“බිම අමදින්නේ නම් එම කාර්යය සඳහා ඔබ සතු සියල්ල යොදවන්නැ”යි අජාන් චා හිමි ඔබට පැවසූහයි කී භාෂා පරිවර්තක හිමි නම, අජාන් චා හාමුදුරුවන් සමඟම යන්නට ගියහ.
ඕස්ට්‍රේලියාව තෙක් ආපසු ගිය දිගු ගමනේදී එම කෙටි ඉගැන්වීම පිළිබඳව තරුණයාගේ සිත යොමුවිය. අජාන් චා හාමුදුරුවන් බිම ඇමදීම ගැන පමණක් නොව ඊට වඩා තව බොහෝ දේවල් කියාදුන් බව ඔහුට වැටහුණි. එම කෙටි ඉගැන්වීමේ අර්ථය ඔහුට වඩවඩාත් පැහැදිලි වන්නට විය.
“ඔබ කුමන කාර්යයක යෙදුනත් ඒ සඳහා ඔබ සතු සියල්ල යොදවන්න”
තමනට ලැබුණ ජීවිතය සඳහා වූ උපදේශය එවැනි දුර ගමන් සියයකටත් වඩා වටිනා බව අවුරුදු ගණනාවකට පසු ඕස්ට්‍රේලියාවේදී හමු වූ ඔහු මා සමඟ පවසන ලදී. එය දැන් ඔහුගේ ඇදහිල්ල බවට පත්වී ඇති අතර එමඟින් ඔහුට සන්තුෂ්ටිය හා සාර්ථකත්වය අත්කර දී ඇත. ඔහු වැඩකරන විට ඔහු සතු සියල්ල එයට යොමු කරනු ලැබේ. සමාජ ආශ්‍රයේදී ද ඔහු සතු සියල්ල ඒ සඳහා යොදවයි. එය සාර්ථකත්වය සඳහා වූ සූත්‍රයක් බවට පත්විය. අහා! ඔහු, කිසිවක් නොකර ඉන්නා විට ඔහු සතු සියල්ලෙන් කිසිවක් ඒ සඳහා දෙන්නේ නැත.
එහි කිසියම් ප්‍රශ්නයක් තිබේද?
“මිනිසාට සියලු කරදර පැමිණෙන්නේ ඔහු නිසලව සිටීමට නොදන්නා බැවිනි” යැයි ප්‍රංශ දාර්ශනික/ගණිතඥ බ්ලේස් පැස්කල්(1623-62) වරක් කියා තිබේ.
මම එයට තව කොටසක් එක්කොට “නිසලව සිටිය යුත්තේ කුමන අවස්ථාවේදැයි නොදන්නා නිසා ය” යි කියමි.
ඊශ්‍රායලය, 1967 වර්ෂයේ දී ඊජිප්තුව, සිරියාව හා ජොර්දානය සමඟ යුද වැදී සිටියේය. එය “සයදින” යුද්ධය වශයෙන් හැඳින්වුන අතර එම වකවානුවේදී එක් වාර්තා තරුවෙක් හිටපු බ්‍රිතාන්‍ය අගමැති හැරල්ඩ් මැක්මිලන් මහතාගෙන් මැද පෙරදිග ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහු සිතන්නේ කුමක් දැයි ඇසීය.
එවිට එම ජ්‍යෙෂ්ඨ දේශපාලකයා කිසිම පැකිලීමක් නොමැතිව මැද පෙරදිග ප්‍රශ්නයක් නැතැයි කීවේය. වාර්තාකරු විමතියට පත්විය.
“මැද පෙරදිග ප්‍රශ්නයක් නෑ” “කුමක්ද ඔබ එයින් අදහස් කරන්නේ” කරුණු දැනගනු රිසියෙන් වාර්තාකරු ප්‍රශ්න කර සිටියේ ය. “එහි ප්‍රචණ්ඩ යුද්ධයක් පවතින බව දන්නේ නැද්ද?” අහසින් බෝම්බ ඇද හැලෙනවා, යුද ටැංකි එකිනෙක පුපුරවා ගන්නවා, යුද භටයන් වෙත වෙඩි උණ්ඩ වර්ෂාවන් එල්ලවෙනවා, මිනිසුන් බොහෝ දෙනකු තුවාල ලබා හෝ මරණයට ගොදුරු වී සිටිනවා. මැද පෙරදිග ප්‍රශ්නයක් නැතැ’යි යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
“මහත්මයාණෙනි, ප්‍රශ්නයක් කියන්නේ විසඳුමක් ඇති යම් කිසිවකටයි. මැද පෙරදිග අර්බුදයට විසඳුමක් නැත. එම නිසා එය ප්‍රශ්නයක් විය නොහැකියි” පළපුරුදු රාජ්‍යතාන්ත්‍රිකයා ඉවසීමෙන් යුතුව කරුණු පැහැදිලි කර දුන්නේය.
විසඳුමක් නොමැති නිසාවෙන් ප්‍රශ්නයකුත් නොවන කරුණු ගැන කරදර වෙමින් අපගේ ජීවිත කාලවලින් කොතරම් ප්‍රමාණයක් අප විසින් නාස්ති කර ගන්නේද?
තීරණ ගැනීම
විසඳුමක් ඇති ප්‍රශ්නයන් වෙනුවෙන් තීරණයක් ගැනීම අවශ්‍ය වේ. නමුත් අපගේ ජීවිතයේදී වැදගත් තීරණ ගන්නේ කෙසේද?
සාමාන්‍යයෙන් කෙරෙන්නේ අප වෙනුවෙන් දුෂ්කර තීරණ ගැනීම වෙනත් අය ලවා කරවා ගැනීමට උත්සාහ කිරීමයි. මේ ක්‍රමයට අනුව ප්‍රතිඵල නරක් වුවහොත් දොස් පැවරීම සඳහා කෙනෙකු අපට සිටී. මගේ සමහර මිතුරන් ඔවුන් වෙනුවෙන් තීරණ ගැනීමේ කටයුත්ත මා ලවා කර ගැනීමට උත්සාහ කරන නමුත් මා එයට හසුවන්නේ නැත. මා කරන්නේ ඔවුන් විසින්ම බුද්ධිමත් තීරණවලට එළඹීම සඳහා මග පෙන්වා දී මයි.
යා යුත්තේ කුමන දිසාවකට දැයි නොදන්නා මන්සන්ධියකට පැමිණි විට අප කළ යුත්තේ පැත්තකට වී මඳ විවේකයක් ගෙන බසයක් පැමිණෙන තුරු සිටීමයි. සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු නොවන විට ඉක්මනින්ම බසයක් පැමිණේ. පොදු මහජනයා සඳහා වෙන්වූ බස්රථ ඉදිරියේ ලොකු අකුරින් ඒවා කොහි යන්නේදැයි සඳහන් කර ඇත. එම ගමනාන්තය ඔබට සුදුසු නම් එයට ගොඩවන්න. එසේ නැතහොත් නවතින්න. හැමවිටම පිටුපසින් තවත් බසයක් පැමිණේ.
වෙනත් වචනවලින් කිවහොත් අප විසින් තීරණයක් ගතයුතු වුවත්, කුමන තීරණය ගත යුතුදැයි නොදන්නා විට මඳක් පසෙකට වී විවේකයක් ගත යුතුය. සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු නොවන විටකදී ඉක්මනින්ම විසඳුම පැමිණේ. සෑම විසඳුමකටම එයටම සීමා වූ ගමනාන්තයක් ඇත. එම ගමනාන්තය අපට සුදුසු නම් එම විසඳුම අපි බාරගනිමු. එසේ නැතහොත් නවතිමු. හැමවිටම තවත් විසඳුමක් පසු පසින් පැමිණේ.
මා මගේ තීරණ ගන්නේ ඒ ආකාරයෙනුයි. මම සියලුම තොරතුරු එක්කාසු කොට විසඳුම් බලාපොරොත්තුවෙන් නැවතී සිටිමි. මා ඉවසීමෙන් සිටිනතාක් නිතරම වාගේ හොඳ විසඳුමක් පැමිණේ. සිරිත් පරිදිම එය පැමිණෙන්නේ ඒ ගැන නොසිතා සිටින විට අනපේක්ෂිත අන්දමිනි.
අන් අයට දොස් පැවරීම
වැදගත් තීරණ ගැනීමට උත්සාහ කිරීමේ දී අවශ්‍ය පරිදි කලින් කී කථාන්තරයෙන් යෝජිත ක්‍රමෝපායන් යොදා ගැනීම ඔබට කළ හැක. නමුත් ඔබ එම ක්‍රමයම අනුගමනය කළ යුතු නොවේ. තීරණය ඔබ අතේය. ඒ අනුව එය සාර්ථක නොවුනත් මට දොස් පැවරීමෙන් වළකින්න.
අපගේ එක් ස්වාමීන් වහන්සේ නමක් හමුවන්නට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් පැමිණියාය. ඇය පසු දින වැදගත් විභාගයකට පෙනී සිටීමට නියමිත බැවින්, විභාගයේදී වාසනාව ගෙන ඒම සඳහා කිසියම් සජ්ඣායනයක් කර ගැනීමට ඇයට අවශ්‍ය විය. මෙයින් ඇයගේ ආත්ම විශ්වාසය ශක්තිමත් විය හැකි යයි සිතූ සංඝයා වහන්සේ ආරාධනාව පිළිගෙන එය නොමිලයේ සිදු කරන ලදී. ඇය විසින් කිසියම් තුටු පඬුරක් දෙන ලද්දේ ද නොවේ.
මෙම තරුණ කාන්තාව නැවත කිසිදිනක අප විසින් දුටුවේ ද නැත. නමුත් ඇය ඔබ මොබ ගොස් අප ආරාමයේ සිටින භික්‍ෂුන් වහන්සේලා හොඳ නැති බවත් අපට හරි හැටි සජ්ඣායනය කළ නොහැකි බවත් පවසන බව ඇගේ මිතුරන්ගෙන් මට දැනගන්නට ලැබුණි. ඇය විභාගයෙන් අසමත් වූ බව ද දැනගන්නට ලැබුණි.
ඇගේ මිතුරන් මට පැවසුවේ ඇය ඉගෙනීමේ කටයුතු කිසිවක් නොකළ බවයි. ඇය නිතර සාදවලට සහභාගි වන්නියකි. විශ්වවිද්‍යාල ජීවිතයේ නොවැදගත් කොටස හැටියට ඇය විසින් සලකා ඇති අධ්‍යයන කටයුතු පිළිබඳව සංඝයා වහන්සේලා විසින් වග බලාගනු ඇතැයි ඇය සිතුවාය.
අපගේ ජීවිතයේ දී කිසියම් වැඩක් වැරදුන විට දොස් පැවරීමෙන් තෘප්තියක් ලැබිය හැකි බව පෙනී ගියත් අන් අයට දොස් පැවරීමෙන් ප්‍රශ්න විසඳාගත හැක්කේ බොහොම කලාතුරකිනි.
ඇති කැසිල්ලක් සිය තට්ටමේ
මිනිසෙකු සීරීය, සිය හිස
පහව නොගියේ කැසිල්ල කිසිදා
මිනිසෙකු සීරීය, සිය හිස
පහව නොගියේ කැසිල්ල කිසිදා
අනුනට දොස් පැවරීම, තට්ටමේ කැසිල්ලට හිස කැසීමක් ලෙසයි, අජාන් චා හිමියන් විසින් විස්තර කර දෙනු ලබන්නේ
2014 ජූලි මස 09 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment