නමොතස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධානසාසනං
අනූපවාදො අනුපඝාතො
පාතිමොක්ඛෙ ච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පන්තං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො
එතං බුද්ධානසාසනං
කාරුණික පින්වතුනි,
දිනක් අපේ තථාගත බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී මහා සංඝරත්නය ඉදිරියේ සත් සම්මා සම්බුදුවරයන් වහන්සේ පිළිබඳ විස්තරයක් කරමින් වැඩ සිටියා. එහිදී අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේ, ඒ බුදුවරයන් වහන්සේගේ අනුශාසනාව කුමක්දැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසූවා. ඊට පිළිතුරු වශයෙන් අප බුදුරජාණන් වහන්සේ එම අනුශාසනාව මෙසේ ගෙනහැර දක්වා වදාළා.
ඒ අනුව, සියලු අකුසල් නොකිරීමද සියලු කුසල් ඉපදවීමද තම සිත මනාව පිරිසුදු කර ගැනීමද සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. දොස් නඟා නිගාකොට කතා නොකිරීමද දඬු මුගුරු, ගල් මුල් ආදියෙන් ගසා අනුන් නොපෙළීමද උසස් ශීලයෙන් සංවර වීමද ආහාරයෙහි පමණ දැන වැළැදීමද විවේක ස්ථානවල ඇලීමද සිත සමාධිගත කිරීමද බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වේ.
සියලු බුදුරජාණන් වහන්සේගේ එම අනුශාසනාව බෞද්ධ ජන ජීවිතය සකස්කර ගැනීමට කොතෙක් නම් ප්‍රයෝජන වේ දැ’යි කියා නිමකළ නොහැකිය.
මෙහි මුල් ගාථාවේ දැක්වෙන අන්දමට සියලු පව් නොකිරීම යනු සියලුම අකුසල ක්‍රියාවලින් ඈත්ව සිටීමයි. සියලුම අකුසල ක්‍රියා සිදුවන්නේ කය, වචන, සිත යන දොරටු තුනෙනි. ඒවා මෙසේ දැක්විය හැකිය.
පාණ ඝාත පරද්දබ්බං
පරදාරංච කායතො
මුසා පෙසුඤ්ඤ ඵරුසා
සම්පප්පලාපා චාචතො
අභිජ්ඣා චෙව ව්‍යාපාදො
මිච්චා දිට්ඨිච මානසො
මෙම ගාථාවෙ සඳහන් වන පරිදි කයෙන් සිදුවන අකුසල තුනකි. එනම් ප්‍රාණඝාතය , අන්සතුදේ සොරකම් කිරීම සහ පරදාර සේවනයයි. වචනයෙන් සිදුවන අකුසල් වන්නේ බොරුකීම, කේලම්කීම ,පරුෂ වචන කීම සහ හිස්වචන කීම යන සතරයි. දැඩි ලෝභකම , තරහ ගතිය සහ මිත්‍යා දෘෂ්ටිය හෙවත් වැරැදි දැකීම යන අකුසල ක්‍රියා තුන සිතෙන් සිදුවේ. මෙම අකුසල් සියලු පව් යනුවෙන් සඳහන් කළ හැකිය. ඒවා නොකරන ලෙසයි බුදුවරුන් උපදෙස් දී ඇත්තේ.
මෙහි ‘කුසලස්ස උපසම්පදා’ යන්නෙන් අදහස් කරන්නේ කුසල ධර්ම ඉපැදවිය යුතුය යන්නයි. යහපත් ක්‍රියා කුසල ක්‍රියා යනුවෙන් දක්වා ඇත. දස කුශල ක්‍රියා සිදු කිරීම මෙන්ම ඒවා තවදුරටත් වඩවා ගැනීමද ඉතා වැදගත් වේ. තම සිත පිරිසුදු කර ගැනීම යනුවෙන් මෙහි අදහස් කර ඇත්තේ පංචනීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසුදු කර ගැනීමට කටයුතු කිරීමයි. නිවන්මඟ අහුරන, නිවන වළකාලන ධර්මතා හෙවත් කෙලෙස් ධර්ම පහක් පංච නීවරණ යනුවෙන් හඳුන්වයි. එනම් කාමච්ඡන්ද ,ව්‍යාපාද, ථීන මිද්ධ ,උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්චා නීවරණයි.
මෙහි කාමච්ඡන්ද යනු කාම සම්පත් විඳීමට හේතුවන දේ පිළිබඳ ඇලීමයි. ඒවා කෙරෙහි ඇලීගැලී සිටීමෙන් නිවන් අවබෝධ කළ නොහැකිවේ. ව්‍යාපාදය යනු අනුන් නැසේවා, වැනසේවා යන ද්වේශසහගත හැඟීමයි. එයද නිවනට බාධකයකි.ථීන මිද්ධ යනු, සිතේ ගිලන් බව හා කම්මැලි ගතියයි. උද්ධච්ච කුක්කුච්ච යනු සිතේ නොසන්සුන් ගතිය හා කළ නොකළ හොඳ නරක පිළිබඳ පසුතැවිල්ලයි. විචිකිච්චා යනු බුද්ධාදි අටතැන් ගැන ඇතිවන සැකයයි. එනම් ඇත්ත ඇති සැටියෙන් විසඳාගත නොහැකි තත්ත්වයයි.මේ සියලු නීවරණ නිවනට බාධාවන්ය. ඒවායින් ඉවත් වීම සිත පිරිසුදු කර ගැනීමට හේතුවේ.
ඉහත දැක්වූ ‘සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්තපරියොදපනං’ යන කරුණු ශික්‍ෂා තුනක් වශයෙන්ද දැක්විය හැකිය. එනම්, අධිසීල, අධිචිත්ත සහ අධිපඤ්ඤා යනුවෙනි. අධිසීල යනු ලොව්තුරා ගුණ ලැබීමට හේතුවන උතුම් ශීලයයි. අධිචිත්ත යනු ලොව්තුරා ගුණ ලැබීමට හේතුවෙන උතුම් සමාධියයි. අධි පඤ්ඤා යනු සතරමාර්ග සතරඵල සහ චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දන්නා වූ උතුම් නුවණයි, ප්‍රඥාවයි.
මෙහි මුලින් දැක්වූ දෙවැනි ගාථාවෙන් කියැවෙන අවවාද සයකි. එනම් අනුපවාදො, අනුපඝාතො, පාතිමොක්ඛෙ සංවරො, භත්තස්මිං මත්තඤ්ඤුතා, පන්තං සයනාසනං, අධිචිත්තේ ආයොගො වශයෙනි.
මෙහි අනුපවාදො යන්නෙන් අදහස් කරන්නේ, අන් අයට දොස් නඟා නිගාකොට කතා නොකළ යුතු බවයි.අනුපඝාතො යනු තැළීම් පෙළීම් වශයෙන් හිංසා කිරීම, නසා දැමීම ආදිය නොකළ යුතු බවයි. පාතිමොක්ඛ සංවර යනු උසස් ශීලයෙන් සංවර වීමයි. භත්තස්මිං මත්තඤ්ඤුතා යනු ආහාරයෙහි පමණ දැන වැළැඳීමයි. ආහාර ගන්නා විට තවත් ආහාර පිඬු හතරකට පහකට කුසෙහි ඉඩකඩ තබාගෙන පැන්බීම සුදුසු වේ. පන්තං සයනාසනං යන්නෙන් අදහස් කරන්නේ විවේක ඇති සේනාසනවල වාසය කිරීම, ගමෙන් බැහැර ඇති වන සෙනසුන්වල ඇලීමයි.මෙහි සඳහන් අනෙක් කාරණය නම් අධිචිත්තෙ ආයොගො යන්නයි. එහි අදහස භාවනා වැඩීමේ නිතර යෙදීම හා එයින් අෂ්ඨ සමාපත්තීන්ට සම වැදීමයි.
මෙම බුද්ධ අනුශාසනාව තුළින් තම තමන්ගේ ජීවිත සකස් කර ගැනීමට අවශ්‍ය වාතාවරණය අප උදාකරගත යුතුය.අද සමාජයේ බොහෝ දෙනා ආත්මාර්ථකාමි හැඟීම්වලින් අනෙකා අභිබවා යෑමට උත්සාහ දැරිම කිසිදු වගවිභාගයකින් තොරව අන් අය අනුකරණය කිරීමට යෑම, අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාරපාන ඇඳුම් පැළැඳුම් නිවාස ආදිය පරිහරණය කිරීමට තරගකාරි ලෙස කටයුතු කිරීම ආදි කාරණා නිසා අඬ දබර කලකෝලාහල ඇතිකර ගනිති. ඒ ඔස්සේ තමතමන්ම තමන්ගේ විනාශය ළඟා කර ගැනීමට පෙළැඹී සිටිති. කවදත් අපට ප්‍රයෝජනවත් වන බුදුරජාණන් වහන්සේගේ ඉහත අවවාද පිළිපදින පුද්ගල සමූහයක් සමාජගත වීමෙන් යහපත් සමාජයක් ඇති කළ හැකිය.
සෑම අයකුම ජීවිතයට හා ජීවත්වීමට පි‍්‍රය කරයි. ‘සබ්බේසං ජීවිතං පියං’ එබැවින් අන් අයගේ ජීවිතවලට හානි නොකොට ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතුවේ. තම අයිතිවාසිකම් ගැන මෙන්ම අනුන්ගේ අයිතිවාසිකම් ගැනද සිතා කටයුතු කිරීම මැනැවි.පුද්ගලයන් ගැන පමණක් නොව සතා සිවුපාවා ගැනද පරිසරය ආරක්‍ෂා කර ගැනීම පිළිබඳද සිත් යොමු කිරිම වටී.
අපට ඉතා සුබදායක ජීවිතයක් ගත කිරීමට මෙම කරුණු ඉතා ප්‍රයෝජනවත් වේ. ලද දෙයින් සතුටුව , සැහැල්ලු ගති පැවැතුමින් යුක්තව ඉතා චාම් ජීවිතයකට හුරු පුරුදු වීමටත් සමාජයට වැඩදායක පුද්ගලයන් වීමටත් අධිෂ්ඨාන කර ගනිමු.
පේරාදෙණිය උඩඊරියගම දෙවොල්කොන
රාජමහා විහාරාධිපති
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
දුම්බර සෝරත හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නවම් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ මාර්තු 4 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment