සාමාන්‍යයෙන් යමකට නොදැන පිළිතුරක් ලබාදීම, නොදැන ඇතැම් සමාජගත කරුණු විස්තර කිරීම අතිශයින්ම අනර්ථකාරි වෙනවා. මේ නිසා අප හැම විටම පැහැදිලිව නිවැරැදිව දන්නා දෙය පිළිබඳව පමණක් තෝරා බේරා ගෙන ඊට නිවැරැදි යමක් ප්‍රකාශ කිරීමෙන් සමාජයට මෙන්ම තමාටත් යහපතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ විසූ සමයෙහි දෙසැටක් මිත්‍යා මතයන්හි එල්බ ගත් දැඩි මතධාරින් විසුව නිසා එයින් සමාජයට සිදු වූ අහිතකාරි තත්වය බුද්ධකාලීන දේශනාවන්ගෙන් අපට දැන ගත හැකිව තිබෙනවා.
විශ්වාස හා මතවාද
එපමණක් නොව බොහෝ දෙනෙක් එවැනි මත දැරීම නිසා ඔවුන්ට බුදුරජාණන් වහන්සේගේ විමුක්ති මාර්ගය හඳුනා ගෙන එහි ඇත්ත විමසා බලා එය හරි නම් පමණක් පිළිගෙන ඒ මගෙහි ගමන් කොට සසර කෙටි කර ගැනීමේ අවස්ථාව ද මග හැරී ගියා. එපමණකුත් නොව ඔවුන් ඇදහූ ශ්‍රාවක පිරිස් මේ තත්වයටත් වඩා අවදානම් තත්වයකට පත් වූවා. ඇතැම් මිත්‍යා මත ගත් ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස් බුදුරජාණන් වහන්සේ වෙතින් නිවැරැදි දහම උගෙන බෞද්ධ උපාසකයන් බවට පත් වී මේ සසර කෙළවර කර ගත්තා.
මේ ආකාරයෙන් ලෝකයේ විවිධ ආගම් බිහිවීමට හේතු වූ ප්‍රධාන කාරණය බවත් පත් වූයේ මරණින් පසු සත්වයාගේ පැවැත්ම පිළිබඳ ඇති වූ විවිධ හිංසාවාදී විශ්වාසයන් හා මතවාදයි. මේ පිළිබඳ එදා මෙදාතුර විවිධ මතවාද ගොඩ නැගුණා. එමගින් විවිධ ආගම් දර්ශන බිහිවුණා. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව පැහැදිලි මතයක් හේතුඵලවාදය පදනම් කර ගෙන ඉදිරිපත් කරල තිබෙනවා. එමෙන්ම උන්වහන්සේ සත්වයාගේ නැවත හට ගැනීමට හේතුව පැහැදිලිව දක්වා තිබෙනවා. එසේ දිගින් දිගටම සත්වයා මැරී මැරී හට ගැනීම සසර දුක් වශයෙනුත් උන්වහන්සේ දේශනා කර තිබෙනවා. එහෙත් උන්වහන්සේ ගේ ඉගැන්වීම එයින් අවසන් වූයේ නැහැ. ඒ දුක හට ගැනීමට හේතුව කුමක් ද? යන්නත් එය නැති කිරීමේ හැකියාවත්, එය නැති කිරීමේ මාර්ගයත් පැහැදිලිව දේශනා කර තිබෙනවා.
මේ නිසා බුදුරජාණන් වහන්සේගේ දහම සර්ව සුබවාදී දහමක් බවට පත් වෙනවා. මේ නිසාම උන්වහන්සේ ගේ දහම හේතුඵලවාදය මත පදනම් වූ කාටත් පිළිගත හැකි ජීවන දර්ශනයක් ලෙසත් අද බටහිර ලෝකයේ වෙනත් ආගම්වලට වඩා අවධානයට ලක් වී තිබෙනවා. ඒ ඒ පුද්ගලයාගේ දැනුමට, තේරුමට, වයසට ,උගත්කමට අනුව ප්‍රශ්නවලට පිළිතුරු දීමේ හැකියාව රඳා පවතින බව අමුතු දෙයක් නොවේ. එහෙත් බුදුරජාණන් වහන්සේ පවා එක් එක් බුද්ධිමය වශයෙන් මානසික සංවර්ධන තත්වයනට ළඟාකර ගත් අයට පිළිතුරු දිය හැකි ප්‍රශ්න පිළිබද වර්ගීකරණයක් කර තිබෙනවා.
ඒවා ව්‍යාකෘත ප්‍රශ්න හා අව්‍යාකෘත ප්‍රශ්න වශයෙන් කොටස් දෙකකට උන්වහන්සේ බෙදා වෙන් කර තිබෙනවා. ව්‍යාකෘත ප්‍රශ්න වන්නේ ඒ පුද්ගලයාගේ දැනුම් තේරුම්කම් අනුවයි. වයසින් හා දැනුමෙන් මුහුකුරා නොගිය ළදරුවෙකුට අදාළ නොවන ප්‍රශ්නයකට නිවැරැදි පිළිතුරක් අප බලාපොරොත්තු වෙනවා නම් එය අනුවණ කමක් ඒ විතරක් නොවේ දැනුම් තේරුම්කම්වලින් ඈත් වෙච්ච කොපමණ වයස් ගත වූවෙකුගෙන් වුවද අප ඔවුන්ගේ දැනුමට සරිලන්නේ නැති යම් ප්‍රශ්නයකට පිළිතුරක් අපේක්ෂා කරනවා නම් එය ද අසාර්ථක උත්සාහයක් වෙනවා. ඒ අනුව එවැනි ප්‍රශ්න ඔවුන්ට අව්‍යාකෘත ප්‍රශ්න බවට පත් වෙනවා. මේ ව්‍යාකෘත ප්‍රශ්න යන්නෙහි අර්ථය වන්නේ අදාළ අය විසින් පිළිතුරු දිය හැකි ප්‍රශ්නයි. පුහුදුන් සත්වයා ලෙස බුදුදහමෙහි හඳුන්වනු ලබන්නේ ආර්ය මාර්ගය ප්‍රත්‍යක්ෂ කර නොගත් රාගාදී කෙලෙස් සහිත වූ මනුෂ්‍ය සත්වයා හෝ වෙනත් තිරිසන් ගත ප්‍රාණියෙක්, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඊට වෙනස්ව ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන උත්තමයායි. ඒ අයට අප භාවිත කරන්නේ ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා යනුවෙන් මෙය පැහැදිලි කරන සූත්‍ර දේශනාවක් ලෙස “අව්‍යාකත වත්ථු සූත්‍රය” පෙන්වා දෙන්නට පුළුවන්.
අව්‍යාකත වත්ථු දේශනාව
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන අවධියෙහි එක් භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේ වෙත පැමිණ මෙසේ විමසනවා. “ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා විසින් සැකයක් ශාංඛාවක් නොමැතිව මෙවැනි පොදුවේ පිළිතුරු දිය නොහැකි කරුණු පිළිබඳ සැක නො කිරීමේ හේතුව කුමක්ද ? “ කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා.”දෘෂ්ඨිගත නො වී ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු වීම නිසා එම භික්ෂුව එවැනි කරුණු කෙරෙහි සැකයක් ඇති කර ගන්නේ නැති බව.
එවැනි දෘෂ්ඨි ගත කරුණු කීපයක් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී පෙන්වා දෙනවා. මෙම දෘෂ්ඨිගත යන වචනයේ තේරුම වන්නේ ඒ දෘෂ්ටිවල බැඳී, ගැති වී ඒ පිළිබඳ විමසීමකින් තොරව අන්ධ විශ්වාසය හෙවත් ඇලීම,
01. සත්වයා මරණින් පසු උපදිනවා යන්න එක් දෘෂ්ඨියක්.
02. එමෙන්ම මරණින් පසු සත්වයා නොවන්නේ ය යන්න තවත් එවැනිම දෘෂ්ඨියක්.
03.මරණින් පසු සත්වයා උපදින්නේය. නූපදින්නේය යනුවෙන් තවත් දෘෂ්ඨියක්.
04. මරණින් පසු සත්වයා උපදින්නේ නැහැ. නූපදින්නෙත් නැහැ. යනුවෙන් තවත් දෘෂ්ඨියක් පවතිනවා කියා පෙන්නුම් කළා. මෙම අශ්‍රැතවත් පුහුදුන් සත්වයා විසින් ඉදිරිපත් කරන දෘෂ්ඨි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්නා. මෙහිදී අශ්‍රැතවත් පුහුදුන් පුද්ගලයා පැහැදිලි පිළිතුරක් දී ගත නොහැකිව දෘෂ්ඨිගතව සිටින ආකාරය පැහැදිලිව පෙනී යනවා. මොහු මිත්‍යා දෘෂ්ඨිගත අයෙකු ලෙසත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ පුද්ගලයා තුළ පවතින්නේ දෘෂ්ඨි තෘෂ්ණාවක්. මේ දෘෂ්ඨි නිරෝධයක කළ යුතු වෙනවා. එවිට අප ළඟා වන්නේ සෝවාන් මාර්ගයටයි. ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයා ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඒ වෙලාවේ සිට වැරැදි දෘෂ්ටිවලට ගැතිවන්නේ නැහැ. සීලබ්බතපරාමාස යන ක්ලේශය සහමුලින් විනාශවීම සිදුවන්නේ සෝවාන් ඵලයෙහි පිහිටීමත් සමඟයි.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
ඒ වුණාට අශ්‍රැතවත් පුද්ගලයා ඒ තත්ත්වයට හාත්පසින්ම වෙනස්. මේ නිසා ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයෙකු වීමයි වැදගත් පියවර වන්නේ. ශ්‍රැතවත් වීම කියලා කියන්නේ යමක හේතු හා ඵල වශයෙන් දැක්මට තරම් දැනුමත් වැඩි දියුණු කරගත් අයයි. අශ්‍රැතවත් යන්න ඊට විරුද්ධ අර්ථයයි. මේ ශ්‍රැතවත් භාවයට ළඟා වූයේ කිසියම් තමන්ට ඉදිරිපත් වන මතවාදයක් එසේත් නැත්නම් සිතිවිල්ලක් පිළිබඳ
01. ඒ මතවාදයේ හෝ සිතිවිල්ලේ සැබෑ අර්ථය .
02. එවැනි මතවාදයක් ඇතිවීමට හේතුව.
03. එය නිවැරැදි නොවේ නම් එය නැති කිරීම හෙවත් එය නැති කිරීමෙන් ඇතිවන ශුභවාදී තත්වය හා
04. එය නැති කිරීමේ මාර්ගය හෙවත් ප්‍රතිපදාව කුමක් ද?යන්න තෝරා බේරා ගෙන එය අනුගමනය කිරීමෙන් මෙම ශ්‍රැතවත් බව තහවුරු වෙනවා.
මෙවැනි මතවාද සිතිවිලි අප්‍රමාණ වශයෙන් අපේ සන්තානයෙහි හට ගන්නවා. ශෝකය යන්න ගත්තොත් ඒකත් සිතිවිල්ලක්. ඉතින් අපි එය අර කියපු ආකාරයෙන් පියවර වශයෙන් දැක්කහම එම අනර්ථකාරි සිතිවිල්ල නැති කිරීමේ හැකියාව ඇත්තේත් තම තමා ළඟම බව වැටහෙනවා. ඉතින් සැම කරුණක් පිළිබඳව මේ ආකාරයෙන් විමසා බැලීමේ චින්තන ක්‍රමයක් ගොඩ නගා ගැනීම තුළින් ප්‍රායෝගික වශයෙන් වුවද අපේ ජීවිතයේ සියලුම ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව අප සතු වෙනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ දහම් මග පිළිබඳ නිවැරැදි දැක්මක් ඇති කර ගැනීම ඉතා වැදගත් වෙනවා. එබඳු ආර්යශ්‍රාවක ශ්‍රැතවත් පුද්ගලයා ජීවිතයේ සියලු අභියෝගවලට නො සැලී. අකම්පිතව, තැති නො ගෙන මුහුණ දී සෑම කරුණක්ම පිළිබඳ හේතු ප්‍රත්‍යය (පටිච්චසමුප්පාද ධර්මය) වශයෙන් විමසා බලා ජයග්‍රහණය කර සසර බැමි සිඳ දමා විමුක්තිය පසක් කර විජයග්‍රාහිබවක් හිමි කර ගන්නවා.
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
උප කුලපති,
මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 06 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment