිසුදු ස්වභාවයක් පෙන්නුම් කරනු ලැබුවද ඇතැම් විට එහි ඇතුළාන්තය එයට වඩා වෙනස් ස්වභාවයක් පවතියි. ඇතැම් විට නිදන කාමරවල රෙදිගොඩ ගසමින් මාස,අවුරුදු ගණන් කොට්ට මෙට්ට අව්වේ දමන්නේ නැතිව කොට්ටා උර ගලවා සෝදා පවිත්‍ර නොකර කුණු කසළ පිටින් පාවිච්චි කරන පිරිස්ද නැතිවා නොවේ. තමාගේ අඩුපාඩු දෙස බලමින් නිවැරැදි කරගැනීමෙන් රෝගවලින් තොරවූ නිරෝගී ජීවිතයක් ගත කිරීමේ වාසනාව උදාවේ. මෙවැනි කරුණු කාරණා” පතිරුප දේස වාසෝච” යන පරිසරයට අයත් කරුණු කාරණාය. මිනිසාගේ මානසිකත්වය යහපත් වීමට එම පරිසරයට විශාල බලපෑමක් කළ හැකිය.
ඇතැම් ගෙවල්වල දරුවන් පාඩම් කරන කාමරය පොත් මේසය කිසිදු පිළිවෙළකට සකසා නොමැත. එවැනි පරිසරයක නිවැරැදිව අධ්‍යයන කටයුතු කළ නොහැකියි. පොත් පිළිවෙළකට තබා කාමරය පිරිසුදු කර බුදුපිළිමයක් තබා එම කාමරය තුළින් ප්‍රසන්න සුවඳක් හමන තත්වයක පවතීනම් එය අධ්‍යාපන කටයුතුවල නියැළෙන දරුවාගේ මනසටද හිතකරය.
සංසාරයේ ඉපදෙමින් මැරෙමින් සංසාර ගමනේ පරතෙරක් නොපෙනෙන ගමනක යෙදෙන සත්ත්වයාට නිවන පසක් කරගැනීමට නම් “පතිරූප දේස වාසෝච” යන මංගල කාරණාව පිළිපැදිය යුතුමය. එය කුසල් අකුසල් රැස්කර ගැනීමට ප්‍රබල සාධකයක් වන බැවිනි.
දිවුලපිටිය බලගල්ල සරස්වතී පිරිවෙන් විහාරවාසී
කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය
ආචාර්ය හිඳගල ඤාණාධාර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 24 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment