Labels

Tuesday, September 1, 2015

ධනය පිළිබඳ බෞද්ධ චින්තනයේ මූලික දැක්ම



මිනිසාගේ පැවැත්මට අදාළවනු ලබන මූලික අවශ්‍යතාවන්හි උච්චාවචනයන් රඳා පවතිනුයේ පුද්ගලයා සතුවන ආර්ථික ශක්තිය මතය. ඔහුගේ පැවැත්ම ද බෙහෙවින් ම ආර්ථිකය හා බැඳෙමින් ඉදිරියට ගමන් කරයි. ඒ නිසා සිය ජීවිතයේ වැඩි කාල පරිච්ඡේදයක් සිය ආර්ථිකය ශක්තිමත් කරලීම කෙරෙහි නිරන්තර අරගලයක නිරතව ඇති බවද පැහැදිලි කරුණකි.

නිෂ්පාදනය කළමනාකරණය හා පරිභෝජනය යන අංශයන් කැටි කොටගත් ආර්ථික තත්ත්වයන් තුළ පැන නඟින ගැටලු නිරාකරණය කරගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව හා සම්පත් පරිහරණය හා බෙදා ගැනීම මත ගොඩනැගෙන විෂමතා අවම කිරීමට අදාළ උපදේශනය බුදුදහමෙන් ලැබී තිබේ. නිෂ්පාදනයේදී හා බෙදාහැරීමේදී වන තරඟකාරිත්වයත් අසංවරත්වයත් දුරැලීමට මෙන්ම පරිභෝජනයේදී වන අන්තගාමී ස්වරූපයන් අවම කිරීමට හේතුවන උපදේශයන්ද මෙහි අන්තර්ගත ය.
ධනය හා බැ‍ෙඳන පුද්ගල ආර්ථිකය කෙසේ සකස්විය යුතුද යන්න පිළිබඳව බෞද්ධ මූලික සංකල්පවලට ප්‍රතිවිරෝධත්වයක් උද්ගත නොවන පරිදි හා පුද්ගල සුබසිද්ධිය පතා ධනය මෙහෙයවනු ලබන්නේ කෙසේද? ධනය දැහැමින් උපයන ආකාරය මෙන්ම ධනය තම දිවියේ මෙලෝ පරලෝ දෙක සැපවත් කිරීම උදෙසා යොදා ගනු ලබන්නේ කෙසේ ද යන කරුණු පදනම් කොට තොරතුරු රැසක් පෙන්වා දී ඇත. පුද්ගලයාට ලෞකික ගෘහස්ත ජීවිතයේදී සෞභාග්‍යමත් ආර්ථික සමෘද්ධියක් අත්‍යවශ්‍ය යි. ජීවිතයේ මූලික අවශ්‍යතා අපහසුවකින් තොරව ලබා ගැනීමට මෙන්ම විපතේදී කිසියම් ආවරණයක් ඒ මඟින් ලබා ගත හැකිවීම මීට හේතුව වේ.

වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අර්ථ සම්පත්තිය අත්‍යවශ්‍යය බව (අත්ථි සුඛය) ද එම සම්පත් නිවැරැදිව ලබා ගන්නා ආකාරය හා නිවැරැදිව භුක්ති විඳිය යුතු (භොග සුඛය) ක්‍රමයන් ගැනත් බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයාට අනුශාසනා කර තිබේ. බෞද්ධ ආර්ථික චින්තනය උපයෝගීතා පදනමක් මත පිහිටා ඇත.
පුද්ගලයාගේ මෙන්ම සමාජයේ අභිවෘද්ධිය ද ඉන් අදහස් කරයි. එමෙන්ම බෞද්ධ අර්ථ ක්‍රමය සකස් ව ඇත්තේ පුද්ගලයාගේ ක්ෂණික සුඛාස්වාදයට නොව දීර්ඝ කාලීනව ඔහුට සැප පිණිස පවත්නා ආකාරයට ය. කෑම බීම, ඇඳුම් පැළැඳුම්, ඉඳුම් හිටුම් හා බෙහෙත් හේත් ජීවිතයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රධාන මූලිකාංග වන අතර සිවුපසය යනුවෙන් හඳුන්වා ඇත්තේ ද මෙම ප්‍රත්‍ය හතරය. සියලු සත්වයෝම ආහාරයෙන් යැපෙති. (සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා) මිනිසාට ඇති ලොකුම රෝගය බඩගින්න බව ධම්මපද පාලියේදී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. (ජීගච්ඡා පරමා රොගා) සියලු දෙනාටම බඩගින්න ඇත. බඩගින්න ප්‍රධාන ම රෝගය නම් සෑම දෙනාටම මෙම රෝගයට පිළියම් වහාම ලබා දිය යුතුය.රෝගයට නිසි පිළියම් නොලැබෙන අවස්ථාවන් හි සමාජය තුළ ප්‍රශ්න ඇති වෙමින් සංකීර්ණත්වයට පත්ව හොරකම, දූෂණය, මං පැහැරීම මෙන්ම කෝළාහල හටගැනීමට ඇති අවකාශය වැළැක්විය නොහැකිය. කුටදන්ත හා මහාසීහනාද සූත්‍රවලින් ද මූලික අවශ්‍යතා ඉටුකොට ගැනීමට ගත යුතු නිසි ක්‍රියා මාර්ග කවරේද යන්න පෙන්වා දෙයි.
බුදුදහම සමාජගත ආර්ථික පරිහානිය හෝ දියුණුව ඉතා සරල දෙයක් ලෙසින් නොසලකන අතර ආර්ථික පරිහානියක් ඇතිවීමට තුඩුදෙන කරුණු ඉතා විශ්ලේෂණාත්මකව පෙන්වමින් පුද්ගලයකුගේ ආර්ථික ශක්තිය වර්ධනයට අදාළ දැහැමි මාවත කුමක්ද යන්න පෙන්වා දෙයිි. එමෙන්ම ආර්ථිකමය වශයෙන් ඇතිවන ප්‍රශ්නවලට හේතුව පැහැදිලි කරමින් සමාජගත ආර්ථික ප්‍රශ්න විසඳාගත යුත්තේ කෙසේද යන්න ඉතා සරල ආකාරයෙන් ඉස්මතු කෙරේ.මිනිසාගේ සාමාජික හා සමාජ ධාර්මික පරිණාමය බෙහෙවින් රඳා පවතිනුයේ රටක ආර්ථික ජීවිතයේ සාරත්වය මත බව සූත්‍ර ධර්ම තුළින් ඉස්මතු කොට තිබේ. ඒ අනුව සමාජයේ ස්ථාවරත්වය, සාමකාමීත්වය, සහනශීලිත්වය, මිත්‍රත්වය මෙන්ම සදාචාර සම්පන්න බව ආරක්‍ෂාවීම පිණිස මූලික වන සාධක අතර ආර්ථික සංවර්ධනය හා ධනය සාධාරණව බෙදීයාම අත්‍යවශ්‍ය බව බෞද්ධ ඉගැන්වීම් වලින් හෙළි වේ.

බෞද්ධ ආර්ථික චින්තනය හා සමාජීය දියුණුව ඇති කළ හැකිවනුයේ පුද්ගල ආර්ථික දියුණුව සලසා දීමෙන්ය. යන සිද්ධාන්තය ඉතා දැඩිව අවධාරණය කරයි.බෞද්ධ ආර්ථික චින්තනයට අනුව පුද්ගල අභිලාෂයන් හා අරමුණු මුදුන් පත් කර ගැනීම අධ්‍යාත්මික පදනමක් මත පිහිටා කළ යුත්තකි. ධනය ඉපයීම සඳහාත් ජීවිතයේ පරමාර්ථ ඉටුකර ගැනීම සඳහාත් දැහැමි බවින් බැහැරව යන්නේ නම් ඉන් සමාජ ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකිය.
පුද්ගලයකුගේ සැනසීම යනු භෞතික සාරත්වය මතම පවතින්නක්ය යන්න නොපිළිගන්නා බුදුදහම ආධ්‍යාත්මිකත්වයෙන් ලබන සැනසීම සදාකාලික බව ඉස්මතු කෙරේ. සමාජගත භෞතික සම්පත්වල සරුසාරත්වය උතුම් දෙයක් සේ බුදුසමයෙන් ඇගයීමක් නොකෙරේ. එම ප්‍රගතිය අර්ථවත් වනුයේ ආධ්‍යාත්මික සරුසාරත්වයද ඇතිනම් පමණි.

ධනය හා ආකල්පය

ධනය යනු උපයෝගීතාව හා සබැඳි භාණ්ඩ හා සේවා සමුදායකි. ධනය වනාහි පුද්ගල ශ්‍රමයට ලැබෙන එක් ප්‍රතිලාභයක් වන අතර පී‍්‍රතිමත් ගෘහ ජීවිතයක් සඳහා ධනය අත්‍යවශ්‍ය වන අංගයක් වන අතර අනවශ්‍ය පරිහරණ පුද්ගල පිරිහීම දිළිඳුකමින් දුක්ඛදායිකත්වයට වැටීමට හේතු වේ.රටක සාමාජික සංවර්ධනය හා සමාජ ධාර්මික පරිණාමයේ විශේෂත්වය රැඳී ඇත්තේ රටේ ආර්ථික ජීවිතය පදනම්කොට ගෙන බව දීඝනිකායේ පැහැදිලිව දක්වන කරුණකි. පුද්ගලයෙකුගේ ලෞකික ජීවිතයක් සැපවත්වීම අරභයා ධනය අත්‍යවශ්‍ය මූලයක් ලෙසින් බුදුදහමින් අවධාරණය කෙරේ. ‘ධනය’ හෝ ‘වත්ථු’ යනු සමාන අරුත් ඇති පදයෝ වෙති. සමාජ යුතුකම හා වගකීම් සමූහයක්ද ධනය හා සම්බන්ධ කරමින් කථාවට බඳුන් කොට ඇති නිසා ධනය බුදුසමයේ මූලික සංකල්ප වලින් බැහැර කොට කථා කළ නොහැකිය. ධනය ඇත්තාගේ ජීවිතය සුරක්ෂිත වන අතර සිය ධනය තුළින් අන් සැපතට සිය දායකත්වය ලබාදීමට ඇති හැකියාව ද වැඩිය. සියලු යුතුකම් ඉටු කිරීමට හා සිය ජීවිතය පී‍්‍රතිමත්ව ගත කිරීමට හැකිවනුයේ සිය ධනය නිරවද්‍යව උපයා ඇතිනම් පමණි. ඒ සඳහා අනලස්ව ධනය ඉපයීම අත්‍යවශ්‍ය කරුණක් වේ. එමෙන්ම ධනය ඉපයීම, පරිභෝජනය මෙන්ම ආයෝජනයද ආර්ථික කළමනාකරණයේ වැදගත් සිද්ධාන්තයකි.
සෑම ආදායම් ඒකකයකින්ම භාගයක් පෙරළා නිෂ්පාදන කාර්යය සඳහා ආයෝජනය (ද්විකම්මං පයෝජයේ) කළ යුතු බව ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබේ. නිෂ්පාදනයට යොදන ප්‍රාග් ධනය නිරතුරුවම පෝෂණය කරමින් ඉදිරියට යාම බෞද්ධ ආර්ථික චින්තනයේ නිර්දිෂ්ට ඉතා වැදගත් සිද්ධාන්තයක් සේ පෙන්වා දිය හැකිය. ධාර්මික ධනය යනු නොපසුබට වීර්යෙන් (බාහුබල පරිචෙතෙන විරිය කම්මෙන) හා උත්සාහයෙන් දෑතේ, දෙපයේ බලයෙන් දහදිය වැගිරීමෙන් ශ්‍රම විසර්ජනයෙන් උත්පාදිත ධනය වේ.
තර්ජනයෙන් හෝ සිය බලපෑම් මත ලබාගත් අන් ශ්‍රමය පදනම් කොට උපදවන ලද ධනය දැහැමි යැයි බුදුදහමට අනුව කිව නොහැකිය. ධන ලාභය හා ශ්‍රමය අතර දැහැමි පිළිවෙතක් අනුගමනය කිරීමට බුදුදහම නිරතුරුව උපදෙස් ලබා දී ඇත. කෘෂිකර්මය (කසියා) වෙළෙඳාම (වාණිජ) පශුපාලනය (ගොරක්ඛ) ධනු ශිල්පය, රාජ්‍ය සේවය, ශිල්ප කලාව, (සිප්පඤ්ඤතරෙන) වැනි කර්මාන්ත දැහැමි ධන මුලෝපායන මාර්ග සේ පෙන්වා දී ඇත.
තමාට පැවරෙන හා තමා විසින් යෙදෙන කර්මාන්තය කෙරෙහි මෙන්ම ලබන වැටුප කෙරෙහිද අප අවධානය යොමු කළ යුතුය. නිසි ශ්‍රමය වැය නොකොට අයුතු ලෙසින් ධනය ඉපයීම යහපත් නොවේ.
තමාගේ කාර්යය ගැන තෘප්තිමත්වීම හා තම වැටුපට සරිලන ලෙසින් තම ශ්‍රමය වැය කොට ඇත යන හැඟීමෙන් තමා සෑහීමකට පත්විය යුතුය. එය සතුටකි. එසේ උපයන ධනය ඵල සහිතය. එසේ උපයන දෙයින් තමාට සතුටක් භුක්තිවිඳිය හැකිය. එසේ නොවන අවස්ථාවන්හි එම ධනයම තමා වෙත දුකක්ගෙන එනු ඇත.
ධනය නිසා හෝ ධනය සපයන නිසා නැතහොත් ධනය සඳහාම වෙහෙසෙන ඒ මතම ගැලී සිටින පුද්ගලයා උසස් පුද්ගලයකු ලෙසින් බෞද්ධ ආර්ථික චින්තනය තුළ නොපිළිගනියි. ධනයේ උසස්කම අර්ථවත් වනුයේ ධනය ධාර්මිකව ඉපයීම හා උපයන ලද ධනය ක්‍රමවත්ව හා අර්ථාන්විතව මෙහෙයවන ආකාරය මතය. ධනය තුළින් තමා නසාගන්නකු හෝ නැසෙන්නෙකු නොවිය යුතුය.
ඇතැම්හු වස්තු තණ්හාවෙන් අධික ලෙස පෙළෙන අතර නිරතුරුවම එම සිතිවිලිවලින් සිය ගත, සිත දෙක දූෂිතත්වයට පත්කර ගන්නා අතර ධනය නිසාම සිය කායික, මානසික සැපය අනෙක් අතින් විනාශ කර ගනියි.



එ නිසා ධනය වැදගත් වුවත් ධනයම පුද්ගලයාගේ විනාශයට එක් හේතුවක් බවට ද පත් වන බව පැහැදිලි කරුණකි. ධනය යනු ආර්ථික මිම්මක් වන අතර ධනය මත සිය විශ්වාසය නොතැබිය යුතුය. ධනයෙන් මත් නොවිය යුතුයි. ධනය ඇත යන්නෙන් මත්වන්නා (ධනම්මත්ථි) මෝඩයෙකු බව (ඉතිබාලෝ විහඤ්ඤති) බුදුරදුන් විසින් පෙන්වා දී ඇත. මිනිසුන් ධනයෙන් මත්වේ නම් (ධනත්ථද්ධො) එය පිරිහීමට හේතුවක් බව (තං පරාභවතො මුඛං) බුදුරදුන් පරාභව සූත්‍රයේ දී පෙන්වා දී තිබේ. ධනය දෙලොව දියුණුවට යොදා ගන්නේ කෙසේද යන්න හා ධනයෙන් මිනිසා පිරිහෙන්නේ කෙසේද යන කරුණද බුදුදහමින් දැඩිව අවධාරණය කොට ඇත.

ධන පරිභෝජනය

ධනය සෙවීම මෙන්ම ධන පරිභෝජනය කිරීමද මනා සැලැස්මක් මත කළ යුතුය යන්න බෞද්ධ ආර්ථික ප්‍රතිපත්තිය තුළ ඉස්මතු කෙරෙන වැදගත් කරුණකි. පුද්ගලයාට වඩා ධනය මුල් තැන්හිලා සැලකීම බෞද්ධ ආර්ථික චින්තනයට එකඟ නොවන්නකි. ධනය පදනම් කොට වින්දනය කරනු ලබන තෘප්තිය හා පි‍්‍රතිය අන්‍යයන් හා එක්ව භුක්තිවිඳීමෙන් තමා අපේක්ෂිත වින්දනය විවිධාකාරයෙන් තමාට ලබාගත හැකිවේ. ‘ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දී ‘මෙන්ම අනන සුඛ සූත්‍රයේදීද බුදුරජාණන් වහන්සේ විසින් දීඝජානුකෝලීය පුත්‍රයාට මෙන්ම අනාථපිණ්ඩික සිටුතුමාට ධනය හා සම්බන්ධ කරුණු හතරක් පැහැදිලි කර දී ඇත. පුද්ගලයකු තමාගේ දෑතේ හා දෙපයේ වීර්යෙන් සොයා ගන්නා ලද ධනය දෙස බලන විට මහත් සතුටක් විඳීයි. (අත්ථී සුඛ) එසේ ලැබූ ධනය තමා ද භුක්ති විඳිමින් නැත්තවුනට ද ලබා දෙමින් එමඟින් ද සතුටක් විඳියි. (භෝග සුඛ) ධනය ඇති කල්හි කිසිවකුට ණයක් නොවී සිය ධනය පරිහරණය කිරීම තුළින් (අනන සුඛ) සතුටක් ලද හැකි අතර ඒ අනුව කායික මානසික හා වාචසික වුත් නිවැරැදි දිවියක් ගත කරමින් සැප විඳීය හැකි බවද දැක්වේ. (අනවජ්ජ සුඛ) මෙම කරුණු හතර ධනය තුළින් පුද්ගලයකු වින්දනය කරනු ලබන සැප හතරක් සේ පෙන්වා දෙන අතර පුද්ගල චරියාව ද ඊට සමගාමී ව වර්ධනය වීමක් ඉන් අදහස් කෙරේ. එමෙන්ම ධනය පරිභෝජනය කරනු ලබන ආකාරය ගැන රාසීය සූත්‍රය මෙසේ දක්වයි. එනම් 1. තමා විසින් තම භෝගයන් සිය පරිහරණයට යොදා ගැනෙයි. 2.අන් අයටද බෙදා දෙයි. 3 පින්කරයි. 4. භෝගයන් හි නොබැඳි මුර්ජා නොවී සීමාව නොඉක්මවා ආදීනව දකිමින් පරිභෝජනය කරයි. යනුවෙනි.
සිඟලෝවාද සූත්‍රයට අනුව පුද්ගලයකු විසින් උපයන ධනය වැය කළ යුතු අයුරුද පෙන්වා දෙයි. එමෙන්ම ඥාතීන්ට (ඤාතිබලි) ආගන්තුකයන්ට (අතිථී බලි) මළවුනට (පුබ්බපේත බලි) රජුන්ට (රාජ බලි) දෙවියන්ට (දේවතා බලි) දිය යුතු බව ද නිර්දේශ කරයි. එමෙන්ම බාහු බලයෙන් උපයන ලද ධනය ආකාර හතරක් යටතේ පරිභෝජනය කළ හැකි බව බුදුරදුන් විසින් අනාථපිණ්ඩික සිටුවරයාට දේශනා කොට තිබේ. එනම්

1. ධනය තමා සුවපත් කරයි.


2. සිය මාපියන් සුවපත් කරයි

3. අඹුදරු නෑසිය හා දැසි දස්සන් සතුටු කරයි

4. සිය මිතරන් සතුටු කරයි යනුවෙනි.


වැසි රහිත වළාවක් මෙන් කිසිවක් කිසිවකුට නොදීම නොව වැසිවළාවක් සැමට වැසි ලබාදෙන්නාක් මෙන් අප සතු වන ධනයෙන් සැම දෙනම සතුටු කළ යුතුව ඇත. ධනය සෙවීම මෙන්ම ධනය පරිහරණය ගැනද අනුගමනය කළ යුතුවන මූලික ප්‍රතිපත්ති සමූහයක්ද බුදුදහමින් මෙසේ ප්‍රකාශිත වේ. ධනය මිනිසාගේ ස්වාමියෙක් නොවේ. ධනය මිනිසාගේ් සේවකයෙකි. ධන කාමය (ධනයට ඇති තද ආශාව) පුද්ගලයාට මෙන්ම සමාජයටද අහිතකරය. එබැවින් ධනය පරිහරණය කළ යුතුවනුයේ ධනය ධනය උදෙසාය යන සංකල්පය මත සිට නොව ධනය මිනිසාගේ පැවැත්ම උදෙසා උපස්ථම්භක වන එක ඒකකයක්ය යන මතය තුළ පිහිටා ගෙනය. ධන තණ්හාවෙන් මඬනා ලද පුද්ගලයා ධනය තුළින්ම නොමිනිසකු කරයි. ධන තණ්හාවෙන් පෙළෙන සිතට මාපිය නෑ මිතුදම් හෝ දහමක් නොවැටහේ. ධන තණ්හාවෙන් පෙළෙන්නා උමතු වූවකු බවට පත්වේ.

ආකල්ප රැසක්

ඒ අනුව මානුෂිකත්වයෙන් ඈත්ව ධනයට මූලිකත්වය හිමි වී මානුෂිකත්වය පහතට වැටෙන අතරම ඒමගින් ජීවන පැවැත්මේ දුෂ්කරතා නිරායාසයෙන් මතුවීමද නොවැළැක්විය හැකි වෙයි. මෙවැනි ආකල්ප රැසක් ආර්ථිකය පිළිබඳ බුදුදහමින් අවධාරිතය.



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ
මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි






 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ පෙබරවාරි 14 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment