Labels

Wednesday, September 9, 2015

අපි අපේ මනස හඳුනා ගනිමු


අද මුළුමහත් ලෝකයේ සමස්ත මිනිස් වර්ගයාගේ ම මනස අතිශයින් රාගයෙන් හා ද්වේශයෙන් ද කාමයෙන් ද ඇවිලෙමින් තිබෙන බවක් දක්නට ලැබෙනවා. එකිනෙකා අතර ඇති කරගන්නා තරගය මුල්කොට මිනිස් මනස දූෂිත වී වෛරයට ඉඩකඩ ලැබෙනවා.
මේ නිසා ජාතින් අතර අසමගියත් වෛරයත් ලියලා ගොස් රුදුරු ලෙස ජීවිත විනාශ කරගනිමින් තිබෙන බව හැම පැත්තකින් ම අසන්නට ලැබෙනවා.
සතා සිව්පාවා පමණක් නොව මිනිසා විසින් තම සහෝදර මිනිස් වර්ගයා පවා විනාශ කර දැමීම සඳහා රුදුරු අවි නිෂ්පාදනයට, මිනිසා මහත් වෙහෙසක් හා වියදමක් දරා දියුණු කර ගත් බුද්ධිමය මනස යොදවා තිබෙන බව ඉතාම පැහැදිලි දෙයක්.

ප්‍රථම ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය පිළිබඳ අත්දැකීම් ඇති බොහෝ උදවිය තවම ජීවත් වෙනවා. ජපානයට දැමූ එක් ගිනි අවියකින් මොනතරම් මිනිස් ඝාතනයක් සිදු වුනා ද? එයින් ජීවිත බේරාගත් හෝ සටනින් ජයගත් අයට හෝ සිදුවූ විශේෂ යහපත කුමක් ද? රුදුරු විෂ වායුන්ගේ දුමාරයෙන් බොහෝ මනුෂ්‍යයින්ගේ දිවි පෙවෙත දුක්ඛදායක ලෙස සදාකාලික රෝගීන් බවට පත්වීම හැර සිදුවූ යහපත කුමක් ද?

මිනිසුන් වශයෙන් උපත ලබන අප ජීවත්වන්නේ කෙතෙක් නම් කෙටි කාලයක් ද? මොහොතකදී අපත් සමඟ එකට සතුටින් ජීවත්වන අය අපි එහෙ බලා මෙහෙ බලන විට සදාකාලයටම නැති වෙලා.
සදාකාලික නොවන අප වසර සියයක් පමණ නවාතැනක් පිණිස පැමිණ සිටින මගියන් හෝ ආගන්තුකයන් පමණයි.

එකිනෙකා විනාශකර ගැනීම බලයෙන් පැහැර ගැනීම, අධික ලාභ ලබා වෙළහෙළදාම් කිරීම් ආදී ඒ මේ නොයෙක් අයුරින් අප කෙතෙක් යසඉසුරු හා ධනය ඉපයුවත් පරලොව යන විට අපට ඒ කිසිවක් රැගෙන යන්නට ලැබෙනවාද
මේ කෙටි කාලීන මිනිස් ජීවිතයේ ගැබ්වන මානව වටිනාකම අපි බුද්ධිමත් ව තේරුම් ගැනීමට මහන්සි ගන්නේනම් ජිවිතය ඵලදායි ලෙස අර්ථවත් කරගත හැකියි නේද?
ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනය පුරා ගැබ්වන්නේ මිනිසකුගේ ජිවිත මැනවින් තේරුම් ගෙන එය තමන්ගේත් අනුන්ගේත් යහපත උදෙසා අර්ථවත්කර ගත හැකි ක්‍රියා මාර්ගයයි. මනස මිනිසාට ලැබී ඇති උදාරම වස්තුවයි. එය සංවර්ධනය කරගැනීමෙන් ලොව ලොකුම පොහොසතා මෙන් ම උදාර ම සතුට ලබන්නා බවට පත්විය හැකියි.

මේ සඳහා මනස පාපී අරමුණු කරා යා නොදී කුසල සිතිවිලි ඔස්සේ සංවර කරගන්නට උත්සාහ ගත යුතු වෙනවා.
දක්ෂ රියදුරකු වාහන වලින් ජනයාගෙන් පිරි මාවතක තමාගේ රථය කිසිවක නොගටා කැමැති ලෙස හසුරුවමින් තමා කැමති තැනකට පහසුවෙන් ගෙනයන්නට හැකියාව ලබනවා සේ රථය මෙන් සිත ද පාලනය කරගන්නට සමත් කම් ලබන රියදුරා වැනි දක්ෂ පුද්ගලයාට මනාලෙස සිත පාලනය කරගන්නට හැකියාව ලැබෙන බව බුදුරජාණන් වහන්සේ විස්තර කර තිබෙන්නේ.


“යසින්ද්‍රියාති සමථංගතාති
අස්සා යථා සාරමිතා සුදත්තා” යනුවෙනුයි

රියදුරා විසින් මනාලෙස හික්මවන ලද අසුමෙන් දක්ෂ පුද්ගලයාට ඉන්ද්‍රිය අරමුණ කරා ගමන් කරන සිත සංසුන් කොට ගෙන යහපත් මාර්ගයෙහි යෙදවිය හැකි බවයි. එයින් කියැවෙන්නේ.
මෙය තරමක් අසීරු කාරණයක්. සරු බිමක වහ වහා වල් පැලෑටි වැඩි ස්වල්ප කලකදී මුළු මහත් භූමියම මහ වනගතයක් බවට පත්වන්නාක් මෙන් අපේ සිතෙහි ද වහ වහා හටගන්නේ නරක අදහස් හෙවත් අකුසල චේතනා නැමති වල් පැලෑටියි. සරුබිම මනා ලෙස පාලනය නොකළහොත් කලකදී රුදුරු කටුකොහොලින් වැසුනු වනගහනයක් වන්නාක් මෙන් අපේ සිත ද රුදුරු බවින් පිරීගිය බියකරු වනාන්තරයක් බවට පත්වෙනවා.

යමෙකු එම වනය කපා වටිනා සඳුන් ගස් රෝපනය කළ ද පොහොර දමා පෝෂණය කිරීමත්, රැකීමත් නොකළහොත් එම වටිනා ගස් වහා නැවත වන ගහනය නැඟී සිටින්නාක් මෙන් මහන්සියෙන් ගොඩනගා ගන්නා කුසල සිතිවිලි වසා පාපී සිතිවිලි යලිත් නැඟීසිටින්නේ වන ගහනය වැවෙන්නා සේයි.

No comments:

Post a Comment