මෛත්‍රී සහගතව සිටින්නේ යැයි පවසන සමහර බෞද්ධයන් මෛත්‍රී සහගතව ක්‍රියා නොකරන අවස්ථා අප දැක ඇත. එහි ඇත්තේ ප්‍රායෝගිකත්වයෙන් තොරවූ හිස් මෛත්‍රියකි. ප්‍රායෝගිකත්වයෙන් තොරවු මෛත්‍රිය හිස් මෙන්ම කූට ව්‍යාපාරයකි. අප මේ දෙපැත්තම හඳුනාගත යුතුවේ. යහපත් හේතුන් සහිතව කුසල් කිරීම පිණිස බුදුන් වහන්සේ මෙවන් යහපත් නිර්ණායක දෙකක් පෙන්වා දුන් සේක.
කරණීයමෙත්ත සූත්‍රයේ මෙම ගාථා පාඨය ඔබට මතක ඇත.
“නාඤඤමඤඤස්ස දුක්‍ඛමිචෙඡය්‍ය”
කිසිවෙකු කිසිවෙකුට දුක නොපැතිය යුතු අතර, අනුන්ට දුක ප්‍රාර්ථනා කරන්නා දුක් හිමිකර ගනියි. මෙය බුදුදහමේ පැහැදිලි කරන ඉතා වැදගත් කාරණයකි.
පින නිවැරැදිව හඳුනාගන්නේ කෙසේද?
පව නිවැරැදිව හඳුනාගන්නේ කෙසේද?
මේ ප්‍රශ්නද්වය අද අප ඉදිරියේ ඇති අනිවාර්යයෙන් විසඳා ගත යුතු ගැටලු දෙකකි. දුකින් මිදි නිවන් ලැබීමට මේ ධර්ම මාර්ගය උපයෝගී කරගන්නා හෙයින් මේ පිළිබඳ කෙටි සාකච්ඡාවක් කරමු. මේ කාරණය පිළිබඳව විවිධ අර්ථකථන ඇත. ලෝභ ,ද්වේශ මෝහ අකුසල් ලෙසත් අලෝභ, අදෝස,අමෝහ කුසල් ලෙසත් අපි දකිමු. ඉහත කී කාරණා හේතු ලෙස ගැනේ. පින් හේතු නිවැරැදිව ගොඩනඟා ගැනීම ඉතා වැදගත් කාරණයකි.
සමහර වෙනත් ආගමික කොටස්, ස්වේච්ඡා, සංවිධාන, ජාත්‍යන්තර, සංවිධාන ම¼ගින් දිළිඳු ළමයින්ට, පාසල් උපකරණ, ශිෂ්‍යාධාර,දිළිඳු පවුල්වලට ආහාර හා විවිධ ද්‍රව්‍යාධාර, ගෙවල් දොරවල්, රෝහල් ආදි පොදු ආයතනවලට අවශ්‍ය උපකරණ,, ඖෂධ ලබාදීමේ සත්කාර්යයන් බාහිරව අපට විශාල පුණ්‍යකර්මයක් ලෙස පෙනේ. එහෙත් මේ ආධාරෝපකාර තුළින් යම් ප්‍රමාණයක් වාණිජ හෝ ආගමික හෝ දේශපාලනික වශයෙන් සිදුවේ නම් එයින් පින් සිදු නොවේ.
මේ පිළිබඳව සද්ධම්මෝ පායනයේ මෙසේ දැක්වේ.
” දින්නං ඵලන්.තිනා දානං වාණිජ්ජං ජිගුවජියං”
වාණිජ අරමුණක් උදෙසා හෝ ඵලාපේක්ෂාවෙන් හෝ මෛත්‍රී සිතක් නොමැතිව හෝ දෙන ලද දානය ජුගුප්සාජනක වෙළෙඳාමකි. අප යමක් කරන කල්හි අපගේ අරමුණ පිළිබඳව හොඳින් විමසා බැලිය යුතුවේ. දන්දීම නිසි අවබෝධයෙන් කළ යුතු උතුම් කාර්යයකි.
මෛත්‍රී සහගතව සිටින්නේ යැයි පවසන සමහර බෞද්ධයන් මෛත්‍රී සහගතව ක්‍රියා නොකරන අවස්ථා අප දැක ඇත. එහි ඇත්තේ ප්‍රායෝගිකත්වයෙන් තොරවූ හිස් මෛත්‍රියකි. ප්‍රායෝගිකත්වයෙන් තොරවු මෛත්‍රිය හිස් මෙන්ම කූට ව්‍යාපාරයකි. අප මේ දෙපැත්තම හඳුනාගත යුතුවේ. යහපත් හේතුන් සහිතව කුසල් කිරීම පිණිස බුදුන් වහන්සේ මෙවන් යහපත් නිර්ණායක දෙකක් පෙන්වා දුන් සේක.
“තඤ්ච කමමං කතං සාධු
යං කත්වා අනුතප්පති
යසස අස්සුමුඛො රොදං
විපාකං පටිසෙවති “
යමක් කොට කඳුළු පුරවාගෙන හැඬීමට සිදුවේ නම් එය නොකළ යුතුය.
මෙම කාරණය පිළිබඳව මෙයට පෙරද අප කිහිපවිටක් සාකච්ඡා කර ඇත.
“ තඤ්ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො
විපාකං පටිසෙවති”
යමක් කොට, එහි ප්‍රතිඵල සතුටින් ස්මරණය කළ හැකි නම් එය කිරීම යහපති. බුදුරජාණන් වහන්සේ යමක හොඳ නරක දකිනුයේ ක්‍රියාවට සමගාමීව නොව, ඵලයට සමගාමීව ය.
වෛද්‍යවරයෙක් රෝගියෙක් සුවකිරීම සඳහා සැත්කම් පිහියකින් රෝගියාගේ උදරය පැලීමේදී රෝග තත්ත්වය උත්සන්න වීමෙන් හෝ වෙනත් හේතුවකින් රෝගියා මිය ගිය හොත් එය මිනිස් ඝාතනයක් ලෙස නොසැලකෙයි. වෛද්‍යවරයා දඬුවමට භාජනය නොවේ. එහෙත් වෛද්‍යවරයා එම පිහියෙන් යමෙකුට මඟ සිට තුවාල කළේ නම්, ඔහු අපරාධකරුවෙක් ලෙස නීතියට හසුවෙයි. මුල් රෝගියා මිය ගිය මුත් දෙවැන්නා තුවාල ලබා ජීවත්වෙයි. කළ ක්‍රියාවට සාපේක්‍ෂව ඇතිවු මානසිකත්වයට අනුව දඬුවම හෝ නිදහස හිමිවේ. එසේම මෙම කාරණයේ අනික් පැත්ත නම් සසර දුක වඩමින් සසර දුකෙහි ගැලීමට අකුසලය හේතුවන බවයි.
“වාණිජොව භයං මග්ගං –අප්පසෙත්‍ථා මහද්ධනො
විසං ජීවිතුකාමොව පාපානි පරිවජ්ජයෙ”
ආයුධ නොමැති මහා ධනවතෙක් බියකරු මගක නොයයි. එමෙන්ම ජීවිතාශාව ඇත්තා වස පානය නොකරයි.
සසර සැප අපේක්‍ෂිතයා පව් දුරුකළ යුතුය. පවට බියවීම අපේ ජීවිතයේ ගුණයක් ලෙස සැලකිය යුතුවේ. පවට බියෙන් ලජ්ජා සහිතව, පිරිසුදුව ජීවත්වන්නා කවටයෙකු ලෙස සැලකීම වත්මන් තරුණ සමාජය තුළ පවතින ගැටලුවකි. මත්පැනට, සිගරට්, සුරුට්ටුවට හුරු නොවූ,වෙනත් අයහපත් කටයුතුවල නිරත නොවන්නන්ට විෂම සමාජය තුළ පිළිගැනීමක් නොමැත. ඉහත කී දුර්ගුණයන්ට හුරුවූ පුද්ගලයන්ගෙන් ඈත්ව හුදකලාව විසීම යහපත් බැව් බුද්ධ දේශනාවයි. ඔබ දුර්ගුණැති සමාජයක සාමාජිකයෙකු නොවන්න. මේ පිළිබඳව ධර්මය මෙසේ විස්තර කරයි.
“සචෙ ලභෙථ නිපකං සහායං
සද්ධිං චරං සාධූ විහාරි ධීරං
එකො චරෙ ඛගගවිසාණකපෙපා”
යහපත් සගයෙකු නොමැති කළ , තමන්ට තමන්ගේ ගුණවත්කම් ඇතිව කඟවේනෙකු මෙන් ජීවත්විය හැකිය.
“ ඒකචරියං දළ්හං කයිරා
නත්ථි බාලො සහායතා”
බාලයන් ඇසුරු නොකිරීම යහපතකි. තම ලජ්ජා භය විනාශ කිරීමට කටයුතු කරන යම් මිතුරෙකු වෙයි නම් ඔහුගෙන් ඈත්වීම සැපයකි. මේ සසර තුළදී අපි විවිධ හොඳ නරක තත්ත්වයන්ට පත්වෙමු. අපට යහපත් මෙන් ම අයහපත් ජීවිත ගතකිරීමට හේතුවන සාධකය මිත්‍රත්වයයි. කලණ මිතුරා දිවියට වාසනාව ගෙනෙන අතර, පාපමිත්‍රයා ජීවිතය අභාග්‍යයට ඇද දමන්නේය
“ පතිරූපදෙසවාසොච “ සුදුසු දේශයක වාසය කිරීම මංගල කරුණක් ලෙස ධර්මයේ පෙන්වා ඇත.හොඳ දෙමාපියන්,හොඳ සහෝදර සහෝදරියන් හොඳ ඥාතීන් ලැබීම අපට උදාවන වාසනාවකි.
“ ඉමිනා පුඤ්ඤකම්මේන
මා මෙ බාලසමාගමො”
මෙම පුණ්‍යකර්මය හේතුකොටගෙන අපට බාලයන් ඇසුරු කිරීමට නොලැබේවායි දිනපතා තෙරුවන් වඳින අපි ප්‍රාර්ථනාවක් කරමු.අසත්පුරුෂ ඇසුර පිළිබඳ ඔබ අසා ඇති සත්තිගුම්බ ජාතකය ඉතා වැදගත්වේ. සුළඟින් සිය නිවස විනාශ වූ ගිරව් පැටවුන් දෙදෙනෙකු දෙපසකට ගොස් එක් ගිරවෙක් තාපසයෙක් ළඟට ද , අනෙක් ගිරවා පල්හොරෙක් ළඟට ද ගියහ. තාපසයා ළඟ විසූ ගිරවා හොඳින් සකස් වූ අතර,හොරා වෙත විසූ ගිරවා දූෂිත වචන ඉගෙන ගත්තාය.මෙයින් අසත්පුරුෂ ඇසුරෙහි භයානක බව පැහැදිලි වේ.
මංගල සූත්‍රයේ අපගේ ජීවිතය අදියරෙන් අදියරට හොඳින් සකස්විය යුතු ආකාරය පැහැදිලි කෙරේ.
“අසෙවනාච බාලානං
පණ්ඩිතානඤ්ච සෙවනා “
බාලයන්ඇසුරු නොකරන්න. පණ්ඩිතයන් ඇසුරු කරන්න. මේ ළමාවියට කතාකිරීමයි.
“පුත්ත දාරස්ස සඞ්ගහො -
අඹුදරවැන්ට සලකන්න
“දානඤ්ච ධම්මචරියා ච
ඤාතකානඤච සඞ්ගහො
අනවජ්ජනා කම්මානි “
දන්දීම, ධර්මයෙහි හැසිරීම, නෑයන්ට සංග්‍රහ කිරීම නිවැරැදි කර්මාන්ත කිරීම මංගල කාරණාවේ. එය තරුණ වියට ඇමතීමකි.
ශි‍්‍ර ජයවර්ධනපුර ව්ශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නවම් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ මාර්තු 4 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment