Labels

Thursday, August 18, 2016

ජීවිතයක් සාර්ථක කරගන්නට නම්...

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘පියො ච ගරු භාවනීයො
වත්තා ච වචනක්ඛමො
ගම්භීරඤ්ච කතං කත්තා
නො චට්ඨානෙ නියොජයෙ’
පින්වතුනි,
අද නිකිණි පුරපසළොස්වක පොහෝ දිනය යි. බෞද්ධයන් වශයෙන් ශාසනිකව මෙම පොහොය දිනය භික්ෂූන් වහන්සේ වන අපටත් ගිහි පින්වතුන් වන ඔබටත් ඉතාමත් වැදැගත් පෙහොය දිනයක්. ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ විනය ප්‍රඥප්තීන්වලට අනුකූලව බෞද්ධ භික්ෂූන් වහන්සේගේ පසුවස් එළඹීම සිදුවන්නේ මෙම පොහෝ දිනයේ යි. ඒ වගේ ම මෙම කාල වකවානුව වස්සාන සමය යි. ගිහි පැවිදි දෙපක්ෂයේ ම අන්‍යෝන්‍ය සබඳතාව සහ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇතිකරවන කාලවකවානුව යි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් තවත් වැදගත් කාරණාවක් වන්නේ බෞද්ධයන් වන අපගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ උදෙසා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබන දළදා පෙරහරේ අවසන් මහා රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමයි.

අංගුත්තර නිකායේ සත්ත නිපාතයේ දේවතා වග්ගයේ භික්ඛුමිත්ත සූත්‍රයේ සඳහන් වන ඉහත ගාථාව භික්ෂූන් වහන්සේලාට පමණක් නොව ගිහි පින්වතුන්ටත් එක සේ වැදගත් වන ගාථාවක්, බුදුරජාණන් වහන්සේ ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් දේශනා කර වදාළා එම ගාථාවෙන් ඇසුරු කළ යුතු පුද්ගලයෙකු සතුවිය යුතු. නිරන්තරයෙන් ම සමාජයේ හොඳ සේම නරක පුද්ගලයන් ද නුවණින් වැඩි අඩු පුද්ගලයින් ද ආශ්‍රය කරන්න අපට සිද්ධ වෙනවා. ජීවිතයක් සාර්ථක කරගන්නට හොඳ මිත්‍රත්වයක් තිබිය යුතුය. යහපත් පුද්ගලයන් සේවනය කරන්න ලැබීම සම්පත්තියක්, මහා මංගල සූත්‍රයේ පණ්ඩිතානං ච සේවනා ’ යැයි ද සඳහන් වන්නේ මෙම කාරණාවයි, ඉහත ගාථාවේ සඳහන් වන කාරණා තුළින් අප තුළ මෙන් ම අප ඇසුරු කරන පුද්ගලයන් තුළ ද වර්ධනය කරගත යුතු ලක්ෂණ කිහිපයක් පෙන්වා දෙනවා. එනම් ‘ප්‍රිය ද මනාප ද වේ. ගරු ද වේ. බුහුමනට ද සුදුසු වේ. ඇදහිය හැකි වචන ඇත්තෙක් වේ. හරවත් දෙයක් ම කථා කරන පුද්ගලයෙක් ම වේ. නුසුදුසු තැන්හි නොයොදවා සුදුසු තැන්හිම යොදවයි’ යනුයි.
පළමුව මේ කරුණු හතෙන් අප පළවෙනි කාරණය පිළිබඳව සලකා බලමු. ප්‍රිය මනාප බව මන වඩන බව යන කාරණා අන්‍යෝන්‍ය සුහදතාවයට වැදගත් වෙයි. අපගේ පරමාදර්ශි චරිතය වන බුදුරජාණන් වහන්සේ බොහෝ ප්‍රියශීලි උතුමෙකු බව එකල අන්‍යාගාමික ශාස්තෘවරුන් විසින් ප්‍රකාශ කරන අවස්ථා විවිධ සූත්‍ර දේශනාවල සඳහන් වීමෙන් ද පැහැදිලි වෙනවා. පළමුව තමන් කරා පැමිණෙන පුද්ගලයන්හට ප්‍රියශීලි ලෙස කතා කිරීම බුදු රජාණන් වහන්සේගේ සිරිතක්. නොයෙක් වර වාද කරන්නට පැමිණි පුද්ගලයන් ද බුදු හාමුදුරුවන් සතු වූ ප්‍රිය බව, මන වඩන බව නිසා දහමට සිත යොමු කර ඇති අවස්ථා අපමණයි. තව දුරටත් පැහැදිලි කර ගැනීමේ දී වරදින් වළක්වන යහපතෙහි යොදවන යන අරුත් ද මෙම පළමු කාරණාවෙන් ප්‍රකට වෙනවා. යහපත් මිතුරෙකු සතුව මෙම කාරණාව දැක ගැනීමට පුළුවන්. ව්‍යාපාරික ලෝකයේ ද සමාජ සම්බන්ධතා තුළ ද මෙම ලක්ෂණ අප සතු වීම තුළින් අන්‍යයන්ගේ අවධානය දිනාගැනීමට හැකියාව තිබෙනවා.
දෙවෙනි කාරණාව ගුරු බවට සුදුසුවීමයි. ගුරුවරයෙක් යන අර්ථයෙන් මෙය සලකන්නට හැකියාවක් තිබෙනවා. නිරන්තරයෙන් ම තමන් ඇසුරු කරන මිතුරා ගුරුවරයෙකු සේ අවවාද අනුශාසනා දෙමින් පවින් මුදවා යහපතෙහි යොදවනවා නම් මේ පුද්ගලයා නිසැකයෙන් ම ගෞරවයට පාත්‍ර විය යුතු පුද්ගලයෙක්. ගරු බවට සුදුසු පුද්ගලයන් පිදීම ද උතුම් වූ මංගල කාරණාවක් වෙනවා. ගරු කටයුතු පුද්ගලයන් පිදීමෙන් ආයුෂය වර්ණය, සැපය හා බලය වර්ධනය වෙනවා.
තුන්වන කාරණාව වන (භාවනීය) යනුවෙන් අදහස් වෙන්නේ සීලාදි ගුණධර්ම වලින් යුතු පුද්ගලයන් බුද්ධාදී උතුමන් වහන්සේලා වගේ ම නියම සුදුසුකම් ලද කෙනා යන තේරුම එම වචනයේ අන්තර්ගත වෙනවා. පුද්ගලයෙකු උසස් බවට පැමිණෙන්නේ සීලාදි ගුණ ධර්මවලින් යුක්ත වූ තරමටයි. අප ඇසුරු කරන මිතුරන් පංචසීලය ද අට සීලය ද දස සීලය ද ආදී නිති පෙහෙවස් රකිනවා නම් එවන් පුද්ගලයන් ආශ්‍රය කිරීමෙන් සීලාදි ගුණ ධර්ම ප්‍රගුණ කරන්නට අප පෙළඹෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් සැරියුත් මහ රහතන් වහන්සේ අනෙකුත් භික්ෂූන් වහන්සේලා විසින් නිරතුරුව ආශ්‍රය කළ යුතු උතුමෙකු බවට සඳහන් කරන්නේ ද සැරියුත් හිමියන් සතු මෙම ගුණාංගය නිසායි.
සතරවෙනි කාරණය අර්ථවත් දේ කීමයි. එනම් වාග් සංවරයෙන් යුක්ත වීමයි. සම්මා වාචා යනුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ද ඉගැන්වෙන්නේ මෙම කාරණයයි. අර්ථවත් දේ කියන මිතුරා නිරතුරුවම අපගේ දෙලොවම අර්ථ සිද්ධිය සඳහා කටයුතු සිදු කරනවා.
‘සහස්සම්පි චේ වාචා
අනත්ථපද සංහිතා
ඒකං අත්ථපදං සෙය්‍යො
යං සුත්වා උපසම්මති’
ධම්මපදයේ සහස්ස වග්ගයේ පළවෙනි ගාථාවෙනුත් කියවෙන්නේ අයහපත සිදු කරන නිසරු වචන දහසකට වඩා කෙලෙස් සංසිඳීම පිණිස එබඳු එකම අර්ථවත් පදය ද ඉතා උතුම් වන බවයි. බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසට ම අනුදැන වදාළේ දෙලොවම වැඩ සලසන අර්ථාන්විත වචනයෙන් යුක්ත වීමටයි. ඒ වගේ ම සීලයෙහි එක් අංගයක් බවට වාග් සංවරය පත් වෙනවා. සුභාවිත අර්ථසිද්ධිය සලසන වචනය නොමඟ ගිය පිරිස් සුමඟට ගැනීමට උපකාරීවන බව ජාතක කතා තුළින් මෙන් ම බුද්ධ චරිතය තුළින් ද පැහැදිලි වන කාරණාවක්. කෝලිත උපතිස්ස පිරිවැජියෝ දෙදෙනා පසුකාලීනව බුද්ධ ශාසනය තුළ ප්‍රධාන අග්‍ර ශ්‍රාවක දෙනම වන්නේ ද එකම අර්ථාන්විත ගාථාවක් ශ්‍රවණය කිරීමෙන්. එම නිසා අර්ථාන්විත වචනය නිරතුරුවම යහපත සඳහා හේතුවන බව අවබෝධ කරගත යුතුයි. අප තුළත් අප ආශ්‍රය කරන මිතුරන් තුළත් අර්ථවත් වචන භාවිතය වාග් සංවරය තිබේ නම් අපගේ ද මිතුරන්ගේ ද ජීවිත සාර්ථකත්වයට පත්වන බව නොඅනුමානයි. බෞද්ධ අප කොයි කාගේත් අවසන් නිෂ්ටාව වන උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නට අර්ථාන්විත වචනය හා වාග් සංවරය නිසැකවම උපයෝගී වෙනවා.
‘වචනක්ඛමො’ යනු පස්වන කාරණාවයි. වචන ඉවසන්නට හැකියාවක් තිබීමත් හොඳ මිතුරෙකුගේ ගුණාංගයක්. ජීවිතයේ නොයෙකුත් අර්බුද ගැටළු විපතකින් කෙළවර වෙන්නේ යම්විටක අපට වචන ඉවසන්න නොහැකි වීමෙන්. අපේ සිතේ ස්වභාවය වන්නේ ප්‍රියවචන පිළිගැනීමත් අප්‍රිය වචන සමඟ ගැටීමත්, මිතුරන් අතර වූව ද හොඳ සිත පළුදු වීමට හේතු වන්නේ වචන ඉවසන්නට ඇති නොහැකියාවයි. ආලවක, අග්ගික භාරද්වාජ, අක්කෝසක භාරද්වාජ වැනි අයගේ රළු වචන, අපහාස උපහාස බුදුන් වහන්සේ විසින් ඉවසනු ලැබුවා. වචනවලින් ලැබෙන නින්දා ප්‍රශංසා දෙකම ඉවසන්න හැකි පුද්ගලයා අටලෝ දහම හමුවේ කම්පා නොවන්නෙක්. වචනය ඉවසන්නට පුළුවන් පුද්ගලයා දරාගැනීමේ ශක්තියෙන් අනූනයි.
යහපත් මිතුරෙකුගේ මිළඟ ලක්ෂණය වන්නේ හරවත් දෙයක් ම කතා කිරීමයි. (ගම්භිරඤ්ච කතං කත්තා) සඳුන් ගසක් සතුව අනෙකුත් ගස්වලට වඩා වටිනාකමක් තිබෙන්නේ එහි සතු අරටුව නිසයි. හරවත් දෙයක් ම කතා කරන පුද්ගලයා සඳුන් ගසකට උපමා කෙරෙන්නේ මෙකී අදහසින්. හොඳ සාරවත් අරටුවක් නැති කෙසෙල් ගස් බහුල වූවත් සාරවත් අරටුවක් ඇති සඳුන් ගස් විරල වන්නේ යම් සේද සාරවත්ම දෙයක් කතා කරන පුද්ගලයන් ලෝකයේ බොහෝ සෙයින් දුර්ලභයි. අප ආශ්‍රය කරන මිතුරාත් හරවත් ම දෙයක් කතා කරන පුද්ගලයෙක් නම් සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් අවබෝධ කරගෙන හරවත් ම දෙයක් කතා කරන්නට හරවත්ම දෙයක් සිදු කරන්නට අපට පිටු බලයක් එමඟින් ලැබෙනවා.
‘නො වට්ඨානේ තියාඡයෙ’ යනුවෙන් අවසන් කාරණයෙන් සඳහන් වන්නේ නුුසුදුසු තැන්හි නොයොදවන සුදුසු තැන්හිම යොදවන ගුණාංගයයි. ගෘහස්ථ ජීවිතයක් තුළ ගුරු දෙගුරුන් අඹුදරුවන් ළඟට අප සමීපයෙන්ම ආශ්‍රය කරන්නේ අපේ මිතුරන්, පුද්ගලයෙකුගේ ජීවිතය තුළ සාර්ථකත්වය හා අසාර්ථකත්වය තීරණය වෙන්නට මිතුරන්ගේ ආශ්‍රය ඍජුවම බලපාන බව අප දන්නා කාරණයකි. සුදුසු ක්‍රියාවෙහි යොදවන නුසුදුසු තැන්වල නොයොදවන මිතුරන් ජීවිතයේ සාර්ථකත්වයට මඟ නියමුවන් වෙනවා. ආධ්‍යාත්මික ජීවිතය සඳහා කුසල්හි යෙදවීමත්, අකුසල්හි නොයෙදවීමත් පවෙන් වළක්වා පිනෙහි යෙදවීමත් අයහපතෙන් වළක්වා යහපතෙහි යෙදවීමත් මෙම ගුණාංගය තුළ පැහැදිලි ලෙස ප්‍රකට වෙනවා.
නිරතුරුවම ජීවිතයේ මුහුණ දෙන තීරණාත්මක අවස්ථාවන් අප සාකච්ඡා කරන්නේ අපගේ සමීපතම මිතුරන් සමඟයි.

ඒ ඔවුන් කෙරෙහි ඇති දැඩි විශ්වාසවන්තකම නිසයි. අප නිවැරදි මාර්ගයෙහි යොදවන්නටත් වැරදි මාර්ගයෙන් වළකන්නටත් මිතුරාගේ සහය මෙවන් අවස්ථාවල දී අපට අවශ්‍ය වෙනවා. එම නිසා හොඳ මිතුරෙකුගේ ගුණාංගයක් විය යුතුයි. නිරතුරුවම තම මිතුරා නිවැරදි දෙයෙහි යෙදවීම. අත්ත කාමානු කම්පක මිතුරා හෙවත් පිළිසරණක් වීමට කැමති, කාමාදි පවිටු සිතින් වළක්වන, නිවන් මඟට යොමු කරවන මිතුරෙකු සිටීම අපගේ ජීවිතවලට ආශිර්වාදයක්. මෙකී ලක්ෂණ අප තුළ වර්ධනය කරගෙන කල්‍යාණ සම්පත්තිය තුළින් නිර්වාණ සම්පත්තිය සාධනය කර ගන්නට මෙම ධර්ම දේශනයේ පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වෙත්වා’යි ප්‍රාර්ථනා කරගනිමු.




මහා විහාරවංශික ස්‍යාමෝපාලි
මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ
නියෝජ්‍ය ලේඛකාධිකාරී
නාරම්පනාවේ ආනන්ද හිමි








ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 17 වන බදාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment