Labels

Tuesday, September 1, 2015

මිය ගිය ඥාතීන්ට නිවසේදී පින් දීම සුදුසු ද?



බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් සමඟ සාකච්ඡා කර 1997 වසරේ බුදුසරණ පුවත්පතෙහි පළවූ ලිපි පෙළ ඇසුරෙනි.

 ප්‍රශ්නය - මහනායක හාමුදුරුවනේ අභිධර්මය බුද්ධ දේශනාවක් වශයෙන්ම පිළිගත හැකි ද?

පිළිතුර- අභිධර්මය පිළිගන්න බෑ කියල කියන අය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒ විස්තරය පිළිගත්තේ නැද්ද? මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ අනුමත කළ මේ ත්‍රිපිටකය වටා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ළංවෙලා හිටියෙ ඒ වගේ මහ රහතන් වහන්සේලා.
අපට වඩා බුදුරජාණන් වහන්සේගේ අදහස් ඒ ඇත්තෝ දන්නවා. ඉතින් මොකද එය ප්‍රතික්ෂේප කරන්නෙ.
අනිත්‍ය, දුක්,අනාත්ම පිළිබඳව අභිධර්මය හැර විස්තර කරන්න වෙන කිසිම ක්‍රමයක් නෑ.
බුදුහාමුදුරුවො වැඩ සිටින කාලයේදි අභිධර්මය පිළිබඳ සාකච්ඡා ඇති වුණා කියන එක අපේ ත්‍රිපිටක පාලියේ පොත්වල හමුවෙනවා. ඒවා පසුව ඇතිකරපු එකක් නොවේ.

මාර පරාජය

ප්‍රශ්නය – මාර පරාජය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?

පිළිතුර – ක්ලේශයන්ට මාර කියනවා. ස්කන්ධ පහටත් මාර කියනවා. සත්ත්වයා සසර දිගින් දිගට ගෙනයමින් දුක් ඇතිවන කර්මවලටත් මාර කියල කියනවා.
බුදුහාමුදුරුවෝ බෝධිමූලයේදී වැඩ ඉන්න වේලාවේදි උන්වහන්සේ එතැනින් එළවා හරින්න නපුරු අන්දමින් කටයුතු කළ වසවර්ති දිව්‍යපුත්‍රයාටත් මාර කියනවා. මරණයටත් මාර කියනවා. ඒ සියල්ලම බුදුරජාණන්වහන්සේ විසින් පරාජය කරනු ලැබුවා. අර ඉහත කී වසවර්ති දිව්‍ය පුත්‍රයා දරුණු පුද්ගලයෙක්. සසරින් එතෙර වීමට වෑයම් කරන අයට නොයෙක් බාධා කරන ගුණ ධර්ම හෙළා දකින වසවර්ති දිව්‍ය පුත්‍රයා දිව්‍යලෝකයේ ඉන්න චණ්ඩි පහේ කෙනෙක්. සමහර විට ගම්වල ඉන්නවානේ තමන්ට නොගැළපෙනවනම් තමන්ගේ කල්ලියට නොඑනවානම් චණ්ඩිකම් කරන අය, හොඳ වැඩ වලට කොලොප්පම් කරන මැර මුරණ්ඩු අය. අන්න ඒ වගේ අය දිව්‍යලෝකයේත් ඉන්නවා. පෙර පින්වලින් ඉපදිලා සැපයෙන් මත්ව ගුණ ධර්මවලට විහිලු තහලු කරනවා. බුදුහාමුදුරුවෝ වැනි ශ්‍රේෂ්ඨ උසස් උතුම් තත්ත්වයකට පත් වූ ඒ මහා උත්තමයන් වහන්සේ නමක් භාවනා කරන අවස්ථාවේ උන්වහන්සේ භය ගැන්වීමට හිරිහැර කරන්න තරම් ඒ වසවර්ති දිව්‍ය පුත්‍රයා සැහැසියි.
ඒ වසවර්ති දිව්‍ය පුත්‍රයා දිව්‍යලෝකයේ ප්‍රධානියා නොවෙයි. චණ්ඩි පහේ එක්තරා දේවතාවෙක්.
බුදුරජාණන් වහන්සේ බෝධිමූලය අසළ වැඩසිට භාවනා කරන වේලාවේ උන්වහන්සේ සිත වික්ෂිප්ත කරන්න වසවර්ති කියන දිව්‍ය පුත්‍රයා කලබල කළා.
නමුත් මොකවත් කරගන්න බැරිව අන්තිමට ඒ වසවර්ති දෙවියාම කලබල වෙලා එතැනින් පිටත් වුණා.
ඉතින් මේ කියාපු සියලුම මාරයන් බුදුරජාණන් වහන්සේ විසින් පරාජය කරනු ලැබුවා.

ප්‍රශ්නය – සූකර මද්දව යනුවෙන් හඳුන්වන්නේ.

පිළිතුර -කැලෑවේ වල්ඌරන් ගැවසෙන ප්‍රදේශවල ඌරන්ගේ වසුරු දිරල පොළොවට ඒවා මිශ්‍ර වීමෙන් හතු වර්ගයක් පොළොවේ හැදෙනවා. ඒවා ශරීරයට බොහොම පෝෂ්‍යයි. මුවන් ගැවසෙන ප්‍රදේශවලත් එසේ හැදෙනවා. ඊට මුරුග මාර්ධව කියලත් කියනවා. සූකර මාර්ධව වලට ඌරු මස් කියල සමහරු කියනවා. ඒ වැරැදියි.
බුදුහාමුදුරුවො කුසිනාරාවට වඩින වෙලාවෙ චුන්ද කර්මාර පුත්‍රයාගේ නිවසින් දානය වැළඳුවා.
බුදුහාමුදුරුවන්ගේ ශරීර ශක්තිය තවත් වර්ධනය වන ඖෂධයක් වැනි ආහාරයක් පිළියෙළ කළ යුතුයි කියල චුන්ද කර්මාර පුත්‍රයා කල්පනා කරල සූකර මද්ධව කියන හතු වර්ගය ආහාරයක් ලෙස බුදුහාමුදුරුවන්ට පිළිගැන්නුවා. එමගින් බුදුහාමුදුරුවන්ගේ ශරීර ශක්තියේ වැඩිවීමක් මිස රෝගාතුරවීමක් සිදු වූයේ නෑ.

ප්‍රශ්නය – මිනිසාට වඩා දෙවියන්ගේ චිත්ත ශක්තිය බලවත් ද?

පිළිතුර – සමහර විට මනුෂ්‍යයන්ට වඩා දුර්වල දෙවියන් ඉන්නවා. එමෙන්ම සමහර මනුෂ්‍යයන්ට වඩා නුවණින් වැඩි අයත් ඉන්නවා.
මනුෂ්‍යයා දෙවියාට වඩා නුවණ දියුණු කර ගැනීමට සමර්ථයි.
මනුෂ්‍ය ලෝකයේ සතුරු කරදර වැඩියි. ඒ නිසා එවැනි සතුරු කරදරවලින් ඈත්වෙන්න,බේරෙන්න මනුෂ්‍යයා විවිධ මාර්ග සොයනවා.
දුකක් නොතේරෙන සමහර ධනවත් පවුල්වල අය ලෙහෙසියෙන් බොහෝ විට රැවෙටෙනවා. බුද්ධිමත් මිනිසා හරි හම්බ කිරීමේ මහන්සිය දන්නවා. ඒ වගේම නොයෙක් දේවලට මුහුණ දී අත්දැකීම් ලැබීමෙන් සතුරු උපක්‍රම ආදියෙන් බේරීමේ උපක්‍රම ද දන්නවා.
සාමාන්‍ය මිනිසා තුළ බුද්ධි ශක්තිය වැඩියි.ඉතින් ඒ විධියට දෙවියන්ට වඩා මනුෂ්‍යයා තුළ බුද්ධි ශක්තිය දියුණුකර ගන්න පුළුවන්.
දෙවියා තුළ ඇත්තේ සැපයේ වැජඹීමකි. බුද්ධත්වයට පත්වන උත්තමයෙක් පවා ඉපදිය යුත්තේ මනුෂ්‍ය ආත්මයක ය.

ප්‍රශ්නය - රහතන් වහන්සේලා දැනටත් ලොව වැඩ සිටිය හැකි ද?

පිළිතුර – බුරුම සියම වැනි රටවල මෑතකත් රහතුන් වහන්සේලා වැඩ සිටිය කියා පිළිගැනීමක් තියෙනවා. බුරුමයේ විභූසයාඩෝ නමින් මහා ස්ථවිර නමක් උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් කියල මුළුරටම පිළිගෙන තිබුණෙ.උන්වහන්සේ ලංකාවටත් වැඩියා. මට උන්වහන්සේ බුරුමයේදීත් ලංකාවේදීත් දකින්න කතා කරන්න ලැබුණා.
මෑතකදි තායිලන්තයේ අජාන්චා නමැති භාවනානුයෝගි මහා ස්ථවිරයන් වහන්සේ රහත් කෙනෙක් හැටියටයි ඒ රටේ පිළිගැනීම
බුරුම සියම් දෙරටේ ආරණ්‍යවල විපස්සනාව වඩන භික්‍ෂූන් අතර අදත් මාර්ග ඵල ලැබූ අය ඇතිකියලයි මගේ පිළිගැනීම.
හිමාලය වැනි ප්‍රදේශවල අද රහතුන් වහන්සේලා වැඩ සිටිනවා කියලා මගේ පිළිගැනීමක් නෑ. ඒවායේ ඉන්නේ හින්දු යෝගීන්.
ඔවුන් අතර ඉතා ඉහළට සමාධි භාවනාව වඩල ධ්‍යාන ලබාපු අය නම් ඇති බව මගේ පිළිගැනීම. ඒ අය රහතුන් වහන්සේලා නොවෙයි.ලෞකික ධ්‍යාන ලාභි අයයි.

ප්‍රාර්ථනාව නරක ද?

ප්‍රශ්නය :– දානාදි විවිධ පින්කම් සිදු කර අවසානයේදී විවිධ ප්‍රාර්ථනා කරන අවස්ථා කොතෙකුත් තිබෙනවා. ඒ විදියට පින්දම් කරලා ප්‍රාර්ථනා කිරීම ගැන මහ නායක හාමුදුරුවෝ දරන අදහස් පැහැදිලි කළොත් ?

පිළිතුර -දානාදි පින්දහම් කරල ප්‍රාර්ථනා කළාට වරදක් නෑ. ප්‍රාර්ථනා කරනවා කියන්නේ තමන්ගේ ඕනෑකම ඇති කර ගන්න එක. ඉතින් දන්දීමේ ඵලවිපාක නම් ප්‍රාර්ථනා කළත්, නොකළත් ලැබෙනවාම යි. නමුත් ප්‍රාර්ථනා කළාට වරදක් නෑ. නිවන් පිණිසම හේතුවේවා කියල නිවන් පතන හුරුකිරීමේ සිතීම කළයුතුයි. රෝගියෙක් බෙහෙත් ගෙන මේ මොහොතේම මගේ රෝගය සුවවේවා’යි සිතීම වරදක් නොවෙයි. එහිදී නිරෝගී වීමේ අපේක්‍ෂාව තමයි ප්‍රාර්ථනාව කියන්නේ.
ඒ වගේම සසර දුකින් නිදහස් වීමේ ඕනෑකම ඇතිකම තමයි ප්‍රාර්ථනා කරන්නට කියල කියන්නේ. සසර දුකින් නිදහස් වීමට ප්‍රාර්ථනා කිරීම වරදක් නොවෙයි. ඒ ඕනෑකම, උනන්දුව ඇතිවුණාම ඒ විදියේ ගුණ දහම් පිරීමට ඕනෑකම ඇතිවෙන්නෙ. ඒ නිසා ප්‍රාර්ථනාව ඕනෑ. ප්‍රාර්ථනාවක් කිරීම තමන් තුළ දැඩි ඕනෑකමක් ඇතිකර ගැනීමයි. ඒක කාටවත් යාඥා කිරීමක් නොවෙයි.

ඥාතීන්ට පින්දෙන්න

ප්‍රශ්නය – මිය ගිය ඥාතීන්ට පින්අනුමෝදන් කිරීමේදී දින මාස ආදි වශයෙන් කාල වකවානු පිළිබඳව මහානායක හාමුදුරුවො සිතන්නේ.

පිළිතුර – මිය ගිය ඥාතීන්ට පින්දීමේ සිරිත බුද්ධ කාලයේ පටන්ම පැවැත ගෙන එන දෙයක්. තමන්ගේ ඥාතියෙක් මිය ගිය දවස් කීපයකට පසුව බොහෝ දෙනා සතියෙන් තුන්මාසයෙන් තමන්ගේ නිවසට භික්‍ෂුන් වඩම්මවා දන් පිරිනමා ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කරවන එකයි චාරිත්‍රය. නමුත් කොයි දවසේ වුණත් තමන්ගේ ඥාතීන්ට පින්දීම හොඳයි.
තමන්ගේ නිවසේදී මිය ගිය ඥාතීන්ට පින්දීම,හොඳනෑ කියල මෑතක සිට මිනිසුන් තුළ වැරැදි මතයක් තිබෙනවා. ඒක මහා බොරු කතාවක්.
බුදුහාමුදුරුවෝ රජ මාලිගාවට වැඩි ගමනේදි බිම්බිසාර රජතුමා තමන්ගේ ඈත පුරාණයේ මළගිය ඥාතීන් වෙනුවෙන් මහා දානයක් දුන්නා. දවස් තුනක් මෙහෙම මාලිගාවේදී දන් දුන්නා. මුල් දවසෙ මෙහෙම දන්දීල නෑයන්ට පින් අනුමෝදන් කළේ නෑ. භූත ආත්මයක සිටි නෑදැයො එදා රෑ දුක්ඛිත ආකාරයකින් පෙනී සිටියා.


 ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ මැදින් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ මාර්තු 19 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment