Labels

Friday, August 19, 2016

පිරිසක් නිදන විට නිදිවරමින් සිටින පිරිස කවුරුන්ද?

අප සිදුකරන සෑම කටයුත්තකම වටිනාකමක් නැහැ. වටිනා කටයුත්තක් වන්නේ සද්ධර්ම ශ්‍රවණය යි. ඒ වගේම මේ ධර්ම මාර්ගය ගමන් කරන විට අපේ සිත සුවපත් වෙනවා. භයානක සසරින් මිදෙන්නටත්, මඟඵල ලබන්නටත්, ධර්මය ඉගෙනීම හේතුවෙනවා. ඔබ දන්නවා ඒ මඟඵල ලබන චතුශ්චක ධර්ම මොනවාද? කියා. සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, කල්‍යාණ මිත්‍ර ඇසුර, ධම්මානුධම්ම පටිපදාව කියන මේ කරුණු හතර නිසා අපේ ජීවිතය සුවපත් කරගෙන භයානක සසරින් මිදී උතුම් ශාන්ත නිර්වාණය සාක්ෂාත් කිරීමට හේතු වෙනවා. ඒ නිසා බුදුබණ ශ්‍රවණය තුළින් මෙලොව වගේම පරලොවත් සුවපත් වෙනවා. පහනක්, එළියක් තිබෙන තැන අඳුරක් නැතුවාක් මෙන් ධර්මයක් දියුණු කරන සිතක, ඇඬීම, වැළපීම, පශ්චාත් වීම, පෙළීම ද නැත.
දිනක් බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ මිනිසුන් අඹ වර්ග හතරකට උපමා කොට වදාළා.
 1). සමහර අඹ ගසේ තිබෙන විට අමුයි. නමුත් පෙනෙන්නේ ඉදී ඇති බවයි.
 2). සමහර අඹ ඇතුළතින් හොඳින්ම පැහිලා. නමුත් බාහිරට පෙනෙන්නේ එය අමු බවයි. 
3). සමහර අඹ ඇතුළතින් අමුයි. බාහිරට පෙනෙන්නේත් ලා බව, නො පැසුනු බවයි. 

4). සමහර අඹ ඇතුළතින් හොඳින් මෝරලා. ඒ බව බාහිරටත් හොඳින් පෙනෙනවා. සුවඳත් දැනෙනවා. මේ වගේ මේ සමාජයේ ජීවත්වන අයගේ ක්‍රියාත්මක වීම මේ අඹ ගෙඩි හතර වගේ. සමහර අයගේ කිසිදු ධර්ම කරුණක් නැහැ. පුණ්‍යමය සිතිවිල්ලක්වත් නැහැ. නමුත් පිටතට පෙන්වන්නේ සිල් රකින, ගුණ ගරුක බවයි. ඒ අයගේ ඇතුළත නොපැසුණු, නොඉදිණු නමුත් පිටතට පැසුණා වගේ පෙනෙන පළමු අඹ ගෙඩිය වගේ.
දෙවන පිරිසගේ ඇතුළත බොහෝම හොඳයි. වැඩූ සිතක් තිබෙනවා. ධර්ම කරුණු දන්නවා. නමුත් බාහිරට ඒ බව පෙන්වන්නේ නැහැ. නිෂ්ශබ්දව අධ්‍යාත්මික ගමන යන පිරිසක්.
තුන්වන අඹට ගෙඩියට සමාන වන්නේ ඇතුළත කිසිදු පාරිශුද්ධබවක් නැහැ. ගුණයක් නැහැ, ධර්මයක් නැහැ, සීලයක් නැහැ. කර්මය පමණයි. බාහිරටත් ධර්මය නැති බව, ශ්‍රද්ධාව නැති බව සිත නො වැඩූ බව ප්‍රදර්ශනය කරනවා.
හතර වන අඹ ගෙඩිය ඇතුළත බොහෝම හොඳයි. ධර්මය දන්නවා, ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තිබෙනවා. ඒ බව එළියෙන් පෙනෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ තැනැත්තා ඇතුළතින් ඉදුනු මිහිරි රසයක් ඇති බාහිරටත් ලස්සනට පෙනෙන අඹ ගෙඩියක් වගේ කියා “අම්බ” සූත්‍රයේදී අඹ ගෙඩිය උපමා කොට වදාළා. මේ කියු අඹගෙඩි අතරින් මම අයිති කිනම් අඹ වර්ගයටද කියා ඔබ තේරුම් ගන්න.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ජීවත් වන මිනිසුන්ට බල වර්ග පහක් තිබෙන බව වදාළා. ඒ බල වර්ග ඔබටත් තිබෙනවාද කියා සිතා බලන්න.

1). බාහු බල -දෑතේ දෙපයේ තිබෙන ශක්තියයි. මේ ශක්තිය විවිධ වැඩ කරන්න අවශ්‍ය වෙනවා.
 2). භෝග බල - සම්පත්තියන් උරුමවීම. ඒ ඉඩකඩම්, ගෙවල් දොරවල්, දූ දරුවන්, රන්, රිදී, මුතු, මැණික් වෙන්න පුළුවන්. ඒ වගේම ශාස්ත්‍රය, ශිල්පය හෝ ධර්ම ඤාණය වෙන්නත් පුළුවන්.
 3). අමච්ඡ බලය - මේ පිරිස් බලය ලැබීමයි. යහළුවන් වෙන්න පුළුවන්. වැඩපළට උදව් කරන අය වෙන්න පුළුවන් මේ බලයට අයත්, 
4).ජාති බල – හොඳ සිරිත් විරිත් පුරුදු පුහුණු වීම, හොඳ නිවාස යාන වාහන ඇතිව ඉපදීම මේ බලයට අයත්. 
5) ප්‍රඥා බල – මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ මේ ප්‍රඥා බලයයි. ප්‍රඥා ආලෝකය තරම් වෙනත් ආලෝකයක් නැහැ. මේ ප්‍රඥා ලෝකය හිරු, සඳු ආලෝකයට වඩා බලවත්. සියලුම ආලෝක ධාරාවන් පරයා සිටින ප්‍රඥා බලය මුළු සංසාරයටම ආලෝකය සපයා දෙනවා. ඒ බලය ලැබෙන්නේ ධර්මය ශ්‍රවණය කිරීමෙන්. ධර්මය කියවීමෙන්. ධර්මයට සමීප වීමෙන්.
සංයුක්ත නිකායේ දේවතා සංයුත්තයේ තිබෙනවා “ජාගර සූත්‍රය” නමින් සූත්‍රයක්. දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී එක්තරා දෙවිවරු පිරිසක් ඇවිදින් අසනවා ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, පිරිසක් නිදන විට කවුද අවදියෙන් සිටින්නේ? ඒ පිරිස අවදිවන විට වහා නින්දට යන පිරිස කවුරුන්ද?
බුදුරජාණන් වහන්සේ වදාළා දෙවිය, නිදිවරන පස් දෙනෙක් සිටිනවා. ඒ පස් දෙනා නිදාගත්විට අවදියෙන් සිටින පස් දෙනෙක්ද සිටිනවා. 
කවුද මේ නිදා ගන්න පස්දෙනා. 
ශ්‍රද්ධා, (තුණුරුවන් කෙරෙහි ඇති පැහැදීම) විරිය (අකුසලයට යන සිත කුසලයට ගන්න කරන උත්සාහය) සති (යහපත් සිහිය), 
සමාධි (විසුරුණු සිත එක්තැන් කිරීම), 
ප්‍රඥාව (ඤාණය උසස් කර ගැනීම) මේ පස් දෙනා යම් කෙනෙකුගේ සිතක නිදාගෙන නම් වහා අවදිවන පස්දෙනා වන්නේ කාමච්ඡන්දය (පස්කම්සුවය පසුපස හඹා යෑම), 
ව්‍යාපාදය (අනුන් නසන්න ඝාතනය කරන්න ඇතිවන ක්‍රෝධය), 
ථීනමිද්ධය (සිතෙයි සහ කයෙහි සිතිවිලිවල ඇතිවන බොහෝම අලස ගතිය),
උද්දච්ච කුක්කුච්ච ( විසුරුණ ගතිය පසුතැවීම), විචිකිච්ඡා (තුණුරුවන් කෙරෙහි ඇතිවන සැකය, අතීත භවයක් තිබුණාද? අනාගත භවයක් තිබේද? ආදියයි). මේ පහ වහා අවදි වෙනවා ශ්‍රද්ධා, සීල, සති, සමාධි, ප්‍රඥා නිදාගෙන සිටිනවානම් හැදිය යුතු දේ අතරට වැඩිය යුතු දේ අතරට වටිනාම දේ වන්නේ සිත හදා ගැනීමයි. චිත්ත අභ්‍යාස පුහුණුවයි. එසේනම් පහක් නිදන විට පහක් ඇස අරිනවා. ඒ පහ නිදන විට අනෙක් පහ ඇස අරිනවා.
මේ සඳහා ඔබට උපමාවක් කියන්නම්. දිනක් එක් ගොවියෙක් දවස පුරාම වැඩකරලා පන්සලක් අසළින් ගමන් කරනවා. මහන්සියට ගොවියා පන්සලට ගොඩවුණා. එක් හිමිනමක් ඒ ගොවියාට කෑම ටිකක් දුන්නා. කුසගින්න නිවාගත් ගොවියා විවේකීව සිටිමින් කල්පනා කරන්නේ මේක කෙතරම් පහසු වැඩක්ද? සිවුරක් පොරවා ගත්තානම්, ගාථාවක් ඉගෙන ගත්තානම් පන්සලකට වෙලා අව්වෙන්, වැස්සෙන් පීඩාවක් නොමැතිව ජීවත්වෙන්න තිබුණා යැයි සිතුවා. ඔහුගේ සිතේ පංචනීවරණ ටික ටික අවදිවුණා. ඒ නිසාම මොහු පැවිදි වුණා. ඔහුගේ සිත ශ්‍රද්ධා, සීල, සති, සමාධි, ප්‍රඥා නිදා ගත්තා. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච කුක්කුච්ඡ, විචිකිච්ඡා ඇහැරුණු. මෙයාට සිහිපත් වෙනවා මගේ බිරිඳ දැන් මොනවා කරනවා ඇද්ද? මම අතඇරීයේ ආදරණීය වදන් කියන සුන්දර හඬක් තිබෙන කාන්තාවක්. ඇය නොමැතිව සිටින්නේ කෙසේද? කියා සිවුරු හැර නිවසට ගියා. ටික කාලයකදී මේ කාන්තාවගේ නපුරු, අමිහිරි වචන ඇසෙන විට නැවත පන්සලට ඇවිත් පැවිදි වුණා. ටික කාලයක් යන විට නැවතත් බිරිඳ සිහිපත් වුණා. ඇගේ සිරුර කෙතරම් ලස්සනද? ලස්සන කටහඬ සිහිවුණා. දෙවැනි වතාවටත් නිවසට ගියා. දිනක් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇතිවුණා. එදා බොහෝ සේ කලකිරුණා. පන්සලේ සිටියානම් කිසිම කෙනෙකුගෙන් බැනුම් අසන්න සිදුවන්නේ නැහැ සිතා නැවතත් පන්සලට ගොස් පැවිදි වුණා. පංචනීරවණ නිසා නැවතත් බිරිඳ සිහිපත් වෙනවා. ඇය මොනවා කරනවා ඇද්ද? ඇය නැටුම දක්ෂ කෙනෙක් නොවැ. කියා සිහිපත් වුණා. නැවතත් සිවුරු හැර නිවසට ගියා. නැවතත් දෙදෙනා අතර වූ ආරවුල නිසා පන්සලට ගියා. මේ ආකාරයට හය පාරක් ගියා. ආවා. හත්වැනි වතාවේදී නිවසට ගියා. ටික කාලයක් ජීවත් වුණා. දිනක් දුටුවා ඇගේ ඇස්වලින් කබ පෙරෙනවා. මුඛයෙන් දුගඳ හමනවා. ශරීරයේ පිළිකුල් ස්වභාවය දුටුවා. පංචනීවරණයට යට වූ නිසා මේ අරහත් ධජය කී සැරයක් අත හැරියාද? කියා සිහිපත් වුණා. මින් පස්සේ පංච නීවරණයන්ට අවදිවීමට ඉඩ නොදී පංච බල ධර්මයන් වර්ධනය කර ගන්නවා කියා සිතුවා. අරහත් ධජයට ගෞරව කරමින් කාලය ගත කළා. පසුව නිර්වාණබෝධය ලබා ගත්තා.

ඒ නිසා ඔබත් කල්පනා කරන්න අප සෑම දෙනා තුළම විශාල චිත්ත බලයක් තිබෙනවා. ඒ බලයෙන් උපරිම ඵල නෙලා ගන්න මහන්සි ගත යුතුයි කියා. ඔබගේ සිත කිලුටුවට යනවා නම්, වහා පිරිසුදු කර ගන්න අවශ්‍ය වටිනා බලය වන්නේ ප්‍රඥා බලයයි. එය ලබා ගන්න චිත්ත පාරිශුද්ධභාවය අවශ්‍ය වෙනවා.




මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති 
කථිකාචාර්ය, දර්ශනපති රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 17 වන බදාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment