Labels

Thursday, August 4, 2016

ධාතූන් වහන්සේලා හැඳින ගැනීමට ඒවායේ යම් කිසි ප්‍රාතිහාර්ය දැක්වීමක් ඇත්තේ ද?

ධාතූන් වහන්සේලාය කියන්නේ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දේහය ආදාහන කිරීමෙන් පසු නො දැවී ඉතුරු වූ කොටස්වලට ය. ඒවාට ධාතුය කියන්නේ දැනීමක් නැති නිසා ය. සත්ත්ව පුද්ගල භාවයක් නැති නිසා ය. සත්ත්ව පුද්ගල භාවයක් නැති ඒ ධාතූන්ට ප්‍රාතිහාර්ය දැක්වීමේ අදහසක් හෝ උත්සාහයක් කවදාවත් ඇති නො වේ. එබැවින් ධාතූන් වහන්සේලා විසින් ප්‍රාතිහාර්ය දැක්වීමක් නො කරන බව කිව යුතු ය. බුදුන් වහන්සේ විසින් උන් වහන්සේ ගේ ඍද්ධි බලයෙන් මේ ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් යම් කිසි ප්‍රාතිහාර්යයක් වේවායි අධිෂ්ඨාන කොට තුබුණහොත් ඒ දේ සිදුවිය හැකි ය. මිනිසුන් ගේ ශ්‍රද්ධාව දියුණු කිරීම පිණිස සමහර විට දෙවියන් විසින් ධාතූන් ගේ ප්‍රාතිහාර්ය දැක්විය හැකි ය. බලවත් සැහැදැවතුන් ගේ අධිෂ්ඨාන - සත්‍යක්‍රියාවලින් ද සමහර විට ප්‍රාතිහාර්ය සිදුවිය හැකි ය.

පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා කරන පූජාව උන්වහන්සේගේ පිළිගැනීමක් හා පරිභෝගයක් නැති බැවින් පූජා කරන්නහුට පිනක් ලැබේ ද?


පිළිගැනීම හා නො පිළිගැනීමත්, පරිභෝග කිරීම හා නො කිරීමත්, පූජාකරන්නහුට පින්සිදුවීමට හා නො වීමටත්, පින මහත්වීමට හා කුඩා වීමටත් කරුණක් නො වේ. පින වනාහි කරන තැනැත්තා තුළ ම ඇතිවන දෙයක් මිස පිටතින් එන දෙයක් නො වේ. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ ඒ ඒ පුද්ගලයා තුළ ඒ ඒ දෙය සිදු කිරීම් වශයෙන් ඇතිවන චේතනාව ම කුශලාකුශලය වන බව ය. පූජාකරන්නහුට ලැබෙන පින වූ කුශලචේතනාව පූජා කරන වේලාවේදී ම ඇතිවන්නකි. පිළිගැනීම හා පරිභෝග කිරීම පසුව සිදුවන කරුණු ය. ඒවා සිදුවන්නට කලින් පූජා කිරීමේ පින සිදුවී ඉවර ය.

පිළිගැනීම් පරිභෝග කිරීම් සිදු වුවත් නුවූවත් කලින් ඇති වූ කුශල චේතනාවට ඒවායින් සිදුවන අමුත්තක් නැත. මහාප්‍රජාපතී ගෞතමි තථාගතයන් වහන්සේට වස්ත්‍ර යුග්මයක් පූජා කළ කල්හි උන් වහන්සේ ‘”සංඝෙ ගොතමි දෙහි සංඝෙ දින්නෙ අහං චේව පුජිතො භවිස්සාමි සංඝො ච” යි වදාරා එය ප්‍රතික්ෂේප කොට සංඝයාහට පුදන්නය ය වදාළ සේක. සකල සත්ත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම් පුරා ලොවුතුරා බුදු බව ලබා ගත් තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ගේ මෑණියන් ගේ පිනට බාධාවක් කෙරෙත් ද? නො කෙරෙත් ම ය. වස්ත්‍ර යුග්මය තථාගතයන් වහන්සේට පූජා කිරීමේදී මහා ප්‍රජාපතිගෝතමිට එයින් වන පින ලැබී ඉවර ය. තථාගතයන් වහන්සේ ගේ නො පිළිගැනීමෙන් ඒ පිනට කිසිදු හානියක් නැත. බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ ඒ වස්ත්‍ර නැවත සංඝයාට පිදීමෙන් ගෝතමියට නැවත වරක් සංඝයාට පිදීමේ පින ද ලැබෙන්නේ ය. තථාගතයන් වහන්සේ ඒ වස්ත්‍ර ප්‍රතික්ෂේප කරන ලදුයේ සංඝයාහට පිදීමේ පිනක් ඇයට ලබා දෙනු පිණිස ය. තථාගතයන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමිය ගේ වස්ත්‍ර දානය ප්‍රතික්ෂේප කරන ලදුයේ නො පිළිගත්තත් පරිභෝග නො කළත් ඇයට අඩුවක් නැතිව පින ලැබෙන බැවිනි. මේ කාරණය අනුව පිළිගැනීමක් හා පරිභෝගයක් නැත ද පිරිනිවියා වූ තථාගතයන් වහන්සේ උදෙසා පූජා පවත්වන සැදැහැවතුන්ට කිසිදු අඩුවක් නැතිව බුදුන් වහන්සේට පිදීමේ කුසලය ලැබෙන බව සැලකිය යුතු ය.
අජීවමාන බුදුන් වහන්සේට පුදා, ජීවමාන බුදුනට පිදීමෙන් ලැබෙන පිනට සමාන පිනක් ලැබ ගන්නට ජීවමාන බුදුන් වහන්සේට සුදුසුවන පරිදි ම දානවස්තුව පිළියෙළ කොට ජීවමාන බුදුන් වහන්සේට කරන ගෞරවය ම කොට පූජා කළ යුතු ය.

චේතනාව ම කුශලය නම් මහන්සි නොවී වස්තුව වියදම් නො කොට චේතනාව පමණක් ඇති කර ගත්තාම මදි?ද


මෙය චේතනාව නො හැඳිනීම නිසා නඟන ප්‍රශ්නයෙකි. පරමාර්ථ ධර්මයන් ගැන දැනීම නැති අයට චේතනාව කුමක් ද? යන බව තේරුම් ගැනීම අපහසු ය. පරමාර්ථ ධර්ම ගැන දැනුම නැති බොහෝ දෙනා යම් කිසිවක් කරන්නට අදහස් කිරීම, නැතහොත් සිතීම චේතනාවය කියා වරදවා තේරුම් ගෙන සිටිති. මේ ප්‍රශ්නය නගන්නේ ඒ අය ය.
‘චේතනාවය’යි කියන්නේ ඒ ඒ ක්‍රියා සිදුකිරීම් වශයෙන් උපදනා සිත්වල ඇති ක්‍රියා සාධක බලවේගයට’ ය. පින් කැමැත්තෙක් දන් දම් වශයෙන් අහර බඳුනක් ගෙන භික්ෂුවක ගේ අතෙහි තබයි. පින් කැමැත්තාට අයත් වූ ඒ ආහාර බඳුන භික්ෂුව ගේ අතට පැමිණවීම දන් දීම ය. ඒ ආහාර භාජනය භික්ෂුව අතට පැමිණවීම දායකයා ගේ අතින් සිදු වූ සැටි සොයා බැලුවාම චේතනාව සොයා ගත හැකි ය. දායකයා ගේ අත් දෙක ආහාර බඳුන කරා ගියේත්, එය තද කර ගත්තේත්, ඔසවා ගත්තේත්, භික්ෂුව දෙසට යැවූයේත් දායකයා ගේ ශරීරය තුළ ඇති වූ බලවේගයකිනි. එබඳු බලවේගයක් අභ්‍යන්තරයෙහි ඇති නො වී නම්, දායකයා ගේ අත් නිකම්ම තිබෙනවා මිස ඒ ක්‍රියා සිදු කිරීමෙහි නො යෙදෙන්නේ ය. ඒ කි‍්‍රයා සිදු වන පරිදි දායකයා ගේ අත් එහා මෙහා ගියේ ශරීරය තුළ හටගත් වායු වේගයකිනි. ශරීරය සෙලවීම් වශයෙන් ඇතිවන ඒ වායුව අභිධර්ම පොත්වල උගන්වන්නේ චිත්තජ වායෝ ධාතුව කියා ය.

මේ චිත්තජ වායෝ ධාතුව පහළ නොවී නම් අර ආහාර බඳුන භික්ෂුව අතට නො යන්නේ ය. ශරීරය සොලවන ඒ වායෝ ධාතුව ඉබේ ම ඇති වන්නක් නොව, එයත් යම් කිසි බලවේගයකින් ඇති කරන්නකි. ඒ බලවේගය නම් සිත හා එක්ව ඇතිවන දාන වස්තුව භික්ෂූන් වහන්සේ අතට පැමිණවීමේ උත්සාහය ය. චේතනාව ය යි කියනුයේ ඒ උත්සාහයට ය. දීම පිළිබඳ උත්සාහයක් නිසා එයට දාන චේතනාව ය යි කියනු ලැබේ. දන්දීමේ මුල නැතහොත් දාන ක්‍රියාවේ මුල ඒ චේතනාව ය.
දායකයා ගේ අත් හෝ ඒවායේ සැලීම හෝ ආහාරය හෝ ඒ ක්‍රියාවට යෙද වූ වායෝ ධාතුව හෝ දානමය කුශල කර්මය ලෙස ගණන් ගනු නො ලැබේ. දානමය කුශල කර්මය ලෙස ගණන ගන්නේ ඒ සියල්ලට ම මුල් වූ චේතනාව ය. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි”යි වදාරා ඇත්තේ ඒ ක්‍රියා සාධක මානසික බලවේගය සඳහා ය. වස්තුවක් වියදම් කරන්නට නො කැමැති කෙනකුට කවදාවත් එබඳු දාන චේතනාවක් ඇති නො වේ. අනික් කුශලාකුශල චේතනාත් මෙය අනුව තේරුම් ගත යුතු ය. මහන්සි නො වන්නකුට, වස්තුව වියදම් නො කරන්නකුට දාන චේතනා ඇති කරගත නො හැකි ය. චේතනාව හරියට තේරුම් ගතහොත් මේ ප්‍රශ්නය ඉබේ ම විසෙඳන්නේ ය.



2014 ජූලි මස 30 වැනිදා බදාදා   දින    ආලෝකේා උදපාදි  පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment