Labels

Saturday, August 13, 2016

“මම” යනු කවරෙක්ද?

උන්වහන්සේ විසින් වදාළ ධර්මය පිළිබඳ ඒ ධර්මය අනුව ගමන් කොට අර්හත්වය ලැබූ අෂ්ටාර්ය පුද්ගල සංඝයා පිළිබඳව ද, ඒ පිළිගැනීම තිබිය යුතු ය. සැක දුරු විය යුතු ය. “සද්්ධාබීජං” යනු වදාළේ එහෙයිනි. කුඹුරක වපුරන බිත්තර වී ඇටය සේ නිවන් කුඹුරෙහි පළමුව වැපිරිය යුත්තේ ශ්‍රද්ධාව ය. ශ්‍රද්ධාව හෙවත් ඇදහීම ඇති තැන ඔහුගේ කෙලෙස් නිවන තපස හෙවත් සීලය පිරිසුදු වෙයි. ඉන්පසු ඔහුගේ ප්‍රඥාව අනුක්‍රමයෙන් දියුණු විය යුතු ය. ප්‍රඥාව දියුණු වීම පිණිස ධර්මය පිළිබඳ අවබෝධය ලබා ගත යුතුය.
මේ තත්ත්වය ලබා ගැනීම පිණිස සසර යනු කුමක් ද? පුනර්භවය සිදු වන්නේ කවර හේතු නිසා ද? “මම” යන්නෙන් අප සිතා සිටින්නා කවරෙක් ද?
එබන්දෙක් පෙන්විය හැකි ද? ඇතැම් අය කථාකරන මගේ ආත්මයයන්නෙන් අදහස් කරන්නේ අප සතු ව තිබෙන කවර ධර්මයක් පිළිබඳව ද? රූපයට ද, වේදනාවට ද, අපේ හැඟීම හෙවත් හැඳීනීම යන වචනයෙන් කථා කරන සංඥාවට ද? අප සිතෙන් නිකුත් වන සිතිවිලි පිළිබඳ සංඛාරයට ද? නැති නම්, විඤ්ඤාණයට ද? මේ සියල්ල ඇති වී නැති වන ධර්ම ය. ආත්මය යනු සදාකාලික යයි ඇතැම් අය කියති. මේ ඇති වී, නැති වන ඉහත සඳහන් කළ සියලු ධර්ම ආත්මය විය නො හැකිය. මේ ප්‍රශ්න තමා විසින් ම ඇති කර, ඒ ප්‍රශ්නවලට පිළිතුරු තමාට ම සිතා ගත නො හැකි නම් දන්නෙකුගෙන් අසා හෝ දැන ගත යුතු ය..

සංයුක්ත නිකායේ ධම්මකථික වග්ගයෙහි දහවන සූත්‍රයෙහි මෙසේ දැක්වෙයි:
“සීලවතා ආවුසො කොට්ඨිත, භික්ඛුනා ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනිච්චතො, දුක්ඛතො අනන්තතො, යොනිසො මනසිකා තිබ්බො ඨානං ඛො පෙනෙතං අවුසො විජ්ජති,
යං සීලවා භික්ඛු ඉමෙ පඤ්චාපාදනක්ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො.... අනත්තතො
යොනිසො මනසිකරොන්තො සොතාපත්තිඵලං සච්ඡිකරේ‍යාති”
භාවය:

(ආයුෂ්මත් කොට්ඨිත ස්ථවිරයන් වහන්ස, සිල්වත් භික්ෂුව විසින් මේ උපාදානස්කන්ධ පහ අනිත්‍ය වශයෙන් ද, දුකක් වශයෙන් ද, අනාත්මයක් වශයෙන් ද, නුවණින් මෙනෙහි කළ යුතු ය. ආයුෂ්මතුනි, (එසේ මෙනෙහි කරන විට) මේ සිදුවීම විය හැකිය. (කුමක් ද?) යම් හෙයකින් සිල්වත් භික්ෂුව මේ උපාදානස්කන්ධ පහ අනිත්‍ය වශයෙන් ද, දුකක් වශයෙන් ද, අනාත්ම වශයෙන් ද, නුවණින් මෙනෙහි කරන්නේ සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කර ගන්නේ ය.)
මෙයින් ප්‍රකාශ වන අදහස කුමක් ද? යම් සිල්වත් භික්ෂුවක් අප ඉහතින් සඳහන් කළ මනොමය කය හා සම්බන්ධ රූප, වෙදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පහ අනිත්‍ය, දුංඛ, අනාත්ම වශයෙන් සිතට එකඟ ව නිගමනය කර ගනී නම් ඔහුට සෝවාන් විය හැකි බව ය.
සංයුත්තනිකායේ පස්වන ගහපති වග්ගයෙහි පහත සඳහන් සූත්‍ර පාඨය දක්නට ලැබේ.
 
“..... කතමෙහි චතුහි සොතාපත්තියංගෙහි සමන්නාගතො හොති, ඉධ ගහපති, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන
සමන්නාගතො හොති ධම්මෙ අවෙච්ප්පසාදෙන සමන්නාගතො හොති...
සංඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති,
අරිය කන්තෙහි සීලෙහි සමන්නාගතො හොති,
අඛණ්ඩෙහි අච්ජිද්දෙහි අසබලෙහි
අකම්මාසෙහි භූජිස්සෙහි විඤ්ඤාප්පසත්තෙහි අපරාමට්ඨෙහි
සමාධි සංවත්තනිකෙහි,
ඉමෙහි චතුහි සොතාපත්තියංගෙහි සමන්නාගතො හොති.”

මේ සූත්‍රයෙන් දක්වා ඇත්තේ යම් ආර්ය ශ්‍රාවකයෙක් බුද්ධ, ධම්ම, සංඝ, යන රත්නත්‍රය කෙරෙහි නො සැලෙන ශ්‍රද්්ධාව ඇත්තේ නම්, එසේ ම කුහක ගතිවලින් තොරව භාවනාව වඩමින් ඉතා හොඳ සීලයකින් යුක්ත නම්, ඔහු සතර වැදෑරුම් සෝතාපත්ති අංග ඇත්තෙක් බව ය.
මෙහි දී විශේෂ කරුණක් ගැන සඳහන් කළ යුතු ව ඇත. පණ්ඩිත කන්නිමහර සුමංගල ස්ථවිරපාදයන් වහන්සේ මා ඉහතින් දැක් වූ දේශනා පාඨ හා තව තවත් කරුණු ද සලකා බලා, මෙතැන සිටින ගිහි-පැවිදි බෞද්ධ පිරිස් අතර සෝවාන් ඵලයට පත් බොහෝ දෙනෙක් සිටිය හැකි බව ප්‍රකාශ කරති. බුදුන් දවස සොතාපත්ති ඵලය සාක්ෂාත් කළ පිරිස් ගැනත්, ඔවුන් ක්ෂණික ව ධර්මාවබෝධය කළ ආකාරයත්, ගැන සලකන විට උන්වහන්සේගේ අදහස ද කෙලින් ම විරුද්ධ වීමට හේතු නැත. සෝතාපන්න බව ලැබෙන්නේ “දස්සනෙන පහාතබ්බා” යනුවෙන් සම්මාදිට්ඨි සූත්‍රයෙහි දක්වා ඇති ආස්‍රව ධර්මයන් නැති කිරීමෙනි. ඒ ඵලය ලබන්නා විසින් මාර්ගයේ දී සක්කාදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, යන සංයෝජන තුන නැති කළ යුතු ය. දේශනාව අනුව සක්කාදිට්ඨිය නම් පඤ්ච උපාදානස්කන්ධය නිත්‍ය සුබ ආත්මයක් ලෙස නො සලකා අනිත්‍ය දුඞඛ අනාත්ම වශයෙන් සැලකීම ය. විචිකිච්ඡා නම් බුද්ධ, ධම්ම, සංඝ, යන අනාත්ම වශයෙන් සැලකීමය. විචිකිච්චා නම් බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය සිතට එකඟ ව ශ්‍රද්්ධා භක්තියෙන් පිළිගැනීම එසේ ම, සසර සැරිසැරීම පිළිබඳ පටිච්චසමුප්පාදයෙහි දැක්වූ හේතු ප්‍රත්‍යය න්‍යාය පිළිගැනීමත් ය. සීලබ්බතපරාමාස නම් වැරදි මගට ගිය සිල් වුත ආදිය පරාමර්ශනය කිරීම ය. වැඩිදුරටත් විස්තර කරතොත්, තමා පෙර කළ පවු නැති කරනු පිණිස තීර්ථකයන් හා පරිබ්‍රාජිකයන් දැක්වූ ගෝසීල, අජසීල, ගෝවුත, අජවුත, සුනඛවුත, පඤ්චතාපය, යන මේ සීලවුත හා යාග හෝම කර පුණ්‍යතීර්ථයන්හි නෑමෙන් පසු සෝදා හැරීම වැනි මිථ්‍යා ප්‍රතිපදා අත්හැර දැමීම ය. එබඳු පිළිගැනීම් සහිත පුද්ගලයන් වර්තමාන බෞද්ධ සමාජය තුළ බොහෝ දුරට දක්නට නො ලැබෙන හෙයින් ද, වර්තමාන බෞද්ධයන් අතර ඉහත සඳහන් කළ මිථ්‍යා පිළිගැනීම් දුරු වී ඇති හෙයින් ද සුමංගල ස්ථවිරපාදයන් වහන්සේගේ ප්‍රකාශයට නිග්‍රහ කිරීම මම අනුමත නො කරමි.

නිබ්බාණගාමී පටිපදාවේ ආරම්භය වශයෙන් පිළිගත යුතු ශ්‍රද්ධාව හා සීලය ගැන කරුණු දක්වන්නට ගොස් සෝතාපත්තිය දක්වා එය දික් විය. සත්‍ය වශයෙන් ආර්යශ්‍රාවකයෙක් වන්නේ සෝවාන් පුද්ගලයා ය. කුමක් නිසා ද? නිබ්බාණගාමී පටිපදාවෙහි නොසැලී ගමන් කළ හැක්කේ ඔහුට පමණක් හෙයිනි. මා ඉහතින් දැක්වූ සිත වසා ගෙන ඇති දෙවන කවරය වූ පඤ්චනීවරණය දුරු කිරීමේ ආශාව ඔහු තුළ පැවතිය යුතු ය. එහි පළමුවන නීවරණය වූ කාමච්ඡන්දය දුරු කිරීමේ කැමැත්ත දියුණු කිරිම වර්තමාන සමාජය දෙස බලන විට පුද්ගලයෙකුට ඉතාම අපහසු ක්‍රියාවක් බව අප විසින් පිළිගත යුතු ය. පස්කම් සැප විඳීමට පුද්ගලයා යොමු වන්නේ එහි එක්තරා ආශ්වාදයක් ඇති හෙයිනි. එය පුහුදුන් පුද්ගලයාගේ ස්වභාවික රුචියයි. බොහෝ දෙනෙකුට ලෝකයෙන් ඉවත් වීමේ කැමැත්තක් නැත. ඔවුන් අපේක්ෂා කරන්නේ දැනට බුක්ති විඳින ඉන්ද්‍රිය පිනවීමේ තත්ත්වයට වඩා ඉන්ද්‍රිය පිනවීමක්, මතු ආත්මභාව වල දී පස්කම් සැප බුක්ති විඳිනු පිණිස දානමානාදී පින්කම් කරමින් කුසලධර්ම රැස් කිරීම ය. එයින් ඔවුන්ගේ සසර දික් වනු මිස කාමච්ඡන්දයෙහි දුරු කිරීමක් නො වේ.
බුද්ධි සම්පන්න මිනිසා කුසල් රැස් කරන්නේ නිබ්භාණගාමී මාර්ගයෙහි මතු ගමන් කරනු පිණිස “මග වියදමක්” රැස් කරනු පිණිස ය. මේ ආත්මභාවය තුළ තමා ගමන් කරන නිවන් මගට මතු මතු ද යොමු වීමේ බලාපොරොත්තු ව ඔහු තුළ ද පවතී. පින් රැස් කිරීමේ අදහස එය මිස අනෙකක් නො වේ.



2014 ජූලි මස 23 වැනිදා බදාදා   දින    ආලෝකේා උදපාදි  පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment