Labels

Thursday, August 25, 2016

අතීතය මෙනෙහි කිරීම ( සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු - 04 )

අප පසුගිය පොහොය සතරේදීම පටිච්ච සමුප්පාදයේ විස්තර වන පළවෙනි අංගය වන අවිද්‍යාව කියන්නේ කුමක්ද? කියලා සරලව පැහැදිලි කළා. උතුම් නිකිණි පෝය දින වන අද දවසේ දී ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ පටිච්ච සමුප්පාද දේශනාවේ දෙවන අංගය වන ‘සංස්කාර’ පිළිබඳ නාම කොටසේ තුන්වන අංගය ලෙසත් සංස්ඛාර දක්වලා තියෙනවා. පින්වත්නි සංඛාර කියන්නේ අවිද්‍යාව නිසා ඇස, කන, නාසය, දිව ශරීරය මනස කියන මෙම ඉන්ද්‍රියන් හයෙන් රැස්කර ගන්නා වූ සිතිවිලිවලට,
එය පින් ලෙසත් පව් ලෙසත් ධ්‍යාන සිත් ලෙසත් පැහැදිලි කරනවා. නිවනට සාපේක්ෂව පින් රැස්කිරීමෙන් ක්ෂණ සත් වැඩිවීමත් භවය දැක්වීමට හේතුවක්. එම තුනට පාලියෙන් කියන්නේ.

1. පුඤ්ඤාභි සංඛාර

2. අපුඤ්ඤාභි සංඛාර

3. ආනේජ්ඣාහි සංඛාර ලෙසයි.

මේවා දෙවතාවක් තුන්වතාවක් කියෙව්වට ඔබට නොතේරෙන්න පුළුවන්. නිතර නිතර ධර්මයට ඇලුණු සිතක් ඇති කරගත්විට ඔබට පුළුවන් ජීවිතය පටිච්සමුප්පන්න ආකාරයට තේරුම් ගන්න අපි දැන් බලමු අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නේ කොහොමද කියලා. ‘අවිජ්ජා පච්චයා සංඛාර’ යනුවෙන් පින්වත්නි එය පැහැදිලි කරනවා.

බුදුපියාණන්වහන්සේ මේ ‘සංස්කාර’ කියලා වචනයට දීලා තියෙන උපමාව බොහෝම පුදුම උපමාවක්. මේක අපට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ‘සංඛාරා කදලූපමා’ කියලා. මේ සංස්කාර කියලා කියන දේ හරියට කෙහෙල් කඳක් වගේ, කියලා. කෙහෙල් කඳ කියන එක කවුරුත් දන්නවා. දැන් බුදුපියාණන් වහන්සේ හොඳ කථාන්තරයක් වගේ ඒක පෙන්වනවා. ඔන්න යම් කිසි කෙනෙක් ඉන්නවා කවදාවත් කෙහෙල් ගහක් දැකලා නෑ. ඒ තැනැත්තා කැලේකට ගියාම කෙසෙල් ගහක් දකිනවා පළමුවෙනි වරට. ඒක බැලුවාම බොහොම කෙලින් මේ කෙසෙල් කඳ. හිතා ගන්නවා මේකෙ අරටුවක් තියෙනවා කියලා. මේක උඩිනුයි යටිනුයි කපලා කරගහගෙන එනවා ගෙදරට, මොකද, අල්මාරියක් හරි පුටුවක් හරි හදාගන්න පුළුවන්නේ මේකේ අරටුවෙන් කියලා. මෙහෙම අරගෙන ඇවිල්ලා මේ කෙසෙල් කඳ ගැන බුදුපියාණන් වහන්සේ මේ කතාව පැහැදිලි කර දෙන්නේ අප නෙමෙයි, අප මේක තව ටිකක් තේරුම් කරන්නයි. අනිකුත් විස්තර දෙන්නෙ, නමුත් උපමාව බුදුපියාණන් වහන්සේයි දෙන්නේ මේ ගෙනාපු කෙහෙල් කඳේ ඉස්සෙල්ලාම පතුරක් ගලවනවා, බලාපොරොත්තු වෙනවා අරටුවක් තියෙයි කියලා. ඊළඟට බලනකොට තවත් පතුරක් තියෙනවා. තවත් පතුරක් තියෙනවා. එකින් එක පතුරු ගලවනවා. අන්තිමට කෙහෙල් බඩේට ඇවිල්ලා. එතනත් තිබෙන්නේ පතුරු ගොඩක්. ඒ විදියට බලන කොට කෙහෙල් ගහේ කොහෙත්ම අරටුවක් නැති බව අර තැනැත්තා තමන් ම වටහා ගන්නවා පළමුවෙනි වරට.

ඔන්න ඔය විදියේ උපමාවක් බුදුපියාණන් වහන්සේ දෙන්නේ ඔය සංස්කාර කියන වචනයට. අප දැන් මේක තේරුම් කරගන්න පුළුවන් ආකාරයට සිංහල වචනයක් මේ විදියට කිව්වා. ‘සූදානම් වීමක්’, ‘අර ඇඳීමක්’, ‘සකස් වීමක්’ කියන එක. එතකොට මේ මුළු ජීවිතය තුළම කරන දේවල් ගැන කල්පනා කරලා බලන කොට, හැම එකකම ඔන්න ඔය විදියේ ස්වභාවයක් තියෙනවා, එකක් තව එකක් සඳහා, එකක් තව එකක් සඳහා, ඒ එක එකක් බලාගෙන යනකොට එකකවත් අරටුවක් නෑ. ඒ ඔක්කොම අනිත්‍යයි. ඒ අනිත්‍ය ස්වභාවය නිසාම දැන් ඔය කුඩා දරුවකුගේ ජීවිතයේ ප්‍රාර්ථනා, බලාපොරොත්තු තිබෙනවා. ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණා හෝ නොවුණා හෝ තව ටික දවසකින් තරුණයෙක් වෙනවා. තරුණයාගෙත් යම් යම් බලාපොරොත්තු ඒවා ඉෂ්ට වෙන්නත් කලින්, ඒවා එක්කො විනාශ වෙලා ගිහිල්ලා ඊළඟට දන්නෙම නැතුව මහලු වයස එනවා. මහලු කෙනාගෙත් යම් යම් බලාපොරොත්තු තියෙනවා. ඒවා ඉෂ්ට කර ගන්නත් කලින්, සමහර විට, මරණයට පත් වෙනවා. ඔය විදියට මුළු ජීවිතයේ ම තියෙන්නේ සූදානම් වීම්, අර ඇඳීම් ගොඩක්.

ඔන්න ඔය විදියට මෙතන හරයක් නැති බව, අරටුවක් නැති බව, තමන්ගේ යටතෙහි පවත්වා ගන්න බැරි බව, අර කාල කියන දරුවාටත් තේරෙන්න ඇති. අර තමන්ගේ කර්මස්ථානේ භාවනා මාතෘකාව ඔස්සේ. මොකක් ද භාවනාව? මේ මසුරන් මල්ල. මසුරන් මල්ල තුළින් ම මේ දරුවට තේරෙන්න ඇති ‘දැන් ඉතින් මේ වගේ ම තමයි අනිත් දේවලුත්’ කියලා. මේ ශාසනයේ අවුරුදු හතේ දරුවන් රහත් වුණා කියලා තියෙනවා. පොතක් පතක් කියවල වත් වෙන ලොකු පණ්ඩිත කමක් උපාධියක් ඇතිව නොවෙයි. මොකක් ද සිද්ධ වෙන්නේ. අර හිත ඇතුළේ වෙන වෙනස. මේ දරුවා කල්පනා කරලා බලවා. පුණ්‍ය ශක්තියක් තිබෙනව නම් අර පොඩි සිද්ධියක් ආශ්‍රයෙන් ගැඹුරු ධර්මයක් අවබෝධ කරනවා. මේ කාලටත් සිද්ධ වෙන්න ඇත්තේ එහෙම එකක්. මේ මසුරන් මල්ල පිළිබඳ භාවනාව තුළින්, බුදු පියාණන් වහන්සේ බණ දේශනා කරන ඒ ක්‍රමය, ඒ ආකාරය නිසා, මේ දරුවාට ටිකෙන් ටික අර මසුරන් මල්ල තුළින් භාවනාවට අදාළවෙන කාරණා මතුවෙන්ට ඇති.

මේ ධර්මයේ භාවනානුයෝගීන් පිළිබඳව කියවෙන කාරණයක් තමයි, මේ සංස්කාර කියන දේවල් මෙනෙහි කරන්නට ඕන. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, වශයෙන්. මේ සංස්කාර පිළිබඳව ප්‍රකාශ කරන කොට දැන් මේ’ හැම එකකටම අප නොයෙකුත් නම් දීලා තිබුණට මොකද, භාවනානුයෝගියා ඒවා ගැන කල්පනා කරන්නේ නාමරූප ධර්ම හැටියට. නාම රූප කියලා කිව්වම අපට හිතාගන්න පුළුවන් මෙතන තියෙන්නේ නම් ගොඩක් සහ රූප ගොඩක් විතරයි. අසවල් අසවල් දේ කියලා අප ලෝකයේ නම් තබාගෙන තිබුණට මොකද, මේවා ඇතුළතින් බලනකොට, සිතට වැටහෙන ආකාරයට අනුව බලනකොට, මෙතන තියෙන ධර්ම බුදුපියාණන් වහන්සේ මේ විදිහටයි දක්වලා තියෙන්නේ. මෙතන තිබෙන්නේ වේදනාවක් තියෙනවා ‘වේදනා’ කියලා දෙයක් තියෙනවා. සංඥාවක් තිබෙනවා. චේතනාවක් තිබෙනවා. ස්පර්ශයක් තිබෙනවා. මනසිකාර කියලා කියන මෙනෙහි කිරීමක් තිබෙනවා. වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර, මෙන්න මේ ධර්ම පහයි නාම ධර්ම හැටියට හඳුන්වලා තියෙන්නෙ. දැන් ලෝකයේ අප යම් යම් දේවල්වලට ‘මේසය’, ‘පුටුව’ කියලා එහෙම නම් දාලා තියෙනවා. දැන් අර මසුරන් කියලා කියනවා. නමුත් මෙතන මේ මසුරන් නෙවෙයි ඇත්ත වශයෙන් ම සිතට වැටහෙන්නේ මෙච්චරයි, ගැඹුරින් කල්පනා කරලා බලනකොට, අර දරුවටත් තේරෙන්න ඇති මෙතන මේ ලෝකයේ නමක් දාලා තිබුණට මේවා රත්තරන් කියලා කිව්වට මොකද, මෙතන තිබෙන්නේ, මේ සිත ඇතුළේ මෙන්න මෙච්චරයි. යම් කිසි වේදනාවක් තිබෙනවා. මේක ලබාගන්න තියෙන බලාපොරොත්තුව නිසා සැප වේදනාවක් තිබෙනවා. ඒ අනුව යම්කිසි හැඳිනීමක් තියෙනවා. රත්තරන් කියන ජාතිය, මසුරන් කියන ජාතිය, බොහෝම වටිනා දෙයක් කියලා. ඒවා ලබාගන්න චේතනාවක්, බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සිතිවිල්ල අර බණ පදය ඇහෙන කොට සිතේ යම්කිසි ගැටීමක්, ස්පර්ශයක්, තිබෙනවා. ඒ ස්පර්ශයට අනුව මෙනෙහි කිරීමක් සිත ඒ පැත්තට යොමුවීමක් තිබෙනවා. සිත ඇතුළේ සිද්ධ වෙන්නේ ඔය ටික විතරයි. එතකොට බුදුපියාණන් වහන්සේ මෙහෙම බණ කියන අතරේ අර දරුවට වැටහෙනවා, කියන බණ පදයක් පාසා, ‘මගේ සිතේ වෙන්නේ නම් මෙච්චරයි. ලැබෙන මසුරමක් නැහැ. මෙතන වටින දෙයක්, අමුතු දෙයක් නැහැ. මෙච්චරයි තියෙන්නේ’ කකියන හැඟීම එනවා. ඒක තමයි නාම ධර්ම පිළිබඳ අවබෝධය.

ඊළඟට රූපධර්ම කියලා කියන්නේ, මෙන්න මේ දැන් ලෝකයේ තිබෙන තාක් දේවල් නොයෙකුත් පාට ගාලා, ලස්සන කරල, හැඩරුව ඇතිව තිබුණට මොකද, මේ හැම එකක්ම සකස් වෙලා තිබෙන්නේත්, හැදිලා තිබෙන්නේත් මෙන්න මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා ධර්මයේ හඳුන්වන ධාතු හතරෙන් පඨවි කියලා කියන්නේ මේ මහ පොළවේ තිබෙන තද ගතිය ඇති ගස් ගල් ආදියේ තිබෙන ඒ මූල ධාතුවයි. ඒ වගේ ම ආපෝ කියලා කියන්නේ දැන් මේ අවස්ථාවේ වහිනවා. මේ ආපෝ ධාතුව මහ මුහුද, ජලාශවල තිබෙන වතුර ආශ්‍රයෙන් අප ආපෝ ධාතුව හඳුන ගන්නවා. ඒ වගේ ම තේජෝ ධාතුව උණුසුම් බව, වායෝ ධාතුව සුළඟ, ඔය විදියට මෙන්න මේ මහ පොළවෙන්, ජලයෙන් ගින්නෙන් සුළඟෙන් සකස් වෙච්ච දේවල් තමයි මේ අපේ ශරීර කූඩුවත් මේ අනිකුත් දේවලුත්. මෙන්න මෙච්චරයි මේකේ තියෙන්නේ, කහවනු රත්තරන් කියලා කිව්වත්, මේක රත් කරලා ගත්තත්, රත්-රන් වුණත්, අමු - රන් වුණත්, මේ හැම එකකම තියෙන්නේ ඔය කියපු ධාතු සතර විතරයි. හැම දෙයක් පිළිබඳවම ඔය විදියට කල්පනා කරනකොට මෙතන තියෙන්නේ වේදනා ගොඩක්, සංඥා ගොඩක්, චේතනා ගොඩක් සිතිවිලි බලාපොරොත්තු ගොඩක්, ස්පර්ශයක් මනසින් මෙනෙහි කිරීමක් කියලා ඒ විදියට හඳුන ගන්නවා. ඊළඟට අනික් හැම දෙයක් ම ලෝකයේ තියෙන වටිනා, නොවටිනා, ඒ කතන්දර මොකවත් නැහැ. හැම දෙයක් තුළම තියෙන්නේ මේ ධාතු හතරයි කියන ඔය වැටහීම තුළින් තමයි කෙනෙකුට මේ ධර්මයේ ගැඹුරු තත්ත්වය ලබාගන්නට පුළුවන් වෙන්නේ. ඒකට කියන්නේ, නාම රූප ධර්මයන් හැටියට මෙනෙහි වෙනවා. සමහර විට කාලටත් අර විදිහට අර මසුරන් මල්ල පිළිබඳ ඒ උණුසුම් බලාපොරොත්තු නැතිවෙලා, ‘මේක මේ නිෂ්ඵල වැඩක්. ඊළඟට බලනකොට මම මොකක් ද මේ කරන්නේ. මම මේ බුදු පියාණන් වහන්සේ ගේ බණ පදයට ඇහුම් කන් දෙන අතරේ මේවා ගැන මේ මසුරන් මලු ගැන සිත සිතා ඉන්නවා. ඔන්න ඊළඟට ටික ටික මේ කාලට අර මසුරන් පිළිබඳ ආසාව නැති වුණා. මේවා ගැන කලකිරීමක් ඇති වුණා. ඇත්ත වශයෙන් ම මේ ලෝකෝත්තර තත්ත්වය ලබාගන්න උපකාර වෙනවා සසර ගැන කලකිරීම - සංසාරය ගැන කළකිරීම, මේ උතුම් තත්ත්වය ලබාගත්තු සමහරුන් ගැන කියවෙනවා. ධර්මයේ ඔය පටාචාරා, කිසාගෝතමී ආදීන් ගැන එහෙම තමන්ගේ ජීවිතයේ යම් කිසි භයානක විදියේ විපත්තියක් සිදුවුණාම, ඔන්න කල්පනා කරනවා, මේ ලෝකයේ තත්ත්වය මේකයි කියලා. අන්න ඒවගේ දැන් මෙතන කාටත් මේ කාරණය නිසා තේරුණා මේවා නිෂ්ඵල වැඩ, මේ අනිත්‍යතාව, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහිලා මසුරන් මල්ල පිළිබඳව ආසාව අත්හැරියා.





පැපිලියාන සුනේත්‍රා මහා දේවි
පිරිවෙන් විද්‍යායතනයේ විහාරාධිකාරී
දර්ශනපති
පුස්සැල්ලයායේ චන්දිම හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 25 වන බ්‍රහස්පතින්දා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment