සිනහව මිනිසාගේ භාවාත්මක ජීවිතයේ සතුට විදහා දක්‌වන අංග ලක්‍ෂණයකි. මිනිසා විසින් වින්දනය කරනු ලබන සතුට, සොම්නස, ප්‍රීතිය, කැමැත්ත ආදී බෙහෝ සුඛ වේදනාවන් විඳීමේ දී සිනහව මුවඟ රැඳීම නිරුත්සාහිකව සිදුවන්නකි. නූතන වෛද්‍ය විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති අන්දමට සිනහව මානසික ආතතිය පාලනය කිරීමෙහිලා අගනා ඖෂධයකි. එසේම මිනිස් ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශක්‌තිමත් කරන්නා වූ සිනහව අධි රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් ද පාලනය කිරීමට සමත් ය. නූතනයේ මෙවන් වටිනාකම් රැසක් උරුම කරගත් අප මුව නිතර රැඳෙන සිනහව පිළිබ`ද බෞද්ධ අර්ථ විග්‍රහය විමසා බැලීම මෙම ලිපියේ අරමුණ යි.
පාලි භාෂාවේ ''හස්' ධාතුවෙන් නිපන් ''හසිත'' යන්නෙන් සිනහව අරුත් ගැන්වෙයි. බුදුසමයේ දී සිනාසීමේ ඉරියව්ව පදනම් කර ගනිමින් සිනහව ප්‍රධාන ආකාර හයක් ඔස්‌සේ බෙදා දක්‌වයි. ඒවානම්,
1. සිතය
2. හසිතය
3. විහසිතය
4. උපහසිතය
5. අවහසිතය
6. අතිහසිතය
මින් ''සිතය'' යනු ඇස් බැමිවලින් පමණක් සිනාසීමයි. ''හසිතය'' යනු ඇස් බැමිවලින් හා දන්තාග්‍රය පමණක් පෙනෙන සේ සිනාසීම යි. මෙම ආකාර දෙකම දැකිය හැකිවන්නේ බුදු, පසේ බුදු, මහ රහත් යන උතුමන්ගෙන් පමණකි. බුදුන් වහන්සේ පවා සිනහ පහළ කළ අවස්‌ථා බුද්ධ චරිතය තුළ අපට හමුවේ. එහි දී පළ කළ සිනහව මේ ආකාර දෙකින් එකකට අයත් ය. මෙම සිනහව අතීත කලා නිර්මාණ ශිල්පීන් ඉතා අපූරුවට බුදු පිළිම තුළ නිරූපනය කර ඇති අන්දම වර්තමානයේ ඒවා නරඹන අපට දක්‌නට ලැබෙයි.
''විහසිතය'' යනු මිහිරි සාමාන්‍ය සිනහව යි. ''උපහසිතය'' යනු උරහිස් හා හිස් සොලවමින් සිනාසීම යි. මෙම ආකාර දෙක පෘතග්ජනයන් අතර උසස් මනසක් හිමි පුද්ගලයන් කෙරෙන් විද්‍යමාන වේ. ඒ අනුව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‌ඛා දී යහපත් ගුණයන්ගෙන් හෙබි පුද්ගලයන් කෙරෙන් මෙම සිනහවන් ප්‍රකට වේ. සිනාසිය යුතු දැයක් වේ නම් මඳ සිනහවක් දැක්‌වීම තුළ උපරිම වශයෙන් උරහිස් හා හිස් ම`දක් චලනය වීම හැරෙන්නට ඉතා සංවර බවක්, ඉඳුරන්ගේ දැමුණු බවක් මොවුන්ගේ සිනහව තුළ දිස් වේ.
කඳුළු වගුරවමින් සිනාසෙන ''අවහසිතය'' මෙන්ම දඟළමින් සිනාසෙන ''අතිහසිතය'' යන සිනහවන් පෘතග්ජන බාලයන් කෙරෙන් දක්‌නට ලැබේ. සුරාවෙන් මත් වූ පුද්ගලයන් කෙරෙන් මෙන්ම විසූක දස්‌සනයන්ගෙන් මත් වූ පුද්ගලයන් කෙරෙන් ද මෙම සිනහවන් ප්‍රකට වේ. එසේම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මෝහය, වෛරය ආදී අසත් ගුණයන් මුල් කරගනිමින් මෙම සිනහවන් ඇතිවීම බොහෝවිට දක්‌නට ලැබේ. උමතු රෝගීන් කෙරෙන් ද මෙකී සිනහව පළ වේ. කෙසේ වුවත් මෙම සිනහවන් තුළ ඇත්තේ ''සිනහව'' යන්නෙහි සාමාන්‍ය අර්ථයට ප්‍රතිවිරුද්ධ වූ අර්ථයක් හෝ අර්ථශුන්‍ය බවක් හෝ පමණි. ඒ තුළ ශබ්දය පමණක් වැඩි ය.
මෙසේ ශබ්ද න`ගා සිනාසීම සිනහව ස`දහා උචිත නොවේ. අවහසිතය හා අතිහසිතය යන්නෙහි අර්ථය තුළින් ද එය වඩා තහවුරු වේ. බුදුන් වහන්සේ විනය පිටකයේ දී ශබ්ද න`ගා සිනාසීමේ වරද දක්‌වමින් ශික්‍ෂා පදයක් පනවා තිබේ. එනම් මහ හඬින් සිනාසෙමින් ගම් දනව්හි ගමන් කිරීම හා හැසිරීම භික්‍ෂුන් විෂයෙහි දූකුලා ඇවැතක් වන බවයි. එසේ වුවත් එහි දී ම සිනහ විය යුතු දැයක් වේ නම් ම`ද සිනහවක් දැක්‌වීම බුදුන් වහන්සේ අනුමත කර තිබේ. මෙහි දී ම`ද සිනහව හෙවත් ම`දහස යනු ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයන්හි .Sපසකැ. යන්නට ලබා දී ඇති සිංහල අරුතයි. ඒ අනුව බෞද්ධ ආභාෂය මත ගොඩ නැඟුණු සිංහලයෙහි මඳහස යන්න මුල් බැස ඇති අන්දම පැහැදිලි වෙයි.
මඳහස දැක්‌විය යුත්තේ කෙසේ ද යන ගැටලුව මේ සම`ග පැන න`ගී. ඊට අගනා උපදේශයක් සිංහල සාහිත්‍යයේ අග්‍රගන්‍ය කාව්‍යයක් වන කාව්‍යශේඛරයේ එන පද්‍යයක් සපයයි.
''පෙකනිය නො දක්‌වා
සළු ඇඳ බෙලට දක්‌වා
නොපව තන සක්‌වා
සිනා නොමසන් දසන් දක්‌වා''
කාව්‍යශේඛරයෙහි බැමිණියට දෙන උපදෙස් අතර වන මෙම අගනා උපදේශය බෞද්ධ ආභාෂය මත ගොඩනැඟුණු සිංහල සංස්‌කෘතියෙහි සිනාසීම කළ යුතු අන්දම මොනවට කියාපායි. සිනාසෙන අන්දමට අමතරව මෙහි ස`දහන් අනෙකුත් උපදේශයන් ද වත්මන් සමාජයට බෙහෙවින් උපකාරී වේ. එනම් ඇඳුම් ඇඳීමේ දී ළැම හා නාභිය වැසෙන පරිදි මෙන්ම බොලට දක්‌වා දිගට ඇඳුම් ඇ`දීම කළ යුතු ය. කෙසේ වෙතත් මෙහි අවසන් පදයෙන් පෙන්වා දුන් පරිදි දත් පෙනෙන්නට විවෘතව සිනා නොවීම බුදු වහන්සේ පෙන්වා දුන් විහසිතය හා උපහසිතය යන සිනහවන්ට ගැළපෙන බව පෙනේ. ඒ අනුව ම`දහස යනු එම සිනහවන් ඉරියව් දෙක බව කිව හැකි ය.
සිනහව පිළිබ`ද අර්ථ දැක්‌වීමේ දී වරෙක බුදුන් වහන්සේ සිනහව ස්‌ත්‍රී පුරුෂ ආකර්ෂණයේ එක් අංගයක් ලෙසින් පෙන්වා දෙයි. ''හසිතේන'' යනුවෙන් ඉත්ථි බන්ධන හා පුරිස බන්ධන සූත්‍රද්වයයේ දී පෙන්වා දෙන්නේ සිනහව ස්‌ත්‍රී පුරුෂ ආකර්ෂණයේ එක් අංගයක් බවයි. එහෙත් සර්ව අසුබවාදී දහමක් නොවන බුදුදහම එය ප්‍රතික්‍ෂේප නොකරයි. ස්‌ත්‍රී පුරුෂ ආකර්ෂණය නොවේ නම් මානව වර්ගයාගේ පැවැත්මක් නොවේ. එසේම සෑම පුද්ගලයෙකුටම ආස්‌වාදයෙන් තොරව ආදීනව දැකිය නොහැකි ය. එහෙයින් බුදුසමය පෘතග්ජනයන් විෂයෙහි ''අස්‌සාද, ආදීන, නිස්‌සරණ'' යන මාර්ගය පෙන්වා දී තිබේ. එනම් ''ආස්‌වාද කරන්න, ආදීනව දකින්න, අත් හරින්න'' යන ක්‍රියා මාර්ගය යි. ඒ අනුව සිනහව තුළින් ඇතිවන ආස්‌වාදය බුදුසමය ප්‍රතික්‍ෂේප නො කරයි. ඒ තුළ ස්‌ත්‍රීන් පුරුෂයන් ඔවුනොවුන් කෙරෙහි ආදරයෙන් බැ`දී අඹුසැමියන් වීමත් එය ගිහියෙකු වශයෙන් අත්‍යන්තයෙන් අවශ්‍ය වූවක් බවත් දක්‌වයි. මෙසේ ගිහි ජීවිතය ආස්‌වාද කිරීමෙන් එහි ආදීනව දැක ඉන් නිස්‌සරණය වීම බහුතරයක් පෘතග්ජනයන් විෂයෙහි සාර්ථක ක්‍රියා මාර්ගයකි. මෙසේ සිනහව මානව වර්ගයාගේ පැවැත්ම කෙරෙහි වැදගත් වන සාධකයක් ලෙසින් ද හඳුනාගත හැකි ය.
තවදුරටත් සිනහව පිළිබඳ බෞද්ධ අර්ථ විග්‍රහය විමසීමේ දී අභිධාර්මික විග්‍රහය අපට හමුවේ. අභිධාර්මික චිත්ත විග්‍රහය තුළ අහේතුක සිතක් වන සෝමනස්‌ස සහගත හසිතුප්පාද චිත්තය බුදු, පසේ බුදු, මහරහත් විෂයෙහි අප මුලින් දැක්‌වූ සිතය හා හසිතය ඇති කරවන චිත්තය යි. මෙම උතුමන් විෂයෙහි කර්ම විපාක දීමක් සිදුනොවන බැවින් සිනහව ද අහේතුක ක්‍රියාවක් ලෙසින් සිදුවේ. එසේ නමුදු පෘතග්ජන අපගේ සිනහව කිසියම් අරමුණක් ඔස්‌සේ සිදුවන බැවින් ඒ තුළ කර්ම විපාක ඇතිවීම සිදු වේ. එනම් මඳහස ලෙසින් අප හ`දුනාගත් විහසිතය හා උපහසිතය යන සිනාවන්වල දී මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‌ඛා දී කුසල් සිතක් ද එහි විපාකය ලෙසින් කුසල් විපාකත්, අවහසිතය හා අතිහසිතය යන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මෝහය, වෛරය ආදී අසත් ගුණයන් මුල් කරගත් සිනහවන් තුළින් අකුසල විපාකත් ලැබේ.
මේ සියලු කරුණු ප්‍රායෝගිකව විමසා බැලීමේ දී පැහැදිලි වනුයේ සිනහව පෘතග්ජන අපට පමණක් නොව බුදු, පසේ බුදු, මහරහත් උතුමන්ට පවා පොදු වූවක් බවයි. එසේ වුවත් සිනහව ඇති කරවන ඉරියව්ව තුළ බුදු, පසේ බුදු, මහරහත් උතුමන්ට ඒ තුළ ගැටලුවක් මතු නොවේ. එහෙත් පෘතග්ජන අපගේ සිනහව පිළිබ`ද නැවත සිතා බැලිය යුතු වෙයි. ඊට හේතුව බහුතරයක් දෙනා සිනාසෙන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මෝහය, වෛරය ආදී අසත් ගුණයන් මුල් කරගනිමින් වීමයි. ඒ තුළ සුරාවෙන් මත් වී මෝහයෙන් සිනාසෙන්නෝ ද සිටිති. ඊට අමතරව විසූක දස්‌සනයන්ගෙන් මුලා වී සිනාසෙන්නෝ ද සිටිති. වත්මන් කලා ලෝකය තුළ සිදු කරන බොහෝ නිර්මාණ තුළින් ඇති කරවන සිනහව හුදු ඕලාරික පහත් සිතිවිලි ඇතිකරන්නක් පමණක් බවට පත්ව තිබේ. එසේම සිනහව පිළිබ`ද කලා නිර්මාණ කරන්නෝ ද සිනහව අර්ථ විග්‍රහ කරන්නේ එහි යථාර්ථය සඟවමිනි.
මේ නිසා සිනහව අවබෝධයෙන් වටහා ගැනීම වැදගත් වෙයි. ඒ ස`දහා මෙහි දැක්‌වූ කරුණු පූර්විකාවක් ලෙස ගත හැකි ය. ඒ අනුව සිතා බැලීමෙන් නූතන සොයාගැනීම් තුළ සිනහවට දී ඇති වටිනාකම අත්කර ගැනීමට නම් යහපත් ආකාරයෙන් සිනාසීම කළ යුතු වෙයි. ඒ ස`දහා තෝරාගත යුතු වන්නේ බුදුන් වහන්සේ පෘගත්ජන අප විෂයෙහි පෙන්වා දුන් විහසිතය හා උපහසිතය යන සිනහවන් දෙක පමණක් බව පැහැදිලි වෙයි. එවන් මිහිරි සිනහවකින් නිතර මුව සරසා ගැනීමට නම් සුරාවෙන් මත් නොවී යහපත් සිහියෙන් සිටිය යුතු ය. විසූක දස්‌සනයන්ගෙන් මුලා නොවී යථාර්ථය දැකිය යුතු ය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මෝහය, වෛරය ආදී අසත් ගුණයන් සිත් තුළින් මුලිනුපුටා දැමිය යුතු ය. එවිට ලෝකය පුරා මිනිසුන්ගේ මුවඟ රැඳෙන සිනහව ලෝකය යහපත් තැනක් කරනු නොඅනුමාන ය. අවසාන වශයෙන් විහසිතය හා උපහසිතය යනුවෙන් හ`දුනාගන්නා යහපත් සිනහව තුළින් පමණක් මානව වර්ගයාගේ පැවැත්ම සැනසීම සිදුවන බව සිනහව පිළිබඳ බෞද්ධ අර්ථ විග්‍රහයෙන් පැහැදිලි වෙයි.
රංග බුද්ධික කංකානන්ගේ
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
2015 නිකිණි මස 29 වැනිදා සෙනසුරාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment