Labels

Wednesday, July 29, 2015

බුදුරදුන් වස් විසූ ස්ථාන සහ ශාසනික සිදුවීම්



තිලෝගුරු බුදුපියාණන් වහන්සේ තම වස් සමයෙන් දහ නව වසක් ජේතවනාරාමයෙහි ගත කළ අතර, අග්‍ර දායිකා විශාඛා මහ උවැසිය විසින් කරවන ලද පූර්වාරාමයෙහි සවසක් ගත කළ සේක. විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුපියාණන් වහන්සේ ද අචිරවතී නම් සුන්දර ගංතෙර පිහිටි මෙම පින් බිමෙහි වස්සාවාසිකව විසූ බව කියැවෙයි.


සම්මා සම්බුදු සසුනෙහි ආරක්ෂාව පිණිසත්, ගුණ දහම් වර්ධනය පිණිසත් ගිහි පැවිදි දෙපරිස අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවයක් පැවැතිය යුතුය. ඔවුනොවුන් වෙනුවෙන් නිසි ලෙස යුතුකම් ද ඉටුවිය යුතු ය. වැසි සාර මාසය ගිහි පැවිදි ශාසනික සබඳතාව වඩා තහවුරු කැරෙන සමයෙකි. සම්බුදු සමිඳුන් අනුදැන වදාළ සදහම් මඟ පිය මං කරන බොදු මහ ජනතාව, ස්වකීය පන්සලේ මහ සඟරුවන වස් වසවා ගනිති. තමන් වහන්සේගේ ආධ්‍යාත්මික සංවර්ධනය තහවුරු කර ගන්නා අතරම, තම දායක දායිකාවන්ගේ චරිත සංවර්ධනය ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කිරීම පිණිස ද භික්ෂූන් වහන්සේ එම කාලය තුළ දී විශේෂයෙන් දහම් දැනුම ලබා දෙති.

තථාගත ශාසනික ප්‍රතිපත්ති වලට අනුකූලව , සියලු භික්‍ෂූන් වහන්සේ වස් එළැඹිය යුතු ය. “ අනුජනාමි භික්ඛවෙ වස්සානේ වස්සං උපගන්තුං “ යනු බුද්ධ දේශනාව යි. එය, ‘පෙර වස’ හා ‘පසු වස ‘ යනුවෙන් හැඳින්වෙයි . පෙර වස් සමාදන් වීම යනු, ඇසළ පුන් පෝ දින පොහෝ පවුරුණු කොට ඇසළ අව පෑළවිය දා වස් එළැඹීම යි. නිකිණි පුර පසළොස්වක දා පෝය කොට එම අව පෑළවිය දා වස් සමාදන් වීම, පසු වස් සමාදානය යි. බුද්ධ නීතියට අනුව, වස් කාලයෙහි නියමිත දිනයන්හි මේ උදාර ශාසනික කාර්යය නො කළ භික්‍ෂූන්ට “ න භික්ඛවෙ වස්සං න උපගන්තබ්බං යො න උපගච්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස “ යනුවෙන් මහාවග්ග පාලියේ වස්සූපනායිකක්ඛන්ධකයෙහි සඳහන් පරිදි, දුකුලා ඇවැත් සිදුවෙයි.
වැසි කාලය එක් තැනකට වී වාසය කිරීම දඹදිව ප්‍රාග් බෞද්ධ යුගයේ සිට ආවේණිකව පැවැත ආ සිරිතකි. භික්‍ෂු සංස්ථාව ක්‍රමයෙන් විකාශනය වත්ම, මෙම පෞරාණික චාරිත්‍රය උල්ලංඝනය වෙමින්, වැසි කල ද චාරිකා චරණායෙහි යෙදිණි. මේ දුටු ඉන්දීය ජනතාව නොයෙක් අයුරින් භික්‍ෂුන්ට චෝදනා කරන්නට වූහ. කවදත් මහජන මතයට දෙසවන යොමු කරන, ඒ පිළිබඳ ඵලදායි තීරණ ගන්නා බුදු පියාණන් වහන්සේ, වස් විසීම අනුදැන වදාළහ. මේ ලිපියෙහි අරමුණ වන්නේ, බුදුරදුන් වස් කාල ගත කළ ස්ථාන හා ඒ පිළිබඳ විශේෂ සිදුවීම් කීපයක් ඉදිරිපත් කිරීම යි.
ශාක්‍ය මුනීන්ද්‍ර වූ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම වස් කාලය සඳහා තෝරාගනු ලැබුවේ,බරණැස ඉසිපතානාරාමයයි. දම්සක් පැවැතුම් සූත්‍රය ;ද්ශනා කිරීමෙන් පසුව එළැඹුණු වස් සමය තුළ බුදු සසුනෙහි මුල්ම භික්ෂු පිරිස සම්පාදනය කරගැනීම සිදුවිය. අනාත්ම ලක්ඛණ සූත්‍රය දේශනා කිරීම සිදු වූයේ, ප්‍රථම වස් සමයේ දී ය.
ශාසන ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව ලෙස සැළකෙන, බිම්සර මහ රජු විසින් පුජා කරන ලද රජගහනුවර වේළුවනාරාමයෙහි බුදුරදුන්ගේ දෙවන වස් කාලය ගත විය. තෙවන, සිවුවන වස් විසීම් සඳහා තෝරාගනු ලැබුවේ ද වේළුවනාරාමයයි. විශාල මහනුවර කූ®ටාගාර ශාලාවේ පස්වැනි වස ගත කළ බුදු පියාණෝ එහි දී මංගල, පරාභව ආදී සුත්‍ර ධර්ම දේශනා කළහ. කිඹුල්වතට වැඩම කර, පිය මහ රජතුමන්ට දම් දෙසූ බුදුරදුන් විසින් සුදොවුන් රජද රහත්ඵලයට පමුණුවන ලදී. සුදොවුන් රජු පසුව පිරිනිවන් පෑවේය. අනන්ද හිමියන්ගේ ඉල්ලීම පරිදි ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පිරිස පැවිද්ද අයැද සිටියහ.
අෂ්ට ගරුධර්ම පිළිගැනීමෙන් අනතුරුව කාන්තා විමුක්තිය උදෙසා බුදු සසුනේ රුවන් දොර විවර වූයේ ද පස්වන වස් සමයේ දී ය.
ස වන වස සඳහා තෝරා ගනු ලැබුවේ මකුල පර්වතයයි. පුණ්න හිමියන් සුනාපරන්තයට යැවීම හා ඛේමා බිසව ප්‍රවෘජ්‍යාවට පත්වීම වැනි සිදුවීම් එම සමයේ සිදු වූ බව ශාසන ඉතිහාසය සනාථ කරයි. අභාවයට පත් සිය මෑණියන්ගේ සංසාර විමුක්තිය වෙනුවෙන් තව්තිසාවට වැඩම කළ බුදුපියාණෝ සත් වන වස එහි ගත කළහ. මාතෘ දිව්‍ය රාජයාට අභිධර්ම දේශනය පවත්වා ඔහුට සෝවාන්ඵලයට පත්වීමට සැලැස්වූහ. හිමාලයට ආසන්න උතුරු ද්වීපයෙහි පිඬු සිඟා වැඩමකොට දන් වළඳා සත්වන වස් සමය තුළ අසූකෝටියන් දෙවියන් මාර්ග ඵලාවබෝධයට පත් කරවූහ.
අට වන වස් කාලය සඳහා භග්ග දේශයේ සුංසුමාරගිර භේසකලා වනය තෝරා ගත්හ. නව වන වස සඳහා තෝරාගනු ලැබුවේ කොසඹෑවනුවර ඝෝෂිතාරාමය යි. ධර්ම විනයධර භික්‍ෂූන් වහන්සේ අතර ඇතිවූ විනය ගැටලු විසැඳීම සදහා දීගිතිකෝසල ලටුකික වට්ටක ආදී ජාතක කථාද ධර්මෝපදේශ දේශනා කළහ. දස වන වස විසූයේ පාරිලෙය්‍ය වනයේ ය.
සත් පුරුෂයන් සමග විසීමේ අගයත්, බාලයන් ඇසුරු නොකිරීමේ අගයත් පෙන්වා වදාළේ පාරිලෙය්‍ය ඇත් රජුගේ ක්‍රියාදාමය උපමා කොට ගෙන ය.
එකොළොස් වන වස සඳහා ඒකනාළ බමුණුගම තෝරා ගත් බුදුපියාණන් විසින් එහි දී කසී භාරද්වාජ බමුණා දමනය කරන ලදී. කෙතක ලියැදි පිහිටා ඇති අයුරින් තම සිවුර සකසා ගත යුතු බව භික්‍ෂූන්ට නියම කොට වදාළේ දී ද මෙහිදී ය. ‘පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති’ යනුවෙන් දැක්වෙන පරිදි අටලෝ දහමින් කම්පා නොවිය යුතු බව මනාව සනාථ කළ වස් සමයකි. දොළොස් වන වස් සමය. උදය බමුණාගේ ආරාධනයෙන් වේරංජාවෙහි වස් විසූ බුදුපියාණෝ ඉතා දුර්භික්‍ෂ සමයකට මුහුණ පෑ සේක. ලාභාලාභාදියෙන් කම්පා නොවූ සර්වඥයන් වහන්සේ, ආදර්ශයෙන් හා අනුකම්පාවෙන් මඟ පෙන්වූහ. භාග්‍යවතුන් වහන්සේ දහ තුන්වන වස, වාලිකා පර්වතෙහි වස් විසූහ. දාහතර වන වස් කාලය ඉතා වැදගත් වූවකි. රහල් හිමියන්ගේ උපසම්පදාව සිදු වූයේ, මේ කාල සීමාවේදී ය. සැවැත්නුවර දෙව්රම එදා බුදු හිමියෝ වස් වාසය කළහ.
සුප්‍රබුද්ද රජ පොළොව පලා නිරයට පත් වූයේ ද, නන්දිය ශාක්‍ය රජු පැවිදි වූයේ ද බුදුරදුන් පසළොස් වැනි වස කිඹුල්වත් නුවර, න්‍යග්‍රෝධාරාමයේ වාසය කරන සමය තුළදී ය. දහසය වන වස, ආලවක ජනපදයේ වස්සාවාසිකව විසූ සේක.
රජගහ නුවර වේළුවනාරාමය දහසය වන වස සඳහා අභිමතස්ථානය විය. සිරිමා නම් ගණිකාවගේ මෘත දේහය සම්බන්ධ කර ගනිමින් සිරුරෙහි අනිත්‍ය ලක්‍ෂණ පෙන්වා, අසූ දහසක් පිරිසට ධර්මාවබෝධය ලබා දෙන ලද්දේ මෙහිදී ය. දහ අට හා දහ නව වන වස, මාලිය පර්වතයෙහි වාසය කරන ලදී. විසි වන වස සඳහා රජගහ නුවර වේළුවනාරාමයට වැඩමවා වදාළ සේක. මේ වන විට සම්බුදු පදවියෙන් අභිසෙස් ලබා විසි වසරක් ඉක්මගොස් තිබිණි. උපතින් පනස් පස් වසරකි. උන්වහන්සේට රාධ, මේකිය, සුනක්ඛන්ත, නාගිත, නාගසමාල ආදී භික්‍ෂූන් වරින් වර උපස්ථාන කළ ද එහි පිළිවෙළක් නොවීය. එබැවින් ස්ථිර උපස්ථායකයකු පත් කර ගැනීමේ කාලය එළැඹිණි. අනේපිඬු මහ සිටුතුමන් විසින් කරවන ලද ජේතවන මහා විහාරයේ විසි එක් වන වස් සමයේ සිටම කාලය ගත කළහ. වත්මන් ඉන්දියානුවන් විසින් සහේත් යන නමින් හඳුන්වනු ලබන මේ ප්‍රදේශයේ සැවැත් නුවර ජේතවන මහ විහාරය පිහිටා ඇත. ශ්‍රාවස්ති, යනුද සැවැන් නුවරට නමකි. ‘සිව්සිරියෙන් පිරි නුවර’ යනු, එහි අදහස යි. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ තම වස් සමයෙන් දහ නව වසක් ජේතවනාරාමයෙහි ගත කළ අතර, අග්‍ර දායිකා විශාඛා මහ උවැසිය විසින් කරවන ලද පූර්වාරාමයෙහි සවසක් ගත කළ සේක. විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුපියාණන් වහන්සේ ද අචිරවතී නම් සුන්දර ගංතෙර පිහිටි මෙම පින් බිමෙහි වස්සාවාසිකව විසූ බව කියැවෙයි.
ජාතක කතා හාරසියයකට අධික ප්‍රමාණයක් දේශනා කළේ ද, ධම්ම පද ගාථා හාරසිය විසි තුනෙන් ම දෙසිය එකක් දේශනා කොට වදාළේ ද, වෙනත් විවිධ සූත්‍ර ධර්ම අට සිය හැත්තෑ එකක් පමණ දේශනා කළේ ද, සිවු මහ පිරිසට අමා මහ නිවන් මඟ පසක් කරගනු වස් බොහෝ සෙයින් උපකාරී වූයේ ද මෙම ජේතවන මහ වෙහෙර ය. හතළිස් තුන්වන හා හතළිස් හතර වන වස් සමය පිළිබඳ පැහැදිලි විස්තර සොයා ගැනීම උගහට ය.
සව් ලෝ සතුන් වෙත අමිල සේවාවක් සිදු කළා වූ බුදු රජාණන් වහන්සේ, අවසන් වස් තෙමස ගත කොට වදාළේ බේළුව ග්‍රාමයෙහි ය. සියලු සංස්කාර ධර්ම අනිත්‍ය බව සනාථ කරමින් පිරිනිවන්පෑමට ඉටා ගත්තේ (ආයු සංස්කාරය අතහළේ) මෙම වස් සමය තුළදී ය. චුන්ද කර්මාර දිව්‍ය ප්‍රත්‍යයාගේ සූකර මද්දවයෙන් වැළඳුණු ලෝහිත පක්ඛන්දිකා රෝගය උත්සන්න වූයේ ද මේ වස් සමයෙහිදී ය.

 නාමල්වත්තේ ආනන්ද හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2553 ක් වූ නිකිණි අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2009 ක් වූ අගෝස්තු 20 වන බ්‍රහස්පතින්දා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපි

No comments:

Post a Comment