තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු උභතෝ සංඝයා ගේ මධ්‍යයෙහි සාධාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට පාත්‍රයක් තබා පළමුවෙන් සියල්ල තථාගතයන් වහන්සේට පුදා සංඝයාහට දන් දීම් වශයෙන් පළමුවන සාංඝික දානය දිය හැක බව දක්වා එහිදී බුදුන් වහන්සේ උදෙසා පිදූ ආහාර පානාදියට කළ යුතු දෙය දක්‍ෂිණා විභංග සූත්‍ර අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ.
තත්ථ යං සත්ථු දින්නං තං කිං කාතබ්බන්ති? යො සත්ථාරං පටිජග්ගති වත්ත සම්පන්නො භික්ඛු තස්ස දාතබ්බං පිතූසන්තකං හි පුත්තස්ස පාපුණාති භික්ඛුසංඝස්ස දාතූම්පි වට්ටති, සප්පි තෙලානි පන ගහෙත්වා දීපා ජාලිතබ්බා. සාටකං ගහෙත්වා පටාකා ආරොපෙතබ්බාති
“එහි බුදුන් වහන්සේට යමක් පුදන ලද නම් එය කුමක් කළ යුතුද? යම් වත්ත සම්පන්න භික්ෂුවක් බුදුන් වහන්සේට උපස්ථාන කෙරේ නම් ඒ භික්ෂුවට දිය යුතු ය. පියාට අයිති දෙය පුත්‍රයාට පැමිණෙන බැවින් භික්ෂූ සංඝයාහට දෙන්නට ද වටනේ ය. තෙල් හා ගිතෙල් ගෙන පහන් දැල්විය යුතු ය. වස්ත්‍ර ගෙන කොඩි එසවිය යුතුය” යනු එහි තේරුම් ය.
විහාරාදියට ගෙන ගොස් පුදා ඇති ආහාර පානාදිය ගැන පිළිපැදිය යුතු සැටි ද මේ අටුවා පාඨය අනුව කිය යුතු ය. විහාරයෙහි වත් කරන භික්ෂුවක් වි
පූජාසන පවිත්‍ර කරනු පිණිස පිදූ ආහාරපාන ඒ තැන්වලින් ඉවත් කළ යුතු ම ය. අහක දැමිය යුතු වන ඒ ආහාර පානයන් වත් කරන්නවුන් නො ගනිත් නම් කවරකු විසින් වුව ද ගැනීමෙන් පාපයක් නො විය හැකි ය. ඉවත ලන බුද්ධ පුජාව අනුභව කරන දුගී මගී යාචකාදීන්ට එයින් පාපයක් නො වේ. විහාරයෙහි චෛත්‍යයෙහි බෝධියෙහි ප්‍රයෝජනයට යෙදිය හැකි යමක් වේ නම්, ඒ සඳහා ම යෙදිය යුතු ය. වත් කරන්නවුන් විසින් වුව ද නො ගත යුතු ය. බුද්ධ සන්තක වස්තුව සොරකම් කිරීම ඉමහත් පාපයකි.
විහාරාදියෙහි වත් කරන්නවුන්ට බුදුන් වහන්සේ උදෙසා පුදන ආහාර පාන ගැනීමෙන් වරදක් නැතත් ඒවා නො ගෙන වත් කිරීම ම ප්‍රශංසනීය ය. බුදුනට ලැබෙන ප්‍රත්‍යය භුක්ති විඳීමෙන් වත් කිරීමෙහි එතරම් වටිනාකමක් නැත. ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසිපස් වසක් ම තථාගතයන් වහන්සේට උපස්ථන කළහ. උන් වහන්සේ බුදුනට ලැබෙන කිසිම ආමිෂයක් නො පිළිගත්හ. උන්වහන්සේ උපස්ථායක තනතුර පිළිගත්තේ ද බුදුන් වහන්සේට ලැබෙන ප්‍රණීත චීවර පිණ්ඩපාත නො පිළිගැනීමේ වරය බුදුන් වහන්සේගෙන් ලබා ගෙන ම ය. විහාරාදියෙහි වත් කරන ඒවා රැක බලාගෙන ඉන්නා භික්ෂූන් වහන්සේලා ආනන්ද ස්ථවිරයන් ගේ චරිතය ආදර්ශයට ගනිත්වා!
බුදුන් වහන්සේ වෙනුවෙන් පුදන ප්‍රත්‍යය බුද්ධ පුත්‍රයන් වශයෙන් භික්ෂුන්ට හිමි වතුදු “ධම්ම දායාද මේ භික්ඛවේ, භවථ මා ආමිස දායාදා” යනුවෙන් භික්ෂූන් තථාගතයන් වහන්සේ ගේ ආමිෂයට උරුමක්කාරයන් නො වී ධර්‍මයට උරුමක්කාරයන් වීම යහපත් බව තථාගතයන් වහන්සේ විසින් ධර්‍මදායාද සූත්‍රයෙහි වදාරා ඇති බැවින් ද, ඒ සූත්‍රයෙහි ම තථාගතයන් වහන්සේ දන් වළඳා අවසානයෙහි ඉතිරිවී ඉවත ලන්නට තිබෙන ආහාර වළඳා සාගින්න නිවාගෙන ඒ දිනයෙහි මහණ දම් පුරන භික්ෂුව ය. එය නො වළඳා ඒ දවස නිරාහාරයෙන් වෙසෙන භික්ෂුවය යන දෙනම ගෙන් තථාගතයන් වහන්සේ ගේ භූක්තාවශේෂය නො වළඳා ඉන්නා භික්ෂුව ප්‍රශංසනීය බව වදාරා ඇති බැවින් ද සියලු භික්ෂූන් විසින් බුදුනට ලැබෙන ප්‍රත්‍යය භුක්ති විඳීමෙන් වැළකී දිවි පවත්වා ගැනීම ම යහපත් බව කිව යුතු ය.
බුද්ධ පූජාවක් පූජාකිරීමට විහාරයකට යන සැදැහැවතකුට ආහාරයක් නො ලැබ ක්ලාන්ත වී ඉන්නා දුගියකු මුණ ගැසුනහොත් ගෙන යන ආහාර දුගියාට දී ඔහු සුවපත් කිරීම ය. ඔහු ගැන නො සලකා ඒ ආහාර විහාරයට ගෙන ගොස් පූජා කිරීම ය යන මේ දෙකින් වඩා හොඳ කුමක් ද?
දේශපාලන න්‍යායයන් අනුව මේ ප්‍රශ්න විසඳහ හොත් ඒ ආහාරය සාගින්නෙන් පෙළෙන දුගියාට දීම හොඳ බව කිය යුතුය. බුදුනට පූජාවක් කරන පින්වතා එය කරන්නට බලාපොරොත්තු වන්නේ තමා ගේ අනාගත සැපය සඳහා පින් කර ගැනීමට ය. දානමය කුශලය මහත්ඵල වන්නේ ප්‍රතිග්‍රාහකයා ගේ අසරණකම අනුව නොව ගුණවත්කම අනුව ය. බුදුනට වැඩි ගුණවතෙක් ලොව නැත්තේ ය. තථාගතයන් වහන්සේ ගුණවතුන්ගෙන් අග්‍රය ය. වැඳුම් පිදුම් කළ යුත්තන් අතරින් තථාගතයන් වහන්සේ ම අග්‍ර වන සේක.
“නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන
බුද්ධෙන සෙට්ඨො සදිසොව විජ්ජති
යමාහුනෙය්‍යානං අග්ගතං ගතො
පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිනං”
“මේ ලෝකයේ හෝ අන් ලෝකයක බුදුන් වහන්සේට ශ්‍රේෂ්ඨයෙක් හෝ සමාන වන්නෙක් හෝ නැත. පින් කැමැති වන්නා වූ මහත්ඵලය සොයා ගන්නා වූ තැනැත්තා විසින් පිදීමට සුදුස්සන් අතුරෙන් ඒ තථාගතයන් වහන්සේ අගතැන්පත් වූ සේක” යනු එහි තේරුම ය. දුගියාට දීමෙන් වන කුශලයට වඩා සිය දහස් ගුණයෙන් මහත්ඵලය වන පිනක් බුද්ධ පූජාව කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම යහපත් බව කිය යුතු ය. බුද්ධ පූජාව නො කොට ඒ ආහාරය දුගියාට දෙන්නට කීම කෙනකුට අලාභයක් කොට තවත් කෙනකුට උපකාරයක් කිරීම ය.
බොහෝ සෙයින් මෙබඳු ප්‍රශ්න නඟන්නේ බුද්ධ පූජාවත් නො කරන දුගියන්ට උපකාරයකුත් නො කරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ආත්මාර්ථකාමිහු ය. බුද්ධ පූජා කරන සැදැහැවත්හු බොහෝ සෙයින් දුගීන්ට ද උපකාර කරන්නෝ ය. නිරාහාරව ඉන්න දුගියන් සම්බන්ධයෙන් නැගිය යුත්තේ මේ බුද්ධ පූජා ප්‍රශ්නය නොව “තමාගෙන් යමක් දී අසරණයකුට පිහිටවීම ය. තමා ගේ දේ පරෙස්සම් කර ගැනීම ය යන මේ දෙකින් වඩා යහපත් කුමක්ද” යන ප්‍රශ්නය ය.
රේරුකානේ චන්දවිමල හිමි
2014 අගෝස්තු මස 06 වැනිදා බදාදා ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment