බුදුරජාණන් වහන්සේ එදා බරණැස් නුවර පිණ්ඩපාතයේ වැඩි සේක. එක් ගසක් අසලින් වැඩම කරද්දී උන්වහන්සේට භික්ෂුවක පෙනිණ.
ධ්‍යාන සුව නොදත්, සිතේ කෙලෙස් ඉතිරි වූ පස්කම් සුවයට කැමැති, මුලා වූ සිහි ඇති, සම්‍යක් ප්‍රඥායෙන් තොර, නොසන්සුන් සිත් ඇති,අකීකරු ඉඳුරන් ඇති ඒ භික්ෂුව දෙසට හැරුණු බුදු හිමියෝ මෙසේ වදාළහ.
“මහණ, නුඹ ඉඳුල් සහිත පුද්ගලයකු වෙන්න එපා. ඉඳුල් ඇතිවිට එහි ආමගන්ධයෙන් හෙවත් පිළීගඳින් මැස්සන් ලුහු බඳිනවා.”
මේ අවවාදය ඒ භික්ෂුවට වැටහින. ඒ ඔස්සේ සිතූ උන්වහන්සේ සෝවාන් බවට පත් වූහ.
බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වැඩ දානය වැළඳීමෙන් පසු ඉසිපතනේ සිටි භික්ෂූන් ඇමතූහ.
“මහණෙනි. මට අද පෙරවරුවේ පා සිවුරු ගෙන පිඬු සිඟා වඩින අතර ධ්‍යාන සුව නොදත්, සිතේ කෙලෙස් ඉතිරි වූ පස්කම් සුවයට කැමැති මුළා වූ සිහි ඇති සම්‍යක් ප්‍රඥාවෙන් තොර නොසන්සුන් සිත් ඇති අකීකරු ඉඳුරන් ඇති භික්ෂුවක දුටිමි. මම ඔහුට මෙසේ කීමි.
“මහණ, නුඹ ඉඳුල් සහිත පුද්ගලයකු වන්නට එපා. ඉඳුල් ඇතිවිට එහි ආමගන්ධයෙන් හෙවත් පිළීගඳින් මැස්සන් ලුහු බඳිනවා. මේ අවවාදය හිතටගත් ඒ භික්ෂුව සෝවාන් වුනා. මේ බසට කන් දී සිටි එක් භික්ෂුවක් මෙසේ ඇසීය.
“ස්වාමීනි, ඉඳුල්, ආමගන්ධ, මැසි යන වචනවල තේරුම කුමක්ද?” බුදුහු පිළිතුරු දුන්හ.
“මහණ, ඉඳුල් යනු අවිද්‍යාවයි. (ලෝබයයි) ආමගන්ධය (පිළිගඳ) යනු ව්‍යාපාදය හෙවත් තරහයි. මැස්සන් යනු ක්ලේශයයි. ආමගන්ධයෙන් තෙත් වූ ඒ ආත්මය කෙලෙස් නමැති මැස්සන් ගේ ලුහු බැඳීමට ලක් වෙනවා.
ඇස, කන රැක නොගත් අසංවර ඉඳුරන් සහිත භික්ෂුව ද රාගයේ මැස්සන් ගේ ලුහුබැඳීමට ලක් වෙනවා.
රහ නමැති ආමගන්ධයෙන් යුතු ලෝභය නමැති ඉඳුල් සහිත භික්ෂුව නිවනට ලංවන්නේ නැහැ. ඔහු සසර දුකේ කොටස් කාරයෙක් වෙනවා.
ගමේදී හෝ වනයේ දී හෝ තමාට සමානයකු නො ලැබ මෝඩයකු වූ භික්ෂුව කෙලෙස් මැස්සන් විසින් පිරිවරනු ලබනවා.
“සිල්වත් ව නුවණින් යුතුව කෙලෙස් සංසිදුවීමේ යෙදේ නම් උපශාන්ත බවට පත්වන ඒ භික්ෂූන් කෙලෙස් නමැති මැස්සන් නසා සුවසේ සයනය කරනවා.”
(අංගුත්තර නිකායේ තික නිපාතයේ කටුවිය සූත්‍රය ඇසුරෙනි)
2014 අගෝස්තු මස 06 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment