බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයෙහි සැවැත් නුවර විසූ ජනගහණය කෝටි හතකට වඩා වැඩි බවයි සඳහන් වෙන්නේ. ඒ අතරින් කෝටි පහක්ම තෙරුවන් සරණ ගිය අයයි. ඒ අතර කොතරම් විශාල පිරිසක් නියත මිථ්‍යාදෘෂ්ටියෙන් අතමිදී ඒකාන්තයෙන්ම නිරයට වැටෙන්න තිබූ ගමන වළක්වා ගන්න ඇත්ද? කොපමණ පිරිසක් පවින් වැළකී පින් දහම් කරගන්න ඇත්ද ? කෙතරම් පිරිසක් දුගතියෙන් සදහටම අත මිදි සුගතිය උරුම කරගන්න ඇත්ද? කොතරම් පිරිසක් අගාරික දිවියෙන් සමු ගෙන අනගාරික මගට පිවිස සසර බැමි සිඳලන්න ඇත්ද?
බුදු බණක් අහල ඵලයක් නොලැබූ කෙනෙක් සිටියා නම් ඒ කුසල මූලයත් සිඳගත් අවාසනාවන්තයෙක්ම පමණයි. දිනපතාම දහම් අසන්න අවශ්‍යතාවය තිබු ඕනෑම කෙනෙකුට ඒ සඳහා භාග්‍ය ලැබුණා. හේතුව බුදුරජාණන් වහන්සේ යනු මෙරමා වෙනුවෙන්ම සැකසුණු දිනචරියාවක් ඇති උතුමෙකු වීම ඒ වගේම ධර්මාවබෝධය ලැබු භික්ෂු භික්ෂුණී පිරිස දිනෙන් දින ඉහළ යාම .
දවසක් යහළුවන් දෙදෙනෙක් එක සමීපයේම වාඩි වෙලා ධර්ම දේශනාවක් සවන් දෙමින් හිටිය. ඒ දෙදෙනා යහළුවන් වුනත් එක් අයෙක් තරුණයි. අනිත් කෙනා මැදිවියට පත් වු කෙනෙක්, ධර්ම දේශනාව අවසන් වෙන කොට දෙදෙනාගේම සිත බොහෝ වෙනස් වී තිබුණා. ගෘහස්ථ බැඳීම් වලින් නිදහස්ව පැවිදි බව ලැබීමට ආසාව ඇති වී තිබුණ. ප්‍රමාද නොවීම ඒ සඳහා පසුබිම සකසා ගත්තා.
මේ දෙදෙනාම වසර පහක පමණ කාලයක් එකම තැනක ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා සෙවනෙහි මහණ දම් පුරමින් ධර්මය හදාරන්න පටන් ගත්ත. ඒ කාලෙ ධර්මය හැදැරූ ක්‍රමය උගත්කම පිණිස පමණක් නොවෙයි. අවබෝධය පිණිසමයි. “සුතා” කියන්නෙ හොඳින් ඇසීම, ඒක පළවෙනි පියවර, ධතා කියන්නෙ “ධාරණය කර ගැනීමට. ඒ දෙවැනි පියවර, තුන්වෙනි පියවර ‘වච සහ පරිචිතා’ ඒ කියන්නෙ අසා මතක තබාගත් ධර්මය වචනයෙන් පුරුදු කිරීම ‘මනසානුපෙක්ඛිතා’ කියන්නේ හතර වෙනි පියවර ඒ කියන්නෙ ඒ දහම අර්ථ සහිතව නැවත නැවත මෙනෙහි කිරිම, එවිට අවබෝධය ඇති වන නිසා දෘෂ්ඨිය පිරිසුදු වෙනවා. දිට්ඨියා සුප්පටිවිද්ධා කීවේ එකට. ඒ තමයි පස්වන පියවර .
මේ ස්වාමින් වහන්සේලා දෙනමක් වසර පහක් පමණ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා සෙවනෙහි මේ විදියට ධර්මය හැදෑරුව. ඒත් දෙදෙනා අතරින් වැඩිහිටි වියට පත් වී මහණ වුන කෙනාට මතක හිටිය ප්‍රමාණය අඩුයි. ඒත් මහණ දම්පිරීමේ හා භාවනා කිරීමේ ලොකු උනන්දුවක් තිබුණ. දවසක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ බුදු සිරිපා වන්දනා කරල මෙහෙම ඇහුව.
“ස්වාමීනි, මේ සසුනේ ධූර කීයක් තිබෙනවද?
”ග්‍රන්ථ ධුරය හා විදර්ශනා ධුරය වශයෙන් ධූර දෙකක් තියෙනව“ බුදුරජාණන් වහන්සේ උත්තර දුන්න. උන්වහන්සේලා අතරින් තරුණ ස්වාමීන් වහන්සේ ග්‍රන්ථ ධූරය රකිමින් තෙවලා දහම හොඳින් හදාරන්න පටන් ගත්තත් වැඩිහිටි ස්වාමින් වහන්සේ කල්පනා කළේ වැඩිහිටියෙක්ව මහණ වනු මට තෙවලා දහම හදාරමින් ගෙවන්න තරම් කාලයක් ඉතිරි වී නැහැ. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා ගෙන වන ගත වී බවුන් වඩා හැකි ඉක්මණීන් කෙලෙස් මලින් මිදෙන්න ඕන’ කියල . ඒ අනුව සුදුසු උතුමන්ගෙන් කමටහන් ලබා ගෙන ගැලපෙන තැනක් සොයාගෙන ගිහිල්ල උන්වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා. උත්සාහය ඉතාම සාර්ථක වුනා. සූත්‍ර ධර්ම කටපාඩම් නොහිටියත් භාවනාවෙන් එකඟ වන සිත ප්‍රඥාවෙන් වැඩෙන්න පටන් ගත්ත. නොබෝ දිනකින්ම සියලු කෙලෙස් නිසා නිවන් සාක්ෂාත් කර ගන්න උන්වහන්සේට භාග්‍යය ලැබුණා.
ඒත් තරුණ ස්වාමීන් වහන්සේ සුතා. ධතා ,වචසා , පරිචිතා කියන පියවර තුනට ඉතාම දක්ෂයි. ඒ නිසා දක්ෂ ධර්ම කථිකයන් වහන්සේ කෙනෙක් බවට පත් වුනා. ප්‍රසිද්ධියත් වැඩි වුනා. ධර්මය ඉගෙන ගන්න ආසාව තියෙන අය ගොඩක් උන්වහන්සේ ළඟට ඇවිත් ධර්මය ඉගෙන ගන්න පෙළඹුණා. හැබැයි ඒ අයට කියා දෙන ධර්මය නුවණින් විමසා බැලීමේ හැකියාව අඩු නිසා තමා තුළ ඍජු දෘෂ්ටියක් ඇති වුනේ නැහැ. භාවනා මගක් නොදත් නිසා භාවනාවෙන් නැති කළ යුතු කෙලෙස් ප්‍රහීණ කරන්නත් බැරි වුනා. පිරිස් බලයයි ප්‍රසිද්ධියයි. දෙස උන්වහන්සේගේ උඩඟු සිත් ඇති කළේ ඒ නිසයි. ධර්ම කථික ස්වාමින් වහන්සේගෙන් ධර්මය උගත් අය පවා රහත් බවට පත් වී සිටි වැඩිමහල් ස්වාමින් වහන්සේ ළඟට ගියේ භාවනාව පුරුදු වෙන්න. ඒ පිරිස එක්ක කතා කරද්දි තමන් වහන්සේ සමග එකට පැවිදි වුන අනෙක් ස්වාමින් වහන්සේගේ දක්ෂතාව ගැන ඉහලින් අගය කරමින් කතා කළා. ඒත් ධර්ම කථික හිමියන් ළඟ ඒ අනතිමානී ගුණය තිබුණේ නැහැ. කොටින්ම වැඩිහිටි ස්වාමින් වහන්සේ ගැන කිසිම කෙනෙක් ප්‍රශංසා මුඛයෙන් කතා කරනව අහන්නවත් කැමැති නැහැ.
දවසක් ඒ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දැකල වැඳ පුදාගන්න.
දෙව්රම් විහාරයට ගියා. උන්වහන්සේ සමඟ කතා කරල පහන් සිතින් තම පැවිදි සහෝදරය වන ධර්ම කථික ස්වාමින් වහන්සේ දැකීමේ අදහසින් ඒ කුටියටත් වැඩම කළා. ඒ වෙලාවේත් ධර්ම කථික හිමියන් හිටියෙ තවත් පිරිසකට ධර්මය කියා දෙමින්. ඒ අනුගාමික පිරිස ධර්මය ඉගෙන ගනිමින් ඉන්න අතරෙම රහතන් වහන්සේගේ පැමිණීම ගැන ඉතාම සතුටට පත් වුනා. කාගෙත් අවධානය උන්වහන්සේ දෙසටයි යොමු වුනේ. ඇත්තටම ඒකට හේතුවකුත් තිබුණා. හේතුව තමයි පිරිසුදු සිත. ඒ නිසාම මුහුණත් ප්‍රසන්නයි. කතාවත් සෞම්‍යයි.
තරුණ ධර්ම කථික හිමියන්ට ඒකට ටිකක් තරහ ආව. වැඩිහිටි ස්වාමින් වහන්සේගේ රහත්භාවය පිළිබඳ නොදත් ඔහු කල්පනා කළේ. තෙවලා දහමෙන් ප්‍රශ්න අහල පිරිස ඉදිරියේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ අපහසුවට පත් කරන්න.
ඒත් බුදුරජාණන් වහන්සේ ඒ බව දැනගත්ත. වහාම ඒ කුටියට වැඩම කළා. තරුණ භික්ෂුව ප්‍රධාන ශ්‍රාවක පිරිස ඉදිරියේ වැඩසිටිය උන්වහන්සේ ධර්ම කථික ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුව. ඒ සියල්ල අධ්‍යාත්මික ඵල ලබාගත් උතුමන්ට පමණක් පිළිතුරු දීමට හැකියාව ඇති ප්‍රශ්න, පළවෙනි ප්‍රශ්නය ප්‍රථම ධ්‍යානය ගැන. දෙවැන්න රූපාරූපසාමප්ති ගැන. තෙවැන්න සෝවාන් මාර්ගය ගැන. එතැන් සිට පිළිවෙලින් සෙසු මාර්ග හා ඵල ගැනත් ප්‍රශ්න කළා.
ධර්ම කථික හිමියන් නිරුත්තරයි. ඒ හැම ප්‍රශ්නයටම පිළිතුරු දෙන්නෙ වැඩිහිටි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සිව් වරක් සාධුකාර දෙමින් ඒ අවබෝධාත්මක පිළිතුර අනුමත කළා. ඒ හඬ ඇසු දෙවියන් බඹුන් පවා සාදු නාද දුන්න. ධර්ම කථික හිමියන්ගෙන් ධර්මය ඉගෙන ගැනීමට පැමිණී ශ්‍රාවක පිරිසක් සාදුකාර දුන්න.
ඒත් ධර්ම විනය දෙක ගැන මනා අවබෝධයක් ඇති ධර්ම කථිකයන් ගැන කිසිදු ප්‍රශංසාවක් නොමැතිව බහුල ලෙස ධර්ම විනය හැදෑරීමක් නැති නූගත් මගට භික්ෂුවගේ පිළිතුරු වලට සාදු කාර දීම පිළිබඳ නොසතුටු වු අයත් එතැන හිටිය. ඒ අය ටිකක් නොසතුටෙන් තමයි කතා කළේ. ඒ කතාව ඇහුණ බුදු රජාණන් වහන්සේ ධර්ම කථික භික්ෂුව දෙස බැලුව. ඒ වෙලාවෙ ඒ භික්ෂුව සිටියෙ බිමට බර වූ නෙත් ඇතිවයි.
බුදුරජාණන් වහන්සේ ලස්සන වගේම අර්ථවත් උපදේශයක් ඇතුළත් වන ආකාරයට ඒ පිරිසට ධර්මය ගාථාවකින් දේශනා කළා.
මහණෙනි, ධර්මය බහුල කොට දැන සිටියත්, මෙරමාට කියා දුන්නත් තමා පිළිපදින්නේ නැත්නම් ඔහු ගොපල්ලෙක් වගේ කෙනෙක් මොකද ? උදේට බාරගන්න හරක් ටිකට දවස පුරාම කවල පොවල හවසට අයිතිකරුට භාර දෙන ගොපල්ල මෙහෙවර කුලිය විතරක් අරගෙන හිස් වූ සිත් ඇතිව ගෙදර යනව.
ධර්ම විනය බහුල කොට හැදැරුවෙ නැතත් තරමක් හෝ තමා නිවැරදිව දන්නා දහමට අනුව පිළිපදින්නේ නම් ඔහු ගවයන්ගේ අයිතිකාරයා වගෙයි. මොකද ? සියලු පස් ගෝ රසයම අයිති වෙන්නෙ ඔහුටයි.
මේ වැඩිහිටි පින්වත් භික්ෂුව ගව හිමියෙක් වගෙයි. ධර්ම කථික තරුණ භික්ෂුව ගොපල්ලෙක් වගෙයි.
දේශනාව අවසන් වෙන කොට බොහෝ පිරිසක් ධර්මාබබෝධය ලැබුව, සියල්ලන්ටම ලොකු සතුටක් ඇති වු
මොරවක සෝරත නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ නොවැම්බර් 22 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment