දානය, ශීලය, නෙක්ඛම්මය, පඤ්ඤා, විරිය, ඛන්ති,සච්ච, අධිට්ඨාන , මෙත්තා, උපෙක්ඛා යන දස පාරමිතාවන් සපිරීමෙන් අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ උතුම් බුදුබව පසක් කරගත් සේක.
මේ දස පාරමිතාවන් පාරමී, උපපාරමී,පරමත්ථ පාරමී යනුවෙන් ත්‍රිවිධ වශයෙන් සමතිස් පෙරුම් දම් සපුරණ ඕනෑම කෙනෙකුට උතුම් බුදු බව ලැබිය හැකිය. නිදසුනක් වශයෙන් දාන පාරමී යනු ධන ධාන්‍ය වස්ත්‍රාභරණ ආදී ජීවිතයට අවශ්‍ය වන පරිදි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමයි. (තම අඹුදරුවන් හෝ තම සිරුරෙහි රුධිරය,වකුගඩු, ඇස්, හිස් ආදි ශාරිරීක අවයව අනුන්ගේ යහපත සඳහා පරිත්‍යාග කෙරේ නම් එය දාන උපපාරමිතාව යි. )දාන පරමත්ථ පාරමී යනුවෙන් අදහස් කරන්නේ තම ජීවිතයම පුදා අන් අයගේ යහපත සැලසීම යි. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ මේ ත්‍රිවිධ ආකාරයෙන්ම දාන පාරමිතාව සපිරූ බැවින් බුදු බවට පත්වී වදාළ සේක.
සීලපාරමිතාව ආදිය ද එසේම ත්‍රිවිධ අයුරින් සපිරිය යුතුය කය, වචනය දොරටු දෙකින් සිදු වන වැරදිවලින් සංවර වීම සීලයයි. සීලව නාගරාජ සමයෙහි තම ජීවිතයට හිරිහැර කරන වැද්දන්ට විපතක් නොකළේ තම සීලය බිඳේය යන හැඟීම නිසයි. ගිහිගේ කම්සැප විහරණය අතහැර දමා බවුන් වඩමින් දිවි ගෙවීම නෙක්ඛම්ම පාරමිතාවයි.
‘ප්‍රඥාව’ යනු නුවණයි. එය විශේෂ දැනුමකි. සාමාන්‍යයෙන් අප යම් යම් දේවල් පිළිබඳව දැනුමක් ලබාගන්නේ ඇස, කන, දිව, නාසය ආදි ඉන්ද්‍රියන් ඇසුරෙනි. ඇසින් රූප බලා ඒ ඒ වස්තූන් හා පුද්ගලයන් දැන හඳුනාගත හැකිය. එමෙන්ම කනින් ශබ්ද අසා ඇසීමෙන් දැනුම ලබාගත හැකිය. නාසයෙන් ආඝ්‍රාණය කොට ගඳ සුවඳ දැනගත හැකිය. දිවෙන් විඳ තිත්ත, ඇඹුල්, මිහිරි ආදි රස දැනගත හැකිය. කයෙන් ස්පර්ශ කොට ශීත, උෂ්ණ ආදිය දැනගත හැකිය. සතුරන් හා මිතුරන් කවුරුන් දැයි දැනගත හැකිය. නෑයන් නොනෑයන් කවුරුන් දැයි දැනගත හැකි ය. ආහාර හා බෙහෙත් කවරේදැයි දැනගත හැකිය. මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා එම දැනුම ලබාගත හැකිය. මෙවැනි දැනීම්වලට වඩා ඉතා උසස් වූ දැනුමකි. ප්‍රඥාව.
සංසාරයෙන් එතෙර වී නිවන පසක් කිරීමට උපකාර වන බැවින් ප්‍රඥාව පාරමිතාවකි. පින්,පව්. කුසල් අකුසල්, හොඳ නරක, පින් පව්වල අනුසස් හා විපාක ආදිය පිළිබඳව වෙසෙසි දැනුමක් ලබාගත හැක්කේ ප්‍රඥාවටය. ස්කන්ධ , ධාතු, ආයතන, සත්‍යය ආදි ගැඹුරු ධර්ම පිළිබඳව පිරිසිඳ දැනුමක් ලබාගත හැක්කේ ප්‍රඥාවෙනි. එම ප්‍රඥාව ලෝකයෙහි ඇති සියල්ලටම වඩා මිනිසුන්ට ඇති ඉතා වටිනා උතුම් දෙයක් බව ‘පඤ්ඤා’ නරානං රතනං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ. ලෞකික හා ලෝකෝත්තර සියලු යහපත මිනිසාට අත්පත් කරගත හැක්කේ ප්‍රඥාව උපදවා ගැනීමෙනි. එහෙයින් කෙසේ ජීවත්වීම උතුම්දැයි ආලවක යක්ෂයා ඇසූ පැණයට පිළිතුරු දෙමින් “පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ඨං’ යනුවෙන් බුදුහු වදාළහ. ප්‍රඥාවෙන් යුතුව ජීවත්වීම ඉතා උතුම් වන බව එහි අදහසයි.
සඤ්ඤා, විඤ්ඤාණ, පඤ්ඤා යනුවෙන් දැනුම ත්‍රිවිධ වේ. කුඩා දරුවකුට මැණිකක් පිළිබඳව ඇති දැනුම මෙන් යම් දෙයක් පිළිබඳව ඇති සාමාන්‍ය අවබෝධය සඤ්ඤා නමි. ගම්වැසියකුට මැණිකක් පිළිබඳව ඇති දැනුම මෙන් යම් දෙයක් පිළිබඳව ඇති විශේෂ අවබෝධය විඤ්ඤාණ නම්. රන්කරුවකුට මැණිකක් පිළිබඳව ඇති අතිවිශිෂ්ට දැනුම මෙන් යම් දෙයක් පිළිබඳව ඇති අතිවිශිෂ්ට අවබෝධය පඤ්ඤා නමි.
තමන් විසින්ම මැනවින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් බුද්ධත්වය පසක් කර ගැනීම ලොව්තුරා ප්‍රඥාවයි. එමෙන්ම බුද්ධ ශ්‍රාවකයකුගෙන් ධර්මය අසා චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිමින් නිවන පසක් කිරීමද ලොව්තුරා ප්‍රඥාවයි. එම ප්‍රඥාව ලැබීම පිණිස බුදුදහම උගනිමින් ඥානය ලැබීම පිණිස නුවැණැත්තන් ඇසුරු කිරීමත්, නුවණැත්තන්ගෙන් තමා නොදත් දෙය විමසීමත්, නුවණැත්තන් සමඟ සාකච්ඡා කිරීමත් ප්‍රඥාව ලබනු පිණිස හා ලැබූ ප්‍රඥාව දියුණු තියුණු කර ගැනීම පිණිස භාවනාවෙහි යෙදීමත්, ලබාගත් ප්‍රඥාවෙන් බුදුසසුනේ චිරස්ථිතිය පිණිස ලොවට වැඩ පිණිස ධර්මය උගන්වමින් ධර්මදේශකයන් දහම් පොත්පත් සම්පාදනය කිරීමත්, තවත් විවිධ ක්‍රමවලින් ප්‍රඥා බලයෙන් ලොවට යහපත සිදු කිරීමත් ප්‍රඥා පාරමිතාවයි.
අප මහා බෝසතාණන් වහන්සේ පෙර ආත්ම භාවයක සේනක යන නමින් පණ්ඩිතයෙක් වී අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් සමාජයට ධර්මය අවබෝධ කරවූහ. එකල එක්තරා මහලු බමුණෙක් තම තරුණ බිරිඳට දාසයකු සොයා දීමට දිනක් දුර පළාතකට ගියේය. බිරිඳ සාදා දුන් අග්ගලා පසුම්බියෙන් දහවල් කුසගිනි නිවාගත් හෙතෙම අග්ගලා මල්ල විවරව තබා දිය පානය සඳහා ළඟම තිබූ දිය පොකුණට ගියේය. මේ අතර අග්ගලා සුවඳ දැනී කළු නාගයෙක් මල්ල තුළට ඇතුළු විය. මගියාද ඒ බව නොදැන මල්ල තද කොට ගැටගසා බැඳ එය කර මත තබා ගෙන යන විට රුක් දෙවියකු විසින් මෙසේ කියනු ඇසුණි.
අස බමුණ ගම් වැසි
මග රැඳුණ අද තෝ නසි
ගෙට ගිය අඹුව නසි
අතුරුදන් වී කියා මේ ලෙසි
ගෙට ගිය අඹුව නසි
අතුරුදන් වී කියා මේ ලෙසි
එවදන් අසා බලවත් ලෙස වික්ෂිප්ත බවට පත්ව හඬමින් යන විට සේනක පඬිතුමා වෙත ගිය විට සියලු තොරතුරු අසා සිදුවූ සියල්ල දැන ස්වකීය ප්‍රඥා බලයෙන් ඒකාන්තයෙන්ම එම මල්ල තුළ සර්පයකු ඇති බව අවබෝධ කොට ගෙන මල්ල බිම තබා ලිහන්නට කීවේය. එවිට පෙණය පුප්පාගෙන කළු නාගයෙක් මල්ලෙන් පිටතට ඇදී ගියේය. මෙසේ සිය ප්‍රඥා බලයෙන් දුකට පත්වූ ජනතාවට පිහිට වීම ප්‍රඥා පාරමිතාවයි.
ලෞකික ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාව යනුවෙන් ප්‍රඥාව දෙවැදෑරුම් වේ. කාමාවචර, රූපාවචර හා අරූපාවචර සිත්වල ප්‍රඥාව ලෞකික ප්‍රඥාවයි. සෝවාන් සකදාගාමී, අනාගාමී සහ අර්හත් යන සතර මග ඵල සිත්වල ඇති වන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාවයි. පාරමිතා සම්පූර්ණ කිරීමෙන් ලබන චතුරාර්ය සත්‍යය අවබෝධය සම්බුද්ධත්වය ලෝකෝත්තර ප්‍රඥාවමය.
බුද්ධ ශ්‍රාවකයන්ගෙන් සතර මග ඵල සිත්වල ප්‍රඥාව ශ්‍රාවක බෝධියයි. පසේ බුදුවරයන්ගේ සතර මග ඵල සිත්වල ප්‍රඥාව පච්චේක සම්බෝධ්යයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ සතර මග ඵල සිත්වල ප්‍රඥාව සම්මා සම්බෝධියයි. ප්‍රඥා පාරමිතාව වන්නේ ලෞකික ප්‍රඥාවයි. ලෞකික ප්‍රඥාව ද කුසල හා අව්‍යාකෘත දෙවැදෑරුම් වේ. ඒ දෙකින් ප්‍රඥා පාරමිතාව වන්නේ කුසල ප්‍රඥාවයි.
චින්තාමය ප්‍රඥාව සුතමය ප්‍රඥාව හා භාවනාමය ප්‍රඥාව යනුවෙන්ද ප්‍රඥාව තෙවැදෑරුම් වේ. කෙත්වතු වැවීම, ගෘහ නිර්මාණය, නැව් අහස්යානා රළු යන්ත්‍ර ආදිය නිර්මාණය භාණ්ඩ ආහාර ඖෂධ වස්ත්‍රාදී ප්‍රයෝජනවත් දේ නිර්මාණය කිරීමය යන කර්මාන්තයන් පිළිබඳවද, වෛද්‍ය, නක්ෂත්‍ර, ගණිත ආදි ශාස්ත්‍ර පිළිබඳවද කුශලාකුශලයන් පිළිබඳව ද, ස්කන්ධ ධාතු ආයතනයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව පිළිබඳව තවත් නිරවද්‍ය ද දේ පිළිබඳව ද,අනුන්ගෙන් උපදෙස් නොලබා තමන් විසින්ම කල්පනා කොට ඇති කර ගන්නා දැනීම චින්තාමය ප්‍රඥාවයි. ඒ කරුණු පිළිබඳව අනුන්ගෙන් අසා අනුන්ගෙන් උපදෙස් ලබා ඇති කරගන්නා වූ ප්‍රඥාව සුතමය ප්‍රඥාවයි. සමථ විදර්ශනා භාවනාවෙන් ඇති කර ගන්නා ප්‍රඥාව භාවනාමය ප්‍රඥාවයි.
ප්‍රඥාව ඇති කර ගැනීමට ප්‍රඥා පාරමිතාව පිරිය හැකි වීමට ප්‍රඥාව ඇති වීමේ හේතුන් දැනගෙන තිබීමත් ප්‍රයෝජනවත් වේ. කෙනෙකුට ප්‍රඥාව ඇති වීමේ හේතු බොහෝ ඇත. අලෝභ, අදෝස, අමෝහ යන ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇති බවය. ප්‍රඥාව ලැබේවා යයි පෙර කළ පින් ඇති බව ය. නීරෝග බවය. ප්‍රඥාව ආවරණය කරන අතීත භවයන්හි දී කරන ලද පව් නැති බවය. නොයෙක් ශිල්ප ශාස්ත්‍ර දන්නා බවය. ධර්මය දන්නා බව ය. විමසන බවය. නුවණ මෙහෙයවා කළ යුතු කර්මාන්තවල යෙදෙන බවය. ධර්මශාස්ත්‍රීය වැඩ කටයුතුවල යෙදෙන බවය. දහම් දෙසීම ය. දහම් ඇසීමය.ගැඹුරු ධර්මය ගැන කල්පනා කිරීමය. නුවණැත්තන් සමඟ සාකච්ඡා කිරීමය. නුවණැත්තන් සමඟ ඇසුරු කිරීමය. මෝඩයින් ඇසුරු නොකිරීමය. සමාධිය වැඩීමය.කෙලෙස් තුනී කිරීමය. තමන් ජීවත් වන නිවස වතුපිටි කාමරය ආදි පරිසරය පිරිසුදුව තබාගැනීමය. ප්‍රඥාව වැඩෙන බෙහෙත් ආදිය ගැනීම ය යන කරුණුය. ප්‍රඥාව දුබල කරන ප්‍රඥාව වැඩීමට බාධා කරන ධර්ම සමූහය හැඳින්වෙන්නේ පංචනීවරණය යනුවෙනි.
පඤ්ඤාය දුබ්බලීකරණි යනුවෙන් ඒවා හැඳින්වෙන්නේ එබැවිනි. නීවරණ පහ අතුරෙන් කාමච්ඡන්ද , ව්‍යාපාදය යන දෙක වඩාමත් ප්‍රඥාව වැඩීමට බාධාකාරි වේ. චරියා පිටක අටුවාවෙහි ප්‍රඥාවට බාධක මෝහයට හේතු වන කරුණු බොහෝ ගණනක් දක්වා ඇත. අලස බව, පමා වෙවී වැඩකරන බව, බොහෝ දෙනා එක්ව විසීමෙහි කැමති බව, බොහෝ නිදන බව නොසන්සුන් සිත් ඇති බව, නුවණ නැති අය ඇසුරු කිරීම ආදි කරුණු ඒ අතර වේ.
ප්‍රඥා පාරමිතාව පිරීමේ උත්සාහය ඇතිවනු පිණිස ප්‍රඥාවෙහි ගුණ මෙනෙහි කළ යුතුය. ප්‍රඥාවෙහි ගුණ ප්‍රඥාවෙහි අනුසස් බොහෝ ඇත. ශ්‍රාවක බෝධි, පච්චේක බෝධි සහ සම්මා සම්බෝධි යන නම්වලින් කියවෙන්නේ ලෝකෝත්තර ප්‍රඥා තුනකි. ලෞකික ප්‍රඥාව නොවඩා ඒ ලෝකෝක්තර ප්‍රඥාව කවර ආකාරයකින් වත් ඇති කර ගත නොහැකිය. ලෝකෝත්තර ප්‍රඥාව ඇති වන්නේ ලෞකික ප්‍රඥාව දියුණු වීමෙනි. එබැවින් ප්‍රඥා පාරමිතාව සම්බෝධියට විශේෂයෙන් ම උපකාරක පාරමිතාවයි.
ජීවිතයෙන් තොර වූ ශරීරය කිසිවක් කිරීමට සමත් නොවන්නාක්මෙන්ද විඤ්ඤාණයෙන් තොර වූ ඇස, කන, ආදි ඉන්ද්‍රියයන් රූප ,ශබ්ද, ආදිය දැකීම ඇසීම, ආදිය සිදු කිරීමට සමත් නොවන්නාක් මෙන්ද ප්‍රඥාවෙන් තොර වු ශ්‍රද්ධාදී ධර්ම දානාදී ක්‍රියා මැනවින් සිදු කිරීමට සමත් නොවේ. එබැවින් දස පාරමිතා පිරීමේදී ප්‍රඥාවම ප්‍රධාන වේ. ඥානයෙන් තොරව දෙනු ලබන දානය මහත්ඵල මහානිසංස නොවන දුබල පිනකි. දාන පාරමිතාව වන්නේ නුවණින් යුක්ත වන දාන චේතනාවය. ධනය පමණක් නොව අඹුදරුවන්ද ශරීර අවයවයන් ද තම ජීවිතය දිය හැකි වන තරමට සිත සාදාගත හැක්කේ ද ප්‍රඥාව ඇති තැනැත්තාටමය. ප්‍රඥාව අඩු තැනැත්තාට ශරීර අවයව ආදි වස්තූන් දී පසුතැවිලි නොවී නොසිටිය හැකිය. භවභෝග සැප සම්පත් බලාපොරොත්තු වන තැනැත්තාගේ දානය තණ්හාවෙන් කිලිටි වේ. කිසි කිලුටකින් දානය කිලිටි නොවන සේ පිරිසුදු දාන පාරමිතාවක් වෙන ලෙස දීමනාව කළ හැකි වන්නේ ප්‍රඥාව ඇති තැනැත්තකුට පමණි. ප්‍රඥාව හීන තැනැත්තාගේ ශීලයද තණ්හා මානයන්ගෙන් නොයෙක් විට කිලිටි වේ. ඒ නිසා ප්‍රඥාවෙන් තොරවූ ශීලයද පාරමිතාවක් නොවේ. මේ අනුව සියලුම පාරමිතාවන්ට වඩා ප්‍රඥා පාරමිතාව ම ශ්‍රේෂ්ඨ වේ.
කථංසු පරිසුජ්ඣති? යනුවෙන් ආලවක යක්ෂයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පඤ්ඤාය පරිසුජ්ඣති යනුවෙන් සත්ත්වයා පිරිසුදු බව ලබා ගන්නේ ප්‍රඥාවෙන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. “අපදානසොභිනි පඤ්ඤා ”යනුවෙන් වදාළේ කෙනෙකුගේ චරිතාපදානයෙන් ඔහුගේ ප්‍රඥාව පිළිබිඹු වන බවයි.
කරුණුපාය කොසල්ල පරිග්ගහිතො ධම්මානං සාමඤ්ඤ විසෙලක්ඛණාවබොධො පඤ්ඤා පාරමිතා’
යනුවෙන් චරියාපිටක අටුවාවෙහි කරුණාවෙන් හා උපාය කෞෂල්‍යයෙන් ආරක්ෂා කරන ලද ධර්මයන්ගේ සාමාන්‍ය විශේෂ ලක්ෂණාවබෝධය ප්‍රඥා පාරමිතාව යයි මහාබෝධි පාරමිතාව දක්වා තිබේ. එහි අදහස් කරන ධර්මයෝ නම් චිත්ත, ස්පර්ශ, වේදනාදී පරමාර්ථ ධර්මයයි. ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණය නම් වෙනසක් නැතිව සියල්ලෙහිම ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයයි.
විශේෂ ලක්ෂණ නම් ඒ ධර්මයන්ගෙන් එක එකට ම, වෙන වෙනම ඇති එකින් එකට වෙනස් වූ ලක්ෂණයි. ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ හා විශේෂ ලක්ෂණ දැනගන්නා වූ ඥානය විදර්ශනා ප්‍රඥාවයි. විවිධ ඥානයන් අතුරෙන් චතුරාර්ය සත්‍යය අවබෝධයට ඉතාම ළඟින් උපකාර වන අතිශයින්ම උපකාර වන ඥානය විදර්ශනා ප්‍රඥාවයි. අප මහා බෝසතාණන් වහන්සේ බුදු වන දින රාත්‍රියෙහි සිරි මහා බෝරුක මුල වැඩ හිඳ කෙළේ විදර්ශනා ප්‍රඥාව වැඩීම යි. සම්‍යක් සම්බෝධියට පැමිණියේ ඒ විදර්ශනා ප්‍රඥාවේ බලයෙනි.
පසුම්බියෙහි සිටි සර්පයා නුවණින් දැක පෙන්වා දී අසරණ බමුණා දුකින් මිදවීම ප්‍රඥා පාරමිතාව බව දක්වා තිබීමෙන් විදර්ශනා ප්‍රඥාවෙන් අන්‍ය ඥානයන් ද ප්‍රඥා පාරමිතාවට ඇතුළත් වන බව දැනගත හැකිය . චරියාපිටක අටුවාවෙහිමත් අන් තැන්වල විදර්ශනා ඥානයෙන් අන්‍ය ප්‍රඥාවන් ද ප්‍රඥා පාරමිතාව වශයෙන් දක්වා තිබේ.
තමන්ගේ ධන ධාන්‍යාදී වස්තූන් කෙරෙහි හා අඹුදරුවන් කෙරෙහිද ඇති ආශාව දුරු කොට, ප්‍රඥා සම්පාදනය හා තමන්ගේ ප්‍රඥාවෙන් අනුන්ට යහපත සිදු කිරීමත් ප්‍රඥා පාරමිතාවයි. අත්පා ආදී ශරීර අවයවයන් පිළිබඳව ඇල්ම අත්හැර, ප්‍රඥා සම්පාදනය හා තමන්ගේ ප්‍රඥාවෙන් ලොවට යහපත සිදු කිරීමත් ප්‍රඥා උප පාරමිතාවයි. තමාගේ ජීවිතය ගැන නොසලකා ප්‍රඥාව සම්පාදනය කිරීම හා ප්‍රඥාවෙන් ලොවට යහපත සිදු කිරීමත් ප්‍රඥා පරමාර්ථ පාරමිතාවයි. ප්‍රඥාවෙන් අන්‍යයන්ගේ වස්තුන් හා අඹුදරුවන් රැක දීම ප්‍රඥා පාරමිතාව ලෙසද අන්‍යයන්ගේ ජීවිතය රැක දීම ප්‍රඥා පරමාර්ථ පාරමිතාව ලෙස ද කිව හැකියි.
තමාගේ වස්තුව හා අඹුදරුවන් හැර, නෑදෑ මිතුරන් හැර ශරීර අවයවයන් ගැනත් ජීවිතය ගැනත් නොතකා, ප්‍රඥා සම්පාදනය සඳහා ආරණ්‍ය ආදියට ගොස් භාවනා කරන භාවනානුයෝගීන්ගේ ඒ ක්‍රියාව ද ප්‍රඥා පාරමිතාවයි. ප්‍රඥා උප පාරමිතාව ද වේ. ප්‍රඥා පරමාර්ථ පාරමිතාවද වේ. මහෞෂධ පණ්ඩිතයන් විසින් තමන් වහන්සේගේ නුවණින් වේදේහ රජතුමාගේ දිවි රැකදීමත් තමන් වහන්සේගේ ජීවිතය ගැන නොතකා වේදේහ රජතුමා වෙනුවෙන් තමන් වහන්සේගේ නුවණ යොදා ක්‍රියා කිරීමත්, දහම්සොඬ රජතුමා විසින් ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය සෙවීමත් ප්‍රඥා පරමාර්ථ පාරමිතාවයි. අප මහා බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව සත්තුභත්ත ජාතකය, උම්මග්ග ජාතකය, සම්භව ජාතකය, මහාබෝධි ජාතකය, විධුර ජාතකය, මහාගෝවින්ද ජාතකය ආදියෙහි විස්තර වේ.
විරිය පාරමිතාව යනු වීර්ය¸ කරමින් අන් අය දුකින් මුදවා ගැනීමයි. ඛන්ති යනු ඉවසීමයි. කලාබු රජුගෙන් සිදු වු සියලු දුක් පීඩා උන්වහන්සේ ඉවසූහ. බොරුවෙන් වැළකී සත්‍යයම ආරක්ෂා කිරීම සත්‍ය පාරමිතාවයි. අධිෂ්ඨානය යනු ස්ථිර අරමුණක පිහිටා සිටිමින් තමන්ටත් අනුන්ටත් යහපත සලසා ගැනීම බෝසත්වරුන්ගේ සිරිතයි. බොදුනුවන් වන අප සැමත් මේ ජීවිතය යහපත් ලෙස ගත කරමින් හැකි තාක් දන්, සිල් ආදි දසපාරමිතාවන් රැස්කොට සසර දුකින් මිදී අමා මහ නිවන් සුව පසක් කර ගැනීමට උත්සාහ කළ යුතුය.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
පාලි අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
වෑඋඩ බුජස්ලෙන රජමහා විහාරාධිපති
සත්කෝරළ මහ දිසාවේ ද්විතීය සංඝ නායක
රාජකීය පණ්ඩිත, ති‍්‍රපිටකාචාර්ය
වෑගම පියරතන නා හිමි
පාලි අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
වෑඋඩ බුජස්ලෙන රජමහා විහාරාධිපති
සත්කෝරළ මහ දිසාවේ ද්විතීය සංඝ නායක
රාජකීය පණ්ඩිත, ති‍්‍රපිටකාචාර්ය
වෑගම පියරතන නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ ඇසළ අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 02 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment