“චිත්තං පුනාතීති පුඤ්ඤං”, “හදයං පුනාතීති පුඤ්ඤං” යනුවෙන් එදිනෙදා අපි ‘පින’ අර්ථකථනය කරමු. ‘සිත පිනා යාම පිනයි’, ‘හදවත පිනායාම පිනයි’ වශයෙන් මෙහිදී පින අර්ථ ගැන්වේ. එය කෙතරම් දුරට සාර්ථක ද යන්න ගැඹුරින් කල්පනා කර බැලිය යුතුය. “පිනා යාම” යනු සතුට හැටියට ගත හැකිය. එසේ ගත් විට මිනිස්සු සතුටුවීම උදෙසා විවිධ දේ කරන්නාහ. සමහර පිරිසක් ඒකරාශී වී මත් වතුර බී සතුට ලබන්නාහ. තවත් අය සතුට උදෙසා විවිධ ක්‍රියාවන්හි නිරත වේ. සතුටින් ජීවත්වීම අරමුණු කොට සොරකම් කරන්නාහ. අල්ලස්, දූෂණ, වංචා කරන්නාහ. ‘සතුට හෙවත් පිනායාම’ අරමුණු කරගෙන මිනිස්සු එවැනි දේ කරනවා නම්, එය ‘පිනක්’ වශයෙන් දැක්විය නොහැකිය. එසේ ගත්විට ‘පින’ පිළිබඳ ගැටලුව අපි පළමුව නිවැරදි කොට ගනිමු.
‘පුනාති’ යන වචනයේ මූල ධාතුව ‘පු’ ය. එහි අර්ථ දෙකකි. එකක් ‘පෙළීම’ හෙවත් ‘පිරිසුදු’ කිරීමයි. අනෙක ‘පිනායාම’ හෙවත් ‘සතුටු වීමයි.’
අටුවාවට අනුව ගත් කල ඔබේ නිවසේ කුල්ලක් ඇත්නම් ඒ ගැන මඳක් සිතන්න. අප කුල්ලෙන් කරන්නේ කිසියම් ධාන්‍යයක් පොළා ගැනීමයි. එමඟින් බොල්දේ ඉවත්ව ගොස් හොඳ දේ පමණක් කුල්ලේ ඉතිරි වෙයි. පෙළීම තුළින් කරන්නේ හොඳදේ ඉතිරිකර අනවශ්‍ය දේ ඈත් කිරීමයි. මේ ආකාරයට කසළින්, අනවශ්‍ය දෙයින් පිරුණු ඔබේ සිත පොළා ගන්න.
එය කරන්නේ කෙසේද?
ඔබේ සිත ලෝභ, ද්වේශ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ, ඊර්ෂ්‍යාව, වෛරය, දයාව, කරුණාව, මෛත්‍රිය ආදී සියලු හොඳ නරක දෙයින් සමන්විතය. සිත තුළින් නරක දේ සියල්ල බැහැර කරන්න. එවිට හොඳ දේ පමණක් ඉතිරි වේ. ලෝභ, ද්වේශ, මෝහ ඉවත් කරන යමක් ඔබ කළේ ද? එය පිනයි. පින අර්ථ ගැන්විය හැක්කේ මෙපරිදිය.
ලොවෙහි ‘පින්’ හා ‘පව්’ වශයෙන් දෙකක් පවතී. යහපත් පරිදි සිත- කය-වචනය මෙහෙයවා කරන දේ පින්ය. අයහපත් පරිදි සිත-කය-වචනය මෙහෙයවා කරන්නේ පව්ය. පුණ්‍යකර්ම, සුදුකර්ම හෙවත් පිරිසුදුකම් ලෙස සමහරු අර්ථ දක්වති. එය තවදුරටත් ගත්කල ‘සුක්ඛ ධර්ම’ වෙයි. සුක්ඛ ධර්ම ඇත්තා අලෝභ, අදෝශ, අමෝහ ඇත්තෙකි. සිත ප්‍රභාශ්වර අයෙකි. නොකැළඹුණු සිත් ඇත්තෙකි. මොහු මරණින් මතු සුගතියේම උපදින අතර රූපයෙන් ලස්සනව, අනුනට කරදරයක් නැත්තෙකුව උපදී.
ඊළඟට ‘කණ්හ ධර්ම’ හෙවත් පාපකර්ම ඇත්තා තුළ රාග, ද්වේශ, මෝහ අරක්ගෙන ඇත. ඔහුගේ සිත කැළඹුණු ස්වභාව ගනී. ඔහු නිරන්තරයෙන් පාපය වෙතම යොමුවන අතර එනිසාම සසර ගමනද ප්‍රපාතයට යොමුකර ගනියි.
සසර ගමනෙහි ප්‍රපාතය යනු සතර අපායට වැටීමයි. එසේ වැටුනෙකුට සසරෙහි බොහෝ කාලයක් දුගතියෙහි කරන ලද පාපකර්ම ගෙවා දැමිය යුතුය. ඇතැම් නිරයන්හි මිනිස් ආයුෂ අවුරුදු සියයක් එක දවසක් මෙනි. ඔවුන්ට මනුෂ්‍ය ලෝකයේ යමෙක් දෙන පින්ද අනුමෝදන් විය හැකිය. මනුෂ්‍ය ලොවදි දෙන පින් අනුමෝදන් විය හැකි එක ප්‍රේත කොට්ඨාසයක් පමණක් සිටී. ඒ ‘පරදත්තූප ජීවීහුය’ එනම් අනුන් දෙන දෙයින් යැපෙන පිරිසකි. අප අතර සිටි කෙනෙක් මරණයට පත්වී දුගතියක උපන්නේ වේද? එසේ උපදින අයගෙන් මිනිසුන් විසින් දෙන පින ලැබිය හැකි එකම දුගති ආත්මභාවය ඉහත දැක්වූ ප්‍රේත කොට්ඨාසයයි.
තිරිසනෙකුට පින් අනුමෝදන් විය නොහැකිය. අසුර ලෝකුඹු හෝ අවීචි නරකයට වැටුනෙකුටද පින් අනුමෝදන් විය නොහැකිය. නමුත් අප දෙන පින් ඒ අයට අනුමෝදන් විය නොහැකි නම් ඒවාට කවරක් වේද? පළමු කොටම ජීවත්ව සිටින පින්දහම් කරන අයගේ මෙලොව පරලොව සැප පිණිස හේතුවේ.
පින් කිරීම සසර පුරා සතුටට හේතුවක් වෙයි. තමන් කරන ලද පින් සසර පුරා ඔහුගේ සෙවණැල්ල මෙන් හෙතෙම පසුපසම එයි. යමෙක් පාපකර්ම කළේද? ඒ පවුකම්ද ගොනා බැඳි කරත්ත රෝදය මෙන් පුද්ගලයා පසුපස එයි. සෙවණැල්ල මිනිසාට කරදරයක් නැත. එනිසා පින කරදරයක් නැතිවම සසර පුරා ඔහු පසුපස එන්නේය. නමුත් කරත්ත රෝදය පිටුපස එනවිට ගවයාට කරදරයකි. රෝදය වළකට වැටුණ ද ගවයාගේ ගෙලට වධයකි. පවුකම් ද එනවිට ඒ ආකාරමය.
තවදුරටත් ගත් කළ පින්-පව් විපාක දෙන ආකාරයද පුදුම සහගතය.
සමහරු රජ මැති සිටුකම් දරා මොහොතින් සිඟන්නන් බවට පත්වෙති. තවත් අය පාරේ යන විට මාර්ග අනතුරක් සිදුවී ශරීරය කෑලිවලට කැඩී බිඳී මරණයට පත්වෙති. ගඟ දියේ ගිලී මැරෙයි. ගින්දරට අසුවී පිලිස්සී මියයයි. සැප සම්පතින් ආඪ්‍යව සිටියත්, පව් විපාක දෙන විට තත්ත්වය අතිශයින්ම භයානකය. අහසේ සිටියත්, මහ පොළොවේ සිටියත්, මුහුදේ සිටියත්, යකඩ පෙට්ටියක සැඟව සිටියත් පව්කම් දෙනවිට බේරෙන්නට හෝ සැඟවෙන්නට තැනක් නැත.
“ගහක්-ගලක් වගේ හිටපු කෙනා, සිද්ධ වුණු දේ හිතා ගන්නවත් බෑ” යනුවෙන් සමහරු ප්‍රකාශ කරති. පාපකර්මවල භයානකකම ඒතුළින්ම සිතාගත හැකිය.
අද ලෝකයේ සෑම සියලු දේටම රක්‍ෂණාවරණ තිබේ. අඹු-දරු රක්‍ෂණ, යාන- වාහන රක්‍ෂණ, සෞඛ්‍යය සඳහා රක්‍ෂණ, වෙළෙඳසැල්, කර්මාන්ත ශාලා රක්‍ෂණ, ගිනිබිය, සොරබිය රක්‍ෂණ ආදී වශයෙන් බොහොමයකි. නමුත් සතර අපායට නොවැටී බේරෙන්නට රක්‍ෂණ දෙන එකදු ආයතනයක්වත් නොමැත. සතර අපායට නොවැටීම සඳහා නියම රක්‍ෂණයට මාර්ගය දේශනා කළේ බුදුරජාණන් වහන්සේය.
ඒ රක්‍ෂණය නම් ‘පින්’ රැස්කිරීමයි. යමෙක් පින්-පව් හඳුනාගෙන කටයුතු කරන්නේ වේද? ඔහු සසර පුරාම ආරක්‍ෂිතය.
හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී
ආචාර්ය කිරින්දේ අස්සජි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ
පෙබරවාරි 14 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment