පිරිපුන් කළය අපේ සමාජයේ සෞභාග්‍යයේ සංකේතයකි. පිරුණු කළය සේ අපේ මුතුන් මිත්තන් ළඟ ගුණධර්මද පිරී තිබුණි. ඒ නිසා ඕනෑම ගැටලුවකදී ඔවුහු නොසැලී සිටියහ. සියලු දුක් වේදනා මහමෙරක් ලෙස ඉවසා සිටියහ. සෙල්ලමටවත් බොරුවක් නොකීහ. සම්පත් පසු පස හඹා නොගියහ. පිවිතුරු සරල දිවි පෙවෙතක් ගෙවූහ. එහෙත් අද වන විට නවීකරණය, නාගරීකරණය හා කාර්මීකරණය වීම තුළ මේ පිරුණු බවට, පිවිතුරු බවට සිදු වී තිබෙන්නේ කුමක්ද?.
ධර්මයෙහි බොරුව හඳුන්වා දෙන්නේ මුසාවාද යන නමිනි. ‘මුසා’ යනු අභූත වූ, අතථ්‍ය වූ දෙයයි. එය භූත වශයෙන්, තථ්‍ය වශයෙන් දැන්වීම හෝ ඇඟවීම ‘වාද’ යයි. අසත්‍ය, සත්‍ය සේ කීම මුල් කොට කරන වචන ප්‍රයෝගය මුසා ලෙස හඳුන්වයි. තව දුරටත් එය විමසන විට,
අදිට්ඨං දිට්ඨං මෙ – ඇසින් නුදුටු දෙය මා දුටුවා යැයි,
අසුතං සුතං මෙ – කනෙන් නොඇසූ දෙය මා ඇසුවා යැයි,
අමුතං මුතං මෙ – නැහැයෙන්, දිවෙන් නොගත් දෙය මා ගත්තා යැයි,
අවිඤ්ඤාතං විඤ්ඤාතං මෙ- සිතින් නොගත්, නොදත් දෙය දැන ගත්තා යැයි,
දැන දැන කියාපෑම මුසාවාදයයි. ඒ මුසාවාදය සම්පූර්ණ වීමට කරුණු සතරක් තිබිය යුතු ය. ඒවා නම්, බොරුවක් වීම, බොරුවක් බව දැන ගැනීම, බොරුකීමේ සිත, ඒ සඳහා වචන ප්‍රයෝග යොදා ගැනීම යන කරුණුයි.
සීලයේ ප්‍රධාන අංගයක් ලෙස වාචසික පාරිශුද්ධිය හා සංවරය සැලකේ. වාචසික සංවරය ආරක්‍ෂා කර ගැනීමේ දී මුසාවාදයෙන් වැළකිය යුතු යි. වචනය අපිරිසුදු වන කරුණු සතරක් දේශනා කර ඇත.
මුසාවාදො හොති - බොරු කියයි.
පිසුනාවාචො හොති - කේලාම් කියයි
ඵරුසාවාචො හොති – රළු වචන කියයි.
සම්ඵප්පලාපී හොති – හිස් වචන කියයි.
“ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මේහි සමන්නාගතො යථා භූතං නික්ඛිත්තො ඒවං නිරයෙ” (අංගුත්තර නිකාය- චතුක්ක නිපාත- මුසාවාදී සුත්ත) ‘මහණෙනි, මේ සතර කරුණෙන් යුක්ත වූ පුද්ගලයා බහා තබන දෙයක් පරිද්දෙන් නිරයෙහි වැටෙන්නේ ය.’
මේ නිසා මුසාවාදයට අතර මඟ නැවතුම් පොළ නැත. මුසාවේ උරුමය බරපතළයි. ඒ නිසා වචනයෙහි පාරිශුද්ධිය ආරක්‍ෂා කරගත යුතු යි. මුසාවාදයෙන් වැළැකී කටයුතු කරන විට එය සම්පූර්ණ වීමට අප අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තුනක් ඇති බවද දේශනාවේ සඳහන් වේ.
සභග්ගකොවා පරිසග්ගකොවා
එකස්ස චෙකො නමුසාභණෙය්‍ය
නභාණයෙ භණකං නානුජඤ්ඤ
සබ්බං අභූතං පරිවජ්ජයෙය්‍ය
(සුත්ත නිපාත-ධම්මික සූත්‍රය)
සභාවකට ගියත්, පිරිසක් මැදට ගියත්, එකලා වුවත් තවකෙනෙකුට බොරු නොකියන්නේ ය. අනුන් ලවා නොකියවන්නේ ය. බොරු කියන විට එය අනුමත නොකරන්නේ ය. සියලු බොරුව දුරලන්නේ ය.
මේ අනුව තමන් බොරු නොකීම, අනුන් ලවා බොරු නොකියවීම සහ බොරු කියන විට එය අනුමත නොකිරීම යන මේ කරුණු තුන සම්පූර්ණ කිරීමෙන් මුසාවාදයෙන් වැළැකීමේ ශික්‍ෂාපදය සම්පූර්ණ කළ අයකු වෙයි.
කෙනකු හිතනවා, මම බොරුකියන්නෙ නැහැ, ඒ නිසා අනෙක් අයගේ බොරු කීමෙන් මට වැඩක් නැහැ කියා. එහෙම ඇඟ බේරගැනීම හොඳ සත්‍යවාදියකුගෙ ලක්‍ෂණය නොවෙයි. සමහරු අනුන් ලවා බොරු කියවති. ගේ ඇතුළෙ ඉඳගෙන දරුවාට කියනවා නැහැයි කියන්න කියා. නැතිගුණ වර්ණනා කරවා ගැනීමත් මේ බොරු කියවීමට අයිතියි.
මවුපියන් නිසාවත් බොරුව අනුමත කරන්න එපා. මොකද අවීචියට යනකොට මගේ පුතා බොරු කිව්වෙ අපිව රකින්නට කියා කිවුවට නිදහස ලැබෙන්නෙ නැහැ. ඒ නිසා කවුරු නිසාවත් බොරුව අනුමත කරන්න එපා.
මුසා වචන හා අදහස් කතා කරන විට භයානක ප්‍රතිඵල උරුම වේ. ‘චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථා භතං නික්‍ඛිත්තෝ එවං නිරයෙ. කතමෙහි චතූහි?’ මහණෙනි! සතර කරුණකින් යුක්ත වන විට ගෙනැවුත් තැබුවාසේ නිරයෙහි උපදියි. ඒ සතර කවරේද යත්?
1. අත්තනාච මුසාවාදී හොති – තමාත් බොරුකියන්නේ වෙයි.
2. පරඤ්ච මුසාවාදෙ සමාදපෙති – අන් අයත් බොරුවෙහි සමාදන් කරවයි
.
3. මුසාවාදෙච සමනුඤ්ඤො හොති - බොරුවෙහි අනුමත කරන්නේත් වෙයි.
4. මුසාවාදස්ස ච වණ්ණං භාසති - බොරුවෙහි ගුණ කියන්නේත් වෙයි.
(අංගුත්තර නිකාය – චතුක්ත නිපාත- මුසාවාද සුත්තං)
ඇතැම් අයගේ ස්වභාවයක් වන්නේ බොරුකීමයි. ඔහුට බොරුවක් කියන්න ලැබුණේ නැත්නම් එදාට නින්ද යන්නෙත් නැතිලු. ඒ වගේම අනුන්ද ඒබොරුවෙහි සමාදන් කරවයි. බොරු සමාදන් කිරීමත් සම්මාදම් කිරීමත් අපට උදාකරන්නේ අයහපතක්මයි.
එක් අවස්ථාවක බුදුරදුන් රජගහනුවර වේළුවනයේ දී සවස් කාලයෙහි ඵලසමවතින් නැඟිට අම්බලට්ඨිකා පහයෙහි වසන රාහුල සාමණේරයන් වෙත වැඩම කළ සේක. ඈත තියා වැඩම කරන බුදුපියාණන් දුටු රාහුල හිමියෝ බුදුසිරිපා සේදීමට දිය බඳුනක් සූදානම් කොට තැබූහ. වැඩම කළ බුදුරදුන් අසුනෙහි වැඩ සිටියාට පසු පාදෝවනය කළහ. අනතුරුව උන්වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන් ඇමතූහ.
බුදුහිමි – රාහුලයෙනි, මේ දිය බඳුනෙහි ඉතිරි වූ වතුර ටික ඔබට පෙනෙනවද?
රාහුල හිමි – එහෙමයි ස්වාමීනි!
බුදු හිමි – ඒ වගේ යම් කෙනෙකුට දැන දැන බොරුකීමෙහි ලජ්ජාවක් නැති නම් ඔහු ළඟ ගුණධර්මත් ඉතාම ටිකයි.
ඉන්පසු ඒ ඉතිරි වූ වතුර ටික එළියට විසිකොට මෙසේ විමසති.
බුදුහිමි – රාහුලයෙනි,ඉවත දැමූ වතුර ටික දුටුවෙහිද?
රාහුල හිමි – එහෙමයි ස්වාමීනි!
බුදුහිමි – ඒ වගේ යම් කෙනෙකුට දැන දැන බොරුකිමෙහි ලජ්ජාවක් නැතිනම් ඔහුගේ ගුණධර්මත් එළියට විසිවෙලා යනවා.
ඉන්පසු ඒ දියබඳුන යටිකුරු කොට තබා මෙසේ විමසති.
බුදුහිමි – රාහුලයෙනි, යටිකුරු කළ මේ දියබඳුන පෙනෙනවාද?
රාහුල හිමි – එහෙමයි ස්වාමීනි!
බුදුහිමි – ඒ වගේ යම් කෙනෙකුට දැන දැන බොරුකීමෙහි ලජ්ජාවක් නැතිනම් ඔහුගේ ගුණධර්මත් යටිකුරු කරන ලද්දක් වෙනවා.
ඉන්පසු ඒ දිය බඳුන උඩුකුරු කොට තබා මෙසේ විමසයි.
බුදුහිමි – රාහුලයෙනි, හිස් වූ මේ දිය බඳුන පෙනෙවද?
රාහුල හිමි – එහෙමයි ස්වාමීනි!
බුදු හිමි – ඒ වගේ රාහුල යමෙකුට දැන දැන බොරුකීමෙහි ලජ්ජාවක් නැතිනම් ඔහුගේ ගුණධර්මත් හිස්වෙලා, පිළිකුල් සහගත වෙනවා.
බුදුපියාණන් වහන්සේ රාහුල හිමියන්ට බොරු කියන්නාගේ තත්ත්වය පැහැදිලි කළ ආකාරය කෙතරම් චමත්කාරද? බොරු කීමේ බරපතළකම තවදුරටත් කියාදෙන බුදුහිමියෝ මෙසේ පවසති.
‘රාහුලයෙනි, රජකෙනෙකුට විශාල දළ ඇති, මහා ශක්තිය ඇති යුද බිමට ගිය ඇත් රජෙක් ඉන්නවා. ඒ ඇතා තමාගේ හැම ශරීරාංගයක්ම යොදාගෙන යුද බිමේ සටන් කළත් තමාගේ හොඬය යොදා නොගන්නා විට ඇත්ගොව්වා සිතන්නේ මේ ඇතා ජීවිත පරිත්‍යාගයෙන් සටන් නොකරන ඇතෙක් බවයි. රාහුල, තව ඇතෙක් ඉන්නවා, හොඬවැළ් ඇතුළු තමාගේ සියලු ශරීරාංග යොදාගෙන යුදබිමේ ජීවිත පරිත්‍යාගයෙන් රජුට සේවය කරනවා. එවිට ඇත්ගොව්වා හිතනවා ඇතා විසින් රජුට කළ යුතු තවත් කටයුත්තක් නැතැයි කියා.
ඒ වගේ රාහුලයෙනි, යම්කිසිවකුට දැන දැන බොරුකීමෙහි ලජ්ජා නැත්ද, ඔහුට කරන්න බැරි පාපයක් නැතැයි මම කියමි. ඒ නිසා රාහුල,සෙල්ලමට වත් බොරු නොකියමියි මෙසේ හික්මිය යුතුයි.’
දිවි පරදුවට තබා සටන් කරන ඇතකු ඕනෑම අපරාධයක් කිරීමට සූදානම් ය. ඒ ඇතාට අපරාධයේ සීමා මායිම් නැත. මේ සිල්වතෙකි, මේ ගුණවතෙකි, මේ රහත් කෙනෙකි, මේ මහල්ලෙකි, මේ පුංචි දරුවෙකි යයි වෙනසක් නැතිව සියල්ල විනාශ කොට දැමීම උගේ ඉලක්කයයි. දැන දැන බොරු කියන්නාත් ඕනෑම අයකු පාවාදී සියලු දෙනාම විනාශ කොට තමන් ද විනාශ වන්නෙකි. ඒ නිසා බොරු කියන්නාට අපරාධයේ සීමා මායිම් නැතිබව තේරුම් ගත යුතුයි.
ඛුද්දක නිකායේ ඉතිවුත්තක පාලියේ සම්පජාන මුසාවාද සුත්‍රයේදී ද මේ අදහස තවදුරටත් අවධාරණය කරයි.
එකං ධම්මං අතීතස්ස භික්ඛවෙ පුරිස පුග්ගලස්ස නාහං තස්ස කිඤ්චි පාපධම්මං අකරණීයන්ති වදාමි
කතමං එකධම්මං, යථයිදං භික්ඛවෙ සම්පජාන මුසාවාදො
මහණෙනි, වාක් සත්‍ය නම් වූ එක් ධර්මයක් ඉක්මවා ගිය ඒ පුද්ගලයාට නොකළ හැකි කිසියම් පාපකර්මයක් නැතැයි මම කියමි. කවර එක් ධර්මයක්ද? මහණෙනි, යම් බඳු වූ මේ දැන දැන බොරු කීමෙක් වේද එයයි.
බුදුරදුන් රාහුල හිමියන්ට දෙන උපදේශය අප සමාජයට ඉතාම වැදගත් ය. සෙල්ලමටවත් බොරුවක් කියන්න එපා යයි කියන අවවාදයයි. අපේ රටේ බොරු ඉගැන්වීම කොතෙක් ඉදිරියට පැමිණ තිබේදැයි කිවහොත් අවුරුදුකාලයට අලුත් සෙල්ලමක් පටන් ගෙන ඇත. ලොකුම බොරුව කීමේ තරගයෙන් ජය ගන්නාට තෑගිත් පිරිනැමීමයි. සාරධර්ම පිළිබඳ කිසිදු සැලකීමක් නැතිව මෙවැනි විහිළු අපේ සමාජයට කොහොම ඇතුළු වුණාද යන්න ගැටලුවකි. තවත් එවැනිම බොරු කියන දිනයක් ලෙස අප්‍රේල් පළමුවැනිදා, මෝඩයාගේ දිනය ලෙස නම් කර ගෙන ජයටම බොරු කියති. ඒවා ඇස් රතුවන බොරු දක්වා දියුණු වී ඇත.
මේ නිසා කුඩා කාලයේ සිටම දරුවන්ට ඇත්ත කතා කරන්න පුරුදු කරන්න. වැරැදිලාවත් බොරුවක් කියැවුණොත් අම්මාට, තාත්තාට ඒ ගැන කියා සමාව ගන්න උගන්වන්න. එහෙම නොකළහොත් ඒ දරුවා බොරු කියන්න භය නැති වී වැඩිපුරම බොරු ගෙදරට කියනු ඇත. එය හොඳ ආදර්ශයක් නොවෙයි. කුඩා කල සිටම සෙල්ලමට හෝ බොරුවක් කියූ විට එහි වරද පෙන්වා දී සමාව ගන්න ඉගැන්වූ විට ඒ අභ්‍යාසයේ හොඳට ක්‍රියාත්මක වී ඔහු සත්‍යවාදියකු වේවි. හොඳ පුරුද්දක් කවදාවත් අපතේ යන්නේ නැහැ. නරක පුරුදු විපතක්මයි ඉතිරි කරන්නේ. බුදුහාමුදුරුවෝ රාහුල පොඩිහාමුදුරුවන්ට උපදෙස් දුන්නේ වැරැද්දක් සිදු වූ විට එය ගුරුවරයාට හෝ වෙනත් වැඩිහිටි භික්‍ෂුවකට කියා සමාව ගත් විට ආයතිසංවරයෙහි පිහිටනවා කියායි. එවිට පිරිසුදු කෙනකු විය හැකි බවයි. දඬුවමට වඩා එම ක්‍රමය කොතරම් හොඳද?
වචනයේ විශිෂ්ටත්වය නිර්මාණය වන්නේ සත්‍ය කතා කිරීම තුළයි. මහබෝසතාණෝ ‘කිං සච්ච ගවේසී’ සත්‍ය ගවේෂණයේ යෙදුනහ. සත්‍ය කුමක්දැයි සොයා ගියහ. ඒ නිසා බුදුසමිඳුන් සොයා ගත් සත්‍ය චතුරාර්ය සත්‍ය බවට පත්විය. ඇත්ත ලොවට හෙළි විය.
අවිද්‍යා අඳුර දුරුවිය. බුදුබව ලබා පස්වග තවුසන්ට එය ඔප්පු කිරීමට උන්වහන්සේ යොදා ගත්තේ අරුම පුදුම ප්‍රාතිහාර්යයක් නොවේ, සත්‍ය වචනයයි. තමන් වහන්සේ බුදුබව ලබා ඇති බව පස්වග තවුසන්ට ප්‍රකාශ කළ විට ඔවුන් එය පිළිගත්තේ නැත. එවිට බුදුරදුන් අසන්නේ මීට කලින් මා කවදාවත් එහෙම අදහසක් ඔබට දුන්නා දැයි කියායි. නැහැ, මීට පෙර කිසිදවසක එහෙම කියා නැහැ කියා සත්‍ය වචනයෙහි පිහිටා බුදුබව පිළිගත්හ. එය ලොව ඉහළම පරමාදර්ශයයි.
දැන දැන බොරු කියන්නාට කිසිදිනක ආර්ය සත්‍ය අවබෝධ වන්නේ නැත. බොරුවෙන් ඉවත් වී සත්‍යයෙහි පිහිටා කටයුතු කළ විට සත්‍යය අවබෝධ කළ හැකියි.
“සච්චං හවෙ සාධු කරං රසානං” රස අතර හොඳම රසය සත්‍ය රසය බව ආලවක යක්‍ෂයාට බුදුහිමියෝ දේශනා කළහ. සත්‍යයට හැමෝම කැමැතියි, පි‍්‍රයයි. බොරුවට කැමැති බොරුකාරයන් පමණයි. සැමදා ලොව බබුළුවන්නේ සත්‍යයයි. සත්‍යය කතා කරන්නේ අප ළඟ වචී සුචරිතය ආරක්‍ෂා වන විටයි. වචනයේ සුචරිතය ආරක්‍ෂා වන කරුණු පහක් බුදුහිමියෝ දේශනා කළහ.
1. කාලෙන භාසිතා හොති - සුදුසු කාලයෙහි කියන ලද දෙය
2. සච්චා ච භාසිතා හොති - සත්‍යය වචනයක් විය යුතු බව
3. සණ්හාච භාසිතා හොති – මටසිළුටු වචන විය යුතු බව
4. අත්ථසංහිතා ච භාසිතා හොති – අර්ථ සහිත විය යුතු බව
5. මෙත්ත චිත්තේනච භාසිතා හොති - මෙත් සිතින් කියන වචන විය යුතු බව.
(අංගුත්තර නිකාය, සුභාසිත වාචා සූත්‍රය)
සුභාෂිත වචනයක්, නිවැරැදි වචනයක්, නුවණැතියන් විසින් නින්දා නොකරන වචනයක් වීමට මේ අංග පහෙන් යුක්ත වචන කතා කිරීම ඉතා රසවත් බව දේශනා කළහ.
බුදුපියාණන් වහන්සේගේ වචන සුභාෂිතයි. මේ ගුණ පහම ඇත. ඒ නිසා ඒ වචන මිනිසුන්ටත් දෙවියන්ටත්, බඹුන්ටත්, යකුන්ටත්, සතුන්ටත්, ප්‍රේතයන්ටත් ආදී හැමෝටම මිහිරි විය.
ඒවගේම බොහෝ කතා කිරීමත් හොඳ නැත. එවිට වචනය වැරැදි පැත්තට යයි. ඒ නිසා ප්‍රමාණයට කතා කරන්න. එවිට වචන හසුරුවා ගැනීමට පහසු වේ. නුවණින් දැන ප්‍රමාණයට කතා කරන විට ආනිශංස පහක් ලැබෙන බව බුදුහිමියෝ දේශනා කළහ.
1. න මුසා භණති - බොරු කියන්නේ නැත.
2. න පිසුණං භණති - කේලාම් කියන්නේ නැත.
3. න ඵරුසං භණති – රළු බස් කියන්නේ නැත.
4. න සම්ඵප්පලාපං භණති – හිස් වචන කියන්නේ නැත.
5. සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති - සුගති ස්වර්ග ලෝකයට පැමිණෙයි.
(අංගුත්තර නිකාය – බහුභාණි සූත්‍රය)
ඕනෑවට වඩා නිතර නිතර කතා කරමින් කාලය කා දමන විට මේ ප්‍රතිඵල නොලැබී යයි. ඒ නිසා බොහෝ කතා කිරීම (බහුභාණී) පව් පිරෙන වැඩකි.
ප්‍රමාණයට කතා කර වචී සුචරිතය ආරක්‍ෂා කර ගෙන කටයුතු කරන පුද්ගලයාටත් ආනිශංස පහක් ලැබෙන බව දේශනා කර තිබේ.
1. අත්තාපි අත්තානං න උපවදති – තමා තමාට දොස් නොපවරයි.
2. අනුවිච්ච විඤ්ඤු පසංසන්ති – නුවණැත්තෝ දැන ප්‍රශංසා කරති.
3. කල්‍යාණෝ කිත්ති සද්දො අබ්භුග්ගච්ඡති – යහපත් කීර්තියක් පැතිරෙයි.
4. අසම්මුළ්හෝ කාලං කරොති - නොමුළාව කළුරිය කරයි.
5. සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති – මරණින් මතු සග ලොවට පැමිණෙයි.
බලන්න හොඳ වචනයක අසිරිමත් බව කොතරම් ද කියා. වචනය කොතරම් වටින ප්‍රතිඵල අපට හිමිකරනවද? දිනක් මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කළහ. උන්වහන්සේ මහා දිව්‍ය විමානයක් ළඟ නතර වූහ.
ඒ විමානයට අධිපති දෙවඟන පැමිණ මුගලන් හිමියන්ට නමස්කාර කළාය. උන්වහන්සේ අහනවා, පින්වත් දිව්‍යාංගනාව, ඔබ මොනවා කරලද මේ සම්පත් ලැබුවෙ කියා. දෙවඟන කියනවා, ‘මුගලන් හාමුදුරුවනේ, මම ලොකු පින්කම් කළේ නැහැ. ගිය ආත්මෙ මම දුප්පත්, අසරණ ගැහැනියක්. පාපයට හරි භයයි. මියයනතුරු කවදාවත් බොරුවක් කිව්වෙ නැහැ. ඇත්ත, සත්‍ය පමණක් කතා කරලා මේ සම්පත් ලැබුවා කියා.
මේ ආකාරයට කටයුතු කරන අය පාපයෙන් වැළැකෙති. දෙලොව යහපත උදාකර ගනිති. ඒ නිසා අපි කවුරුත් බොරුවෙන්, මුසාවාදයෙන් වළකිමු. සත්‍යවාදී වෙමු. සුභාෂිත වචනවලින් රට සුවඳවත් කරමු. සත්‍යයෙන් සමාජය පිරිපුන් කරමු. එවිට අපකාටත් හිස් කළ බවට පත්වන්නේ නැතිව පිරුණු කළ මෙන් නොසැලී සිටීමට හැකිවේවි. ඒ තුළින් විශ්වාසවන්ත සමාජයක් ගොඩ නඟමු.
පානදුර චිත්ත භාවනා මධ්‍යස්ථානාධිපති
ශාස්ත්‍රපති
දොඩන්දූවේ
සිරිකර නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජනවාරි 5 වනදා සෙනසුරාදා හා නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය
වර්ෂ 2013 ක් වූ පෙබරවාරි 25 වන සඳුදා දිනයන්හි බුදු සරණ පුවත්පතෙහි පළ වූ
ලිපි දෙකකි
No comments:
Post a Comment