Labels

Thursday, September 3, 2015

සාගර පරදන ආදර සිතිවිලි

 

ප්‍රේමය දිව්‍යමය තිළිණයක් යැයි පැවසේ. එම රමණීය ප්‍රේමය තුළ වුවද මරණීය විසකටු සැඟව නැතුවා නොවේ. එහෙත් සක්වළේ ජීවය පවතින්නේ ප්‍රේමය නිසා බව පෙනෙයි. එවන් උත්තරීතර ප්‍රේමයට අවනත නොවන දෙයක් සැබවින්ම තිබේද ? මෙබඳු බොහෝ දේ අපි සක්වළ සක්මන 32 වෙනි පියවරින් මෙසේ විමසා දකිමු.



මහානායක හාමුදුරුවනේ,
‘ආත්මීය ආදරය’ සඳහා හේතු වන කාරණා පිළිබඳව බුදු දහමේ විස්තර කෙරෙන්නේ, කොහොමද ?

දැන්, පුද්ගලයන් අතර තදනන්තර ආදරයක් (සිතිවිලි අතර බැඳීමක්) ඇතිවීමට බලපාන කරුණු රැසක් තිබෙනවා. එයින් ප්‍රධාන වන කරුණු දෙකක් ගැන අපේ බුදු හාමුදුරුවෝ මෙසේ දේශනා කොට වදාළා,

පුබ්බේව සන්නිවාසේන
පච්චුපන්න හිතේනවා..
යනුවෙන්.
1. පෙර ආත්ම ( ජාති ) යේදී එකට සිටීම
2. මේ ආත්මයේදී කිසියම් උපකාරයක් කිරීම යන ආදී හේතු නිසා කෙනෙකු තුළ ප්‍රසාදයක්, ප්‍රිය මනාප බවක්, හිතෛෂීත්වයක් හා ළබැඳියාවක් ඇති වෙනවා. මෙවැනි ධනාත්මක සිතිවිලි ඇතැම් විට ආදරයක් බවට පෙරළෙනවා. මෙලෙස උපදින ආදර බැඳීම්, රාගාධීව හටගන්නා තාවකාලික බැඳීම්වලට වඩා හැම අතින්ම ප්‍රබලයි. ඒ වගේම අව්‍යාජයි. ඒ නිසා මෙබඳු ආදර බැඳීම් බොහෝ කාලයක් තිරසාරව පවතිනවා.

කාන්දම් වැනි ආදරය

දැන් අප කාට හරි හදවතින්ම ආදරය කළාම ඒ අයගේ සිතෙත් අප කෙරහි ඇත්තටම ආදරයක් උපදිනවා ද ?

ඒක සංසාරිකව බැඳී එන ආදර සිතිවිල්ලක් නම්, ඔබ ආදරය කරන කෙනා තුළත් ඔබ කෙරෙහි නිරායාසයෙන් ආදරයක් ජනිත වෙනවා. නමුත් ඒක අලුතින් මතු වූ ආදර සිතිවිල්ලක් නම්, ඒ සඳහා ඔබේ කැප කිරීම් හා ඊට යම් කාලයක් ගතවීමට ඉඩ තිබෙනවා. “ පිරිසුදු චේතනා - ගෙන දේ වාසනා “ වැනි කියමන් වගේ ඔබේ සිතිවිලිවල ප්‍රබලත්වය ඒ සඳහා බලපානවා.
හැබැයි, ආත්මීය ආදර සිතිවිලි කාන්දම් වගේ ඇදී ළංවී එකට එකතු වෙනවා. එවන් ආදරයන් භවයෙන් භවයට පාරමිතාවක් වගේ සපිරීම නිසා හෝ නිරායාසයෙන් සිදුවීම නිසා සවිමත්ව සසරෙහි පවතිනවා. කුල මල, උස්මිටි කිසිඳු භේදයක් ඊට අදාළ වෙන්නේ නැහැ. බාහිර බාධක, අවහිර හා විරෝධතා බිඳගෙන එබඳු ආදර බැඳීම් ඉක්මනින් ඇති ( ළං ) වෙනවා.

ප්‍රේමණීය ප්‍රාර්ථනා අමරණීය ද ?

එතකොට, මේ ආත්මයේදී එලෙස එකතු වෙන්න යම් විධියකින් බැරි වෙලා, ඊළඟ ආත්මයේදී හෝ අපට එකතු වෙන්න ලැබේවා කියලා අප කරන ප්‍රාර්ථනා බොහෝවිට සැබෑ විය හැකි ද ?
දෙන්නම එහෙම ප්‍රාර්ථනා කළා නම්, ඒ දේ සිදුවිය හැකි ඉඩකඩ ඉතා වැඩියි. දෙදෙනා තුළම සැබෑ ආදරයක් හටගෙන තිබුණත්, නොයෙකුත් හේතූන් නිසා මේ ආත්මයේ දී එකතු වෙන්න පින් මදි වුණත් මතු භවයකදී හෝ එකට එකතු වෙන්න හැකියාවක් තිබෙනවා. ඒ සඳහා තම තමන් කරන කියන දේවලුත් සෘජුවම බලපානවා.
නමුත්, අධිෂ්ඨානයෙන් තොර ප්‍රාර්ථනාවලට පමණක් සීමා වූ ආදරය බොඳවී යාමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. සංසාරික ආදර සම්බන්ධතාවල වුණත් අතර මග, මගහැරුණු අවස්ථා තිබෙන්නට පිළිවන්. ඒ සඳහා විවිධ කරුණු බලපා තිබෙන බව ඒවා පරීක්‍ෂා කර බලනවිට අපට පෙනී යනවා.

ප්‍රේමය මග හැරෙන හැටි

හොඳයි. ඒ සඳහා බලපා තිබෙන හේතු සාධක ඇත්තටම මොනවා ද ?

ප්‍රධාන වශයෙන් ඒකට මතු දැක්වෙන හේතු බලපා ඇති බව කිව හැකියි. එනම්,
1. එම දෙදෙනාගෙන් කෙනෙකු කල්ගත වී ඊළඟ භවයේදී උපත ලැබීම නිසා ඒ වනවිට පළමුව උපන් තැනැත්තා හෝ තැනැත්තිය මහලු වී සිටීම හෝ මිය ගොස් තිබීම.
2. එම දෙදෙනාගෙන් කෙනෙකු වෙනත් රටක හෝ වෙනත් සක්වළක ඉපදීම නිසා එක් වරක් හෝ එම භවය තුළ ඔවුන් හමු නොවීම.
3. එම දෙදෙනාගෙන් කෙනෙකුට මනුෂ්‍ය ආත්මයක ඉපදීමට නොහැකි වීම වැනි හේතු නිසා ආත්ම කිහිපයක් එකට හමු නොවී සසර ගත වුණොත්, එම ආදර බැඳීම් අප්‍රාණික, අක්‍රීය වෙමින් වෙනත් අලුත් ආදර සම්බන්ධතා හට ගැනීමට ඉඩ තිබෙනවා.

සීමා බිඳ මතුවන පෙම

නමුත්, ඔබ වහන්සේ පෙන්වා දුන් ඉහත සමහර හේතු සාධක අතික්‍රමණය කර ආත්මීය ආදර බැඳීම් ඉස්මතු වුණ අවස්ථා පිළිබඳව වාර්තා වෙනවා නේද ?

ඔව්, දැන් යුරෝපය ආදී විදෙස් රටවල ඉපදුණ විදේශකයින් අපේ රටවලට පැමිණ මෙහේ සිටින ඇත්තන් විවාහ කරගෙන යන අවස්ථා තිබෙනවා. සමහරවිට ඔවුන්ම දන්නේ නැහැ, ඇයි එහෙම දෙයකට කැමති වුණේ කියලා, ඒකෙන් ඒ තැනැත්තාට ලැබෙන සතුටකුත් නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම දේවල් ඔවුන් නොදැනුවත්වම සිදු වෙනවා.
හැබැයි, ධනයට බලයට, නිලයට හෝ දේපළට ගිජුකමින් සිදුවන ව්‍යාජ ප්‍රේම සම්බන්ධතා නොවෙයි මේවා. එහෙම ඉතා පටු අසම්මත ආදර බන්ධනත්, ඒවාට මුවාවී සිදු වෙන්නට ඉඩ තිබෙනවා. නමුත් ඒවාට ඒතරම් පැවැත්මක් නැහැ. වැඩිකල් නොගොස් ඒවා බිඳි යනවා.

සිතිවිලි

එහෙමනම්, තිරිසන් සතුන් අතරත් මෙවැනි ආදර බැඳීම් වගේම ආදර සිතිවිලි සන්නිවේදනයනුත් සිදු වෙන්නට බැරිද ?

දැන්, මේ විශ්වය තුළ ඇති භෞතික පදාර්ථ සියල්ලම එකිනෙකට සියුම් ලෙස බැඳී සක්‍රීයව පවතිනවා. මේ තත්ත්වය සියලු සිතිවිලි කෙරෙහි බලපැවැත්වෙනවා.
මේ බව ආචාර්ය ලැරීඩොසී සහ ඇමරිකානු විශේෂඥ වෛද්‍ය රැන්ඩොල්ෆ් ඩ්‍රයිච් මෙන්ම ආචාර්ය ජේ. බී. රයින් වැනි පර්යේෂකයන් පවා සිය පර්යේෂණ මගින් අනාවරණය කර ගෙන තිබෙනවා.


 අග්ග මහා පණ්ඩිත ආචාර්ය
බෙල්ලන ඤාණවිමල මහ නා හිමි








 ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නවම් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ පෙබරවාරි 17 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment