Labels

Thursday, August 25, 2016

ස්වාමි සේවක සම්බන්ධය

ව්‍යාපාර සාර්ථකත්වය කෙරෙහි ස්වාමි සේවක සම්බන්ධතාව ප්‍රධාන වශයෙන් බලපායි. බෞද්ධ ආර්ථික දර්ශනයෙහි එයට විශේෂ අවධානයක් යොමුකර ඇති බව ස්වාමි සේවක යුතුකම් හා වගකීම් ගෙනහැර දැක්වීමෙන් පැහැදිලි වේ. මෙම යුතුකම් හා වගකීම් පිළිබඳ කරුණු රැසක් ගිහි විනය වශයෙන් සැළකෙන සිඟාලෝවාද සූත්‍රයෙහි ඇතුළත් වේ. ආර්ථික දියුණුව අපේක්ෂා කරන්නෙකුට එම සදාචාර ප්‍රතිපත්ති බෙහෙවින් වැදගත් වේ. එහි දැක්වෙන පරිදි ස්වාමියා විසින් බල පරිදි වැඩ පැවරීමෙන් බත් වැටුප් දීමෙන් (භත්තවේතානුප්පදානෙන) ගිලන් වූ විට උවටැන් කිරීමෙන් සුවිශේෂී රසවත් ආහාර බෙදා දීමෙන් හා නිසිකල නිවාඩු ලබාදීමෙන් සේවකයාට අනුග්‍රහ දැක්විය යුතු වේ.

බුදුරදුන් වදාළ මෙම යුතුකම් සේවකයාගේ සුදුසුකම් හා හැකියාවන්ට අනුරූප වන ආකාරයෙන් වගකීම් පැවරීම ආහාර හා වැටුප් ලබාදීම සේවකයාට සෞඛ්‍ය රක්ෂණයක් ලබාදීම ආයතනයේ අතිරික්ත ආදායමෙන් සේවක ප්‍රතිලාභ බෙදා දීම හා නිසි කල නිවාඩු ලබාදීම යනුවෙන් වර්තමාන ව්‍යාපාරික ලෝකය සමඟ මනාව ගැළපිය හැකි වේ. වර්තමාන ව්‍යාපාරික ආයතනයන්හි මෙම යුතුකම් ක්‍රියාවට නැගෙන්නේ නෛතික පදනමකින්ය. එහෙත් බුදුසමය මෙම වගකීම් ගෙනහැර දක්වන්නේ සදාචාරාත්මක ප්‍රතිපත්ති සමූහයක් ලෙසය. බුදුසමය හා නූතන ව්‍යාපාරික ආයාතනාගත ප්‍රතිපත්ති අතර පවතින ප්‍රධාන වෙනස එයයි. මෙම යුතුකම් හා වගකීම් සංවිධානාත්මක ව්‍යාපාරයක් පවත්වගෙන යන ස්වාමිවරුන්ට හා සේවකයන්ට පමණක් අදාළ වන්නක් නොව ගෘහාධිපතියන්ට හා ගෘහ සේවයකයන්ට ද එකසේම අදාළ වේ.
ස්වාමි සේවක සම්බන්ධතාව මැනවින් පවතින ආයතන ආර්ථික වශයෙන් ශක්තිමත් බවට පත්වේ. බුදුරදුන් පෙන්වා දෙන පළමු යුතුකමෙන් අවධාරණය කරන්නේ සේවකයාගේ ශක්තිය හා හැකියාවන්ට අනුව වගකීම් වැදගත්කමයි. සේවකයාගේ සුදුසුකම් හා යෝග්‍යතා මැනවින් සළකා බලා ආයතන ගත වගකීම් පැවරිය යුතු බව මෙයින් තවදුරටත් අදහස් වේ.

අදාළ වගකීම දැරීමට අවශ්‍ය කායික හා මානසික ශක්තිය නැති අයෙකුට වගකීම් පැවරීමෙන් ආයතනයේ මෙන්ම පුද්ගලයාගේ ද පිරිහීමට හේතු වේ. එසේම සුදුසුකම් නොමැති අයෙකුට වගකීම් පැවරූ විට එම වගකීම දැරීමට සුදුසු පුද්ගලයන් ආයතනය තුළ වෙසේ නම් ඔවුන් නිතැතින්ම අධෛර්යට පත්වේ. මෙය ආයතනයේ දියුණුවට බාධාවක් වන අතර සේවකයන් තුළ අසහනය හා අසමගිය වර්ධනය වීමට හේතු වේ. සේවයට බඳවා ගැනීමේ දී අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය පුහුණුව සළකා බැලීමෙන් අපේක්ෂා කරන්නේ මෙම යෝග්‍යතාව මැන බැලීමයි. බුදුරදුන් මෙම අදහස සිඟාලක තරුණයාට අවධාරණය කර ඇති බව පළමු වගකීමෙන් පැහැදිලි වේ. සේවකයාගේ සේවයට සරිලන වැටුපක් ලබාදීම ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතුවේ. තම ශ්‍රමයට සරිලන වැටුපක් නොලැබුණ විට සේවකයා තුළ අතෘප්තිය වැඩිවී වැඩෙහි නිරතවීමට තිබෙන උනන්දුවද අඩුවේ. එය දීර්ඝ කාලීනව ආයතනයේ දියුණුවට බලපායි. බුදුසමය මෙහිදී පෙන්වා දෙන්නේ වැටුප් පමණක් නොව සේවය කරන කාලය තුළ ඔහුට අවශ්‍ය ආහාර පාන ද ලබාදිය යුතු බවයි. බුදුසමයෙන් හඳුන්වාදෙන ලද මෙම පිළිවෙත වර්තමානයේ ලොව පිළිගත් ඇතැම් ව්‍යාපාරික ආයතන තුළ ක්‍රියාත්මක වනු දක්නට ලැබේ. ඔවුන්ගේ ව්‍යාපාර තුළ එය බෞද්ධ අදහසක් ලෙස නම් නොකළත් බුදුසමයට අනුව එය අගය කළ යුතු කරුණක් වේ. සේවයට සරිලන ප්‍රමාණවත් වැටුපක් ලබා නොදීම ශ්‍රමය සූරාකෑමක් ලෙස හැඳින්විය හැකිය.
තුන්වන යුතුකම ලෙස දක්වෙන්නේ සේවකයා ගිලන් වූ පසුව ඔහු රැක බලාගැනීමයි. වර්තමාන විග්‍රහය අනුව එයින් අදහස් වන්නේ සේවකයාට සෞඛ්‍ය රක්ෂණයක් ලබාදීමයි. සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි හතරවන යුතුකම යටතේ අවධාරණය කෙරෙන්නේ ආදායමෙන් කොටසක් පාරිතෝසික වශයෙන් සේවකයන් අතර බෙදාදීමයි. මෙම යුතුකම එම වචනවලින්ම සිඟාලෝවාද සූත්‍රයේ නොදැක්වුවද එයින් ගම්‍ය වන්නේ එයයි. ආදායමෙන් කොටසක් පාරිතෝසික වශයෙන් සේවකයන් අතර බෙදාදීම සේවකයාට දිරිගැන්වීමක් වන අතර ආයතනය කෙරෙහි සේවකයා තුළ විශේෂ ලැදියාවක් ඇතිකිරීමට ද එය හේතු වේ. සේවකයාට අවශ්‍යතා අනුව සුදුසු කාලයෙහි නිවාඩු ලබාදීම ස්වාමි පක්ෂය විසින් ඉටුකළ යුතු පස්වන යුතුකමයි. මෙයින් සේවකයාට අවශ්‍ය විවේකය හා විශ්‍රාමය ලැබේ. ඉහතින් දැක්වූ යුතුකම් නීතිමය ස්වරූපයකින් වර්තමානයේ ක්‍රියාත්මක කරන්නට සිදුවී තිබෙන්නේ සදාචාරාත්මක වටිනාකම් නොසළකා කටයුතු කිරීම නිසයි. බුදුසමයෙහි මෙම යුතුකම් දක්වන්නේ නෛතික පදනමකින් නොවේ. උසස් සමාජයක පැවැතිය යුතු සදාචාරාත්මක වටිනාකම් ලෙසය.

ස්වාමියා විසින් සේවකයාට පමණක් නොව, සේවකයා විසින් ස්වාමියාටද, තමා සේවයකරන ආයතනය වෙනුවෙන් ද ඉටුකළයුතු යුතුකම් සිඟාලෝවාද සූත්‍රයෙන් හඳුන්වා දී තිබේ. ඒ යටතේ පළමුව අවදිවීම (පුබ්බුට්ඨායිනො) පසුව නිදාගැනීම (පච්ඡා නිපාතිනො) දෙන දෑ පමණක් ගැනීම (දින්නාදායිනො) තම කටයුතු මැනවින් සිදුකිරීම (සුකතකම්මකාරිනො) ස්වාමියාගේ ගුණ ප්‍රකාශ කිරීම කිත්තිවණ්ණහාර) යන යුතුකම් පස සේවකයා විසින් ඉටුකළ යුතු වේ. මෙම යුතුකම් දෙස බලන්නෙකුට එහි මුල් කරුණු දෙක ව්‍යාපාරික ආයතන සමඟ ගැළපිය නොහැකියැයි කල්පනා විය හැකිය. එහෙත් ඒ සියල්ල නූතන ව්‍යාපාරික ලෝකය සමඟ සියුම් ලෙස ගැළපිය හැකි වේ. මුල් කරුණු දෙකින්ම අදහස් කෙරෙන්නේ නියමිත වෙලාවට අනුව තම වගකීම ඉටු කිරීමයි. සේවය සඳහා අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම හා නියමිත කාලය තුළ වැඩ නොකිරීම සේවකයකුගේ වගකීම පැහැර හැරීමක් වේ. මුල් කරුණු දෙකින් අවධාරණය කරන්නේ නියමිත වේලාවට සේවයට පැමිණීම හා සේවා කාලය තුළ අවංකව වැඩෙහි නිරතවීමයි. තෙවන කරුණින් ඉදිරිපත් කරන යුතුකම වර්තමානයට බෙහෙවින් අදාළ වේ. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන තුළ තමාට ලැබෙන වරප්‍රසාදවලට අමතරව නිල නොවන ආකාරයෙන් ආයතනගත සම්පත් අවභාවිතා කරන පුද්ගලයන් දක්නට ලැබේ. එසේම ගෘහ සේවකයන් විසින් නිවැසියන්ගේ භාණ්ඩ හා වෙනත් දෑ සොරකම්කළ අවස්ථාද වාර්තා වේ. මේ පිළිබඳ වර්තමාන නිදසුන් කොතෙකුත් ගෙනහැර දැක්විය හැකිය. මෙම පසුබිම තුළ බුදුරදුන් පෙන්වාදෙන දුන් දෑ පමණක් ගත යුතු යන වගකීම හා යුතුකම බෙහෙවින් වැදගත් වේ. තමා සේවය කරන ආයතනය තුළ තිබෙන සම්පත් අවභාවිතා කිරීම හෝ වංචනික ලෙස ගැනීම ගැරහුමට හේතුවක් වේ. එසේම එය තම ආත්මගරුත්වයට හානිකරගැනීමක් ද වේ. සිව්වැන්නෙන් අදහස් කෙරෙන්නේ තම සේවයට අවංක වීමයි. තම වෘත්තියට හා තනතුරට අදාළ වගකීම හා කාර්යභාරය මැනවින් ඉටු කිරීම යහපත් සේවකයකුගේ ලක්ෂණයකි. එසේම තමා වැටුප් ලබන ආයතනයට අවංක වීම උසස් ගුණාංගයකි. එබැවින් තමාගේ වගකීම හා කාර්යභාරය පිළිබඳ සැළකිලිමත් වීම සේවකයකුගේ වගකීමක් වේ.

ආයතනයට එන සේවාලාභියාගේ අවශ්‍යතා මැනවින් හඳුනාගෙන ඔවුන් ප්‍රමාදයට හා අපහසුතාවට පත්නොකර සේවය සැළසීම පෞද්ගලිකව තමාගේත් ආයතනයේත් දියුණුවට හේතුවේ. සේවාලාභියා තුළ ආයතනය කෙරෙහි ඇතිවන විශ්වාසය හා ප්‍රසාදය ව්‍යාපාරික ආයතනයක පැවැත්ම බෙහෙවින් වැදගත් වේ. පස්වැන්නෙන් අදහස් කරන්නේ තමා සේවය කරන ස්වාමියාගේ හා ආයතනයේ ගුණාත්මක වටිනාකම අන්අයට පැහැදිලි කිරීමයි.
ස්වාමියාගේ දුර්වලතා මෙන්ම ආයතනගත දුර්වලතා තැනින් තැන ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ තමාගේ රැකියාව අහිමිවීම පමණක් නොව ස්වාමියාගේ හා ආයතනයේ කීර්තිනාමයට හානිවීමයි. තම රැකියාවේ පැවැත්ම තීරණය වන්නේ ස්වාමියාගේ හා ආයතනයේ පැවැත්ම යහපත් වුවහොත් පමණි.


එයට හානිකිරීම වක්‍ර ආකාරයෙන් තමාටම හානිකරගැනීමකි. මේ අනුව සිඟාලෝවාද සූත්‍රය ඉදිරිපත් කරන ස්වාමිසේවක යුතුකම් හා වගකීම පුද්ගලයාගේ මෙන්ම ආයතනගත ආර්ථික දියුණුව හා සමෘද්ධිය පිණිස හේතුවේ. එසේම ඉගැන්වීම් නූතන ව්‍යාපාරික ලෝකයට නිසැකවම අදාළ කරගත හැකි වීමෙන් පැහැදිලි වන්නේ බෞද්ධ සදාචාරාත්මක ප්‍රතිපත්තිවල පවතින සර්වකාලීන වටිනාකමයි.






කොළඹ විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 25 වන බ්‍රහස්පතින්දා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment