නිකිණි පුර පසළොස්වක පෝදා මෙම ලිපි පෙළ අප ආරම්භ කරන්නේ දීඝ නිකායෙහි පාථික වර්ගයට අයත් අග්ගඤ්ඤ සූත්‍රය ආශ්‍රය කරගෙනයි. මෙම සූත්‍ර දේශනාවෙන් කුල භේදය පිළිබඳව වර්ණ භේදය පිළිබඳව මිනිස් සමාජය තුළ ඇතිකරගෙන තිබූ හීන, ප්‍රනීත බෙදීම් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහමත් බෞද්ධ දර්ශනයෙහි නිගමනයත් අපට තේරුම් ගත හැකිවෙයි.
මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම වූ උතුම්ම මනුෂ්‍ය රත්නය තුන්ලොවක් සැනසූ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද් ධර්මය කෙසේ නම් අනුගමනය කළ යුතුදැයි මේ සූත්‍ර දේශනාවෙන් වඩාත් අපට පැහැදිළි වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද සමාජමය සංකල්ප අනුගමනය කරමින් නිවන් මාර්ගයෙන් බැහැරවන පිරිස් පිළිබඳව මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරන විට අපට පැහැදිළි වෙනවා. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ නිර්මල වූ මේ අදහස් ගිහි පැවිදි සියලු දෙනා විසින් ම මනා නුවණින් විමසා බලා ශ්‍රී සද් ධර්මය අනුගමනය කළ යුතුමයි.
වාසෙට්ඨ – භාරද්වාජ
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර, මිගාරමාතු පාසාද, නම් වූ පූර්වාරාමයෙහි වැඩ වාසය කරනවා. ඒ කාලයෙහි ‘වාසෙට්ඨ’, ‘භාරද්වාජ’ යන සාමණේර දෙනම උපසම්පදාව බලාපොරොත්තුවෙන් භික්ෂූන් වහන්සේලා කෙරෙහි පිළිවෙත් පුරමින් වාසය කරනවා. දිනක් භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමාපත්තියෙන් නැගී සිට කුටියෙන් බැහැරට වැඩම කොට කුටිය ඉදිරියෙහි සෙවණේ එළිමහණෙහි සක්මන් කරමින් වැඩ සිටිනවා. වාසෙට්ඨ සාමණේර නම එළිමහනෙහි සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දැක වාසෙට්ඨ සාමණේර තෙරුන් භාරද්වාජ තෙරනුන්හට මෙහෙම කියනවා. භාරද්වාජයාණෙනි, භාග්‍යවතුන් වහන්සේ සවස් වේලාවෙහි ඵල සමාපත්තියෙන් නැගී සිට කුටිය ඉදිරියෙහි සෙවණෙහි සක්මන් කරමින් වැඩ වාසය කරනවා. අපි එහි යමු, භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්ම කතාවක් අසා ගනිමු. වාසෙට්ඨ හා භාරද්වාජ නම් වූ මේ තෙරුන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේ වෙතට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මනෙහි යෙදෙනවා. මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨ සාමණේර නමට මෙසේ සඳහන් කරනවා.
“වාසෙට්ඨයෙනි, නුඹලා බ්‍රාහ්මණ ජාතික වූ ඉතාමත් උසස් යැයි සම්මත කුලසම්පන්න වූ බ්‍රාහ්මණ කුලය අත්හැර ගිහිගෙයින් නික්ම පැවිදි ජීවිතයට එනම් ශ්‍රමණ ජීවිතයට ඇතුල් වූ අය, නුඹලාට බ්‍රාහ්මණ සමාජය දොස් කියන්නේ නැද්ද? ආක්‍රෝෂ පරිභව කරන්නේ නැද්ද? මේ වෙලාවේ වාසෙට්ඨ, තෙරුන් වහන්සේ මෙසේ සඳහන් කරනවා.
භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් ම බ්‍රාහ්මණයෝ අපරිපූර්ණ නොවූ පරිපූර්ණ වූ තමන්ට හුරු වූ පරිභව වචනයෙන් ආක්‍රෝෂ කරනවා, පරිභව කරනවා. වාසෙට්ඨයෙනි, අපරිපූර්ණ නොවූ පරිපූර්ණම වූ තමන්ට හුරු වූ පරිභව වචනයෙන් කෙසේ නම් නුඹලාට බ්‍රාහ්මණයෝ ආක්‍රෝෂ පරිභව කරනවාද? යැයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න කරනවා.
භාග්‍යවතුන් වහන්ස, බ්‍රාහ්මණයෝ මෙහෙම කියනවා, බ්‍රාහ්මණ වර්ණයම ශ්‍රේෂ්ඨයි, අන්‍යය වර්ණයෝ පහත්, හීනයි. බ්‍රාහ්මණයන් වර්ණවත්, උසස්, අන්‍යයන් හීනයි. බ්‍රාහ්මණ වංශයම පිරිසුදුයි, ප්‍රසන්නයි. අන්‍යයන් අපිරිසුදුයි. ඉතිරි වංශ තුනම එනම්, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යන තුන් වංශයම පහත්, කළුයි, කඨෝරයි, ඕලාරිකයි යනුවෙනි. බ්‍රාහ්මණයෝ මහා බ්‍රහ්මයාගේ මුවින් මේ ලෝකයට බිහි වුණ අය. මහා බ්‍රහ්මයා විසින් ම මැවූ මහා බ්‍රහ්මයාගේ දායාදය උරුම වූ මහා බ්‍රහ්මයාගේ ඖරෂ පුත්‍රයෝ නම් බ්‍රාහ්මණයෝම පමණයි.
නුඹලා එවන් ශ්‍රේෂ්ඨ වර්ණය අත්හැර දමා ගෘහස්ථ ඕලාරික වූ කඨෝර වූ, මාරපාක්ෂික වූ මහා බ්‍රහ්මයාගේ යටිපතුලෙන් උපන් මුඩු මහණුන් වූ හීන වර්ණයකට පහත් වර්ණයකට බැසගත්තා. වාසෙට්ඨ, භාරද්වාජ තෙරණුන් වහන්සේලා බ්‍රාහ්මණයන් විසින් තමන්ට දොස් කියන ආක්‍රෝෂ, පරිභව කරන ආකාරය එසේ සඳහන් කළා.
අකුසල් රැස් කරන මුසා
බුදුරජාණන් වහන්සේ මෙහෙම සඳහන් කරනවා. ‘වාසෙට්ඨයෙනි, බ්‍රාහ්මණයෝ ඒකාන්තයෙන් ම පුරාණ කතාව එනම් ලෝක උප්පත්ති කතාව සිහිපත් කරන්නේ නැහැ. බ්‍රාහ්මණයෝම ශ්‍රේෂ්ඨයි, අනික් අය හීනයි. බ්‍රාහ්මණයෝම උසස්, අනිත් අය පහත්. බ්‍රාහ්මණයෝ පිරිසුදුයි, අනිත් අය අපිරිසුදුයි. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් බ්‍රාහ්මණයෝ මහා බ්‍රහ්මයාගේ ඹෟරෂ පුත්‍රයෝ කියා කියනවා. බුදුරජාණන් වහන්සේ මෙලෙස ප්‍රශ්න කරනවා. වාසෙට්ඨයෙනි, ඔය බ්‍රාහ්මණ සමාජයේ ගැහැණු ළමයි වැඩිවිය පැමිණ විවාහව ගර්භණීව අනෙකුත් මව්වරුන් මෙන් ස්වභාවික ලෙසින් දරුවන් බිහිකරන්නා වූ බිහිකළ දරුවන්ට කිරි පොවන්නා වූ ඔවුන් පෝෂණය කරන්නා වූ බැමිණියෝ දකින්නට සිටිනවා. එම ක්‍රියාවලිය එසේ දකින්නට තිබියදීත් බ්‍රාහ්මණයෝ මහා බ්‍රහ්මයාගෙන් උපන් අය යැයි කීම මහා බ්‍රහ්මයාට කරන නින්දාවකි. ඔවුන් මෙලෙස මුසාබස් කියමින් අකුසල් ද රැස්කරගන්නවා.
බ්‍රාහ්මණයෝ පමණක් නොවෙයි ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර හෝ උපදින සියලුම මනුෂ්‍යයෝ උපදින්නේ අම්මා කෙනෙකුගේ කුසකිනුයි. වැඩිවිය පැමිණ, විවාහ වී, දෙමාපියන්ගේ සම්බන්ධයෙන් ගැබ්ගෙන ස්වාභාවික ලෙස දරුවන් බිහිකර, කිරිදෙමින් ඒ දරුවන් පෝෂණය කරනවා. මේ සියල්ල ඇස් ඉදිරිපිට ම දකිමින් මහා බ්‍රහ්මයාගේ මුවින් බ්‍රාහ්මණයෝ උපදී බ්‍රාහ්මණ වර්ණයම ශ්‍රේෂ්ඨයි කියමින් මහා බ්‍රහ්මයාට ද නින්දා කරමින් මුසා කියමින් අකුසල් රැස් කරනවා.
අකුසල් කෙරේ නම් උසස් නොවේ
භාග්‍යවතුන් වහන්සේ මෙසේ සඳහන් කරනවා. වාසෙට්ඨයෙනි, බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යන සමාජයේ මිනිසුන් කොටස් සතරකි. මේ කුමන කොටසට අයත් වූවන් වුවත් ප්‍රාණඝාතය, සොරකම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, සම්ප්‍රප්පලාප කීම එනම් හිස් වචන කීම, අභිජ්ජා නම් වූ දැඩි ලෝභයෙන් යුක්ත ද, ව්‍යාපාදය නම් වූ තරහවට පැමිණෙනවාද? මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තව ජීවත්වෙනවාද? ඒ සියලු දෙනාම අකුසල් සහිතයි. වරද සහිතයි. ඒ හැම කෙනෙක් ම වරද සහිත වූ අකුසල් නොකළ යුතුයි. ආර්යභාවයට පොහොසත් වෙන්නෙ නෑහැ කියන ලද ඕලාරික, කටුක, කෘෂ්ණ, විපාක ලබාදෙන නුවණැත්තන් විසින් ගරහන ලද යම් පාප ධර්ම කෙනෙක් වෙනවාද? අන්න ඒ ඇතැම් ලාමක ධර්මයෝ මේ සමාජය තුළ පුද්ගලයන් අතර බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර තුළත් තියෙනවා.
එහෙම නම් මහා බ්‍රාහ්මයාගේ මුඛයෙන් ඉපදුණු පමණින් ඒ අය පිරිසුදුයි, ශ්‍රේෂ්ඨයි, අන් අය මහා බ්‍රහ්මයාගේ බාහුවෙන් හෝ කලවයෙන් හෝ යටිපතුලෙන් ඉපදුණා යැයි කියමින් කිසිදු පිරිසක් පහත් කොට හෝ හෙළා දැකිය නොහැකිය. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් පමණක් ඉපදුනා යැයි කියමින් ප්‍රාණඝාත , අදත්තාදාන ආදී පස් පව් දස අකුසල් සිදු කරනවා නම් ඒ අය කිසි සේත් ම පිරිසුදු, ශ්‍රේෂ්ඨ කෙනෙක් හෝ යහපත් වූ හෝ උසස් කෙනෙක් වෙන්නෙ නැහැ.
තථාගතයන් වහන්සේ වදාළා ‘වාසෙට්ඨයෙනි, බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන කුමන නාමයෙන් හඳුනා ගත්තත් පස්පව්, දස අකුසල් කරන පුද්ගලයෝ පාපකාරී පුද්ගලයෝමයි. ඔවුන් යහපත් අය වන්නේ ම නැහැ. සමාජ කුල හතරේම ඉන්නවා ප්‍රාණඝාතයෙන්, සොරකමෙන්, වැරදි කාමසේවනයෙන්, බොරුකීමෙන්, කේලාම් කීමෙන්, පරුෂ වචන කීමෙන්, හිස් වචන කීමෙන් ද වැළකී, අභිජ්ජා නම් වූ දැඩි ලෝභයෙන් බැහැරව, සම්‍යක්දෘෂ්ඨිකව කුසලය යැයි කියන ලද කුසලයෙන් ම යුක්ත වූ වරද රහිත යැයි කියන ලද වරද නැතිවම සේවනය කළ යුතුමයි කියන ආර්යය භාවය සිදු කිරීමේ පොහොසත් වූ ආර්යභාවය සිදු කිරීමට දක්ෂ වූ යහපත් වූ කුසල විපාක ඇති නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද යම් ධර්ම කෙනෙක් වෙනවා නම් අන්න ඒ ධර්ම බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍රයන් කෙරෙහි මෙන්න මේ ආර්යභාවය සිදුකිරීමට පොහොසත් වූ ගුණයන් පිළිවෙත් මාර්ගයෝ දැක ගන්න පුළුවන්.
එනම් මෙහි පැහිදිළි වන්නේ කෙනෙක් උසස් හෝ පහත් වෙන්නෙ ඒ අයගේ කුසල් අකුසල් ක්‍රියාවන් අනුව මිස සිතින් මවාගත්ත බ්‍රහ්මයාගේ මුවින්, බාහුවෙන්, කලවායෙන්, යටිපතුලෙන් උපන්නායැයි කියන අදහසින් නෙමෙයි.
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 17 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment