ජීවිතය ජය ගැනීමට උත්සාහය අත්‍යවශ්‍ය දෙයක්. පංච කාම ගුණික වශයෙන් ලැබිය හැකි ලෞකික සැප සම්පත් ලැබීමට වගේම පරලොව දුගතියෙන් අත මිදී සුගතිය උරුම කර ගැනීමටත් සසර දුක නැති කිරීමෙන් නිවන සාක්ෂාත් කර ගැනීමටත් අවශ්‍යම දේ උත්සාහයයි.
කොතරම් උත්සාහය තිබුණත් සිහි නුවණින් කටයුතු නොකළොත් උත්සාහයේ ප්‍රතිඵල අහිමි වී යනව.අපේ සමාජයේ බොහෝ උත්සාහ වන්තයන් අපට හමු වෙනව. ඒත් කරන කියන දේ ගැන මනාව සිහි නුවණින් කටයුතු නොකිරීම නිසා අවුල් හටගෙන,අසාර්ථක වෙලා, නැත්නම් ඉක්මන් වීම නිසා වැරැද්දක් වෙලා. අපේ ජීවිතවල වැඩි කාලය වෙන් කරන්න වෙලා තියෙන්නෙ වැරදි නිවැරැදි කරන්න. ඒ නිසා එළඹ සිටි සිහිය ඉතාම වැදගත් සාධකයක්.
උත්සාහය කොපමණ තිබුණත් නොදන්න දේ කරන්න යාම භයානකයි. දන්නා කෙනෙකුගෙන් විමසා බලා සැක දුරු කරගෙන කිරීම තමයි වැදගත්. ලෞකික ලෝකය ජය ගැනීමටත් එහෙමයි. ලොව්තුරු ඵල නෙලා ගැනීමටත් එහෙමයි.
ඒ වගේම නිවැරැදිම දේ ක්‍රියාවට නැගීම අතිශයින්ම ඵලදායකයි. ගැටලුවක් මතු වූ වෙලාවට විසඳුම් ගණනාවක් එකිනෙකාගෙන් දැනගන්න ලැබේවි. තම තමන්ගෙ සිතටත් විවිධ විසඳුම් එන්න පුළුවන්. ඒ විසඳුම් අතර හොඳම විසඳුම සොයා ගැනීමෙන් තමයි අභිමානවත් සාර්ථකත්වයක් උදා වෙන්නෙ.
මේ කියන ආකාරයට යමෙක් ජීවත් වෙනවා නම් ඒකාන්ත වශයෙන්ම ජීවිතය දිනන්න පුළුවන්. ඒක කීර්තිමත් ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ එහෙමයි.
අද මගේ කතන්දරය තුළ තියෙන්නෙ එවැනි උත්සාහයක් ඇතිව සංවරශීලිව සිහියෙන් ක්‍රියා කොට ජීවිතේ ජයගත්තු තරුණයෙක් ගැන. ඔහු ජීවත් වුනේ රජගහනුවර, ඒ කාලයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියෙත් රජගහනුවර වේළුවන විහාරෙ.
මේ නුවර වීථිවල පාන්දර තරුණ කටහඬක් ඇහෙනව. “දරුවනි, නැගිටිව්, කරත්ත ඔසවා ගනිව්. හරක් එළියට ගනිව්. ඔවුන් රියවල බඳිව්. ඇතුන් හා අසුන් තෘණාදී ආහාර සඳහා යොදන වේලාවයි. මෑණිවරුනි, ඔබලාත් අවදි වන්න. කැඳ බත් පිසින්න”
ඒ හඬ ගාම්භීරයි. තරුණයි. ඒ වගේම මිහිරියි. ඔහු කරන්නේ රස්සාවක්. ඒ රස්සාවෙ නම පබෝදනචෝදන කර්මය . ඒ කියන්නේ හිමිදිරි පාන්දර පිබිදී ගම අවදි කරවන එක. මේ තරුණය ඉතාම සිත් ගන්නා විදියට මෙන්ම ප්‍රබෝධමත් විදියට ඒ කටයුත්ත ඉටු කළා. ඒ වෙනුවෙන් ඔහුට වාසස්ථානයක් පවා ලැබී තිබුණ.
බිම්බිසාර රජතුමාටත් දවසක් පාන්දර මේ කටහඬ ඇහුණ .රජතුමා හොඳින් සවන් යොමුකළා. එතුමාට තිබුණ විශේෂ හැකියාවක් කෙනෙකුගේ හඬ අහගෙන ඉඳල. එයා සතු තොරතුරු ටිකක් කියන්න. “මේ හඬ දුප්පත් අයෙකුගේ හඬක් වෙන්න බැහැ. ධනවත් දරුවෙකුගේ හඬක් “ රජතුමා කීව.
රජතුමාගේ පරිවාර ස්ත්‍රියක් මේ තරුණයා ගැන සොයන්න පණිවුඩ කරවෙකු යැව්ව. ඔහු ඒ ගැන සොයා බලා නැවත පැමිණ කීවේ බත් බැලයට ගම පුබුදන රස්සාව කරන දුප්පත් කොල්ලෙක් කියල. ඊළඟ දවසෙත් රජතුමා ඒ හඬ අහන් ඉඳල කීවේ පෙරදා කීව දේමයි. සොයා බලා කරුණු කියද්දීත් රජතුමා නැවත නැවතත් එකම දේ කියන කොට තමා විසින්ම ඒ තරුණයා පිළිබඳ සොයා බලන්න ඕන කියල පරිවාර ස්ත්‍රියට හිතුණ.
කහවනු දහසක් රජුගෙන් ඉල්ලා ගත් ඇය ස්වාමීනි, මාගේ දියණියද සමග ගොස් ඒ ධනවත් කොලුව සොයා ගන්නම්. ඔහු සතු යම් ධනයක් වේ නම්, ඒ සියල්ල රජ වාසලට ලබා දීමට කටයුතු කරන්නම් කියා පොරොන්දු වුණා.
දුප්පත් පෙනුමක් ඇති අයුරින් වස්ත්‍ර ඇඟලා ගත් ඔවුන් දෙදෙනා එක් වීථියක නිවසකට ගොඩ වුනා. චාරිකාවේ යෙදෙන මවක හා දියණියක ලෙස තමුන් හඳුන්වා දුන්න. ගමන් විඩාව නිසා දින දෙක තුනක් නවාතැන් දිය හැකිද කියලත් ඇහුව. තම නිවසේ ඉඩ මදි බව පෙන්වා දුන් නිවෙස් හිමියා. ඊට මඳක් නුදුරින් ඇති කුම්භ ඝෝෂකගේ නිවසට යන්න කියල කීව.ඝෝෂකගේ නිවස තිබුණෙත් ඒ අසලමයි.
මේ දෙදෙනා කුම්භ ඝෝෂකගේ ගෙදරට ගොස් දින දෙක තුනක් සඳහා නවාතැන් ඉල්ලුවත් ඔහු එය ප්‍රතික්ෂේප කළා. ඒත් ගමන් වෙහෙස ගැන කියමින් ඔහුගේ අනුකම්පාව දිනාගත් ඒ දෙදෙනා එක දිනක් සඳහා නවාතැන් ගැනීමට කැමැති කරවා ගත්ත. එතැන් සිට ගෙවුණ සෑම මොහොතකම ඔවුන් වෙහෙසුණේ කුම්භඝෝෂකගේ සිත දිනා ගැනීමටයි.
පසුවදා පාන්දර කුම්භ ඝෝෂක පිටව යන්නට පෙර දහවල ආහාර පිළියෙල කර තැබීමට සහල් ටිකක් දීල යන්න කියල ඒ කාන්තාව ඔහුගෙන් ඉල්ලා සිටිය. අක්මැත්තෙන් වුනත් කුම්භඝෝෂක සහල් දුන්න. ඒ කාන්තාවත් අතේ ඇති මුදල් වලින් අවශ්‍ය දේ ගෙනැවිත් රසවත් ලෙස ආහාර පිළියෙල කොට තැබුව. තනියම සිටින මේ තරුණයට කාලෙකට පස්සෙ රසවත් ආහාර වේලක් ලැබුණ වගේ බොහොම කැමැත්තෙන් කෑම ටික කෑව. කෙසේ හෝ තවත් දින දෙක තුනක් උපායශීලිව මේ ගෙදර නවාතැන් ගත් මේ දෙදෙනා කුම්භ ඝෝෂකගේ අම්මයි නංගියි වගේ සමීප වුණා.
මේ අතර කුම්භ ඝෝෂක නැති අතරෙහි ඔහුගේ ඇඳේ ලනු ටික කපා දැමු ඇය මතුපිට ඇතිරිල්ලෙන් එය නොපෙනෙන සේ සකස් කොට තිබුණ. කුම්භ ඝෝෂක ඇඳේ වැඩිවෙනකොටම දෙදනයි නළලයි එකට වදින විදියට ඇඳ ඇතුළට වැටුන . තරමක් කේන්තියෙන් වගේ ඔහු මොකද මේ මගේ ඇඳට කරල තියෙන්නේ කියල ඇහුව.
අනේ බලන්න පුතේ මේ අහල පහළ ළමයි ඇවිත් වටේ සෙල්ලම් කරනව. ඔය ඇඳ උඩට පනිනව . එලෙව්වට යන්නෙත් නෑ . කියලා කපටි උත්තරයක් දුන්න.
මම වෙනද යන්නේ ගෙදර දොර වහල දාල. ඔය ගොල්ලො නිසා අන්තිමට මට නිදා ගන්න ඇඳත් නැතුව ගියා. කියමින් ඔහු තරමක් කේන්තියෙන් කෑ ගැසුව.
“ඕකට තරහ ගන්න එපා පුතේ. අපි ඇඳ හදා ගනිමු. දවාලක. දැන් ඉතිං රෑ වෙලානේ අර නැගණිය සිටින ඇඳේ පැත්තකින් නිදාගන්නකෝ කියල කීව. ඊට පස්සෙ ඇය දියණියට කතා කරල කීවේ සොහොයුරාටත් ඇඳේ එක පැත්තක් ඉඩ දීල අනික් පැත්තෙ නිදා ගන්න කියල. ඇගේ උපාය සාර්ථකයි. දියණියගේ හැසිරීමත් දෙදෙනාගේම තරුණකමත් දෙක ඔවුන් වරදෙහි බැඳෙන්න හේතු වුනා. පසුදා උදෑසන දියණිය හඬමින් මේ ගැන අම්මට කියද්දී අම්මා කිසිවක් නොදන්නා විදියට මෙහෙම කිව්ව.
“සිදු වූ දේට දැන් ඉතින් මොනව කරන්නද? කමක් නෑ. ඔය ළමයි දෙන්නම අවිවාහකයිනේ . ඒ නිසා මේ බව කාටවත් දැනගන්න තියන්න ඕන නෑ. මටත් බෑණ කෙනෙක් ලැබුණ කියල හිතා ගන්නම්. දෙන්නගේ නොගැළපීමකුත් නෑනේ” කියල කීව.
ටික දවසකින් රජතුමා වෙත හසුන් පතක් පිළියෙල කළ මව රාජ නියෝගය මත මේ වීථියෙහි උත්සව කරවන ලෙසත් එසේ නොකරණ අයට දඩ මුදල් අය කරන ලෙසත් දන්වා යැව්ව. රජතුමා එසේ කළා අම්මා විසින් පුතා බිය ගන්වා කිව්ව පුතේ රජ අණ පිළි නොපැද්දොත් දඩ ගෙවන්න වෙනව. බැල මෙහෙකළාට කරන්න දෙයක් නෑ. කෙසේ හෝ කහවනු කිහිපයක් හොයාගෙන එන්න කියල.
කුම්බඝෝෂකත් අඳුරු වැටුනට පස්සේ කිසිවෙකුට නොපෙනෙන ලෙස ගිහිල්ල තම මව්පියන් විසින් සඟවා ඇති හතලිස් කෙලක් ධනයෙන් එක් කහවනුවක් රැගෙන ආවා.මේ කාන්තාව ඒ කහවනුව රජු වෙත යැව්ව. අතේ තියෙන කහවනු කිහිපයක් මාරු කරල උත්සව කටයුතු සිදු කළා.
නැවතත් දිනක ඒ නියෝගය නිකුත් කළ නිසා එදත් කහවනු එළියට ගන්න කුම්භ ඝෝෂකට සිදු වුනා. ඒ කහවනු තුනත් රජු වෙත යැවූ ඇය අතේ ඇති මුදලින් උත්සව කටයුතු සිදු කළා.ඇගේ උපදෙස් මත කටයුතු කළ රජතුමා දිනක් කුම්භඝෝෂක අරගෙන යන්න රාජ පුරුෂයන් යෙදෙව්ව.ඔහු රජුට නොදන්වා මහත් ධනයක් සඟවාගෙන සිටින සොරෙකැයි කියා චෝදනා කරමින් රැගෙන යන විට මවයි දුවයි දෙන්නත් ඒ එක්කම රජ මැදුරට ගියා.
රජතුමා ඔහුගෙන් ධනය පිළිබඳ ප්‍රශ්න කළා. දඬුවමට බිය වූ ඔහු තමා ළඟා ධනයක් නැතැයි වෙව්ලමින් ප්‍රකාශ කළා. ඒත් රජතුමා අතේ කහවනු හතරක් තියෙනව.මේව ඔබේ නොවේදැයි රජතුමා ප්‍රශ්න කරන විට කාසි හඳුනා ගත් ඔහු බියට පත් වුනා. වටපිට බලනකොට තම නිවසේ සිටි අම්ම රාජ සේවිකා ඇඳුමින් සැරසිල ඒ අසල රැඳී සිටිනව දැක්ක. ඔහුට සියල්ල වැටහුණා. තමා ධනවතෙක් බව ඔහු පිළිගත්තෙ වෙන කළ යුතු දෙයක් නැති නිසා. ඔහු දන්නව තම ධනය රාජ සන්තක වන බව. ඒ වගේම තමාට ලැබෙන දඬුවම ගැනත් ඔහු දන්නව.
ඒත් රජතුමා කලබල වුනේ නැහැ. ඇයි ඔබ මේ තරම් ධනය තිබියදී දුගියෙකුගේ රස්සාවක් කරන්නෙ?” කියල රජතුමා ඔහුගෙන් විමසුව.
ස්වාමීනි මගේ පියා සිටුවරයෙක්. මම කුඩා කාලයෙදි අපේ ගෙදර අයට අභිවාත කියන රෝගය හැදුන. ඒ රෝගය හැදුනම සේවකයන් ගේ සිට සියල්ලන්ම මියගොස් අවසානේ ගෘහ ප්‍රධානින් පවා මිය යන බව අප දැන සිටිය. ගෙදර බිත්තිය සිදුරු කරගෙන එදා මා පිටවුනේ නැත්නම් මටත් මැරෙන්න වේවි කියල මගේ දෙමව්පියන් මට කීව. ඔවුන් සතු සතලිස් කෙලක් ධනය ගබඩා කළ තැන මට පෙන්වල කීව පසුව ඇවිත් ඒ ධනය රැගෙන ජීවත් වෙන්න පුළුවන් කියල. රජතුමනි, ලෙඩ ඇඳට වැටුන දෙමව්පියන් දාල මා ගියේ ලොකු වේදනාවකින්. ඒත් ඒ අය බේරගන්න කිසිවෙකුටත් බැරි බව දැන දැනත් මා මිය යා යුතු නැති නිසා එදා පිටව ගියා. ස්වාමිනි වසර ගණනකට පස්සෙ ගමට පැමිණි මට යහළුවෙක්වත් නැහැ. කිසිවෙක් මාව අඳුනන්නෙත් නැහැ.මේ ධනය පරිහරණයට ගත්තොත් මම හොරෙක් කියල මිනිස්සු හිතන්න පුළුවන්. ඒ නිසා ඒ ධනය එසේ තිබියදි මා රස්සාවක් කරගෙන ජීවත් වෙන්න තීරණය කළා.” රජතුමා ඔහු ගැන පැහැදුනා. බුද්ධිමත්කම සහ අනලස් බව ගැන ප්‍රශංසා කළා. ඔහු තරම් ධනවතෙක් ප්‍රදේශයේ නැති බව සනාථ වුනා. සිටු තනතුර ඔහුට හිමි වුනා. සරණ මංගල්‍යය උසස් ලෙස සිදු වුනා. තෙරුවන් සරණ ගිය ධාර්මික රජ කෙනෙක් වූ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඔහු කැඳවාගෙන ගියා. සියලු විස්තර උන්වහන්සේට සැල කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ තරුණයා අගය කරමින් වටිනා දහම් කරුණු ටිකක් දේශනා කළා. “යමෙක් ළඟ ධාර්මික උත්සාහය තිබේනම්, මනා සිහියෙන් කටයුතු කරයි නම් පිරිසුදු ක්‍රියාවන්හි නිරත වෙනව නම්, විමසුම් නුවණින් කටයුතු කරනව නම් , සන්සුන් දැහැමි දිවියක් ගෙවන්නේ නම් එයාගේ කීර්තිය වැඩෙනව“
මොරවක
සෝරත නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 06 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment