Labels

Friday, July 31, 2015

ජංගම දුරකථනය සතුරෙක් ද ? මිතුරෙක් ද ?




2012 ක් වූ පෙබරවාරි 07 වනදා අඟහරුවාදා කලාපය

තාරුණ්‍යය සහ සන්නිවේදනය යන අංශ දෙක ඉතා සමීප සබඳතාවක් සහිතයි. අද අප කතා කරන්නට අදහස් කරන්නේ සන්නිවේදනයේදී, විශේෂයෙන් ජංගම දුරකථන වැනි සන්නිවේදන මෙවලම් භාවිතයේදී අපේ දූ දරුවන් සහ තරුණ පිරිස වෙත පැවැතිය යුතු විනය හා ශික්‍ෂණය ගැනයි.

තිස් පස් වැනි වියේ දී ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ අප බුදුපියාණන් වහන්සේ සන්නිවේදන මාධ්‍යය ලෙස තෝරා ගත්තේ ධර්ම දේශනා මාධ්‍යයි. එනම් වාචික සන්නිවේදනයයි. උන්වහන්සේගේ ධර්මය ජනතාව අතරට රැගෙන ගිය පිරිසෙන් බොහෝ දෙනා තුරුණූ වියේ පසුවූ අයයි. සැරියුත් මුගලන් අගසවු දෙනම වහන්සේ, ආනන්ද හිමි, ඛේමා, උප්පලවණ්ණා, වැනි තෙරණිවරු ආදී වශයෙන් වූ මේ සියලු දෙනාම පාහේ තරුණ වියේ දිවිගෙවූ අයයි. රාහුල පොඩි හාමුදුරුවෝ ,සෝපාක හාමුදුරුවෝ, වැනි කුඩා සාමණේර හිමිවරුන් හැරෙන්නට අනෙක් පිරිසෙන් බහුතරයක්ම වාගේ යෞවන වියේ සිටි බව අපට පැහැදිලියි.
මේ තුරුණු අයට බුදුරජාණන් වහන්සේ ලබා දුන් සන්නිවේදන පණිවුඩය කුමක්ද? සරල ලිහිල් බසින් ගැඹුරු දහම් කරුණු සාමාන්‍ය ජනයාට අවබෝධ කරවිය යුතු බවයි. ඒ අතරම කුඩා කණ්ඩායමකින් විශාල කාර්යයක් කරගත හැකි බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා.
‘එක මඟ එක් අයෙක් පමණක් යන්න. එක මඟ දෙදෙනෙක් යන්න එපා’ සන්නිවේදනය වඩා පුළුල් පරාසයක සිදුකර ගැනීමට නම් මෙය ඉතාම වැදගත් පණිවුඩයක්. හැම කලටම ගැළැපෙන ලෙසයි බුදුරජාණන් වහන්සේ එදා දහම් පණිවුඩය ලබා දුන්නේ.
අද ගුවන්විදුලිය, රූපවාහිනිය, ජංගම දුරකථනය, අන්තර්ජාලය , පුවත්පත මේ ඕනෑම මාධ්‍යයකින් බලාපොරොත්තු වන්නේත් සංඛ්‍යාත්මක විශාල පිරිසකට සමීප වීමයි. සුළු පිරිසකගෙන් සඵලදායක කාර්යයක් ඉටු කරගැනීමයි. හැටනමක් වූ ප්‍රථම ධර්ම දූත කණ්ඩායම මාර්ග හැටක ධර්ම ප්‍රචාරය පිණිස යොදමින් බුදුරජාණන් වහන්සේ එදා විශාල කාර්යයක් ඉටු කළ බව ඉතා පැහැදිලියි. ඒ වගේම උන්වහන්සේ පරිසරයත්, ගොවිතැන ඇතුළු ජනතාවගේ එදිනෙදා ජීවනෝපායන ක්‍රමත් ආශ්‍රය කරගෙන උපමා රාශියක් යොදාගනිමින් ධර්මය දේශනා කළා. අවබෝධයට පහසු මේ ක්‍රමය ඉතාම සාර්ථක වුණා. දේශනා ශෛලියත් මෙහිදී බෙහෙවින් වැදගත්. පණිවුඩයක් තවත් අයට යෑමේදී පණිවුඩය ලබන්නාට වැටහෙන ඔහුට ගැළපෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීම තමයි මෙතැනදී විශේෂයෙන්ම වැදගත් වුණේ.
බුදුරජාණන් වහන්සේ ධර්ම සන්නිවේදනය, ධර්ම ප්‍රචාරය පිණිස යොදාගත් සියලුම පිරිස් රහතන් වහන්සේයි .රහතන් වහන්සේ නමක් නොවුණා නම් ඉතාම කලාතුරකින්. එසේ වුවත් සෝවාන් සකෘදාගාමී හෝ අනාගාමී ඵලයට පත් වූ අයයි. එසේත් නැත්නම් ආනන්ද හිමියන් වැනි විනය ඉහළ මට්ටමක තිබූ හිමිවරුන්. සෝවාන් මගඵල ලබා සිටි ආනන්ද හාමුදුරුවෝ බුදුරාජාණන් වහන්සේ පිරිනිවන් පානා මොහොත වන විටත් රහත් බවට පත්ව සිටියේ නැහැ. එහෙත් උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික ලෙස කටයුතු කළා. රජුගේ අන්තඞපුර බිසෝවරුන් ඇතුළු උපාසිකාවන් රැසක් සමඟ මැනැවින් කටයුතු කරමින් දහම් දෙසමින් ඔවුන් දහම් මගෙහි යැවීමට ආනන්ද හිමියෝ කටයුතු කළා.
මෙයින් අපේ මවුපියවරු ආදර්ශයට ගත යුත්තේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ ධර්ම මෙවලම අතට දුන්නේ විනයක්, ශික්ෂණයක්, හික්මීමක් තිබූ අයට බවයි.
ධර්මය අතට ගත් ඒ රහතන් වහන්සේගෙන් වරදක් සිදු වුණේ නැහැ. පරම පවිත්‍ර චේතනාවෙන් ජනයාට ධර්මාවබෝධය ලබාදීමට කටයුතු කරනවා විනා රටවැසියා මුළාකිරීම හෝ වෙනත් අකටයුත්තක් උන්වහන්සේ අතින් සිදුවන්නේ නැහැ.
අප බුද්ධ චරිතයෙන් ඒ ආදර්ශයන් ලබාගත යුතුයි. එනම් සන්නිවේදන කාර්යයට අදාළව යෙදවිය යුත්තේ ඉහළ විනයක්, හික්මීමක් තිබෙන අයයි. ඒ වගේම සන්නිවේදනයට අදාළ මෙවලම් භාවිතයේදීත් හොඳ ශික්ෂණයක් සහිත අයම එය කළ යුතුයි. සරල උදාහරණයක් වන්නේ ජංගම දුරකථනයයි. ඒ වගේ සන්නිවේදන උපකරණයක් භාවිතයේදී පවා යම් විනයක් හික්මීමක් තිබිය යුතුමයි. සිතා බලන්න අම්මේ, තාත්තේ, ජංගම දුරකථනයක් ඔබේ දරුවා අතට දුන්නේ ඔහුගේ විනය ගැන ඔබ හොඳින්ම සෑහීමට පත්වෙලාද? ඔබ බලාපොරොත්තු වන හික්මීමද දරුවා ළඟ ඇත්තටම තිබෙනවාද?
ජංගම දුරකථනය පාවිච්චි කරන ඔබේ දරුවා රහතන් වහන්සේ හා සමාන විනයක්, ශික්ෂණයක් ඇති අයකු විය යුතු යැයි මින් අදහස් කරන්නේ නැහැ. එහෙත් ජංගම දුරකථනය පාවිච්චි කරන දරුවා අවම වශයෙන් ශික්ෂණයක්, බුද්ධියක්, ඥානයක් ඇති අයකු විය යුතුයි. තමන්ගේ අතේ ඇති උපකරණය ගැන දැනුමක් ඇති අයෙක් විය යුතුයි. අද ඇතැම් මවුපියන් මහත් ආඩම්බරයෙන් පවසන්නේ ‘මට බෑ අනේ මගෙ සෙල්ෆෝන් එකෙන් මුකුත් කරන්න. මං දන්නෙ කෝල් එකක් ගන්නයි, එන කෝල් එකකට කතා කරන්නයි විතරයි. ඒත් මොන්ටිසෝරි යන අපේ පුතා බලන්න එපැයි , එයා ෆෝන් එකේ තියෙන ඔක්කොම දන්නවා’ යන්නයි.
තාක්‍ෂණික උපකරණයක ක්‍රියාකාරිත්වය වටහා ගන්න වඳුරකුට වගේ සතකුටත් පුළුවන්. දැනුම ලබා ගන්නවා කියන්නෙ ඒක නොවෙයි. සතුන් වත්තේ ඩොල්ෆින් වගේ සතෙකුට කොයිතරම් සෙල්ලම් කරන්න පුළුවන්ද? අවශ්‍ය වන්නේ යථාර්ථය තේරුම් ගැනීමයි.
මෙන්න මේ අවබෝධය මවුපියන් තුළ තිබිය යුතුයි. ඔබේ දරුවා අවබෝධ කරගත යුතුයි. දුරකථනයේ අවශ්‍යතාව කුමක්ද කියා . තම දරුවා නිරුපද්‍රිතව පාසලට, උපකාරක පන්තියට ගියාද? දුම්රියේ , බස්රියේ එහෙමත් නැත්නම් පාසල් වෑන් රථයේ ගමන් කරද්දී ගැටලුවක් ඇති නොවුණාද? මෙවැනි කරුණු ගැන සන්නිවේදනයක් ඇති කර ගැනීමයි ඔබගේ අපේක්ෂාව වන්නේ .එහෙත් එම දුරකථනයම භාවිතා කරමින් වෙනත් කටයුතු කිරීමටත් ඔබේ දරුවාට ඉඩ ප්‍රස්ථාව තිබෙන බව බොහෝ මවුපියන්ට අමතක වී තිබෙනවා.
මවුපියන්ට පණිවුඩයක් ලබා දෙනවා වගේම තවත් අයටත් එම දුරකථනයෙන් කතා කළ හැකියි. ඒ වගේම කෙටි පණිවුඩ යැවීමත් ඡායාරූප ගැනීමත්, වීඩියෝ කිරීමත් කරන්න පුළුවන්. අන්තර්ජාලයට ගමන් කරන්නත් අද හැකියාව තිබෙනවා. මෙමඟින් මනස විකෘති වීම්ද අද දරුවන් තුළ සිදු වෙලා. දුරකථනයෙන් ලබා ගන්නා ඕනෑම ඇමතුමක් තත්පරයෙන් මකා දමන්න පුළුවන්. මවුපියන් නොදැනීම දරුවන් විනාශය කරා අද ඇදී ගොස් තිබෙනවා. ඒ මේ ජංගම දුරකථනය නිසයි. වෙළෙද පොළේ රුපියල් 2000 ක් වැනි අඩු මුදලකට අද කැමරාවක් සහිත ජංගම දුරකථනයක් මිලදී ගන්නට පුළුවන්. මවුපියන් නොදන්නා නමුත් දරුවන් ජංගම දුරකථනයේ සියලු ක්‍රියාකාරිත්වය දන්නවා.
අද ශ්‍රී ලංකාව තුළ පැතිරෙමින් යන දුරකථන වසංගතයේ භයානක පැත්ත පෙන්වා දෙන හොඳම නිදසුනක් ලෙස ගත හැක්කේ විදුලි සන්දේශ නියාමන කොමිසම මඟින් වෙබ් අඩවි රැසක් තහනම් කිරීමයි. ලක්ෂයකට වඩා ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ අසැබි දර්ශන අඩංගු සේයා රූ එහි තිබුණා. මෙම සේයාරූ ගත්තේ කවුද? කොහොමද? සියල්ලම පාහේ ජංගම දුරකථන මඟින් ලබාගත් ඒවායි. නෙළුව,දෙනියාය මොනරාගල, තණමල්විල, මේ වගේ ඉතා දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ සේයාරූ කොහොමද මේ වෙබ් අඩවි වලට ගියේ? ඇතැම් විට මේ එක ඡායාරූපයක් රුපියල් 75 කට පමණ අලෙවි කරල තිබෙනවා.මේ වගේ ලක්ෂ ගණනක් සේයාරූ ගත්තේත් ටියුෂන් යන දරුවන්ම යි. ඒ දරුවෝ ව්‍යාපාරයක් කරගෙන යනවා.අපට කතා කිරීමටත් නොහැකි ක්‍රියා පවා මෙහිදී සිදුවී තිබෙනවා. නිදා සිටින සහෝදරියගේ ඇදුම් ටිකක් එහෙ මෙහෙ වෙනකල් රැක බලා සිට ඡායාරූප ගත කර අලෙවි කළ සහෝදරයෙක් සිටිනවා. තමන්ගේ මනැස කොතරම් ව්‍යාකූල වෙලාද? අද දිනපතා පුවත්පත්වල පළවන අපචාර ක්‍රියා ගැන ප්‍රවෘත්ති දෙස බැලීමේදි මොනවද අපට තේරුම් ගන්න තිබෙන්නේ? මේ ගැන දැන්වත් අප තදින් සිතා බැලිය යුතුයි.
දුරකථනය යක්ෂයෙක්, රාක්ෂයෙක් නොවේ. තොරතුරු තාක්ෂණය දුරස් කළ යුතු නැහැ. එහෙත් ජංගම දුරකථනය ලබා දී ඇත්තේ ශික්ෂණයක්, විනයක් ඇති දරුවන්ටද? අඩුම වශයෙන් දැනුමෙන් හෝ පෝෂණය වූ දරුවන් විය යුතුයි.
අඩු තරමෙන් දරුවකුට ජංගම දුරකථනයක් ලබාදීමට ඔහු උසස් පෙළ මට්ටමවත් පසුකරන තෙක් සිටිය යුතුයි.
සිඟාලෝවාද සූත්‍රය විමසා බැලීමේදීත් දරුවන්ගේ යුතුකම් රැඳී ඇත්තේ වයස අවුරුදු 16 ඉක්ම වූ පසුව බවයි පැහැදිලිව පෙනෙන්නේ. කුඩා දරුවන්ට වගකීම් පවරල නැහැ. දරුවකුට නිවැරදිව වගකීම් දැරීමට, යුතුකම් ඉතා හොඳින් අවබෝධ කරගැනීමට ඔහු වැඩිහිටි වයසට පත්විය යුතුයි. වයසට නොගැළපෙන ආකාරයේ වගකීම් පැවරීමත් සමඟ ලැබෙන නිදහස කොයි ආකාරයට පාවිච්චි කළ යුතුද කියා ඔහු දන්නේ නැහැ.
සරසවි අධ්‍යාපනය ලබන දරුවෙක් හොරෙන් පැනල ගිය කතාවක් අහන්න ලැබෙනව නම් ඒ 1000 කට එකකටත් අඩු ප්‍රමාණයක්. එයින් පැහැදිලියි දැනුම තිබෙන විට නිවැරැදි මඟ හඳුනන බව.
සාමාන්‍ය පෙළ ලියන වයස් මට්ටමේ සිටින දරුවන්ගේ ප්‍රධානම ලක්ෂණය තමයි යහළු යෙහෙළියන්ගේ මතයට ගරු කිරීම මේ වයසේ දරුවන් ප්‍රධාන ලක්ෂණ තුනකින් යුක්තය. එනම් අනුකරණය, කාමාස්වාදය, හා වීරාභිවාදනයයි. දුරකථනය දරුවන්ගේ අතට එන්නේ මේ වයසේදි නම් එය ඉතාම භයානකයි. අපේ මවුපියන් හිතන්නේ ‘අපි මොනවද දරුවන්ට දෙන්නේ? තෑග්ගකට සෙල්ෆෝන් එකක් දුන්නාම මොකද? ආදී වශයෙන්. මේ දැක්ම දරුවන්ගේ ජීවිත විනාශය කරා ගෙන යන බව අපේ අම්මල තාත්තල දන්නෙ නැහැ.

 2012 ක් වූ පෙබරවාරි 07 වනදා අඟහරුවාදා කලාපය

 දූ දරුවන් මේ ව්‍යසනයෙන් ගොඩ ගන්නේ කොහොමද, මවුපියන් දැනුම්වත් විය යුතු විශේෂිත කරුණු මොනවාද කියා අපි අද සලකා බලමු.


ජංගම දුරකථන හරහා තාරුණ්‍යයේ සිදුවන විනාශය තවම හරිහැටි සමාජයෙන් එළියට පෙනෙන්න පටන්ගෙන නැහැ. ආදරය, පේ‍්‍රමය තරුණ දූ දරුවන්ගෙන් වෙන් කරන්න බැහැ. කොහොම වුවත් මවුපියන් දරුවන් දැනුම්වත් කළ යුත්තේ කුමන හේතුවක් මතවත් තමන්ගේ ඡායාරූප ජංගම දුරකථන මඟින් ලබාගැනීමට කිසිවකුටවත් ඉඩ නොදිය යුතු බවටයි.

අපේ මවුපියන්ට වඩා දරුවන් ජංගම දුරකථනය සම්බන්ධව දැනුම්වත් වී සිටීම මේ ව්‍යසනයට බොහෝ දුරට හේතු පාදක වී තිබෙනවා. ජංගම දුරකථනයක් දරුවකුට අවශ්‍ය වන්නේ හදිසි පණිවුඩයක් නිවෙසට ලබා දීමට , එහෙමත් නැත්නම් මවුපියන්ට තම දුවට පුතාට හදිසි පණිවුඩයක් ලබා දීමටයි.
 යම් සමාජ දැනුමක් ඇති, අඩුම වශයෙන් උසස් පෙළ මට්ටමේවත් සිටින සිසුන්ට හැර සෙසු කුඩා දරුවන්ට ජංගම දුරකථන ලබා නොදෙන ලෙස අප පසුගිය සතියේ මවුපියන්ගෙන් ඉල්ලා සිටියා. දැන් මවුපියන්ට ප්‍රශ්නයක් පැන නඟිනවා කුඩා දරුවකුට පණිවුඩයක් ලබා දෙන්නේ කෙසේද? දරුවාට හදිසි වුවමනාවක් වුවහොත් ඔහු ඒ පණිවුඩය අම්මාට තාත්තාට ලබා දෙන්නේ කොහොමද?

අද බොහෝ දරුවන් පාසල් වෑන් රථවලින් පාසල් යන්නේ. වෑන් රථයේ රියැදුරු මහතා ළඟ නැත්නම් දරුවන් බලාගන්නා තැනැත්තිය ළඟ දුරකථනයක් තිබෙනවා. එමඟින් පණිවුඩයක් ලබා දීමට පුළුවන්. එසේම අද ලංකාවේ දුෂ්කරම ප්‍රදේශයක වුවත් කාසි දමා කතා කරන්න පුළුවන් දුරකථන තිබෙනවා. ඒ වගේම දුරකථන ඇමැතුම් ලබා ගත හැකි ඇමැතුම් මධ්‍යස්ථාන (කොමියුනිකේෂන්) තිබෙනවා. කුඩා දරුවෙකුට මවුපියන් සමඟ සම්බන්ධ වෙන්න ඒ සන්නිවේදනය හොඳටම ප්‍රමාණවත් .මවුපියන් දරුවන්ට වැඩි පහසුව සලසන්න යෑම අද විශාල විපතක් වෙලා. පාසල් යන දරුවන් තම යහළුවන්ට විහිළු කරන්න ඇතැම්විට කාසි දමා කතා කළ හැකි දුරකථන උපයෝගීකර ගන්නවා එය මවුපියන්ට පණිවුඩයක් ලබාදීමට යොදා ගැනීම අපහසු වන්නේ කොහොමද?
විදෙස් ගත වෙලා ඉන්න අම්මා, තාත්තා තමන්ගේ දුව පුතා විභාගෙ හොඳින් සමත් වුණාම එවන්නෙ ජංගම දුරකථනයක්. වැරැද්ද කරන්නෙ මවුපියන්මයි.
නිවෙසේ පරිගණකයක් නොමැතිව අන්තර්ජාලයට යෑමට නොහැකි තත්ත්වයක් මීට දශකයකට පමණ කලින් තිබුණෙ. පස්සෙ ලැප්ටොප් පරිගණක ආවා. දැන් අතේ තිබෙන ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට යන්න පුළුවන්. මවුපියන් මේ සම්බන්ධව මීට වඩා දැනුම්වත් විය යුත්තේ අන්න ඒ නිසයි.
අද විදුලි සංදේශ නියාමන කොමිසම ඇසැබිවෙබ් අඩවි තහනම් කළත් එම වෙබ් අඩවි වලට යන්න වෙනත් පාරවල් විවෘත වෙලා තිබෙනවා. අන්තර්ජාල පහසුකම් තිබෙන, අන්තර්ජාලයේ සැරිසරන දරැවන් මේ බව දකිනවා. එහෙත් වැඩිහිටියන් දන්නේ නැහැ.එතැනයි ගැටලුව මතුවී ඇත්තේ.
ජංගම දුරකථන හරහා තාරුණ්‍යයේ සිදුවන විනාශය තවම හරිහැටි සමාජයෙන් එළියට පෙනෙන්න පටන්ගෙන නැහැ. ආදරය, පේ‍්‍රමය තරුණ දූ දරුවන්ගෙන් වෙන් කරන්න බැහැ. කොහොම වුවත් මවුපියන් දරුවන් දැනුම්වත් කළ යුත්තේ කුමන හේතුවක් මතවත් තමන්ගේ ඡායාරූප ජංගම දුරකථන මඟින් ලබාගැනීමට කිසිවකුටවත් ඉඩ නොදිය යුතු බවටයි. මේ ඡායාරූප වලට තමන්ගේ ජීවිතයම විනාශකර දැමිය හැකි බව අපේ තරුණ දූ පුතුන් දන්නේ නැහැ.
එසේ ලබාගන්නා ඡායාරූප අන්තර්ජාලයට යැවීමට කටයුතු කළොත් ඒ ඡායාරූපය අයත් තරුණියට විවාහයක් කර ගැනීමට ලැබෙන්නේ නැහැ. විවාහ වුණත් යම් දිනක අන්තර්ජාලයෙන් එම ඡායාරූප දුටු දා පටන් ස්වාමිපරුෂයා සමඟ ගැටුම් ඇති විය හැකියි නේද?
මීට හොඳම උදාහරණයක් ලබා දෙන්නම්. විවාහ වී වසර හතරකට පසුව වෛද්‍යවරියකගේ විවාහය අද දෙදරා යන තත්ත්වයට පත්වෙලා. ඇයගේ ස්වාමිපුරුෂයාත් වෛද්‍යවරයෙක් කුමක්ද සිදුවෙලා තිබෙන්නේ?
මේ වෛද්‍යවරිය උසස් පෙළ හදාරන අවධියේ ඇයගේ පොතක අලවා තිබූ යම් සේයාරුවක් පැරැණි පෙම්වතා ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කර තබාගෙන ඇය විවාහ වූවාට පසුව ඇයගේ ස්වාමිපුරුෂයාට දැක බලා ගත හැකි ලෙස අන්තර්ජාලයට මුදා හැරලා. ඇය සේයාරුවක් අරගන්න අවස්ථාවක් ලබා දී නැහැ. ඇයගේ පොතක තිබූ අඟපසඟ තරමක් නිරාවරණය වූ සේයාරුවක් එසේ තමන් සතුව තබාගෙන ඉඳලා.
මවුපියන් වගේම තරුණ වයසේ දූ දරුවන් පවා මේ අවබෝධය ලබා ගත යුතුය. විශේෂයෙන්ම කිසිදු අවස්ථාවක වීඩියෝ ගත කිරීමට කිසිවකුට ඉඩ ලබා නොදීමට තරුණ දූ පුතුන් දැනුම්වත් කිරීමට මවුපියන් කටයුතු කළ යුතුයි.
එදා සහ අද උපකාරක පන්ති පිහිටා ඇති ප්‍රදේශ දෙස අවධානය යොමු කර බලන්න. පෑනක් ,පැන්සලක්, අඩිකෝදුවක්, ගන්න ඡායාපිටපත් කර ගන්න. රෝනියෝ මුද්‍රණය කර ගන්න එදා උපකාරක පන්ති අසල ඕනෑ තරම් පහසුකම් තිබුණා. අද උපකාරක පන්ති වැඩි වශයෙන් ඇති නුගේගොඩ, ගම්පහ, කිරිබත්ගොඩ, මහනුවර, කුරුණෑගල, නගර දෙස හොඳින් බලන්න. උපකාරක පන්ති අසල කුලියට නවාතැන් දෙන ස්ථාන වැහි වැහැලා. ‘කාමර කුලියට දෙනු ලැබේ’ කියන නාම පුවරු ඕනෑ තරම්. ත්‍රී රෝද රථ ගාල් ඒ අසලම තවත් පැත්තකින් ඇඳුම් අලෙවි කරන වෙළෙඳ සැල්. ජංගම දුරකථන පහසුකම් සපයන වෙළෙඳ සැල් තවත් පැත්තකින්. කෙටි ආහාර, අයිස්ක්‍රීම් අලෙවි සැල් තවත් තැනක.
මේ ආයතනවල සේවා ලබාගන්න කවුද යන්නෙ? රටේ අනාගතය භාර ගන්න ඉන්න තරුණ දූ දරුවො සිතා බලන්න. මේ ආකාරයට දිගටම කටයුතු සිදුවුණොත් රටේ අනාගතයට මොකද වෙන්නෙ? මවුපියෝ මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න ඕන.
‘ජංගම දුරකථනයක් අපේ දරුවා නම් තාම ඉල්ලුවෙ නෑ’ කියල ඇතැම් මවුපියො කියනවා. හොඳට හොයල බලන්න ඕන මේ දරු දැරියො ගැනත්. අද දරු දැරියො ළඟ දුරකථනයක් නොවෙයි සිම් කාඩ් පත් තිබෙන්නෙ. යහළුවකුගෙ දුරකථනය ඉල්ල ගෙන සිම් කාඩ් පත යොදල කතා කරනවා. ඇතැම් විට මවගේ හෝ පියාගේ දුරකථනයම අරගෙන එහි සිම් කාඩ්පත ඉවත් කරල තමන්ගෙ සිම් කාඩ්පත යොදල පණිවුඩ ලබා දෙනවා. දූ දරුවන්ගේ පොත් කවර අස්සේ, ඔවුන්ගෙ පාසල් බෑග්, ආදිය ඇතුළත හොඳින් පරීක්‍ෂා කර බැලීමට මවුපියන් වගබලා ගත යුතුයි. මවුපියන් මේ හැමදේම කරන්නේ දරුවන්ට අයහපතක් කරන්න නොවෙයි. ඔවුන්ට නොතේරුම් කාලේ, සමාජ දැනුම අඩු කාලේ වැඩිහිටියන්ගේ ආරක්‍ෂාව , සොයාබැලීම නිසිපරිදි නොලැබුණොත් විනාශ වන්නේ ඔවුන්ගේ අනාගතයයි.
එසේම මවුපියන් අනුකරණය කිරීමටත් දරුවන් නිරතුරුවම උත්සාහ ගන්නා බව අප හොඳින් මතක තබා ගත යුතුයි. අප දුරකථන ඇමැතුමක් ලබාගෙන කොපමණ වෙලා ගත කරනවාද? පණිවුඩය පසෙක තබා කෑවද? බිව්වද? මෙකි නොකී දහසක් ආගිය කතා වලින් පස්සෙ තමයි අවශ්‍ය කාරණයට යන්නෙ. කාලය නාස්ති කරනවාට අමතරව මේ දුරකථන බිල්පත් ගෙවිය යුත්තේත් තමන්ම බව අමතක වෙලා නේද? අප දරුවන්ට ආදර්ශමත් වන්නේ කෙසේද?
දුරකථනයෙන් කතා කළ යුත්තේත් වචනයේ සංවරකමත්, කාලයේ වටිනාකම ගැන හැඟීමත් ඇතිවයි.අප තුළ විනය හා හික්මීමේ අඩු පාඩු තිබේ නම් දරුවන් තුළ ශික්ෂණයක් ඇති කරන්නේ කොහොමද? මේ ගැනත් කල්පනා කළ යුතුයි.
දරුවන්ට කිරි වීදුරුවක් බොන්න. බිස්කට් එකක් කන්න තිබෙන මුදලට විදින සංස්කෘතියක් බිහිවෙලා. රුපියල් විස්සටත් රීලෝඩ්, ටෙලිෆෝන් කාඩ් තිබෙනවා. ඒ විතරක් නොවෙයි ණයටත් කතා කරන්න පහසුකම් තිබෙනවා. මුළු රටම ණයකාරයො කරලා.
අද ඇතැම් එෆ්. එම් . නාළිකා ප්‍රශ්නවලට පිළිතුරු දෙන ජයග්‍රාහකයන්ට තෑගි හැටියට දෙන්නෙ රීලෝඩ් . එහෙමත් නැත්නම් වෙළෙඳ සැලක පළමු ගනුදෙනුකාරයන්ට දෙන්නෙ රීලෝඩ්. මුළු සමාජයම නොපෙනෙන භයානක තත්ත්වයකට පත්වෙලා.
තමන්ගේ දරුවන් ගැන නිරතුරුවම විමසිලිමත් වුණොත් මවුපියන්ට දූ දරුවන් හදා ගන්න එක අමාරු වැඩක් නොවෙයි. එහෙම වුණොත් සන්නිවේදනයෙන් නියම ප්‍රතිඵල අපට ලබාගන්න පුළුවන්.ගුණධර්ම හඳුනන පරපුරක් සහිත නියම සෞභාග්‍යමත් රටක් බිහිවන්නේ එවිටයි.

 ශාස්ත්‍රපති
දොඩම්පහළ
ශ්‍රී රාහුල හිමි







බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපි දෙකකින් උපුටා ගැනිමකි

අනවශ්‍ය දේ ඉවත් කරන්න ජීවිතයට ඉඩ දෙන්න

බහුභාණ්ඩික බව කියන්නේ අනවශ්‍ය දේ ඉවත් කිරීම මිසක් උපභෝග පරිභෝග වස්තු සම්පත් එකතු කිරීම නොවෙයි. තමන්ට අවශ්‍ය කරන ජීවිතය පහසු කර ගැනීම සඳහා යම් යම් දේ එකතු කරගන්නවා කියන දේ නෙවෙයි
බුදුහාමුදුරුවෝ බහුභාණ්ඩිකභාවය ප්‍රතික්ෂේප කරලා තිබෙන එක ඇත්ත. නමුත් බුදුහාමුදුරුවන්ගේ දේශනා නිසා රටවල් සංවර්ධනය වෙන්නෙ නෑ කියන තර්කය ගේන්න මෙකී බහුභාණ්ඩික ප්‍රතික්ෂේපිතය කෙනෙක් යොදා ගන්න පුළුවන්. ඒ අනුව බහුභාණ්ඩික බව කියන්නේ භෞතික සම්පත් එකතු කිරීම. භෞතික සම්පත් එකතු කරන්න වෙන්නෙ භෞතික සම්පත් නිෂ්පාදනය වුණොත්. භෞතික සම්පත් නිෂ්පාදනය වෙන්නේ කර්මාන්තශාලා තිබුණොත්. කර්මාන්තශාලා තිබුණොත් තමයි, රැකියා ඇති වෙන්නෙ. රැකියා ඇතිවුණොත් තමයි මිනිසුන්ගෙ ආර්ථිකය සංවර්ධනය වෙන්නෙ.
ඒ අනුව මිනිස්සු භාණ්ඩ පාවිච්චි නො කොළොත්, බඩු නො තිබුණොත් මිනිස්සු මිලදී ගැනීම් සිදු කරන්නෙ නැහැ. මිලට ගන්න දෙයක් නැහැ. බඩු තිබෙන්න කර්මාන්තශාලා තිබිය යුතුයි. එවිට රැකියා තිබෙනවා. එසේනම් ඒක එහෙම වෙන්නෙ නැත්තේ මේ වගේ රටවල් දියුණු නොවෙන්නෙ බුදුහාමුදුරුවන්ගේ අනිත්‍ය සංකල්පය බහුභාණ්ඩිකභාවය ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ අනුව

 1. භෞතික ලෝකය ප්‍රතික්ෂේප කිරීම
2. දුක ගැන පමණක් කීම.
3. ලෝකයෙහි සැපක් නැතැයි කීම.
4. සමස්ත ලෝකයම දුකෙහි පිහිටා තිබේ යැයි කීම. 

යන කාරණා නිසා පෙරදිග ලෝකයේ දියුණුව මන්දගාමියි. බුදුරදුන් සීමිත ලෙස පාරිභෝගික භාණ්ඩ භාවිතය අනුමත කර ඇත්තේ, යතිවරයන්ට, මුනිවරයන්ට සහ සංඝ ශාසනයට මිසක් ගිහි ජනතාවට නෙමෙයි. සංඝ ශාසනයට දේශනා කළ දේශනා ගිහියෝ තමන්ට රුචි ආකාරයට එය තම තමන්ට අදාළ කරගත්තට කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ ගිහියන්ට විවාහ වෙන්න එපා කියලා නැහැ. “ අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි” කිව්වේ ගිහියන්ට නෙවෙයි. සිල් සමාදන් වුණ සිල්වතුන්ට හා හාමුදුරුවන්ටයි. මෙම දේශනා ගිහියෝ බලහත්කාරයෙන් තමතමන්ට ආරෝපණ කර ගැනීම වැරැදි සම්ප්‍රදායක්.

බණ දේශනා කළ යුත්තේ හාමුදුරුවරු මිසක් ගිහියෝ නෙමෙයි. බහුභාණ්ඩිකභාවය ප්‍රතික්ෂේප කළ යුත්තේ හාමුදුරුවරු, ගිහියෝ නෙමෙයි. සිල් රැකිය යුත්තේ ගිහියෝ නෙමෙයි. හාමුදුරුවරු. කර්මස්ථාන ගැන බවුන් වඩන්න ඕනෑ හාමුදුරුවරු.
බුදුරජාණන් වහන්සේගේ දේශනා කවුරුන් උදෙසාදැයි සොයා බැලිය යුතුයි. බුදුරදුන් පැවිද්දන්ට දේශනා කළේ කමටහන් ලබාගෙන ආරණ්‍යගත නිවන් දැකීමේ අභිලාෂයෙන් කාලය ගත කරන්නයි.
සිඟාලෝවාද, ධම්මික, ව්‍යග්ඝපජ්ජ ආදී සූත්‍ර දේශනා බුදුරදුන් දේශනා කළේ ගිහියන්ට එහි කිසිඳු ස්ථානයක සල්ලි උපයන්න එපා කියලා බුදුරදුන් ගිහියන්ට උපදෙස් දීලා නැහැ. බහුභාණ්ඩික වෙන්න එපා කියලා නැහැ. දරුමල්ලො හදනකොට ඒ ගැන අනිත්‍ය කල්පනා කරගෙන බවුන් වඩමින් ඉන්න කිව්වේ නැහැ. බුදුරදුන් දේශනා කළ ධර්ම කාරණා ගිහියන්ටත් පැවිද්දන්ටත් වෙනස් වෙනවා. ගිහියන්ට දේශනා කළ දේ පැවිද්දො බාරගත් විටත්, පැවිද්දන්ට දේශනා කළ දේ ගිහියො බාර ගත්විටත් ගැළපීමක් නැහැ.
 බහුභාණ්ඩික යන්නෙහි තේරුම ගොඩක් තබා ගැනීම නොවෙයි. එකක් ඕනවට වඩා තබා ගැනීමයි. බුද්ධ කාලයේ බහුභාණ්ඩික කියලා භික්‍ෂූන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට ලැබෙන සිවුරු උන්වහන්සේ කාටවත් දෙන්නෙත් නැහැ. පාවිච්චි කරන්නෙත් නැහැ. භික්‍ෂු නමක් සිවුරකුයි, හැන්දකුයි, කෝප්පයක්, පිඟානක් තබා ගැනීම බහුභාණ්ඩික බව නෙමෙයි. අනවශ්‍ය බඩු ගොඩ ගසා ගැනීම බහුභාණ්ඩිකභාවය යි.
ජපන්නු ‘ එස් පහ’ සංකල්පය ඉදිරිපත් කරන්න පෙර බුදුහාමුදුරුවොත් වැඩකට නැති දේවල් ඉවත් කරන්න උපදෙස් දීලා තිබුණා.
බහුභාණ්ඩික බව කියන්නේ අනවශ්‍ය දේ ඉවත් කිරීම මිසක් උපභෝග පරිභෝග වස්තු සම්පත් එකතු කිරීම නොවෙයි. තමන්ට අවශ්‍ය කරන ජීවිතය පහසු කර ගැනීම සඳහා යම් යම් දේ එකතු කරගන්නවා කියන දේ නෙවෙයි.
උදාහරණයක් ගත්තොත් කෙනෙක් ළඟ එකම කරුණු අන්තර්ගත පොත් කිහිපයක්ම තිබෙනවා තව අයෙක් ළඟ එකක් වත් නැතිනම් ඒ තුළ පවතින්නේ බහුභාණ්ඩිකභාවය සිදු කරන බලපෑමක්. බුදුරදුන් ගිහියන්ට සල්ලි උපයන්න එපා කිව්වෙ නැහැ. සීමිතව හම්බ කරන්න, එක ගෙයක් තබා ගන්න, දරුමල්ලො සීමිතව හදන්න කිව්වෙ නැහැ. එපමණක් නොවේ බුදුරදුන් සෑම ගිහි පුද්ගලයෙකුටම දේශනා කළේ හම්බ කරන්න ඉතිරි කරන්න ව්‍යාපාර සංවර්ධනය කරන්න කියලයි.
ධම්මපදට්ඨ කථාවේ සඳහන්වන බහුභාණ්ඩික භික්‍ෂුව පිළිබඳ අධ්‍යයනය කරන්න. සිවුරු ගොඩ ගසාගෙන ඉන්නවා. අනෙක් භික්‍ෂුන්ට සිවුරු නෑ. මොහු ළඟ සිවුරු වැඩියි. ධනේෂ්වර ආර්ථික ක්‍රමය අධ්‍යයනය කරන්න. ධනේශ්වර ආර්ථිකය ප්‍රතික්ෂේප කිරීම තමයි, “බහුභාණ්ඩිකභාවය” කියන්නේ. ධනේශ්වර ආර්ථිකය තුළ තමයි බහුභාණ්ඩිකභාවය පිළිබඳ තර්කයක් නිර්මාණය කරන්න ඕනෑ. තර්කයක් නිර්මාණය කිරීමට පෙර බහුභාණ්ඩිකභාවය පිළිබඳව නිර්වචනයක් ඉදිරිපක් කළයුතු වෙනවා.
බහුභාණ්ඩිකභාවය යනු තමන්ගේ යැපීමට හෝ නඩත්තුවට ප්‍රමාණවත් නැති තරමට භාණ්ඩ නැති කර ගෙන දුගී භාවයට පත්වීම නොවේ. එසේනම් යැපෙන්න ප්‍රමාණවත් තරමට තබාගෙන අතිරික්ත ධන සම්පත්තිය ගොඩගැසීම හා එකී අතිරික්ත ධන සම්පත්තීන් තව කෙනෙකු උදෙසා භාවිත කිරීමට ඉඩකඩ නොදීම බහුභාණ්ඩික භාවයයි. ඒ නිසයි බහුභාණ්ඩිකභාවය ප්‍රතික්ෂේප කළයුත්තේ.

 මහාචාර්ය
ඉඳුරාගාරේ
ධම්මරතන හිමි
සංස්කෘත අධ්‍යයන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය





 ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ පෙබරවාරි 07 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

නිවන් මගෙහි පිවිසුම ශ්‍රද්ධාවයි



ශ්‍රද්ධාව වපුරන්නාට බීජය මෙන් බුදුරදුන් වදාළ මඟ යන්නාට ඵලදායක වෙනවා. ශ්‍රද්ධාව, ප්‍රඥාව සමඟ සමගාමී විය යුත්තකි. කේවල ශ්‍රද්ධාව, හුදු පැහැදීම බුදුදහම හඳුන්වන්නේ අමූලිකා ශ්‍රද්ධාවයි. බුදුදහම අගය කරන්නේ, අමූලිකා ශ්‍රද්ධාව ඉක්මවා විචාර පූර්වකව, කරුණු සහිතව ප්‍රඥා මූලිකව උපදවා ගන්නා ශ්‍රද්ධාවයි. එය ආකාරවතී ශ්‍රද්ධාවයි


ඇදහිලි, විශ්වාස, පුද සිරිත් බුදු දහමේ අර්ථය සමඟ ගැළපෙන්නෙ නැහැ. බුදුරදුන්, ඇදහිල්ල, විශ්වාසය, භක්තිය පිටු දකිමින් ශ්‍රද්ධාව අගය කළා. නිවන් මගේ පිවිසුම ශ්‍රද්ධාවයි. බුදුබණ අසා සැදැහැ උපදවන්නා ශීල සමාධ්‍යාදී පිළිවෙත් මාර්ගයට පිවිසෙන හැටි පෙළ දහමෙහි සඳහන් වෙනවා.

“සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලහති”

කෝප ගින්න මිනිස් සිතට වින කරයිද?



මිනිසා අධ්‍යාත්මිත වශයෙන් ද ශාරීරික වශයෙන් ද රෝගියෙකු බවට පත් කරවන බරපතල ද්වේෂය විෂ බීජයක්. එය සිතෙහි ක්‍රියාත්මක වූ විට ශරීරයේ සිදුවන රසායනික ක්‍රියාවලිය මඟින් ශරීරයට හානි ඇති කරවනවා. ආහාර ජීර්ණ පද්ධතියට රුධිර පීඩනයට හෘද ස්පන්දනයට, ආමාශයේ තුවාලවලට එය හේතු වෙනවා. මෙනිසා ද්වේශය, තරහව මිනිසා මානසික වශයෙන් සේම ශාරීරික වශයෙන්ද රෝගියෙකු කරන බරපතල වූ අකුසල සිතිවිල්ලක්. කිසියම් අවස්ථාවක ඔබට කේන්ති ගිය විට ඉක්මනින් ඔබේ මූණ කණ්ණාඩිය තුළින් බලන්න

අප සෑම පුහුදුන් මිනිසකු තුළම තිබෙන දුර්වල මානසිකත්වයන් අතරින් එකක් වන්නේ තරහ ගතියයි. නැති නම් ද්වේශයයි. එය නිවනට අවහිරතා ඇති කරන පංචනීවරණය යටතේ ව්‍යාපාදය ලෙසින් හඳුන්වනවා. මෙය ද්වේශය, ක්‍රෝධය, කෝපය, වෛරය, බද්ධ වෛරය, යන විවිධ නම්වලින් හඳුන්වන්න පුළුවන්. කෙසේ හැඳින්වුවත් ද්වේශය අතිශයින් බියකරු විනාශකාරි සිතිවිල්ලක්.

මෙය විවිධ ස්වරූපයන්ගෙන් ද ක්‍රියාත්මක වන අතර පහසුවෙන් හඳුනාගත නො හැකියි. කවර ආකාරයට ක්‍රියාත්මක වුවත් ද්වේශය මිනිසා නො මිනිසෙකු කරන, තම සිතත් ගතත් ලොව දෙකම එකවර විනාශ කරන මෙ ලොව මෙන්ම පරලොව ජීවිතය ද නටබුන් බවට පත් කරන අන්තරාදායක සිතිවිල්ලක්.
ඉතා සුළු කෙලෙස් සිතිවිල්ලක් ලෙසින් මෙය සිතෙහි ආරම්භ වී සිතෙහිම වැඩී ශක්තිමක් වී තමන්ට මෙන් ම මුළු මහත් සමාජයට ම සිදු කරන අයහපත විශාලයි. ඉවසීමක් නැති අපගේ් සිත තුළ එය පහසුවෙන්ම පෝෂණය වෙනවා. බොහෝ ප්‍රශ්න ගැටුම් ඇතිකර මේ ද්වේශයට කිසිදින අපි පි‍්‍රය නො කළ යුතුයි.

පෘථග්ජන අප කා තුළත් ද්වේශය තිබෙන්නේ මුල් බැසගෙන ගෙනයි. ඒ නිසා ම ඒ පිළිබඳ නිරන්තර අවධානයක් යොමුකළ යුතුයි. සිතක ද්වේශය ඇති වන්නට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එයින් පළමු වැන්න දැඩි මමත්වයයි. මමත්වය වැඩි තරමට ද්වේශය ප්‍රබලයි. දෙවැන්න නම් අනවශ්‍ය අපේක්ෂාවන් හා බලාපොරොත්තුයි. අපේක්ෂාවක් වැඩි වූ තරමට අපේක්ෂා භංගත්වයට මුහුණදීමේ ඉඩද වැඩියි.
මෙසේ මමත්වයෙන් යුතු ව භෞතික ලෝකය පිළිබඳ ව අනවශ්‍ය ලෙස අපේක්ෂාවන් ඇති කරගෙන සිටින පුද්ගලයාට ඒ අපේක්ෂාවන් කඩා වැටෙන විට ඇති වන්නේ තරහ ගතියක්. සිතේ තිබෙන මමත්වය නිසා ඔහු සිතන්නේ ලොව සියල්ල තම කැමැත්ත පරිදි ම සිදුවිය යුතුමයි කියා. නමුත් ලෝකයේ බොහෝ විට දක්නට ලැබෙන්නේ සිතු දේ නොවී නො සිතු දෙයක් සිදුවන ස්වභාවය. යමෙක් මේ ධර්මතාව සිතට ගෙන ලෝකය හා කටයුතු කරන විට සිතු දේ සිදු නො වන අවස්ථාවක එයට එරෙහිව අනවශ්‍ය දුකක් හෝ තරහ ගතියක් ඇති කර ගන්නේ නැහැ.
මේ ලෝකයේ පවතින කිසිවක අපට අවශ්‍ය ලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ. එය ලෝක ස්වභාවයක්. නමුත් අප සිතන්නේ ඒ සියල්ල අපට අවශ්‍ය පරිදි ම පැවැතිය යුතුයි කියා. අපට සීතල අවශ්‍ය වෙලාවකදී රස්නය දැනුණොත් අප රස්නය සමගින් තරහ ගන්නවා. රස්නය අවශ්‍ය මොහොතක සීතල දැනුණොත් සීතල සමග තරහ ගන්නවා. අද දවස හොඳට පායන්නට ඕනෑ යයි සිතන අවස්ථාවක වැසි වැස්සොත්, වැස්ස සමග තරහ ගන්නවා. මෙලෙසින් භෞතික සම්පත් හමුවේ ද තම දරුවන්, ස්වාමි භාර්යාවන්, දෙමාපියන්, ගුරුවරුන්, සිසු සිසුවියන් ආදී වශයෙන් සමාජයේ ජීවත්වෙන සෑම දෙනාගේම අප බලාපොරොත්තු වන දේ නො ලැබුණොත් ඒ සමග උරණ වෙනවා. තරහ ගන්නවා. එසේ වන්නේ මමත්වය සහ අපේක්ෂාවන් ප්‍රබල ව ක්‍රියාත්මක කරන්නට යාම නිසයි.
මේ තත්ත්වය මත දිගින් දිගට ම කටයුතු කිරීම තුළින් සිදුවන්නේ සමාජයේ අනවශ්‍ය ගැටුම් ඇති වීමයි. තම සිතෙහි පවතින ද්වේශය නැති කර ගැනීමට නම් ඒ ද්වේශය පිළිබඳ නිසි අවබෝධයක් ලබාගත යුතුයි. එහි ස්වභාවය එය ඇති වීමට හේතුව, එය ඇති වූ පසු සිදුවන හානිය කුමක්දැයි කියා විමසිය යුතු වෙනවා.
ද්වේශයෙන් සිත අඳුරු වෙන විට තමා කරන දේ පවා තමාට තේරෙන්නේ නැහැ. එයින් තමන්ටත් අනුන්ටත් වන හානිය විශාලයි. සාමාන්‍ය ගෘහ ජීවිතයේ දී විශේෂයෙන් මෙය තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. ද්වේශයෙන් ඇතැම් අය එකිනෙකා සමග රණ්ඩු සරුවල් වනවිට, බැන ගන්නා විට මොන තරම් පහත් වචන කථා කරනවා ද? ඒ තුළ තමන්ගේ වැදගත්කම් ගිළිහී තමන් සමාජයේ නො වැදගත් පුද්ගලයෙකු වෙනවා. ඇතැම් අවස්ථාවලදී තම සිතෙහි කෝපය ආවේගයක් ලෙසින් ආවිට එය පාලනය කළ නොහැකිව තමන්ගේ ම ගෙවල්වල තිබෙන පිඟන් කෝප්ප පොළොවේ ගැසීම, ගෘහ භාණ්ඩ කඩා දැමීම, ගුටිබැට හුවමාරුව වැනි ක්‍රියාවන් කරන්නට පෙළඹෙන අවස්ථා ද අප දැක තිබෙනවා. ඒ කටයුතුවලදී අනුන්ට මෙන්ම තමන්ට ද සිදු වන්නේ මහත් හානියක්. ආර්ථික පැත්තෙන් මෙන්ම අධ්‍යාත්මිත පැත්තෙන්ද වන්නේ විනාශයක්.
මිනිසා අධ්‍යාත්මිත වශයෙන් ද ශාරීරික වශයෙන් ද රෝගියෙකු බවට පත් කරවන බරපතල ද්වේෂය විෂ බීජයක්. එය සිතෙහි ක්‍රියාත්මක වූ විට ශරීරයේ සිදුවන රසායනික ක්‍රියාවලිය මඟින් ශරීරයට හානි ඇති කරවනවා. ආහාර ජීර්ණ පද්ධතියට රුධිර පීඩනයට හෘද ස්පන්දනයට, ආමාශයේ තුවාලවලට එය හේතු වෙනවා. මෙනිසා ද්වේශය, තරහව මිනිසා මානසික වශයෙන් සේම ශාරීරික වශයෙන්ද රෝගියෙකු කරන බරපතල වූ අකුසල සිතිවිල්ලක්. කිසියම් අවස්ථාවක ඔබට කේන්ති ගිය විට ඉක්මනින් ඔබේ මූණ කණ්ණාඩිය තුළින් බලන්න. එවිට ඔබ එක මොහොතක් හෝ එම තරහ සිතිවිල්ලට ඉඩක් ලබාදෙන්නේ නැහැ.එය එතරම්ම බියකරුයි. තමාට තමා එපාකරවන සුළුයි.
අප සිතෙහි ඇතිවන ද්වේශය පාලනය කිරීමට නම් ද්වේශයෙහි ඇති ආදීනවය දැකිය යුතුයි. ඕනෑම දෙයක නරක පැත්ත දකින විට ඒ පිළිබඳව සිතෙහි ඇති වන්නේ කලකිරීමක්. එපාවීමක්. එසේ කලකිරීම වැඩිවන විට අත්හරින්න කැමැති නම් ඒ පුද්ගලයාට ද්වේශය දුරුකර ගන්න පහසුයි.
භාග්‍යවතුන් වහන්සේ වදාළා ක්‍රෝධය නැති කිරීමට අක්‍රෝධය දියුණු කරන්න කියා. ඒ වගේම ද්වේශය ප්‍රහාණය කිරීම පිණිස මෛත්‍රිය වඩන්න කියා. පළමුව තමාට මෛත්‍රිය වැඩිය යුතුයි. තමාට තමා මෛත්‍රිය වඩන්නේ නම් ඔහු කිසිදා තම සිත කිළිටි වෙන ලෙසට නරක සිතිවිලි සිතෙහි තැන්පත් කර ගන්නේ් නැහැ. දෙවනුව අන් අයට මෙත් සිත පැතිරවිය යුතුයි.
අනුන්ගේ ක්‍රියාකාරකම් නිසා තමන්ගේ සිතෙහි ඇතිවන අකුසල සිතිවිල්ලට වගකිවයුත්තේ තමන්මයි. අසවලා මට ගැසුවාය, මට බැන්නාය මාව පරාජයට පත් කළාය ආදී වශයෙන් සිතමින් වෛරය තවත් ශක්තිමත් නොකර ඉවසීමෙන් මෛත්‍රියෙන් ඒ සිතිවිලි පාලනය කරන්න. එකට එක කිරීම තුළින් වෛරය කිසිදින සංසිදවීමක් සිදුනොවන බව තේරුම් ගෙන ඉවසීමෙන් ලැබෙන සැනසීම කෙතරම්ද කියා අත්විඳ බලන්න.

 ශාස්ත්‍රපති
තලල්ලේ චන්දකිත්ති හිමි








 
ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ පෙබරවාරි 07 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

අතැර සසර නැවැතුම වෙත



පුද්ගලයා සසර සැරිසරවන සියලු අකුසල කර්ම ‘වජ්ජ’ යි භවගාමි කර්ම යන්නට කුසල් අකුසල් දෙකම ගැනේ. කුසල්වලින් පුද්ගලයාගේ සසර ගමන කෙටි කොට ඔහු නිවනට ළං කරයි. ඒ නිසා කුසල් ‘වජ්ජ’ ගණයට අයත් නොවේ

චත්තාරෝ මේ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානො ලොකස්මිං. කතමෙ චත්තාරො? සාවජ්ජො වජ්ජ බහුලො අප්පවජ්ජො අනවජ්ජෝති. (අංගුත්තර නිකාය – චතුක්ක නිපාත)

පින්වත්නි දිනක් බුදු හාමුදුරුවෝ භික්‍ෂූන් අමතා වදාරනවා මේ ලෝකයේ පුද්ගලයන් සතර දෙනකු සිටින බව . ඔවුන් සතර දෙනා මෙසේයි.

1. සාවජ්ජ පුද්ගලයා  (වැරැදි සහිත තැනැත්තා)

2. වජ්ජ බහුල පුද්ගලයා  (වැරැදි බහුල තැනැත්තා)

3. අප්ප වජ්ජ පුද්ගලයා (වැරැදි අල්ප තැනැත්තා)

4. අනවජ්ජ පුද්ගලයා   (වැරැදි නොමැති තැනැත්තා)

ඉහත සඳහන් පුද්ගලයන් සිවුදෙනාම ජීවත් වන්නේ අප අතරමයි මේ පුද්ගලයන් පිළිබඳ විස්තර කෙරෙන විට ඔබ අයිති වන්නේ මොවුන්ගෙන් කවර පුද්ගල කොට්ඨාසයටද යන්න ඔබටම වටහා ගත හැකියි. මොවුන්ගෙන් පළමුවැනි හෝ දෙවැනි පුද්ගල කොටසට ඔබ අයත් නම් ඔබට සතුටු විය නො හැකියි.තෙවැනි පුද්ගල කොටසට ඔබ අයත් නම් බොහෝ දුරට සතුටු විය හැකි වුවත් එම සතුට සම්පූර්ණ නොවේ. ඔබ සිවුවැනි පුද්ගල කොට්ඨාසයට අයිති නම් පමණකි ඔබට සම්පූර්ණ සතුටක් භුක්ති විඳිය හැක්කේ. එම නිසා මේ ලිපිය කියවා සම්පූර්ණ සතුටක් මේ භවයේදීම හෝ අනතුරු භවයකදී ලැබීමට උත්සාහ දැරීම ඔබගේ පරම යුතුකමයි.
පෙර කී පුද්ගලයන් සිවු දෙනා ගැනම හැඳින්වීමේදි මෙහි ‘වජ්ජ’ යන වදන භාවිත වෙයි. ‘වජ්ජ’ නම් අකුසල ධර්මයි. මේ පදය නිර්වචනය කරන අටුවාචාරීන් වහන්සේ ‘සබ්බෙ කිලේසා දුච්චරිතා අභිසංකාරා සබ්බේ භවගාමි කම්මං වජ්ජං’ යනුවෙන් දක්වති. සියලු කෙලෙස්, සියලු දුසිරිත්, සියලු අකුසල් ‘වජ්ජ’ නම් වන බව මින් පැහැදිලි කරති. කෙටියෙන් සඳහන් කරන්නේ නම් පුද්ගලයා සසර සැරිසරවන සියලු අකුසල කර්ම ‘වජ්ජ’ යි භවගාමි කර්ම යන්නට කුසල් අකුසල් දෙකම ගැනේ. කුසල්වලින් පුද්ගලයාගේ සසර ගමන කෙටි කොට ඔහු නිවනට ළං කරයි. ඒ නිසා කුසල් ‘වජ්ජ’ ගණයට අයත් නොවේ. එහෙත් අර්හත් ඵලයට පත් වන්නා කුසල් අකුසල් යන සියලුම කර්ම ක්ෂය කළ යුතු ය. පින්වත්නි, කුසල් අපට අවශ්‍ය වන්නේ සසරින් එගොඩ වීමට පමණයි. එය හරියට පාරුවක් වැනියි. ගඟකින් එගොඩ වන්නට පාරුවකට නැඟී එගොඩට යන්න අවශ්‍යයි. ඉන් පසු අප එය කරතබාගෙන යන සිරිතක් නැත. ඒ ආකාරයට අරහත් ඵලයට පත්වීමෙන් පසු භවගාමී කර්ම සිදුවීමක්ද නැත.
පෙර සඳහන් කළ ආකාරයට අප කරන සියලුම භවගාමි අකුසල කර්ම වජ්ජ හෙවත් වැරැදි ක්‍රියායි. එම ක්‍රියා , කය, වචනය, සහ සිත යන තිදොරින් සිදු කරන බව බුදුන් වහන්සේ පෙන්වාදී තිබේ.මේවා කායික, වාචසික, මානසික වජ්ජ නමින් හැඳින්වේ. එම වැරැදි හෙවත් අකුසල් කළ පුද්ගලයා සසර මහ සයුරෙහි ගසාගෙන යමින් අනාදිමත් කාලයක් දුක් ගැහැට විඳිමින් සැරිසරයි. ‘ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සාවජ්ජේන කාය කම්මේන සාවජ්ජේන වචී කම්මේන සාවජ්ජේන මනො කම්මේන සමන්නාගතො හොති’ යනුවෙන් වදාළේ ඒ බවයි. අප කරන කියන සහ සිතන අකුසල කර්ම මෙන්ම කුසල කර්මද සිදු කරන්නේ මේ තුන් දොරෙනි. ප්‍රාණඝාත, අදත්තාදාන, හා කාමමිථ්‍යාචාර යන අකුසල් තුන කයෙනුත් මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච සහ සම්ඵප්පලාප, යන අකුසල් සතර වචනයෙනුත් අභිධ්‍යා (විසම ලෝභය) ව්‍යාපාද, (ද්වේෂය) සහ මිථ්‍යා දෘෂ්ටි යන අකුසල තුන සිතෙනුත් සිදු කරති. මේ දස අකුසල් වජ්ජයි. පාප කර්ම යනුවෙන් ද නම් කරන්නේ මේවායි. මේවා කරන්නා හඳුන්වන්නේ බාලයා හෙවත් මෝඩයා කියායි.
’දිට්ඨ ධම්මික සම්පරායික සංඛාතෙ ද්වේ අනත්ථෙ දේවදත්ත කොකාලිකාදයො ලාති ආදදාති බාලො “ යන්නෙන් මෙලොවෙන් හා පරලොවෙන් වන්නා වූ ද්විවිධ අනර්ථයන් දේවදත්ත කෝකාලික ආදි පාපතර තෙරවරුන් මෙන් තමා වෙතට ළං කර ගන්නා තැනැත්තා බාලයා බව කියැවෙයි. බාලයා මෙලොව යහපතත් පරලොව යහපතත් දෙකම විනාශ කර ගන්නෙක් වෙයි. තවත් විග්‍රහයකට අනුව ‘අත්ථත්ථ පරත්ථ සංඛාතෙ ද්වේ අත්ථෙ ලුණාති ඡින්දති ඛාලො’ යන්නෙන් කීවේද අත්වැඩ පරවැඩ යන උභයාර්ථයම විනාශ කරගත් පුද්ගලයා බාලයා බවයි. බාලයා ඇසුරු නොකළ යුතු බව ‘අසෙවනාච බාලානං’ යන්නෙන් බුදුන් වහන්සේ විසින් මංගල සූත්‍රයේදී දේශනා කරනු ලැබ තිබේ. මෝඩයා නුවණැත්තකු කිරීමේ අදහසෙන් ඔහු කෙරෙහි දයාවෙන් ඇසුරු කිරීම වරදක් බව මෙයින් නොකියැවේ. පුහුදුන් අප අතර වැඩි දෙනකු මෝඩයන් බව ‘දන්ධාබහු ‘ යනුවෙන් බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. ‘යානි කානිචි භික්ඛවෙ භයානි උජ්පජ්ජන්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො ‘ යන පාඨයෙන් බුදු හිමියන් පෙන්වා දුන්නේ කිසියම් බියක්, විපතක් පිරිසකට, රටකට ලෝකයට හෝ පුද්ගලයකුට ඇති වන්නේ නම් ඒ සියල්ල ඇති වන්නේ බාලයා නිසාය යනුවෙනි. එදත් අදත් කවදත් මිනිසුන් අතර කිසියම් විපතක් ඇති වුණා නම් ඒ ඇති කළ අය මෝඩ, බාල අසද් පුරුෂයන්ය. මේ අනුව, ප්‍රාණඝාතාදි වැරැදි ක්‍රියා සිදු කරන්නේ බාලයා බව පෙන්වා දුන් බුදුහිමියෝ එම පුද්ගලයා සාවජ්ජ (වැරැදි සහිත) තැනැත්තා බව දේශනා කළහ.
දෙවනුව උන්වහන්සේ හඳුන්වා දුන්නේ වජ්ජ බහුල පුද්ගලයාය.ඔහු තුළ ඉහත කී වැරැදි අධිකයි.අප පාපතර පුද්ගලයන් යැයි හඳුන්වන්නේ මෙබඳු අයයි. එහෙත් මොහු පවා කලාතුරකින් පිනක් දහමක් කරයි. එහෙත් ඔහු බහුල වශයෙන් කරන්නේ පාප ක්‍රියාවන්ය. වර්තමාන අපේ සමාජයේ වැඩි දෙනකු වජ්ජ බහුල පුද්ගලයන් බව සඳහන් කළ හැකියි. අද සොරකමෙන් , බොරුවෙන්, හා වංචාවෙන් තොරව අසවල් රැකියාව කරනවා යැයි කිය හැකි පුද්ගලයන් සොයා ගැනීම කළුනික සෙවීමක් වැනිය. එදා ගොවිතැන, වෙළෙඳාම රජයේ සේවය සහ ගෘහ කර්මාන්තය වැනි ජීවිකා වෘත්ති ධාර්මික රැකියා වශයෙන් පිළිගෙන තිබුණත් අද මේ සියල්ලක්ම පාහේ එහි නියුක්ත වූවන් වැඩි දෙනකුගේ අධාර්මික ක්‍රියාකලාප නිසා නිවැරැදි මාවතෙන් පිට ගොස් ඇත.ගොවිතැන වුවද වැරැදි බහුල පුද්ගලයන්ගේ වැරැදි භාවිත නිසා යහපත්ව, දැහැමි ලෙස සිදුවන්නේ නැතැයි වැටහේ. මෙවැනි වජ්ජ බහුල පුද්ගලයන් පිනකට දහමකට යොමු වන්නේ සිය කැමැත්තෙන් නොව අනුන්ගේ පෙළඹවීමෙනි. ඔවුන්ගේ අරමුණ මනුෂ්‍යයාගේ සිට සෑම සත්වයකුටම හිරිහැර කොට හෝ මරා දමා හෝ ක්‍රම ක්‍රමයෙන් මැරෙන්නට හේතු වන හෝ කූඨ උපක්‍රමවලින් මිල මුදල් රැස් කිරීමයි. මෙබඳු වැරැදි බහුල පුද්ගලයා ‘ලෝකීය පෘථජ්ජනයා’ යනුවෙන්ද හඳුන්වයි.
තුන්වැනුව බුදුන් වහන්සේ හඳුන්වා දුන්නේ අල්ප වජ්ජ හෙවත් වැරැදි අඩු පුද්ගලයායි. විශේෂයෙන් සෝවාන්, සකෘදාගාමි සහ අනාගාමි යන මාර්ගඵලවලට පත් පුද්ගලයන් අල්ප වජ්ජ යන්නෙන් මෙහි දැක්වෙයි. මේ අය අපාගත වන කිසිම පාප ක්‍රියාවක් නො කරති. එහෙත් සිතින් වැරැදි මොවුන්ගෙනුත් සිදු වේ. තෘෂ්ණාව ආදි කෙලෙස් මේ අය තුළත් දුරු නොවීම සිතෙන් වැරැදි කිරීමට ඇති හේතුවයි. මාර්ග ඵලලාභි නොවන අල්ප වජ්ජ පුද්ගලයන්ද සිටිය හැකියි. ඒ අය කය, වචනය සංවර කරගෙන සම්පත්ත විරති වශයෙන් අවස්ථානුකූ®ලව කායික, වාචසික වැරැදි වලින් වැළැකී හෝ සමාදාන විරති වශයෙන් ශික්‍ෂා පද සමාදන් වීමෙන් වැරැදි වලින් වැළැකී හෝ සිටින අයයි. මාර්ග ඵලයක් ලබන්නට උත්සාහ කරන්නා පළමුවෙන් සිල්වත්ව දෙවනුව භාවනා වෙන් සිත සංවර කරගෙන තෙවැනුව ත්‍රිලක්‍ෂණය වැඩීමෙන් ප්‍රඥාව දියුණු කරගෙන නිර්වාණාවබෝධය කළ යුතුයි.
මේ සූත්‍රයේ දැක්වෙන සිවුවැනි පුද්ගලයා අනවජ්ජ පුද්ගලයා හෙවත් වැරැදි නැති පුද්ගලයායි. පුද්ගලයා වරදට පෙළැඹීමට හේතු සාධක වන්නේ සිතේ තිබෙන රාග, ද්වේශ, මෝහ ආදි ක්ලේශයෝයි. එම කෙලෙස් සම්පුර්ණයෙන් නැසූ පුද්ගලයා අර්හත් පුද්ගලයා වශයෙන් හඳුන්වති. රහතන් වහන්සේගෙන් පවා සවාසනා වශයෙන් හෙවත් සසර පුරුදු වශයෙන් සිදුවන ක්‍රියාකාරකම් ඇතැමකුට වැරැදි වශයෙන් පෙනී යා හැකියි. එහෙත් ඒවා මෙන්ම උන්වහන්සේ කරන කුසල ක්‍රියාද කර්ම ගණයට නො වැටේ. ඊට අදාළ සිත් ක්‍රියා සිත් ලෙසයි හැඳින්වෙන්නේ. රහතන් වහන්සේ ‘කත කිච්ච’ එනම් කළ යුතු සියල්ල කොට නිමා කළ තැනැත්තායි. උන්වහන්සේට තවත් කළ යුතු කිසිවක් ඉතිරිව නැත.

අතීතං නානුසොචන්ති නප්පජප්පන්ති නාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති තේන වණ්ණෝ පසීදති

 
රහතන් වහන්සේ අතීතය ගැන සිතමින් දුක් නොවෙති. අනාගතය පිළිබඳ, බලාපොරෙත්තු ද නැත. වර්තමානයේ ජීවත්වෙති. එහෙයින් රහතන් වහන්සේ පිරිසුදු වර්ණයෙන්, එනම් සිරුරේ ප්‍රසන්න පැහැයෙන් යුතු වන සේක. රහතන් වහන්සේ තුළ ජීවත් වීමේ ආශාවක් නැත. එමෙන්ම මිය යෑමටද අවශ්‍යතාවක් නැත. මෙලොව උපන් කර්ම ශක්තිය අවසන් වන තුරු උන්වහන්සේ ජීවත් වෙති. උන්වහන්සේ සිසිල් වූවෙකි. (සීතිභූ®ත) එමෙන්ම නිබ්බුත හෙවත් සකල ක්ලේශයන් නැසූ කෙනෙකි. එහෙයින් මේ උත්තමයා අනවජ්ජ පුද්ගලයා වශයෙන් බුදුන් වහන්සේ හඳුන්වා තිබේ.
පින්වත, මිථ්‍යා ධර්මවලින් ගහන මේ ලෝකයෙහි බෞද්ධයකුව උපන් ඔබ අතිශය පුණ්‍යවන්තයි. පුරාකෘත පුණ්‍ය මහිමයෙන් මිනිසත් බවක් ලැබ සිටින ඔබ එහි ශ්‍රේෂ්ඨත්වය වටහාගෙන කටයුතු කිරීම අතිශයින්ම වැදගත්ය. ලැබුවා වූ මනුෂ්‍යත්වය කල්ප ගණනකට යළිත් ලැබිය නොහැකි වන අන්දමේ පාප කර්මවලින් වැළැකී සසරින් ආරක්‍ෂා වීමට අප්‍රමාදි විය යුතුය. සසරින් මිදීමට මේ අත්භවයම ප්‍රයෝජනයට ගන්නා ඔබ ජීවිතය ජයගත්තෙක් වෙයි.


නිබ්බානං පරමං සුඛං
නිවීම උතුම් සැපයයි



 දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක,
රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති,
මහෝපාධ්‍යාය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී
පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි





 ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ පෙබරවාරි 07 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි 

දිරා ගිය ගසක් ද? සවිමත් රුකක් ද?

 

සමහර ගස් වර්ග සුළි සුළඟක් ආවත් පෙරළෙන්නේ නැහැ. එවැනි ගස් ඒ තරමටම ශක්තිසම්පන්නයි. අප ජීවත් වන්නේ ගැටලු සහිත සමාජයකයි. අභියෝගයන් රාශියකට මුහුණ දීමට අපට සිදුවනවා. එම අභියෝගයන්ට මුහුණ දී ඒවා ජයග්‍රහණය කිරීමේ ශක්තිය මිනිසාට තිබිය යුතුයි.

පිරිපුන් මනුෂ්‍යයකු වශයෙන් සමාජයේ ජීවත් වන්නට කැමැති පුද්ගලයාට ජීවිතය සකසා ගත යුතු ආකාරය පිළිබඳව බුදුදහමෙහි උගන්වනු ලැබේ. බුදුරජාණන් වහන්සේ ගස් වර්ග දෙකක් පිළිබඳව සඳහන් කරනවා. ඉන් එකක් තමයි පුංචි සුළඟකට පවා පෙරළෙන දිරාගිය ගස්. එම ගස් පෙරළීමට හේතුව ලෙස ගසේ මුල්, කඳ හා දිරාගිය අතු ශක්තිමත් නොවීමයි.
 සමහර ගස් වර්ග සුළි සුළඟක් ආවත් පෙරළෙන්නේ නැහැ. එවැනි ගස් ඒ තරමටම ශක්තිසම්පන්නයි. අප ජීවත් වන්නේ ගැටලු සහිත සමාජයකයි. අභියෝගයන් රාශියකට මුහුණ දීමට අපට සිදුවනවා. එම අභියෝගයන්ට මුහුණ දී ඒවා ජයග්‍රහණය කිරීමේ ශක්තිය මිනිසාට තිබිය යුතුයි. එවැනි ශක්තියක් නැතිනම් ගැටලුවක් පැන නැගුණු විට ඊට උත්තරයක් සොයාගැනීමට නොහැකි නම් මිනිසා ව්‍යාකූලත්වයට පත්වෙනවා. සංයමයෙන් ඉවසීමෙන් ප්‍රශ්නයක් විසඳා ගැනීමට නොහැකි නම් ඔහු එළඹෙන්නේ ක්‍ෂණික විසදුම් සෙවීමටයි. එම ක්‍ෂණික විසඳුම් බොහෝ විට වැරැදි ඒවා විය හැකියි. ඉතා සුළුවෙන් පැන නගින ගැටලුවක් ලිහා ගැනීමට නොහැකි වී, නැතිනම් නිවැරැදි විසඳුමක් වෙත එළඹෙන්නට නොහැකි වී ඇතැමෙක් ප්‍රාණඝාතාදී අකුසල් කරමින් අවසානයේ සිරගෙවල් වල පවා දුක් විඳින අවස්ථා දැක තිබෙනවා

එසේ පිරිහීමට පත්වන පුද්ගලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් ඔහුගේ ස්වභාවය පිළිබඳ පෙන්වා දී තිබෙනවා. අප ජීවිතයේ යථාර්ථය වටහාගත යුතුයි. පැහැදිලිව තේරුම් ගත යුතුයි. එය තේරුම් නොගනිමින් පටු වාසිය පිළිබඳව සිතා කටයුතු කිරීමට එක් හේතුවක් වෙනවා. එය පුද්ගලයා ගේ පිරිහීම පුළුල් වී සමාජගත වීමෙන් පසුව සිදුවන්නේ සමාජයේ ද පිරිහීමක්. යම් දෙයක්, යම් ක්‍රියාකාරකමක් පිළිබඳ හැඟීමක් දැනීමක් ඇතිව යථාර්ථය මනාසේ අවබෝධ කර ගැනීමෙන් ඊට මුහුණ දෙන පුද්ගලයා අනවශ්‍ය ලෙස සැලෙන්නේ නැහැ. කම්පාවන්නේ නැහැ. ඔහු නිරන්තරයෙන් පෙළඹෙන්නේ නිවැරැදි පිළිතුර ගැටලුවට නිසි පිළියම සෙවීමටයි. නිවැරැදි දෘෂ්ටිය මත පිහිටා කටයුතු කරමින් ප්‍රශ්න නිරාකරණය කර ගැනීමෙන් ජයග්‍රහණයන් ලබා ගත හැකියි. එය සමාජයේ යහපැවැත්මට ද හේතුවක් වෙනවා. අභියෝගයන් හමුවේ නොසැලෙමින් ඒවාට මුහුණ දී ජයග්‍රහණයක් අත්කර ගැනීමට නම් යම් පුද්ගලයකු තුළ ඉන්ද්‍රිය සංවරය තිබිය යුතුයි. ජයග්‍රහණයට අවැසි දෙවන කරුණ ලෙස ඉන්ද්‍රිය සංවරය දැක්විය හැකියි. ඉන්ද්‍රිය සංවරය යනුවෙන් අදහස් කෙරෙන්නේ ඇස, කණ, දිව, නාසය, ශරීරය යන මෙම පංචේන්ද්‍රිය මනාසේ හික්මවා ගැනීමටයි. එසේත් නැතිනම් සංවර කර ගැනීමයි. විෂම සමාජය තුළ මෙම ඉන්ද්‍රියන්ට හසුවන දේ ද විෂමයි. සීමාවක් නැහැ. මෙසේ පංචේන්ද්‍රියට හසුවන දේ අප ග්‍රහණය කර ගැනීමේ දී මනා පරිපාලනයක් අවශ්‍ය වෙනවා. සීමාවන් තිබිය යුතුයි. මනාසේ හික්මීමක් තිබිය යුතුයි. සාර ධර්ම ගුණධර්ම මත පිහිටා ඉතා සීරුවෙන් කටයුතු කළ යුතු යි. එය පුද්ගල දියුණුවට මෙන්ම යහපත් සමාජ සංස්ථාවක් ගොඩ නැගීමට ද මහත්සේ පිටුවහලක් වෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් තොර වුවහොත් අසංවර වුවහොත්, එහි ඇත්තේ පිරිහීමයි. උදාහරණයක් ගෙන මෙය පහදාගන්නට අපි උත්සාහ කරමු. අපගේ ඇසට සීමාවන්ගෙන් තොරව රූප ගලාගෙන ආ හැකියි. එය මේ සමාජ විෂමතාවයේ දී දැකිය හැකි ලක්‍ෂණයක්. ඇසට හමුවන සෑම රූපයක්ම අප ඒ ලෙසින්ම ග්‍රහණය කරගන්නවා ද ඇසට හසුවන රූපය සංවර වූ මනසින් හසුරුවා ගත යුතු වෙනවා. දර්ශනයේ වන යහපත අයහපත මනසින් විග්‍රහ කරගනිමින් නිසි අවබෝධයකින් ක්‍රියා කළ යුතු වෙනවා. ඉන් තමාට වන්නේ හානියක් නම් එය පසුපස අප හඹා යන්නේ නැහැ. මෙහිදී තමයි සංවරවීමේ අවශ්‍යතාවය පැන නඟින්නේ. අපගේ කණට විවිධ ශබ්ද ඇසෙනවා. එය ශ්‍රවණේන්ද්‍රියට වැළකිය නොහැකියි. එහෙත් විවිධ විෂම ශබ්ද පසුපස හඹා නොයා යුතුයි. අප වැරැදි ලෙස හඳුනා ගන්නා මිහිරි යැයි සිතෙන හඬ ඔස්සේ ඇදී යාමට පෙලඹීමෙන් අවසානයේ අප ව්‍යාකූලත්වයට පත්විය හැකිය.
අප නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රහණය කරගන්නවා. සමහර විට යම් සුවඳකට අප වසග වී ඊට ඇදී යා හැකියි. හඹා යාම නොව බුද්ධියෙන් ඉවසීමෙන් විමසා සංවර වීමෙන් විපතෙන් මිදිය හැකි වෙනවා. සීමා මායිම් නොදරන කටයුතු කළහොත් අසංවර වුවහොත් එය මහා විපතකට මුල විය හැකි යි. දිවට දැනෙන රස විවිධාකාරයි. කිසිදු විමසීමකින් තොරව රසට ගිජු වී කටයුතු කළහොත් අවසානයේ සිදුවන්නේ ව්‍යසනයක්මය. අප අනපේක්‍ෂිත ලෙස රෝගී විය හැකියි. ආර්ථිකය පවා කඩා වැටෙන්නට හැකියි. දැනෙන රසය පසුපස හඹා නොයමින් දිවද පාලනය කරගත යුතු වෙනාවා.
ශරීරයට ලැබෙන පහසද එලෙසමය. අප අපේක්‍ෂා කරන සීමාවන් ආර්ථික දුර්වල වීම, පවුල් සංස්ථාවන්ගේ දෙදරායාම්, මහා දුර්විපාක රාශියකට මේ සියල්ල මුල් විය හැකි ය. ඉක්මවා යන රස පහස සොයා යන ගමනේ කෙළවරක් නැහැ. අසංවර ගමනක කෙළවර ආලෝකයක් දැකිය හැකි වන්නේ නැහැ. ක්‍රමයෙන් ළඟා වන්නේ අඳුර වෙතයි. මෙයද පුද්ගලයාගේ පරිහානියට ප්‍රබල හේතුවක් වෙනවා.
ජයග්‍රහණය වෙත එළඹෙන හා පරාජය අත් විඳින පුද්ගලයා අතර එන වෙනස නම් ඉන්ද්‍රිය සංවරය හා ඉන්ද්‍රියන්ට වසඟ වී අසංවර වීම අතර ඇති වන වෙනසය.

 මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි











 ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ පෙබරවාරි 07 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

ඇසුරට සුදුසු නැති නම් තනිවම විසීම සැපතකි


“ආශ්‍රයට සුදුසු කෙනෙක් සොයන්නේ නම් තමාට වඩා ගුණයෙන් වැඩි අයෙකු හෝ
ගුණයෙන් සමානයකු සමග ආශ්‍රයට යා යුතුයි. එසේ සොයා ගන්නට නොහැකි නම් තනිවම සිටීම වඩා හොඳයි. කිසිදු ගුණයක් නැති, අසත්පුරුෂ අය සමඟ නම් ආශ්‍රයට නොයා යුතුය.” නොමනා, නුසුදුසු පුද්ගලයන්ගේ ආශ්‍රය නම් තමා විසින් තමාම නසා ගැනීමක් වනු ඇත

සාමාන්‍ය ජනවහරෙහි පවතින මෙවැනි අදහසක් ගැන ඔබත් අසා තිබෙන්නට පුළුවනි. පාසලට යනතෙක්ම කුඩා දරුවන්ගේ ළමා ලෝකයේ සිටින්නේ දෙමාපියනුයි.
අනතුරුව පාසල් යන්නට ආරම්භ කළාට පසුව, ළමා ලෝකයේ ආදර්ශයට ගන්නේ ගුරුවර ගුරුවරියන් ය. ඒ ගුරුවරුන් කෙරේ ඇති කරගන්නා වූ විශ්වාසය සහ ලෙන්ගතුකම නිසාය. මීළඟට “මෝරායන” වයස හෙවත් අවුරුදු දහතුන පමණ වන විට යහළු යෙහෙළියන්ගේ ආශ්‍රයට වැටෙති. තම ජීවිතවල මුල් කාලයේ ආදර්ශයන් වූ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට වඩා හිත මිතුරන් කෙරේ විශ්වාසය තබන්නට පටන් ගනී. කතාබහ, ගමන බිමන, ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් ඒ සියල්ලකම වෙනසක් දකින්නට හැකිය. මේ ස්වභාවය බොහෝ විටෙක අවුරුදු දහඅටක්, විස්සක් පමණ වනතෙක්ම දැකගත හැකි ය. වැඩිහිටියන් ලෙස තරමකින් හෝ සිතන්නට ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය. මේ ස්වභාවය සෑම දරුවෙකුටම එකහා සමානව නොවුනත්, බොහෝ දරුවන්ගේ හැසිරීම පවතින්නේ ඒ ආකාරයෙනි.

දරුවනේ, තවත් සිතා බැලිය යුතු ජීවිත ගමනේ පරිච්ඡේදයක් ගැන කතා කළ යුතු වෙයි. ඒ වයස විස්ස, විසිපහ වන විට ජීවිත ගමනේ ඇතිවන පරිණතභාවයයි. මේ ස්වභාවය සියලු දරුවන්ටම එකහා සමාන වන්නේ නැත. එයට හේතුව නම් අධ්‍යාපනික තත්ත්වය, සමාජ පරිසරය, ආශ්‍රය, දෙමාපියන්ගේ පසුබිම හා ආගම ධර්මයද හේතු සාධකවීමයි. නූගත්, එමෙන්ම යහපත් වූ සමාජ හෝ ආගමික හෝ ආශ්‍රයක් නැති තරුණයෙකුගේ හෝ තරුණියකගේ සිතුම් පැතුම් බොහෝම ආත්මාර්ථකාමී වෙන්නට පුළුවනි.
පරිණත බව සමගින්ම අන් අයට ඇහුම්කන් දෙන්නට නැඹුරුවෙයි. යම්විටෙක කොපමණ උගත් දරුවෙකු වුනද, ඉහළ තනතුරක් දැරුවද මෙසේ කියන්නට පුළුවනි. මම මේ ගැන අම්මාගෙන්, තාත්තගෙනුත්, අහල බලන්නම්. යම් විටෙක තමා තරම් උගත්කමක් හෝ රට ලෝකයේ අත්දැකීම් දෙමාපියන්ට නොතිබුණත්, දෙමාපියන්ගේ මුහුකුරාගිය ජීවිත අත්දැකිම් පිළිබඳ මේ උගත් දරුවන්ට අවබෝධයක් පවතිනවා ඇත. ඒ අතීත මතයද අවදිකරගනිමිනි. පාසල් යන කාලයේ යහළුවන්ගේ වදන්වලට රැවටිලා දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ අවවාදවලට ඇහුම්කන් නුදුන් ආකාරයන් සිහිපත් කරමින් වෙන්නට පුළුවනි. අම්මා තාත්තා යමක් කියන විට “ඕවා යල් පැනපු අදහස් හෝ හනමිටි කාලේ දේවල්” යනුවෙන් අවඥාවෙන් යුතුව සරදම් කළ අයුරුද මතක් වීමෙන්ද වෙන්නට හැකි ය. තවත් දරුවන්ට අතීත මතකය සොඳුරු ලෙසද සිහිපත් කරමින් දෙමාපියන්ගේ ජීවිත අත්දැකීම් කෙරේ මනා වූ විශ්වාසයක් ඇතිකර ගැනීම නිසාද වෙන්නට පුළුවනි. “ඔව් මට මතකයි, පුංචි කාලේ ඉඳලම අම්මා, තාත්තා කියපු දෙයක් කවදාවත් වැරදුනේ නැහැ.”
මේ ඉහත සඳහන් කරපු තොරතුරුවලින් යහපත් වූ දේ ගැන සිතා බලන්නට යයි, පින්වත් දරුවනේ, ඔබට ආරාධනා කරන්නට කැමතියි. එහෙම වුණත්, ජීවිතය ගැඹුරින් තේරුම් ගන්නට, නැවත නිවැරැදි කරන්නට ඉතාමත් අපහසු බරපතල වැරදීමක් වනතෙක් බලාසිටින්නට එපා යයිද පවසන්නටත් කැමතියි. ඔබ දන්නවාද? සමහරවිට ජීවිතයේ බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට මුහුනපාලා ජීවිතය ගැන යම් හෝ වැටහීමක් ලබනා විට, ඔබේ දෙමාපියන්, කරුණාවන්ත ගුරුවරුන් මෙලොව ජීවත්ව නොසිටින්නට සිදුවේවි. “මම දන්නේ නැහැ, අම්මලා තාත්තලා මේවා කොහොම දැනගෙන හිටියද කියලා. මේවා ගැන කියලා හිත හදාගන්නවත් අම්මලා තාත්තලා දැන් ජීවත්ව නැහැනේ. මට සමාවෙන්න අම්මේ තාත්තේ.”
මෙම ලිපියේ මුලදීම යහළුවන් ගැන, හිතමිතුරන් ගැන සඳහන් කළා මතක ඇති. බොහෝ අයෙකුගේ ජීවිතවල ලොකු වෙනස්කම් යහළුවන් නිසා ඇතිවී තිබෙන බව පෙනේ. සමහර අයට යහළුවන් නිසා හිරේ විලංගුවේ වැටෙන්නට පමණක් නෙවෙයි. ජීවිත නැතිවෙන තරමට බලපෑම් ඇතිවී තිබේ. සමහර අයගේ ජීවිත යහමඟට පත්ව තිබෙන්නේත් සත්පුරුෂ වූද කල්‍යාණවන්ත වූත් යහළුවන් නිසායි. මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යරත්නය වූ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් මඟට යොමුවෙන්නට යයි මම ආරාධනා කරමි. මේ උතුම් වූ දේශනා ගැන ටිකක් වත් සිතා බලන්නට යයි මම ඔබට කාරුණිකව සඳහන් කරමි. භාග්‍යවතුන් වහන්සේ විසින් මංගල සූත්‍රයේ දී පෙන්වා දුන් පළවෙනි සහ දෙවෙනි මංගල කරුණුවලින් ඔබ යමක් නුවණින් සිතා බලන්න. “අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවනා.” බාලයන් නම් වූ දුර්ගුණ ඇති පුද්ගලයන් ආශ්‍රය නොකිරීමත්, සුගුණ ඇති පණ්ඩිත නම් වූ සත්පුරුෂයන් ආශ්‍රය කිරීමත් මංගල කරුණුය. භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණමිත්ත සූත්‍රයේ දී මෙසේ දේශනා කරති. “කල්‍යාණමිත්තස්ස භික්‍ඛවේ අනුප්පන්නාචේව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නාච අකුසලා ධම්මා පරිහායන්ති,” මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති තැනත්තාට නූපන්නාවූද කුසල ධර්මයෝ උපදිත්. උපන්නාවූද අකුසල ධර්මයෝ පිරිහෙත්. හැබෑවටම දරුවනේ සිතා බලන්න. අපගේ යහළුවෙක් නිසා අඩුපාඩුකම්, වැරැදි, හදාගෙන වඩ වඩාත් හොඳ මඟටම පැමිණෙන්නට හැකි නම් එය කොපමණ වටිනවාද? සිඟාලෝවාද සූත්‍රයෙහි දේශනා කොට ඇති පරිදි වැරැදි වූ මිත්‍ර ප්‍රතිරූපකයෙක් හමුවුණොත් ජීවිතයේ සියල්ලම උඩුකුරු යටිකුරු වේවි. එහි විස්තර කරන අයුරින් අඤ්ඤදත්ථුහර නම්, තම වාසිය සඳහා යහළුවන් ඇසුරු කරන පුද්ගලයායි. නිතරම කුමක් හෝ ගැනීමට මාන බලයි. වචීපරම නම් වූ මිත්‍ර ප්‍රතිරූපකයාගේ ලක්‍ෂණ නම් අතීතයෙන්ද අනාගතයෙන්ද වචනයෙන් පමණක්ම සංග්‍රහ කිරීමයි. අනුප්පියභාණී නම් චිත්‍ර ප්‍රතිරූපකයාගේ ලක්‍ෂණ නම් යමක් කිරීමේ දී හොඳ නරක දෙකම අනුමත කිරීමය. එමෙන්ම මුහුණට ගුණ කියා නැති තැන දොස් පැවරීමය. මීළඟට, හතරවෙනුව දක්වන භයානකම මිත්‍ර ප්‍රතිරූපක තැනැත්තා නම් අපායසහාය මිතුරාය. ඔහු හෝ ඇය විසින් මත්වතුර හෝ මත්ද්‍රව්‍ය භාවිතයට උදව් දෙනු ලැබේ. එයට සහාය වෙයි. අවේලාවෙහි නිකරුනේ සංචාරයට කැඳවාගෙන යයි. කළ යුතු දේ පවා මඟහරවා ගෙන නැටුම් ගැයුම් වැනි විනෝදජනක දේටම පොළඹවයි. එමෙන්ම සුදුවටද පොළඹවයි. මේ සඳහන් කළ සියල්ලම යම් ජීවිතයක විනාශය පිණිසම හේතු නොවන්නේ දැයි ඔබම සිතා බලන්න.
ඇතැම් තරුණ දරුවන් මතට හා සූදුවට යොමු වී ඇත්තේ මිතුරු වෙසින් පෙනී සිටින ඉහත සඳහන් කළ ආකාරයේ මිත්‍ර ප්‍රතිරූපකයන් නිසාය. නැතිනම් වැරැදි යහළුවන් නිසාය. මෙසේ නොමඟට ගිය දරුවන් නිසා හඬා වැළපෙන දෙමාපියන් කොපමණ නම් වෙත්ද? යහළුවන් නිසා නොමඟට වැටී මුළු පවුලක්ම අගාධයකට ඇද දමන ස්වාමි පුරුෂයන් නිසා අන්ත අසරණ වන භාර්යාවන් කොපමණ නම් වෙත්ද? ඔබත් මෙවැනි මිත්‍ර ප්‍රතිරූපකයෙක් නොවන්නට පළමුව වගබලා ගන්න. දෙවනුව එවැනි මිත්‍ර ප්‍රතිරූපක අයගෙන් ප්‍රවේශම් වන්න. ඔබට ඒ ගැන හරි අවබෝධයක් නැතිනම්, ජීවිතවල හැබෑ අත්දැකීම් ඇති දෙමාපියන්ගේ අදහස්වලටද ඇහුම්කන් දෙන්න.
මේ පහත සඳහන් කරන යහපත් කළණ මිතුරෙක් හෝ මිතුරියක් බවට පත්වෙන්නට ඔබට හැකිද? ඔබ දැනටමත් මෙවැනි යහපත් අයෙක් නම් කොපමණ අගනේද?
“ආශ්‍රයට සුදුසු කෙනෙක් සොයන්නේ නම් තමාට වඩා ගුණයෙන් වැඩි අයෙකු හෝ ගුණයෙන් සමානයකු සමග ආශ්‍රයට යා යුතුයි. එසේ සොයා ගන්නට නොහැකි නම් තනිවම සිටීම වඩා හොඳයි. කිසිදු ගුණයක් නැති, අසත්පුරුෂ අය සමඟ නම් ආශ්‍රයට නොයා යුතුය.” නොමනා, නුසුදුසු පුද්ගලයන්ගේ ආශ්‍රය නම් තමා විසින් තමාම නසා ගැනීමක් වනු ඇත

 බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි




 ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ පෙබරවාරි 07 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

ධම්ම චක්කප්පවත්තන සූත්‍රය තුන් ලොවක් සැනසූ ප්‍රඥාලෝකය



නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අයං බො සා භික්ඛවෙ මජ්ක්‍ධිම පටිපදා තථාගතෙන
අභිසම්බුද්ධා චක්ඛුකරණී, ඤාණකරණී,
උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය, නිබ්බාණාය සංවත්තති. 

 
පින්වත්නි.......
 සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර මනුලොව පහළවූ දීපංකරනම් බුදුරජාණන්වහන්සේගේ හමුවේදී ලබාගත් නියත විවරණයෙන් ඒකාන්තයෙන් “මමද මතු කලෙක ලොව්තුරා බුදුබව ලබා අනන්ත සත්වයන් සසර දුකින් මුදවන්නෙමියි තිර සර අදිටනින් සූවිසි විවරණ ලබා දානාදී සමතිස් පෙරුම්දම් පුරා දඹදිව ගයා ප්‍රදේශයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වැඩසිට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ලොව්තුරා බුද්ධත්වයට පත්වී වදාළ සේක.

මෙසේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදු බව ලබා අනුක‍්‍රමයෙන් සත්සතිය මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් බරණැස ඉසිපතනාරාමයේදී පස්වග මහණුන් වහන්සේලාට ඇසළ පුරපසළොස්වක් පෝදින
“ද්වීමෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන නසෙව්තබ්බා” ආදීනයින් දම්සක් පැවතුම් සූත්‍රයෙන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ සේක. මෙම සූත්‍ර දේශනාවෙන් ප්‍රධාන කාරණා කීපයක් දැක්වේ.

1. සේවනය නොකළ යුතු අන්ත දෙක
2. මධ්‍යම ප්‍රතිපදාව
3. චතුරාර්ය සත්‍ය ධර්ම ද්වාදසාකාරයකින් අවබෝධ කිරීම
4. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් සෝවාන් වීම
5. අකනිටා බඹලොව දක්වා ධර්මාලෝකය විහිදීම

බුද්ධ කාලීන ජන සමාජය තුළ විමුක්තිය පිළිබඳ අදහසක් පැවති නමුත් විමුක්ති මාර්ගය පිළිබඳ සත්‍ය අවබෝධයක් නොවීය. එහෙත් සත්වයාගේ ජාති ජරා මරණ, දී දුක් වේදනා තුරන් කිරීම හා විමුක්ති සුවය ලබාගැනීමේ උපායමාර්ග පිළිබඳව විශ්වය දක්වා සිතීමේ හා ක්‍රියා කිරීමේ ඤාණ ශක්තියක් පැවතින.
ජාති ජරා මරණාදී අනන්ත දුක් වේදනාවන්ගේ මිදීම සඳහා උපරිම වශයෙන් ශරීරයට දුක් වේදනා දීම සංඛ්‍යාත අත්තකිලමථානුයෝගය හා ශරීරයට අධික සැප වේදනා දීම නම් වූ කාමසුඛල්ලිකානු යෝගය යන අන්ත දෙකේම සාවද්‍ය බව, හීන බව, අනර්ථකාරී බව අප බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතයේදී හා තවුස්දම් පුරන සමයේදී හොඳින් අවබෝධ කරගෙන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමේ කුඩා කල පුරුදු කල ආනාපාන සති භාවනාව පාදක කරගෙන උතුම් ලොව්තුරා බුදු බවට පත් වූ අයුරු බෝධිරාජ සූත්‍රය, මහාසීහනාද සූත්‍රය, අරියපරියේසන සූත්‍රය ආදී සූත්‍ර දේශනාවල සඳහන් වන්නේය.
දුක, සැප යනු සත්වයා විසින් සම්මතයෙන් පිළිගත් සංකල්ප දෙකක් පමණි. තීපරිනාම ධර්මයන් අතර ප්‍රධානව පවත්නා දැනෙන මෙම චෛතසික දෙක නිසාම මිනිසාට විවිධ ගුණාංග ඇතිවන අතර දුක් වේදනාව නැතිකොට සැපවේදනාව පමණක් සොයා යෑමේ ප්‍රවණතාවයක් පවතී. අප බුදුරජාණන් වහන්සේ පමණක් සදාකාලික සුවයක් ලැබීමේ මාර්ගයක් සොයාගත් සේක. එය නම් මධ්‍යම ප්‍රතිපදාවයි.මෙම මධ්‍යම ප්‍රතිපදාව වූ කලී ‘චක්ඛුකරණී, ප්‍රඥා ඇස විශුද්ධ කරන්නීය. ඤාණකරණී, නුවණ ඇති කරන්නීය. උපසමාය රාගාදී කෙලෙස් ශමණය කරන්නීය, අභිඤ්ඤාය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නීය. සම්බෝධාය, සම්‍යක් සම්බෝධිය ලබාදෙන්නීය. නිබ්බාණය උපධිශේෂ නිර්වාණය ලබාදෙන්නීය. මෙම මධ්‍ය ප්‍රතිපදාව සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවන්ට සංයුක්ත වන අතර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග අටෙන් පරිමිත නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි අන්වර්ථ වන්නේය.
අප බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් පුරාවට සමාජය සමඟ පරිසරය සමඟ ගැටෙමින් අවබෝධ කරගත් මෙම මධ්‍යම ප්‍රතිපදාව ලෞකික ජීවිතය යහමග යොදාගැනීමට ද සංසාරික ජීවිතය සැපවත් කර ගැනීමටද සසරින් එතරව නිවන් සුව ලැබීමට ද හේතු වාසනා වන්නේය.
ආත්මවාදය නිසා කාමසුඛල්ලිකානු යෝග අන්තයට වැටෙන අතර මිථ්‍යා දෘෂ්ටිය නිසා අත්තකිලමථානුයෝග අන්තයට වැටෙන අතර මධ්‍යම ප්‍රතිපදාවෙන් එවන් කෲර ප්‍රතිපත්තීන්ගෙන් බැහැරව සිත කය සරලවන්නේ ය.
ලෝකය තුළ ක්‍රියාත්මක වන සම්මුති සත්‍ය පෘථග්ජනයාගේ ආකල්ප හා විකල්ප අනුව වෙනස් වන්නේය. එහෙත් ලෝකයේ පැවැත්ම අනුව තාවකාලික සත්‍යයක් ලෙස නීතියට, න්‍යායට, සිද්ධාන්තයට එකඟවන අතර විපරිනාම ධර්ම සමඟ කලින් කලට පැවතී නැතිවී යන්නේය.අප බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය විශ්වයේ සැමතැනම සෑම සත්වයාටම පොදු ධර්මතා බැවින් එය පරමාර්ථ සත්‍යනම් වන්නේ ය. භාරතීය වෛදික මුනිවරුන් මෙම පරමාර්ථ සත්‍ය පිළිබඳ ගවේෂණයක යෙදුනද දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳ තියුණු බුද්ධියක් නොවීය. මධ්‍යම ප්‍රතිපදාවෙන් අවබෝධ කරගත් මෙම පරමාර්ථ සත්‍ය හෙවත් චතුරාර්ය සත්‍ය ධර්මය අප බුදුරදුන්ට ප්‍රථමයෙන් අවබෝධ කරගත් කෙනෙක් නොවීය.
පුබ්බෙ අනනුස්සුකේසුධම්මෙසු” යනුවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය දක්වන දම්සක් පැවතුම් සූත්‍රයේ
දොළොස් තැනක දේශනා කොට ඇත.

1. දුක්ඛ සත්‍ය - සත්‍යඤාණ, කෘත්‍යඤාණ, කෘතඤාණ
2. සමුදය සත්‍ය - සත්‍යඤාණ, කෘත්‍යඤාණ, කෘතඤාණ
3. නිරෝධ සත්‍ය - සත්‍යඤාණ, කෘත්‍යඤාණ, කෘතඤාණ
4. මාර්ග සත්‍ය - සත්‍යඤාණ, කෘත්‍යඤාණ, කෘතඤාණ

මෙම චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ ත්‍රිපරිවෘත්තයක් හෙවත් ත්‍රිවිධාකාර ඤාණයක් අප බුදුරජාණන් වහන්සේට ලැබීමේ මහා භාග්‍ය උදාවූයේ පෙර සසරදී පුරන ලද දසපෙරුම් දම්බලයෙනි. දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දැනීමද සමුදයාර්ය සත්‍ය ප්‍රහීණ කිරීමද, නිරෝධාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමද මාර්ග සත්‍ය භාවිතයද වශයෙන් ආර්යඤාණය පහළවිය.
අප බුදුරජාණන් වහන්සේ මෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවිට පස්වග මහණුන් වහන්සේලාගෙන් වැඩිමහලු කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ කෙළ දහසක් කෙලෙසුන් නසා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලයට පැමිණීමෙන් සම්බුද්ධ ශාසනයේ ප්‍රථම ආර්ය ශ්‍රාවකයන් වහන්සේ බවට පත්වූ සේක.

“ඉමස්මිංච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤාමානෙ ආයස්මතො
කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි
යංකිංචි සමුදය ධම්මං සබ්බං තං නිරොධ ධම්මන්ති


මෙම සූත්‍ර ධර්මය වදාළ කල්හි ආයුස්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේට රාගාදී රජස් නැති කෙලෙස් මල රහිතවූ දහම් ඇස පහළ විය.
යංකිංචි සමූදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මන්ති. යම් හේතුවක් නිසා ඇතිවන යම් ධර්මයක් වේ නම් ඒ සියල්ල විනාශ වන්නේය. මෙම න්‍යාය ප්‍රත්‍යක්ෂයෙන් දන්නේ සෝවාන් ආදී මාර්ගඤාණය ලැබු උත්තමයන් පමණි. මෙම විශ්ව සත්‍ය ධර්මය කාම, රූප, අරූප ආදී සෑම භවයකම සිදුවන අතර එයින් තෙරපෙන සත්ත්වයන්ට දුක් බව දැනි දැනීවුවද එයම සැපයක් යයි පරිකල්පනය කරන තාක් යළි යළි දුක් වේදනාවම ඇතිවන්නේය.
ජාති, ජරා, ව්‍යාධි, මරණාදී එක් ජීවිතයකදීම ඇතිවන දුක් වේදනා අනන්තවන අතර සත්වයකු භවයේ කෙළලක්ෂ ගණන් ආත්මවලදී විඳින දුක් වේදනා කෙසේ නම් ප්‍රමාණ කරන්නද? දුක ඇතිවීමේ හේතුව තණ්හාව වුවද පුහුදුන් සත්වයා පිහිට පතන්නේද තණ්හාව මූලික කරගත් ජීවිතමයි. එහෙත් මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තා ක්‍රමක්‍රමයෙන් තණ්හාව තුනීකරගැනීමට සිල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී සප්ත විශුද්ධි මාර්ගය ඇති කරගන්නේය.
අප බුදුරජාණන් වහන්සේ මෙම උතුම් ධර්ම දේශනාව පවත්වනවිට භූමාටු දෙවියෝ සොම්නසින් සාධුකාර දුන්හ. පිළිවෙලින් අකනිටා බඹලොව දක්වා දෙවියෝ හා බ්‍රහ්මයෝ සාධුකාර දුන්හ. මෙසේ එම ඇසළ පුරපසළොස්වක් පෝදින දසම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අසා දැන අසංඛ්‍යයක් දෙවියෝ සෝවාන් ඵලයට පත්වූහ. අසංඛ්‍යයක් සකෘදාගාමී ඵලයට ද, අසංඛ්‍යයක් අනාගාමී ඵලයටද පත්වූහ. අටළොස් කෙළක් බ්‍රහ්මයෝ මාර්ගාවබෝධය ලබා නිවණින් සැනසුනහ.
බුද්ධරත්නය, ධම්මරත්නය, සංඝරත්නය සම්පූර්ණවූ ඇසළ පුර පසළොස්වක් පෝදිනය විශ්වයේ සමස්ත සත්ව ප්‍රජාවටම එකසේ භාග්‍යවන්ත දිනයක් වන්නේය. අවිද්‍යාන්ධකාරයෙන් මග නොමග නොදැන සසර මංමුලාවූ අපමණ සත්වයන්ට ප්‍රඥාලෝකය දල්වා නියම මග පෙන්වූ උතුම් දිනයයි. අසත්‍ය ලෝකයේ සත්‍ය ධර්මය ස්ථාපිත කළ දිනයයි.
මෙතෙක් මානව පරපුර චින්තන වශයෙන් පැමිණි ගමන් මග වෙනස් කොට ආධ්‍යාත්මික විද්‍යාවේ උපරිම තලයට පා තබන්නට එමෙන්ම විශ්ව චින්තනයක් ඉක්මවා සියලු බන්ධනයන්ගෙන් මිදී සදාකාලික සැපතවූ නිර්වාණාවබෝධයට මාර්ගය සැලසුනේය.
බරණැස ඉසිපතනාරාමයෙන් විහිදුනු ප්‍රඥාලෝකය නගරයෙන් නගරයට, ගම් නියම්ගම් රාජධානි වශයෙන් කෝටි සංඛ්‍යාත ජනතාවගේ ප්‍රසන්න හදවත් තුළින් මනුලොව පමණක් නොව දෙව්ලොව, බඹලොව දක්වා විහිදෙන්නට මෙම චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇති අළුත් බව හා අසිරිමත් බව හේතුභූත විය. ආත්ම වාදය වැනි අදහස්වලින් හෝ තර්කවාදයෙන් හෝ දිව්‍යාත්ම බලයකින් මතුවට අවිනිශ්චිත අපේක්ෂාවන්ගෙන් හෝ බුදු දහම අවබෝධ කළ නොහැක්කේමය.බාහිර බලවේගයන්ට යටත් නොවී නිදහස්ව, නිරවුල්ව ස්වයං චින්තනයෙන් මෙම උතුම් ධර්මය දැනගෙන එයින් පරම සුන්දරවූ නිවන් සුව ලබාගත යුතුවන්නේය.ඔබ සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

සැමට තෙරුවණ් සරණයි.

 අස්ගිරි මහා විහාර සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි





 ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ ජූලි 12 වන සෙනසුරාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ අසිරිමත් ඇසළ පොහොය



ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුළින් පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස් පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.ඒ අනුව ඇසළ පොහෝදා සිදු වූ සදාඅනුස්මරණීය සිදුවීම මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍රය පැවැත්වීමයි.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසයෙහිලා ඉතා වැදගත් සිදුවීම් රැසකට මුල් වූ ඓතිහාසික වූත්, පූජනීය වූත් දිනයක් ලෙස පෙන්වා දිය හැකිය. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වීම මේ අතර ප්‍රධානත්වය ගනී.
තවද වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහාබෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, විසිනව වන වියේදී සතර පෙරනිමිති දැක ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම, බුදුරදුන් ප්‍රමුඛ පස්වග මහණුන්ගේ ප්‍රථම වස්සූපගමනය සිදුවීම, රාහුල කුමරු ඉපදීම ,ගණ්ඩබ්බ රුක් මුල්හිදී තීර්ථකයන් ගේ මානය මර්දනය කරනු වස් බුදුරදුන් යමාමහ පෙළහර පෑම, මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදුකිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසු තෘතීය මහාශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම යන සිදුවීම් ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත්වීමට බලපාන කරුණු අතර ප්‍රමුඛත්වය ගනියි. 
ලංකා ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේදී මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා විසින් සම්මත කරන ලද මහාවිහාර සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කිරීම, ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබීම, දේවානම්පියතිස්ස රජු විසින් මිහින්තලයේ කණ්ඨක චේතිය වටා කර වූ අට සැට ලෙන් පූජාව, මහරහතන් වහන්සේලා හැට දෙනමක් පළමුවරට ලක්දිව වස් එළඹීම.දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑය තැනීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීම, එම මහාසෑයෙහි ධාතු නිධානෝත්සවය සිදු කිරීමද, දළදා වහන්සේ ලක්දිවට වැඩමකරවීමෙන් පසු වාර්ෂික දළදා මහා පෙරහරේ ආරම්භය සිදුවීම යන කරුණු ඇසළ පොහොය හා සම්බන්ධව ඉතා වැදගත් වෙයි.
බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී පස්වග මහණුන් අරභයා බුදුරදුන් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වීම ඇසළ පොහෝදා වූ මෙම සෑම සිදුවීමක් අතරම වඩාත් ප්‍රමුඛත්වය ගනියි. එම ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ පළමුව පස්වග මහණුන් අරභයා මෙසේ දේශනා කළහ.
ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනොගම්මො පොථුජ්ජනිකො අනරියො අනන්ථ සංහිතො යො චායං අත්තකිලමථානු යොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතා, එතෙ තෙ, භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා, චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති
මෙහි සිංහල අර්ථය මෙසේය
මහණෙනි පැවිද්දෙකු විසින් අත්හල යුතු අන්ත දෙකකි. එනම් ලාමක වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වූ වස්තු කාමයන් කෙරෙහි යම් කාමසුඛල්ලිකානුයෝගයක් ඇද්ද, එසේම දුක් උපදන්නා වූ අනාර්ය වූ අනර්ථයක්ම සිදුකරන්නාවූ යම් අත්තකිලමථානුයෝගයක් ඇද්ද, මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ බුදුරජාණන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය මාර්ගය අවබෝධ කරන ලදහ. එම මග යාමෙන් ප්‍රඥා ඇස පිරිසුදු කෙරෙයි. නුවණැස ඇති කෙරෙයි. එය කෙලෙසුන් සන්සිඳීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස නිවන පිණිස හේතු වන්නේය.
සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව මෙහි ඇතුළත් චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහ කොට ඇත. දුක, දුක ඇතිවීම, දුක නැතිකිරීම් හා දුක නැති කිරීමේ මාර්ගය වශයෙන් මෙම අංග සතර බෙදා වෙන්කොට තිබේ. මෙහි දුක නැති කිරීමේ මාර්ගය නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැරකර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය යන අදහස ගත් කාමසුඛල්ලිකානු යෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක් දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි. මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුළින් පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස් පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.ඒ අනුව ඇසළ පොහෝදා සිදු වූ සදාඅනුස්මරණීය සිදුවීම මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍රය පැවැත්වීමයි.
ඇසළ පොහොය හා සම්බන්ධව මහනුවර ඇසළ මහා පෙරහර ඇතුළුව ප්‍රකට සිද්ධස්ථාන ගණනාවකම පැවැත්වෙන පෙරහර මංගල්‍යයක් රාශියකම පවතියි. විජය රජු ගෙන් පසුව ලංකාවේ ඇරැඹි ඇසළ උත්සවය 1 වෙනි ගජබා රජුගේ කාලයේදී (ක්‍රි.ව. 112-134) ඇසළ පෙරහර බවට පත්විණි. කප් සිටුවීමෙන් ඇරඹෙන ඇසළ උත්සවය නිමාවට පත්වන්නේ දිය කැපීමෙනි. මේ අනුව මෙය වර්ෂාව ලබාගැනීම සඳහා අතීතයේ පැවැත් වූ උත්සවයකින් ආරම්භ වු බව පෙනේ. කෙසේ වුවද පුරාතනයේ පටන් පැවතෙන අනේකවිධ වූ සිද්ධීන් හා චාරිත්‍රවිධි සිහිකිරීම සඳහා මෙම ඇසළ උත්සවය යොදාගත් බවට සාධක ඇත. දළදා වහන්සේ මෙම උත්සවයට සම්බන්ධ කිරීම එයට ප්‍රධාන සාධකයෙකි. දළදා වහන්සේ ඇසළ උත්සවය හා සම්බන්ධ කරගත් පසුව එය “දළදා පෙරහර හා ,දළදා උත්සවය යන නම් දෙකින්ම ව්‍යවහාර කෙරිණි.
ඓතිහාසික වූත්, පූජනීය වූත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය ආමිෂ පූජාවන්ට මෙන්ම වෙසෙසින් ප්‍රතිපත්ති පූජාවන්ට ද මුල්තැන දෙමින් අර්ථවත්ව සැමරීම කෙරෙහි සැදැහැවත් සියලු දෙනාම වඩාත් උත්සුක විය යුත්තාහුය.

 ඌරුගමුවේ අස්සජි හිමි






 ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ ජූලි 12 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

මධ්‍යම ප්‍රතිපදාව



දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව “ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතෙන න සෙවී තබ්බා. යොචායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො. යොචායං අත්ත කිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛු කරණී ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති”
මහණෙනි, පැවිද්දා විසින් සේවනය නොකළයුතු අන්ත දෙකක් තියෙනව. පළමු අන්තය නම් කාමසුඛල්ලිකානු යෝගයයි. කාම සුඛයෙහි ඇලී ගැලී ඒ අනුව ක්‍රියා කිරීමයි. එය පහත් ක්‍රියාවකි. එය ග්‍රාම්‍ය (අශිෂ්ට) පුද්ගලයන්ගේ ක්‍රියාවකි. එය කෙලෙස් සහිත පුහුදුන් පුද්ගලයන්ගේ ක්‍රියාවකි. එය අනරිය හෙවත් නිර්වාණය කරා ගමන් නොකරන ක්‍රියාවකි. එය චතුරාර්ය සත්‍යාවබෝධයට බාධා කරන අනර්ථය ගෙන දෙන ක්‍රියාවකි. දෙවන අන්තය නම් අත්තකිලමථානුයෝගයයි. තම සිරුර නිසා පව් උපදිනව යි යන විශ්වාසයෙන් සිරුරට වධ දී එය දුබල කීරීමෙන් සදා සැප ලැබිය හැකිය යන දෙවන විශ්වාසයයි.

එයත් අනරීයයි. නිවන් මඟ නොවේ. එය වඩන්නාට යහපත පිණිස නොව අයහපත පිණිස පවතින ප්‍රතිපදාවකි. එය දුක්ඛය සහගතයි. මහණෙනි, සසර කෙලවරක් නොදකින මේ අන්ත දෙක (උභො අන්තෙ) අනුගමනය නොකරන්නැයි ඉහත සඳහන් පාඨයෙන් පස්වග තවුසන්ට බුදුන් වදාළ බව ඉහත සඳහන් දේශනා පාඨයෙන් ගම්‍ය වේ.
“ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සේවිතබ්බා. යොචායං කාමෙසු කාම සුඛල්ලිකානු යොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො” යො චායං අත්තකිලමථානු යොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො” එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගෙතන අභිසම්බුද්ධා. චක්ඛු කරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බොධාය නිබ්බානය සංවත්තති” යනුවෙන් ආරම්භ කොට දේශනා කළ උන්වහන්සේගේ මංගල දේශනාව වන දම්සක් පැවැතුම් දේශනාව තමන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලෙහි දේශනා කළ අසූහාරදහසක් ධර්මස්ඛන්ධය සම්පිණ්ඩනය කොට දෙසු පළමු වන අසහාය අතිශ්‍රේෂ්ඨ ධර්මදේශනාවයි.
මෙලොව උපන් සත්ත්වයන්ට පුනර්භවයක් තවත් නැතැයි යන මිථ්‍යා දෘෂ්ටිය ගත් උච්ඡේදවාදීන්ගේ මෙලොවදී හැකිතාක් පස්කම් සැප විඳිමින් කාම සුඛයෙහි ඇලී ගැලී වාසය කොට මේ භවය අවසන්, කළයුතු ය යන උච්ඡේද දෘෂ්ටියත් එසේම යී කී පරිදි සැප ලැබීමට කැමැති නම් මේ ආත්මයට (පස් කඳට) හැකිතාක් දුක්දීමෙන් කෙලෙස් නැසිය යුතුය. යන අත්තකිලමථානු යෝගයත් යන අන්ත දෙක පැවිද්දන් විසින් බැහැර කළයුතුයයි පළමුවෙන්ම වදාරා තමන් වහන්සේ සොයාගත් මධ්‍යම ප්‍රතිපදාව එතැන් සිට විස්තරව වදාළ සේක. කම් සුවයෙහි ඇලී ගැලී විසීමි එක් අන්තයකි. එය ළාමකයි. එය ග්‍රාම්‍යයි. පුහුදුන් ජනයා විසින් අනුගමනය කරන්නකි. එය මාර්ග ඵල සෙවුනා ආර්ය පුද්ගලයන්ගේ පිළිවෙතත් නොවේ. එය අනර්ථ කරයි. එය ආධ්‍යාත්මික වශයෙන් යහපතක් ගෙනදෙන පිළිවෙතක් නොවේ. එය වස්තුකාම සහ ක්ලේශ කාම කියා දෙයාකාරයි. රූපාදී වස්තුවලට ආශාවෙන් රූපාදියේ රස විඳීමෙන් සැප විඳීම වස්තු කාමයයි. ජීවත්වනතාක් කම්සැප විඳිමින් ජීවත් විය යුතුයි කීයේ ඒ බවයි. අනෙක ක්ලේශ කාමයයි. පස්කාම වස්තු අරමුණු කරගෙන සිතේ උපදින ක්ලේශකාම පිළිබඳව සිත සිතා සතුටු වීමයි. දෙවනුව වදාළ අන්තය මේ අත්තකිලමථානුයොගයයි. කයට හෙවත් ඉන්ද්‍රියයන් පිනවීමේ ආශාවන්ගෙන් මැඩී ඒවා සෙවීමේදී අපමණ දුක් හටගන්නව. ඒ නිසා කෙලෙස් අඩුකරගන්න ඕන.

ඒ සඳහා ශරීරයට දුක් දෙන්න ඕන. සිරුරට හැකිතාක් දුක් දීල සැප ලබාගතයුතුයි යන මිථ්‍යා පිළිවෙත්හි යෙදීම අනෙක් අන්තයයි. එය කාමසුඛල්ලිකානුයොගය තරම් නරක පිළිවෙතක් නොවේ. එහෙත් එය ආර්ය (ශ්‍රේෂ්ඨ) පිළිවෙතක් නොවේ. එයත් අනර්ථ කරයි. එයත් දුකක් මෙන්ම අනරිය අනර්ථකර පිළිවෙතක් බව තව දුරටත් පෙන්නා දුන්හ. එහෙයින් මහණෙනි, මේ අන්ත දෙකම අත්හැරල මේ ප්‍රතිපත්ති දෙකින් තොර මැදුම් පිළිවෙත නුඹලා අනුගමනය කරන්නැයි වදාරළ එහි අගයද මෙසේ වදාළහ. මහණෙනි මා අවබෝධ කරගත් මැදුම් පිළිවෙත වන බෞද්ධ දර්ශන මාර්ගය චක්ඛු කරණීයයි. එනම් ප්‍රඥා චක්ෂුස ඇති කරන්නකි. ඤාණකරණීයයි. එනම් ඥානය හෙවත් නිර්වාන මාර්ගඥානය උපදවන්නකි. එයින් සියලුම කෙලෙස් සමනය කරනව. සිවුසස් දහම් උපද වනව. එසේම සිවුසස් දහම් අවබෝධ කරනව. සෘජුවම එය නිවන් අවබෝධ කර ගැනීමට උපනිශ්‍රය වෙනව.
මහණෙනි, ඉහත කී ගුණයන්ගෙන් සමන්විත මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක්ද? යි ඇසූ උන්වහන්සේ තමන්ම එය පහදා දෙමින් මෙසේ වදාළහ. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අට තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදැයි වදාළහ. ඉක්බිති උන්වහන්සේ චතුරාර්ය සත්‍යයට අයත් ධර්ම හතර විස්තර කරමින් “ඉදං ඛො පනභික්ඛවෙ දුක්ඛං අරිය සච්චං” සවිස්තර කරමින් මහණෙනි, ජාතිය (උපත) දුකයි. ජරාව (දිරීම) දුකයි. ව්‍යාධිය (රෝගීවීම) දුකයි. මරණය දුකයි. අප්පිය සම්පයෝගය (අපි‍්‍රය පුද්ගලයන් හා එක්ව විසීම) දුකයි. පි‍්‍රය පුද්ගලයන්ගෙන් වෙන්ව විසීම දුකයි. කැමැති දෑ නොලැබීම දුකයි.
මේ සියල්ල ගොනුකොට සලකනවිට පඤ්චුපාදනක්ඛන්ධයම (රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන උපාදාන පසේම ඇතිවීම) දුකයි. ඉක්බිති බුදුන් වහන්සේ විස්තර කරනව දුක්ඛාර්ය සත්‍යය හෙවත් මාර්ග ඵලාබෝධයෙන් වටහා ගතයුතු ජාත්‍යාදී දුක්ඛාර්ය සත්‍යය ඉහත සඳහන් පරිදි දේශනා කළා. දෙවනුව දුක්ඛ සමුදය හෙවත් දුක් උපවන ආර්ය සත්‍යය දේශනා කළා. එනම් පෙර භවය හා මේ භවය සම්බන්ධ කරන නැතහොත් මේ භවයෙහි උපතාදී දුක් හට ගැනීමට හේතුවන තෘෂ්ණාව පිළිබඳව දේශනා කරමින් එය කාම, භව, විභව යනුවෙන් පුනර්භවය ඇති කරන, නන්දි නම් සත්වයා සසර බැඳ තබන රාගයෙන් (ඇලීමෙන්) යුක්ත, උපන් උපන් භවයට ආශාවෙන් සතුටු වන කාම තණ්හා (රූපාදී පඤ්චස්කන්ධය පිළිබඳ ආශාව) භව තණ්හා (සත්වයා සදාකාලිකයයි පිළිගෙන භවයට ඇති ආශාව විභව තණ්හා (සත්වයා මරණින් මතු යළි නූපදින්නේ යයි යන දෘෂ්ටිය) යන මේ ත්‍රිවිධ තෘෂ්ණාව විස්තර කළා. අනතුරුව දුක්ඛ නිරෝධ සත්‍යය විස්තර කරමින් වදාරනව ඉහත කී ත්‍රිවිධ තෘෂ්ණාව මුළුමනින් නැසීම, මුළුමනින් අත්හැර දැමීම, මුළුමනින් දුරු කිරීම, මුළුමනින් එයින් මිදීම මුළුමනින් ඒ පිළිබඳ ඇලීම දුරු කිරීම දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි වදාළහ. දුක්ඛ නිරෝධය නම් කෙලෙස් සහිත පඤ්චස්කන්ධයාගේ චුතිය, ප්‍රතිසන්ධිය, නැතිවීමට දුක්ඛ නිරෝධය හෙවත් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට හේතුවෙනව. එවිට පඤ්චස්කන්ධය නමැති දුක්ගොඩ යළි ඇතිවන්නේ නැත. අනතුරුව දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදාර්ය සත්‍යය විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ වදාරනව සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මාසති, සම්මා සමාධිය යන ආර්ය අෂ්ටාංගික මාර්ගය බව. දුක්ඛ නිරෝධ නම් පුද්ගලයා නම් නිවන කරා පමුණුවන හා ඒ සඳහා අනුගමනය කළයුතු ප්‍රතිපත්තිය හෙයින් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව යයි මෙය හඳුන්වනව.
නිවන් අරමුණු කොට උපදින සෝවාන් සකෘදාගාමි, අනාගාමී, අර්හත් යන ලෝකෝත්තර කුසල් සිත් සතර සමග යෙදෙන ප්‍රඥා, විතර්ක, විරති, වීර්ය, ස්මෘති, ඒකග්‍රතා යන චෛතසික හයයි. ආර්යෂ්ටාංගික මාර්ගය නම්, මෙහි විරති චෛතසික සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වශයෙන් ත්‍රිවිධයි.

ප්‍රඥා, විතර්ක, වීර්ය, ස්මෘති, එකග්‍රතා යන චෛතසික අට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් වේ. මෙහි දැක් වූ ප්‍රඥා චෛතසිකය සම්මාදිට්ඨියයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන තුන විරතියයි. සම්මා වායාමය වීර්යයයි. ස්මෘතිය සම්මා සතියයි. එකග්ගතාව සම්මා සමාධියයි. මෙහි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, තුන සීලයයි. සම්මාවායාම, සම්මා සති, සම්මා සමාධි තුන සමාධියයි. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප යන දෙක ප්‍රඥාවයි. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිවිධ ශික්ෂාවට අයත් වේ. නිවන අවබෝධ කරගැනීමට භාවනා කරන්නා පළමුවෙන් ශීලයෙහි පිහිටා දෙවනුව සමාධිය වඩා අවසානයෙහි විදර්ශනා වඩා ප්‍රඥාව ලැබිය යුතු යි. අනතුරුව බුදුරජාණන් වහන්සේ වදාරනව මෙසේ දුක්ඛාර්ය සත්‍යය දුක්ඛ සමුදයාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනි පටිපදාර්ය සත්‍ය යන සත්‍ය සතර මා පෙර නෑසු ධර්මයකි. ඒ පිළිබඳ නුවණැස පහළ වුණ, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණි. මහණෙනි, මේවායින් දුක්ඛාර්ය සත්‍යය පිරිසිඳ දත යුතු යයි පළමු නුවණ මට පහළ වුණ. අනතුරුව දුක්ඛ සමුදයාර්ය සත්‍ය ප්‍රහාන කළ යුතුය යන නුවණ පහළ වූණා. අනතුරුව දුක්ඛ නිරෝධාර්ය සත්‍යය නුවණින් ප්‍රත්‍යක්ෂ කළ යුතුය යන නුවණ පහළ වුණා. අනතුරුව දුක්ඛ නිරෝධගාමිණි පටිපදා ආර්ය සත්‍යය වැඩිය යුතුය. ප්‍රගුණ කළයුතුය. යන නුවණ පහළ වුණා. අනතුරුව මේ සත්‍ය හතරම වඩන ලදැයි යන නුවණ පහළ වුණා. මෙසේ සත්‍යඥාන, නත්‍ය ඥාන, කෘත ඥාන යන ත්‍රිවිධාකාරයෙන් මේවා පිළිබඳ නුවණ පහළ වුණා. මහණෙනි, චතුරාර්ය සත්‍යය වඩා නිවන් අවබෝධවන තුරු මරුන්, බඹුන්, මහණ බමුණන් දෙවි මිනිසුන් සහිත ලෝකයට මම උතුම් සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යි පිළින නොකෙළෙමි. ප්‍රකාශ නොකළෙමියි වදාළහ. මහණෙනි, කිසියම් දවසෙක තිපරිවට්ට (එකක් තුන් ආකාර වශයෙන් දොළොස් ආකාර වූ) චතුරාර්ය සත්‍යය ඇති සැටියෙන් (යථාභූතඥානයෙන්) නුවණට වැටහුණේ ද එකල්හි මරුන්, බඹුන්, දෙවි, මිනිසුන් සහිත ලෝකයට මම උතුම් සම්බෝධිය අවබෝධ කෙළෙමි. මාගේ අර්හත් ඵලය ස්ථිරය. මේ මාගේ අන්තිම උපතයි. මට මතු භවයක් නැත. යන සිහිකටයුතු ප්‍රත්‍යවේක්ෂ ඥානය පහළ වී යයි වදාළෙමි.
ධම්මචක්ක දේශනාව නිමාවීමෙන් හිරු බැසයාමත් කොණ්ඩඤ්ඤ තවුසාණන් සොතාපත්ති ඵලයට පත්වීමත් යන කරුණු තුන එකවිටම සිදුවිය. එසේම ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ තවුසාණන්ට යම්කිසි ධර්මයක් (එනම් සත්ත්ව පුද්ගල හෝ එසේ නොවන හෝ ප්‍රත්‍යයෙන් හටගත් සියල්ලක්ම නිරුද්ධවීම ස්වාභාවිකය යන රාගාදී රජස් රහිත පහවූ දෘෂ්ටි විචිකිච්ඡා දී මළ රහිත (සක්කායදිට්ඨි, විචිකිච්චා යන සංයෝජනයන්ගෙන් තොර) සොතාපත්ති මාර්ගඥානය (දහම් ඇස) අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්ට පහළ විය. (ධම්ම චක්ඛුං උදපාදී)
බුදුරදුන් ගේ මේ මංගල ධර්ම දේශනාව අසන්නට පස්වග මහණුන් හැර පැමිණ සිටියේ දසදහසක් සක්වල දෙව් බඹුන්ය. මේ දේශනාව හමාර කරත්ම භූමාටු දෙවතාවන් විසින් බුදුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී මේ ලෝකයෙහි කිසිම ශ්‍රමණයකු, බ්‍රාහ්මණයකු, දෙවියකු, මාරයකු, බ්‍රහ්මයකු විසින් නො පැවැත්විය හැකි නිරුත්තර වූ මේ ධර්ම චක්‍රය තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලදැ’යි කියා මහ හඬින් සාධුනාද දුන්හ. එම සාධුනාදය ඇසූ චාතුර්මහා රාජිත, තාවතිංස, යාම තුසිත නිම්මාණරතී, පරනිර්මිත වසවර්ති යන සදෙව් ලෝ වැසි දෙවියෝ ද බ්‍රහ්ම කායිකාදී දෙවියෝ ද ඉහත සඳහන් ප්‍රකාශය කරමින් සාධුනාද පැවැත් වූහ. බඹලොව තෙක් මේ සාධු නාදය උස්ව හැඟෙත්ම දස දහසක් සක්වල ලෝක ධාතුව කම්පා විය. (සංකම්පි’ සම්පකම්පි’ සම්මපවෙධී) අතිශයින් කම්පාවිය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක් ලොව පුරා පැතුරුණි.
ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ සතුට ප්‍රකාශ කරමින් ‘කොණ්ඩඤ්ඤ’ (ඔබ) ඒකාන්තයෙන් ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තේ ය. කොණ්ඩඤ්ඤ, ඔබ ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තේය යනුවෙන් තෙවරක් කියා තමන් වහන්සේගේ (උදානය) පී‍්‍රතිය ප්‍රකාශ කළ සේක. සිව්සස් අවබෝධ කළ පළමු ශ්‍රාවක කොණ්ඩඤ්ඤ තෙරනුවෝ එතැන් පටන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් වූහ. අඤ්ඤාසි වත හො කොණ්ඩඤ්ඤො යයි බුදුහු වහන්සේ වදාළහ. ඉතිරි සිව් නමට ඒ අවස්ථාවේ මාර්ග ඵලයක් නොලැබුණත් අප්‍රමාණ දෙව සමූහයෝ මාර්ගඵල ලාභීහු වූහ.
මේ පස්වග තවුසන් හැම දෙනාම බුදුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා අපට ඔබවහන්සේගේ සසුනේ පැවිද්ද ලබා දෙන මෙන්. අපි ඔබවහන්සේගේ මේ ධර්මය පිළිගත්තෙමු කියා පැවිද්ද ඉල්ලා සිටියා. එවිට බුදුන් වහන්සේ ඔවුන්ගේ අතීත පුණ්‍ය මහිමය බලා පළමු වන දිනයේ කොණ්ඩඤ්ඤ තවුසාට ඒහිභික්ඛු පැවිද්ද හා උපසම්පදාව ලබා දුන්හ. ඉක්බිති දෙවන දිනයෙහි බුදුන්ගේ අනුශාසනාව ඇසූ භද්දිය හා වප්ප යන දෙනම සෝතාපත්ති ඵලයට පත්ව බුදුන්ගෙන් පැවිද්ද ඉල්වා ඒහි භික්ඛු සාමණේර පැවිද්ද හා උපසම්පදාව ලැබූහ. අනතුරුව තෙවන දිනයෙහි බුදුන්ගේ අනුශාසනාව අසා මහානාම හා අස්සජි යන දෙනම සෝවාන් ඵලයට පැමිණ බුදුන් ළඟ පැවිද්ද ඉල්ලා ඒ දෙනම ද ඒහි භික්ඛු පැවිද්ද හා උපසම්පදාව ලැබූහ. මේ කාලය තුළ මාර්ගඵලලාභී භික්ෂූන් පිඬු සිඟා වැඩ දානය ගෙනවුත් බුදුන් ප්‍රධාන හතමම එම දානය පරිභෝග කළහ. අවසානයෙහි බුදුරජාණන් වහන්සේ සොතාපන්න වූ පස්වග භික්ෂූන් අමතා අනත්ත ලක්ඛණ සූත්‍රය දෙසමින් මහණෙනි, රූප වේදනා, සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේවා මාගේ නොවෙයි. මේ රූපාදිය මම නොවෙමි. මා කැමැති පරිදි මේවා පවත්වා ගන්න නොහැකිය. මේවා අනාත්මයි. සදාකාලිකව නොනැසී පවත්නේ නොවෙයි. යනුවෙන් සත්ත්වයා අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයින් යුක්ත බව හෙවත් යථා ස්වභාවයෙන් යුක්ත බව පෙන්නා දී රූපාදියෙහි ඇල්ම දුරු කොට ඒවා පිළිබඳ කලකිරුවා ඒවායින් මිදීම සසර දුක් නිවීමට හේතුවන බව පහදා දුන්හ. ඒ ඇසූ පස්වග මහණහු සතුටට පත්ව තෘෂ්ණා දෘෂ්ටිවලින් මිදී කෙලෙසුන්ගෙන් මිදුනහ. සියලු සත්ත්වයෝ නිවනින් සදාකාලික සැනසීම ලබත්වා.

 ඉතිරි කොටස ඇසළ අව අටවක අගෝස්තු 07වනදා පත්‍රයේ පළවේ

 දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත, අග්ග මහා පණ්ඩිත,
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති,
පල්ලත්තර සුමනජෝති නා හිමි





 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 31 වනදා සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

ජීවිතය අර්ථවත් කරන බෞද්ධ ඉගැන්වීම්


තමන්ට පිහිට තමාමය, වෙනත් කවරෙක් පිහිට වන්නේද? තමාම ම පිහිටකොට වාසය කරව්, අනුන් පිහිටකොට වාසය නොකරව්” “තමා ම තමා හට දුර්ලභ පිළිසරණ ලැබ ගනී.” “ඔබම වෙර දැරිය යුතුය. ශුද්ධිය සහ අශුද්ධිය තම තමන් ළඟය. අනෙකෙක් අනිකකු ශූද්ධ නොකරයි.”මේ සූත්‍රපිටකයේ සඳහන් වන බුද්ධෝපදේශක කීපයක සිංහල අනුවාදක කිහිපයකි. මනුෂ්‍යත්වයේ වගකීම, ශක්තිය හා අගය මෙම දේශනාවලින් මැනවින් ප්‍රකාශ වෙයි. කිසිදා කිසිවෙකුට තමන් දෙවියෙකු හෝ වෙනත් අදෘශ්‍යමාන බලමහිමයක ප්‍රතිඵලයක් වශයෙන් පෙනී නොසිටි, හඳුන්වා නොගත් බුදුරජාණන්වහන්සේ මනුෂ්‍යයකු වශයෙන් ප්‍රඥාවේ උත්තරීතර ශක්තියෙන් බුදු බව ලබා ගත්හ. ඒ බව ප්‍රකාශ කළහ. එහෙයින් මිනිසා කිසිවකුටත් ගැති නොවි ප්‍රඥාවෙන් ක්‍රියාකිරීම නිසා අරහත්භාවයට පත්වීමටත් ලොව දිනීමටත් සමර්ථ වන බව පෙන්වා දුන්හ. මෙසේ මනුෂ්‍යත්වයට ප්‍රමුඛතාවය දෙමින් දේශිත තථාගත ධර්මය මිනිසාට මිනිසා වටහාදෙන මිනිස් සමාජයට අර්ථවත් මෙන්ම ඵලවත් මිනිසකු තනාදෙන මිනිස්කම හඳුනා නොගත් මිනිසුන් නිසා මිනිසුන්ට නානාවිධ ගැටලු ප්‍රශ්නවලට මුහුණ දෙමින් අනර්ථකාරී අවැඩදායි ව්‍යසනවලට ගොදුරුවීමට සිදුවන හැටි පෙන්වා දෙන ධර්මයකි. එබැවින් එය විශ්වාසනික දහමක් මිස කණ්ඩායමකගේ හෝ වර්ගයක හෝ ප්‍රදේශයක සීමා නියමයක් ඇත්තෝ නොවේ. තිරිසනුන් හා ගස්කොළන් අතර එක් එක් ජාතිය හඳුනා ගැනීමට වෙන් වෙන් වූ ලක්ෂණ ඇතත් මිනිසුන් අතර වර්ණයෙන් හා හැඩරුවෙන් දක්නට ඇති වෙනස් කමක් හැරුනවිට ජාති වශයෙන් ගෝත්‍ර වශයෙන් හැඳින්වීමට පාදක වන කිසිඳු විසමතාවක් නොමැති අතර ජාති වශයෙන් මිනිසා එකම මිනිස් ජාතිය බවත් ප්‍රකාශ කළ තථාගතයන් වහන්සේ, ඔවුන්ට පොදුවේ මුහුණ දීමට සිදුවන දුක්කම්කටොළු වටහා ගැනීමෙන් මිනිසත්බවේ උපරිම ඵල ලබාගැනීමට හැකි බව පැහැදිලි කළහ. විමුක්ති මාර්ගයක් වූ බුදුදහම ලොවට බලපාන පොදු මිනිස් දුක් තරණයකොට විමුක්තිය සලසා ගැනීමට මඟ පෙන්වා තිබේ. තමන් වහන්සේ විමුක්තිදායකයෙකු වශයෙන් මිනිසුන් අතර පෙනී සිටීමට තැත් නොකළ අතර, විමුක්ති මාර්ග ප්‍රකාශකයෙකු වශයෙන් මඟ පෙන්වීමට තථාගතයන් වහන්සේගේ කාර්යය වන අතර එහි ක්‍රියාත්මකවීම තම තමන් සතු කාර්යයන් බව පැහැදිලිවම ප්‍රකාශ කොට තිබේ.

මෙහිලා මිනිසාගේ ප්‍රඥාවට මුල් තැන දුන් උන්වහන්සේ මාර්ග විනිශ්චයෙහි බුද්ධිමත්වීම අන්ධ විශ්වාසයෙන් අනුන් පසුපස හඹායාමට වඩා ශ්‍රේෂ්ඨ බව පෙන්වා දී ඇත. ලෝක ප්‍රවෘත්තියෙහි දක්නට ලැබෙන හොඳ නොහොඳ විනිශ්චයට ඇති හොඳම නිවැරැදි බුද්ධිමත් විචාරය මිස අනිකක් නොවේ.
එහෙයින් උන්වහන්සේ ප්‍රසිද්ධියේම ප්‍රකාශකොට වදාළේ යම් අවස්ථාවක යමක් පිළිබඳව මෙය අයහපත්ය. වරද සහගතය,අකුසල්ය කියා තමන්ටම වැටහේනම් එය කළ යුතුය. බැහැර කළ යුතුය. යමක් පිළිබඳව මෙය යහපත්ය. නිවැරැදිය. කුසල්ය කියා තමන්ටම වැටහේනම් එය සමාදන් විය යුතුය. දියුණු කළ යුතුය කියායි. බුදුදහමින් ප්‍රකාශිත කුසල්,අකුසල්, පින්, පව්,හොඳ ,නොහොඳ පිළිබඳ අවබෝධය අවශ්‍ය වන්නේ පුද්ගලයාගේ මෙන්ම සමාජයේ පවත්නා පාරිශුද්ධිය ගොඩනැඟීම සඳහාය. පුද්ගල පැවැත්මේ අපවිත්‍රතාව ඔහුගේත් සමාජයේත්, අනර්ථය සඳහා හේතුවෙයි.අපවිත්‍ර සමාජය යහපත් ජීවිතයකට ඇති මහත් අවාසනාවයි.
මේ අනුව පින් පව් දැන හැඳිනගෙන ජීවත්වීමෙන් පවත්නා පාරිශුද්ධියට පත්වන මිනිසා ලෝකය ජීවිතය පිළිබඳ සැබෑ තතු දැනගැනීමට සිත මෙහෙයවයි. ඔහුට නුවණ පෑදෙයි. ඇතිතතු වසන් කර ගනිමින් නොනැවතී දිගින් දිගටම යන දුක් දොම්නස් සමුදායක පැටලී සිටින බව තේරුම් ගනී. ආශා, ද්වේශ, මෝහයන් සිඳ බිඳ දමා විමුක්තිය ලබයි.

සබ්බපාපස්ස අකරණ
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානසාසනං 

 
සියලු පව් බැහැර කිරීම, සියලු කුසල් රැස්කිරීම, තම සිත පිවිතුරු කිරීම යන මෙය බුදු වදනයි. පව් බැහැර කොට පින් රැස්කරන මිනිසාගේ විමුක්තිය එතැනය. එසේනම් බුදුරජාණන් වහන්සේගේ මඟපෙන් වන්නේ පාරිශුද්ධියත් විමුක්තියක් සඳහාය. බුදුරදුන් පෙන්වාදුන් මේ පිළිවෙත් මඟ තවුස් ජීවිතයක් ඇති බව අනුකරණය කළයුත්තක් නොවන බව මින් පැහැදිලිවන තවත් කරුණකි. හරවත් ඵලවත් මිනිස් දිවියක් ගොඩනැඟීම බුදුදහමෙන් ඉටුවන කාර්යය නිසා එය පැවිද්දන් සඳහා පමණක් වෙන් වූ ධර්මයක් වශයෙන් හෝ පැවිදි නොවී බුදුදහම පිළිපැදීම අසීරුවෙන් හෝ සිතීම මුළාවක් පමණකි.
වරක් බුදුරදුන් හමුවට පැමිණී වච්ඡගොත්ත බ්‍රාහ්මණයා “ස්වාමිනි , මඟඵල ලබාගත් බ්‍රහ්මචාරිය ගිහි උපාසකවරු , උපාසිකාවරු එසේම කාමභෝගී ගිහි උපාසකවරු, උපාසිකාවරු සිටියේද?” කියා උන්වහන්සේගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ වදාළේ “වච්ඡ , එක්කෙනෙක් නොවෙයි, සීයක් දෙසීයක් නො වෙයි. තුන්හාරසියකිනුත් නොවෙයි. පන්සීයකුත් නොවෙයි. ඊටත් වඩා බොහෝම වැඩිය” කියායි. වච්ඡගොත්ත සූත්‍රයේ සඳහන් මේ පුවතෙන් බුදුදහම පිළිපැදීමට බාධාවක් නොවන නමුත් ධාර්මික ගිිහි ජීවිතයක් ප්‍රගුණ නොකිරීමෙන් තමන්ටත් අනුන්ටත් සිදුකළ හැකි අනර්ථය සුළුපටු නොවෙයි. එබැවින් මිනිස් අගයෙන් පිරුණු ගිහිජීවිත ගොඩනඟාගැනීමට බුදුදහමෙහි දක්වා ඇති උපදෙස් පිළිපැදීම විමුක්තිය සඳහාත් පදනම් වෙයි.
චරිතශුද්ධිය, සදාචාරය , සංවරය පිළිබඳව බුදුදහමේ දැක්වෙන ප්‍රතිපත්ති දෛනික ජීවිතයට සම්බන්ධකොට ගැනීමෙන් සමාදන්වීමෙන් ආත්මාභිවෘද්ධිය පමණක් නොව, උසස් සමාජ සංග්‍රහයක්ද සපුරාලිය හැකිය. පංචශීලය මෙහි පදනමයි. පන්සිල් ඇතිව ජීවත්වන්නා සමාජයට හිංසකයෙකු, කරදරකාරයෙකු නොවන අතර, මෙත් කරුණාව ඇති පි‍්‍රයමනාප පුද්ගලයෙක් වෙයි. ඔහු මෙලොව දියුණුව සඳහා අවශ්‍යයෙන්ම උත්ථානවීය¸ය, ආරක්ෂාව, කල්‍යාණමිත්‍රතාව, සමජීවිකතාව ළඟා කරගත යුතුයි. දැහැමි ජීවන වෘත්තියක යෙදීම, උපයා සපයාගත් දේ ආරක්ෂාකර ගැනීම, ගුණනුවණින් දියුණුවීම ,ජීවිතය සමබරව පවත්වා ගැනීම සඳහා මේ සිවුවැදෑරුම් ගුණාංග මහෝපකාරි වෙයි.
වස්තුවක් තිබීම, ඉන් ප්‍රයෝජන ගැනීම, ණය නැති බව, සපයාගත් දෙයෙහි ධාර්මික බව, කම්සැප විඳින ගිහියාට ඇති සැප හතරයි. සුවපත්ව සමාජ ජීවිතය ගෙවන ඔහු කිසිවිටෙකත් අගතියට නොයා යුතුය. අගතිගාමි බව තරම් සමාජ අසාධාරණයක් හෝ දූෂණයක් නැති තරම්ය. අගතිය පිටුදැක සිව්සඟ රාවතින් යුතුව ක්‍රියාකිරීමෙන් පමණක් සාමකාමී සහජීවනයෙන් පිරුණු සමාජ ප්‍රවර්තනයක් සිදුවේ. සමෘද්ධිමත් සමාජයකට දායකත්වය දිය හැක්කේ මව්පිය, දූදරු, ගුරු, ශිෂ්‍ය, ස්වාමි භාය¸, ස්වාමි සේවක, ගිහි පැවිදි වශයෙන් පවත්නා සාමාජික තත්ව වටහාගෙන ඔවුන් වෙත පැවරී ඇති යුතුකම් හා වගකීම් නොපිරහෙලා ඉටු කිරිමෙනි. මේ පිළිබඳව බුදුදහමේ දක්වා ඇති කරුණු බොහෝය.
කෙසේ හෝ වස්තු රැස්කිරීම බුදුදහම අනුමත නොකරයි. එය කළ යුත්තේ ධර්මයෙන් හා ශ්‍රමයෙනි. සූදුවෙන්, වංචාවෙන් , කූටකමෙන් අධර්මයෙන් සම්පත් ලැබිය හැකි නමුත් ඒ සඳහා මිනිසා ස්වකීය සාරධර්මයන් හාරා ඉවත දැමිය යුතුය. එය මනුෂ්‍යත්වයේ හාස්කමක් නොව පහත්කමකි. වස්තුවෙහි අර්ථයක් තිබේ. එය පරිභෝගයත් පරිත්‍යාගයත්ය. තමන් අඹුදරු , මාපියන්, හිතමිතුරන්, කම්කරු, මෙහෙකරුවන්, පිනවීම, ඉටුකළ යුතුය. ආපදා විපත් සඳහා වෙන්විය යුතුය.ආගන්තුකයන්, ඥාතීන් , මියගිවුන් සඳහා මෙන්ම අයබදු, ආගමික කටයුතු සඳහාද වැය කළ යුතුය. පුද්ගලයා, පවුල, සමාජය,අන්‍යෝන්‍ය වශයෙන් බැඳි පිබිදී ක්‍රියාකිරීමට හේතුවන මේ ඉගැන්වීම්වලින් කෙතරම් උසස් ගුණාත්මක මිනිසෙකු තැනීමට රුකුල් ලැබේදැයි හොඳින් පැහැදිලි වේ.
පසුතැවිල්ලට හේතුවන ජීවිතයක් ගතකරන මිනිසකු දැකීම බුද්ධ ධර්මයේ අභිප්‍රාය නොවේ. තෘප්තිමත් ජීවිතයක් ගොඩනඟා ගැනීමට නිරන්තර උපදෙස්දීම එහි පිළිවෙළයි. මක්නිසාද? මිනිසත්බව එතරම්ම දුර්ලභ වස්තුවකි. රත්නයකි. ජනයන්ධ ජාතකයෙහි පසුතැවීමට හේතුවන කරුණු දහයක් දක්වා තිබේ. යෞවනයෙහි මතුවට ප්‍රයෝජනවත් සම්පත් හම්බ නොකිරීම, ඉගෙනගන්නා වයසෙහි ඒ සඳහා උත්සාහ නොකිරීම, බොරු කේලම් කියමින්, චණ්ඩිකම් කරමින්, අල්ලස් කප්පම් ගනිමින් ජීවත්වීම , සත්ව ඝාතන, හොරකම් කිරිම, කාමමිථ්‍යාචාරය ඇතිවත් දන්සැල් නොදීම, නැතිවත් මව්පියන් වැඩිහිටියනට සංග්‍රහ සත්කාර නොකිරීම, පියාට අවමන් කිරීම, සිල්වතුන් ගුණවතුන් නැණවතුන් ඇසුරු නොකිරීම, සුචරිතයෙහි නොයෙදීම යනු ඒ දහයයි. මෙවන් පසුතැවීමක් නැත්නම් අපේ ජීවිතය කෙතරම් පිරුණු රසවත් එකක්ද? පිරුණු ජීවිතයකින් මිනිසුන් බහුමානයට පත්කොට ඔවුන්ට සැනසීම ලබාදීම මේ පිළිවෙත් මාර්ගයෙහි අපේක්ෂිත අර්ථයයි.

 කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි




 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

අපත් පුරුදු කරගත යුතු බෝසත් ගුණයක්


‘සුපසන් ජීවිතයකට’ අද ඇසළ පුර පසළොස්වක පෝදා බලාපොරොත්තු වන්නේ පරිත්‍යාගය පිළිබඳව කතා කරන්නයි. මේ ලෝකයේ ජීවත්වන අප සෑම කෙනෙක් ම ජීවන ගමනේ දී සොයා යන්නේ, බලාපොරොත්තුවෙන්නෙ මානුෂික සන්තෘෂ්ටියයි. සැනසි-ල්ලයි. සාමාන්‍ය ලෝකයා පවසන අදහස නම් ‘සිතේ දුකක්, කරදරයක් නැතිව තියෙන දෙයකින් කාල බීල, අනුන්ට කරදරයක් නැතිව මහපොළොවෙ පය තියල ජීවත්වෙන්න තියෙනවා නම් ඒ ටික ඇති යැයි කියල’.
"සුපසන් ජීවිතයක්" කියන අදහසින් පෙන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නෙත් එයයි. එහෙත් සිතේ දුකක්, කරදරයක් නැතිව තියෙන ආකාරයට කාල, ඇඳළ, පැළදල ජීවත්වෙනවා කියන තැනින් පමණක් අපිට සෑහෙන්නවත්, නතරවෙන්නවත් බැහැ. එයට හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ දීර්ඝ වූ සංසාර ගමනේ මනුෂ්‍ය ජීවිතයක් අප ලැබූවේ ඉතාම දුර්ලභවයි. ඉතාම දුර්ලභව මුණ ගැසුණු මේ මනුෂ්‍ය ජීවිතයේ එකම පරමාර්ථය ඇස, කණ, නාසය යන ඉන්ද්‍රියන් සතුටු කිරීම පමණක් ම වෙන්නට බැහැ.
තමන් දහදිය මහන්සියෙන් උට්ඨාන වීර්යයෙන් දෑතේ, දෙපයේ මහන්සියෙන් යම් වූ ද ධනයක් උපදවාගෙන එම ධනය තමනුත් සතුටින් පරිභෝග කරල දෙමාපියෝ, ස්වාමි භාර්යයා, දරුවන්, කල්‍යාණවන්තයන් ආදී වශයෙන් පරිභෝග කරගෙන, අන් අයටත් උදව් උපකාර කරගෙන ජීවත් වෙන්න පුළුවනි නම්, එය සිතේ සන්තෘෂ්ටියයි. සැනසිල්ලයි. නමුත් එයින් එහාට යමක් අපි ධර්මානුකූලව සිතිය යුතුයි.
එයට හේතුව නම් ආහාරපාන ගැනීම, නිදා ගැනීම, ජීවිතවල බිය හට ගැනීම, ඒ වගේ ම වර්ගයා බෝවීම, මේ ක්‍රියාවන් සත්වලෝකයේත් පවතින දේවල්, නමුත් උසස් මනසක් ඇතිව උප්පත්තියක් ලද මනුෂ්‍යයා විසින් ඊට වඩා ඉහළට සිතිය යුතුමයි. ඉතාම ඉහළට සිතා මනුෂ්‍යත්වයේ උපරිම ස්වභාවය උදාකර ගත්තේ අප තථාගත බුදුරජාණන් වහන්සේ ය.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ‘සබ්බඤ්ඤු’ වූ එනම් සියල්ල වටහාගත් අප තථාගත බුදුරජාණන් වහන්සේ මිනිස් සිතක ඇති කරගත යුතු උත්තරීතර ස්වභාවය අපට පෙන්වා දුන්නා. එහි ගැඹුරුම කෙළවරනම් දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයයි.
මෙන්න මේ නිසා අප සෑම කෙනෙකුගේ ම ජීවිත ධර්මානුකූලව, ලෞකික වශයෙන් සිතේ සතුටින් පවත්වා ගන්නා අතර, ආධ්‍යාත්මික වශයෙන් ජීවිතවල සුපසන්කමක්, නිවුණුකමක් ඇතිකරගත යුතුමයි. සුපසන් ජීවිතයකට මූලික වශයෙන් ලෞකිකවත්, ලෝකෝත්තරවත් දියුණුවක් මුල්කරගෙන හික්මීම හෙවත් සීලය පැවතිය යුතු බව මීට පෙර ලිපි මඟින් අප විසින් සාකච්ඡා කරනු ලැබුවා.
හික්මීමෙන් හෙවත් කායික, වාචසික සංවරයෙන් පිරිපුන් ජීවිතයකට ලෞකික වශයෙන් සිත්වල නිවීමක්, ඇවතුම් – පැවතුම්වල සංවරබවකුත් ඇතිවෙනවා වගේ ම විදර්ශනාවෙන් පෙන්වා දෙන අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මය මතු කොට දක්වන සම්‍යක් ප්‍රඥාව ඇතිකොට දක්වන උපකාරක ධර්මයන් බවට පත්වෙනවා.
අන්න ඒ ආකාරයෙන් ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත් ජීවිතවල සුපසන් බවක් ඇති කරන තවත් අගනා දහම් කොටසක් හෙවත් මානුෂීය ධර්ම කොට්ඨාශයක් පෙන්වා දෙන්න කැමැතියි.
ඒ තමයි "පරිත්‍යාගය" බෞද්ධ දර්ශනයෙහි මෙය ප්‍රධාන කොට දක්වන්නේ දානය හැටියටයි. බෝධිසත්ව උතුමෙක් තම ආධ්‍යාත්මික චාරිකාවෙහි පළමු කොට සම්පූර්ණ කරන්නෙ "දානය" බව දස පාරමිතා කතාවෙහි සඳහන් ව තිබෙනවා. එපමණක් නොවෙයි, යහපත් යැයි පවත්වන, පවසන සෑම චරිතයක ම මේ දානයට මුල් තැනක් දී තිබෙනවා.
"දානය" කියන වචනයේ තේරුම දීම කියන අදහසයි. එහෙත් බෞද්ධ දර්ශනයේ ගැඹුරු අදහස නම් අත්හැරීම කියන අදහසයි. දස පාරමිතා කතාවෙහි පාරමිතා විස්තරය සඳහන් කොට තිබෙන්නෙ මේ ආකාරයටයි. එනම්,

‘තණ්හා මාන දිට්ඨිහි අනූපහතා
කරුණුපායකොසල්ල පරිග්ගහිතා
දානාදියො ගුණා පාරමියෝ’



තණ්හා මද මාන දෘෂ්ටියෙන් බැහැරව කුසල කර්ම සකස් කරගෙන තමාගේ චිත්ත සන්තානය පිරිසුදු කිරීම දානය ආදී පාරමිතාවලින් බලාපොරොත්තු වෙනවා.
පාරමිතා යනු, පිරීමය, සම්පූර්ණ කිරීමයි. එවිට බෝධිසත්ව චරිතවලත්, යහපත් වූ මානුෂික ගුණාංග ඇති කරගත යුතු චරිතවලත් දානය, දීම, පරිත්‍යාගය ඇතිවිය යුතුමයි.
එහෙම නම් අද දවසේ අප "පරිත්‍යාගය" කියන අදහසින් පෙන්වා දෙන්නට බලාපොරොත්තු වෙන්නෙත් මේ කියන දානයමයි. එහෙත් මේ දානයෙන් අදහස් කරන අදහස් පෙළ සරල ආකාරයෙන් දකින්න, එහෙත් ගැඹුරු ආකාරයෙන් ජීවිතවලට එකතු කර ගන්න අපි කැමැතියි.
ගිහි ජීවිතයක වූවත්, පැවිදි ජීවිතයක වූවත් අප සෑම කෙනෙකුට ම නිවීමක් අවශ්‍යයයි. ඒ නිවීම අප නිතර කතා කරන වචනවලින් නම් සිතේ සතුට, ලද දෙයින් සතුටුවීම, සමගිය අනුන්ට ගරු කිරීම සහ අනුන්ගෙන් ලැබෙන ගෞරවය ආදී වශයෙනුයි.
‘දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. මේ ශාසනයෙන් අඩක් පමණ පවතින්නෙ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසා නේද?’ කියල.
‘භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වූයේ ‘මේ ශාසනයේ අඩක් නොව මුළු ශාසනය ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර හෙවත් සද්පුරුෂ ආශ්‍රය නිසා බවයි.’
එසේ නම් අපගේ ජීවිතවල සංසිදුණු බවක්, නිවුනු බවක් ඇතිවීමට නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් අවශ්‍යමයි. කල්‍යාණ මිත්‍ර කියන අදහස තුළ පළමුව තමා තමාට කල්‍යාණවන්තයෙක් වෙනවා සේම බාහිර ඇසුරට කල්‍යාණවන්තයෙක් ද අවශ්‍යයි. ඒ කල්‍යාණවන්තයා හෝ කල්‍යාණවන්ත බව යැයි පවසන වදන් පෙළ තුළ දානය, පරිත්‍යාගය, අත්හැරීම උපකාරය තිබෙන බව පැහැදිලියි.
ගුණයහපත් වූ මනුෂ්‍යයෙක් යැයි පවසන්නේ සිතිවිල්ලකින්, වචනයෙන් හෝ ක්‍රියාවකින් හෝ අන් අයෙක් වෙනුවෙන් යම් වූ ද සේවාවක්, පරිත්‍යාගයක්, උපකාරයක් කළ හැකි අයෙකුටයි.
මේ පරිත්‍යාගය බෝධිසත්ව උතුමෝ ඇස්, හිස්, මස්, ලේවල පටන් ජීවිත පරිත්‍යාගය දක්වා ම රැගෙන යනවා. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමාට අයත් වස්තුවක් පරිහරණයට පරිත්‍යාග කිරීම දානයයි. දානය ගැන සඳහන් කරන විට කොටස් තුනකින් පෙන්වා දිය හැකියි. එනම් දාන පාරමී, දාන උප පාරමී, දාන පරමාර්ථ පාරමී වශයෙනුයි. බාහිර වස්තු එනම් ආහාරපාන, ඇඳුම් පැළඳුම් ආදී පරිහරණයට ගත හැකි වූ යමක් කෙනෙකුට දීම දාන පාරමී නම් වේ. දාන උප පාරමී යැයි සඳහන් කරන්නේ තමාගේ ඇස්, හිස්, මස් ආදී ශරීර අංග දන්දීම හෝ පරිත්‍යාග කිරීමයි. පරමාර්ථ පාරමී යනුවෙන් සඳහන් කරන්නේ තමාගේ ජීවිතය පවා පරිත්‍යාග කිරීමයි. මෙය බෝධිසත්ව උතුමෙකුගේ ඉහළම පරිත්‍යාගයයි.

 බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි




 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි