අපි දන්නවා පංච උපාදානස්කන්ධය කියන්නේ රූප,වේදනා, සඤ්ඤා, සංඛාර,විඤ්ඤාණ කියන පහයි. මෙහිදී අපි මතක තබාගත යුතු විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි අපි මේ උපාදානස්කන්ධයන් වෙන්කරලා කතා කරන්නේ තේරුම් ගැනීමට පහසුවීම පිණිසයි. නමුත් මේ පහ වෙන් කරන්න බැහැ. මේ පහ තියෙන්නේ එකට.
මනුෂ්‍ය ලෝකයේ සිටින මිනිස්සු මේ පංච උපාදානස්කන්ධයෙන් මිදිලා නැහැ. දෙව්ලොව දෙවියන් මිදිලත් නැහැ. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් මිදිලත් නැහැ. කොටින්ම කියනවා නම් කාම, රූප, අරූප, කියන මේ හැම භවයකම පැවැත්ම සකස් වෙලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය තුළයි. ඒ නිසා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කිරීමෙන් තමයි දුක මොකක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ.
පංච උපාදානස්කන්ධය ගැන කතා කිරීමේදී පළමුවෙන්ම රූප උපාදානස්කන්ධය කියලා කියනවා. සතර මහා ධාතුන් සතර මහා ධාතූන්ගෙන් හටගත් දේවල් වලටත් තමයි රූප කියලා කියන්නේ. සතර මහා ධාතු කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරයි. සතර මහා ධාතූන්ගෙන් නිදහස් වෙච්ච තැනක් හැටියට පවතින කිසිම තැනක් මේ ලෝක ධාතුවේ නැහැ. අරූප ලෝකයේත් සතර මහා ධාතු තියෙනවා. රූප ලෝකයේත් සතර මහා ධාතු තියෙනවා. කාම ලෝකයේත් සතර මහා ධාතු තියෙනවා. බ්‍රහ්ම ලෝකයේත් සතර මහා ධාතු තියෙනවා. දිව්‍ය ලෝකයේත් තියෙනවා. තිරිසන් ලෝකයේත් තියෙනවා. ප්‍රේත ලෝකයේත් තියෙනවා. සෑම තැනම සතර මහා ධාතු තියෙනවා.
තනිව හැසිරෙන හිතක් නෑ...
කෙනෙක්ගේ මරණින් පස්සේ හිත කියලා විශේෂ දෙයක් පිටවෙල යන්නේ නැහැ. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කතා කරනවා ‘හිත යනවා’ කියලා. සාමාන්‍යයෙන් එහෙම කතා කරන්න පුළුවන්. නමුත් සත්‍යයක් හැටියට කතා කිරීමේදී පංච උපාදානස්කන්ධයක පැවැත්මක් ගැනයි කතා කරන්න තියෙන්නේ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වා තියෙනවා “රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සඤ්ඤාවෙන් තොරව, සංඛාර වලින් තොරව විඤ්ඤාණයක පැමිණීමක්, පිටවීමක්, වැඩීමක්, දියුණුවීමක් යන කිසිවක් සිදුවෙන්නේ නෑ” කියලා.
”(යෝ භික්ඛවේ, ඒවං වදෙය්‍ය, අහමඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වේදනාය අඤ්ඤත්‍ර සඤ්ඤාය අඤ්ඤත්‍ර සංඛාරේහි විඤ්ඤාණස්ස ආගතිං වා ගතිං වා චුතිං වා උප්පත්තිං වා වුද්ධිං වා විරූළ්හිං වා වේපුල්ලං වා පඤ්ඤාපෙස්සාමීති නේතං ඨානං විජ්ජති.) පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ විදිහට කියන්න පුළුවනි. ‘මම රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සඤ්ඤාවෙන් තොරව සංස්කාර වලින් තොරව විඤ්ඤාණයේ පැමිණීමක් හරි, යෑමක් හරි, චුතවීමක් හරි, ඉපදීමක් හරි, වර්ධනයක් හරි, දලුලා වැඩීමක් හරි, විපුල බවට පත්වීමක් හරි පණවන්නෙමි’ යි කියලා. නමුත් ඒක සිදුවෙන දෙයක් නම් නෙවෙයි.”
කාලය හා අවකාශය අතර පැවැත්ම...
ඒ අනුව අපට පෙනී යනවා හැම තිස්සේම තියෙන්නේ උපාදානස්කන්ධ පහක පැවැත්මක් කියලා. ඉතින් පංච උපාදානස්කන්ධයට සක්කාය කියන වචනය පාවිච්චි කළේ මේ පහම එකට එකතු වෙලා තියෙන නිසයි. සක්කාය කියන වචනයේ තේරුම එකට එකතු වී පැවතීම කියන එකයි. එකට එකතු වී පවතින දේ ආත්ම වශයෙන් ගැනීමෙන් එය දෘෂ්ටියක් බවට පත්වෙනවා. සක්කාය දිට්ඨියක් බවට පත්වෙන්නේ එකට එකතු වී පවතින දෙය ආත්මය වශයෙන් ගැනීම නිසයි. එනම් පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයක් නැති නිසා තමයි සක්කාය දිට්ඨිය තියෙන්නේ. යම් දිනෙක පංචුපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයක් ඇතිවීමෙන් සක්කාය දිට්ඨිය නැතුව යනවා.
පංච උපාදානස්කන්ධයට රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියලා පහක් අයිති වෙනවනේ. පංච උපාදානස්කන්ධය කියන්නේ (පංච/උපාදාන/ස්කන්ධ යන) වචන තුනක එකතුවකින් හැදුණු වචනයක්. පංච කියන්නේ පහයි. උපාදාන කියන එකේ තේරුම තමයි ‘බැඳීයෑම් කියන එක. ස්කන්ධ කියලා කියන්නේ ‘කාලය සහ අවකාශය තුළ තියෙන පැවැත්ම’ කියන අර්ථයටයි. කාලයයි අවකාශයයි තුළ තමයි මේ දුක හදන ක්‍රියාවලිය තියෙන්නේ.
අපි හැමෝම කාලයට යටත්...
කාලයට මුහුණ දුන්නේ නැත්නම් අපි වයසට යන්නේ නැහැ. කාලයට මුහුණ දුන්නේ නැත්නම් අපි මැරෙන්නේ නෑ. මේ ලෝකයේ කාලයට මුහුණදීමක් නැත්නම් ආයුෂ කියලා එකක් නැහැ. අපි කියනවා ‘බ්‍රහ්ම ලෝකයේ ආයුෂ කල්ප මෙච්චරයි’ කියලා. එතකොට කල්පය කියන එක මනින්නේ කාලයෙන්. ඒ කියන්නේ කාලය ගෙවී යන දෙයක්. කාලය අවසන් වී යන දෙයක්. අපි කියමු ‘බ්‍රහ්මයෙකුට කල්පයක් ආයුෂ කල්ප මෙච්චරයි’ කියලා. එතකොට කල්පය කියන එක මනින්නේ කාලයෙන්. ඒ කියන්නේ කාලය ගෙවීයන දෙයක්. කාලය අවසන් වී යන දෙයක්. නිමා වී යන දෙයක්. අපි කියමු ‘බ්‍රහ්මයෙකුට කල්පයක් ආයුෂ තියෙනවා’ කියලා. එතකොට එයා ජීවත්වෙන ජීවිතය තුළ මුහුණ දීලා තියෙන්නේ කාලයට. එතකොට කල්පය අවසන් වෙනවාත් එක්කම ඒ ජීවිතයෙන් එයා චුත වෙනවා. අපි අපේ ජීවිත දෙස බලමු. අපිත් මුහුණ දීලා තියෙන්නේ කාලයට. කාලය විසින් අපව වැඩිමහළු කළා. කාලය විසින් අපව වයසට ගෙනියනවා. කාලය විසින් අපට මරණය ලබාදෙනවා. ඉතින් අපට ආයෙ ආයෙමත් සකස් වෙන්නේ කාලයට මුහුණදෙන පැවැත්මක්මයි.
එතකොට කාලය කියලා දෙයක් තියෙනවා. කාලය තුළ තියෙන පැවැත්මට තමයි අවකාශය කියලා කියන්නේ. කාලයක් තුළ පැවැත්ම තියෙන්නේ ‘තමා,අනුන්, දුර, ළඟ, හීන, ප්‍රණීත, ගොරීසු, සියුම්’ ආදී වශයෙනුයි. මේ සෑම දෙයක්ම තියෙන්නේ කාලයට අයිති වෙලයි. එතකොට කාලයත්. අවකාශයත් අතර පැවැත්මට තමයි ස්කන්ධ කියලා කියන්නේ.
මේ විදිහට කාලයත්, අවකාශයත් අතර තමයි සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපය පවතින්නේ. ඒ නිසා රූපස්කන්ධය කියලා කියනවා. කාලයටත්. අවකාශයටත් යටත්ව තමයි විඳීම පවතින්නේ. ඒ නිසා වේදනා ස්කන්ධය කියලා කියනවා. කාලයටත්, අවකාශයටත් යටත්ව තමයි හඳුනාගැනීම පවතින්නේ. ඒකට කියනවා සඤ්ඤා ස්කන්ධය කියලා. කාලයටත්, අවකාශයටත් යටත්ව තමයි හඳුනාගැනීම පවතින්නේ. ඒකට කියනවා සඤ්ඤා ස්කන්ධය කියලා. කාලයටත්, අවකාශයටත් යටත්ව තමයි චේතනාව (ඒ කියන්නේ කර්ම රැස්වීම)පවතින්නේ. ඒකට කියනවා සංඛාර ස්කන්ධය කියලා. කාලයටත්, අවකාශයටත් යටත්ව තමයි විශේෂයෙන් දැනගැනීම තියෙන්නේ. ඒ නිසා තමයි විඤ්ඤාණ ස්කන්ධය කියලා කියන්නේ.
ස්කන්ධය හා උපාදානස්කන්ධය අතර වෙනස...
එහෙම නම් යම්කිසි කෙනෙක් කාලයකට මුහුණ දීලා තියෙනවා නම් එකේ තේරුම තමයි ‘වෙනස්වීමකට ලක්වෙනවා’ කියන එක. උන්වහන්සේ බොහෝම ලස්සනට ස්කන්ධ කියන වචනය හා උපාදානස්කන්ධය කියන වචනය වෙන වෙනම භාවිතා කළා.
“(යං කිඤ්චි භික්ඛවේ, රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා, ඕලාරිකං වා සුඛුමං වා, හීනං වා පනීතං වා, යං දූරේ සන්තිකේ වා, සාසවං උපාදානීයං, අයං වුච්චති රෑපූපාදානක්ඛන්ධෝ) පින්වත් මහණෙනි, අතීතයට ගිය හෝ හට නොගත් අනාගතයට අයත් වූ හෝ වර්තමානයේ හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ උසස් හෝ යම්කිසි රූපයක් ඇද්ද, දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇද්ද, එය ආශ්‍රව සහිතව බැඳීම් ඇති කරන ස්වභාවයෙන් යුතුව තිබේ නම් රූප උපාදානස්කන්ධය යනු එයයි.”
ඒ කියන්නේ රූප ස්කන්ධය කෙරෙහි ඇති ජන්දරාගය නිසා එය ආශ්‍රව සහිතව බැඳීම් ඇතිකරන ස්වභාවයෙන් යුතුව තිබේ නම් (සාසවං උපාදානීයං) එය තමයි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඒ වගේම වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධයන් කෙරෙහි ඇති ඡන්දරාගය නිසා තමයි රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය කියලා කියන්නේ.
මේ සියල්ල හේතූන් නිසා සකස් වූ දේවල්...
රූප කියලා කියන්නේ සතර මහා ධාතූන්ගෙන් හටගත්තු දෙයටයි. වේදනා කියලා කිව්වේ ස්පර්ශය නිසා හටගත් විඳීමයි. සඤ්ඤාව කිව්වේ ස්පර්ශය නිසා හටගත් හඳුනාගැනීම. සංඛාර කියලා කිව්වේ ස්පර්ශය නිසා හටගත්තු චේතනා පහළවීම. විඤ්ඤාණ කිව්වේ නාමරූප නිසා හටගත්තු සිත.
රූප කිව්වේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු දෙයට. එහෙම නම් රූප කියන්නේ යම්කිසි දෙයක් නිසා හටගත්තු එකක් මිසක් අද්භූතව පහළ වුණු දෙයක් නොවෙයි.
හේතුවක් නිසා හටගත්තු දෙයක්. වේදනාව කියන්නෙත් හේතුවක් නිසා හටගත්තු දෙයක්. ස්පර්ශය නම් වූ හේතුව නිසා වේදනාව නම් වූ ඵලය ඇතිවෙනවා. සඤ්ඤාව එහෙමත් නැත්නම් හඳුනාගැනීම කියන්නෙත් හේතුවක් නිසා හටගත් දෙයක්. ස්පර්ශය නම් වූ හේතුව නිසා හඳුනාගැනීම නම් වූ ඵලය ඇතිවෙනවා. චේතනාව කිව්වෙත් හේතුවක් නිසා හටගත්තු එකක්. ඒ කියන්නේ ස්පර්ශය නම් වූ හේතුවෙන් චේතනාව නම් වූ ඵලය ඇතිවෙනවා. සිතත් හටගත්තු දෙයක්. නාමරූප නම් වූ හේතුව නිසා සිත නම් වූ ඵලය ඇතිවෙනවා.
මේ විදිහට කතා කළාට මෙය අවබෝධ කරගත යුතු දෙයක්. ප්‍රත්‍යක්ෂ වශයෙන් තමා තුළින් තේරුම් ගතයුතු දෙයක්. එතකොට තමයි නිරාකූල වෙන්නේ. මෙය හරියාකාරව තේරුම් ගත්තේ නැත්නම් අවුලකට පත්වෙනවා. පංච උපාදානස්කන්ධය දුකක්. මේ දේශනයේදී රූප,වේදනා,සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධයට සක්කාය කියලා තනි වචනයක් පාවිච්චි කළා. එහෙනම් සක්කාය දුකක්.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
2014 ජූලි මස 23 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment