මුල් බුදු සමය වූකලි හුදෙක් නිර්වාණය ම පමණක් අරමුණු කරගත්තක් නො වේ. මන්ද, නිර්වාණාවබෝධය ක්‍ෂණයකින් ලබාගත නොහැකි, සසර පිරූ පාරමිතා බල මහිමයෙන් ම සාක්‍ෂාත් කරගත යුතු දෙයක් බැවිනි. ඒ නිසා ම මායාමය ලෝකයක දිවි ගෙවන සමස්ත මානව වර්ගයාට ම හිතැති දහමක් බුදු රජාණන් වහන්සේ දේශනා කොට ඇත. ඒ අනුව සැම විෂය ක්‍ෂේත්‍රයක් කෙරෙහි ම බලපෑමක් ජනිත කළ බුදු දහම දේශපාලනය හෙවත් රාෂ්ට්‍ර පාලනය කෙරෙහි ද නවෝදයක් ඇති කිරීමට පාදක වී ය
රාජ්‍යත්වය ජන්ම දායාදයක් කොට සැලකූ බ්‍රාහ්මණ සමාජ සංකල්පයන්ට පරස්පර විරෝධී අදහසක් බුදු සමය ගෙන හැර දක්වයි. ඒ අනුව රාජ්‍ය සුභසාධනය මුල් කරගත් දේශපාලන ක්‍රමය ජනතා සුභසාධනය පිණිස පැවතිය යුතු බව බුදු රජාණන් වහන්සේ අවධාරණය කොට ඇත. එමෙන් ම යුද්ධය රජුගේ හෙවත් පාලකයාගේ පරම කාර්යභාර්ය කොට සැලකූ සමාජයක බුදුන් වහන්සේ එය “න හි වේරේන වේරානි සම්මන්තීධ කුදාචනං...” වෛරයෙන් වෛරය කවරදා වත් නොසන්සිඳේ යන සනාතනික වූ ධර්මයෙන් ම ප්‍රතික්‍ෂේප කර ඇත; තව ද වෛරය ජය ගත හැක්කේ මෛත්‍රියෙන් බවත් ක්‍රෝධය දිනිය හැක්කේ අක්‍රෝධයෙන් බවත් මනාව පෙන්නා දුන්හ. මීට අමතර ව රාජ්‍ය පාලනයේදී ඉතා වැදගත් වන කාරණාකාරණ සමූහයක් චක්කවත්ති සීහනාද, කූටදන්ත, මහා පරිනිර්වාණ, අග්ගඤ්ඤ ආදි සූත්‍ර දේශනාවලදී ද මහා පදුම, චුල්ලහංස වැනි ජාතක දේශනාවලදී ද මැනවින් පැහැදිලිව දේශනා කර ඇත.
අග්ගඤ්ඤ සූත්‍රයේදී යම් රටකට පාලකයකු අවශ්‍ය වන්නේ කුමන කාරණයක් නිසා ද යන්න දේශනා කර ඇත. ඒ අනුව රටේ සමාජයේ ඇති ව ව්‍යාප්ත ව පවත්නා ප්‍රාණඝාතය (මිනිසා ඇතුළු සතුන් මැරීම), අදත්තාදානය (අන් සතු වස්තුව සොර සිතින් ගැනීම), කාම මිථ්‍යාචාරය (වැරදි ලෙස කාමය ඇසුරු කිරීම), බොරු කීම ආදි අකුශලයන්ගෙන්, ව්‍යසනයන්ගෙන් ජනතාව මුදාගෙන වැරැද්ද නිවැරැදි කිරීමට ය. මේ අනුව සුපැහැදිලි වන කාරණය වන්නේ රටේ පාලකයා පිරිසිදු චරිතවත් පුද්ගලයකු විය යුතුª බව භ. විශේෂයෙන් රාෂ්ට්‍ර පාලකයා කකුළු න්‍යායෙන් ඉඳුරා දුරස් විය යුතු බව මෙයින් අවධාරණය කොට ඇත.
“ගාවං චේ තරමානානං උජුං ගච්ඡති පුංගවෝ
සබ්බේ තේ උජු ගච්ඡති තේනේන උජුං ගතේසති”
අද්‍යයතන ලෝකයේ මෙන් ම බුද්ධ කාලීන භාරතයේ ද විවිධ වූ විෂම වූ පාලන තන්ත්‍ර පැවතී ඇත. ඒ අතර රාජාණ්ඩු ක්‍රමය හා සමූහාණ්ඩු ක්‍රමය ඉතා ප්‍රචලිත වූ පාලන තන්ත්‍ර ක්‍රම දෙකකි. මෙයින් වඩාත් ජනහිතකාමී, පරාර්ථකාමී ආණ්ඩු ක්‍රමය වූයේ මල්ල නම් ප්‍රදේශය පාලනය කළ ලිච්ඡවී රජ දරුවන් අනුගමනය කළ සමූහාණ්ඩු ක්‍රමය යි. මෙම ආණ්ඩු ක්‍රමය බුදුන් වහන්සේගේ පැසැසුමට පවා භාජනය වී ඇත. මේ පාලන තන්ත්‍රය වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී පාලන ක්‍රමයන්ට සාදෘශ්‍ය වේ. අද ලෝකයේ පවතින ආණ්ඩු ක්‍රම අතරින් වඩාත් නිවැරදි මෙන් ම යහපත් පාලන ක්‍රමයන් වශයෙන් දේශපාලන විශ්ලේෂකයන්ගේ පැසැසුමට ලක් ව ඇත්තේ ජනතා සුභසාධනය අරමුණු කරගත් උක්ත ආණ්ඩු ක්‍රම යි.
අතීතයේ ලිච්ඡවීන්ගේ පාලන ව්‍යූහය බුදු රජාණන් වහන්සේගේ ප්‍රශංසාවට බඳුන් වූයේ ඔවුන් අනුගමනය කළ සප්ත අපරිහානීය ධර්ම හේතුවෙනි. එනම්, සමගිව රැස්වීම හා සමගිව විසිර යෑම, සමගිව සාකච්ඡා කිරීම, පවතින නීති රාමුව උල්ලංඝනය නොකිරීම හා නව නීති නොපැනවීම, කුල කුමරියන්ට (කාන්තාවන්ට) අතවර, කරදර නොකිරීම, වැඩිහිටියන්ට සැලකීම, ස්වකීය රාජ්‍යයේ ඇති පූජනීය හා පෞරාණික ස්ථාන ආරක්ෂා කිරීම සහ තම රටට පැමිණෙන ආගමික නායකයන්ට ගරු කිරීම හා සැලකීම ය.
මෙම අගනා රාජ්‍ය පාලන න්‍යායන් යම් රටක හෝ රාජ්‍යයක ක්‍රියාත්මක කිරීමෙන් ආධ්‍යාත්මික හා භෞතික සංවර්ධනයෙන් ඒ ආණ්ඩු ක්‍රමය වැළැක්වීම සඳහා කිසි ම බලවේගයකට අතපෙවීමට කුමන්ත්‍රණය කළ නොහැකි බව අවිවාදයෙන් කිව හැකි ය. මෙහි පළමු කාරණය විමසා බැලීමෙන් එය විශේෂයෙන් ජනතා කැමැත්තෙන් රාජ්‍ය පාලනයට නායකයන් තෝරා පත් කරගන්නා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් හා බුදු දහමින් පෝෂිත වූ සංස්කෘතික වටපිටාවක් ඇති අප රටට මේ සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කිරීම එදාට වඩා අදට අත්‍යවශ්‍ය කාරණයක් බව උත්තරීතර ය යි සලකනු ලබන පාර්ලිමේන්තුවේ එක් සභා වාරයකට ඇස් කන් යොමු කිරීමෙන් ම පැහැදිලි වේ.
ගිහි බෞද්ධයාගේ නිත්‍ය ශීලය වශයෙන් බුදු දහමේ හැඳින්වෙන පඤ්ච ශීලය ද රාජ්‍ය පාලකයා යථාර්ථවත් නායකයකු බවට පත් කරන ප්‍රතිපත්ති මාලාවකි. පරපණ නැසීමෙන් වෙන් වීම, අන් සතු වස්තුව පැහැරගැනීමෙන් වෙන් වීම, බොරු කීමෙන් වෙන් වීම, කාමයෙහි වරදවා නොහැසිරීම හා සුරාව ආදි මත් ද්‍රව්‍යයෙන් වෙන් වීම යන කරුණු පහ සමස්තයක් වශයෙන් සියලු පොදුජන සමාජයට ම හිතකර වූ ධර්ම බව අටුවා ටීකා නොපෙරළුවාට මනාව අවබෝධ වන්නකි. පාලකයා ස්වකීය රාජ්‍යයේ ජීවත් වන සියලු ප්‍රාණීන්ගේ ජීවිත පිළිබඳ විශ්වාසය ඇති කළ යුතු අතර, බියෙන් සැකෙන් තොර ව දිවි ගෙවීමේ හැකියාව ඇති කළ යුතු ය. රටක පාලකයා බොරු පොරොන්දු දීමෙන්, බොරු කීමෙන්, වඤ්චාවෙන් ජීවත් වේ නම් රට වැසියා ද ඔහු හෝ ඇය කෙරෙහි විශ්වසනීයත්වයෙන් තොර වේ. මෙය රටක යහ පැවැත්මට හිතකර නො වේ. මේ ආදි වශයෙන් පඤ්ච ශීල ප්‍රතිපත්ති මාලාව රටක නායකයා අත්‍යන්තයෙන් අනුගමනය කළ යුතු බව වැටහෙනු ඇත. රාෂ්ට්‍ර පාලකයා යනු අජරාමර වූ දේව නියෝජිතයකු නො ව, ජනතා නියෝජිතයකු බව පෙන්නා දෙන බුදු රජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි පාලිතයා මෙන් ම පාලකයා ද මේ ස්වයං ප්‍රතිපත්තීන්ට අනුගතව දිවි ගෙවීමෙන් අප අද කථා කරන ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය වීමේ දොරටු විවෘත වනු නොවනුමාන ය.
දේශපාලනඥයාට ද නියම වූ කරුණු දහයක් කූටදන්ත සූත්‍රයේදී ‘දසරාජ ධර්ම’ යනුයෙන් දේශනා කර ඇත. එනම්,
“දානං සීලං පරිච්ඡාගං - අජ්ඣවං මජ්ඣවං තපං, අක්කෝධො අවිහිංසා ච - ඛන්තී ච අවිරෝධතා”
යනුවෙන් ‘දානය, ශීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධතාව, අහිංසාව,
ඉවසීම හාඅවෛරී බව යන ධර්ම දහය රටක පාලක පන්තිය තුළින් ඉස්මතු විය යුතු බව බුදු
හිමියෝ අවධාරණය කළහ. මෙයින් දානය, ශීලය, පරිත්‍යාගය යන කරුණු සමාජයේ සුචරිතය
වැපිරවිය හැකි කරුණු වන අතර, අවශ්‍ය විටදී ඍජු ව තීන්දු තීරණ ගත යුතු මෙන් ම
මෘදුතාව ද ජීවිතයට පුරුදු පුහුණු කළ යුතු බව දක්වා ඇත. තපස, අක්‍රෝධය ආදි ගුණ ධර්ම
මගින් පාලකයා හා පාලිතයා තුළ ආත්ම විශ්වාසය වර්ධනය වන අතර ම අහිංසාව, ඉවසීම,
අවිරුද්ධතාව යන ගුණාංග ප්‍රගුණ කිරීමෙන් සමස්තයා දෙස අපක්ෂපාතීව ක්‍රියා කිරීමේ
ශක්‍යතාව ජනිත වනු ඇත. ඒ අනුව රටේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් නිරායාසයෙන් නිරාකරණය
වී, රටට සමාජයට යහපත උදා වනු ඇත.එමෙන් ම චක්කවත්ති සීහනාද සූත්‍රයේදී බුදු රජාණන් වහන්සේ එය ආණ්ඩු කරන පාලකයන්ට සියලු දෙනාට යහපත සැලසෙන ආකාරයේ ප්‍රතිපත්ති මාලාවක් ලෙස දස සක්විති වත් අභිධානයෙන් දේශනා කළහ. එනම්,
1. තමන් දස පුණ්‍ය දහම්හි නියැලෙමින්, ඇතුළත ජනයා වන ස්වකීය අඹුදරුවන් ද දස කුසල ධර්මයන්හි යොදවමින්, ඔවුන්ට දැහැමි ආරක්ෂාව සැලසීම.
2. ආරක්ෂක සේනාවන් ද ධර්මයෙහි පිහිටුවා, ඔවුන්ට දැහැමි ආරක්ෂාව සැලසීම.
3. තමන් අනුගමනය කරන ස්වපාක්ෂිකයන් ධර්මයෙහි පිහිටුවා, ඔවුන්ට ද දැහැමි ආරක්ෂාවක් යෙදවීම.
4. තම රටේ ප්‍රධානීන්ට ධාර්මික වූ රැකවරණය සැලසීම.
5. ස්වකීය නෑ පිරිසට දැහැමි ආරක්ෂාවක් සැලසීම.
6. ග්‍රාමවාසී, නගරවාසී සියලු ජනතාව ධර්මයේ පිහිටුවා, ඔවුන්ට දැහැමි ආරක්ෂාව ලබා දීම.
7. ආගමික ශාස්තෲන් කෙරෙහි ධාර්මික රැකවරණය සැලසීම.
8. මෘග, පක්ෂී ආදි සතුන්ට රැකවරණය සැලසීම.
9. ස්වකීය විජිතයේ ජීවත් වන නිර්ධනයන්ට ධන පරිත්‍යාගය කිරීම.
10. තම රටේ ජීවත් වන දැනඋගත්, සන්සුන් පිරිස් වෙත ගොස්, ඔවුන්ගෙන් අවවාද හා උපදේශයන් ලබා ගැනීම.
යන මේ උක්ත පිළිවෙත් දහය පාලකයා අනුගමනය කරන්නේ නම් එම රාජ්‍යය ස්වභාව ධර්මයා විසින් නිරන්තරයෙන් ආරක්ෂා කරනු ලැබේ. ඒ බව අපේ රටේ ඉතිහාසය දෙස විමසිලිමත් ව බැලීමෙන් අවබෝධ කරගත හැකි ය. බුද්ධ කාලීන භාරතයේ පමණක් නොව ඕනෑ ම කාලයක දිවි ගෙවන ජනතාව අපේක්ෂා කළේ හා අපේක්ෂා කරන්නේ දැහැමි රාජ්‍යයකි.
රටක් සුඛිත මුදිත වන්නේ ධාර්මික දේශපාලන මූලධර්ම මත සැකසුණු න්‍යායන් යටතේ බව අප කාගේත් ඒකමතික තීරණය වේ. විශේෂයෙන් රාජ්‍යත්වයේ හිණිපෙත්ත වනුයේ සක්විති රජකම ය. එවැනි ශ්‍රේෂ්ඨ නායකයන් අනුගමනය කළ සක්විති වත් අද්‍යතන පාලකයන් ස්වකීය න්‍යාය පත්‍රයට යොදාගන්නේ නම් රටක් ආධ්‍යාත්මික හා භෞතික සංවර්ධනයෙන් වැළැක්වීමට කිසිම බලවේගයකට නොහැකි ය. පක්‍ෂග්‍රාහී ඒකාධිපති පාලකයන් වෙනුවට සමාජවාදී ජනහිතවාදී ප්‍රජාතන්ත්‍රය ගරු කරන නායකයන් පිරිසක් නිර්මාණය වනු ඇත.
එමෙන් ම මනා සමාජ පැවැත්මක් නිර්මාණය වීම අපේක්ෂා කරන පාලකයන් විසින් ස්වකීය ජීවිතයට පුරුදු කරගත යුතු කරුණු සතරක් සතර සංග්‍රහ වස්තු වශයෙන් දක්වා ඇත. බුදු රජාණන් වහන්සේ මේ සතර සංග්‍රහ වස්තු සමාජයේ පැවැත්ම තීරණය කරන කඩඇණය බඳු කරුණු හතරක් බව අවධාරණය කළහ. බුදුන් වහන්සේ යෝජනා කළ ඒ සංග්‍රහ වස්තු නම්, දානය, පි‍්‍රය වචනය, අර්ථ චර්යාව සහ සමානාත්මකතාව යි. විශේෂයෙන් මෙහිදී දානය යන්න භාවිත කර ඇත්තේ අප සාමාන්‍යයෙන් අදහස් කරන දීම, ත්‍යාගය වැනි අර්ථයකින් නො ව, ඊට වඩා ගැඹුරු ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කිරීමට ය. ස්වකීය භාණ්ඩාගාරය තර කිරීම පමණක් නොකර, ජනතාවගේ ආර්ථිකය, සමාජ පැවැත්ම, ආධ්‍යාත්මික දියුණුව යන දෑ සංවර්ධනය කරලීම සඳහා අවශ්‍ය භෞතික සම්පත් ජනතාවට ලබා දීමද පාලකයා විසින් ඉටු කළ යුතු පරම යුතු කමකි. එසේ ම රටක නායකයා පි‍්‍රය වචනය සෑම තැන්හි ම බිණිය යුතු ය. වාග් සංවරයෙන් යුක්ත ව සත්‍ය වචනය, අන්‍යයන්ට පි‍්‍රය උපදවන වචනය නිතර භාවිත කළ යුතු ය. පාලකයා වංක ව කථා කරන කල්හි ඔහු හෝ ඇය ජනතා විශ්වාසයෙන් තොර හුදු වාචාලයෙක් පමණක් වේ. විශේෂයෙන් අසත්‍යය බැහැර කොට සත්‍ය ගරුක ව ජීවත් වීම මගින් රාජ්‍ය තුළ සුහදතාව මනාව ගොඩනැගෙනු ඇත. රටක භෞතික සංවර්ධනය මෙන් ම ආධ්‍යාත්මික සංවර්ධනය ද එක සේ ඉටු කිරීම පාලකයාගේ වගකීමකි. රේල් පාරක පීලි දෙකක් මෙන් ආධ්‍යාත්මික හා භෞතික යන දෙවැදෑරුම් සංවර්ධනය එක සමාන ව රටක සිදු විය යුතු ය. එසේ නොමැති ව ස්වකීය රාජ්‍යය භෞතික වශයෙන් පමණක් ගොඩනැගීම පාලකයාගේ යුතුකම නොවන බව සතර සංග්‍රහ වස්තුවල එන අර්ථ චර්යාව යන්නෙන් බුදු රජාණන් වහන්සේ පෙන්නා දුන්හ. රටක පාලන අධිකාරිය භාරගැන්ම යනු එක ජාතියක, කුලයක, පරම්පරාවක, පන්තිය පෝෂණය හා රැකවරණය ලබාදීම නො ව, එය ස්වකීය රටේ ජීවත් වන සියලු ජාතීන් හා පන්තීන් පිළිබඳ වගකීමකි. මෙසේ කුලය, ධනය, බලය ආදි කිසිදු භේදයකින් තොර ව, සමස්ත රට වැසියන් ගැන පිය සෙනෙහසින් බලා කටයුතු කිරීමමෙහිදී සමානාත්මකතාව යන්නෙන් අදහස් කැරේ.
මෙසේ බුදුන් වහන්සේ සිඟාල සිටු පුත්‍රයාට පෙන්නා දුන් සංග්‍රහකාරක වස්තු යම් සමාජයක හෝ රටක යථාර්ථයක් වන්නේ නම් ඒ සමාජය හෝ රට අර්බුදවලින් අදැහැමිකම්වලින් තොර නිදහස්ව හා දැහැමිව දිවි ගෙවීමට සුදුසු වන බවයි. “එතෙ ඛො සංගතා ලෝකේ රථස්සානීව යායතේ” යනුවෙන් උපමාවෙන් එය මනාව පෙන්නා දී ඇත. එනම් රථයක් (කරත්තයක්) මනාව ඉදිරියට ගමන් කිරීමට නම් එහි රෝද සවි කර ඇති කඩඇණය නියමාකාරයෙන් තිබිය යුතු ය. එසේ නොමැති වුව හොත් කඩ ඇණය ගැලවී රථය පෙරළී විනාශ වී යනු ඇත. එසේ සමාජය නැමැති රථය නිවැරදි මාර්ගයේ මනාව ඉදිරියට යෑමට නම් සතර සංග්‍රහ වස්තු නමැති කඩඇණය මනාව සවි කර තිබිය යුතු ය. මේ දේශනාවෙන් අවධාරණය කරන ලද මූලික කාරණය වනුයේ සංග්‍රහ වස්තු පිළිබඳ පාලකයන් ආගන්තුක ව බලා ක්‍රියා කරන්නේ නම් ඒ සමාජය නිරන්තර අර්බුදවලින් පිරී, සමාජ සබඳතා බිඳවැටී, ජලය බැස්මක් නොමැති දියවළක් මෙන් පල් වන බව යි; ඒ හෙයින් රටක නායකයන් මනා වූ සංවර්ධනයක් කරා රට ගොඩනගන්නේ නම් දානය, පි‍්‍රය වචනය, අර්ථ චර්යාව හා සමානාත්මකතාව යන සතර සංග්‍රහ වස්තුවලින් සිය ජීවිතය පළමුව ගොඩනගාගත යුතු බව යි.
රටක සදාචාරාත්මක සංවර්ධනය ශීලය මත පිහිටියකි. ඒ හෙයින් ගෘහස්ථයාගේ නිත්‍ය ශීලය වන පඤ්ච ශීල ප්‍රතිපත්තිවලින් පාලකයා පෝෂණය විය යුතු ය. මේ කාරණය බුදු රජාණන් වහන්සේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී පෙන්නා දුන්හ. පන්සිල්වලින් පළමු සතර මෙහිදී සතර කර්මක්ලේශ වශයෙන් පෙන්නා දෙන බුදුන් වහන්සේ පුනපුනා දේශනා කරනුයේ මේ අධර්මිෂ්ඨ ක්‍රියාවන්ගෙන් වියුක්ත වී කටයුතු කළ යුතු බව යි. එසේ ක්‍රියා කිරීම සමස්ත ජනයාගේ පාරලෞකික හා ඓහලෞකික ජීවිත සාර්ථක වීමට ප්‍රබල කාරණයක් වන බව යි. තව ද මේ සූත්‍රයේදී ම ඡන්ද, භය, ද්වේෂය හා මෝහය යන කරුණු හතර අගති වශයෙන් පෙන්නා ඇත. මෙහි ඡන්දය යනු කැමැත්ත යි. එනම් ස්ව අභිමතය අනුව ක්‍රියා කිරීම යි. පාලකයා ස්වකීය අභිප්‍රාය අනුව පමණක් කටයුතු කරන කල්හි එයින් අතිවිශාල අසාධාරණයක් බහුතර රටවැසියාට සිදු වේ. සාමකාමී පාලනයක් ගෙන යෑමට සැමට සාධාරණය ඉටු විය යුතු ය. එමෙන් ම ද්වේෂය ද පාලකයා විසින් යටපත් කළ යුත්තකි. රටේ නායකයා ද්වේෂ සහගත ව ක්‍රියා කිරීම එහි වෙසෙන ජනයාට අයුක්තියක් ම වන බැවිනි. නායකයා බියෙන් තොර විය යුතු ය. මන්ද, යම් භයකින් පෙළෙන පාලකයාට නිවැරදි තීරණ ගැනීමට නොහැකි ය. තව ද, යම් රාජ්‍යයක් බියෙන් පෙළේ නම් ඒ රට සැබෑ සංවර්ධනයක් කරා යොමු කළ නොහැකි ය. එහි ජීවත් වීමට බුද්ධිමත් වැසියන් අකැමැති හෙයිනි. මෝහය නම් අගතියෙන් ද පාලකයා වියුක්ත විය යුතු ය හොඳ නරක, පින පව, යුක්තිය අයුක්තිය තෝරාබේරාගැනීමට නොහැකි පුද්ගලයකු පාලන අධිකාරියට පත් වුව හොත් එය විනාශ වන බව සක් සුදක් සේ පැහැදිලි ය. මෙසේ ව්‍යග්ඝපජ්ජ සූත්‍ර දේශනාවේ පෙන්නා දෙන සතර අගතිවලින් හෙවත් විනාශකාරී සිතුවිලිවලින් පාලකයාගේ චිත්ත සන්තානයන් දූෂිත නොවිය යුතු ය.
මෙසේ සූත්‍රාන්තර්ගත මූලධර්මයන්ට අමතරව ජාතක දේශනාවල ද රාජ්‍ය පාලනයට ඇවැසි සදුපදේශයන් රාශියක් අන්තර්ගත වේ. ඒ අනුව ‘මහා පදුම ජාතකයේදී, හිතකාමී පාලනයක් ගොඩනැගීමට අවශ්‍ය උපදේශ සමූහයක් ගෙනහැර දක්වා ඇත. එනම්, කේළාම් නොකීම, විමසා බලා තීරණ ගෙන වැරදිකරුට පමණක් දඬුවම් දීම, නිවැරදිකරුට දඬුවම් නොදීම, ලොකු කුඩා භේදයෙන් තොර වීම, පාලනය ලිහිල් හෝ තද නොකිරීම, විපක්ෂයෙන් පලි නොගැනීම සහ කාමාසාවන් යටපත් කිරීම ය.
සමස්තයක් වශයෙන් උක්ත දක්වන ලද කාරණාකාරණ මුල් බුදු සමයේ අන්තර්ගත රාෂ්ට්‍ර පාලනය පිළිබඳ මූලධර්මවලට සමාන ය. විශේෂයෙන් රාජ්‍ය බලය යනු විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූල බලයන් එක්තැන් වූ ස්ථානයකි. එම නිසා මේ බලයන් සමග කටයුතු කරන පාලකයා ආගමික, ආර්ථික, සාමාජික,
දේශපාලනික තීන්දු තීරණ ගැනීමේදී අපක්‍ෂපාතීව මනාව විමසා බලා ක්‍රියා කළ යුතු ය. සියලු ජනතාවට ම යහපතක් යුක්තියක් ඉටු කිරීම රාජ්‍ය පාලන සංකල්පයේ මූලික අරමුණ වේ.
චුල්ලහංස ජාතක කථාවේ ද රාජ්‍ය පාලනය ගැන ඉතා වැදගත් කරුණු කිහිපයක් උද්දීපනය වේ. රජු හෙවත් පාලකයා සමාන කුල කුමරියක හා විවාහ වීම, ගුණවතකු වීම, ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීම, ධර්මශාස්ත්‍රයෙහි නිපුණයකු වීම යනාදිය ඒ අතර වේ.
“දාලිද්‍යං භික්‍ඛවේ ගිහීනජ කාමභෝගිනාං...” යන්නට අනුව ගිහිගෙයි වාසය කරන කාමභෝගියාට දුප්පත්කම ඉතා කටුක වූ දෙයකි. එමෙන් ම “ඒවං භෝගේ සමාහÀවා අලමත්ථෝ කුලේ ගිහි...” ජීවත් වීමට ප්‍රමාණවත් ධනයක් නොමැති ව ගිහිගෙහි වාසය කිරීම දුෂ්කර වේ. මේ ආදි දේශනාවලින් අවධාරණය කැරෙන කාරණය වනුයේ දිළිඳුකම ඉමහත් දුකක් මෙන් ම විශාල ගැටලු ප්‍රමාණයකට මුල් වන බව යි; මේ නිසා දුප්පත්කම පිටුදැකීම යහපත් රාජ්‍යයක් නිර්මාණය කිරීමට හේතු භූත වන ප්‍රබල සාධකයක් බව යි.
රටක නිමක් නැති අර්බුදකාරී තත්ත්වයන් උද්දීපනය වීමට දරිද්‍රතාව බෙහෙවින් ම ඉවහල් වන බව බුදු රජාණන් වහන්සේ කූටදන්ත සූත්‍රයේදී “අද්දානං දානේ අප්පදීය මානේ දාලිද්‍යං වේපුල්ලං අගමාසි. දාලිද්‍යං වේපුල්ලං ගතේ අදින්නාදානං වේපුල්ලං අගමාසි. අදින්නාදානං වේපුල්ලං ගතේ සත්තං වේපුල්ලං අගමාසි...” යනුවෙන් මැනවින් පැහැදිලි කළහ.
දුප්පතුන්ට දිවි ගෙවීමට ධනය නූපදින කල්හි දුප්පත්කම රටේ සැම තැන පැතිරේ. දුප්පත්කම විශාල වශයෙන් පැතිර ගිය කල්හි සොරකම ඇති වේ. සොරකම ව්‍යාප්ත වීමෙන් අවිආයුධ භාවිත කිරීම සිදු වේ. මේ ආදි වශයෙන් රටක දුප්පත්කම බොහෝ ජනයාට දැනෙන කාරණයක් වූ විට ඒ රටේ අප්‍රමාණ ගැටලු රාශියකට මඟ පෑදේ. මේ නිසා රාජ්‍ය පාලකයා ස්වකීය පාලන තන්ත්‍රය මනාව සංවිධානය කළ යුතු ය.
මෙනයින් බුදු රජාණන් වහන්සේ පෙන්නා දෙන රාජ්‍ය පාලන මූලධර්මයන්ට ගරු කරමින්, බුදු දහම සිය ජීවිතයට පුරුදු පුහුණු කිරීමෙන් සියලු රාෂ්ට්‍රයන් සුඛිත මුදිත වන බව පැහැදිලි වෙයි.


No comments:
Post a Comment