තමන්ගේ
හෝ වෙනත් කෙනෙකුගේ හෝ මරණය කම්පාවට සුදුසු නැත.තමන්ගේ පවුලේ කෙනෙකු මළ පසු ඔහුගෙන්
හෝ ඇයගෙන් තමන්ට ලැබෙමින් තුබූ හෝ ලැබෙන්ට තිබුණු ප්‍රයෝජනයක් නැතිවීම නිසා
දුක්වීමට ඉඩක් ඇත. තමන්ගේ බඩුවක් නැතිවීමෙන් ලැබෙන දුකක් මෙනි. එහෙත් මළ තැනැත්තාට
පාඩුවක් සිදුවිණැයි සැලකීමට නම් කරුණක් නැත. එහෙත් ළපටිකම නිසා තත්ත්වය වටහා ගත
නොහැකි වීම නිසා හඬන්ට පුළුවන. මගේ ගුරුහාමුදුරුවන් අභාවප්‍රාප්ත වන විට මගේ වයස
විස්සක් විය. මම එදා හැඬුවෙමි. එයින් මා හැඬුවේ මට විඳීමට සිදුවිය හැකි පාඩුවක්
නිසා නොවේ. එවැන්නක් පැවැත්තේම නැත. එදා මා හැඬුවේ මන්දැයි කල්පනා කරන විට මට අද
දැනෙන්නේ හුරතල් බෝනික්කකු කැඩීයාම නිසා හඬන කුඩා දරුවකුගේ ක්‍රියාව මෙනි. මගේ
මෑණියන් අභාවප්‍රාප්ත වන විට මගේ වයස හතළිස් හතරකි. මා එදා හැඬුවේම නැත.
කුඩා කාලයේ කෙනෙකු වැඩිහිටියන් සුරතල් කිරීම සිරිතය. තමන්ගේ මුහුණ
ටිකක් වෙනස් කරගත් පමණින් හෝ කඳුළක් හෙළු පමණින් ඕනෑ කරන දෙයක් ලබාගැනීමට එදා
හැකියාව ඇත. එහෙත් ගැටවර වයසට පැමිණෙන විට එම වාසිය නැති වී යයි. එදා වුවත්
වැඩිහිටියන්ට දැන්වීමෙන් තමන්ට අවශ්‍ය දෙයක් මහන්සි නැතිව ලබාගත හැක. තරුණ වියට
පැමිණ පවුලක් වූ පසු සියල්ල තමන් බලාගත යුතු වෙයි. මෙසේ එක ජීවිතයකදීම වයසේ
වෙනස්කම්වලින් සිදුවන පාඩු මරණයෙන් සිදු නොවේ. එබැවින් මරණයෙන් සිදුවන වෙනස්කම්, තරුණ වියට පත්වීමෙන් ද ඉසකේ පැසීමෙන් ද දත් වැටීමෙන් ද විශ්‍රාම යාමෙන්
ද සිදුවන වෙනස්කම්වලට විශේෂ දෙයක් නොවේ. පොඩි දරුවකු වූයේ යම් සේද තරුණයකු මහල්ලකු
වූයේ යම් සේද මහල්ලකු නැවත ඉපදී දරුවකු වන්නේද එසේම ය. එකම චක්‍රයක පෙරළී ගෙන
යාමේදී දක්නා විවිධ අවස්ථා පමණි.
මරණය විශේෂ සන්ධිස්ථානයක් ද නොවේ. තමන්ගේ ම කුඩා කාලයේ ගත්
ඡායාරූපයක් දෙස බලන්න. නැතිනම් වෙනත් වැඩිහිටියකුගේ කුඩා කාලයේ ගත් ඡායාරූපයක්
බලන්න. ඔහුගේ ම අද ගත් ඡායාරූපයක් එයට ළංකර බලන්න. ඒ දෙකෙහි ලොකු වෙනසක් දැක්ක
හැක. මේ වෙනස සිදුවූයේ කවදා ද? කවදා හෝ එක දවසක
නොවේ. දවස් කීපයකදීත් නොවේ. මේ වෙනස් වීම සැම ක්ෂණයක් පාසාම නොනැවතී සිදු වූවකි.
එහෙත් එය අපට පැහැදිලි වන්නේ වෙනස්කම් කෝටි ගණනක් සිදුවූවාට පසුවය. රූපධර්මයන්ගේ
ආයුෂ චිත්තක්ෂණ දාහතකැයි දක්වා ඇත. සෑම චිත්තක්ෂණ දාහතට ම වරක් බැගින් මැරෙමින්
උපදිමින් ගොස් ඇත.
අපේ ඇසට වෙනස පෙනෙන්නේ එබඳු මරණ කෝටි ගණනක් සිදුවූවාට පසුවය. අප අද
බිය පළකරන සිදුවීම හඳුන්වන්නේ සම්මුති මරණය නමිනි. එය තමන් සතු දෙයක් නොවේ. අවට
සිටින අයගේ සම්මුතියකි. අප මෙම ශරීරය අතහැරිය පසු අසවලා මැරුණා යනුවෙන් සෙස්සෝ
කියති. එය ඔවුන්ගේ සම්මුතියයි. උපාදානස්කන්ධ සංයුතියේ ස්වාභාවික ගමන වෙනස් වූයේ
නැත. වෙනත් අය කෙසේ හඳුනා ගත්තත් ඔබ ඔබම ය. සුමේධ තාපසයා මැරුණේ ය. සේනක පඬිතුමා
මැරුණේය. පුරෝහිත බ්‍රහ්මණයා ද මැරුණේ ය. බරණැස් රජ ද මැරුණේ ය. වෙස්සන්තර රජතුමා
ද මැරුණේ ය. එහෙත් බෝසතාණන් වහන්සේ බෝධි සම්භාර පුරමින් ඉදිරියට ගොස් බුදුබව
ලබාගත් සේක. බෝසතාණන් වහන්සේට සසර වසන කාලයේ වෙනත් අය තබාගෙන සිටි නාමයන් අතරෙන්
කීපයකි ඉහත සඳහන් වූයේ. සියලුම එබඳු නාමයන් ගණන් කිරීමට ද නොහැක. ඒ සෑම
මරණයකින්මත් අපේ බෝසතාණන් වහන්සේට පාඩුවක් සිදු නොවූ බව සැබෑ නම් මට හෝ ඔබට සිදුවන
පාඩුවක් විය හැකිද?
සම්මුති මරණයේදී හෙවත් සත්ත්වයකු ශරීරයක් අතහැර දැමීමේදී
උපාදානස්කන්ධ සංයුතිය (බටහිර විචාරකයන් ‘ඉධභත’ නමින් හඳුන්වන පදාර්ථය) පමණක් වෙන්වන්නේ මනස දියුණු තත්ත්වයක පැවතුණොත්
පමණි. එසේ වැඩිපුර ආත්මාර්ථකාමී ජීවිත ගත කරමින් ආශාවලින් සිත වැඩිපුර කිලිටු
කරගෙන වසන අය ශරීරය අත්හරින විට ශරීරයක පවතින ‘ර්‍ථතචඵථච’ නමැති ද්‍රවයේ හරය ලෙස සලකන ද්‍රව්‍යයක් ද පිටවී
යන බව නවීන වූ බටහිර පරීක්‍ෂකයන්ගේ අදහසය. කිර්ලියන් සොයාගත් නමුත් පසුව ඇමරිකාවේ
වැඩිදියුණු කරනු ලැබූ ඡායාරූප ගැනීමේ තාක්ෂණය මඟින් ‘ප්ලැස්මා’ හරය ඡායාරූප ගත කළ හැක. අද වන විට මෙම ඡායාරූප
ක්‍රමය බොහෝ දියුණු වී ඇත.
“හොල්මන්” තිබෙන තැන්වල රාත්‍රියේ ස්වංක්‍රීයව ඡායාරූප ගැනෙන පරිද්දෙන් කැමරා
අටවා තබා ඇත. එසේ ගත් ඡායාරූපවල එම ස්ථානයේ සිට මැරුණ අයගේ ඡායාරූප වැදී තිබේ.
මෙසේ ගත් ඡායාරූපවල මුහුණුවර පවා එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ මැරෙන්නට පෙර ගත්
ඡායාරූපයකට සමානය. සෙසු ශරීරද එම ප්‍රමාණයේම ය. ආලෝකය එය විනිවිද යන හෙයින් අපට
පියවි ඇසෙන් දැක්ක නොහැක. මරණයෙන් පසුත් එම තැනැත්තා හෝ තැනැත්තිය පළමු තුබූ
ශරීරයේ සියුම් ප්ලාස්මික ශරීරයක් ද දරාගෙන සිටි අප මොවුන් හඳුන්වන්නේ භූතයන් හෝ ප්‍රේතයන්
යන වචනවලිනි. එම තත්ත්වයේ ප්ලාස්මික ශරීර සමඟ හැසිරෙන සත්ත්වයෝ විද්්‍යුත්
ඡායාරූපවලට ද වැටෙති. “ආශාව වැඩිවීම නිසා
ප්‍රේත ආත්මයේ උපදිනවා” යන ව්‍යවහාරයට මෙය සමානය. එහෙත් එබඳු ශරීරයන්ගේ
පැවැත්ම තාවකාලිකය. වැඩිකල් පැවැත්මක් නැත. තමන් දරාගෙන සිටි ශරීරයට හා එයට
සම්දන්ධ කරගෙන පැවති පුද්ගලයන්ට හා දේපළ වලටත් ආශාව අඩුකර ගැනීමට පුරුදු වීමෙන්
මෙබඳු ජීවිතවල ගතකිරීමෙන් බේරී ගමන් කළ හැක.
සත්ත්වයෙකුගේ සසර සැරිසැරීම බොහෝ අතීතයේ ආරම්භ වූවකි. කවදා හෝ ඒ
ආරම්භ වී ඇත. ආරම්භ වීමක් තිබේ නම් අවසන්වීමක් ද තිබිය යුතුය. ඇතිවූ දෙයක
නැතිවීමක් තිබේමය. සසරෙහි සැපද තිබේ. සත්ත්වයන් සසරෙහි සිටින්නේ ඒ නිසාය. සසරෙහි
සැපක් නැතිනම් සත්ත්වයන් සසරෙහි නොසිටිනු ඇත. සසරෙහි දුක්ද තිබේ. සත්ත්වයන් සසරින්
නිදහස් වීමට උත්සාහ කරන්නේ ඒ නිසාය. සසරෙහි දුක් නැතිනම් කිසිවෙකු සසරින් නිදහස්
වීමට උත්සාහ නොකරනු ඇත. උපාදානය හෙවත් ස්කන්ධ පස එකිනෙක දැඩිව අල්ලා ගැනීම නිසා
ජාතිය හෙවත් උපත සිදුවන බව හා උපාදානය නිෂ්ක්‍රීය වීම නිසා උපත නතර වන බවද
බුදුහාමුදුරුවන් බොහෝ දේශනාවල වදාරා ඇත.
“මහණෙනි” මේ ලෝකයෙහි රසවින්දනයක් නැතිනම් සත්ත්වයෝ මේ ලෝකයෙහි නොඇලෙති.
රසවින්දනයක් ඇති නිසා ම සත්ත්වයෝ එහි ඇලෙති. ලෝකයෙහි දොසක් නැතිනම් සත්ත්වයෝ
ලෝකයෙහි නොකලකිරෙති. දෝෂයක් ඇති නිසාම සත්ත්වයෝ එහි කලකිරෙති. ලෝකයෙහි සැප දුක්
වලින් මිදීමක් නැතිනම් සත්ත්වයෝ එයින් නොමිදෙති.” මෙයින් බුදුහාමුදුරුවන්, ලොවෙහි සැපතක් ඇති
බවද ඒ සමඟම දුකක් ඇති බවද දෙකින්ම නිදහස් වීමකුත් ඇති බවද උගන්වා ඇත. මේ අනුව
උපාදානය නිෂ්ක්‍රීය කිරීමෙන් සසර ගමන නතර වේ. රථයක කොටස් එකිනෙක වෙන්කර දැමීමෙන්
පසු රථයේ ගමන නතර වන්නාක් මෙනි.සසර ගමන යමෙකුට යම් විටෙක එපා වූයේ නම් ඔහු ඒ සඳහා
උත්සාහ දරනු ඇත. සසරත් නිවනත් දෙකම ඕනෑ වී සිටින අය වැඩියෙන් සිටින බව කථා
කිරීමේදී හෙළිවේ. සසර ගමන නතර වීම නිවනය. සත්‍ය වශයෙන් සසර එපා වූ කෙනෙක් නිවන
සොයයි. සෙවීම සතුටුදායක ලෙස කළහොත් නිවන ලැබේ.
2014 ජූලි මස 23 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment