Labels

Wednesday, September 2, 2015

තමන් ගැන වගකීම තමන් අතම ය


බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම එතෙක් පැවැති ප්‍රාථමික සම්ප්‍රදායන්ගෙන් වියුක්ත වූවකි. අන්ධ භක්තියෙන් යුතු පුද පූජාවලින් තොර වූ අතර යාග, යාඥා හා බිය වැද්දීම්වලින් මිනිසා හෝ මිනිසාගේ බුද්ධිය පාවාදෙන, බුද්ධියට නිගා දෙන ආගමක් නොවීය. බුද්ධිය විවර කරන ආගමික අදහස්වලින් පෝෂණයවන, මානව නිදහස මානවයා සතු කළ ආගමක් සේ බුදුදහම හඳුනා ගැනීම නිවැරැදිය.


මානව සමාජයේ උපත ලැබ, මානව යහපැවැත්මට දායකත්වය දෙමින්, මිනිස් සිත හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ සර්වසම්පූර්ණයෙන් අධ්‍යයනය කළ අසමසම ශාස්තෘවරයාණන් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. සත්වයාගේ සසර ගමනට හේතුව, එම හේතුව නැතිකිරීම සහ නැතිකිරීමේ මාර්ගය තමන් විසින්ම අවබෝධ කරගනු ලැබ, අනගාරිකත්වයෙන් වෙසෙමින් මිනිස් සමාජයේ යහපැවැත්ම සහ සද්ක්‍රියාකාරිත්වය අරභයා මහඟු දහමක් උන්වහන්සේ දේශනා කළ සේක.
එනිසා මිනිසාගේ ශක්‍යතාව මිනිසා තුළින්ම මතුකරදුන්, මිනිසාගේ ස්වාධීනත්වය මිනිසා සතු කළ, මානවයා මුල් කොට ඇරැඹුණු ආගමක් ලෙසින් බුදුදහම හඳුන්වාදිය හැකි වේ. ඊශ්වර නිර්මාණවාදය, අධිච්ච සමුප්පන්නවාදය සහ කර්මවාදය වැනි මිනිසා පටු චින්තනයකට යොමු කරමින් මානව ක්‍රියාකාරිත්වය වෙනත් අදෘෂ්‍යමාන බලවේගවලට යටකරමින් මිනිසාගේ ස්වාධීනත්වය ගර්හාවට හා සමච්චලයට යට කළ මතවාදයන්ට එරෙහිව නැඟී ආ දාර්ශනික චින්තාවලියේ අග්‍ර ඵලයක් ලෙසින් බුදුදහමට සුවිශේෂත්වයක් හිමි වේ. දේව, බ්‍රහ්ම, මාර හෝ වෙනත් අදිසි බලවේගවල ක්‍රියාකාරිත්වයනට යට නොවී පුද්ගලානුබද්ධිත වූ ඥාන ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් බුදුරදහු සිය දහම අවබෝධ කරගත්හ. මානව ක්‍රියාකාරිත්වයට ප්‍රමුඛත්වයක් හිමිකර දෙමින් මානුෂිකත්වය ඉස්මතුවන පරිද්දෙන් සිය දහම පැතිරවීමට ද ක්‍රියා කළහ.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම, එතෙක් පැවැති ප්‍රාථමික සම්ප්‍රදායන්ගෙන් වියුක්ත වූවකි. අන්ධ භක්තියෙන් යුතු පුද පූජාවලින් තොර වූ අතර යාග, යාඥා හා බිය වැද්දීම්වලින් මිනිසා හෝ මිනිසාගේ බුද්ධිය පාවාදෙන, බුද්ධියට නිගා දෙන ආගමක් නොවීය. බුද්ධිය විවර කරන ආගමික අදහස්වලින් පෝෂණයවන, මානව නිදහස මානවයා සතු කළ ආගමක් සේ බුදුදහම හඳුනා ගැනීම නිවැරැදිය.

මිනිසා යනු මනැසින් උසස් වූ ඇත්තා යන තේරුම් ඇති වදනකි. මනැසින් උසස් පුද්ගලයාගෙන් සිදුවනුයේ තමාට මෙන්ම අන් අයට ද උසස් දෙයකි, යහපතකි. එහෙත් කෘත්‍රිමව මනැස විකෘති කර ගත් පාපතර ජීවිතවලින් එබඳු යහපත් තත්ත්වයක් අපේක්‍ෂා කළ නොහැකිය. උන්වහන්සේගේ දේශනා මිනිසාගේ සිත හා මිනිස් ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන ඇති බැවින් සදාචාරාත්මක සමාජ ව්‍යුහයක් ගැබ් වූ දර්ශනයක් ලෙසින් ද ඇතැම්හු හඳුන්වාදීමට මහන්සි ගනිති. මිනිසාට මුල් තැනක් ලැබෙන, මිනිසා විෂය කොට ඇරැඹුණ ආගමක් ලෙසින් බුදුසමය නිර්වචනයවීම, නැතහොත් මානව කේන්ද්‍රිය ආගමක් විම මීට හේතුව වේ. මිනිසකු වශයෙන් ලැබිය හැකි උසස්ම තත්ත්වය වනුයේ සම්මාසම්බුද්ධත්වයයි. එය ද හිමිකර ගත හැකි වනුයේ මිනිසකු හටමය. පින් රැස් කිරීම අතින් ද මිනිසාට සුවිශේෂ වූ වර ප්‍රසාදයක් හිමිවේ.
මිනිසාගේ චින්තන ශක්‍යතාව හා ස්වාධීනත්වය මෙන්ම තමා පිළිබඳ තිරණය ද තමා වෙත පවරා දෙන ආගමක් ලෙසින් බුදුදහමේ ඉගැන්වීම් සුවිශේෂ වේ. කාලාම සූත්‍රය මීට හොඳ නිදසුනකි. මිසදිටු බවින් සිටි කාලාම බමුණා වෙත බුදුරදුන් පෙන්වා වදාළ මාවතේ ඇති ස්වාධීනත්වය විශිෂ්ට වේ. එහි දී බුදුරජාණන් වහන්සේ ‘කාලාමයෙනි, තොප විසින් සැක කිරීම සුදුසු ය. විමතියක් ඇති කර ගැනීම ද සුදුසු ය. කාලාමයෙනී, යමක් ඇසූ පමණින් නොගන්න. පරම්පරාවෙන් ආ පමණින් ද පිළිනොගන්න. මෙසේ වී යැයි ද පිළිනොගන්න. අපගේ පෙළ හා ගැළැපේ යැයි ද නොගන්න. තර්කයට අනුකූල යැයි ද නොගන්න. නය ග්‍රහයෙන් ද නොගන්න. ආකාර පරිවිතක්කයෙන් ද නොගන්න. සිය දෘෂ්ටිය හා සැසැඳෙතියි ද නොගන්න. භව්‍ය රූපයෙන්ද නොගන්න. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුවරයා වන හෙයින් ද පිළිනොගන්න. කාලාමයෙනි, මේ දහම් කුසල් ය. මේ දහම් අකුසල් ය. මේ දහම වරද සහිතය. මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය. මේ දහම් සපුරන ලද්දහුහට, සමාදන් කොට ගන්නා ලද්දහු හට අවැඩ පිණිසම දුක් පිණිසම පවත්නාහයි තෙපිම දැන ගන්නහු නම් කාලාමයෙහි, එකල්හි තෙපිම එය දුරු කරව” යැයි දේශනා කළහ. “කාලාමයෙනි, මේ දහම් කුසල්ය. මේ දහම් අනවද්‍ය ය. මේ දහම් නුවණැත්තන් විසින් ප්‍රශංසිතය. පුරන ලද්දාවූත්, සමාදන් වූත්මය. හිත පිණිස සැප පිණිස පවති යනුවෙන් තුමු ම විමසා දැන ගන්නහුද එවිට ඔබ දහම් පිළිපැද වාසය කරන්න” යැයි බුදුරජාණන් වහන්සේ විසින් කාලාමයන් අමතා කරනු ලැබූ ප්‍රකාශය පමණක්ම වුවද මිනිසුන්ගේ චින්තනයට, පුද්ගල ශක්‍යතාවට බෞද්ධාගම තුළින් ලබා දී ඇති තැන කුමක් ද යන්න නිශ්චය කිරීමට ප්‍රමාණවත්ය.

හොඳ, නරක දෙක විනිශ්චය කළ හැකි දැනුමක් ලබාදෙන හා මැදි මඟක් පෙන්වන ආගම බුද්ධාගම වේ. එම මාවතේ එබඳු වූ දැනුමක් ඇතිව ගමන් කරන පුද්ගලයා බෞද්ධ නාමයෙන් හැඳින්වීමට සුදුසුකම් ලබන්නකු වේ. එමෙන්ම යමකු බුදුන්, දහම් හා සඟුන් සරණ යයි ද (යො ච බුද්ධං ච ධම්මං ච සරණං ගතො) එමෙන්ම චතුරාර්ය සත්‍ය දකියි ද ඔහු ම දුකින් මිදේ යැයි (චත්තාරි අරිය සච්චානී සම්මපඤ්ඤාය පස්සති) දක්වන සඳහනින් ද ඉස්මතු කොට පෙන්වනුයේ බෞද්ධයාගේ චර්යා පද්ධතිය හා පුද්ගල ශක්‍යතා ලක්‍ෂණයන් ය. බෞද්ධයකු නම් හෙතෙම ආර්ය සත්‍ය සතර පිළිබඳ නිවැරැදි වැටහීමක් ලද්දකු විය යුතු ය. එමෙන්ම තෙරුවනගේ ගුණය නිවැරැදිව හඳුනාගත්තකු විය යුතු ය. එබඳු පුද්ගලයකුගේ බුද්ධිමය අවකාශය ධර්මය හා බැඳෙන අතර තමා පිළිබඳ නිවැරැදිව නුවණින් දකින්නකු වන බව ද කිව හැකි ය.
පුද්ගලයකුගේ ශක්‍යතාව තමාම නිශ්චය කළ යුතු බවත් අගැයුම ද ඉන් ලබන ඵලය ද තමා සතුවන ආකාරයත් බුදුදහමෙන් අවධාරිතය. තමාම තමා දමනය කරගත යුතු අතර එය පහසු කටයුත්තක් නොවේ. (අත්තා හි කිර දුද්දම) අපහසු වුව ද තමාට පිහිට තමාම ය. තමාට පිළිසරණත් තමාමය. (අත්තාහි අත්තනො නාථො - අත්තාහි අත්තනො ගතිං)එබැවින් තමාගේ අඩුපාඩු බලා තමාටම චෝදනා කරගත යුතු ය. (අත්තනා චොදයත්තානං පටිමාසෙ අත්තමත්තනො) තම සිත දමනය කිරීම අරභයා ඒ කටයුත්ත තමන් වෙනුවෙන් වෙන කවරකුටවත් කළ නොහැකි ය. (කොහි නාථො පරොසියා) සදාතනික නිවීමක් සඳහා තමා දමනය කළ යුතු ව ඇත. (අත්තානංව සුදන්තෙන නාථං ලභති දුල්ලභං) මෙහි දමනය යනු සිත දමනය කර ගැනීම වේ. තමාගේ සිත වෙන කෙනකුට දමනය කළ නොහැකිය. වෙන කෙනකු විසින් සිත දමනය කරනු ලැබීමෙන් තමාගේ ද හිත දමනය වේ යැයි සැලකීම මෝඩකමකි. කායික හා මානසික ක්‍රියාකාරීත්වයේ පිරිසුදු හෝ අපිරිසුදු බව රඳා පවත්නේ තමා අතමය. අනෙකකුට තමා පිරිසුදු කිරීමට හෝ අපිරිසුදු කිරීමට නොහැක්කේම ය. (සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසොධයේ) එසේ නම් මෙහි තමා දමනය කිරීම යනු තම හිත දමනය කිරීම වන අතර දැමුණු හිත ඇති කය ද ඒ හා බැඳෙමින් දමනය වීම ස්වභාවිකය.
දිනක් ආනන්ද හිමියන් අමතා බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද මෙම ප්‍රකාශය ද තමා පිළිබඳ ශක්‍යතා වර්ධනයට රුකුලක් වේ. “ආනන්දය, ඔබේ ආලෝකය ඔබම වේවා. ඔබේ ආරක්‍ෂාව ඔබ අතමය. බාහිර සරණක් පතා නොයන්න. ආලෝකය මෙන් සත්‍ය ස්ථාවරව අල්වා ගන්න. සත්‍යය රැකවරණය සඳහා දැඩිව කටයුතු කරන්න. ඔබ අනලස්ව ඔබේ විමුක්තිය සඳහා කටයුතු කරන්න.”ආනන්ද හිමියන් අමතා බුදුරජාණන් වහන්සේ දුන් අවවාදය තුළින් ද පැහැදිලිව ගම්‍ය වනුයේ තමා ගැන තම වැටහීමත් ඒ මඟින් තම ක්‍රියාකාරීත්වයේ ඇති වැදගත්කමත් ය. එමෙන්ම අන්සරණින් තමාට පිහිටක් නොලැබෙන බවය.
තම චින්තනය නිවැරැදිව සකස් නොකොට අනුන්ගේ චින්තනය හෝ හැසිරීම් ගැන අවවාද නොකළ යුතු ය. මන්ද තමා ඊට සුදුස්සකු නොවන බැවිනි.

වැරැදියට අල්වාගත් කුස තණ වැරැදි විධියට අලවාගත්තහුගේ අතම කපන්නේ වේ ද (කුසො යථා දුග්ගහීතො හත්ථමෙවානුකන්තති) වැරැදි කරමින් උපදෙස් ලබා දෙන්නා ද තමා අතින් තමාටම අවැඩක් කර ගන්නා අතරම අනුනට ද අවැඩක්ම සිදු කරලයි.


 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නවම් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ මාර්තු 4 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment