උමතු බව, සිහි විකල් බව, සිහිමුළාව, ඔල්මාදය, උන්මාදය, වියරුව, විකාරය, පිස්සුව යනාදී සියල්ල අපට ඉතා හුරු පුරුදු වචනය, මනස නිසි ලෙස පවත්වාගෙන යාමට අසමත් වීම නිසා ඇතිවන සුළු මානසික ව්‍යාකූලතාව මෙන්ම උග්‍ර මානසික විකෘතතා උන්මාදය නැතහොත් උමතු බව යන්නෙන් අදහස් වේ. බටහිර මනෝවිද්‍යාව අනුව ක්ලමථය නමින් හැඳින්වෙන මානසික පීඩනය, කාංක්ෂාව හෙවත් කාන්සිය, තනිකම, පාලුව, සරල භීතිකා හා ඇබ්බැහිවීම් යනාදිය සුළු මානසික රෝග වශයෙන් සැලකේ. එසේම අතර සියදිවි හානි කර ගැනීමට තරම් සිතෙන භින්නෝත්මාදය, විෂාදය, උන්මාදය වැනි උග්‍ර මානසික ව්‍යාකූලතාවන් දරුණු මානසික රෝග වශයෙන් සැලකේ. මෙම දෙවැදෑරුම් මානසික රෝගවලින් ම මිනිසුන් බහුල ලෙස පෙළීම වර්තමාන ලෝකය හමුවේ ඇති ප්‍රබල ගැටලුවකි.
එක් අතකින් විද්‍යාව හා තාක්ෂණය විසින් ලෝකය දියුණුව කරා පිය නඟන බව පැවසෙන නමුත් එහි වෙසෙන අප මානසික රෝගීන් නම් ලෝකය යනු කුමක්දැයි ගැඹුරින් සිතිය යුතුව ඇත්තේ යථාර්ථයට මුහුණ දිය යුතු වන හෙයිනි.
සබ්බෙ පුථුජ්ජනා උම්මත්තකා යන ප්‍රකාශය බෞද්ධ අපට ඉතා හුරු පුරුදුය. එහි ගැඹුරු හා පළල් අදහසක් ඇත. මානසික උමතුව පිළිබඳව බුදුදහමෙහි ගැඹුරු සාකච්ඡාවක් පවතින අතර උන්මාදය අප අත්විඳින විවිධ මානසික විකෘතිතා අතර එක් පැතිකඩක් පමණකි. මෙහි සාකච්ඡා වනුයේ එම පෘථුල කතාවේ ඒකදේශයකි. ඉතා කෙටියෙන් කිවහොත් බුදුදහමෙහි උන්මාද අටක වර්ගීකරණයක් හමුවේ. 1. කාම උන්මාදය, 2. ක්‍රෝධ උන්මාදය, 3. දර්ශන උන්මාදය, 4. මෝහ උන්මාදය, 5. යක්ෂ උන්මාදය, 6. පිත්ත උන්මාදය, 7. සුරා උන්මාදය, 8. ව්‍යසන උන්මාදය යනුවෙනි. බටහිර මනෝ විද්‍යාවෙහි විවිධ වර්ගීකරණයන් යටතේ විස්තර වන සියලු මානසික රෝග ඉහත දැක්වූ උන්මාද අට තුළ අන්තර්ගත වන බව නූතන මනෝ විශ්ලේශකයන්ගේ අදහසයි. එබැවින් බුදුදහමෙහි සඳහන් මෙකී අට උමතුව පිළිබඳ අවබෝධය අපගේ මනස පිළිබඳ අවබෝධය සඳහා මෙන්ම මැනවින් පවත්වාගෙන යාමට උපකාරී වනු ඇත.
ඉහත දැක්වූ උන්මාද අතුරෙන් කාම උන්මාදය යනු කාමය නිසා ඇතිවන මානසික උමතුවයි. බුදුදහම ගිහියන් සඳහා නිසි කාම සේවනයක් පෙන්වා දී ඇත. ඒ සම්බන්ධයෙන් සෑම කෙනෙකුටම මනා අවබෝධයක් තිබීම අවශ්‍ය වේ. පාලනය කොට ගත නොහැකි තරම් අධික ආශාවට හා තෘෂ්ණාවට යමෙකු වශඟ වුවහොත් ඔහුට හෝ ඇයට අතෘප්තකර කාමාශාවකින් කල් ගෙවීමට සිදුවේ. අධික හා අතෘප්තිකර කාම ආශාව නිසා භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදුවිය හැකිය. අතෘප්තිකර කාමාශාව නිසා සියලු පිරිමින් මරාගෙන ගිය තරුණයෙකු පිළිබඳ සඳහන් වන අසනඝ ජාතකය මීට කදිම නිදසුනකි. කාංක්ෂාව නැතහොත් පාලුව, තනිකම, මානසික අවපීඩනය, ඉච්ඡාභංගත්වය නැතහොත් බලාපොරොත්තු කඩවීම් වැනි තත්ත්වයන්ට එවැනි අයට මුහුණදීමට සිදුවේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සියදිවි හානිකර ගැනීමට තරම් උග්‍ර තත්ත්වයකට තමා පත්වීමයි. අනෙක් අතින් මෙබඳු පුද්ගලයන් ලිංගික අපචාරවලට පෙළඹේ. කාමුකයෙකු තුළ පවතින මෙය උන්මාදයකි. එබැවින් කාමය පිළිබඳ අවබෝධය සෑම කෙනෙකුටම තිබීම අවශ්‍යය. බුදුදහම අනුව කාම වස්තූන් සමඟ කැරනු ලබන ගණුදෙනුව හුදෙක් ස්වල්ප මාත්‍ර වූ ආස්වාදය ගෙන දෙන්නකි. යථාර්ථයක් වශයෙන් එයින් ලබන තෘප්තිය සිහිනයකින් ලබන ආස්වාදයක් වැනිය. එබැවින් ආස්වාදය, ආදීනව තේරුම් ගැනීම හා නිස්සරණය හෙවත් ඒ සම්බන්ධ මානසික පාලනයක් ඇතිකර ගැනීම යහපත් පවුල් ජීවිතයකට සහ යහපත් පුරවැසියෙකු වීමට හේතු වේ. කාමයෙහි ආදීනව මෙනෙහි කිරීමත් අශුභ සංඥාව වැඩීමත් කාම උන්මාදයෙන් වැළකීමට ඉවහල් වේ.
දෙවන උන්මාදය වන්නේ ක්‍රෝධ උන්මාදයයි. අධික කෝපය හේතුකොටගෙන යම් යම් අය තුළ ඇතිවන මානසික ව්‍යාකූලතාව මෙයින් අදහස් වේ. කෝපය හෝ ක්‍රෝධය වූකලී සිතිවිල්ලකි. එය ගින්නක් හා සමානය. බොහෝ කාලයක් කෝපය පාලනය කර ගැනීමට අසමත් පුද්ගලයාට මෙකී ක්‍රෝධ උන්මාදය ඇතිවේ. ඇතැම් අය තමා තුළ පවතින කෝප ආභරණයක් මෙන් සලකන අවස්ථා ද ඇත. එහෙත් එය ආභරණයක් නොව උග්‍ර රෝගයකි. සමාජ විරෝධී පෞරුෂයක් වන එය විකෘති මානසික තත්ත්වයකි. තුනුරුවන් කෙරෙහි විශ්වාසයක් නැති, ආගම ධර්මය පිළිබඳ පිළිගැනීමක් නැති, යථාර්ථය පිළිබඳ අවබෝධය අඩු පුද්ගලයන්ට මෙය ඇතිවීමේ ඉඩකඩ වැඩිය. බුදුදහමේ පෙන්වා දෙන පරිදි ක්‍රෝධ උන්මාදයෙන් පෙළෙන තැනැත්තාට ඉන් සිදුවන යහපත හෝ අයහපත නොවැටහේ. හරි වැරදි නොසලකයි. ධර්මය ගැන නොසිතයි. ඔහු අන්ධකාරයේ සිටින කෙනෙකු වැනිය. ඔහු නිතර දැවෙන්නෙකි. ලැජ්ජා බිය නැත්තෙකි. ගෞරවාන්විතව කතා නොකරන්නෙකි. අඩුවෙන් කතා කිරීම සහ පැහැපත් නොවන මුහුණක් තිබීම ඔහුගේ ශාරීරික හා චරිත ලක්ෂණ වේ. ක්‍රෝධ උන්මාදයේ පදනම වන්නේ මෝහය, මුළාව නැතහොත් අබීනකම වේ. මෙබඳු පුද්ගලයන්ට අනතුරු සිදුවීමේ සම්භාවිතාව වැඩිය. මෙය පාලනය කර ගැනීම කුඩා කල සිටම කළ යුත්තක් වේ. තමා තුළ පවතින ක්‍රෝධය මානසික රෝගී තත්ත්වයක් බව අවබෝධය වැඩි කර ගැනීම, ධර්මයට යොමුවීම, මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම මෙම උන්මාදයෙන් වැළකී සිටීමේ පිළියම වේ. තෙවන උන්මාදය වන්නේ දර්ශන උන්මාදයයි. බෞද්ධ ග්‍රන්ථවල මෙය දැක්වෙන්නේ දිට්ඨිවිපල්ලාස යනුවෙනි. මායා රූප පෙනීම මෙහි ලක්ෂණයයි. ඇතැම් අය තමන් අසවල් අසවල් දෙවියන් දුටු බව හා තමන් සමඟ කතා කළ බව, අසවල් මිය ගිය තැනැත්තා හෝ ජීවත්වන තැනැත්තා තමන් දුටු බව හා කතා කළ බව කියමින් උමතුවෙන් සිටිනු ඔබ දැක ඇත. මෙය ද උන්මාදයකි. මෙය භින්නෝන්මාදය නමින් දක්වන බටහිර මනෝවිද්‍යාවෙහි එය දරුණු මානසික තත්ත්වයක් ලෙස විග්‍රහ කෙරේ. එබඳු මායාවන් සොයා තනියම තැන්තැන්වල යන අවස්ථා ඇත. හුදෙකලාව කතා කරමින් සිටීමත් මෙහි ලක්ෂණයකි. සමථ හා විදර්ශනා භාවනාවෙන් මෙයින් වැළකී සිටිය හැකිය.
සිවුවන උන්මාදය මෝහ උන්මාදය නම් වේ. පුරාකෘත කර්ම ශක්තිය, ජානමය බලපෑම් ආදිය නිසා යම් යම් අය තුළ මෙම මානසික ව්‍යාකූලතාව ඇතිවේ. යමක් තේරුම් ගැනීමට අපහසුවීම නිසා ඇති කළකිරීම, භීතිය, පසුගාමී බව උග්‍රවීමෙන් මෙම තත්ත්වය ඇතිවේ. එය අවම මට්ටමේ පවතින විට එම තැනැත්තාගේ ඇවිදීම, කතා කිරීම වැනි ක්‍රියාකාරකම් පවා මන්දගාමී තත්ත්වයක පවතින අතර එම මානසික ව්‍යාකූලතාව උග්‍ර තත්ත්වයට පත් වූ පුද්ගලයන්ගේ ශාරීරික අවයව පවා විකෘති ස්වභාවයකට පත්වේ. මෝහ උන්මාදයෙන් උග්‍ර ලෙස පෙළෙන අය දෛනික ජීවිතයේ දී අනෙකෙකුගේ පිළිසරණින් ජීවත් කරවීමට සිදුවන්නේ ඔහුගේ ඉන්ද්‍රියයන් පවා ක්‍රියාකරවා ගැනීමට ඔහුට ශක්තියක් නොමැති කම නිසා ය. පෙර භවයන්හිදී කරන ලද අකුශල කර්ම ශක්තිය නිසා මෙකී මෝහෝන්මාදය ඇතිවන බව කියැවේ. සාංසාරික වශයෙන් ප්‍රඥාව වැඩි කිරීමට අවශ්‍ය වන ප්‍රතිපදාවක පිහිටීම මෙයින් වැළකීමට ඉවහල් වේ.
යක්ෂ උන්මාදය පස්වන උමතුව වන අතර එයින් යක්ෂ, භූත, ප්‍රේත ආදීන් තම ශරීරයට ආවේශ වී ඇත යන හැඟීම මනසට දැඩි ලෙස කා වැදීමෙන් ඇති වන උන්මාදය අදහස් වේ. මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන තැනැත්තා තමා අක්‍රිය පුද්ගලයෙකු ලෙසත් තමා මෙහෙයවන්නේ එබඳු අදෘශ්‍යමාන බලවේගයකින් බවත් සිතති. තමාට පාලනය කරගත නොහැකි හැඟීම් නිසා මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවේ. එබඳු විකෘති මානසික තත්ත්වයන් නිසා දේවාල, කෝවිල් ආදියට යන ඔවුහු යන්ත්‍ර මන්ත්‍ර, බලි තොවිල් ආදියේ පිළිසරණ සොයති. බහුල වශයෙන් මෙම තත්ත්වයට භාජනය වන්නේ දුර්වල මානසික තත්ත්ත්වයක් ඇති කාන්තාවන් වීමද විශේෂ ලක්ෂණයකි. තෙරුවන් සරණ ගිය බෞද්ධයාට මෙබඳු මානසික විකෘතිතා ඇති නොවන බව සූත්‍රවල සඳහන් වේ. නිදසුනක් ලෙස රතන සූත්‍රය දේශනා කොට ඇත්තේ මෙබඳු යක්ෂ භූතාදීන්ගෙන් වන උපද්‍රව මඟ හැරවීම පිණිසය.
පිත්ත උන්මාදය යනු වා, පිත්, සෙම් අසමතුලිත වීමෙන් ඇති වන මානසික විකෘතිභාවයයි. මෙකී ත්‍රිදෝෂ කෝපය නිසා ශාරීරික ආබාධ රාශියක් ඇතිවේ. මෙම රෝගී තත්ත්වයන්ට නිසි පරිදි පිළියම් නොකිරීමෙන් ඇතිවන වේදනාව හා බිය පදනම් කොටගෙන සිතේ ඇතිවන කළකිරීම අනුක්‍රමයෙන් විෂාදය හෙවත් සියදිවි තොර කර ගැනීම දක්වා තීව්‍ර විය හැකිය. රෝගියෙකු වශයෙන් සම්මත වීම, අසහනය, හුදකලා වීම, මරණ බිය මානසික ඇතිවන මානසික විකෘති බව පිත්ත උන්මාදය නම් වේ. කායික ස්වස්ථතාව ආරක්ෂා වන චර්යාවන් පවත්වාගෙන යාමෙන් මෙම උන්මාදය ඇති නොවේ.
සත්වෙනි උන්මාදය සුරා උන්මාදයයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙකී සුරා උන්මාදයෙන් පෙළීම ලෝකයේ ප්‍රබල ප්‍රශ්නයකි. දුම්වැටි, විවිධ මත් ද්‍රව්‍ය ගැනීමෙන් ලෝකයේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම කායික හා මානසික විකෘතිභාවයෙන් පෙළෙති. තම ගැටලු විසඳා ගැනීම, සතුට භුක්ති විඳීම හා පාලුව හා කාන්සිය මඟ හරවා ගැනීමේ ක්‍රමයක් ලෙස වරින් වර මත් ද්‍රව්‍යවලට යොමුවන පුද්ගලයෝ එයට ඇබ්බැහි වීමෙන් පසුකාලීනව විකෘති කායික මානසික චර්යාවන් ඇත්තෝ වෙති. හදවත් රෝග, පිළිකා වැනි මාරාන්තික රෝගවලට භාජනය වන අතර දියවැඩියාව, ලිංගික අප්‍රාණිකත්වය ආදී කායික ආබාධවලටද ගොදුරු වූවෝ වෙති. මත් ද්‍රව්‍ය අලෙවිය වූකලී ලෝකයේ විශාල ජාවාරමකි. මෙයට ගොදුරු වූවන් සෘණාත්මක ආකල්පවලින් කල් ගෙවීමට යොමුවීමත් සාපරාධී සමාජ ක්‍රියාවන්ට පෙළඹීමත් සිදුවේ. දැහැමි ජීවන ප්‍රතිපදාවත් රහමෙර පානය කිරීමෙන් වැළකී සිටීමේ ශික්ෂාපදය ආරක්ෂා කිරීමත් මෙයින් වැළකීමට හේතු වේ.
අටවෙනි උන්මාදය ව්‍යසන උන්මාදයයි. සුනාමිය, ගං වතුර, නාය යාම් වැනි ව්‍යසන හේතුවෙන් මියගිය විපතටපත් ජනතාව අපමණ බව අපි දනිමු. මව්පිය දූ දරු ගේ දොර වස්තුව අහිමි වීමෙන් සිදු වූ හානි අපමණය. මෙවැනි ව්‍යසන හේතුවෙන් ඇතිවන මානසික පීඩනය දරා ගැනීමට නොහැකිවීමෙන් ඇතිවන උමතුව ව්‍යසන උන්මාදය යනුවෙන් හැඳින්වේ. මරණානුස්සතිය වැඩීමත්, අනිත්‍යය ප්‍රතිසංයුක්ත ධර්මය මෙනෙහි කිරීමත් ව්‍යසන උන්මාදයෙන් වැළකී සිටීමට ඇති බෞද්ධ උපාය මාර්ගය වේ.
බුදුදහම සම්පූර්ණයෙන්ම ලෝකයේ මානසික උමතුව පිටු දැකීමට උපදෙස් දෙන ආගමකි. අප වෙසෙන ලෝකයේ මායාව තේරුම් ගෙන යථාර්ථවාදයට මුහුණ දෙන ආකාරය එහි ඉගැන්වේ. විකෘති මානසිකත්වයකින් යුතු ජන කොටසක් සිටින සමාජයක තාඩන පීඩන වධ හිංසා අනතුරු ස්වභාවික විපත් ආදිය බහුල වේ. නූතන ලෝකයේ තාක්ෂණික මෙවලම් ඔස්සේ කුඩා දරුවන්, තරුණ තරුණියන් ඇතැම්විට වැඩිහිටියන් තුළ පවා මානසික විකෘතිතා ඇති කරන පෙළඹවීම් අධිකය. ඉගෙනීම, ආගම ධර්මය, යුතුකම් හා වගකීම්, වෘත්තිය කටයුතු ආදිය කෙරෙහි අවතක්සේරුවකින් මනෝ මායාවෙන් කල් ගෙවන්නෝ දිනෙන් දින වැඩිවෙති. එසේම මිනීමරුවන්, සල්ලාලයන්, අපරාධකරුවන්, නිෂ්ක්‍රීය පුද්ගලයන් වැනි අනේකවිධ අපගාමී චර්යාවන්ගෙන් යුතු පුද්ගලයන් බහුලව සමාජයට එක් වී ඇත. දික්කසාදවීම්, ඝාතන ආදිය බහුල බවට සමාජය පත්වේ. මානසික උන්මාදය හා එයට පිළියම පිළිබඳ බෞද්ධ උපදේශය දත යුතු වන්නේ මෙම ව්‍යසනයෙන් මිනිස් වර්ගයා බේරා ගැනීම සඳහාය.
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
ජ්‍යෙෂ්ඨ ආචාර්ය, රාජකීය පණ්ඩිත
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
ජ්‍යෙෂ්ඨ ආචාර්ය, රාජකීය පණ්ඩිත
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 10 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment