දානය යන වචනය අපේ බෞද්ධ ජන සමාජයට අතිශයින් හුරු පුරුදු වචනයක්. ඒ පමණකුත් නොවෙයි. දන්දීම හුරු පුරුදු ක්‍රියාවක් විශේෂයෙන් බෞද්ධ සමාජයේ හැම කෙනෙක් ම විවිධාකාර දන් දෙනවා.
වෙසක්, පොසොන් දිනවල විශේෂයෙන් දන්සැල් දෙනවා, අනෙකුත් දිනවල මාස් පතා පන්සලට පේරු දානය නැත්නම් සලාක දානය දෙනවා. කෙනෙක් මිය ගිය විට පවුලෙ අය එකතුවෙලා තුන්දින දානය, හත්දින දානය , තුන්මාසයේ දානය, අවුරුද්දේ දානය ආදී වශයෙන් දන් දෙනවා. ඇස් දන් දෙනවා. ශරීර අවයව මරණින් පසු දන් දෙන්නට එකඟ වෙනවා. ලේ දන් දෙනවා, ශ්‍රමදාන නමින් ශ්‍රමය දන් දෙනවා. මේ විදියට බෞද්ධයන් අතර පමණක් සුවිශේෂ මෙහෙම දන්දීමේ පිළිවෙළක් අපට දකින්නට ලැබෙනවා.
බුදුරජාණන් වහන්සේත් හැම පින්කමකට ද මුලින් සඳහන් කොට දේශනා කර ඇත්තේ දන් දීමේ වටිනාකමයි. මේ දානය යන ක්‍රියාව බුද්ධිමත් බෞද්ධයා සොයා යන්නේ ලෝභ, ද්වේෂ හා මෝහ යන අකුසල සිතිවිලි යටපත් කරගෙන අත්හැරීම යන ක්‍රියා සාක්ෂාත් කරගැනීම මඟින් තමන්ගේ සසර ගමන කෙටිකර ගැනීමටයි. එසේ නම් ඒ අරමුණ ඉටු කර ගැනීමට දානය යන මේ සත්ක්‍රියාව කෙසේ අප විසින් යොදා ගත යුතු වන්නේද? යන්න සාකච්ඡා කිරීම අද අපට ඉතා වැදගත් වෙනවා. මොකද? වර්තමානය වන විට ‘දානය’ යන මෙම ක්‍රියාව අපේ බෞද්ධ සමාජය තුළ වාණිජමය පෙනුමක් දක්වා ගමන් කොට එහි මූලික අරුත සම්පූර්ණයෙන්ම ඈත් වී යාමත් පෙන්නුම් කෙරෙන අවස්ථා ද තිබෙනවා. අද වැඩිපුරම තියෙන්නේ කේටරින් දානයි. දානයට වඩා නිවසේ පෙනුමත්, යන එන අයට සංග්‍රහයක් කරලා කවුරුත් කා බී විනෝදාස්වාදයක් ලැබීමයි. නගරයට සීමා වූ මේ දන් විලාසිතාව අද ගමටත් බෝ වෙලා.
දානය පිළිබඳ විශේෂ වශයෙන් අප විසින් දැනගත යුතු කරුණු කීපයක් සඳහන් වන සූත්‍රයක් ලෙස ‘සප්පුරිසදාන සූත්‍රය’ හඳුන්වා දෙන්නට පුළුවන්. මේ සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ භික්ෂූන් වහන්සේලා අමතායි. ඒ අනුව දානයක් දෙන්නේ එහෙම නැත්නම් දානයක් දී ඉහළම ආනිසංස ලබා ගත හැක්කේ කවර නම් ක්‍රමයකටද යන්න මෙහි දන්වා තිබෙනවා. ඒ අනුව එහි දී කියවෙන්නේ බ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි දන් දිය යුතු බවයි. ඉතින් පරිවාස උසස් හැසිරීමක් ඇති මෛථුන සේවනයෙන් තොර වූ අය වෙනවා. ඒ විතරක් නොව අතිශයින් සංවර සම්පන්න වූවන් වෙනවා. ශාසන බ්‍රහ්මචරියාව හා මාර්ග බ්‍රහ්මචරියාව පුරන පිරිසක් වෙනවා. පර්යාප්ති ධර්මය එනම් සූත්‍ර, විනය හා අභිධර්මය සහ ත්‍රිපිටකය අවබෝධ කර ගන්නට ප්‍රයත්න දරන පිරිසක් ඒ වගේම මාර්ගඵලාවබෝධය පිණිස ක්‍රියා කරන පිරිසක්, සංයුක්ත නිකායේ ‘බ්‍රහ්මචරිය සූත්‍ර දේශනාව‘ අනුව බ්‍රහ්මචරිය කියා සඳහන් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉතින් එම අරිඅටඟිමග පුරන අය බ්‍රහ්මචරිය කිය සඳහන් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉතින් එම අරිඅටඟිමඟ පුරවන අය බ්‍රහ්මචාරීන් වෙනවා. එමෙන්ම මේ අරිඅටඟිමඟ පිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය වන්නේ සෝවාන්, සකෘදගාමී, අනාගාමී හා අරහත් යන සතර මගඵල බවත් එම සූත්‍රයෙහි විස්තර වෙනවා. ඉතින් මාර්ග බ්‍රහ්මචරියාවත් සපිරෙනවා. මේ අර්ථයෙන් බලන විට මෙම බ්‍රහ්මචාරීන් වහන්සේලා උදෙසා අප විසින් දානය දිය යුතු වෙනවා.
මා ප්‍රකාශ කළ සප්පුරිසදාන සූත්‍රයෙන් මෙම බ්‍රහ්මචාරියන් වහන්සේලා උදෙසා දෙන දානය දිය යුතු ආකාරයයි විස්තර වශයෙන් ප්‍රකාශ කරන්නේ. එහිදී බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ම පෙන්වා දෙන්නේ දෙනු ලබන දානය ඉතා පිරිසුදු ලෙස දියයුතු බවයි. මේ කියන පාරිශුද්ධ බව ගැන අප වැටහීමක් ලබා ගතයුතු වෙනවා. කුමක්ද, මේ පිරිසුදු බව, දානය කියන කොට ආමිස දානය, අභය දානය හා ධර්ම දානය වශයෙන් තුන් ආකාර වෙනවා. මෙහිදී අප කථා කරන්නේ ආමිස දානය ගැනයි. මෙහි ආමිස දානය දෙසට ගැනෙන්නේ ආහාරපාන. වස්ත්‍ර, යාන වාහන, නිවාස හා පහන් දැල්වීමේ උපකරණ මේ එක් එක් ආමිස දාන වර්ග බැලූ විට පෙනෙන්නේ කෙනෙකුට ජීවත් වීමට අවශ්‍ය අංග ඒවා ඉතින් අපේ සැදැහැතියෝ මේ කියන දේවල් වචනාර්ථයෙන් කියැවෙන සබ්‍රහ්මචාරීන් ම නොවුණත් මෙම සසරමඟ කෙළවර කර ගැනීමේ උනන්දුවෙන් දහමට යොමු වූ භික්ෂූන් වහන්සේලාට පූජා කිරීමට මහත් උනන්දුවක් දක්වනවා. ඒවාට අපේ ධර්මය අනුව ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදී මහත් සම්පත් රාශියන් ආනිසංස වශයෙන් ඒ දායකයන්ට ලැබෙනවා. එසේ ලැබීමට තමයි ඒ දානය දෙන විට අවශ්‍ය අංග ලක්ෂණ සම්පූර්ණ කර ගෙන දිය යුතු වන්නේ. ඉතින් පිරිසුදුව මේ කියන දේ දීමයි පළමු කාරණය. නිදසුනක් වශයෙන් අප විසින් ආහාර පාන ආදී යමක් දානය වශයෙන් භික්ෂූන් වහන්සේට හෝ සිල්වතුන්ට පූජා කරන විට එය ඉතා පිරිසුදු බවකින් කළ යුතු වෙනවා. ඒ නිසා තමයි අපි පැන් ටිකක් පූජා කරන විට වූවත් පැන් පෙරළා පිරිසුදු කර ගන්නවා. දන් පිළියෙළ කරන විට වුවත් සැදැහැති දායිකාවෝ උඩු වියන් බැඳ, මුඛවාඩම් බැඳගෙන දානය පිළියෙළ කරනවා. අපේ අතීතය දිහා බලන කොට අද මෙන් ගෙබිම ඔපවත් කළ ටයිල් අතුරපු හෝ ටෙරාසෝ, ග්‍රැනයිට් කළ ආදී ගොඩබිම් නොතිබුණා පමණක් නොව උළු සෙවිලි කළ ගෙයක් වුණත් දකින්නට ලැබුණේ කලාතුරකින්. ඉතින් අර කියපු ගෙබිම ඇති ගෙයක නොව ගොම මැටි ගාපු ගෙදරක දානමය පින්කමක් කරනවා නම් දානය දෙන දිනට පෙරාතුව ගෙබිම ගොම මැටි ගා ලිප් නැවත පිරිසුදු කොට එහි දානය පිසීමේ සිරිතක් තිබුණා. මෙයින් අදහස් වන්නේ දෙන ආහාරපානමය දෑ පමණක් නොව දානයක් දෙනවිට අවට පරිසරය පවා පිරිසුදු කිරීම කළ බවයි. ඒ වගේම අලුත් ගොක් රැහැන් එල්ලා සැරසීම වැනි ක්‍රමයක් තිබුණා.
දෙවන අංගය වන්නේ දෙන දානය වඩාත් ප්‍රණීත ලෙස, රසවත් ලෙස ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාට පිළිගන්වන බවයි. මේ රසවත් ප්‍රණීත දෑ සපයා ගැනීමේ දී දාන පින්කම් පැවැත්වෙන නිවෙස්වල තරගකාරී පෙනුමක් ඇතිවීමෙන් මූලික වශයෙන් දානමය පින්කමකින් අපේක්ෂා කරන ආනිසංස ඉක්මවා වෛරය, ක්‍රෝධය, මානය වැනි අහිතකර සිතිවිලි ද ඇති කරගන්නා තත්ත්වයක් ඇති වෙනවා. මෙය දන් දීමේ මූලික අරමුණට සම්පූර්ණයෙන් ම පටහැනි දෙයක් බව අප විසින් තේරුම් ගතයුතු කරුණය. එමෙන්ම ආහාරපාන හිඟයක් පවතින කාලයක් වුවත් භික්ෂූන් වහන්සේට දන් පිළිගැන්වීම වැදගත් මොකද? උන්වහන්සේලාට දානය උපයා ගැනීමට ශක්තියක් නැහැ. එහෙමනම් දානය අවශ්‍ය කාලය සුදුසු කාලය වෙනවා. තෙවනුව දානය දිය යුත්තේ සුදුසු කාලය බලලයි. ආහාර දානයක් භික්ෂූන් වහන්සේලාට පිළිගන්වන්නේ නම් එයට සුදුසු කාලයක් වෙන් කරලා තිබෙනවා. හිරු අවරට නැගුණ පසුව ආහාර දාන පිළිගන්වන්නේ නැහැ. වස්සාන කාලයේ දන් දිය යුතු වෙනවා. දානය හිඟ කාලවල දන්දියයුතු වෙනවා.
හතරවන කරුණ වන්නේ අප විසින් දෙනු ලබන දානය හෝ පරිත්‍යාගය තුළින් ලබන ආනිසංස ශක්තිමත් වීමට නම් ඒ දානය භික්ෂූන් වහන්සේට පිළිගැන්වීමට තරම් කැප සරුප් වීම අත්‍යවශ්‍ය බවයි. භික්ෂූන් වහන්සේට කැප නොවන ආහාර පිළිබඳ විස්තරයක් විනය දේශනාවන්හි දැක්වෙනවා. එබැවින් දන්දෙන දායකයා ඒ පිළිබඳ සොයා බලා කරුණු වටහාගෙන ම දන් දිය යුතු වෙනවා. භික්ෂූන් වහන්සේට දන් වශයෙන් දිය යුත්තේ කෙබඳු ආහාරයක් ද යන්න විමසා තේරුම් ගැනීම ඉතා වැදගත්. විමසීමෙන් සොයා බැලීමෙන් දන් දිය යුතු වෙනවා. (විචෙය්‍ය දෙති) එසේ වීමට නම් දානය ලබන ප්‍රතිග්‍රාහක පක්ෂය දානයක් ලැබීමට තරම් සුදුසු මට්ටමක සීලාදී ගුණවලින් යුක්ත විය යුතු වෙනවා. ඒ නිසා මේ දානය දීමට නම් එවැනි සුදුසු ප්‍රතිග්‍රාහකයෙක්ම සොයා බලා සපයා ගත යුතුයි.
දානය පාරමිතාවකි. ඉතින් දන් දෙන අය දානයක් දීමෙන් පසු නැවත නැවතත් දන්දීමට යොමු විය යුතු වෙනවා. නිරන්තරයෙන්ම දන් දීම මෙයින් අදහස් වෙනවා. මේ සිරිත නම් අපේ වර්තමානයේ වුවද බොහෝ සැදැහැති බෞද්ධයන්ට හුරු පුරුදුයි.
හත්වෙනුව මෙසේ දන්දෙන තැනැත්තා දන්දෙන අවස්ථාවේ දී මහත් ප්‍රසාදයෙන් දන් දෙනවා නම් එය ද ඉතා අත්‍යවශ්‍ය කරුණක්. මෙතෙක් සඳහන් වූයේ දානයට පෙර එය සූදානම් කර ගත යුතු ආකාරයයි. දැන් දන් දෙන අවස්ථාව හෙවත් පිළිගන්වන අවස්ථායි. ඒ අවස්ථාවේ දී අප්‍රමාණ සතුටකින් ඒ කාර්යයෙහි නිරතවෙනවා.
අවසාන අටවෙනි කරුණ වශයෙන් සඳහන් වන්නේ දානය දීමෙන් පසුව ඇති කර ගන්නා සතුටයි. (දත්වා අක්තමනො හොති) ඒක තමා පින කියලත් තියෙන්නේ. ඉතින් අපට වැදගත්ම අවස්ථාව වන්නේ මේ අවසාන අවස්ථාවයි. පෙර දී කියැවුණු සියලු අවස්ථා අඩුපාඩුවක් නැතිව සම්පූර්ණ වූ විට මේ අවසාන පී‍්‍රතිය තම සිතේ ඇති වෙනවා. බුද්ධිමත් අය මේ ආකාරයෙන් ද, දන් දී ‘අත්හැරීම’ කියන මසුරුමලවලින් තොර සිත දියුණු කර ගත්තහම ලෞකික සම්පත් කෙරෙහි ගිජු නොවී ලොවුතුරා සැප හෙවත් සසර විමුක්තිය ඇති කර ගන්නවා.
ශ්‍රී සුමංගල පිරිවෙන්
රාජමහා විහාරාධිපති,
තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 25 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment