Labels

Friday, September 11, 2015

අපට සැනසීම ලබාදෙන්න විශාල කැපවීමක් කළ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ


මහත් වූ බැතියෙන් ඒ අනගි ධර්ම දේශනය ශ්‍රවණය කළෙමි. එය සැබැවින්ම සිතට ශාන්තියක් විය. “රහතුන් වැඩි මග ඔස්සේ ගමන් කරන උන්වහන්සේ දකින්නට ලැබීමද භාග්‍යයකි. මට අසන්නට ලැබුණු ඒ අසිරිමත් ධර්ම දේශනය හුදී ජන ප්‍රසාදය සඳහා රට පුරා බෙදා හැරිය හැකිනම් කෙතරම් අගනේදැයි සිතක් පහළ විය. අවසානයේ මම උන්වහන්සේ හමුවට ගියෙමි.“ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනය ඉතාම භක්තියෙන් ශ්‍රවණය කළා. මේ ධර්මය ඒ අයුරින්ම බෙදා හරින්නට ඉඩ ලබා දෙනවා ද?“මොකක්ද පුතේ ඒ කියන්නේ?” යනුවෙන් උන්වහන්සේ කරුණාභරිතව විමසූහ.“මේ ධර්ම කරුණු කැටිකර ලිපි පෙළක් පළ කිරීම ගැනයි ස්වාමීන් වහන්ස” මම පිළිතුරු දුනිමි.හොඳයි පුතේ,

ඒ හිමියෝ පිළිතුරු දුන්හ. බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට නමස්කාර කරමින් මේ ලිපි පෙළ ඔබ වෙතට ඉදිරිපත් කිරීමට ලැබීම සැබැවින්ම සතුටට කරුණකි. මේ දහම් හඬ දස දෙස පැතිරේවා යන්න මගේ ඒකායන පැතුමයි.

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ කුමක් ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි, ඇති කරගත්තා වූ විශ්වාසයයි. දැං බලන්න අපි මැරිලා නැවත ඉපදෙනවා කියල කිව්වෙ කවුද? බුදුරජාණන් වහන්සේ, මේ සා දරුණු සතර අපායක් තියෙනවා කියල අපිට කිව්වෙ කවුද? බුදුරජාණන් වහන්සේ, අම්මා තාත්තාට සැලකුවොත් ලැබෙන සැපයට මාවත පෙන්නුවෙ කවුද? බුදුරජාණන් වහන්සේ! මේ ජීවිතයේදීම මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කරල දුන්නෙ කවුද, බුදුරජාණන් වහන්සේ. බලන්න, මේ සා සැනසීමක් අපට ලබාදෙන්න බුදුරජාණන් වහන්සේ කොයිතාක් කැපවීමක් කරන්න ඇද්ද? එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී අපේ බෝධි සත්ත්වයින්ට අවශ්‍ය නම් තිබුණා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්නෙ නැහැ, සාරාසංකය කල්ප ලක්ෂ කෝටි ගාණක් දස පාරමී ධර්මයන් පුරමින් ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනව, ‘ආනන්ද මම මේ ආවා වූ දීර්ඝ පාරමී ගමනෙදි මහා සාගරයේ ජලය පරාද වන, තරමට ම රුධිරය දන් දුන්නා.
ආනන්ද, මහ පොළවේ පස් පරා ද වන තරමට ශරීරය දන් දුන්නා. මේ ආකාසයේ තරු පරාද වන තරමට මං ඇස් ගලව ගලවා දන් දුන්නා, මේ මහා මේරුවේ උස පරාද වන තරමට ඔටුනු පැළැන්දා වූ හිස් දන් දුන්නා, බිසවක්, රටක්, රාජ්‍යයක්, දරුවෙක්, මුණුබුරෙක් ලැබුණද ඒ සෑම දෙයක් ම දන් දුන්නා, කවුරුන් උදෙසාද, ඔබත් මමත් මේ මොහොතේ මේ විඳින සැනසිල්ල උදෙසා, ඊට පස්සෙ , උන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ලෙස උප්පත්තිය ලබනවා, රම්‍ය, සුරම්‍ය, සුබ මාළිගා ලබනවා. සක්විති රජකමේ උරුමය ලැබෙනවා. අර යශෝදරා, රාහුල වගේ රූමත් බිරිඳක් දරුවෙක් ලැබෙනවා.

මේ සියල්ල අළුයම එළියට දමන කෙළ පිඩක් වගේ එළියට දැම්මා. කවුරුන් උදෙසාද? ඔබත් මමත් මේ විඳින සැනසිල්ල උදෙසා. ඉන්පස්සෙයි උන්වහන්සෙ සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියාකරනවා. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනව මට ගුරුවරයෙක් හිටියෙ නැහැ, පතක් පොතක් තිබුණෙ නැහැ, මාර්ගය දැනගන්න කෙනෙක් හිටියෙ නැහැ, දුක තුළින්මයි දුක ජයගන්නෙ කියල මං හිතුවෙ, ඒ නිසා මං මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා, එදා මගේ උදරය කියල පිටකොන්ද කියල දෙකක් තිබ්බෙ නැහැ, උදරය අතගාන විට පිටකොන්දයි අහුවුනේ. පිටකොන්ද අතගාන විට උදරයයි අහුවුනේ, ඒ නිසා මං මේ ශරීරයට දුක් දුන්නා. සමහරදාට මං එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ, සමහරදාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ.

ඔයිට වඩා දෙයක් මං මේ ශරීරයට දුන්නෙ නැහැ. දුක තුළින්මයි දුක ජයගන්නෙ කියල හිතුවෙ. දැං මට ඇවිදින්න බැහැ මම බඩගාමින් ජීවත් වෙන්නෙ. කැලේ, මං බඩ ගාමින් බඩ ගාමින් ගිහිල්ල, අර ගොපලු ගාල් හරක් රෑන් තුළට ගිහිල්ල, මං අර හරක්ගෙ තන පුඩුවට කට තියලා කිරි උරා බොනවා. මේ හරක් පයින් ගහලා සුමාන ගණන් මේ ගවගාල්වල සිහිසුන්ව වැටිල ඉන්නවා. මට සිහි එනකොට මට බඩගාගන්නවත් පණ නැහැ. මං අර හරක් ගාලෙ හරක් පැටව් දාල තිබ්බ කහ පාට අසුචි වළඳනවා. ඒ කහ පාට අසුචි වළදත්දිත් මට අකුලක් දුඟදක් දැනුණේ නැහැ. ආනන්ද, කියල බුදුරජාණන් දේශනා කරනවා එහෙනං බලන්න හරක් පැටව් දාපු අසුචි වළඳද්දිත් බෝධි සත්ත්වයන්ට අපුලක්, දුගඳක් නොදැනුනේ ඇයි? ඔබටත් මටත් මේ සැනසිල්ල ලබාදීම උදෙසාමයි, ඉන්පස්සෙ උන්වහන්සේ දකිනවා දුක තුළින් දුක ජය ගන්න බැහැ කියලා, උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපත්තියට එනව එදා සුජාතාවගෙ කිරිපිඩු දානය වළඳලා ජය ශ්‍රී මහා බෝධි මූලයේ වාඩිවෙලා අධිෂ්ඨානයක් ඇති කර ගන්නවා. ලේ,සම්, මස්,ඇට නහර වියලේවා මේ සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධයෙන් තොරව නැගිටින්නෙ නැහැ කියල.


 ස්වර්ණා ආරියවංශ

 2014 අගෝස්තු මස 06 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment