Labels

Tuesday, September 1, 2015

ජීවිතයට ධර්මෝපදේශ


සැවැත්නුවර ධම්මික නම් තරුණයෙක් වාසය කළේ ය. ආගම දහමට ද නැඹුරු ජීවිතය පිළිබඳ අවබෝධයෙන් කල්පනා කළ ධම්මික තරුණයා ගෘහ ජීවිතයත්, සමාජ ජීවිතයත් සමබරව පවත්වාගෙන ගියා. ඒ නිසා ධම්මික තරුණයා ගැන දෙමාපියන්ගේ හිත්වලත් හොඳ පැහැදීමක් තිබුණා. සමාජයේ අනෙක් අයගේ සිත් සතන්වලත් ධම්මික තරුණයා පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා.
ටික කලකට පසු මෙම තරුණයාට තරුණියක් විවාහ කරදීමට දෙමාපියන් කටයුතු කළා. කාලයක් විවාහ ජීවිතය ඉතා හොඳින් ගතකළ ධම්මික තරුණයා ජීවිතය පිළිබඳ අවබෝධයක් තිබුණ නිසා විවාහ ජීවිතයට වඩා මහණ වී පැවිදි දම් රකින එක හොඳ යැයි කල්පනා කළා.

ඒ අනුව තමන්ගේ අදහස තමන්ගේ බිරිඳටත් කීවා. ඇය ද එයට අකැමැති වුණේ නැහැ. ඒ අය මෙහෙම කීවා. ‘දැන් ඔබ නිසා මාව ගැබිනියක බවට පත්වෙලා ඉන්නේ. කුසේ ඉන්න දරුවා බිහිවෙන්න ඉස්සරවෙලා මහණ වෙන්න යන්න එපා’ එහෙම වුණොත් සමාජයේ නින්දා අපහාස විඳින්නට මට සිදුවේවි. දරුවා බිහිවූවාට පසුව ඔබ කැමැති නම් මහණ වෙන්න. තම බිරිඳ මේ විදිහට කියූ පසුව දරුවා බිහිවන තුරු ගිහිගෙය රැඳුණ ‘ධම්මික’ දරු උප්පත්තිය ලැබූ පසු මහණ වෙන්න ගියා.

ධම්මික හාමුදුරුවෝ මහණදම් පුරමින් බණ භාවනා කරමින් සිත තැන්පත් කරගන්නට සිත වඩන්නට උත්සාහ කළා. හොඳින් මහණ දම් පිරුවා. ධම්මික හිමියන්ගේ ගිහිගෙය බිරිඳ ද ඔහු වෙනුවෙන්ම අනගාරික ජීවිතයට පි‍්‍රය කළ කෙනෙක්. තම දරුවා ලැබුණ පසු දරුවාද මහණ කළා. ධම්මික හාමුදුරුවෝ භාවනා වඩා ටික කලකින් රහත් බවට පත්වුණා. පුතාගේ පැවිදි බව නිසා අම්මාට පාළුවක් දැනෙන්නට වුණා. තුණුරුවන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ ඇය ද පැවිදි බවට පත්වන්නට කල්පනා කළා. ටික කලකට පසු මෙහෙණවරකට ගිය ඇය පැවිදි බවට පත්ව විමුක්ති සුවය ලබාගත්තා.
ධම්මික හිමියන් පිළිබඳ මේ සිද්ධිය නිමිතිකරගෙන බුදුරජාණන් වහන්සේ සිල්වතා සහ ගුණ දහම් පුරන්නා පිළිබඳව ධර්ම දේශනා කළා. කිසියම් කෙනෙක්. ‘තමන් නිසාවත් අනුන් නිසාවත් දරුවන් නිසාවත් ධනය හෝ රට නිසාවත් වැරැදි සහගත විදිහට ඉසුරුමත් බව නොපතන්නේ ද හෙතෙම සිල්වතකු ද ප්‍රඥාවන්තයකු ද දැහැමි පුද්ගලයකු ද වන්නේ යනුවෙනි. එහිදී බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සිල්වත් බවත්, නැණවත් බවත්, දැහැමි බවත් රැකෙන්නේ එම පුද්ගලයා කරන කියන දෙය අනුව බව පැහැදිලි කරනු ලැබ ඇත. හැම සිල්වතෙක්ම නැණවත් වන්නේ ද නැත. ඇතැම් විටෙක නැණවත් නොවන සිල්වතකු සීලසම්පන්න කෙනකු විය හැකි නිසා ය. හැම නැණවතෙක්ම දැහැමි කෙනකු ලෙස අගය කළ නොහැකිය. ඊට හේතුව නැණවත්කමෙන් පිරිපුන් වුවද, දැහැමි බව නැති ඇතැම් නැණවත්හු ද සිටිය හැකි නිසා ය.
බුදුරජාණන් වහන්සේ මෙහිදී වචන තුනක් භාවිත කොට තිබේ. එනම් සිල්වතෙක් (සීලවා) නැණවතෙක් (ප්‍රඥාවා) දැහැමියෙක් (ධම්මිකෝ) පරිපූර්ණ මිනිසකු බවට පත්වීම සඳහා කෙනකුගේ චරිතයෙහි තිබිය යුතු ලක්‍ෂණ ලෙස මේවා දැක්විය හැකිය.
කෙනකුගේ චරිතයෙහි තිබිය යුතු සිල්වත් බව චරිතයෙන් හෙළිවේ. ඇතැම් කෙනෙක් සිල්වත් බව චරිතය තුළ තිබෙන බව අනෙක් අයට පෙන්වීමට උනන්දු වෙති. සිල්වත් බව අනෙක් අයට පෙන්වන්නට යාම සිල්වත් බව නොවේ. එය ඊට එහා ගිය වෙනත් මානසික තත්ත්වයකි. අපට සමාජය තුළ හමුවන ඇතැම් පුද්ගලයන් ඇසුරු කරන්නට ලැබෙන ඇතැම් දෙනා අතර මෙබඳු පුද්ගලයන් ද නිතර දකින්නට ලැබේ. එනම් සිල්වත් බව පෙන්වන්නට උත්සාහ ගන්න අයය. එසේම සිල්වත් නොවන අය ද සමාජයේ සිටිති. සිල්වත් නොවන බව පෙන්වන්නට උත්සාහ ගන්න අය ද ඒ වගේ ය. එනම් මෙම සිවු කොට්ඨාසයම සමාජය තුළ දක්නට ලැබේ. එබඳු පුද්ගලයන් අතරින්, කිසියම් සීලයක් ආරක්‍ෂා කරමින් ඒ අනුව ජීවිතය ගුණරුවෙන් සරසන අයද සමාජයේ සිටිති. සාමාන්‍යයෙන් බුදුදහමේ ගිහියකුහට නිත්‍ය වශයෙන්ම ආරක්‍ෂා කිරීම සඳහා සීලයක් පෙන්වා තිබේ. එසේ දක්වා ඇත්තේ පංච සීලයයි. පංචසීලයට අනුව ජීවිතය සකස් කරගත් කෙනෙකුට පොහොය දිනවලදී එහිදී දිගුවක් වශයෙන් තවත් දියුණු අවස්ථාවක් ලෙස අෂ්ටාංග සීලය සමාදන් විය හැකිය. ඇතැම් කෙනකු ආජීව අෂ්ටමක සීලය සමාදන් වීමටද හැකි වේ. සීලයෙහි ආරම්භය ලෙස බණ දහමෙහි උගන්වන්නේ පංචශීලයයි. පංචසීල ප්‍රතිපත්තියෙහි යෙදී සැදී වාසය කරන අයට පමණක් අෂ්ටාංග සීලය දක්වා යා හැකිය. පංච සීලය ද සමාදන් වන්නේ නැති කෙනකු අෂ්ටාංග සීලයෙහි හෝ ආජීව අෂ්ටමක සීලයෙහි සමාදන් වී කටයුතු කරනවාය. යන්න කොතරම් දුරට ගැළපෙන්නේ ද යන්න විමසා බැලිය යුතු ය.

සීලය සීලය තුළින්ම දෘශ්‍යමාන වෙයි. තමා සිල් රකිනවාය යැයි ප්‍රකාශ කිරීමෙන් ඔහුගේ සීලය පිළිබඳ සැක සංකා පහළ වේ. සාමාන්‍යයෙන් පංචසීලය හෝ මැනවින් ආරක්‍ෂා කරනු ලබන කෙනෙක් තමන් ඒ සීලය ආරක්‍ෂා කරනවා යැයි උජාරු මානසික චින්තනයකින් තව කෙනකු හා ප්‍රකාශ කරන්නේ ද නැත. එයට හේතුව තමන්ගේ ආධ්‍යාත්මික ගුණ අනෙක් අයට පෙන්වන්නට උනන්දු වීම ධර්මය හා එකඟ නොවන නිසා ය. ආධ්‍යාත්මික ගුණ ධර්මයන් ක්‍රියාවෙන් හෙළිවන දෙයක් මිස කතාවෙහි ප්‍රකාශ වන්නක් ලෙස දහමෙහි දක්වන්නේ නැත.

කෙනකුට ප්‍රඥාවන්තභාවය ලැබෙන්නේ උපතින්ද? එසේ නැතිනම් උපතින් ලැබෙන ප්‍රඥාවන්ත භාවය ලැබෙන දැනුමෙන් මුවහත් වෙනවාද? උපතින් නොලබන ප්‍රඥාවන්තබවක් සමාජය තුළින් සහ අධ්‍යාපනය තුළින් ලබනවාද? යන කරුණු කාරණා පිළිබඳව විමසිලිමත් විය යුතු ය. බුදු දහමෙහි ද දක්වන්නේ උපතින්ම අරගෙන එන ප්‍රඥාවන්ත බව (පුබ්බේච කත පුඤ්ඤතා) කෙනකුගේ ජීවිතයට සුබ මඟුල් ලකුණු ගෙන එන බවයි. සමාජ ඇසුරෙන් අධ්‍යාපනයෙන් (පණ්ඩිතානංච සේවනා) උපතින්ම ගෙනා ප්‍රඥාවන්ත බව මනාව සකස් කර ගැනීමට කෙනකුට හැකියාවක් තිබේ නම් එය ද දියුණුවීමේ ලක්‍ෂණයක් (මංගල) වන බවය. සමාජයෙහි උපත ලබා සියලුම අය එක විදිහට උප්පත්තිය ලැබුවත් ඉගෙන ගැනීම සියලු අවශ්‍යතා එකහා සමාන වුවත් ඒ ඒ අයගේ හැඩරුවත් ප්‍රඥාවන්ත බවත් යන අංශ දෙකම එකිනෙකට වෙනස් ය. ඇතැම් අවස්ථාවක හැඩරුවින් ද බොහෝ විට එක හා සමාන වුවත් ඔවුන්ගේ නැණවත් බව එකිනෙකට වෙනස් වේ. මේ අනුව පෙනෙන්නේ ප්‍රඥාව පුද්ගලයකුට අහම්බෙන් ලැබෙන්නක් නොවන බවයි. සංසාරයේ උපනුපන්භවයන්හි වඩා වර්ධනය කළ ප්‍රඥාව නිවන් දකිනතුරු ප්‍රද්ගලයාට පිහිටවන බවයි. මෝඩකම සහජස්වභාවයයි. ප්‍රඥාවත් බව වර්ධනය කිරීමේ ප්‍රතිඵලයකින් ලැබෙන්නකි.
සමාජයෙහි ජීවත්වන පුද්ගලයකු පරිපූර්ණ පුද්ගලයකු ලෙස නිර්ණය කිරීමේ දී එකම සාධකය ඔහු තුළ පවතින ප්‍රඥාවත් බව ගැනෙන්නේ නැත. එයට හේතුව වන්නේ ප්‍රඥාවත් බව සීලයෙන්ද පරිපූර්ණ විය යුතු බවය. බුදු දහමෙහි එය දක්වා ඇත්තේ දැනුමෙහි උපරිමය (විජ්ජා) සමාජයේ යහපත් හැසිරීම (චරණ) යන වචන වලිනි. බුදුරජාණන් වහන්සේට ‘විජ්ජාචරණ සම්පන්නෝ’ යනුවෙන් භාවිත වන්නේ උන්වහන්සේ ප්‍රඥාවේද උපරිමය දක්වා ගිය නිසා ය. හැසිරීම ද උපරිමය දක්වා ගිය නිසා ය. යහපත් මිනිසකු සමාජයට ප්‍රවේශ විය යුත්තේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති එම ගති ලක්‍ෂණ වල ද ආලෝකය ලබමින් ය. එබඳු පුද්ගලයා හැඳින්වීමේ දී භාවිතා කරනු ලබන වචනය වන්නේ ‘දැහැමියා’ යන්නයි.

දැහැමි පුද්ගලයා හැම විටම තමන්ගේ ජීවිත දියුණුව පිළිබඳව හිතයි. විමසා බලයි. අනාගතය සැලසුම් කරයි. තමන්ගෙන් අන්‍යයාට හානියක් සිදුවනවාදැයි සිතයි. එසේ නොවීමට කටයුතු කරයි. තමාගෙන් සමාජයට යහපතක් වනවා දැයි හිතයි. විමසා බලයි. තමාගෙන් සමාජයට අයහපතක් වනවාදැයි හිතයි. විමසා බලයි. සාමාන්‍ය පුද්ගලයා තමාගෙන් අනන්‍යාට සිදුවන හානිය පිළිබඳව නොසිතයි. විමසා නොබලයි. දැහැමි පුද්ගලයා එසේ නොවේ. තමන්ගෙන් අන්‍යයාට සිදුවන හානිය කුමක්දැයි සිතයි. විමසා බලයි. එසේ නොවීමට කටයුතු කරයි. සාමාන්‍ය මිනිසා තමාගෙන් අන්‍යයාගෙන් සමාජයෙන් තමාට සිදුවන ලාභය සහ වාසිය ගැන ද ලැබිය යුතු දේ ගැනමද නිතර නිතර හිතයි. විමසා බලයි. කතා කරයි. දැහැමියා එබඳු දේ පිළිබඳව හිතීම විමසීම කතාකර කර සිටීම තමාට නොගැළපෙන දෙයක් බව තේරුම් ගනී. එසේ තේරුම් ගෙන තමන්ගේ වැඩ කොටස ඉවසීමෙන් බුද්ධිමත්ව කිරීමට පටන් ගනී.
මෙයින් පෙනෙන්නේ සාමාන්‍ය මිනිසා හා දැහැමි මිනිසා අතර චින්තනයෙන් සහ ක්‍රියාත්මක වීම අතින් බරපතළ වෙනසක් පවතින බවයි. නමුත් එයට දෙපක්ෂයම ජීවත්වන්නේ එකම සමාජයේ ය. නැතිනම් එම ගෙදරයි. වෙනස පවතින්නේ දෙදෙනා සිතන සිතිවිලිවල සහජ සිතිවිලි අනුව ක්‍රියාත්මක වීමේ දී සිතිවිල්ලත් ක්‍රියාවත් යන දෙක අතරිනුත් ඒ වෙනස පෙන්නුම් කරයි.
ජීවිතය සරුසාර කරගැනීම යනු පැවිදිදම් පිරීමම ලෙස නොගත යුතු ය. නමුත් පැවිදිදම් පිරීමද ඉතා යහපත් එකක් ලෙස මෙම කතාවෙහි තේරුම් කරයි. නමුත් ගෘහ ජීවිතයක් ගත කිරීමේ දී වුවද මෙම ධර්මෝපදේශ එලෙසම ජීවිතයට සහ සම්බන්ධ කරගත හැකි ය. එනම් සිල්වත් බව (ගිහි ජීවිතයට අදාළ) ප්‍රඥාවන්ත බව (ගිහිජීවිතයට අදාළ) දැහැමි බව ආදියයි.



 මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි









 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ පෙබරවාරි 14 වන සිකුරාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment